පුරවැසි කොලම

රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකු විසින් ඇමරිකානු ඔත්තු සේවා සංවිධානයක් බවට චෝදනාවට ලක් කළ පාත් ෆයින්ඩර් නම් ප්‍රභල රාජ්‍ය නොවන සංවිධානයයේ ප්‍රමුඛ පෙළේ න්‍යායාචාර් යවරයෙකු අප රටේ විදේශ ලේකම් ලෙස පත්වීම පිළිබඳව දැනුම්වත් මහජනයා විමතියට පත් විය. එම ලේකම්වරයා අතීතයේ සිටි වෙනත් ලේකම් වරුන්ට වඩා වෙනස් භූමිකාවක් රඟ දක්වන බව ඔහු විසින් වරින් වර මාධ්‍යයට කරනු ලැබූ ප්‍රකාශ වලින් පැහැදිළි විය. අතීතයේ සිටි විදේශ ලේකම්වරු ඒ ආකාරයට රටේ විදේශ ප්‍රතිපත්තියට අදාළ උපායමාර් ගික ප්‍රවේශයන් පිළිබඳව ජනමාධ්‍ය වලට ප්‍රකාශ ලබා දුන්නේ නැත. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තිය ” ඉන්දියාව පළමුව ” යන ස්ථාවරය මත පදනම්වන බව ඔහු විසින් ජනමාධ්‍ය වකලට අදහස් දැක්වීය. එය ජනාධිපතිතුමා විසින් සෞභාග්‍යයේ දැක්ම ලේඛනය මඟින් ප්‍රකාශයට පත් කළ මධ්‍යස්ථ හෙවත් ‘’නිව්ට්‍රල්’’ විදේශ ප්‍රතිපත්තියට පටහැනි බව පැහැදිළිව පෙනේ. කෙසේ වෙතත් නොබැදි ප්‍රතිපත්තිය වෙනුවට මධ්‍යස්ථ වචනය හදුන්වා දෙන්නේ පාත්ෆයින්ඩර් සංවිධානය විසින් බවටද විවාදයක් නැත. ඇමෙරිකාව විසින් නොබැදි ජාතීන්ගේ සංවිධානය දුර්වල කිරීම සඳහා පාත් ෆයින්ඩර් සංවිධානය යොදා ගනිමින් මෙහෙයුමක් දියත් කළ බවට ‘විකීලික්ස්’ විසින් හෙළිදරව් කර ඇත.

ඊට අමතරව ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කළ යුතු රජයේ ස්ථාවරයන් පිළිබඳව මෙම විදේශ ලේකම්වරයා විසින් ජනමාධ්‍ය වලට ප්‍රකාශ ලබා දී ඇත. උදාහරණ ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම සඳහා ඉන්දියාව සහ ජපානය සමග අත්සන් කළ සහයෝගිතා ගිවිසුමට වර්තමාන රජය ගරු කළ යුතු බව ඔහු විසින් අවධාරණය කරන්නට යෙදුනි. එසේම ඇමෙරිකාව සමග අත්සන් කිරීමට බල කෙරෙන එම්.සී.සී ගිවිසුම සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටද ඔහු විසින් සඳහන් කරන්නට යෙදුනි.  විදේශ ලේකම්වරයා විසින් එවැනි ප්‍රකාශ සිදු කිරීමෙන් පසුව ඉන්දියාවේ විවිධ පාර්ශව වලින් ශ්‍රී ලංකාවේ නව ප්‍රතිපත්තිය මත ඉන්දියාවට වාසි සහගත ක්‍රියාමාර් ග ගත යුතු බවට ඉන්දියානු රජයට බලපෑම් එල්ල විය. එය එක්තරා ආකාරයකට රාජ්‍ය තාන්ත්‍රික දෙඹරයකට ගල් ගැසීමක් ලෙස විග්‍රහ කිරීම වරදක් නොවේ. සමහර විට ඔහු ඒ ආකාරයට මානසික බාධකයකින් තොරව ශ්‍රී ලංකාවේ විදේශ සහ ආරක්ෂක උපායමාර් ගික ස්ථාවරයන් පිළිබඳව අදහස් දක්වන්නේ ඊට අදාළ ප්‍රතිපත්තිමය ලේඛනයක් පාත් ෆයින්ඩර් සංවිධානය විසින් නව රජයට බාරදී ඇති නිසා විය හැක. එම ලේඛනය පසුගිය යහපාලන ආණ්ඩුවට භාරදීම සඳහා සකස් කළද ජනාධිපතිවරණයෙන් එම ආණ්ඩුව පරාජයට පත් වීම නිසා එය වර්තමාන ජනාධිපතිතුමාට බාරදුන් බවටද වාර් තා පළවිය. කෙසේ වෙතත් ජනාධිපතිතුමා විසින් එම වාර්තාව තම දෑතින් බාර ගත්තද එය නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස පිළිගන්නා බවට කිසිඳු ප්‍රකාශයක් සිදු කළේ නැත. පසුගිය දිනවල කොවිඩ් වසංගතයෙන් පසුව ආර් ථිකය නැවත පන ගැන්වීම සඳහා උපායමාර් ගික යෝජනාවලියක්ද පාත්ෆයින්ඩර් සංවිධානය විසින් ජනාධිපතිතුමාට බාර දෙන ලදී. ඒ සියළු කරුණු නිසා පාත් ෆයින්ඩර් සංවිධානය විසින් රජය මෙහෙයවන බවට එම සංවිධානයේ න්‍යායාචා ර්යවරු කල්පනා කිරීම පුදුමයට හේතුවක් නොවේ.

විශේෂයෙන්ම අද්මිරල් ජයනාත් කොළඹගේ මහතාට විරුද්ධව ආණ්ඩුවේ පාර්ශව වලින් චෝදනා එල්ල වී තිබියදී ඔහු විදේශ ලේකම් තනතුරට පත් කිරීම නිසා තමාට විශාල දේශපාලන බලයක් තිබෙන බවට ඔහු විසින් කල්පනා කිරීම සාධාරණ විය හැක. තත්වයන් එසේ තිබියදී පාත්ෆයින්ඩර් සංවිධානයේ නායක හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කිරීම නිසා විමතියට පත් වී සිටි බොහෝ පාර් ශව අන්දමන්ද වී ඇත. විශේෂයෙන්ම රට බෙදීමට කුමන්ත්‍රණය කළ එරික් සොල්හයිම්ලා සමඟ කිට්ටුවෙන් ගනුදෙනු කළ සහ නෝර් වේ රාජ්‍යයෙන් අරමුදල් ලබා ගත් බවට පමණක් නොව රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳව අධිකරණයේදී චෝදනාවට පාත්‍ර වූ පුද්ගලයෙකු ඉන්දියාව වැනි ශ්‍රී ලංකාවට උපායමාර් ගිකව ඉතා වැදගත් රටක තානාපති ලෙස පත් කිරීම යනු බොහෝ පාර් ශව වලට අදහාගත නොහැකි තත්වයකි. ඊට අමතරව එම තානාපතිවරයා අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙකුගේ නිල බලය සහිතව පත්කළ බවට පුවත්පත් වල වාර් තා ඵල වීම නිසා සහ ඒවා රජයේ වගකිව යුත්තන් විසින් ප්‍රතික්ෂේප නොකළ නිසා තත්වය තවත් බරපතල විය. එම වාර් තා සත්‍යය නම් මිලින්ද මොරගොඩ නම් වූ තානාපතිවරයාට සහ ඔහුගේ පාර් ශවකරුවෙකු වන විදේශ ලේකම්වරයාට එකට එක්ව විදේශ අමාත්‍යවරයා මඟහැර ජනාධිපතිතුමා සමඟ නිළවශයෙන් ගනුදෙනු කිරීමේ හැකියාව ලැබේ.

ඒ ආකාරයට සමාජයේ ඇති වූ ආන්දෝලනය නිසා සහ එම තත්වය සාධාරණීකරණය කිරීමට උත්තර සොයාගත නොහැකි නිසා මෙම ලියුම්කරු වැනි ගෝඨාභය රජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි පිරිස් බලවත් අපහසුතාවයට පත් විය. එවැනි එක් වෛද්‍යවරයෙක් නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට අභිනවයෙන් පත්වූ ජාතිකවාදී අමාත්‍යවරයෙකුගෙන් පැහැදිළි කිරීමක් ඉල්ලා ඇත. එහිදී එම අමාත්‍යවරයා ලබාදී ඇත්තේ මතුපිටින් ඉතා සරල බව පෙනෙන එහෙත් ප්‍රායෝගික යථාර්තයක් බවට පත්කිරීමේදී ඉතා බරපතල ගැටළු මතුවිය හැකි පැහැදිළි කිරීමකි. එනම් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ තානාපති ලෙස පත්කරන්නේ ” ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කැපීම ” නැමැති න්‍යායට අනුව බවය. වෙනත් වචන වලින් එම දේශපාලන ස්ථාවරය සමාන කළ හැක්කේ විසෙන් – විස නැසීම නම් වූ න්‍යායටය. එනම් එක් විසක් නැසීමට තවත් විසක් භාවිතා කිරීමය. ඒ අනුව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරනු ලබන විස ප්‍රහාර මිලින්ද මොරගොඩ නම් වූ ඉන්දියානු හිතවාදී පුද්ගලයාගේ රාජ්‍ය තාන්ත්‍රික විස මඟින් සමනය කළ හැකි යැයි ආණ්ඩුව කල්පනා කරන බව පෙනේ.

ආණ්ඩුවේ න්‍යාය ප්‍රායෝගික යථාර්තයක් බවට පත්වනු ඇත් ද යන්න විමසීමට සිදු වන්නේ භාවිතාව තුළිනි. ඒ අනුව ආණ්ඩුවේ උපායමාර් ගික තේරීම වල නිරවද්‍යතාවය අනාගතයේදී ප්‍රත්‍යක්ෂ වනු ඇත. එහෙත් ආණ්ඩුව අපේක්ෂා කරන පිරිධි මේ විසෙන් ඒ විස සමනය කිරීමට නොහැකි වුවහොත් ලෙඩා මෙන්ම වෙදාද අමාරුවේ වැටෙන බවට සැකයක් නැත. එනම් රට සහ ආණ්ඩුව යන දෙකම අමාරුවේ වැටීමට ඉඩ ඇත. කෙසේ වෙතත් එසේ විසෙන් විස නැසීමේ න්‍යාය තුල මිලින්ද මොරගොඩ මහතාගේ  භූමිකාව කුමක් වුවත් එම තේරීම එම න්‍යායට අනුව නිවැරදි බවට ඇමරිකාවේ හිටපු තානාපති ඇෂ්ලි විල්ස් මහතා සාක්ෂි දරයි. ඔහු විසින් 2003/05/29 දින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවන ලද කේබල් පණිවිඩයක් ” විකිලික්ස් ” මඟින් එළිදරව් කිරීම නිසා එම සාක්ෂිය කරළියට පැමිනුණි. මිලින්ද මොරගොඩ මහතාගේ භූමිකාව පිළිබඳව එනම් ඔහු විසින් හෝ ප්‍රතිවියක් ලෙස භාවිතා කළ හැකි බව හෙවත් ඔහුගේ භූමිකාව විෂ සහිත බව  එම කේබල් පණිවිඩය මඟින් එළිදරව් විය. ඉන් පසුව එළිදරව් වූ කේබල් පණිවිඩ මාලාවක් මගින්ද මිලින්ද මොරගොඩ මහතා ඔත්තු කරුවෙකු ලෙස විවිධ ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා යොදාගෙන තිබෙන බව පැහැදිලිවේ.

ඉහත කේබල් පණිවිඩය මඟින් මිලින්ද මොරගොඩ මහතා මෙසේ වර් ණනාවට ලක් කොට ඇත. ‘මිලින්ද මොරගොඩ සෘජුව අවධානය යොමු කරන්නේ ඇමරිකාව සහ ඉන්දියාව සමඟ සබඳතා වර්ධනය කිරීමටය. ඉතා හොඳින් සන්නිවේදනය කරන බුද්ධිමත් පුද්ගලයෙකු වන ඔහු වොෂින්ටනයේ ඉපදී ඇති අතර ඇමරිකානු කාන්තාවක් විවාහ කොට ගෙන සිටින ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකි. ඔහු ” හෙරිටේප් අවුන්ඩිෂන් ” නම් වූ ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයේ වැඩ කරන කාලයේ සිට ඇමරිකාව සමඟ ඉතා හොඳ සබඳතා පවත්වා ගත්තෙකි. ඔහු ඇමරිකාවේ බලවත්කම ඉතා හොඳින් තේරුම් ගෙන සිටින සහ ශ්‍රී ලංකාව ඊට අනුව කටයුතු කළ යුතු යැයි සිතන අයෙකි.’’ ඒ අනුව ඇමරිකාව පැත්තෙන් බලන විට මිලින්ද මොරගොඩ යනු ඉන්දු – ඇමරිකානු, ජපාන – ඔස්ට්‍රේලියා යන රටවල් හතර එක්ව ගොඩනගා ඇති ඉන්දු පැසිෆික් ආරක්ෂක සංධානයේ උවමනාවන් ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කළ හැකි හෝ ආණ්ඩුව නොමග යැවිය හැකි ප්‍රභල චරිතයකි. ඒ අනුව ඔහුගේ භුමිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ඔත්තු කරුවෙකු හෙවත් විසක් ලෙස යොදා ගැනීමේ හැකියාව ඇත. දැන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ උපායමාර් ගයට අනුව ඇමරිකානු ඔත්තුකරුවා ශ්‍රී ලංකාවේ පැත්තට හරවා ගැනීම මඟින් ඔහු ඉන්දු – ඇමරිකානු භූ දේශපාලන උවමනාවන්ට එරෙහිව මෙහෙයවිය යුතුය. විසෙන් – විස නැසීම යන්නෙන් අදහස් වන්නේ එය බව ඉතා පැහැදිළිය.

ආණ්ඩුවේ උපායමාර් ගය වෙනත් ආකාරයකට අර් ථ දැක්වුවහොත් එය වටහාගත හැක්කේ ඉන්දු – ඇමෙරිකානු හිතවාදියෙකු මඟින් ඉන්දු – පැසිෆික් උපායමාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගැලවිය හැකිය යන අහිංසක අපේක්ෂාවක් ලෙසය. කෙසේ වෙතත් ප්‍රතිවිසක් හෝ ද්විත්ව ඔත්තුකරුවෙකු ලෙස මිලින්ද මොරගොඩ මහතා යොදාගත හැකිද යන්න හෙවත් ඔහුගේ උපයෝගීතාවය තක්සේරු කළ හැක්කේ ඔහුගේ අතීත භූමිකාව සැලකිල්ලට ගැනීමෙනි. ඊට අමතරව එසේ රටේ ඉරණමට අදාළව යම් තනි පුද්ගලයෙකුගේ හැකියාවන් පිළිබඳ ආණ්ඩුවක් විසින් විශ්වාසය තබා කටයුතු කරන්නේ නම් එම පුද්ගලයා පිළිබඳ මහජන විශ්වාසයද වැදගත් වේ. එසේ නැතහොත් එම තේරීමට පක්ෂපාතීව මහජන සහය ලබා ගැනීම පහසු වන්නේ නැත. විශේෂයෙන්ම ආණ්ඩුවක් ලෙස එවැනි අනතුරුදායක තීන්දු ගැනීමේදී මහජන විශ්වාසය සහ සහයෝගීතාවය ඉතා වැදගත් වේ.

මිලින්ද මොරගොඩ මහතාගේ අතීත භූමිකාව පිළිබඳ තක්සේරුවක් ලබා ගැනිම සඳහා පරික්ෂාකළ යුතු වැදගත් ලේඛනය අංක 150/2007 දරණ මූලික අයිතිවාසිකම් නඩුවේ නඩු තින්දුවයි. ඊට අමතරව ඒ මහතා සටන්විරාම සමයේදී බෙදුම්වාදී බලවේග සහ නෝවේජියානු මැදිහත්කරුවන් සමඟ පැවැත් වූ රහස් සබඳතා සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳ බොහෝ ඡායාරූප සහ ලේඛන ඇතත් ඒවා 100% කින් තහවුරු කළ නොහැකි බවට තර් ක කළ හැක. නමුත් නඩු තීන්දුවකින් ප්‍රකාශයට පත් වන කරුණු පිළිබඳව මහජනයාට විශ්වාසය තැබිය හැක. එම නඩුවට අදාළව 2009 දී ප්‍රකාශයට පත් කළ තීන්දුව අනුව මිලින්ද මොරගොඩ නම් වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ කළමණාකරණ අමාත්‍යවරයාගේ භූමිකාව ඉතා හොඳින් අවබෝධ කර ගත හැකිය. ඊට අනුව 2001 – 2003 කාලයේදී ඔහු යටතේ වූ ” පර් ක් ” ආයතනයේ ප්‍රධානියා සහ මිලින්ද මොරගොඩ මහතාගේ නියෝග ක්‍රියාත්මක කළ භාණ්ඩාගාර නිලධාරීන් විසින් ඉතා වැදගත් රාජ්‍ය ආයතන විකුණා දැමීමේදී ක්‍රියාකළ ආකාරය පිළිබඳව තමාගේ හාද සාක්ෂිය කම්පා වූ බව විනිසුරුවරුන් තම තීන්දුව ප්‍රකාශ කරමින් අවධාරණය කොට ඇත.

ඇත්ත වශයෙන්ම එසේ විනිසුරුතුමන්ලාගේ හදවත් කම්පා වන්නේ දූෂිත ගනුදෙනු රාෂියක් අතුරෙන්  නඩු දෙකකට අදාළ දූෂීත ගනුදෙනු දෙකක් නිසාය. නමුත් එම කාලය තුළ සිදුව සියළු ගනුදෙනු අධිකරණයේදී සැලකිල්ලට භාජනය වූවානම් විනිසුරුවරුන්ගේ හදවත් නතර වීමට පවා ඉඩ තිබුණි. එම නඩු තීන්දුවට අදාළ මහා පරිමාන දූෂිත ගනුදෙනු දෙක අතරින් පළමු වැන්න වරායේ නැව් වලට තෙල් ලබාදෙන ඉතා ලාබදායි ” බන්කරින් ” නම් වූ ව්‍යාපාරයේ නියුක්ත වූ එල්.එම්. එල් නම් වූ රජයට අයත් ව්‍යාපාරය බරපතල ලෙස අවතක්සේරු කොට පුද්ගලික ආයතනයකට විකුණා දැමීමය. දෙවැන්න ශ්‍රී ලංකාවේ රක්ෂණ වෙළඳපළ තුළ ප්‍රමුඛතමයා වූ රක්ෂණ සංස්ථාව තුට්ටු දෙකට පුද්ගලික සමාගමකට විකුණා දැමීමය. එම ගනුදෙනු වලදී ජාත්‍යන්තර මට්ටමින් එළිදරව් වී ඇති සියළු දූෂිත ක්‍රියා සිදු වූ බව අධිකරණයේදී ඔප්පු වීය. උදාහරණ ලෙස රාජ්‍ය දේපළ විකුණා දැමීමට පෙර බරපතල ලෙස වටිනාකම අවතක්සේරු කිරීම, එම විකිණීම මඟින් රජයට ලැබුණු ආදායම් අහිමි කිරීම, මිලදී ගන්නා පෞද්ගලික පාර් ශව රජයේ ප්‍රභලයින් සමඟ සබඳතා පැවැත්වීම, පොදු මහජන දේපළ පුද්ගලික සින්නක්කර අයිතියට පැවරීම ආදී සියළු අවක්‍රියා එම ගණුදෙණු වලදී සිදු වී ඇත.

ඒ සියල්ල සිදු වූයේ මිලින්ද මොරගොඩ නම් වූ අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ බව අධිකරණයේදී ඔප්පු විය. ඔහු විසින් එම තීන්දු ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයෙන් නිසි අනුමැතිය ලබා ගෙන නොමැති බව සහ ඔහුගේ තීන්දු නීතියට පටහැනි බව අධිකරණයේදී ඔප්පු විය. එහිදී රජයට අයත් එල්.එම්.එල් නම් වූ නැව් වලට තෙල් සැපයීම හෙවත් ‘බන්කරින්’ ව්‍යාපාරයේ නියුක්ත වූ සමාගම් වටිනාකම අවතක්සේරු කිරීම සඳහා සිතාමතා සහ සැලසුම් ගතව එම වගකීම රජයේ තක්සේරුකරුවන්ට ලබා නොදී පුද්ගලික බැංකුවකට ලබා දී තිබුණි. එම ක්‍රියාවලිය තුළ එම සමාගමේ වටිනාකම 50% කින් අවකත්සේරු කොට ඇති අතර අමාත්‍ය මණ්ඩල තීන්දුවට පටහැනිව යමින් සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් අදාළ පෞද්ගලික සමාගමට වෙළඳපළ ඒකාධිකාරිය පමණක් නොව බදු නිදහස් තත්වය සහ වරායෙන් නොමිලේ ඉඩමක් ද ලබා දී තිබුණි. මේ වන විට එම සමාගම අයත් මව් සමාගම කොළඹ වරායේ නැගෙනහිර පර් යන්තය ඉන්දියානු සමාගමක් සමග එක්ව අත්පත් කර ගැනීම සඳහා සූක්ෂම මැදිහත්වීමක් සිදු කරන බවට චෝදනා එල්ල වේ.

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වූ රජයට අයත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණා දැමීමේදී අමාත්‍යවරයා විසින් බලයලත් කමිටුවක් පිහිටුවා එහි සභාපති වූ භාණ්ඩාගාරයේ නිලධාරියෙකු ටෙන්ඩර් මණ්ඩලයට පවා පත් කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ අවසරය නොමැතිවය. ඔහු තමාගේ 28/02/2002 අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් අමාත්‍යමණ්ඩලයට දැනුම් දෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්තාවට කළමණාකරන සහ තාක්ෂණික දැනුම නොමැති නිසා පුද්ගලික අංශය සමග තරඟ කිරීමට හැකියාව නොමැති බවය. එහෙත් සත්‍ය තත්වය අනුව ඊට පෙර වසරේ එම ආයතනය රක්ෂණ වෙළඳපළේ නායකයා වී ඇති අතර ඩොලර් මිලියන 10ක ලාභයක් ලබා රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5ක බදු ගෙවා ඇත. ඒ අනුව නඩු තීන්දුව මගින් මිලින්ද මොරගොඩ මහතා අදාල දූෂිත ගණුදෙනු වලට වගකිවයුතු බව ඔප්පු විය. අවසානයේදී ශ්‍රේෂ්ඨාදිකරණය විසින් අදාල ගනුදෙනු අවලංගුකොට අමාත්‍යවරයාට විරුද්ධව අපරාධ නීතිය, පොදු දේපල පනත සහ අල්ලස් සහ දූෂණ පනත යටතේ නඩු පැවරීමේ වගකීම නීතිපතිවරයාට පවරනු ලැබීය.

එ් අතර 2006 දී පාර් ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් එම දූෂිත ගනුදෙනු පිළිබඳව විභාගකොට 2007 දී වාර් තාවක් නිකුත් කරන ලදි. නමුත් මහින්ද රාජපක්ෂ රජය මිලින්ද මොරගොඩ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැලි වීය. අවසානයේදී 2009 දී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ පසුව මිලින්ද මොරගොඩ මහතා හෙවත් මහා දූෂිත ගණුදෙනුවකට අදාල විත්තිකරු දේශපාලන පැති මාරුවක් සිදු කොට නව ඇමතිකමක් ලබා ගන්නට යෙදුනි. ඉතිහාසයට සරදම් කරමින් ඔහු විසින් ලබා ගන්නේ ඔහුට විරද්ධව නඩු දැමීමට අදාලව ක්‍රියාත්මකවියයුතු ආයතන පද්ධතිය අයත්වන අධිකරණ සහ අධිකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයයි. ඒ අනුව මිලින්ද මොරගොඩ මහතාගේ හෘද සාක්ෂිය දූෂිත නව ලිබරල් ආර් ථික මොඩලයේ පොදු උවමනාවක් නියෝජනය කරන බව පැහැදිලිව ඔප්පුවේ. ඒ තුල රට පිළිබඳව , රටේ මහජනයාට අයත් පොදු දේපල පිළිබඳව ඔහුගේ මනෝභාවය පිළිබිඹුවේ.

ජාත්‍යන්තර අද්දැකීම් අනුව යම් ඔත්තකරුවෙකු ද්විත්ව රංගනයක් හෙවත් අසාධාරණයකට ලක් වූ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීම සදහා පොළඹවාගතහැක්කේ ඔහුගේ හෘදසාක්ෂියට ආමන්ත්‍රණය කිරීමෙනි. නමුත් ඉහත සඳහන් කළ අත්දැකීමට අනුව මිලින්ද මොරගොඩ මහතා ගේ හෘද සාක්ෂිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ සහ ජනයාගේ  අපේක්ෂා නියෝජනය කරනු ඇත්ද යන්න සැක සහිතය. ශ්‍රී  ලංකාවේ ඓතිහාසික ශිෂ්ඨාචාරයට සහ එහි උරුමයන්ට අදාලව ඔහුගේ හැඟීම් ප්‍රකාශ වූ අවස්තා අනුවද එම නිගමනය සාධාරණීයකරනය කළ හැක. පසුගියදා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ මතක් කළ ආකාරයට මිලින්ද මොරගොඩ මහතා යනු පංසලේ පිරිත් දේශනා මහජනයාට විකාශනය කිරීමේ වරදට භික්ෂූන්වහන්සේ නමක් අධිකරණය හමුවට පැමිණවූ පුද්ගලයෙකි. කෙසේ වෙතත් මිලින්ද මොරගොඩ මහතා විවිධ ක්‍රමවේද හරහා රජයට බලපෑම් කළ හැකි යම් නායක ස්වාමීන් වහන්සේලා තම වුවමනාවන් සඳහා යොදා ගන්නා බව ප්‍රකට කරුණකි.

මීට පෙර මේ ආකාරයටම පුද්ගලික සබඳතා හෝ දක්ෂතා මගින් ඉන්දු ඇමෙරිකානු භූ දේශපාලන උපායමාර් ගික තේරීම් වල බලපෑම වෙනස් කළ හැකියැයි විශ්වාස කරමින් ගනු ලැබූ උත්සාහයන් පිළිබඳව අත්දැකීම් ඇත. යද ජයග්‍රහණයෙන් පසුව ඇමෙරිකාව විසින් ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුව යොදා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කෙරනු මෙහෙයුම නැවැත්වීම සඳහා හිටපු නිල නොවන අමාත්‍ය සජින්වාස් ගුණවර්ධන මහතා විසින් මහ බැංකුවේ අරමුදල් යොදා ගනිමින් රුපියල් මිලියන 800ක් පකිස්තානු ජාතිකයෙකුට අයත් ඇමෙරිකානු මහජන සබදතා සමාගමකට ගෙවීම සහ ඉන් කිසිදු ප්‍රථිපලයක් නොලැබීම එවැනි එක් අත්දැකීමකි. කෙසේ වෙතත් මිලින්ද මොරගෙඩ මහතාගේ උපයෝගීතාවය හෝ සුදුසුකම් පරීක්ෂාව සඳහා වැඩි කාලයක් ගතවන්නේ නැත. ආන්ඩුව ඔහුගෙන් අපේක්ෂා කරන ප්‍රථිපලය ලැබෙන්නේනම්, එසේ නැතහොත් විසෙන් විස නැසිය හැකිනම්, ඔහුට ඉන්දියාව විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉල්ලා බල කිරීම, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා බලපෑම් කිරීම සහ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සමූහය නීතිවිරෝධීව අත්පත්කරගෙන සිටීම වැනි ගැටලු පමණක් නොව එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම සඳහා ඇමෙරිකාව විසින් බලපෑම් කිරීමේ ගැටළුවද විසඳා ගැනීමට හැකි විය යුතුය.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More