ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරට ඉතිහාසයේ බිහිවූ විප්ලවකාරී පක්ෂයක් බවට විවාදයක් නැත. බටහිර ගැති එජාපයෙන් කැඩී වෙන්වී පිහිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි ලේකම්වරයා විසින් ම පාවා දීමත් සමග ඓතිහාසිකව ඒ වටා රොක් වූ බලවේගයන් හි බලාපොරොත්තුව වූයේ එයයි. අතිශය කෙටිකලක් තුල අධිවේගී ගමනක යෙදෙමින් රටේ ප්‍රධාන මැතිවරණ සියල්ල ප්‍රතිවාදී බලවේග සුන්නත්දූලි කරමින ජය ගැනීමට හැකිවීම එය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයයි. දැන් බලය ඇත්තේ පොදු ජන පෙරමුණටය. පක්ෂය තවදුරටත් ශක්කිමත් කරගත යුතු බව එහි නිර්මාතෘ බැසිල් රාජපන්ෂ මහතා පසුගිය දා කියා තිබුණි. ඒ අදහස් පල කර තිබුණේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ විවාදයක් අපේ කඳවුර තුළ ඇති වෙමින් තිබිය දීය. පළාත් සභා පැවැත්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීමට හේතුවනු ඇති බවක් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය තුළ ව්‍යංගාර්ථයෙන් පෙනෙන්නට තිබේ. මෙයට පෙර පළාත් සභා මැතිවරණ පැවැත් වීම සාධාරණීකරණය සඳහා ඉදිරිපත් කළ තර්කය වූයේ පළාත්සභා ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති බවත් අප විසින් වසර ගණනාවක් ඒ වෙනුවෙන් සටන් කළ නිසා දැන් එයට විරුද්ධවන්නේ කෙසේද යන පැනයත් ය. ඒ තර්ක දෙකම එතරම් සාර්ථක හෝ ශක්තිමත් ඒවා නොවන බව කිව යුතුය. නමුත් දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීමට එයට ඡන්දය දුන් හා ඒ වෙනුවෙන් පෙනී සිටි කිසිවෙකුටවත් කළ නොහැකි එකකි. මේ තුරුම්පුව ඒ වෙනුවෙන් විය යුතුය.
පළමුව සලකා බැලිය යුත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් පක්ෂය ශක්තිමත් වන්නේ කෙසේද යන්නත් එය නොපැවැත්වීමෙන් පක්ෂය දුර්වල වන්නේ කෙසේද යන්නත් ය. පළාත් සභා ඡන්දය ජයග්‍රහණයකින් අවසන් කිරීමෙන් පොදු ජන පෙරමුණට සිය බලය පවතින ආයතන සංඛ්‍යාව වැඩිවේ. එපමණක් නොව ජනතා ඡන්දයෙන් පත්වන පොදුජන පෙරමුණේ නියෝජිතයින් සංඛ්‍යාව ද වැඩිවේ. දේශපාලන දෘෂ්ඨි කොණයෙන් ගත් කල මේවා පක්ෂයේ දේශපාලන වත්කම් ඉහළ නැංවීමක් බව කාටත් පෙනෙන කරුණකි. ඡන්දය නොපැවැත්වීමෙන් සිදුවන්නේ මේ සියල්ල සිදු නොවීමයි. මන්ත්‍රී සංඛ්‍යා ශේෂපත්‍රයේ එකතුව අඩු වන අතර සිය බලය යටතේ ඇති ආයතන සංඛ්‍යාව ද අඩුවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු සුවිශේෂී ජනවරම එහි නිර්මාතෘ වරයා ද බලාපොරොත්තු නොවූ එකක් බව රහසක් නොවේ. ඇත්තටම පක්ෂයක ශක්තිය මන්ත්‍රී සංඛ්‍යාව ද?
2015 ජනවාරි අට වෙනිදා වන විටත් මෙරට පාර්ලිමේන්තුවේ බහුතර බලය, පළාත්සභා වල බලය හා පළාත්පාලන ආයතන වල බහුතර බලය තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බව නොරහසකි. 2010 ජනවරමත් පසුව පාර්ලිමේන්තුවේ එකතු වූ කණ්ඩායම් ද සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එම සංධානයට හිමි වූයේ 2/3 ක බලයකි. 2010 සිට 2015 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජීවත් වූයේ මහ පොළොවේ නම් නොවේ. එයට හේතුව එයට ලැබුණු අතිමහත් පාර්ලිමේන්තු හා අනෙකුත් ආයතන වල බලයයි. අවශ්‍ය නම් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව ආණ්ඩුවක් පවත්වාගෙන යා හැකි යැ යි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ යෙකු වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා වරක් කීවේ මේ නිසා විය යුතුය. 2010 සිට 2015 දක්වා පක්ෂය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක විය. ඒ ද සංවිධානයේ ශූරයෙකු වූ බැසිල් රාජපක්ෂයන් ගේ මූලිකත්වයෙනි. පක්ෂයේ තරුණ පෙරමුණ නිල්බලකාය නමින් ප්‍රතිසංවිධානය කෙරුණේ ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙනි. ඒකාලේ නාමල් රාජපක්ෂ මහතාට නාමල් බේබි යැ යි කියමින් එතුමාව වර්ණනා කල තරුණ මන්ත්‍රීවරු ද වූහ.
2014 අග වන විට තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වූ ආකාරය සියලු දෙනා නැවතත් මතක් කර ගැනීම වටී. මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය ඇතිව ලේකම් පුටුව දිනා ගත් මෛත්‍රීපාල සිරිසේන, එතුමාව මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කර ආප්පත් කා අනිත් පැත්තෙන් එතුමාට එරෙහිව ඉදිරිපත් විය. නාමල් රාජපක්ෂ මහතාට බේබි යැ යි ඇමතූ මන්ත්‍රී වරු නාමල්ගේ ලැම්බෝගිනි, රෝහිත පෙම්වතියට දුන් ඇමරිකාවේ බකිංහැම් පැලස් එකෙන් ගෙනා රත්තරන් අස්පයින් හා පවුලේ සාමාජිකයින් එක්කෙනාට එක බැගින් ගෙන් වූ හෙලිකොට්ටර් ගැන කියවන්නට වූහ. තිස් වසරක යුද්ධයේ ශාපයෙන් රට නිදහස් කරගත්, මේ පොළොව මත කඩිසර වැඩබිමක් ඇති කළ මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය නොදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ අර සුරංගනා කතා වලට රැවටුණු ඡන්ද දායකයින් යැ යි ඔබ සිතනවා නම් එය බරපතල දේශපාලන වරදකි.
ඇත්තටම මේ රටේ මිනිස්සු ඒ තරම් මෝඩයෝ නොවෙති. සිංහල ජනතාව බහුතරය වන ප්‍රදේශ වලදී මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබුණු බව අමතක නොකළ යුතුය. නමුත් ඒ ජයග්‍රහණය සුළුතරයේ බහුතරය ඉක්මවා යන්නට ප්‍රමාණවත් වූයේ නැත. ඒ සා විශාල බලයක් අතැතිව සිටියදීත්, ඒ සා දැවැන්ත ජයග්‍රහණයක් රටට ලබාදී තිබිය දීත්, 2010 සිට පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙල් ගණනාවක් ක්‍රියාත්මක ව තිබියදීත් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නට බැරි වුනේ ඇයි?
පිළිතුර ඇත්තේ පක්ෂයේ ශක්තිය නිවැරැදි ව හඳුනාගත් විටය. ඕනෑම දේශපාලන ව්‍යාපාරයක ශක්තිය වන්නේ ඒ දේශපාලන පක්ෂය කෙරෙහි විශ්වාසය තබා සිටින ජනතාවගේ අතේ ය. මත්ස්‍යයා ජලය මත යැපෙන්නේ යම් සේ ද දේශපාලන සංවිධානයක් යැපෙන්නේ ජනතාවගේ විශ්වාසය මතය. මෙරටට ආදරය කරන බහුතරයේ අපේක්ෂාව වන්නේ කවදා හෝ දිනක මේ රට අදීනව පෙර පැවැති ශ්‍රී විභූතියෙන් පවතිනවා දකින්නට ය. එක්සත් ජාතික පක්ෂය මෙරටට ගෙනා විනාශකාරී සංස්කෘතික අංග වලින් මිදීමට ය. තමන්ගේ හා තම දරුවන්ගේ වට පිටාව සුන්දර කර ගැනීමටය. රට තුළ දියුණු සාදාචාර සම්පන්න සමාජයක් ඇති කර ගැනීමටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා රොක් වූ මේ බහුතරයේ බලාපොරොත්තු 2010 – 2015 අතරේ ඉටු වූයේ ද?. ලද බලයෙන් මත්ව ගිය ශ්‍රීලනිප නායකයෝ කිසිවෙකුටවත් ඇහුම්කන් නොදී අහංකාර පරවශ පාලනයක් ගෙන ගියෝය. පළාත් සභා සහ පළාත්පාලන ආයතන වල සිය සාමාජිකයින්ගේ අකීකරුකම් නොදුටුවාක් සේ කටයුතු කළහ.
තමන්ගේ ශක්තිය වූ හුදී ජනයා නොව ආත්මාර්ථකාමී, තමන්ගේ වාසිය පමණක් තැකූ ව්‍යාපාරිකයින්, ප්‍රාදේශීය දේශපාලන නායකයින්, පිනවීමට තීන්දු ගත්හ. ජනතාව කළකිරීමට පත්විය. එහෙත් කිසිවෙකුටත් මහින්ද මහත්තයා පැරදවීමට අවශ්‍ය නොවීය. ඔවුන්ට අවශ්‍ය වූයේ මහින්ද මහත්තයාගේ වටේ ඉන්නා එවුන්ට පාඩමක් උගන්වන්නටය. සතුරා නිවැරැදි නිලයටම පහර ගැසීය. දැවැන්ත පාර්ලිමේන්තු බලයක්, පළාත් සභා බලයක් හා පළාත්පාලන ආයතන වල බලයක් තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දඩබ්බර අහංකාර නායකයන්ට පාඩමක් ඉගැන්වීමට එහි ශක්තිය වූ ජනයා සූදානම් වන බව සතුරා දැන සිටියේ ය. ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය වූ ජනයා සිතුවේ මහින්ද මහත්තයා යන්තමින් දිනවා වටේ ඉන්නා අයට රතු එළියක් පෙන් වීමටය. ජනතාව වැරදි ඡන්දය ඊට පාවිච්චි කළ බව තේරුම් ගත්තේ ජනවාරි නව වෙනි දාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...