තිස් වසරක කුරිරු ඊළාම් යුද්ධයේ අවසන් අදියරේදී ලාංකේය ජනතාවගේ දෙනෙත් හා දෙසවන් නිරන්තරයෙන්ම යොමුව තිබුණේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දෙසට ය. වීරෝදාර හමුදාව කිලෝ මීටර් කීයක් ඉදිරියට ගමන් කළේද, ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් කී දෙනෙකු මිය ගියේද නැතිනම් අත්අඩංගුවට පත්වූයේද වැනි තොරතුරු දැනගැනීමේ පිපාසයෙන් ජනතාව පෙළුණාහ. පසුගිය මාස කිහිපය තුළද ඊට සමාන තත්ත්වයක් පවතින අතර, මේ වන විට ආරක්‍ෂක අංශ විසින් ඊළාම් යුද්ධයට නොදෙවෙනි තවත් දරුණු යුද්ධයක් දියත් කොට ඇත්තේය. එනම්, ම්ලේච්ඡ මත් රකුසාට එරෙහි යුද්ධයයි. ඊළාම් යුද්ධයේ අවසන් අදියරේදී පරිදිම, මේ දිනවල ද ජනතාවගේ අවධානය යොමුව ඇත්තේ ජනමාධ්‍ය දෙසට ය. මත්ද්‍රව්‍ය ග්‍රෑම් හෝ කිලෝ ග්‍රෑම් කීයක් සොයාගනු ලැබුවේද, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඔවුනට සහාය දෙන නිලධාරීන් කී දෙනෙකු අත්අඩංගුවට පත්වූයේද වැනි තොරතුරු දැනගැනීමේ පිපාසයෙන් ජනතාව පෙළෙති.
කෙසේ වුවද, මේ දිනවල අසන්නට ලැබෙන ඇතැම් තොරතුරු නම් කිසිසේත් සතුටුදායක නොවන්නේය. වඩාත් නිවැරදිව කියතොත්, ඇඟ කිලිපොලා යන තරමට භයංකර වන්නේය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනාවරණය කරනා පරිදි, මේ වන විට ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ගණන 533,000ක් ඉක්මවා යන්නේය. බස්නාහිර පළාතේ පමණක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන සංවිධානාත්මක අපරාධ කල්ලි 25ක් පමණ ක්‍රියාත්මක වන බව හඳුනාගෙන තිබෙන අතර, එම කල්ලිවල සාමාජිකයින් 388ක් පමණ සිටිනා බව වාර්තා වන්නේය. එමෙන්ම, ජූලි-අගෝස්තු දෙමස තුළ පමණක් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ අයගේ ගණන 6000ක් ඉක්මවූ බව වාර්තා වන්නේය. මේ අතුරින් 1870 දෙනෙක් කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේද, 1000කට කිට්ටු පිරිසක් මැගසින් බන්ධනාගාරයේද සිටිති. මීට අමතරව, මීගමුව බන්ධනාගාරයේ 1800ක් පමණද, මහර බන්ධනාගාරයේ 1700ක් පමණද මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රඳවාගෙන සිටිති. මෙවන් තත්ත්වයක් තුළ, සියලුම බන්ධනාගාරවල තදබදය වැඩි වී ගැටළු රාශියකට මුහුණපෑමට සිදුව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේය.
මෙරට තුළ මත්පැන් භාවිතය දිගු කලක් තිස්සේ පැවතියද, නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළදාම සහ විශාල පිරිසක් මතට ඇබ්බැහිවීම බරපතළ සමාජ ගැටළුවක් බවට පත්වන්නේ 80 දශකයේ මුල සිටය. එතැන් සිට පැවති රජයන් හැමෙකක්ම පාහේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මැඩලීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූවද, ඒවායින් සම්පූර්ණ ප්‍රතිඵල අත් නොවීය. ඒ වෙනුවට පසුගිය කාලය තුළ, මත්ද්‍රව්‍ය භාවිතයේ හා ජාවාරම්වල සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන්නේය. උදාහරණයක් ලෙස, 2016 වසර තුළ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ ගණන 79378ක් වූ අතර, එය 2018දී එය 98752ක් දක්වා ඉහළ ගියේය. යටකී පරිදි, 2020 ජූලි-අගෝස්තු මාස දෙක තුළ අත්අඩංගුවට පත්වූ ගණන 6000 ඉක්මවා ගියේය. මෙම සමාජයීය ගැටළුවේ බරපතළකම වටහා ගැනීමට ඉහත දත්ත හොඳටම ප්‍රමාණවත්ය.
මෙහිලා වඩාත් කනගාටුවට හේතුවන්නේ, මත්ද්‍රව්‍ය මැඩලීමේ රාජකාරිය බාර කෙරුණු සමහර නිලධාරීන්ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ අත්වැල් බැඳ ගනිමින් ඔවුන් සමඟම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීමය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ (නැතහොත් නාකොටික් බියුරෝවේ) ඇතැම් නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියද එය අනාවරණය වූයේ පසුගිය ජූලි මාසයේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව සිටි නිලධාරීන් 18 දෙනෙකු පසුගිය ජූලි මාසයේ අත්අඩංගුවට ගැනුණු අතර, ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පොලිස් විශේෂ කාර්යය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් 12 දෙනෙකු ගැනද තොරතුරු අනාවරණය වී ඇත්තේය. මේ අතරින්, පොලිස් විශේෂ කාර්යය බලකායේ උප පොලිස් පරීක්‍ෂකවරයෙකු, මරණීය දණ්ඩනයට නියම වී සිටින වෙළේ සුදා නමැත්තා සමඟ දුරකතන සංවාද 1000කට වැඩි ප්‍රමාණයක් පවත්වමින් සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත්තේය.
එපමණක් නොව, අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පොඩි ලැසී නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ලබාදුන් මත්ද්‍රව්‍ය කලාප අනුව වර්ග කොට විවිධ වර්ණ යොදා අලෙවි කොට ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත්තේය. නිදසුනක් ලෙස, අම්බලන්ගොඩ ප්‍රදේශයට නිල් පැහැති දවටනවලද, ගාල්ලට කොළ පැහැති දවටනවලද, වැලිගම ප්‍රදේශයට කලු පැහැති දවටනවලද හෙරොයින් බෙදාහරිනු ලැබූ බව අනාවරණය වී ඇත්තේය. මත්ද්‍රව්‍ය වැටලීමේ රාජකාරිය බාරව සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්ය්‍යාංශයේ සමහර නිලධාරීන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත්තේය. මෙම පසුබිම තුළ, වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව නමැති පැරණි සිංහල කියමන නිතැතින්ම මතකයට නැගෙන්නේය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සමහර නිලධාරීන් පමණක් නොව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැම් උදවියද අපරාධ කල්ලි සාමාජිකයන්ට සහාය දී ඇති බවට තොරතුරු වාර්තා වන්නේය. මීගමුව බන්ධනාගාරයේ සිදුවූයේ යැයි කියන දූෂණ හා විෂමාචාර සම්බන්ධයෙන් එහි හිටපු අධිකාරීවරයා ඇතළු සිව් දෙනෙකුව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේය. එපමණක් නොව, බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි සාමාජිකයින් සිරගෙවල් තුළදීද චණ්ඩින් ලෙස හැසිරෙන බවට සාක්‍ෂි දරන සිදුවීමක් ගැන පසුගියදා අසන්නට ලැබුණේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය ජූනි 26 වැනිදා බූස්ස බන්ධනාගාරය වෙත ගිය අවස්ථාවේ, කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී යන අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනා ඔවුනට මරණීය තර්ජන එල්ල කොට ඇති බව වාර්තා වන්නේය.
මේ අනුව බලනා විට, මත්ද්‍රව්‍ය ජාවාරම ශක්තිමත් බූවල්ලෙකු ලෙස මුළු රට පුරාම, සමාජය පුරාම ව්‍යාප්ත වී ඇති බව පැහැදිලිය. එක් පැත්තකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ද, තවත් පැත්තකින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ද (සියල්ලෝම නොවෙති !) මෙම ජාවාරම්වලට සම්බන්ධ බව පැහැදිලිය. පසුගිය මාස කිහිපය තුළ ඉතා සක්‍රියව දියත් කෙරුණු මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩලීමේ මෙහෙයුම් හරහා මත්ද්‍රව්‍ය බෙදාහැරීම් ජාලය අඩපණවෙමින් පවතින්නේය. ආරක්‍ෂක ලේකම්වරයා කිහිප වතාවක්ම අවධාරණය කළ පරිදිම, පාතාල නායකයින්ගේ තර්ජන ගර්ජනවලට බිය නොවී, මෙම මෙහෙයුම් අඛණ්ඩව, අවසානය දක්වාම පවත්වාගෙන යායුතු වන්නේය. එහිදී, මෙම ජාවාරම් මෙහෙයවන මහමොළකරුවන් කොටුකර ගැනීමද අත්‍යවශ්‍ය වන්නේය.
එම ක්‍රියාවලියට සමගාමීව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින උදවිය ඉන් මුදවාගැනීමේ මෙහෙයුමක්ද දියත් කළයුතුව ඇත්තේය. පළමුකොටම, මතට ඇබ්බැහිවීම යනු දරුණු රෝගී තත්ත්වයක් බවත්, ඒ සඳහා ප්‍රතිකාර අවශ්‍ය බවත් අප තේරුම් ගතයුතු වන්නේය. අදාළ පුද්ගලයාගේ පැත්තෙන් බලනා විට මතට ඇබ්බැහිවීම පෞද්ගලික රෝගයක් ලෙස පෙනුණද, සමාජයේ පැත්තෙන් බලනා විට මෙය බරපතළ සමාජයීය ගැටළුවක් වන්නේය. මතට ඇබ්බැහිවූවන්ගේ හැසිරීම් රටා හේතුවෙන් බරපතළ සමාජයීය ගැටළු උද්ගත වන්නේය. මතට ඇබ්බැහිවීම නිසා අදාළ පුද්ගලයාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය දරුණු ලෙස පිහිහෙනවා පමණක් නොව, ඔහුගේ මූල්‍ය තත්ත්වයද දරුණු ඛාදනයකට ලක්වන්නේය. මතට ඇබ්බැහි වූ පුද්ගලයින් සමාජයෙන් කොන්කෙරෙන අතර, ඔවුන්ගේ පවුල්වල ආරවුල්ද උග්‍ර වන්නේය. දිනපතා මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට විශාල මුදලක් අවශ්‍ය වන හෙයින් මතට ඇබ්බැහිවූවෝ නිරතුරුව හොරකම්වලට මංකොල්ලකෑම්වලට පෙළඹෙති. මේ අනුව බලනා විට, මතට ඇබ්බැහිවීම යනු හුදු පෞද්ගලික රෝගයක් පමණක්ම නොව, බරපතළ සමාජ ව්‍යාධියක් බව පැහැදිලි වන්නේය.
මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩලීමේ මෙහෙයුම්වලට සමගාමීව මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලීන්ද ශක්තිමත් කළයුතු යැයි අප අවධාරණය කරන්නේ මෙම පසුබිම තුළය. රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් දැනටමත් මේ උදෙසා කැපවී සිටින බව ඇත්තක් වුවද, එම ක්‍රියාවලීන් තවරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයක් ඇත්තේය. ඊට අමතරව, මතට ඇබ්බැහිවූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සක්‍රිය දායකත්වයද මේ සඳහා අවශ්‍ය වන්නේය. මත් රකුසාගෙන් රට බේරාගැනීමේ ක්‍රියාවලිය ආරක්‍ෂක අංශවලට පමණක් තනිව කළ නොහැක්කක් බව අප සියලු දෙනාම තේරුම් ගතයුතු වන්නේය. මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ යුද්ධයට සමගාමීව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින උදවිය ඉන් මුදවාගැනීමේ මානුෂීය මෙහෙයුමක්ද දියත් කළයුතු බව අප තේරුම් ගතයුතු වන්නේය. ඒ සඳහා අප සියලු දෙනාගේම සහයෝගය අත්‍යවශ්‍යයය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...