පුරවැසි කොලම

අධිනීතිඥ – බරණ ගයාන් පෙරේරා

සියල්ල පසෙකලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවක රංග බැලීමට මෙරට ජනතාවට දැන් සිදුව තිබේ. රාජපක්‍ෂලා නැත්තටම නැති කිරීම සඳහා යහපාලනය විසින් ගෙන එන ලද දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය එක් අතකින් ද, වත්මන් ආණ්ඩුව විසින් ගෙනෙන ලද විසි වැනි සංශෝධනය තව අතකින් ද කරට කර තරග යදිමින් සිටියි. ඒ අතර රටේ බහුතර මතය වී ඇත්තේ අලූත්ම ව්‍යවස්ථාවක් ගෙන එන ලෙසය. මේ වස් ආහාර දේ පිළිබඳව අධිනීතිඥ බරණ ගයාන් පෙරේරා සමග සිදු කරන ලද සාකච්ඡාවක් මෙසේ පළවේ.

ඔබ අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින අධි නීතිඥවරයෙක්. කාලයක් තිස්සේ පුවත්පත් වලට ලිපි සපයමින් නීතිය හා සම්බන්ධව ජනතාව දැනුවත් කර තිබෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතියේ ක‍්‍රමික විකාශනය හා සම්බන්ධවත් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධවත් කථා කරලා තිබෙනවා. කැමතියි දැනගන්න මොකද්ද මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, රටකට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි?

රටක ජනතාව පාලනය කිරීමට යම් පොදු පිළිගත් ක‍්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. රටක අනන්‍යතාව විදහාපෑමක් ඉන් සිදු වෙනවා. ශ‍්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයක් ලෙස හඳුන්වා දෙන්නේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළිනුයි. එමගින් අපේ රට ඒකීය රාජ්‍යයක් බවත් රටේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති බවත් පරමාධිපත්‍යය අත් හල නොහැකි බවත් එකී පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම්, සහ ඡන්ද බලය ඇතුළත් වන බවත් සඳහන් වෙනවා. රටක පාලනය ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය තුළින් සංවිධිතව හා තුළනව (CHECKS AND BALANCES ) ක‍්‍රියාත්මක කරවීමක් අපේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සිදු වෙනවා. සරලවම කිවහොත් රට කරවන විදිය ලියවී තිබෙන මූලික නීතිය ඇතුළත් නීති ග‍්‍රන්ථය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවයි.

මේ දවස්වල නිතරම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන කථා කරනවා. ඇතැමුන් කියනවා වාහනයේ ටයරයට පැච් දහනමයක් දමා ඇති නිසා ධාවනයට සුදුසු නැති බව. ඇත්තටම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන එකතු වෙනවා කියන්නේ එකී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව දුර්වලයි කියන එකද?

කොහෙත්ම නෑ. එක්තරා දිනයක ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය වෙනවා. එතකොට එදා ඉඳලා එකී මූලික නීතිය නිශ්චිත වෙනවා. එයට නීතිමය වලංගුභාවය ලැබෙනවා. නමුත් රටක පාලනය සහ පැවැත්ම ඉදිරියට ගලා යනවා. ඒ රට මුහුණදෙන අභියෝග අභ්‍යන්තරිකව වගේම ජාත්‍යන්තරවත් දිනෙන් දින වෙනස් වෙනවා. ඒ නිසා පාලනය වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කිරීම සඳහාත් ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කිරීම සඳහාත් කාලීන අවශ්‍යතා රටේ මූලික නීතියට අනුගත කරවීම සඳහාත් අවශ්‍ය නීතින්, විටින් විට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට එකතු කළ යුත්තේ මෙම සංශෝධන හරහායි. නමුත් මෙහි ඇති බරපතළම අභියෝගය වන්නේ පාලකයා මෙකි සංශෝධන ගෙන එන්නේ සත්‍ය වශයෙන්ම රටේ ප‍්‍රගමනය සඳහාමද යන්නයි.

මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කළොත් ?

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට එකතු කළ සංශෝධන කිහිපයක් හරහා මෙය සාකච්ඡා කළ හැකියි. අපි මෙහිදී 6 වන සංශෝධනය ගැන කතා කළ යුතු වෙනවා. ඔබ දන්නවා ඇති යාපනයේ නගරාධිපති ඇල්ෆ‍්‍රඞ් දොරේ අප්පා ඝාතනයෙන් ඇරඹුන ශ‍්‍රී ලංකා අභ්‍යන්තර භූමිය තුළ වෙනම රාජ්‍යක් නිර්මාණය කර ගැනීමට වූ ජාතිවාදී මුහුණුවරක් ගත් අරගලය. 83 කලූ ජූලියත් මෙහි අතුරු ප‍්‍රතිපලයක්. ඒ තුළින් ජාතින් දෙකක් ගැටුමකට මුල පුරන්නේ ජාතිවාදය මුල් කර ගනිමින්. මෙවැන්නක් යළි ඇති නොවීමට සහ ඒකීය රාජ්‍යය සුරක්ෂිත කිරීම එදා දවසේ කාලීන අවශ්‍යතාවක් වුණා.

එකී සංශෝධනය තුළින් ජාතීන් අතර ජනවාර්ගික ගැටලූව පදනම් කරගෙන ලංකා භූමිය තුළ වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීම ඒ වෙනුවෙන් පෙනී සිටීම ඊට අදාළ මොනයම්ම හෝ වැඩ පිළිවෙළකට ආධාර අනුබල දීම අනුග‍්‍රහය දැක්වීම මූල්‍ය ආධාර ලබාදීම දේශන පැවැත්වීම තහනම් කළා. මෙය පුරවැසි මූලික හා භූමී මූලික සංශෝධනයක්. ඒකීය රාජ්‍යය හා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කළ යුතු සංශෝධනයක්. තවදුරටත් කිවහොත් සිදුවිය යුතුම වූ සංශෝධනයක්. මෙම සංශෝධනයෙන් පසුව සෑම රජයේ නිලධාරියෙක්ම නැවත දිවුරුමක් දෙනු ලැබුවා රටේ ඒකීය භාවය ආරක්ෂා කරන බවට හා රට බෙදන කිසිදු කටයුත්තකට සහභාගි නොවන බවට. මේ දිවුරුම එදා සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද සිදු කරනු ලැබුවා. ඒකීය රාජ්‍යයක් පිළිගැනීමට වූ අකැමැත්ත නිසාම අමිර්තලිංගම් මහතා සහ තවත් ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඔවුනගේ මන්ත‍්‍රීධුරය පවා අතහරිනු ලැබුවත් පසු කාලීනව ද්‍රවිඩ දේශපාලකයන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුගතව කටයුතු කරන්නට වුණා.

ඒ නිසා අද පාර්ලිමේන්තුවේ ඉන්න සෑම මන්ත‍්‍රීවරයෙක්ම සිය නිල දිවුරුම ලබාදීමත් සමගම මේ රටේ ඒකීයභාවය ස්වෛරීයභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමත් ඒ වෙනුවෙන් පෙනී සිටීමත් අනිවාර්යයෙන්ම සිදු වන්නක්. ඒ වගේම 13 වන සංශෝධනය ගැනත් කථා කළ යුතු වෙනවා.

ඊට පෙර දැනගන්න කැමතියි 13 වන සංශෝධනය ගෙන ඒමට පාදක වූ පරිසරය ගැන

මේ සඳහා පදනම වැටෙන්නේ ඉන්දු ලංකා ගිවිසුම හරහායි. ඔබ දන්නවා ඇති ඉන්දියාව ගුවනින් ලංකාවට පරිප්පු හෙළීමේ සිදුවීම. මේ හරහා ඉන්දියාව ඔවුනගේ බල පුළුවන්කාරකම ලංකාවට පෙන්වීමට උත්සාහ කළා. ඇතැම් විචාරකයන්ගේ අදහස වුණේ එය ලංකාවේ ස්වෛරීභාවයට බරපතළ තර්ජනයක් වූ බවයි. අසල්වැසි කිට්ටුම රාජ්‍යයේ හොඳ හිත දිනාගැනීම සඳහා බලය විමධ්‍යගත කිරීමේ අභිලාශයෙන් ඉන්දු ලංකා ගිවිසුම කරළියට ආ බව පෙනෙන්නට තිබූ කරුණක්. ශ‍්‍රී ලංකාවෙන් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාත් ඉන්දියාව වෙනුවෙන් එරට අගමැති රජිව් ගාන්ධිත් එකී ගිවිසුම අත්සන් කළ අතර එකී ගිවිසුමේ 2 වන වගන්තිය බලගැන්වීමක් වශයෙන් පළාත් සභා පිහිටුවීම පෙන්වා දිය හැකියි. නමුත් මෙම 13 වන සංශෝධනය හරහා ලංකාව පළාත් 9 කට බෙදමින් සෑම පළාතකටම පළාත් සභාවක් පිහිටුවනු ලැබුවා. විශේෂ බලතල පළාත් සභාවට අන්තර්ගත කිරීමේදී පළාතේ ඉඩම් බලතල හා පොලිස් බලතල ඊට ඇතුළත් විය. නමුත් අදටත් එකී ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවට පවරා ක‍්‍රියාත්මක කරවීම මධ්‍යම රජය සිදු නොකළ අතර එය ඔවුන් යටතේ තබා ගැනීමට කටයුතු කර ඇත්තේ මා සඳහන් කළ පරිදි රටේ ඒකීයභාවය ආරක්ෂා කරගත යුතු නිසයි. මෙම පළාත් සභා පිහිටුවීම රටේ ඒකීයභාවය අභියෝගයට ලක් වීමක් වශයෙන් දැක්විය හැකියි. මෙම සංශෝධනය සිදු කරන අවස්ථාවේ 1987 වසරේ රට තුළ බලවත් ජනතා විරෝධතාවයක් ඇති වුණා. විදේශ බලපෑමට යටත්ව රටට ඔබින්නේ නැති පාලන අධිකාරින් රට තුළ පිහිටුවීම එදින රජයට මුහුණ දීමට සිදු වූ අභියෝගයක් වුණත් අද වන විට රට තුළ සිවිල් පාලනය සුරක්ෂිත කරමින් යුද ජයග‍්‍රහණ ලබමින් බෙදුම්වාදයට තිත තබා ඇති මොහොතක පළාත් සභා තවදුරටත් රටට අවශ්‍යද යන්න විමසා බැලිය යුතුයි. හැබැයි පළාත් සභා අහෝසි කරන මුවාවෙන් 13 වන සංශෝධන ඉවත් නොකළ යුතුයි. හේතුව එකී සංශෝධනය තුළ වූ සුබවාදි ප‍්‍රවනතාවන් අප අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ රඳවා ගැනීම අනිවාර්යයෙන්ම විය යුත්තක්. උදාහරණයක් ලෙස දමිළ භාෂාව රාජ්‍ය භාෂාවක් කිරීම පෙන්වා දිය හැකියි. බෙදුම්වාදි අදහස් ඇත්තවුන්ගේ වුවමනාව 13 වන සංශෝධනයට එහා ගිය 13 ප්ලස් යන්නයි. එනම් 13න් ඔබ්බට යන්නයි. නමුත් ඒ වෙනුවට මා විශ්වාස කරන්නේ 13 ආපස්සට යන්නයි. ඒ නිසයි කාලීන අවශ්‍යතා හමුවේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය වන්නේ. ඒ නිසයි ඇතැමුන් මෙම සංශෝධන ටයරයට පැච් 19ක් දමා ඇති බැවින් ධාවනයට නුසුදුසු බවට ගෙන එන උදාහරණය මෙහිදී යෝග්‍ය උදාහරණයක් නොවන්නේ. 2001 වර්ෂයේදි සම්මත වූ 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාදායක සභාව නොහොත් කවුන්සිලය ආරම්භකර ජනාධිපතිවරයා සතු අග විනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරන් පත් කිරීම නීතිපතිවරයා පත් කිරීම, විගණකාධිපති, පොලිස්පති පත් කිරීම හා සම්බන්ධ බලතල එතුමාගෙන් ඉවත් කොට ඔවුන් නිර්දේශ කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාවට පවරනු ලැබුවා. තවදුරටත් මෑත කාලීනව කථා බහට ලක් වුණ මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කිරීමේ නිත්‍ය කොමිෂන් සභාව සහ තවත් වැදගත් කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම සඳහා වූ නිර්දේශයන් කිරීමට වූ ජනාධිපතිවරයා සතු බලතල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාවට පවරනු ලැබුවා. මෙයද රටකට සුභවාදී ප‍්‍රතිසංස්කරණයක් වන්නේ එමගින් රටේ පාලන අධිකාරින් එකිනෙකාගෙන් ස්වාධීනව කටයුතු කිරීමට වූ පරිසරයක් නිර්මාණය කරවීමට ගත් උත්සාහයක් නිසාවෙන්. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික සංයුකිය සැලකීමේදී ද එහි යම් ප‍්‍රජාතන්ත‍්‍රවාදි මුහුණුවරක් පෙන්නුම් කරන බවත් කිව යුතුයි. මේ තත්ත්වය බලතල බෙදීමේ න්‍යාය ක‍්‍රියාත්මක වීමේ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි. 2015 වර්ෂයේදි සම්මත වූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු විධායක බලතල බොහෝමයක් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

අගමැතිවරයාට විධායක බලතල පවරාදීමක් තුළින් පාර්ලිමේන්තුව ශක්තිමත් කර ගැනීමක් අරමුණ වූ බව පැහැදිලිය. ජනතාවට තොරතුරු දැනගැනීමට වූ අයිතිය හා මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් වූ සංශෝධන ජනතාවාදි ප‍්‍රගමනයන් වූ නමුත් ජනාධිපතිවරයාගේ බලතල, ධුර කාලය, වයස් සීමාව හා නැවත පත්වීමට ඇති සීමාවන් සැබවින්ම ජනතාවාදීද පුද්ගලවාදී ද යන්න ගැන සිතා බැලිය යුතු වෙනවා.

දැන් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පාදනය වීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින අතර එකී කෙටුම්පත නැවත සමාලෝචනයට ලක් වීම සුබවාදි ප‍්‍රවනතාවක් ලෙස දැකිය හැකිය.

සත්‍යවශයෙන්ම 17 හා 19 සංශෝධනයන් මගින් විධායක ජනාධිපති බලතල ව්‍යවස්ථාදායකය සතු කර ගැනීම රටට වැඩදායී ප‍්‍රවනතාවක් නොවන්නේද ව්‍යවස්ථාදායකයට විධායක ජනාධිපති බලතල පවරාගැනීම හොඳ දෙයක්. නමුත් ඒ ක‍්‍රියාවලිය යහපත් චේතනාවෙන් සිද්ධ වුණාද යන්න විවාදිතයි. හේතුව 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ අගමැතිවරයා වශයෙන් පත්වුන ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මැදිහත්වීම මතයි. එතුමා ලබාගත් ජනවරම ප‍්‍රයෝජනයට ගනිමින් එකී 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ දෙවන සංශෝධනය ප‍්‍රකාරව ඔහු විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් නිර්මාණය කරනු ලබනවා. පසුව ඔහු ජනමත විචාරණයකට නොගිහින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගනිමින් විධායක ජනාධිපතිවරයා වශයෙන් ඔහුවම පත් කරගෙන සමානුපාතික ඡන්ද ක‍්‍රමයක් හඳුන්වා දෙමින් කිසිම පක්ෂයකට 2/3 ක බලයක් ලබාගත නොහැකි පරිසරයක් නිර්මාණය කර ගනිමින් ඔහුගේ පාලන බල අධිකාරිය පිහිටුවා ගනු ලබනවා. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ස්ථාවර රාජ්‍යයක් නිර්මාණය කිරීමේ සාධනීය ලක්ෂණ තිබුණත් එහි වූ අධික බල කේන්ද්‍රණයක් විධායකය සතු වීම නිසාම ඒ දවස කට වහරට කියවුණේ ඔහුට කළ නොහැක්කක් නොමැති බවත් කළ නොහැකි එකම දෙය නම් ගැහැනියක පිරිමියක් කිරීම පමණක් බවයි. ඒ නිසා 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මේ රටේ ජනතාවට හා රටට ගැළපෙන ව්‍යවස්ථාවමද යන ගැටලූව නිරන්තරයෙන් විවාදයට ලක්වුණා. බලයට පත්වුණ පාලකයන්ගේ මැතිවරණ ප‍්‍රකාශනවලදි විධායක ජනාධිපති බලතල අහෝසි කරන බවට ප‍්‍රකාශනයන් තිබුණත් කිසිවකුත් ඊට මැලිකමක් දක්වන්නේ එහි වූ අසිමිත බලතල භුක්ති විඳීමට වූ ගිජු කම නිසාය.

2001 වසරේ ඇරඹි රනිල් චන්ද්‍රිකා යුගයේත් 2015 සිට ඇරඹි රනිල් මෛත‍්‍රී යුගයේත් 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට යම් ප‍්‍රජාතන්ත‍්‍රවාදි මුහුණුවරක් ලැබෙන්නේ අගමැතිවරයා ප‍්‍රමුඛ ව්‍යවස්ථාදායකය හා විධායක ජනාධිපතිවරයා පක්ෂ දෙකකින් පත් වීම නිසා යම් බල තුලනයක අවශ්‍යතාවක් පැන නැගුන නිසා යැයි කිව හැක.

ඒ නිසා ඔබේ ප‍්‍රශ්නයට ඇති සරලම උත්තරය 17 හා 19 සංශෝධන පුද්ගල කේන්ද්‍රගත වුණත් යම් යම් ජනතාවාදී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ එමගින් පෙන්නුම් කළ බවයි. නමුත් පුද්ගල කේන්ද්‍රගත වීම නිසාම අද වන විට 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිවැරදි කරනවා වෙනුවට අවලංගු කිරීමට උත්සාහ ගැනීම කනගාටුවට කරුණක් බව කිව හැකියි. බොහෝ අයගේ මතය වුණේ 19 සංශෝධනය වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවත විධායක ජනාධිපති වේවි යැයි සිතා ඊට මංපෙත් ඇහිරීමේ අරමුණින් රාජපක්ෂ විරෝධී ව්‍යවස්ථා සංශෝධනයක් බවයි. නමුත් අප අමතක නොකළ යුතුයි යහපාලන රජය බලයට ගෙන ඒමට කැපවුණ සිවිල් සංවිධාන රැසක වුවමනාව වූ දීර්ඝ කාලීනව ජනතාව බැට කෑ විධායක ජනාධිපති බලතල කප්පාදු කළ, ජනතාවට වගකියන පාලන ක‍්‍රමවේදයකට අනුගත වීමට තිබූ වුවමනාව 19 වන සංශෝධනය තුළින් කරළියට ආ බවයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත විශාල වශයෙන් කතා බහට ලක්වුණා. එහි ඇති සාධනීය ලක්ෂණය නම් එකී කෙටුම්පත නැවත සලකා බැලීමට රජය කටයුතු කිරීමයි. සංශෝධන කෙටුම්පත සකස් කළේ කවුද යන්න පවා අභිරහසක් වෙලා. මේ ගැන ඔබේ අදහස

මේ වෙලාවේ ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීම ඉක්මන් වැඩි බව මගේ අදහසයි. හේතුව රජය උත්සාහ කරන්නේ 19 වන සංශෝධනය අහෝසි කිරීමටයි. නමුත් ඔවුන්ට 19 තුළ වූ ජනතාවාදි ප‍්‍රගමනයන් අතහැරීමටත් අකැමැත්තක් තිබෙනවා. 19 අවලංගු කළොත් 18 වන සංශෝධනය ක‍්‍රියාත්මන වෙනවා. එයටද අකැමැති බවයි පෙනෙන්නේ. ඒ නිසා රජය කරන්නට යන්නේ කුමක්ද යන්න ගැන අපට බලා සිටීමට වෙනවා.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් තිබෙනවා යැයි ඔබ හිතනවාද

ඔව්. අපි නිදහස ලැබුවායින් පසු අපිටම කියා සම්මත කර ගත් 1972 නව ජනරජ ව්‍යවස්ථාවත් ඊට පසුව එය එපා කියා සකස් කර ගත් 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවත් අද ජනතාව ප‍්‍රතික්ෂේප කරමින් ඉන්නේ. 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් සමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේ කිසිම පක්ෂයකට 2/3 ක බලයක් ලබා ගත නොහැකි බවට මතයක් තිබුණද රටේ ජනතාව 2/3 ක බහුතර බලයක් සහිත රජයක් පිහිටුවලා තියනවා. ඉතිං දැන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප‍්‍රමුඛ රජයට වරමක් තිබෙනවා ඒ සඳහා. අපි කල්පනාකාරී විය යුත්තේ රටේ මූලික නීතිය වෙනස් කිරීමේදී ඒ කටයුත්ත පවරන්නේ කාටද යන්නයි. රටක් ඒකීයද ෆෙඩරල්ද ක්වාසී ඩරල්ද, රට හඳුන්වන නාමය ජාතික ගීය ජාතික කොඩිය රාජ්‍ය ආගම රාජ්‍ය භාෂාව පුරවැසිභාවය මේ සියල්ල කථා කරන්නේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන්. ඒ විතරක් නෙමේ ජනතාව සතු මූලික අයිතිවාසිකම් මහජන ආරක්ෂාව නීති පද්ධතිය අධිකරණ ව්‍යුහය එහි ක‍්‍රියාකාරිත්වය දක්වා ඇත්තේද රටේ පාලන ක‍්‍රමවේදය එනම් විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය එහි බලතල වරප‍්‍රසාද හා සීමා කිරීම් , රටේ මූල්‍ය ප‍්‍රතිපත්තිය රාජ්‍ය ප‍්‍රතිපත්තීය ජාතික ආරක්ෂාව මේ සියල්ල විධිමත්ව පෙළගස්වා ඇත්තේත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන්. අපි දීර්ඝ කාලයක් යටත් විජිතයක්ව සිට නිදහස ලැබීමෙන් පසු සෝල්බරී ව්‍යවස්ථාවෙන් පාලනය වුණා. ඊට පසු 1972 නව ජනරජ ව්‍යවස්ථාවත් ඊට පසුව 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවත් යටතේ පාලනය වුණා. නමුත් කනගාටුවට කරුණ මේ සියල්ල රටට සුදුසු යෝග්‍ය ස්වතන්ත‍්‍ර නීති පද්ධතියක් නොවීමයි. සමහරක් වෙස්මිනිස්ටර් ආකෘතිය අරගෙන අනික ප‍්‍රංශ ඇමරිකානු ආකෘතින් යොදාගෙන. ඒ නිසා ක‍්‍රියාත්මක වීමේදී අපේ නොවන වගේ හැඟීමක් තිබෙනවා.

ඒනිසා විය යුත්තේ දේශපාලන වුවමනාව හෝ දේශපාලන කැමැත්ත ඉටු කිරීම නොවේ කාලය අරගෙන මූලික නීතිය සකස් කිරීම සඳහා පරිනත දැනුමැති වියතුන්ගෙන් සැදුම්ලත් ස්වාධීන කණ්ඩායමක් පත් කර ගැනීමයි. ජනතා මැදිහත් වීමක් ලබා ගැනීමයි. විශ්වවිද්‍යාල මහාචාර්යවරු ආචාර්යවරු වෘත්තිකයන් ආර්ථික විශ්ලේෂකවරුන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ ප‍්‍රවීණත්වය ලත් නීති විශාරදයන් විශ‍්‍රාමික ශ්‍රේඨාධිකරණ විනිසුරුවරුන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ප‍්‍රවීණයන් යනාදී වූ අයගේ දායකත්වයෙන් සැසිවාර පවත්වමින් මෙම කටයුත්ත සිදු කළ යුතුයි. රටට වැඩදායී, සහ පුද්ගලයන් රකින්න නොව රට රකින්න, රටේ භෞමික අඛණ්ඩතාව රකින්න, රටේ ජනතාව රකින්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින්න අපටම අනන්‍ය වූ නව ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව මගේ අදහසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More