ගෝඨාභය රාජපක්ෂ යනු තවමත් දේශපාලනඥයෙක් නොවේ. සාම්ප‍්‍රදායික කූට දේශපාලන ගතිගුණ ඔහුට නැත. යුද සෙබළකු ලෙසත්, පරිගණක තාක්ෂණ ශිල්පියකු ලෙසත්, අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙසත් කටයුතු කර ඇති ඔහු ස්ථිර වශයෙන්ම වෙනම පරිපාලන ඒකකයකි. මහින්ද රාජපක්ෂගේ දේශපාලන චරිතය සහ ගෝඨාභයගේ දේශපාලන නොවන චරිතය අතර වෙනස්කමක් තිබේ. මහින්ද, ජනතාව සමග සිටියේය. ජනතාව ගෝඨාභය සමග සිටියේය . ජනතාව, මහින්ද රාජපක්ෂ සමග නොසිටි බවක් මෙයින් නොහැෙඟ්. 2015 දී මහින්ද පැරදුණු විට අඩුම ගණනේ පනස් ලක්ෂයක ජන ගංගාවක් ඔහුගේ සුව දුක් බැලීම සඳහා මැදමුලනට ගියේය. මේ නිසා යහපාලන ආණ්ඩුව ඉරිසියාවෙන් කුපිත වී පුපුරන්නට විය. මහින්ද යනු ජනතා ආකර්ෂණය ඉහළින්ම දිනූ දේශපාලනඥයකි. මේ අතර හුදකලා මිනිසකු වූ ගෝඨාභය 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විට හැට අට ලක්ෂයක ජනගහනයක් සැණෙකින් ඔහු වෙත දිව ගොස් ඔහු හා එක පෙළට හිට ගත්හ. ජයග‍්‍රහණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ තමන්ටම ආවේණික වූ ස්වකීය පරිපාලන ඒකකය ක‍්‍රියාත්මක කරවීය. ඔහුගේ ලේකම් ලෙස පත්වූ ආචාර්ය පී. බී. ජයසුන්දර ද වෙනම පරිපාලන ඒකකයකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි කාලයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළා වූද කිසිදු ඇමැති කෙනකුට සර් නොකියා ඇමැතිතුමා ලෙස පමණක් ආමන්ත‍්‍රණය කළා වූද පී. බී. ජයසුන්දර, මහින්ද පැරදුණු පසු නිකවැරටියේ පිහිටි තම ඉඩමේ අඹ වවමින් කාලය ගතකළ අතර කොළඹට පැමිණීම ප‍්‍රතික්ෂේප කළ වෙනස් මිනිහෙක් විය.
අපගේ මේ කතු වැකියට නිමිති වන්නේ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර සියලූ විදුහල්පතිවරුන්ට දුන් උපදෙසකි. ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ, අගමැති කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝග බව සඳහන් කරමින් පාසල්වලට ළමයින් ඇතුළත් කරගන්නා ලෙස විදුහල්පතිවරුන්ට බලපෑම් කරන ලිපි නොපැකිල ප‍්‍රතික්ෂේප කරන ලෙස ඔහු විදුහල්පතිවරුන්ට දන්වා ඇත. මේ නියෝගයට අත්සන් කළ අත ආචාර්ය පී. බී. ජයසුන්දරගේ වුවද එම හස්තය පාලනය කරන හඬ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බව අපි කල්පනා කරමු. ඒ අනුව පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ හෙවත් පාසල්වල පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේ ඛේදවාචකය ගැන සාකච්ඡා කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නෙමු.
මේ වූ කලී ආණ්ඩුවේ ඉස්කෝල වලට පමණක් නොව ජාත්‍යන්තර පාසල්වලට ද ළමයින් ඇතුළත් කර ගැනීමට පවා දේශපාලනඥයන්ගේ ලියුම් හෝ සිවිල් සමාජයේ උපරිම කෙළි කාරයන්ගෙන් ලියුම් ගෙනා යුතු කාලයකි. උසස් බෞද්ධ පාසල් වලට දරුවන් ඇතුළත් කිරීමට ඇමැතිවරුන්ගෙන් ගෙනෙන ලියුම් ක්ෂණිකව ක‍්‍රියා කරයි. උසස් කතෝලික පාසල් වලට දරුවන් ඇතුළත් කිරීමට නම් ආගමික ප‍්‍රධානීන්ගෙන් ගෙනෙන ලියුම් වලට ලොකුම තැන ලැබේ. මේ ලියුම් වර්ග දෙකෙන් පළමුවැන්න දේශපාලන මැදිහත්වීමකි. දෙවැන්න දිව්‍යමය මැදිහත් වීමකි. ඇතැම් ජාත්‍යන්තර පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීම සඳහා අගමැති කාර්යාලයෙන් හෝ ජනාධිපති කාර්යාලයෙන් දෙන ටෙලිෆෝන් කෝල් එක සැරටම වැඩ කරයි. ජාත්‍යන්තර පාසලක් යනු තනිකරම මුදල් මත දිවෙන අධ්‍යාපන කෝච්චියකි. මේ කෝච්චියට ළමයින් නංවා ගනු ලබන්නේ සුවිශාල ඇඞ්මිෂන් ගාස්තු සහ ටර්ම් ෆීස් අයකර ගැනීමෙන් පසුවය. මේ ගාස්තු ගෙවීමෙන් පසු ඇතැම් දෙමාපියන්ට කෝච්චියට පැනීමට සිදු වේ. මේ සා මුදල් කන්දරාවක් අත පත ගාන ජාත්‍යන්තර පාසල් දේශපාලනඥයන්ගේ හෝ වෙනත් සිවිල් කෙළිකාරයන්ගේ ලියුම්වලට අවනත වීම පදනමක් නැති වැඩකි. එහෙත් සිදුවන්නේ එයමය.
ලංකාවේ පාසල් සියල්ල එක සමාන නැත. ”කිරි” පාසල් කොළඹත් ”කැකිරි” පාසල් පිටිසරත් පිහිටා තිබේ. කිරි පාසල්වල ඉගෙනගන්නා ළමයින්ට අනාගතයේදී කිරි ඉතිරෙන අතර කැකිරි පාසල්වල ඉගෙනගන්නා ළමයින්ට අනාගතයේදී සිදුවන්නේ කැකිරි බිස්නස් කිරීමටය. කිරි බෝතලයක් රුපියල් දෙසීයක් වන අතර කැකිරි ගෙඩියක මිල රුපියල් දහයකි. සමාජය දෝලනය වන්නේ මෙකී ආර්ථික පරාසය තුළය. ඒ නිසා කැකිරි හේන් පිටින් ඉඩම් කට්ටි කරන වෙන්දේසිකාරයින්ට විකුණා ඒ මුදලින් තම දරුවන් කිරි පාසල්වලට යැවීමට මාපියෝ කැමැත්තාහ. පුතා මතු අනාගතයේදී කිරි සහ චීස් විකුණනවා මිස කැකිරි සහ පතෝල විකුණනවා දැකීමට මා පියෝ කැමති නොවෙත්.
සිය දරුවා හැකි ඉහළම පාසලට ඇතුළත් කිරීමට දෙමාපියන් දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් පසුපස දිව යන්නේත් කපුවන්ට සල්ලි දී දෙවියන්ට භාර වන්නේත් ඉහත සඳහන් ආර්ථික පරාසය නිසාය. පුළුල් ආර්ථික පරාසයක් යනු පුළුල් සමාජ පරාසයකි. පුළුල් සමාජ පරාසයක් යනු පුළුල් දේශපාලන පරාසයකි. සිය දරුවා උසස් පාසලකට යවනු පිණිස එම පාසලේ විදුහල්පති සමග ඇඳට යෑමට ඇතැම් අම්මලා සූදානම්ය. එයට හේතුව ඒ අම්මාට අමුතු අමාරුවක් තිබීම හෝ තාත්තාගෙන් යුතුකම ඉටු නොවීම නොවේ. විශේෂයෙන් අම්මලා තම දරුවන්ගේ යහ සාධනය උදෙසා හැකි දේ මෙන්ම නොහැකි දේ ද කරති. හැඩි දැඩි කුණු ගඳ ගහන කාලකණ්ණි මස් පර්වතයක් සමග පැයකට යහන්ගත වීමට අම්මා තීරණය කරන්නේ දරුවාගේ අනාගත අධ්‍යාපනය වෙනුවෙන් ලේ මස් පූජා කිරීමේ තෑගිවන්ත මනෝභාවය මතය.
අද වන විට ජනප‍්‍රිය පාසලක පළමුවන වසරට දරුවකු ඇතුළත් කිරීම සමස්ත ලංකා මට්ටමේ අංග සම්පූර්ණ ඛේදවාචකයකි.
(මේ ඛේදවාචකය පිළිබඳ හෙට දිනපතා දිවයින කතු වැකියෙන් විමසා බලමු.)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...