යෝජිත 20 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නැගෙන විරෝධතාවන්ට ප‍්‍රතිචාර දක්වමින් රජයේ ස්ථාවරය කියා සිටින අධ්‍යාපන අමාත්‍ය ජී. ඇල්. පීරිස් මහතා ප‍්‍රකාශ කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේදි සහ මහා මැතිවරණයේදි 19 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ජනවරමක් ලබා දී ඇති බවයි. ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී ලබා දුන් සුවිශාල ජාතිකවාදි ජනවරම ” ඕනෑම දෙයක්” කිරීමට ලබා දුන් බලපත‍්‍රයක් ලෙස සැලකීම එක්කෝ දේශපාලන අපරිණතබව විය යුතුය. නැත්නම් උද්දච්චකම විය යුතුය. දෙකෙන් කුමක් වුවත් අවසානයේදි සිදුවන්නේ ජනවරමේ සුජාතබව කැළල් වීමෙන් ආණ්ඩුව කුරුවල් වී විදේශීය අත පෙවීම් සහ ඔවුන්ගේ දේශීය ඒජන්තයන්ට අරාබි වසන්තයකට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමයි.
ජී. ඇල්. පීරිස් මහතාගේ ස්ථාවරය දැන් රජයේ අනෙකුත් අමාත්‍යවරුන් විසින් ද පුනරුච්චාරණය කරමින් සිටිති. මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයා විසින් 19 වන සංශෝධනය රාජපක්ෂවරුන් කෙරෙහි වෛරයෙන් ගෙන එන ලද දේශපාලන සංශෝධනයක් බව කියයි. එසේ නම් පළමුව කළ යුත්තේ එදා 19 ට අත එසවූ වර්තමාන ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් කවුරුන්ද යන්න ජනතාවට හෙළිදරව් කිරීමයි. 17 වන සංශෝධනයටත්, 18 ටත් 19 ටත් අත එසවූ පිරිසක්, 20 සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ප‍්‍රශස්ති ඇසීමට මෙරට දේශපේ‍්‍රමී ජනතාව නිවට නොවන බව සිහිකටයුතුය. දේශපාලන බුද්ධියේ විනිශ්චයකට ඉඩ නොතබා, පක්ෂ නායකයාගේ මතයට අත ඔසවන ආචාර්ය, මහාචාර්යවරුන්ගේ සිට අට පාස් නැති ජනතා නියෝජිතයන්ගේ මතය නිවරැදි යැයි එක්වරම පිළිගැනීමට අපට පෙළඹවීමක් නැත. තල් අත්තට ගෙඩියක් වැටුණු විට ලෝකේ පෙරළෙනවා යැයි සිතා අවිචාරව පෙරහැරේ දිවීම ජාතික ව්‍යාපාරයේ ස්වභාවය නොවේ. නැවතී බලා සිහි බුද්ධියෙන් විමසා තේරුම් ගැනීමට තරම් දේශපාලන පරිචයක් ජනවරම බල ගැන්වූ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට ඇත.
ජනවරම තේරුම් ගත යුත්තේ හෝ එය අර්ථ නිරූපණය කළ යුත්තේ ජාතිකවාදි බලවේග විසින් යහපාලන ආණ්ඩුව පරාජයට පත් කිරීමට පෙළ ගැසුනු කාරණා මොනවාද යන්න තේරුම් ගැනීම තුළයි.
විශේෂයෙන්ම ප‍්‍රස්තුතය වන 19 වන සංශෝධනය සම්බන්ධයෙන් ජාතික බලවේග දැක්වූ ස්ථාවාරය කුමක්ද? 19 යෙහි මහ සැලස්ම වූයේ දෙවන ජනරජ ව්‍යවස්ථාවේ සාරය වූ විධායක ජනාධිපති ධුරය බලය කප්පාදු කිරීමෙන් ආණ්ඩුවේ බල කේන්ද්‍රයන් දෙකක් නිර්මාණය කිරීමෙන් ආකාර්යක්‍ෂම ආණ්ඩුකරණයක් මගින් රාජ්‍යය දුර්වල කිරීමයි. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඉදිරියේ දිග හැරෙන ආරක්ෂක හා බුද්ධි අංශ ප‍්‍රධානීන්ගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ සාක්ෂි අනුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුමින් ජාතික ආරක්ෂාව විහිළුවක් බවට පත් වූ ආකාරයත් රාජ්‍යයේ ස්ථාවරත්වය ත‍්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වූ ආකාරයත් තේරුම් ගැනීමට අමුතු බුද්ධියක් අවශ්‍ය නොවේ. සිරිසේන ජනාධිපතිවරයා බිලිබෝයි කරගෙන ජනවාරි 08 කුමන්ත‍්‍රණය පිටුපස සිටි බටහිර බලවේග, ඩයස්පෝරාව සහ රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාව වූයේ මේ මහ සැලැස්මයි. රාජපක්ෂවරුන් ඉලක්ක කොටගෙන තිබූ යම් යම් වගන්ති රාජපක්ෂ වෛරයෙන් පෙළුනු චන්ද්‍රිකා, ජවිපෙ වැනි කොටස් එකතු වීම වෙනුවෙන් පිදුණු දොළ පිදේනි පමණක් විය. 19 වන සංශෝධනය මගින් ජනතාව විසින් ජනාධිපතිවරයාට පවරන ලද විධායක බලය උදුරා ගැනීම ව්‍යවස්ථා විරෝධී කටයුක්තකි. රටම එක් මැතිවරණ කොට්ඨාසයක් වශයෙන් සලකා පැවැත්වෙන මැතිවරණයකින් ජනතා පරමාධිපත්‍යය ක‍්‍රියාත්මක කිරීමට බලය ලබන ජනාධිපතිවරයාට තමන්ට පවරන ලද විධායක බලයෙන් කොටසක් රඳවා ගැනීමට නොහැකි වීම පදනමක් නැති අතාර්කික විහිළුවකි. ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තියෙන් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පවරා ඇති වගකීම ඉෂ්ට කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තමන් වෙත තබා ගැනීමට ජනාධිපතිට නොහැකි වීම ව්‍යවස්ථා විකෘතියකි. තමන්ට සහාය නොවන පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය අවුරුදු හතරහාමාරක් දක්වා දීර්ඝ කිරීම රට අරාජික කිරීමකි. 19 වන සංශෝධනය සම්බන්ධයෙන් 2002 දි සහ 2020 දි ජවිපෙ ඉදිරිපත් කළ 20 වන සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය වශයෙන් දක්වා සිටියේ එවැනි බලතල කප්පාදුවක් ජනමත විචාරණයකින් තොරව කළ නොහැකි බවයි. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලය, අමාත්‍යධුරයක් දැරීමට ඇති බලය ප‍්‍රතිෂ්ඨාපනය කිරීම කිසිසේත්ම ගැටලූවක් නොවේ.
19 අනෙක් ගැටලූව රටට හෝ පාර්ලිමේන්තුවට වග නොකියන විදේශ ඩොලර් වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සභාව වැනි ආයතනවලට ඇතුල් වීමට සහ ඒ හරහා රටේ සුබ සෙතට ඉවහල් නොවන තීන්දු තීරණ ගැනීමට ඉඩ සලසා දීමයි. ඉහළ තනතුරුවලට පත් කිරීමට ජනාධිපතිවරයා සතු බලය පාර්ලිමේන්තුවේ සංවරණයට ලක් කිරීම පිළිගත හැකි අවශ්‍ය දෙයක් වුවද එය විදේශීය න්‍යාය පත‍්‍රයට වැඩ කරන රාජ්‍ය නොවන සංවිධාන අතට පත් කිරීම, යහපාලන ආණ්ඩුව ගෙන ඒමට ඔවුන් කළ බැල මෙහෙවරට කෘතගුණ දැක්වීමකට වැඩි යමක් නොවේ.
නමුත් ප‍්‍රශ්නය වන්නේ ඉහත කාරණාවලින් පරිභාහිරව 20 සංශෝධනයට ඇතුළත් කර ඇති සමහර වගන්ති ජනවරමට අනුකූල යැයි අර්ථ දක්වන්නේ කුමන පදනමකින්ද යන්නයි.
මහා බැංකු වංචාව, යහපාලන ආණ්ඩුවේ ජනප‍්‍රියතාව මාස ගණනාවක් තුළ පහළට ඇද දමන ලදි. ඊට එරෙහිව සටන් කළ ජාති මාමක බලවේගයන්හි අපේක්ෂාව වූයේ රටේ මූල්‍ය විනය, විනිවිදභාවය ආරක්ෂා කිරීමයි. එය උල්ලංඝනය වන්නේ රනිල් වික‍්‍රමසිංහ රජය යටතේද වෙනත් ආණ්ඩුවක් යටතේද යන්න වැදගත් නොවේ. එවැනි ජනමතයකින් බලගැන්වූ ජනවරමක් විගණන කොමිසම ඉවත් කිරීමට හෝ රජයේ සමාගම් හෝ අග‍්‍රාමාත්‍ය කාර්යාලය රාජ්‍ය විගණනයෙන් බැහැර කිරීමට ඉල්ලා සිටින ලෙස අර්ථ දක්වන්නේ කෙසේද? 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලදි දූෂණ විරෝධය කිසිවකුට ප‍්‍රතික්ෂේප කළ නොහැකි සටන් පාඨ බවට පත් විය. විගණන කොමිසම ඉවත් කිරීම සහ රාජ්‍ය ආයතන විගණනයෙන් බැහැර කිරීමෙන් පාර්ලිමේන්තුවට 148 ව්‍යවස්ථාවෙන් පවරා ඇති මූල්‍ය පාලන බලය අහිමි වේ.
යෝජිත සංශෝධනයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය සංශෝධනය කිරීමට යෝජනා කර නොමැත. එම ප‍්‍රතිපාදන 19 වන සංශෝධනයේ සාධනීය කොටසක් වන නිසාවෙන් විය යුතුය. විගණන කොමිසම ඉවත් කිරීමෙන් සහ රාජ්‍ය ආයතන විගණනයෙන් බැහැර කිරීමෙන් සීනි සීයටත් පාන් ගෙඩියටත් බදු ගෙවන ජනතාව තමන් ගෙවන බදු මුදලට සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට ඇති අයිතිය බලාත්මක කරන්නේ කෙසේද?
ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂට ලැබී ඇති ජනවරමේ සහතිකය ඔවුන් ඊළාම් යුද්ධය අවසන් කිරීමට ලබා දුන් නායකත්වයයි. නන්දිකඩාල් කලපුව දක්වා මවුබිමේ ඒකීයබව රැක ගැනීමට ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්, අත් පා දන් දුන් රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමාපිය අඹු දරුවන් බුද්ධි අංශ නිලධාරීන් ජිනීවා නුවර චූදිතයන් කිරීමට එරෙහිව පැන නැගුණ ජනවරමකින් බල ගැන්වුණ ජනවරමක් 6 වන උපලේඛනයේ ඒකීය රාජ්‍ය ප‍්‍රතිඥාව ඉවත් කිරීමට ඉල්ලා ඇතැයි අර්ථ දක්වන්නේ කෙසේද?
ද්විත්ව පුරවැසිබව ඉවත් කිරීමට ඇති යෝජනාවද මේ ආකාරයෙන්ම හාස්‍යජනක වේ. එවැනි සටන් පාඨයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය කර පින්නාගෙන සිටියද එය ඉවත් කිරීමක් ගැන සාකච්ඡාවක් නොතිබුණි. ද්විත්ව පුරවැසිබව තිබුණු ගෝඨාභය, යුද්ධය අවසන් කිරීමට ලබා දුන් නායකත්වයත් රනිල් වික‍්‍රමසිංහ ශ‍්‍රී ලාංකිකයකු වශයෙන් කරන ලද පාවාදීම් සම්බන්ධයෙන් සලකා බලන විට පුරවැසිබව හොඳ නරක මෙන් නිශ්චිත නොවූ නිර්ණායකයකි. කිසිදු පුරවැසිබවක් නොතිබූ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කළ යහපාලනය, මෙම සීමාව හඳුන්වා දුන්නේ සද්භාවයෙන් බව අපි විශ්වාස නොකරමු. නමුත් රාජ්‍යයේ මර්මස්ථානවල බලය දරන පුද්ගලයන් වෙනත් රටකට පක්ෂපාතීත්වය දැක්වීම බරපතළ ලැදියාවන් අතර ගැටුමකි. එය හුදෙක් පෞද්ගලික ප‍්‍රශ්නයක් නොව අතිශයින් දූෂිත අන්තර්ජාතික දේශපාලන පරිසරයක් තුළ භූ දේශපාන වශයෙන් තීරණාත්මක ස්ථානයක පිහිටි අප වැනි රටකට තීරණාත්මක වේ. ඇත්ත වශයෙන්ම ද්විත්ව පුරවැසි සීමාව ජනාධිපතිවරයාට හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පමණක් නොව රාජ්‍ය ආරක්ෂාව, ආර්ථිකය හා විදේශ සම්බන්ධතා වැනි තීරණාත්මක ක්ෂෙත‍්‍රයන් හි ඉහළ තනතුරු වලට පවා අදාළ විය යුතුය. ද්විත්ව පුරවැසිබව දරන රටට ආදරය කරන පිරිසට වඩා රටට වින කටින බෙදුම්වාදී ඊළාම් රාජ්‍යය වෙනුවෙන් කැපවුණ ජාත්‍යන්තර ඩයස්පෝරාවක් අප වෙත උකුසු ඇස් යොමා සිටින බව වර්තමාන රජය අමතක නොකළ යුතුය.
අනෙක් අතට, ජනාධිපති ධුරය හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් වැනි ඉහළ තනතුරක් දරමින් රටට සේවය කිරීමට අපේක්ෂා කරන්නේ නම් එම පුද්ගලයා ඒ වෙනුවෙන් ඔහුගේ ද්විත්ව පුරවැසිබව අත් හැරීමට කටයුතු කළ යුතුය. එවැනි පුද්ගලයකු හෝ එවැනි අතළොස්සක් වෙනුවෙන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම රටේ ඉහළම නීතියට ඇති ගරුත්වය විහිළුවට ලක් කිරීමකි.
ජනාධිපතිවරණයට සුදුසුකම් ලැබීමට ඇති වයස් සීමාව තිහට අඩු කිරීමද එවැනි අපබ‍්‍රංසයකි.
ධුරකාලයෙන් වසරක අවසානයට සමීපව ඇති නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබුණු ජනවරම කාර්යක්ෂමව බලගැන්වීමට 20 වන සංශෝධනය කඩිනමින් තේරුම්ගත හැකිය.
කෙසේ වුවද ජනවරමේ පැහැදිලි අභිලාෂය වනුයේ ජාතික ආරක්ෂාව, ආර්ථිකය සහ නිවහල් විදේශ ප‍්‍රතිපත්තියක් සඳහා මග සලසන නව ව්‍යවස්ථාවක් පැනවීමයි. විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කරමින් එය පාර්ලිමේන්තුවේ සංවරණයට ලක් කිරීම, පළාත් සභා අහෝසි කිරීම, මූල්‍ය විනය එම අපේක්ෂාවන් අතර ප‍්‍රධාන වේ. දේශීයත්වයෙන් කුළු ගැන්වුණ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට මෙම ජනවරමින් රජයට බලය දී ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඒ සඳහා මහ සංඝරත්නයේත් ජාතික බලවේගයන්හි ආශීර්වාදයත් ඕනෑවටත් වඩා ඇත. ඕනෑම රජයකට ලැබෙන ජනප‍්‍රසාදය ආණ්ඩුවේ පාලනය යටතේ පවතින හෝ නොපවතින අභ්‍යන්තර හා බාහිර සාධක මත ක‍්‍රමයෙන් පිරිහිය හැකිය. මැද පෙරදිග අයි එස් අයි එස් ප‍්‍රහාරයකින් ලෝක තෙල් මිල ඉහළ යෑම ඊට ප‍්‍රමාණවත් වේ. ජනතා අපේක්ෂාවන් මුදුන්පමුණුවන ව්‍යවස්ථවකට ලැබුණු මේ ස්වර්ණමය අවකාශය නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීම ජනාධිපතිවරයාගේ වගකීමකි. ඉහත සඳහන් කළ ජනමතය හාස්‍යට ලක් කරන යෝජනා මගින් ආණ්ඩුවේ විශ්වාසනීයත්වය පළුදු වේ. ආණ්ඩුව විහිළුවක් බවට පත් කිරීමට, නාස්තිකර විවේචනයට ලක් කිරීමට නිදා සිටින විපක්ෂයට වේදිකාවක් නිර්මාණය කරදෙයි. ජාතික ව්‍යාපාරය වශයෙන් අපගේ කණස්සල්ල වන්නේ එම අවස්ථාව රටට අහිමි වීමයි. විසිවන සංශෝධනයේ මෙම උභතෝකෝටිකයන් පුළුල් ව්‍යවස්ථාවකට ඇති මග අවහිර නොකරන බව තහවුරු කළ යුතුය.
පක්ෂයක පිහිටෙන් තමන්ගේ මන්ත‍්‍රී ධුරයත් ඇමැති වරප‍්‍රසාද වෙනුවෙන් ඕනෑම දේකට අත ඔසවන අභ්‍යන්තරික කඳන්පණුවන්ගෙන් ජනාධිපතිවරයා ප‍්‍රවේශම් විය යුතුය. ජනාධිපතිවරයා කෙරෙහි තැබූ විශ්වාසය පටු වුවමනාවන් සහිත දේශපාලඥයන්ගේ සුදූ පිටියක් බවට පත් නොකළ යුතුය. අතිශයින් ප‍්‍රබල ජනවරමකින් 2010 බලයට පත් වූ මහින්ද රාජපක්ෂ රජයට 2015 පරාජය හිමි වන්නේ සුළු වාර්ගික ඡුන්ද අහිමි වීමෙන් නොව සිංහල බෞද්ධයන් අතර හිමි වූ බහුතරය අහිමි වීමෙනි. හෝමාගම, කැස්බෑව කඩුවෙල වැනි ආසන මෙන්ම ගම්පහ දිස්ත‍්‍රික්කයේ ලැබූ පරාජයෙන්ද ඒ බව වැඩිදුරටත් සනාථ වේ. දෙමළ ජාතික සන්ධානයට ජවිපෙට හා එජාපයට රාජපක්ෂ විරෝධී මතයන්ට ප‍්‍රචාරය කරන්නට අවසර ලැබුණෙත් බටහිර රාජ්‍යයන්ගේ මැදිහත් වීමට ඉඩ සැලසුණෙත් ආණ්ඩුව විසින් ගෙන ගිය අවිනීත පාලනයක්, දූෂණයට පාලනයක් නොමැති වීමත් ශෝභන විලම්භිත දේශපාලනයත් නිසාවෙනි. 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභයට මගින් පරාජයට පත් කළේ එතෙක් පැවති යහපාලන රජය පමණක් නොව ඉන් පෙර පැවති රාජපක්ෂ රජයේ නාස්තිකාර සංකර දේශපාලන භාවිතයද එයින් ප‍්‍රතික්ෂේප කෙරිණි.
වර්තමාන රජයට එම ඉරණම අත් නොවන බව වග බලා ගැනීමට ජාතික ව්‍යාපාරයට බරපතළ වගකීමක් ඇත. මහින්ද රාජපක්ෂට ටොක්කක් අනින්නට යෑමෙන් රනිල් වික‍්‍රමසිංහගේ ෆෙඩරල් ව්‍යවස්ථා උගුලෙන් බේරුණේ අනූ නමයෙන් ය. ජිනීවා නුවර රණවිරුවන් පාවා දීම, බුද්ධි අංශ දඩයම, භික්ෂු මර්දනය, පුරාවිද්‍යා සංහාරය, උතුරු නැගෙනහිර සිංහලයාගේ ශුද්ධකරණය, වරාය තෙල් ටැංකි විකිණීම සහ එම්. සී. සී. ගිවිසුම ඇනපු ටොක්කට රටට ලැබුණු බෝනස් වේ. රාජපක්ෂ රජය විසින් කරන ලද වැරදි වලට ගෙවන ලද වන්දිය රටක් වශයෙන් නැවත අපට දැරිය නොහැක. එය ආපසු හැරවිය නොහැකි අප‍්‍රහතිකර හානියකි.
ජාතිකවාදි බලවේග විසින් බලයට පත් කළ රජය නිවැරැදි මාර්ගයේ රඳවා ගැනීම ජාතික වගකීමක් වන්නේ ඒ නිසාවෙනි.
නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...