විශ්‍රාම සුවයෙන් ඉන්න හිතාගෙන හිටපු ජනාධිපතිතුමාට ආදරය කරපු ජනයා මැදමුලනට එනකොට දේශපාලන වශයෙන් යළි නැගිටින්න අවශ්‍ය කරන දේශපාලන විශ්වාසය ඇති කළ නුගේගොඩ මහ රැළිය කරන්න පුළුවන් වුණෙත් අපිට. එහෙම පටන්ගත්ත ගමනක් තමයි අද මේ ජයග්‍රහණ හරහා ඉදිරියට ගමන් කරන්නේ. ඒ වෙනුවෙන් අපි හිරේ ගිහිල්ලා තියෙනවා. අපේ ගෙවල්වල අය හිරේ ගිහිල්ලා තියෙනවා. අවලාදවලට මුහුණ පෑවා. යැයි කර්මාන්ත ඇමැති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
ඒ ඔක්කොටම මුහුණ දීපු අපි මොකටද ආණ්ඩුවෙන් යන්නේ? ඒ වගේම ආණ්ඩුවක් නැති කරගන්නේ? මේ ආණ්ඩුව හදන්නත් අපි දායක වුණා. රකින්නත් අපි දායක වෙනවා. යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
විරවංශ මහතා මෙම අදහස් පළ කළේ ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.
ප්‍රශ්නය – හදාගත්ත ආණ්ඩුවෙන් එළියට යන්න වෙන සීන් එකක් තමයි තියෙන්නේ නේද?
පිළිතුර – කිසිසේත්ම නැහැ. 2015 ජනවාරි 8 පරාජයට පත්වුණාට පස්සේ පාර්ලිමේන්තුව තුළදී විපක්ෂ නායක ලෙස හිටපු නිමල් සිරිපාල ද සිල්වා මහත්මයා හිටපු ජනාධිපතිතුමා ගැන වචනයක්වත් නොකියා කතාවක් කරපු වෙලාවේ ඒකත් විවේචනය කරමින් හිටපු ජනාධිපතිතුමාට ආරක්ෂාව දිය යුතුයි, එතුමා රට බේරගත්ත නායකයා කියලා කියන්න කටේ පණ තිබ්බේ අපට. ඒ වගේම විශ්‍රාම සුවයෙන් ඉන්න හිතාගෙන හිටපු ජනාධිපතිතුමාට ආදරය කරපු ජනයා මැදමුලනට එනකොට දේශපාලන වශයෙන් යළි නැගිටින්න අවශ්‍ය කරන දේශපාලන විශ්වාසය ඇති කළ නුගේගොඩ මහ රැළිය කරන්න පුළුවන් වුණෙත් අපිට. එහෙම පටන්ගත්ත ගමනක් තමයි අද මේ ජයග්‍රහණ හරහා ඉදිරියට ගමන් කරන්නේ. ඒ වෙනුවෙන් අපි හිරේ ගිහිල්ලා තියෙනවා. අපේ ගෙවල්වල අය හිරේ ගිහිල්ලා තියෙනවා. අවලාදවලට මුහුණ පෑවා.
ඒ ඔක්කොටම මුහුණ දීපු අපි මොකටද ආණ්ඩුවෙන් යන්නේ? ඒ වගේම ආණ්ඩුවක් නැති කරගන්නේ? මේ ආණ්ඩුව හදන්නත් අපි දායක වුණා. රකින්නත් අපි දායක වෙනවා.
ප්‍රශ්නය – 2015 පරාජයට බලපෑ එක් ප්‍රධාන කාරණාවක් තමයි තනි පුද්ගලයෙක් අතට අත්තනෝමතික බලයක් ලැබීම. 20න් යළිත් යන්නේ එතැනට?
පිළිතුර – නෑ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙච්ච බරපතළම හානිය තමයි බල කේන්ද්‍ර තුනක් නිර්මාණය වීම. එක පැත්තකින් ව්‍යවස්ථාදායක සභාව හරහා කතානායකගේ බල කේන්ද්‍රයක් හැදුවා. අනික් පැත්තෙන් අගමැතිගේ බල කේන්ද්‍රයක් හැදුවා. අනික් පැත්තෙන් ජනාධිපතිගේ බල කේන්ද්‍රය. ඕනෑම රටකට බල කේන්ද්‍ර තුන හතරක් විසින් එහාට මෙහාට ඇද ඇද ඉදිරියට යා හැකි ගමනක් නැහැ. ඒ නිසා 20 වැනි සංශෝධනය අවශ්‍ය වන්නේ ඒ අවුල ලෙහන්න. ඒ අවුල ලෙහීම අත්‍යවශ්‍ය වන්නේ රටේ ජනතාව ඡන්දයෙන් විධායක ජනාධිපතිවරයෙක් පත්කරගෙන තියෙන නිසා. රටේ බහුතරය කැමැත්ත පළ කරපු ජනාධිපතිට රටේ බහුතරයේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා කාර්යක්ෂමව වැඩ කළ හැකි පරිසරයක් ඕනෑ. ඒ පරිසරය තමයි සාදාගත යුතුව තිබෙන්නේ. 20 වැනි සංශෝධනයෙන් මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක. ඒ කියන්නේ 19ට පෙර තිබුණ 18 වැනි තත්ත්වයට නැවත ගමන් කිරීම. එතැනින් නොනැවතී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කමිටුවකුත් පත්කරලා තියෙනවා. ඒ හරහා මේ රටට උචිත රටේ පොදු ජන අභිලාෂයන් මනාව නිරූපණය වෙන රට වැසියා බලගැන්වෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැගීම කළ යුතුයි.
ප්‍රශ්නය – ඡන්දය ඉල්ලුවේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. නමුත් ගෙනාවේ 20 වැනි සංශෝධනය?
පිළිතුර – මැතිවරණයේදී 19 වැනි සංශෝධනය ගැන අපට තියෙන විවේචනය අපි රටට කිව්වා. ඒ වගේම 19න් කරපු මහා අවුල මේ රටේ මිනිස්සු දැක්කා. පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තා කවුද කියලා තාම හොයා ගන්න බැහැ. හිටපු ජනාධිපතිවරයා අහනවා මං මොකටද පිපිරෙන බෝම්බවල වගකීම බාරගන්නේ කියලා. හිටපු අගමැතිවරයා ඒක පටවනවා හිටපු ජනාධිපතිගේ පිටේ. හිටපු ජනාධිපතිවරයා ඒක පටවනවා තව කාගේ හරි පිටක. ඒ තත්ත්වයයි ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා 19න් ඇති කළ වියවුලෙන් මේ රටේ ජනතාව ඕනෑ තරම් බැට කාලා තියෙනවා. ඒ නිසා 19 අවුල ලෙහීමේ වගකීම අපට තියෙනවා. ඒ වගේම අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ජන වරමකුත් අපට තියෙනවා.
ප්‍රශ්නය – 19 අහෝසි කරනවා. 18 බලගන්වනවා. ඉදිරියේදී අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. එහෙම වුණා නම් අද රටේ තියෙන අවුල ඇතිවෙන්නේ නැහැ?
පිළිතුර – මොකද්ද ඇති වෙලා තියෙන වියවුල?
ප්‍රශ්නය – 20 හරහා ඒකාධිපතියෙක් බිහි වෙනවා කියන එක?
පිළිතුර – ඒකාධිපතියෙක් බිහි වෙනවා කියලා කරන චෝදනාව ඒ අය කුමන අර්ථයකින් කරනවා ද කියලා මට තේරෙන්නේ නැහැ.
ප්‍රශ්නය – මන්ත්‍රී විජයදාස රාජපක්ෂ කියනවා ගෝඨාභය ජනාධිපති නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අනාගත ජනාධිපතිවරු ගැන සහතික නැහැ කියලා?
පිළිතුර – මෙහෙමනේ, ජේ.ආර්. ජයවර්ධනටත් ඔය කියන බලතල තිබ්බනේ. ජේ.ආර්. ඒ බලතල රටට අහිතකර ලෙස පාවිච්චි කළා. මහින්ද රාජපක්ෂටත් ඔය බලතල තිබුණනේ. එතුමා ඒ බලතල රටට හිතකර ලෙස පාවිච්චි කළා. බලතල කොහොම වුණත් රටේ මිනිස්සු තෝරා ගන්න ඕනෑ මේ බලතල හරි විදියට පාවිච්චි කරන නායකයෙක්. වැරැදි කෙනෙක් අතට ගියොත් කොයි බලතලත් එහෙම තමයි. දැන් පූජිත් ජයසුන්දරට පොලිස්පතිකම ගියාම දැක්කනේ වෙච්ච දේවල්. එහෙමයි කියලා අපි පොලිස්පතිගෙ බලතල අඩු කරලා හරියන්නේ නැහැනේ. ඒක නිසා මූණත් එක්ක තරහා වෙලා නහය කපාගෙන හරියන්නේ නැහැ. විධායක ජනාධිපති නම් බලතල තිබිය යුතුයි. ඒ බලතල අයුතු ලෙස පාවිච්චි නොකරන නායකයෙක් ඒ තනතුරට පත් කරගැනීමට ජනතාව සමත් විය යුතුයි.
ප්‍රශ්නය – 20ට විරෝධය පළ කරලා ඔබ අගමැතිවරයාට ලිපියක් යොමු කළා?
පිළිතුර – මම නොවෙයි ඒ ලිපිය යොමු කළේ. අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා තමයි ඒ ලිපිය යොමු කළේ.
ප්‍රශ්නය – ඔබයි පක්ෂයේ නායකයා. ඇයි ඔබ ඒ අවස්ථාව මඟ ඇරියේ?
පිළිතුර – නෑ නෑ. මම ඒක කිව්වේ ඔබේ ප්‍රශ්නය නිවැරැදි කරන්නයි. මගේ අත්සනින් නොවෙයි ඒක යැව්වේ. දේශපාලන මණ්ඩලය වෙනුවෙන් ප්‍රධාන ලේකම්වරයා අත්සන් කරලා යැව්වේ. දේශපාලන මණ්ඩල සභිකයෙක් විදියට ඒ සාමූහික වගකීමේ මම ඉන්නවා. ඒකේ ප්‍රධාන කරුණු තුනක් අපි පෙන්වලා තියෙනවා. විගණන කොමිසමේ තත්ත්වය ආරක්ෂා විය යුතුයි. දැන් සැකයක් තියෙනවා, රාජ්‍ය සමාගම් විගණනයට ලක්වීම මේකෙන් වැළැකෙනවා කියලා. එහෙම තත්ත්වයක් ඇති විය යුතු නෑ. දෙවැනි කාරණය හදිසි පනත් ගෙන ඒම. ඒක අවශ්‍යයි කියලා අපි හිතන්නේ නැ. හදිසි කියලා මෙච්චර කාලෙකට ගෙනාව කිසිම පනතක් හදිසි ඒවා නොවෙයි. මහජනයාගේ විරෝධයක් එනවා නම් ඒකෙන් බේරෙන්න තමයි ඔහ හදිසි පනත් කියන එක හදාගෙන තියනේනේ. ඒ නිසා ඒක එසේ විය යුතු නෑ කියන මතයේ අප ඉන්නවා. අනිත් එක ද්විත්ව පුරවැසිකම තියෙන අයට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට විතරක් නොවෙයි තානාපතිකම් හා විධායක ශේණියේ තනතුරුවලටත් පත්වීමට ඉඩ නොදිය යුතුයි කියන මතයේ අපි ඉන්නේ.
ඒ කරුණු අපි අගමැතිතුමා පත්කරපු කමිටුවටත් ඉදිරිපත් කළා. නමුත් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන සංශෝධනවල ඒ කරුණු කිසිවක් අන්තර්ගත වෙලා නෑ. ඒ නිසා තමයි අපේ පක්ෂය තීරණය කළේ ලිඛිතව මේ ගැන අගමැතිතුමාට දන්වන්න.
ප්‍රශ්නය – ඒ ලිපියේ අන්තිමට තියෙනවා එහෙම විරෝධය පළ කළාට ආණ්ඩුව ආරක්ෂා කරනවා කියලත්?
පිළිතුර – එහෙම නෙමෙයි ඒකෙ තියෙන්නේ. කවර තත්ත්වයක් තුළ වුවත් අපි 20 වැනි සංශෝධනයට සහයෝගය දෙනවා කියලා.
ප්‍රශ්නය – ඒ කියන්නේ පෙනේ පිප්පුවාට දෂ්ට කරන්නේ නෑ?
පිළිතුර – නෑ. දෂ්ට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පෙනේ පුප්පන්න ඕනෑ වෙන්නෙත් නෑ. ඒ නිසා ඔබේ උපමාව නිවැරැදි නෑ. මෙතැන පෙනේ පිප්පිල්ලකුත් නෑ, දෂ්ට කිරීමකුත් නෑ.
ප්‍රශ්නය – එහෙම නම් මොකක් ද වෙන්නේ?
පිළිතුර – මෙතැන තියෙන්නේ 20 වැනි සංශෝධනයේ අපි දකින අඩුපාඩු තුනක් අපි පෙන්වලා දීලා තියෙනවා. ඒවා සංශෝධනය වනු ඇතැයි අපි විශ්වාස කරනවා. සංශෝධනය නොකළත් විරුද්ධ පක්ෂයේ ඉන්න මේ රටේ හතුරු කල්ලිවලට සතුටුදායක තීන්දු ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ නෑ.
ප්‍රශ්නය – ඔබලා ඉදිරිපත් කරපු සංශෝධන ආණ්ඩුව පිළිගන්නේ නෑ. ඒ කියන්නේ ඔබලා මේ වනවිටත් කරපිංචා බවට පත්වෙලා?
පිළිතුර – මෙහෙමයි, ගණන් ගැනීම හෝ නොගැනීම අපට
මහජනයාගෙන්නෙ ඕනෑ. මහජනයා ගණන් ගනන්වා ද නැද්ද කියන එකයි අපට වැදගත්. අපි පක්ෂ ගණනාවක් තියෙන ආණ්ඩුවක්. එතකොට අපි ඉදිරිපත් කරන අදහස් ගෙඩිය පිටින්ම ගන්න අවස්ථාත් තියෙනවා. අර්ධ වශයෙන් පිළිගන්න අවස්ථාත් තියෙනවා. නොපිළිගන්න අවස්ථාත් තියෙනවා. ඒ තත්ත්වයන් තුනටම සන්ධානයක් තුළදී මුහුණ දෙන්න වෙනවා. අපි දරන මතයම ක්‍රියාත්මක වෙන්නේ අපි විතරක් රට පාලනය කරනවා නම් විතරයි. එහෙම තත්ත්වයක නොවෙයි අපි දැන් ඉන්නේ.
ප්‍රශ්නය – ව්‍යවස්ථාව සම්බන්ධ කාරණාවේදී ඔබව නොතකා හරිනවා කියන්නෙම ඔබේ දේශපාලන අභිමානයට කැළලක්?
පිළිතුර – දැනටමත් අපි දරන මතයට අනුව වෙනස් වෙච්ච ඒවා තියෙනවා. අපි ඉදිරිපත් කරපු සමහර කරුණු පිළි අරගෙන තියෙනවා. මෙතැනදි අපි හිතනවා හදිසි පනත් කියන කාරණාවත්, විගණනය සම්බන්ධ කාරණාවත් සංශෝධනය වෙයි කියලා. නොවුණොත් වෙන්නේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කාරණාව.
ප්‍රශ්නය – ඔබ 20ට එරෙහි විරෝධතා තුනක් ඉදිරිපත් කළත් ඇත්තටම ප්‍රශ්නය තියෙන්නේ ද්විත්ව පුරවැසි ප්‍රශ්නය. ඒකත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බැසිල් රාජපක්ෂ නිසා?
පිළිතුර – මට නම් කාත් එක්කවත් ගැටුමක් නෑ. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයත් එක්ක අපි පෙනී ඉන්නේ ප්‍රතිපත්තියේ කාරණාවක් හැටියට. මේක බැසිල් රාජපක්ෂ මහත්තයා සම්බන්ධ කාරණාවක් නොවෙයි. බැසිල් රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තු එන්න ඕනෑ නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආපු විදිහට එන්න පුළුවන්නේ. ඒකට කාටවත් බාධා කරන්න බැහැනේ. එතුමා ඒ විදියට එනවා ද නැද්ද කියලා මම දන්නේ නෑ. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය, ඒකේ තියෙන භයානකකම තමයි ද්විත්ව පුරවැසියා අවසාන වශයෙන් බැඳීම දක්වන්නේ කොයි රටත් එක්ක ද? කෙනෙක් රටේ ඇමැති කෙනෙක් වෙන්න හරි අගමැති වෙන්න හරි ජනාධිපති වෙන්න හරි වෙනත් රටක තමන්ගේ තියෙන බැඳීම අතහරින්න බැරි ඇයි? වෙනත් රටකට බැඳීම තියෙන කෙනා ඒක අත හරින්න බෑ කියන එකෙන් කියන්නේ ලංකාවේ එයාට ලැබෙන ඇමැතිකම, අගමැතිකම, ජනාධිපතිකමට වඩා එයාට ඒ රටේ තියෙන පුරවැසිභාවය ලොකුයි කියන එකනේ. ඒ දෙවැනි රටේ පුරවැසිකම එච්චර ලොකුයි කියලා හිතන කෙනෙක් ඇමැතිකමට, අගමැතිකමට, ජනාධිපතිකමට ආවොත් කාට ද සේවය කරන්නේ. මොකක් ද වෙන්න පුළුවන් දේ.
ප්‍රශ්නය – නමුත් ද්විත්ව පුරවැසියන්ට ඡන්දෙට එන්න බෑ කියන වගන්තිය 19ට ඇතුළත් කළේම රාජපක්ෂ පවුල ඉලක්ක කරලා කියන එක ප්‍රසිද්ධ රහසක්?
පිළිතුර – ඔව්. 19 වැනි සංශෝධනය එන්න කලින් මේ ගැන ලොකු සංවාදයක් තිබුණේ නෑ. ඕක ගෙනාවේම පෞද්ගලික යටි අරමුණෙන් තමයි. හැබැයි පෞද්ගලික සහ පටු අරමුණෙන් ආවත් පසු කාලීනව සිද්ධ වෙච්ච දේවල් එක්ක බැලුවාම අර මහ බැංකුවේ හිටපු අධිපතියා අදත් අපට ගෙන්න ගන්න බෑ. ඔහු සිංගප්පූරු වැසියෙක්.
වෙන රටකට පක්ෂපාතී මිනිහෙක්. ඒකමනේ එයාට රැකවරණයට තියනේනේ. ඒ නිසා මේ රටේ තීරණාත්මක තනතුරකට එන්න බලාගෙන ඉන්න කෙනකුට පුළුවන් වෙන්න ඕනෑ වෙනත් රටකට තියෙන බැඳීම අතහරින්න. ඒ තනතුරට වඩා ඒ පක්ෂපාතිත්වය අතහරින්න බෑ කියන්නේ එයා හිතනවා මේ රටේ ඉහළම තනතුරට වඩා ඒ දෙවැනි රටේ රටවැසිභාවය වැදගත් කියලා. එහෙම හිතන කෙනෙක් ඒ වගේ තනතුරකට ආවාට පස්සේ කොයි විදියට හැසිරෙයි ද?
ප්‍රශ්නය – ඔබට අගමැති සිහිනයක් තියෙනවා. ඒකට බැසිල් බාධාවක්. ඔබ බැසිල් එක්ක ගැටෙන්නේ ඒ නිසා?
පිළිතුර – මට නම් ඔය කියන අසනීපයක් නෑ. අද වුණත් මේ ඇමැතිකමෙන් රටට සේවයක් කරන්න යොදා ගන්නවා ඇරෙන්න මේකෙන් අමුතු රසවින්දනයක් ලබාගන්නේ නෑ. මේ ඇමැතිකම් මොකක්වත් නැතිව අපි අවුරුදු හතර හමාරක් විපක්ෂයට වෙලා සටන් කළා. හිරේ ගියා. දුක් වින්දා. ඒ නිසා ඒක තමයි අපිට ආශ්වාදාත්මකම ජීවිතය. මාත් දැක්කා ඔය සමහරු කියලා තිබුණ මට අගමැති සිහිනයක් තියෙනවා කියලා. මං දන්නෑ මම නොදැක්ක හීන ඒ අය දැක්කේ කොහොම ද කියලා. මට එහෙම හීන නෑ. මට තියෙන්නේ මේ රට වෙනුවෙන් වැඩ කිරීමේ ආශාව පමණයි.
ප්‍රශ්නය – එහෙම නම් මොකක් ද ඔබට බැසිල් එක්ක තියෙන ගැටුම?
පිළිතුර – මම කලිනුත් කිව්වනේ මට එහෙම විශේෂ ගැටුමක් නෑ කියලා. සමහර කාරණාවලදී බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්න මතයේ නොවෙයි මම ඉන්නේ. එහෙම වෙන්න පුළුවන්නේ. හැම වෙලාවෙම අපි දෙන්නම එකම මතයේ ඉන්න ඕනෑ කියලා එකක් නෑනේ. අනික මත දෙකක් තිබ්බා කියලා ඒක ගැටීමක් වෙන්නෙත් නෑනේ.
ප්‍රශ්නය – පසුගිය මහ මැතිවරණයේදී ඔබට එරෙහිව කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙහෙයුමක් ගියා. ඒක පිටිපස්සේ හිටියෙත් බැසිල් කියලයි කියැවුණේ?
පිළිතුර – ඒවා එහෙම දේශපාලන කාරණා වශයෙන් මම පිළිගන්නේ නෑ. ඒවා මම දේශපාලනයේදී අදාළ කරගන්නෙම නෑ.
ප්‍රශ්නය – ජාතිවාදීන්ට, අන්තවාදීන්ට උදව් කළ, කරන පිරිස් ආණ්ඩුවට සම්බන්ධ කරගන්නෙම නෑ කියලා කිව්වා. ඔබගේ වැඩිම ප්‍රහාරයට ලක්වුණ රිෂාඞ් බදියුදීන් ආණ්ඩුවට එනවා කියලා ලොකු ප්‍රචාරයක් යනවා?
පිළිතුර – ජනාධිපතිතුමා මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිතුමාට කතා කරලා කියලා තියෙනවාිඔයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියන්න බදියුදීන්වත් බදියුදීන්ගේ ගෝලයන්වත් අපි ගන්නේ නෑ කියලා කියන්න’ කියලා. ඒ අනුව මහින්දානන්ද ඇමැතිතුමා ඒ මතය මාධ්‍යයට ඉදිරිපත් කළා. ජනාධිපතිතුමාගේ ස්ථාවරය අනුව අපි කවුරුවත් කලබල විය යුතු නෑ.
ප්‍රශ්නය – රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගත්තේ අන්තවාදීන්ට උදව් කළා කියලා. නමුත් තොරතුරු නෑ කියලා ඔහු මුදාහරිනවා. ඒකත් ඩීල් එකක් කියලත් කියනවා?
පිළිතුර – ඔය තොරතුර දැනගත්ත ගමන්ම මම තමයි පොලිස්පතිතුමාට කතා කළේ. පොලිස්පතිතුමා ඒ ගැන මුකුත් දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ මම ජනාධිපතිතුමාට කතා කළා. ජනාධිපතිතුමා දැනුම්වත් කරලා නොවෙයි ඒ නිදහස් වීම කරලා තියෙන්නේ. මේ ගැන සැක සහිත තත්ත්වයක් තියෙන නිසා තමයි රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂවරයා මාරු කරලා අලුත් කෙනෙක් දැම්මේ. මේ නිදහස් කිරීමේ ක්‍රියාදාමයත් මොන හේතුවක් මත වුණා ද කියලා දැන් පරීක්ෂණයක් කෙරෙනවා ජනාධිපතිතුමාගේ නියෝග මත. ඒ වගේම රිෂාඞ්ගේ සහෝදරයා මුදාහැරීමෙන් පසු කියපු කරුණු නිවැරැදියි, සත්‍ය කරුණුයි කියලා අපි නම් විශ්වාස කරන්නේ නැහැ.
ප්‍රශ්නය – ඔය විදිහට ගිහින් 20 සම්මත කරගන්න තුනෙන් දෙක ලැබෙයි ද?
පිළිතුර – දැනටම අපිට තියෙනවනේ 149ක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගත්තා 20ට සහයෝගය දෙනවා කියලා. අපිට තියෙන ප්‍රශ්න අපි රටට කියලා තියෙනවා. රටත් දන්නවා අපි මේ ගැන සංවේදීයි කියලා. අපේ මන්ත්‍රීවරු 6ක් ඉන්නවා. අපි අපේ සහාය 20ට දෙනවා කියල කියලා තියෙන්නේ. ඒ වගේම වෙනස් මත තිබුණත් ආණ්ඩු පක්ෂයේ ඉන්න සියලුම දෙනා මේකට සහයෝගය දෙනවා. තව ඕනෑ නම් එක්කෙනෙක්නේ ඕනෑ වෙන්නේ. ඒ එක්කෙනා හොයා ගන්න ඔය අන්තවාදි පක්ෂ පස්සේ බඩගාන්න ඕනෑ නැහැනේ.
ප්‍රශ්නය – කොහොම හරි ඔය ඔබ කියන අන්තවාදී පක්ෂයක සහයෝගය ගත්තොත්?
පිළිතුර – ඉතින් ජනාධිපතිතුමා මහින්දානන්ද ඇමැතිතුමාට කරපු ප්‍රකාශය අනුව කොහොම ද එහෙම වෙන්නේ? එහෙම වෙන්න විදියක් නෑ.
ප්‍රශ්නය – ඔබ මුලින් කිව්වා පොලිස්පතිතුමා දන්නෙත් නෑ, ජනාධිපතිතුමා දන්නෙත් නෑ කියලා. එහෙම නොදැන යමක් වුණොත්?
පිළිතුර – ජනාධිපතිතුමානේ මේ රටේ නායකයා. රටේ නායකයානේ කැබිනට් මණ්ඩලයේ ඉන්න මහින්දානන්ද ඇමැතිතුමාට මෙහෙම කියන්න කියලා කියන්නේ. ඒ ඇමැතිතුමා ඒක රටට කිව්වානේ. ඉතින් ආයේ මොකක් ද මේකේ වෙනස් වීමක් ගැන අහන්නේ.
ප්‍රශ්නය – ඔබ හිතනවා ද ඔබලා ගැන විශ්වාසය තියපු ජාතිකවාදී බලවේගවල ගරුත්වය රකින්න පුළුවන් වෙයි කියලා?
පිළිතුර – මෙතැන ආණ්ඩුව ඇතුළේ ජාතිකවාදී බලවේගවල අභිලාසයන් තියෙන අය හා එක්තරා ආකාරයට නියෝ ලිබරල් මත දරන අය අතර යම් කිසි ගැටීමක් තියෙනවා. ඒ ගැටීම විටෙක උඩට එනවා. විටෙක යටපත් වෙනවා. වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් එන්නෙත් ඒ ගැටීම. 20 වැනි සංශෝධනය සම්බන්ධයෙනුත් ඇවිත් තියෙන්නේ ඒ වගේ ගැටීමක්. ඒක ආවේණික තත්ත්වයක්. මේ ආණ්ඩුව ජාතිකවාදී අභිලාෂයන් මතින් ගොඩනැගුණාට මේකේ සමහර තීරණාත්මක තැන්වල නියෝ ලිබරල් මත දරන අයත් ඉන්නවා. ඒ අයට බලපෑම් කරන්න පුළුවන් තලවලදි ඒ අය ඒ බලපෑම කරනවා. මේ දෙක අතර ගැටුම මැදින් තමයි අපට ඉදිරියට යන්න වෙන්නේ.
ප්‍රශ්නය – එහෙම යන්න පුළුවන් වෙයි කියලා හිතනවා ද?
පිළිතුර – අනිවාර්යයෙන්ම. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ හැම තත්ත්වයක්ම තේරුම් අරගෙන මේ සියල්ල මැනවින් කළමනාකරණය කරගෙන රටේ අභිලාසයන් මුදුන්පත් වන විදියට ඉදිරියට රට මෙහෙයවන බවට විශ්වාසයක් අපට තියෙනවා. ඒ සම්බන්ධයෙන් දෙගිඩියාවක් නෑ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...