පුරවැසි කොලම

ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත දුගී දුප්පත් අසරණයින්ගේ දොරකඩ ළඟට පැමිණ සිටගත් මහත්මා ගාන්ධි ඔවුන් එකෙකු මෙන් රෙද්දක් පොරවාගෙන ඔවුන්ගේ බසින්ම කථා කළේය. ඉන්දියානු මහා ජනතාව තමන්ගේම මාංශ සහ රුධිරයෙන් යුක්ක යැයි මෙසේ නිහතමානීව පිළිගත්තේ වෙන කවරෙක්ද?…සත්‍යයෙන් සත්‍යය අවදි වන්නේය.”

රබීන්ද්‍රනාත් තාගෝර්

1869 ඔක්තෝබර් 02 වැනි දින ගුජරාටි ප‍්‍රාන්තයේ ජෝර්බන්දාර් ප‍්‍රදේශයේ මොහොන්දාස් කරම්චාන්ද් ගාන්ධි උපත ලැබුවේය. ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ උදාරතම නායකයා වූ මහත්මා ගාන්ධි දකුණු අප‍්‍රිකාවේ ඩර්බන් නගරයේ සිට ප‍්‍රිටෙරිය නගරය වෙත දුම්රියෙන් ගමන් කරමින් සිටියදී පළමු පංතියේ මැදිරියෙන් එතුමාට ඉවතට යන ලෙස බි‍්‍රතාන්‍ය නිලධාරීන් අණ කළ අතර ගාන්ධි එය ප‍්‍රතික්ෂේප කිරීමෙන් බි‍්‍රතාන්‍ය නිලධාරීන් මැදිරියෙන් ඉවතට තල්ලූ කර දැමීය. මෙම සිදුවීම අසාධාරණ සමාජයට එරෙහිව නැගී සිටීමට ගාන්ධි අධිෂ්ඨානය කරන ලද ප‍්‍රථම අවස්ථාව විය.

1915 දකුණු අප‍්‍රිකාවේ සිට ඉන්දියාවට පැමිණි මහත්මා ගාන්ධි ඉන්දියානු නිදහස් අරගලයට ප‍්‍රවිෂ්ට විය. විදේශ ආධිපත්‍යයෙන් මිදීම, ඉංග‍්‍රීසි පාලනය යටතේ ඉන්දියාව තුළ ඇති වූ ආර්ථික විපර්යාස, ඉංග‍්‍රීසි අධ්‍යාපනය ඉන්දියාව තුළ පැතිරයෑම යන හේතු සාධක ඉන්දියානු ජාතික ව්‍යාපාරය ආරම්භවීමට හේතු විය. රාජාරාම් මොහන්රෝයි, වී.ජී. තිලක්, අරවින් ගෝෂ්, ලජ්පත්, ජී.කේ. ගෝඛලේ යන නායකයින්ගේ මූලිකත්වයෙන් ජාතික ව්‍යාපාරය ආරම්භ විය. මධ්‍යස්ථ මතධාරීන්ගෙන් යුක්ත මෙම ව්‍යාපාරය පෙත්සම්, යෝජනා, සිහි කැඳවීම් හරහා ක‍්‍රියාත්මක විය. ජාතික ව්‍යාපාරය නව මඟකට යොමු කරමින් සහයෝගිතා ව්‍යාපාරය, සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරය හා ඉන්දියාවෙන් පිටවෙනු යන ව්‍යාපාරය මඟින් ජාතික ව්‍යාපාරය විප්ලවවාදී ව්‍යාපාරයක් බවට පත් කරන ලද්දේ ගාන්ධි තුමාය.

සහයෝගිතා වර්ජන ව්‍යාපාරය

1914 ආරම්භ වූ පළමුවන ලෝක සංග‍්‍රාමයේදී, ඉන්දියාව යුද්ධය අවසානයේ ස්වයං පාලනයක් ලබා ගැනීමේ අරමුණින් බි‍්‍රතාන්‍යයන්ට සහය දැක්වීය. යුද්ධය අවසානයේ ඉන්දියානුවන් බලාපොරොත්තු වූ ස්වයං පාලනයක් ලබා නොදීම සහයෝගිතා වර්ජන ව්‍යාපාරය ආරම්භවීමට පසුබිම් විය. මෙම ව්‍යාපාරය මගින්,

01. බි‍්‍රතාන්‍යයන් ලබාදුන් තනතුරු හා නම්බුනාම ආදිය ආපසු භාරදීම සහ ප‍්‍රාදේශීය පාලන සංවිධානවල නිලතලවලින් ඉල්ලා අස්වීම.

02. රජයේ පාසල්, විද්‍යාල සහ උසාවි ඇතුළු නීතිමය ආයතන වර්ජනය කිරීම.

03. විදේශීය භාණ්ඩ වර්ජනයකොට ස්වදේශීය නිෂ්පාදන ප‍්‍රයෝජනයට ගැනීම.

04. ඡන්ද සහ රජයේ වෙනත් කාර්යයන් වර්ජනය කිරීම.

gandi2සිදු කළේය. හින්දු මුස්ලිම් දෙපක්ෂයම මෙම වර්ජන ව්‍යාපාරයට සහය ලබාදුන් අතර ගාන්ධි රට පුරා සංචාරය කරමින් ජනතාව දැනුවත් කළේය. ගාන්ධි දකුණු අප‍්‍රිකාවේදී කළ සේවයට උපහාර පිණිස ලැබුණු රන් පදක්කම ආපසු රජයට භාරදීමෙන් තම ක‍්‍රියාව ආදර්ශවත් ලෙස පෙන්වූ අතර ඉන්දියානු උගතුන් ද තම උපාධි, විරුද නාම ආපසු රජයට භාරදෙමින්, රජයේ රැකියාවලින් ඉවත්වෙමින් ව්‍යාපාරයට සහය දැක්වීය. විදේශීය මත්වතුර හා රෙදිපිළි වර්ජනය මෙහිදී තීව‍්‍ර ලෙස සිදුවිය. ගාන්ධි දේශීය නිෂ්පාදන පරිභෝජනය කරන ලෙස ජනතාව දැනුවත් කළ අතර, විදේශීය රෙදි පිළි වර්ජනය කිරීම මත ජාතික නිදහස පිළිබඳ සංකේතයක් ගොඩනැගෙන්නට විය. 1921 ජුලි මස වනවිට සෑම නිවසකම තක්කලාව හා චර්කාව යන රෙදි විවීමේ යන්ත‍්‍ර භාවිත කළේය. පාසල් ශිෂ්‍යයින් ද වර්ජනයට

සහභාගීවීම විශේෂිත ලක්ෂණයකි. රජයේ පාසල් වර්ජනය කළ ශිෂ්‍යයෝ අලූතෙන් විවෘත කරන ලද පාසල් හා විද්‍යාල වෙත ගියහ.

සහයෝගිතා වර්ජන ව්‍යාපාරයේ තීව‍්‍රම අවස්ථාව ලෙස 1921 නොවැම්බර් 17 වේල්ස් කුමාරයා පැමිණි අවස්ථාවේදී සිදු කළ වර්ජනය සඳහන් කළ හැකිය. වේල්ස් කුමරු බෙංගාලයට පැමිණි දින සිදු කරන ලද හර්තාලය එතෙක් සිදු කරන ලද දැවැන්තම හර්තාලය විය. සාමකාමීව පැවති සහයෝගිතා වර්ජන ව්‍යාපාරය ගොරච්පූර් අසල චචුරි ගම්මානයේදී ඇති වූ කළහකාරී තත්ත්වයේදී පොලිස් නිලධාරීන් 20 ක් ඝාතනය කරන ලද අතර මෙම සිදුවීමෙන් කම්පාවට පත් වූ ගාන්ධි සිය ව්‍යාපාරය නවතා දැමූ අතර එයට වරදකරු තමා ලෙස පිළිගෙන වසර 06ක සිර දඬුවමකට ලක් විය.

සහයෝගිතා වර්ජන ව්‍යාපාරය මගින් දේශීය අධ්‍යාපන ආයතන බිහි වූ අතර, දේශීය නිෂ්පාදන ජනතාව අතර ප‍්‍රචලිත වීම, ජාතික සංගමය කුල හා වාර්ගික බෙදීම් ඉක්මවා ගිය ජාතික බලවේගයක් බවට පත් විය.

සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරය

1930 ජනවාරි 26 වන දින පළමු නිදහස් දින සැමරීම රටපුරා විශාල ප‍්‍රබෝධයක් ගෙනදීමට මෙන්ම, 1929-1932 අතර ඇති වූ ආර්ථික අවපාතය ඉන්දියාවේ කම්කරු පන්තියක් නැගී ඒමට ද හේතු විය. ඉන්දියාවට පූර්ණ නිදහස ලබාදීමෙන් අනතුරුව එවකට සිටි සාමාජිකයන්ට අනාගත ඡුන්දවලට ඉදිරිපත්වීමෙන් වළකින ලෙසද, ජාතික සංගමයේ නායකයින්ට තම සංගමයේ ආසනවලින් ඉවත්වන ලෙසද නියම කර තිබුණි. මෙම පසුබිම මත බි‍්‍රතාන්‍යයන් විසින් පනවන ලද නීති ගරු නොකිරීම පදනම් කරගෙන සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරය ආරම්භ විය. අවිහිංසාවාදී ලෙස සත්‍යග‍්‍රහ පැවැත්වීම, පාසල් හා විද්‍යාල වැනි රජයේ ආයතන වර්ජනය කිරීම, කුලවාදයට විරුද්ධව නැගී සිටීම, ලූණු පිළිබඳ නීතිය කඩා දැමීම, බදු නොගෙවීම, විදේශීය රෙදි පිළි පුළුස්සා දැමීම මෙම ව්‍යාපාරය තුළ සිදු විය.

දණ්ඩි පා ගමන

”මේ ගමනේ මට අවශ්‍ය දේ ලබාගෙන නැවත එමි. එසේ නොහැකි වේ නම් මගේ මළ කඳ මුහුදේ පාවෙනු ඇතැයි” පවසමින් ලූණු සත්‍යග‍්‍රහයට 1930 මාර්තු 12 වන දින ගාන්ධි ප‍්‍රවිෂ්ට විය. මෙය සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරයෙහි ආරම්භක පියවර විය. ලූණු නිෂ්පාදනය රජයේ ඒකාධිකාරියක් වූ බැවින් 1930 එහි සිල්ලර මිලෙන් භාගයක් බදු වශයෙන් රජයට ගෙවිය යුතු විය. එපමණක් නොව මේ වනවිට ලූණු වතුරෙන් ලූණු නිපදවීමද නීතියෙන් තහනම් විය. 1930 අපේ‍්‍රල් 06 වන දින වෙරළේ තිබූ ලූණු එකතු කරමින් ගාන්ධි ලූණු නීතිය කඩ කළේය. ගුජරාටි වෙරළාසන්නයේ දණ්ඩි නම් ගමට සිය අනුගාමිකයන් 78 දෙනා සමග ගිය මෙම මහා පාද යාත‍්‍රිකාව දණ්ඩි පා ගමන නම් විය. රට පුරා ස්ථාන 500ක ලූණු නිපදවීම ආරම්භ වූ අතර යොවුන් ඉන්දියා (Young India) පුවත් පත‍්‍රයෙහි ගාන්ධි ”අනාදිමත් කාලයක සිට සූර්ය තාපය උපයෝගී කරගෙන මූදුදියෙන් නිදහසේ ලූණු සිඳ ගත්තේ යම්සේද, අද එම නිදහස එසේම පැවතිය යුතු යැයි ප‍්‍රකාශ කර සිටියේය.” ඉන්දියා ඉතිහාසයේ ප‍්‍රථමවරට ගැහැණු පිරිමි දෙපක්ෂයම නිදහස් ව්‍යාපාරයේ කොටස්කරුවන් බවට මෙමගින් පත් විය.

ඉන්දියාවේ හරිජන යනුවෙන් වෙන්කර සිටි ජනතාව වෙනුවෙන් නැගී සිටියේද එතුමාය. හරිජනයාගේ ජීවිත නගාසිටුවීම සඳහා ගාන්ධි දරුවන්ට ඉගැන්වීම, වැඩිහිටියන්ට දැනුම ලබාදීම සිදු කළේය. සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරය මර්දනය කිරීමට ජාතික සංගම් නායකයින්, ස්වේච්ඡුා සේවකයින් සිරගත කරනු ලැබුවද ඔවුන්ගේ දේශානුරාගය බිඳ නොවැටුණි. වයඹදිග දේශසීමා ප‍්‍රාන්තයේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා රෙජිමේන්තුවද මේ වනවිට ජාතික ව්‍යාපාරයට සහය දැක්වූ අතර මේ අනුව බි‍්‍රතාන්‍යයන් සම්මුතියක් මගින් මෙම තත්ත්වය සමථයකට පත් කිරීමට උත්සාහ කළේය. මේ අනුව 1931 මාර්තු 04 වන දින ගාන්ධි- අර්වින් සම්මුතිය මගින් සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරය නවතා දැමීය. මෙම ගිවිසුමෙන් මුහුදුබඩ පදිංචිකරුවන්ට ලූණු සෑදීමට, සාමකාමී විරෝධතා ව්‍යාපාර පැවැත්වීමටත් නිදහස හිමි විය.

සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරය (1932-1934)

1932 ජනවාරි 01 වන දින ජාතික සංගමයේ ක‍්‍රියාකාරී කමිටුව ගත් තීරණයකට අනුව මහත්මා ගාන්ධි සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරය නැවත ආරම්භ කළ අතර මේ සමඟ ආණ්ඩුව මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු සිරගත කළේය. මෙම මර්දනකාරී ක‍්‍රියා මාර්ග මගින් ජනතාව මර්දනය කිරීමට නොහැකි වූ අතර බි‍්‍රතාන්‍යයන්ට අයත් කඩ සාප්පු ඉදිරිපිට ඔවුන් වර්ජන කරන්නට විය. ලූණු නීති පමණක් නොව කැලෑ ආරක්ෂක නීතීන් ද කඩා දමන ලද ඔවුන් තහනම් කරන ලද ජාතික සංගම් රැස්වීම් ද පවත්වන ලදී.

මෙකල බි‍්‍රතාන්‍යයන් බෙදා පාලනය කිරීමේ ක‍්‍රමවේදය යටතේ හින්දු, හරිජන හා මුස්ලිම් යන ජනකොටස් සඳහා ජනවාර්ගික පදනම මත ව්‍යවස්ථාදායක සභාවේ ආසන ලබාදීමට බි‍්‍රතාන්‍යයන් ක‍්‍රියා කළේය. නමුත් ගාන්ධිට අවශ්‍යව පැවතියේ හරිජන ආසනවලට ඉඩ සලසන පොදු ජන කොට්ඨාසයක් ආරම්භ කිරීමටය. මෙම විරෝධතාවය මත ගාන්ධි පූනා අසල යෙර්වදා බන්ධනාගාරයේ සිරගත කළ අතර නමුත් මෙහිදී පූනා එකඟත්වය මත පොදු වැඩපිළිවෙළක් ඇති කර ගැනීමට ගාන්ධිට හැකි වූ අතර 1932 සැප්තැම්බර් මස බි‍්‍රතාන්‍යය රජය එය පිළි ගත්තේය. සත්‍යග‍්‍රහය තුළ එහි ජනතාව අමානුෂික ලෙස මර්දනය කිරීමත් ඉහළ කුලවල හින්දූන් හරිජනයාට ලබාදුන් වධහිංසන මත කළකිරීමට පත් ගාන්ධි සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරය අත්හිටුවන ලදී.

ඉන්දියාවෙන් පිටවෙනු ව්‍යාපාරය

ඉන්දියාවට පැමිණි ක‍්‍රිප්ස් දූත මෙහෙවර ඩොමීනියන් නිදහසක් ලබාදීමට ක‍්‍රියා කරන බව වටහා ගත් ජාතික සංගමයේ නායකයෝ මේ වනවිට ඉන්දියාව තුළ ගොඩනැගෙමින් පැවති හින්දු හා මුස්ලිම් ගැටුම විසඳීමට පැවති හොඳම ක‍්‍රමය බි‍්‍රතාන්‍යයන් ඉන්දියාවෙන් පිටමං කිරීම බව තීරණය කළේය. මුස්ලිම් ලීගයට බි‍්‍රතාන්‍යයන් රහසින් උදවු කරන බව වටහාගත් ජාතික සංගමය බි‍්‍රතාන්‍යයන් ඉන්දියාවෙන් පලවා හැරිය යුතු බව තීරණය කළේය. ගාන්ධි මෙන්ම සෙසු නායකයින් සිරෙන් නිදහස්කොට රජය ඔවුන්ගේ සහය ලබා ගැනීමට ප‍්‍රබල උත්සාහයක නිරත වුවද පූර්ණ නිදහස හැර සෙසු ක‍්‍රමවේදයකට ජාතික නායකයෝ එකඟ නොවීය.

කල්කටාව වැනි ප‍්‍රදේශවල ඉංග‍්‍රීසි ජාතිකයින්ට මහ මග ගමන් කිරීමට ද දුෂ්කර විය. කුඩා දරුවන් පවා පොලිස්, හමුදා භටයන්ට බියක් නොදැක්වීය. දෙවන ලෝක යුද සංග‍්‍රාමයෙන් අනතුරුව පැවති බි‍්‍රතාන්‍ය මහා මැතිවරණයේදී කම්කරු පක්ෂය බලයට පත් වූ අතර සමාජවාදී ප‍්‍රතිපත්ති ගරුක ක්ලෙමන්ට් ඇට්ලි අග‍්‍රාමාත්‍ය තනතුරට පත් විය.

මෙම පසුබිම ජාතික සංගමයට සිය අපේක්ෂා ඉටු කර ගැනීමට ප‍්‍රබල මාර්ගයක් වූ අතර ඉන්දියානුවන් අර්ධ නිදහසකට එකඟ නොවන බව බි‍්‍රතාන්‍යයන්ට අවබෝධ විය. මේ අනුව බි‍්‍රතාන්‍යයන් ඉන්දියාවෙන් පිටවීමට තීරණය කළ අතර 1947 අගෝස්තු 15 ඉන්දියාව නිදහස් රාජ්‍යයක් විය. නමුත් මේ සමගින් එකම රටක් ලෙස පැවති ඉන්දියාව ඉන්දු- පාකිස්තාන් ලෙස රටවල් දෙකකට බෙදුණි. නමුත් මහත්මා ගාන්ධිගේ මැදිහත්වීම මත නිදහස් ඉන්දියාවක් නිර්මාණය කිරීමට ජාතික සංගමයට හැකි විය.

එස්.ඒ. දිලිනි දුලාංජලී ධනවර්ධන
පේරාදෙණිය විශ්වවිද්‍යාලය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More