පුරවැසි කොලම

යහපාලන මෛත්‍රිපාල රනිල් ජෝඩුව සහ එවකට ආණ්ඩු බලයේ සිටි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම විසින් සම්මත කරගත් 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලද්දේ අධිකරණ ඇමැතිව සිටි විජයදාස රජපක්ෂ මහතාය. රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාව මත මෙම ව්‍යවස්ථා සංශෝධන කොටුම්පත සකස් කරන ලද්දක් බව බොහෝ දෙනා දනී. විශේෂයෙන්ම එවකට ප්‍රබලව සිටි රාජපක්ෂ කණ්ඩායම දුර්වල කිරීම පිණිස එල්ල කළ විශේෂ සංශෝධන කීපයක් එහි විය. එසේම කුමන ප්‍රශ්න පැන නැගුණද වසර හතරහමාරක කාලයක් ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපාදනද එහි ඇතුළත් විය. මෙම සංශෝධනය නිසා සිදු වූයේ යහපාලන රජය ආරම්භයේ සිටම ඉතාමත් දුර්වල තත්ත්වයකට පත් වීමයි. මෛත්‍රිපාල සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා අතර ව්‍යවස්ථාමය සන්ධානයක් ඇති කරමින් රජයක් පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වූ තවත් මන්ත්‍රීවරයෙකු විය. ඒ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේය. 2014 වර්ෂයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මුළු දුන් පිවිතුරු හෙටක් රැස්වීමකදී රතන හිමියන් විසින් මෙම අදහස අඩංගු පත්‍රිකාවක් රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙනු ලැබීය. විධායක ජනපතිවරයාගේ බලතල අඩු කිරීම ව්‍යවස්ථාදායක සභාවක් පත් කර ගැනීම ස්වාධීන කොමිෂන් සභා බල ගැන්වීම ආදී කරුණු එහි අඩංගු විය.

යහපාලන කාලවකවානුව තුළ අප පසක් කරගත් පරිදි ව්‍යවස්ථා දායක සභාව එකම විකාරයක් විය. එහි ඇත්තේ පක්ෂ දේශපාලන අරමුණු සහ දෙමළ ජාතිවාදී අරමුණු මිස ජාතික දේශපාලන අරමුණු නොවේ. කොමිෂන් සභාවලට පත් වූයේ ද රට අවුල් කිරීම පිණිස නිතර කතා කරන විදේශීය හාම්පුතුන්ගේ මුදලින් නඩත්තු වන පිරිස්ය. එසේත් නොමැති නම් දෙමළ ජාතිවාදීන්ය. මුස්ලිම් අන්තවාදීන්ය. මෙම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පිරිස් අතර ඉදිරියෙන්ම සිටින කෙනෙක් වූ විජයදාස එදා පාර්ලිමේන්තුවේ දී 70 (1) වන ව්‍යවස්ථාව සංශෝධනයට කරුණු ඉදිරිපත් කරන ලද්දේ කිසිම හිරිකිතයක් නොමැතිවය. මෙම 70 ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ ජනපතිවරයාගේ බලතල පිළිබඳවයි. වසරකට පසුව පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකියැයි 78 ව්‍යවස්ථාව මගින් ජනපතිට දුන් බලය අඩංගු වැකිය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රනිල් වික්‍රමසිංහට අවශ්‍ය විය. ඒ මන්ද වසර හතරහමාරක් ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට බෙදුම්වාදයට පාර කපා රට බෙදා ඉවර කරන්නටයි. විජයදාස රාජපක්ෂ මහතා ඒ බැව් දැන සිටියේය. ඔහුටද අවශ්‍ය වූයේ යම් කිසි ආකාරයකින් සිංහල බෞද්ධ බලය ශූන්‍ය කරන්නටයි. හිරිකිතයක් නැතිව මෙම සංශෝධන කිරීමට ඔහු ඉදිරිපත් වූයේ ඒ නිසාය. නමුත් 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය බව 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දී තිබිණි. එය නොසලකා හැර තුනෙන් දෙකක පාර්ලිමේන්තු ඡන්ද බලයකින් සංශෝධනය සම්මත කිරීමට රනිල් හැකි වූයේ එක්සත් ජාතික නිදහස් සන්ධානය ද නොමග යවමිනි.

මේ කුමන්ත්‍රණය පිළිබඳ 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට දී සාකච්ඡා වූයේ නැත. ශ්‍රී පවන් ඇතුළු විනිසුරු මණ්ඩලය වංගුවක් ගසා 2002 නඩු තීන්දුව නොසලකා හරින ලද්දේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2018 වසරේ මෛත්‍රිපාල ජනපතිවරයා විසින් ආණ්ඩුව විසිරුවීමෙන් පසු මහත් වූ ව්‍යවස්ථා අර්බුදයක් ඇති විය.

ඉතින් අද තත්ත්වය කුමක්ද. මේ වන විට යම් සංශෝධන සහිතව 20 වන ව්‍යවස්ථා පනත සම්මත ව තිබේ. සැබවින්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති තනතුරට පත් වූයේ සිංහල බෞද්ධ බහුතරයක ඡන්ද බලයෙනි. එහෙත් රට වෙනුවෙන් ඔහුට හිතුවක් කළ නොහැකිය. එයට පළමු හේතුව වන්නේ රනිල් වික්‍රමසිංහ විජයදාස වැන්නවුන් මුල් වී කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ගැන ඔහු හරිහැටි තේරුම් ගෙන නොසිටීමයි. ඒ වෙනුවට ඔහු ගෙනා විස්ස මහත් අවුලක් ඇති කර තිබිණි. නීතිපතිවරයා විසින් නිවැරදිව නීති උපදෙස් දුන්නේ නම් ඔහු මේ අමාරුවේ වැටෙන්නේ නැත. විස්ස සම්මත කිරීමේදී ප්‍රබල මහජන විරෝධයක් එල්ල වූයේ එහෙයිනි. සැබවින්ම 19 සම්මත වූයේ තුනෙන් දෙකකින් පමණකි. එහිදී හිටපු කථානායකවරයාගේ වගකීම විය යුතුව තිබුණේ. 78 ව්‍යවස්ථාවේ 79 වගන්තිය ප්‍රකාරව ඔහුගේ අත්සන යොදා ජනාධිපතිවරයා වෙත කෙටුම්පත යැවීමයි. එවිට ජනපතිවරයාට ජනමත විචාරණයක් කැඳවීමට බලය ලැබේ. නමුත් එසේ සිදු නොවීමට හේතුව වූයේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුළු පාර්ලිමේන්තුවම නොමග යැවීමයි. සරත් වීරසේකර මහතා පමණක් මෙම සංශෝධනයට විරුද්ධව ඡන්දය භාවිත කළද වෙනත් කිසිම මන්ත්‍රීවරයකුට එවැනි නුවණක් පහළ වූයේ නැත. කාරක සභා අවස්ථාවේ දී විජයදාස රාජපක්ෂ විසින් 1978 ව්‍යවස්ථාවේ වගන්ති අමු අමුවේ ඉවත් කරමින් අලුත් වගන්ති රිංගවීම කළේය. ඉන් ඒකක් නම් අග්‍රාමාත්‍යවරයා පිළිබඳ සඳහන් වන වගන්ති දෙකකි. අගමැති ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක් මගින් සිය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුවහොත් මිස යම් තාක් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය. යන්න ඒ වගන්තිවල ඇතුළත්ව තිබිණි.

මෙය නම් අගමැති රනිල් කිසිම කරුණකින් ඉවත් නොකිරීමට ඇටවූ සංශෝධනයකි. කෙසේ වෙතත් 19 විසින් කරන ලද විනාශය පෙරට පැමිණියේ හිටපු ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හළ අවස්ථාවේ දීය. එහිදී අධිකරණය විසින් එය ව්‍යවස්ථා විරෝධී යයි තීන්දු කළ බව කවුරුත් දනී. සම්මත නොවූ ව්‍යවස්ථාවක පිහිටා දුන් තීන්දුවක්ද නිවැරදි නොවේ යැයි තර්ක කළ හැක්කේ ව්‍යවස්ථා විශාරදයෙකුට පමණි. නමුත්, වත්මන් විස්සට දෙන තීන්දුවෙන් ඒ බැව් තහවුරු විය. එයට හේතුව 19 වැරදි ගැන පෙත්සම්කරුවන් සාකච්ඡා කළ බැවිනි. ජනපතිවරයා බුද්ධිමත්ව කටයුතු කළේ නම් 19 ඉවත් කරගන්නට ඔහුට කෙටි ක්‍රම තිබිණි. එනම් ජනපතිවරයාට 129 ව්‍යවස්ථාව මගින් දී තුබූ බලතල ක්‍රියාත්මක කිරීමයි. එනම් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමයි. නමුත් ජනපතිවරයාට එයට ඉඩහසර නොලැබුණි. කලින්ම 19 අඩපණ කොට මන්ත්‍රී මණ්ඩලය සමග සාකච්ඡා කොට අත්‍යවශ්‍ය සංශෝධන කීපයක් පමණක් 20 වශයෙන් පසුව ගෙන එන්නට තිබිණි. එනම් අමාත්‍ය මණ්ඩලය 30 ට අඩු කිරීම හදිසි පනත් ගෙන ඒමට තිබෙන හදිසිය නැති කිරීම මෙන්ම ද්විත්ව පුරවැසි බව ආදී තැන් නිවරදි කර ගැනීමට අවස්ථාව තිබිණි. නමුත් සතුරන් ඊට ඉඩදී නැත.

විශේෂයෙන්ම කවුරුත් දැන ගත යුතුම කාරණ නම් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දයෙන් පරාජය කොට තිබුණද ඔහු වටා පෙළ ගැසී සිටි විදේශීය හාම්පුතුන් පරාජය කොට නොමැති බවයි. ඔවුන් විසින් ලංකා අධිකරණයද පාලනය කරන බව කියන්නට පැහැදිලි සාක්ෂි තවමත් නැතද 20 වන සංශෝධනයට එරෙහි දී තිබෙන විනිශ්චයෙන් යම් කිසිවක් තේරුම් ගන්නට හැකිය. දැනට අන්තර් ජාලයේ සංසරණය වන නඩු තීන්දු පිටපත අනුව 20 සංශෝධනයේ 3 සහ 5 එමෙන්ම 14 සහ 22 ට ජනමත විචාරණයක් අවශ්‍ය වේ. තෙවන ව්‍යවස්ථාවෙන් පැරණි 33 ගැන කියැවෙන අතර පස්වන ව්‍යවස්ථාවෙන් පැරණි 35 ගැන කියැවේ. 14 වගන්තියෙන් කියැවෙන්නේ 70(1) ව්‍යවස්ථාව ගැනයි. 22 යනු 104 ව්‍යවස්ථාවයි. 2002 නඩු තීන්දුවට අදාළ වන්නේ 70 ව්‍යවස්ථාවයි. 2015 දී එය ජනමත විචාරණයකින් සම්මත නොවුණු අතර එයට එරෙහිව තීරණයක් ගත් මෛත්‍රිපාල ජනපතිවරයා අසරණ කරනු ලැබිණ. දැන් මෙලෙස ජනමත විචාරණයකින් සම්මත නොවූ වගන්තියක් යළි වෙනස් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව දක්වා තිබේ. මෙම තීන්දුව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 කඩකොට තිබේ. නම් ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට උසාවි තීන්දුවක් මගින් බල කර ඇත. සැබවින්ම 2015 කුමන්ත්‍රණයේ තවත් දිගුවක් ලෙසට මෙය සැලකිය නොහැකිද. 33 ව්‍යවස්ථාව තුළ පවතින ප්‍රතිසන්ධානය නමැති එන්ජීඕ වචන වෙනස් කිරීමටද ජනමත විචාරණයක් අවැසිය. කුමන්ත්‍රණය එතැනින්ම තේරුම් ගත හැකිය. මෙහි තිබෙන භයානකම තත්ත්වය නම් යම් හෙයකින් 1978 ව්‍යවස්ථාවේ නවවන වගන්තිය හෙවත් බුද්ධාගම පිළිබඳ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්ද බලයෙන් පමණක් සම්මතව නීතියක් බවට පත් වුවහොත් එය වෙනස් කිරීමට නැවත ජනමත විචාරණයක් පැවැත්වීමට සිදු වීමයි. මේ ආකාරයට රනිල් වික්‍රමසිංහ විජයදාස රාජපක්ෂ සුමන්තිරන් ඇතුළු දෙමළ බෙදුම්වාදීන් මෙන්ම බද්යුදීන් වැනි මුස්ලිම් අන්තවාදීන් බලාපොරොත්තු වන විනාශය තව දුරටත් සිදු වීමට ඉඩ ඇත. දහනවය ගැන වඩා තීක්ෂණව මෙවර පාර්ලිමේන්තුව තුළ සාකව්ඡා නොවීම බරපතළ අඩුවක් ලෙසට සලකන්නේ එබැවිනි.

•මතුගම සෙනෙවිරුවන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More