පුරවැසි කොලම

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය 28 වැනිදා මෙරටට සම්ප‍්‍රාප්ත විය. පොම්පියෝ ශ‍්‍රී ලංකාවට පැමිණියේ කොරෝනා වසංගතය වර්ධනය වීම ගැන සොයා බැලීමට නොවේ. චීන විරෝධී න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක කරන ඇමෙරිකාව හම්බන්තොට වරාය චීනයට බදුදීම සහ කොළඹ පෝට්සිටි ව්‍යාපෘතිය ගැන දැඩි නොසතුටපළ කර තිබුණි. පසුගියදා චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ඉහළම නිලධාරියකු මෙරටට පැමිණීම කෙරේද ඇමෙරිකාවේ අවධානය යොමු විය. ඊට පෙර ජපන් ආරක්‍ෂක ඇමැතිවරයා ද හම්බන්තොට වරාය නිරීක්‍ෂණය කරනු ලැබීය. මේ හැර කොළඹ ප‍්‍රංශ තානාපතිද හම්බන්තොට වරායේ නිරීක්‍ෂණයක යෙදුණි. මෙවන් පසුබිමක් මැද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු බලධාරීන් චීනයට එරෙහි ආරක්‍ෂක ජාලයක් ස්ථාපිත කිරීමේ මෙහෙයුමක නිරත වූහ.

ඊට ඉන්දියාව ශ‍්‍රී ලංකාව, මාලදිවයින ඉන්දුනිසියාව යන රටවල් ඇතුළත් කර ගැනීම ඇමෙරිකාවේ අරමුණ විය. මෙයට සති කීපයකට පෙර ඇමෙරිකාව සහ මාල දිවයින අතර ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කෙරුණේ මාලදිවයින හමුදාවට පුහුණුවක් ලබාදීමේ මුවාවෙනි.

මෙම තත්ත්වය මත ඇමෙරිකානු රජය ශ‍්‍රී ලංකාවට යොමු වන්නේ ඉන්දියාව හරහායි.

පසුගිය යහපාලන රජය සමයේ සෝපා සහ ඇක්සා ගිවිසුම් හරහා ඇමෙරිකාව උපාය මාර්ගික වැඩ පිළිවෙළක් දියත් කරනු ලැබීය. ත‍්‍රිකුණාමලයට ආසන්න මුහුදේ නතර කර තිබූ ජෝන් ස්ටෙනිස් නැව උපයෝගි කරගෙන කටුනායක ගුවන් තොටුපළ හරහා භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමට ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ක‍්‍රියා කළ අතර ඊට කිසිවකුගේ විරෝධය හිමි වූයේ නැත.

මේ ගැන ඇමරිකානු තානාපතිනි ඇලෙයිකා පෙලිට්ස් පැවසුවේ ශ‍්‍රී ලංකාව තුළ ඇමෙරිකානු භට පිරිසක් සිටින බවත් ඔවුන් ප‍්‍රවාහන කටයුතු මෙහෙය වන බවත්ය. එහෙත් සත්‍ය තත්ත්වය එය නොවේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තම සැලසුම් සකස් කරන්නේ ඉදිරි වසර දහය සඳහායි. එම කාලය තුළ අලූතින් නාවික කඳවුරු ස්ථාපිත කළ හැකි රටවල් ගැන ඇමෙරිකානු බලධාරීහු අවධානය යොමු කරති.

මාලදිවයින ජනාධිපති ලෙස කටයුතු කළ යමීන් චීනය වෙත නැඹුරු විය. එහි ප‍්‍රතිඵලය වූයේ යමීන් බලයෙන් පහ කිරීමට ඇමෙරිකාව ක‍්‍රියා කිරීමයි. මේ අතර ඉන්දීය ලංකා දේශ සීමාවේ 60000 ක භට පිරිසක් සිටින බවට ඇමෙරිකාවට වාර්තා විය. එහි ප‍්‍රතිඵල වූයේ ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් මාර්ක් එස්කර් සමග රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දියාවට පැමිණීමයි. මෙවන් තත්ත්වයක් යටතේ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ අප මුල්තැන දෙන්නේ ඉන්දියාවට යැයි පවසනු ලැබීය. එය ඇමෙරිකාවට වාසිදායක පිළිවෙතකි. රජය ජාතික සංවිධානවල දැඩි විරෝධය නොතකා ඇමෙරිකානු ද්විත්ව පුරවැසියකු වූ මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ‍්‍රී ලංකා තානාපති කිරීමද ඇමෙරිකාවේ සතුටට හේතු විය.

මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය ආරක්‍ෂක ලේකම් මාර්ක් එස්තර් සම`ග නවදිල්ලියට පැමිණීයේ ඇමෙරිකාව සහ ඉන්දියාව අතර වූ ඇමැති සංවාදයේ දෙවැනි අදියර සඳහා බව හෙළි විය. එසේම ඇමෙරිකාව සහ ඉන්දියාව අතර චන්ද්‍රිිකා තොරතුරු හුවාමරු කර ගැනීමේ ගිවිසුමක් අත්සන් කිරීමටද ක‍්‍රියා කර ඇත. මෙම චන්ද්‍රිකා දත්ත ලබාදීමේදී ශ‍්‍රී ලංකාවට අදාළ තොරතුරුද ඉන්දියාවට ලබාදීමට ඇමෙරිකාව ක‍්‍රියා කරනු ඇත. ඊට පෙර ඇමෙරිකානු ශාන්ති කර කලාපීය හමුදා විධානය මෙලෙස ප‍්‍රකාශ කර තිබුණි. ඉන්දු පැසිපික් සංවිධානය ඇමෙරිකානු අයිතිවාසිකම් ඉන්දු පැසිපික් කලාපය තුළ ආරක්‍ෂා කිරීමට ක‍්‍රියා කරනු ඇත. ඒ සඳහා ආරක්‍ෂක සහයෝගීතාවයක් ගොඩනැංවෙනු ඇත. මෙහිදී මතුවන බරපතළ ප‍්‍රශ්නය නම් ආරක්‍ෂකසහයෝගිතාවයක් ගොඩනැංවෙන්නේ කවුරුන් සමගද යන්නයි. ඒ ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව යන රටවල් සමගය. එසේ වූවත් ශ‍්‍රී ලංකාව මේ සඳහා අනුමැතියක් පළකර නැත. එසේම එම්. සී. සී. ගිවිසුමට අදාළ මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මයික් පොම්පියෝයි. රජයේ දේශපාලකයන් පොම්පියෝගේ සංචාරය ද්වි පාක්‍ෂික සබඳතා ගැන සාකච්ඡුා කිරීමක් සඳහා මුල් වූ රාජ්‍ය සංචාරයක් බවට පැවසුවත් සත්‍ය නම් එම්. සී. සී. ගිිවිසුම ගැන රජයට අවධානය යොමු කිරීමයි. එහෙත් වත්මන් රජයට චෝදනා එල්ල කරන පිරිස් එහි කොටස් දෙකක් අත්සන් කළේ යහපාලන රජය බවත් සෝපා ගිවිසුම සඳහා ද යහපාලන රජය එක`ගත්වය පළ කර තිබූ බවත් අමතක කර ඇත. මේ පසුබිම මැද ඇමෙරිකාවේ සහ චීනයේ ගැටුමට ශ‍්‍රී ලංකාව මැදිවී ඇත. මේ ගැන චීන තානාපති කාර්යාලය දැඩි විරෝධය දක්වා පැවසුවේ ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇමෙරිකාව බලපෑම් එල්ල කිරීමෙන් වැළකිය යුතු බවයි. මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් විසින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පනවා ඇති තහනම ගැන රජය ඇමෙරිකාවේ අවධානය යොමු කරන තිබේ.

එහෙත් එම තහනම ඉවත් වනු ඇතැයි සිතිය හැකිද? මයික් පොම්පියෝ මෙරට පැවතියේ ත‍්‍රස්තවාදී යුද්ධයක් යැයි පිළිගෙන නැත. ඔහු පවසන්නේ ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයක් පැවැති බවත් එහිදී නිතීවිරෝධී ලෙස ඝාතන සිදු කිරීම නිසා තහනම පැන වූ බවයි. යුධ අපරාධ සිදු කළ අයවළුන්ට එරෙහිව වගවීමේ ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නෙමු යැයි පොම්පියෝ තවදුරටත් පවසා ඇත. එසේ නම් මයික් පොම්පියෝද යුද අපරාධකරුවෙකි. ඔහු සී. අයි.ඒ. ප‍්‍රධානියාව සිටියදී ඇෆ්ගනිස්තානයට එරෙහිව ඩ්‍රෝන් ප‍්‍රහාර එල්ල කිරීමට අනුමැතිය දුන්නේ ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරවය.

එසේම යුද අපරාධ චෝදනා එල්ල වූ ඇමෙරිකානු සෙබළුන්ට එරෙහිව පරීක්‍ෂණ පැවැත්වීමට ඉඩ නෙදෙන බවත් පරීක්‍ෂණ පවත්වන බව පවසන ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරුවන්ගේ වත්කම් තහනම් කරන බවත් ඔහු තර්ජනය කර ඇත. මින් තහවුරු වන්නේ බලවත් රටවල හමුදාවලට එල්ල වූ යුද අපරාධ චෝදනා වසන් කිරීමටත් අනිකුත් රටවල හමුදාවන්ට එල්ල වන යුද අපරාධ චෝදනා විභාග කිරීමටත් තීරණය කිරීම දෙබිඩි පිළිවෙතක් නොවේද? කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව අද මැදි වී සිටින්නේ ඇමෙරිකාව ඉන්දියාව සහ චීනය යන රටවල්වලටය. ඉන්දීය රෝ සංවිධානය සහ ඇමෙරිකානු සී. අයි. ඒ. සංවිධානය ශ‍්‍රී ලංකාව ගනු ලබන ක‍්‍රියාමාර්ග කෙරේ දැඩි අවධානයකින් සිටි මෙරට දේශපාලන ක්‍ෂේත‍්‍රය වෙත දැනටමත් දේශීය රෝ නියෝජිතයකු ඇතුල් වී සිටී. මෙවන් පසුබිමක් මැද ඇමෙරිකාවේ ඡුන්දය ආරම්භ වී තිබියදී මයික් පොම්පියෝ ඉන්දියාව ශ‍්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරය කළේ එම රටවලට ආධාර කිරීමට නොවේ.

ඇමෙරිකානු ආරක්‍ෂක වාර්තාවක සඳහන් වූයේ ඉන්දීය සාගරයේ හොඳම උපාය මාර්ගික කේන්ද්‍රස්ථානය ශ‍්‍රී ලංකාව බවයි. ඇමෙරිකාවේ මේ ප‍්‍රකාශය සහ ශ‍්‍රී ලංකාව සම්බන්ධව අනුගමනය කළ පිළිවෙත මෙරට ජනතාවගේ අවධානයට යොමු විය යුතුයි. මේ එම අතීතයයි.

1. හිටපු නාවික හමුදාපති ට‍්‍රැවිස් සින්නයිසා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක ප‍්‍රධානියා කර ගැනීම

2. ඇමෙරිකානු නාවික හමුදා ගුවන් යානාවලට චීන වරායට සහ මත්තල ගුවන් තොටුපළට ගොඩබැස්වීමට අවසර දීම.

3. ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ට හම්බන්තොට වරාය නිරීක්‍ෂණයට ඉඩදීම.

4. ඊට සමගාමීව ප‍්‍රංශ තානාපති හා චීන ආරක්‍ෂක ඇමැති හම්බන්තොට වරාය විමර්ශනයට ලක් කිරීම

5. යහපාලන රජයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇමෙරිකාවේදී කෙටුම්පත් කිරීම.

6. යුද හමුදාවට එරෙහිව හයිබි‍්‍රඞ් අධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා ඇමෙරිකාවේදී අනුමැතිය දීම.

මේ අතර මයික් පොම්පියෝ ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඞීන් තොම්සන් මෙරටට තර්ජනය කළේය. ඔහු පැවසූවේ ශ‍්‍රී ලංකාවේ රජය ඇමෙරිකාවද චීනයද යන්න තීන්දුවක් ගත යුතු බවයි. මෙයට පෙර ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අවස්ථාවේ ඇමෙරිකානු නිලධාරීනියන්

ශ‍්‍රී ලංකාවට තර්ජනය කරනු ලැබීය.

එසේම ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් තොම්සන් තවදුරටත් පැවසූවේ ශී‍්‍ර ලංකාව 20 වැනි සංශෝධනය සම්මත කිරීම ගැන නිරීක්‍ෂණය කළ බවයි. මේ තත්ත්වය මැදි චීන විරෝධී ඇමෙරිකානු මෙහෙයුම කොළඹ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා පෙලිට්ස්ද ආරම්භ කර තිබේ. වියානා සම්මුතිය අනුව වෙනත් රටකට එරෙහිව ක‍්‍රියා කළ නොහැකි වූවත් ඇමෙරිකානු තානාපතිනිය ඒ ගැන සැලකිලිමත් වන්නේ නැත.

මෙම පසුබිම මැද එම්. සී. සී. ගිවිසුම අත්සන් කරනු ලැබුවේ යහපාලන රජය බව විපක්‍ෂයට අමතක වී ඇත. එම ගිවිසුමේ මෙහෙයවීම් කටයුතු සඳහා ඩොලර් මිලියන 10 ක මුදලක් යහපාලන රජයට ලබා දී තිබුණි. එම අතීතය වසන් කිරීමට විපක්‍ෂ දේශපාලකයෝ දැඩි උත්සාහයක යෙදී තිබේ. එසේම ඇමෙරිකානු නාවික විධානයේ ප‍්‍රධානී අද්මිරාල් හැරී හැරිස් මෙයට කලකට පෙර කළ ප‍්‍රකාශය අපි අනාවරණය කළෙමු. ඔහු පැවසූවේ ඉන්දීය සාගරයේ උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක ශ‍්‍රී ලංකාව ඇති බවයි.

මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන් පසු කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවසූවේ ඇමෙරිකාව සහ ශ‍්‍රී ලංකාව ඉන්දු පැසිපික් කලාපයේ ප‍්‍රධාන පාර්ශවකරුවන් බවයි.

එසේම ශ‍්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනයට අතුල් පහරක්ද එල්ල කරනු ලැබීය. ශ‍්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් කළ ඇතැම් ගිවිසුම් නිසා ශී‍්‍ර ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝණය වී ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

මයික් පොම්පියෝ ශ‍්‍රී ලංකාව සම්බන්ධව කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වූ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ශ‍්‍රී ලංකාව චීන ණය උගුලට කොටු වූයේ නැතැයි පළ කළේය. මෙලෙස පැය 16 කට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමත් සම`ග විපක්‍ෂයේ ඇතැම් නවක දේශපාලකයන් මයික් පොම්පියෝ මෙරටට පැමිණියේ කුමකටදැයි හෙළි කළ යුතු යැයි රජයෙන් ඉල්ලා ඇත.

එහෙත් මෙයට වසර ගණනකට පෙර ජෝන් කෙරී නැමැති ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීම ගැන එවකට සිටි රජය කිසිදු තොරතුරක් ජනතාවට හෙළි කළේ නැත. මේ හැර යහපාලන රජය සමයේ ඇමෙරිකානුවන් මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙද්දී එකී දේශපාලකයන් නිහඬ විය.

ශ‍්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළ බව පිළිගනිමින් හිටපු විදේශ ඇමැති මංගල සමරවීර 30/11 ජිනීවා යෝජනාව අත්සන් කරද්දී මේ විපක්‍ෂ දේශපාලකයන් සිටියේ කොහේද? මේ අතර රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ චීන කොමියුනිස්ට් පක්‍ෂය හැඳින් වූයේ ප‍්‍රිඬේටර් හෙවත් විලෝපියකු ලෙසයි. ඊට ප‍්‍රතිචාර දැක්වූ චීනය විලෝපියා සහ පිටසක්වල ජීවීන් එකම පිරිසක් බවත් එම සෙල්ලමට චීනය සම්බන්ධ නොවන බවයි. මෙවන් පසුබිමක් මැද 2002 සිට ඉන්දියාව විසින් ඇමෙරිකාව සම`ග හමුදා ගිවිසුම් හතරක් අත්සන් කර තිබේ. මේ අතර මයික් පොම්පියෝ සිය ශ‍්‍රී ලංකා සංචාරයේදී තවදුරටත් පැවසූවේ

ශ‍්‍රී ලංකාව ඇමෙරිකාවට වැදගත් වූ කලාපයක් බවයි.

කෙසේ වෙතත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දියාවේදී ආරක්‍ෂාව සම්බන්ධ කරුණු හතරක් ගැන සාකච්ඡුා කර ඇත. ඒ කලාපීය ආරක්‍ෂක සහයෝගිතාවය ආරක්‍ෂාවට අදාළ තොරතුරු හුවමාරුව දෙරටේ හමුදා අතර සබඳතාවය සහ ආරක්‍ෂාවට අදාළ අවි මිලයට ගැනීම යන කරුණුයි. මේ කරුණුවලට අමතරව ඉන්දියාව සහ ඇමෙරිකාව අතර අත්සන් කෙරුණු බේකා (ඊෑක්‍්* ගිවිසුම ගැන මෙරට දේශපාලකයන් අවධානය යොමු කළේ නැත. එසේම මයික් පොම්පියෝ මෙරට බලධාරීන් සම`ග කිසිදු ගිවිසුමක් අත්සන් කිරීමට ක‍්‍රියා කළේ නැත. එසේ වූවත් ඉන්දියාව සහ ඇමෙරිකාව අතර අත්සන් කළ බේකා ගිවිසුම ඉන්දීය සාගර කලාපයකට බලපායි. ඒ එම ගිවිසුම යටතේ එම කලාපය නිරීක්‍ෂණය වීමයි.

ඒ සඳහා ඇමෙරිකාව උපයෝගී කර ගන්නේ විශ්ව ක‍්‍රමෝපායික සහයෝගිතාවය නැමැති උපක‍්‍රමයයි.

කීර්ති වර්ණකුලසූරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More