අප්‍රිකානු ලේඛක චීනුවා අබීචි (චිනුවා ඇචිබේ) ලියූ “අවලස්සන ඇමරිකානුවා” කෘතිය ලංකාවේ පළ කරන ලද්දේ 1970 දශකයේ මුල්කාලය තුළ ආරම්භ වූ මාර්ග ආයතනයේ ප්රකාශනයක් හැටියට ය. මාර්ග ආයතනයේ විධායක අධ්‍යක්ෂක කුමාර රූපසිංහ මහතා ය. වියට්නාම් යුද්ධය ඉතා ඉහළ අවධියක පළ වූ මෙම කෘතිය ලංකාවේ අපට විශාල ආශ්වාදයක් සැපයීය. “පැරණි ඉන්දුචීනය” නම් වූ මෙම භූමි භාගය ජයග්‍රහණය කරා පියනගන විට ඇමරිකානු මෙහෙයුමෙන් උතුරු දකුණු ලෙස වියට්නාමය දෙකඩ වී තිබුණි. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ දකුණු ආසියානු කලාපීය සංචාරය ඉන්දියාවෙන් ආරම්භ කොට ලංකාව, මාලදිවයින හා ඉන්දුනීසියාව හරහා අවසන් කොට තිබේ. ලංකාවේ චීන තානාපති කාර්යාලය, මයික් පොම්පියෝගේ සංචාරය නිමිත්තෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අභිමතාර්ථයන්ට අන්තනෝමතික ලෙස මැදහත් නොවන්නැයි ඇමරිකාවට අවවාදාත්මක ඇඟවීමක් කරයි.
ඊට නිමිත්ත සැපයූයේ පොම්පියෝගේ සංචාරයට සතියකට පමණ පෙර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට තර්ජනයක් කර තිබූ පරිසරයක් තුළ ය. ඉන්දු පැසිපික් කලාපය තුළ ජපන්, ඕස්ටේ්රලියා, ඉන්දියා හා ඇමරිකා ඒකාබද්ධ මෙහෙයුමෙන් ගොඩනැගෙන ඇමරිකානු යුද සැලැස්මක් පිළිබඳ ව චීන අවබෝධය යොමු ව ඇති මේ මොහොතේ එවැනි ප්‍රකාශයක් කිරීම සාමාන්‍ය ය. ඇමරිකාව සමග ශ්‍රී ලංකාව අත්සන් කිරීමට නියමිත එම්.සී.සී. ගිවිසුම තුළින් ඉන්දුචීනය මෙන් නොව ශ්‍රී ලංකාව කැබලි තුනකට බෙදීමේ සැලැස්මක් තිබෙන්නට පුළුවන. දෙමළ බෙදුම්වාදය, බටහිර න්‍යායපත්‍රයක් තුළ නව වටයකින් ක්‍රියාවට නැගෙමින් තිබෙන නිසාත් මුස්ලිම් අන්තවාදය වෙනත් ආකාරයකින් ක්‍රියාවට නැගෙන මේ මොහොතේ දෙමළ හා මුස්ලිම් ජනයාගේ අභිලාෂයන් සමග රජයේ ගමන් මග සකස් විය යුතු යැයි ජගත් වැල්ලවත්ත වැනි ආණ්ඩුවේ උපාය මර්ග සකසවන්නවුන් පැවසීම නිසාත් මයික් පොම්පියෝගේ ආගමනය මේ සියලු කරුණු සමග එක පෙළට පෙළ ගස්වා තේරුම් ගැනීම යහපත් ය.
පසුගිය දිනෙක ලංකාවේ සංචාරය කළ ඉහළ පෙළේ චීන නිලධාරියෙකු (චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ඉතා වැදගත් අයෙකු) ජනාධිපති, අගමැති ඇතුළු බලධාරීන් සමග ඇති කරගත් එකඟතා පිළිබඳව උරණ ව ඇති එක්සත් ජනපද නිලධාරීන් පොම්පියෝ සමග හමුදා සෙබලුන් ඇතුළු විශාල නිලධාරීන් පිරිසක් ද ප්‍රබල සන්නිවේදන උපකරණ සමග ශ්‍රී ලංකාවට පිටත් කර එවා ඇත. එය කිසියම් ආකාරයක ශ්‍රී ලංකාවට සිදු කළ තර්ජනයකි. වත්මන් ඇමරිකානුවා වටහා ගැනීමට එක් දහස් අටසිය හැට ගණන්වල ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයක් වටහා ගැනීම උචිත ය.
විවිධ යුරෝපා රටවලින් ඇමරිකානු භූමියට බලහත්කාරයෙන් ඇතුළු වූ යුරෝපා ජාතීන්, ස්වදේශිකයන් විශාල පිරිසක් මරා දමා ඔවුන් හීලෑ කරමින් දහතුනක් වූ ජනපද සියල්ල ඒකාබද්ධ කොට 1776 දී ඇමරිකා එක්සත් ජනපදය ලෙෂ පිහිටුවා ඒ ඇමරිකාවේ පළමු ජනාධිපති ලෙස ජෝර්ජ් වොෂිංටන් නම් කෙරිණි. ඉන් වසර 87 කට පසු මේ ජනපද සියල්ලත් අලුතින් එක් වූ තවත් ජනපද ද ඇතුළත් ව කැඩී බිඳී විසිරී යාමට උනුනුන් අතර සිවිල් යුද්ධයක් ආරම්භ විය. එය ඉතා කෲර ලෙස මර්දනය කළ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් පසු ව සිවිල් යුද්ධය සම්බන්ධයෙන් පහත ප්‍රකාශය සිදු කෙරිණි.
“අසූහත් වසරකට පෙර අපේ මුතුන්මිත්තෝ නිදහස තුළ පිළිසිඳ ගත් නව ජාතියක් මේ මහාද්වීපයට බිහි කර, සියලු මිනිසුන් සමානත්වයෙන් මැවිණි යන ප්‍රස්තුතයට කැප කළහ.”
ලින්කන්ගේ කියමනෙන් හැඟවෙන්නේ සුවිශේෂී ක්රියාදාමයකි. එනම් ඇමරිකානුවන් සැලසුම් සහගත ව ද සවිඥානික ව ද ජාතියක් බවට පත් වී (ජනපදවල විවිධ ජාතිකත්ව) ඉන්පසු ව සැලසුම් සහගත ව ද සවිඥානික ව ද සෙසු මිනිසුන් එය තුළට හැඩගස්වන්නට පටන් ගත් ඉතිහාසයේ මුල් අවස්ථාව මෙය බව ය. එය සාවද්‍ය වේ. දාහත්වැනි, දහ අට වැනි සියවස්වල දී යුරෝපීය වෙළඳාම හා වෙළඳ පන්තිය යුරෝපයේ බලවත් වී තමා අවට ඇති ලෝකය ද එහි නියමයන් ද ඔවුන්ගේ විචාර බුද්ධියට නතු කර ගැනිනි.
යුරෝපීයයන් සිය විචාර බුද්ධියට හසු කර ගත් නියමන්ට හා නිගමනයන්ට ඊළඟ අවධියේ දී මුළු මහත් මිනිස් වර්ගයා ම යටත් කොට ගත් හ. මේ නියමයන්, වසර සිය ගණනකටත් අඩු කාලයක දී යුරෝපයට සංක්‍රමණය විය. ඒ වන විට සොබාදහමේ යථාර්ථ නියමයන්ගෙන් සැකසුණු ලෝකයක් පිළිබඳ අදහස කාල්මාස්ක් හා ෆෙඞ්රික් එංගල්ස් විසින් ඉදිරිපත් කර තිබිණි. මේ සොබාදහමේ නියමන් ප්‍රායෝගික ව ලෝකවාසීන්ට දැක ගැනීමට සැලැස් වූයේ වී. අයි. ලෙනින් නිර්මාණය කළ නව දේශපාලන භාවිතයෙනි. යුරෝපයෙන් මතු ව ආ මේ විකල්ප ධාරාවේ නිගමනයන් ඊළඟ පරම්පරාවට ගෙන යාමට නොහැකි වූයේ මහා බුද්ධි ප්රභාවක් රහිත නායකයන් අතට පත් වීමත් බටහිර ලෝකය එය සවිඥානික ව මැඩ පැවැත්වීමට ගත් උත්සාහයත් නිසා ය. ඒ අනුව විකල්ප ධාරාව අයිස් වතුරේ ගිල්වා දමන ලදී. අඩ සියවසක් තුළ කැඳවන ලද පළමු යුරෝපා යුද්ධයේත් (1914-1918) දෙවන යුරෝපා යුද්ධයේත් (1939-1945) ජයග්‍රහණයේ අග්‍රඵලය ඇමරිකා එක්සත් ජනපදයට ලබා ගෙන යුද්ධය නිමා වන විට එනම් ඒබ්‍රහම් ලින්කන්ගේ ප්‍රකාශයෙන් 75 වසකට පසු පඤ්චමහාද්වීපය ම ඇමරිකානු කක්ෂයට ඇතුල් කිරීමට සවිඥානික ව සැලසුම් සකස් කොට තිබිණි. මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට ඇතුල් වන්නේ මේ අවලස්සන ඇමරිකානු ක්‍රියා වසර 75 ක් ගෙවා දමන අවසන් හෝරාවේ දී ය. එනම් නව ලෝක පරිමාණ යුද්ධයක් මිනිස් වර්ගයා වෙත දායාද කිරීමට කැස කවන මොහොතක ය.
මාක්ස්, එංගල්ස් හා ලෙනින් විසින්, ඊට පෙර පහළ වූ දාර්ශනිකයන් විසින් කර තිබූ නොයෙක් ආකාරයේ ලෝකය විවරණය කිරීම වෙනුවට, ලෝකය වෙනස් කිරීම සඳහා දැක් වූ නියමයන් 1917 දී රුසියාවේ දී ප්‍රායෝගික ව ක්‍රියාත්මක කෙරිණි. එම සමාජ සංවිධාන ක්‍රමය සමාජවාදය විය. ධනවාදී අර්ථක්රමය සම්බන්ධයෙන් දැන හැඳින තිබූ නියමයන් ලංකාවට ගලා ආවේ යටත්විජිත අර්ථ ක්‍රමයක් තුළිනි. ධනේශ්වර නිෂ්පාදන රටාව, ධනේශ්වර දේශපාලන ආයතන, රාජ්‍ය ව්‍යූහය හා මතවාදයන්, අධිරාජ්‍යවාදීන් විසින් සූරාකෑමේ ක්‍රියාදාමය තුළ ම නිර්මාණය කළ එකකි. ජාත්‍යන්තර ධනවාදය හා සැසඳූ විට ලංකාවේ ධනවාදය අඟුටුමිට්ටෙකි. එය අධිරාජ්‍යවාදයේ උපාංගයකි. අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ උවමනා ඉටු කිරීමට හා සුරැකීමට පේවී සිටින පිරිහුණු සමාජ බලයකි, පිරිහුණු සමාජ බලවේගයකි. අද ඓන්ද්‍රීය වශයෙන් ජාත්‍යන්තර ධනවාදය සමග බන්ධිත ලාංකේය ධනවාදය එක්දහස් නවසිය මුල් දශකයේ ගතිකත්වයෙන් යුතු ව ඉදිරියට පැමිණි පසු ව ලොක්කන් වූ සොක්කන් තරම්වත් ප්රගතිශීලී කර්තව්‍යයන් ඉටු කිරීමට සමත් එකක් නොවේ. මේ තත්ත්වය තුළ මයික් පොම්පියෝගේ ආගමනය අපට වැඩදායක එකක් නොවේ.
කොවිඞ් වසංගත තත්ත්වයක් තුළ ව්‍යසනයක් කරා ගමන් කරමින් තිබෙන ඇමරිකාව ප්රමුඛ බටහිර ලෝකය මුළුමහත් භූමිතලය යළි බෙදා සකස් කර ගැනීමට මහාපරිමාණ යුද්ධයක් ගෙන ඒමට කැස කවන්නේ ඔවුන්ගේ මහාපරිමාණ වෙළඳ සමාගම්වල අවාසි මග හරවා ගැනීම සඳහාත් විය හැක. අපට එසේ සිතන්නට බලකරන්නේ යටත්විජිත සුරාකෑමකින් තොරව ජර්මානු ධනපති පන්තියට සිය නිෂ්පාදන අලෙවිකර ගැනීමට නොහැකි වූ විට යටත්විජිත සකසා ගැනීමට 1914 දී ත් 1939 දී ත් ලෝකය යළි බෙදා ගැනීම සඳහා ආරම්භ කළ මහායුද්ධ දෙකක් මුදා හළ විසිවන සියවසයේ මුල් භාගය හා සසඳන විට ය. මෙවර එය යුරෝපයට පමණක් සීමා නොවේ. මක්නිසාද යත් ප්රාග්ධනය චීනය මුල්කොට නව ලෝකපර්යායක් තුළ ද්‍රවීකරණය වී ඇති නිසා ය. කොරෝනා වසංගතය ඇමරිකාව හා යුරෝපය වෙලාගෙන ඇති මොහොතක පොම්පියෝගේ සංචාරය චීන ප්‍රාග්ධන අරමුණු වැළැක්වීම මුල්කොට ගෙන යුදමය උපාය මාර්ග සකස් කරන බව පෙනෙන්නට තිබේ.
මේ වටපිටාව තුළ ශ්‍රී ලංකාවේ ඉරණම කෙබඳු විය හැකි ද? කෙබඳු විය යුතු ද? දැනටමත් රටෙහි පාලක කණ්ඩායම් සියල්ල එක් ව 1977 න් පසු ලෝක බලවතුනට අපේ මව්බිම කොටස් වශයෙන් විකුණා දමා ඇත. බොහෝවිට ඒ කුප්‍රකට ගිවිසුම් හරහා දීර්ඝකාලීන බදු ලේබලය යටතේ ය. එම්.සී.සී. ය ද එබන්දකි.
ලෝක පරිමාණ ධනේශ්වරක්රමය සමාජ ආර්ථික හැඩගැස්මක් හැටියට මැරීගෙන යන අවධියකට පැමිණ ඇති අතර එය ලංකාවේ යටත්විජිත ධනවාදයට ඉතාමත් පීඩාකාරී ලෙස බලපා ඇත. එයට මුහුණදීම සඳහා දියුණු දේශපාලන දැක්මක් හෝ වැඩපිළිවෙලක් ලංකාවේ නව යටත්විජිතවාදයට නැත. අප එක්කෝ මියෑදෙන ධනවාදයේ යුරෝපා සගයින් සමග එක පෙළට සිටගත යුතු ය. එහෙත් යුරෝපය අද පත් ව ඇති අගාධයේ පතුල පෙනෙන විට අපට අතදීමට ඔවුනට හැකියාවක් නැති බව වටහා ගත යුතු ය. එසේ නම් නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට ප්‍රසූත වේදනාවෙන් පෙළෙන කම්පන සහිත බලවේගයක් නිර්මාණය කර ගත යුතු ය. ඒ සඳහා වාමවාදී දෘෂ්ටියකින් පොහොසත් ජාතිකවාදී අපේක්ෂාවන් සාක්ෂාත් කරවන සැබෑ අධිරාජ්‍ය විරෝධී, සැබෑ සටන්කාමී කඳවුරක් නිර්මාණය කර ගත යුතු ය.
අධිරාජ්‍යවාදයේ උපාංගයක් සේ වැඩුණු ලාංකේය යටත්විජිත ධනවාදයෙන් ගතිකත්වයෙන් යුත් සහයෝගයක් අපට බලාපොරොත්තු විය නොහැක. සාම්ප්‍රදායික සුළු ධනේශ්වර වාම නායකත්වය විනාශය අත්පත් කර ගත්තේ 1964 ඉල්ලීම් 21 පාවා දීමත් සමග ය. එම නිසා ම නැගී ආ වාම බලවේගය වූ ජනතා විමුක්ති පෙරමුණ ද කැබලිවලට කැඩී බිඳී ගොස් පැරණි වාමාංශය මෙන් ම ඉතිහාසයේ කුණු කූඩයට ඇද වැටී හමාර ය. 1956 දී පෙළගැසුණ ජාතිකවාදී හා වාමාංශික ප්‍රබෝධයෙන් වැඩුණු බලවේග කැඩී බිඳී තවමත් අහුමුළුවල රැඳී පවතී. ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය ද හුදු ජාතික දේශපාලනික දැක්මක් හෝ මග පෙන්වීමක් රහිත ව ගමන් කරන මේ තීරණාත්මක මොහොතේ වැඩකරන සැබෑ බලවේගයක් හැටියට එය සකස් කර ගත යුතු ය. එමෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (පොහොට්ටුව ද ඇතුළත් ව) ප්රගතිශීලී කණ්ඩායම ද ඇතුළත් සිංහල, බෞද්ධ හා කතෝලික බලවේග එක්සත් කොට ප්රගතිශීලී සුළු ජාතික කොටස් ද ඇතුළත් ව නව බලවේගයක් නිර්මාණය කර ගත යුතු ය. එවිට සැබෑ අධිරාජ්‍ය විරෝධී එක්සත් පෙරමුණක් නිර්මාණය කර ගත හැකි ය. මයික් පොම්පියෝගේ පැමිණීම වනාහි එවැනි කොටස්වලට බලවේගයක් පෙළගැස්වීමට ඇඟිල්ලෙන් ඇන පෙන්වීමකි. ඒ සඳහා පෙළ ගැසෙමු. ඒ සඳහා ආයාචනා කරමු. අවසාන වශයෙන් නව ලෝක යුද්ධයක් සඳහා වලි කන මයික් පොම්පියෝගේ හාම්පුතුන්ට එක් දහස් නව සිය හැට ගණන්වල කියුබන් අර්බුදයට ඇමරිකාව මැදිහත් වෙමින් ලෝක පරමාණු යුද්ධයක් කැඳවීමට කැස කවන චීනයේ සභාපති මා ඕ සේතුං සහෝදරයාගේ කියමනක් සිහිපත් කරමින් ලිපිය අවසන් කරනු කැමැත්තෙමි. එදා ලෝක යුද්ධයක් අභියස සභාපති මා ඕගේ අදහස මෙබන්දකි.
“දැන් යලිත් ලෝක යුද්ධයක් ගැන කතා කරයි. යුද්ධය ඉතාමත් නරක ය. බිහිසුණු ය. එය කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත ද ප්‍රකෝටි සංඛ්‍යාත දේපල ද විනාශ කරයි. යුද්ධය පිළිකුල් කළ යුතු ය. නමුත් සතුරා යුද්ධයක් කැඳවන්නේ නම් අප එය වැළඳගත යුතු ය. ඊට සූදානම් විය යුතු ය. පළමු ලෝක යුද්ධය අවසන් වූයේ රුසියාව, සෝවියට් සෝසලිට් සමූහාණ්ඩුව බවට පත් වී සමාජවාදය කරා යාමෙනි. දෙවැනි යුරෝපා යුද්ධය නිමාවට පත් වූයේ නැගෙනහිර යුරෝපා රටවල් 14 ක් සමග චීන මහජන ආණ්ඩුව සමාජවාදය කරා ගමන් කරවමිනි. තුන්වන ලෝක යුද්ධයක් සතුරා ආරම්භ කරන්නේ නම් එය නිමාවට පත් වන්නේ මුලු මහත් ලෝකය ම සමාජවාදයට ගමන් කරවමනි. ”
මා ඕ සේතුංගේ ප්‍රකාශය අදට ද වලංගු ය. අපිදු වාමවාදී ජාතිකවාදී සැබෑ අධිරාජ්‍ය විරෝධී සැබෑ සටන්කාමී එක්සත් පෙරමුණක් ගොඩනගමු.
මීට සේනාරාත්න ද සිල්වා
සභාපති-පරපුරක උරුමය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...