පාර්ලිමේන්තුව තුළ සම්මත වූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කථානායකවරයා පසුගියදා අත්සන් කිරීමත් සමග එය බලාත්මක විය. කෙසේ වුවද මේ 20 වැනි සංශෝධනයට විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා එල්ල විණි. එහිදී මහා සංඝරත්නයෙන් එල්ල වූ විවේචනයන්ද විය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග සහ මෙවැනි විරෝධතා හමුවේ රජයට තමන් පළමුව ගෙන ආ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට යම් යම් සංශෝධනයන් සිදුකිරීමට සිදුවිය. දැන් බලාත්මක 20වැනි සංශෝධනය එම වෙනස්වීම් සහිත වූ ව්‍යවස්ථාවකි. එහිදී මහා සංඝරත්නයේ බලාපොරොත්තු ඉටුවීද? යන්න පිළිබඳව සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියන් සමග කළ සංවාදයයි මේ. උන්වහන්සේ ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සාමාජික හිමිනමකි.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහා සංඝරත්නය විවිධ විරෝධතා දැක්වුවා. අද වෙද්දි 20 වැනි සංශෝධනය සම්මත වී තිබෙනව. මේ නව සංශෝධනය තුළ මහා සංඝරත්නය බලාපොරොත්තු වුණු කාරණා ඉටු වී තියෙනවද?
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණු ප්‍රධාන දුර්වලතාවක් ලෙස අපි දැක්කෙ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමේදී රටේ ඒකීයභාවය සුරැකීමට දිවුරුම්දීමේ වගන්තිය අහෝසිවන මට්ටමක තිබීම. අපි ඒක පෙන්වාදීමෙන් පස්සෙ ඒක නැවත බලාත්මක කිරීමට හැකිවුණා. රාජ්‍ය ආයතන විගණනයෙන් ඉවත් කිරීම පිළිබඳව මතුවුණු විරෝධතා හමුවේ එය නැවත පැවැති තත්ත්වයෙන් තැබීමට 20 වැනි සංශෝධනයෙදී කටයුතු කර තියෙනව. එවැනි කාරණා ආදිය නිසා භික්ෂුන් වහන්සේගේ සහ දේශ හිතෛෂී පාර්ශ්වයන්ගේ අදහස්වලට කන්දීමක් හා ජනතාවගේ හඬට යම් කන්දීමක් සිදුකර ඇති බව පේනව.
ව්‍යවස්ථාදායක සභා පත්කිරීමේදී තිබුණු ගැටලුකාරී තත්ත්වන් නිසා තමයි මහා සංඝරත්නය වශයෙන් අපේ එකඟතාවක් නොතිබුණෙ යහපාලනය ගෙනා 19 වැනි සංශෝධනය සම්බන්ධයෙන්. ඉන් පත්කරපු ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනභාවයක් තිබුණෙ නෑ. ඒවායේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී භාවයක් තිබුණෙ නෑ. ඒ නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි විය යුතුයි කියන මතයේ තමයි අපි හිටියේ. 19 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාගෙ බලතල කප්පාදුවට ලක් කළා. නමුත් ජනාධිපතිවරයා කියන්නෙත් ජනතා කැමැත්තෙන් පත්වෙන නායකයෙක්. ඒ නිසා ඔහුගෙ බලතල කප්පාදුවට ලක්කිරීම සුදුසු නෑ.
ප්‍රධාන වශයෙන් 20 වැනි සංශෝධනයට ඔබවහන්සේලාගේ විරෝධය එල්ල වුණු කාරණයක් තමයි ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කාරණය. ඊට ඔබවහන්සේලාගේ විරෝධය පළවන්නේ කිනම් කරුණු පදනම් කරගෙනද?
ද්විත්ව පුරවැසිභාවය කියන කාරණාව පසුගිය යහපාලන ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ගෙන ආවේ දේශපාලනික වශයෙන් යම් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින්. නමුත් එහි යම් සාධනීය කාරණා තියෙනව. අපේ රටට එන ජාත්‍යන්තර ගිවිසුම්වලට මැදිහත්වෙන, විදෙස් බලපෑම් හමුවේ තීරණ ගන්නා මේ රටේ නායකයන් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම ඉතා වැදගත්. 14 වැනි ව්‍යවස්ථාවෙ ආගමික නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වැනි දේ ගැන කියවෙනව. නමුත් 14 වැනි ව්‍යවස්ථාවේ ඒ කියන කාරණාවට පසුකාලීනව ආපු සංශෝධනවලදී ආව “ඕනම පුද්ගලයෙක්ට’ කියල වචනයක්. එතනදි ‘මෙරට පුරවැසියට’ පමණක් නෙමෙයි ඕනම පුද්ගලයකුට බලපාන ලෙස තමයි ඒ වගන්තිය ඇවිත් තියෙන්නෙ. උදාහරණයකට ඕනෑම මූලධර්මවාදී ආගම් ප්‍රචාරකයකුට ඇවිත් ඕනම දෙයක් කරන්න පුළුවන් මට්ටමක් තිබුණ. ආගමික නිදහස කියන එක අපේ රටේ පුරවැසියන්ට තියෙන අයිතියක් වෙන්න ඕනනෙ. නමුත් ඇතැම් සංශෝධන ආගම් ප්‍රචාරය කිරීමට අනුබල දෙන ආකාරයේ ඒවා වුණා. එවැනි දේ තව තවත් බලාත්මක වෙනව මේ ද්විත්ව පුරවැසිභාවය කියන බාධාව ව්‍යවස්ථාවෙන් ඉවත්වුණාම. එහෙම වුණාම අපේ පුරවැසිභාවයත් තියාගෙන විදෙස් පුරවැසියෙක්ට එවැනි දේවල් කිරීමට හැකියාව ලැබෙනව. ඒ වගේම ආර්ථික වගේම රටේ ස්වාධිපත්‍යය පිළිබඳ කාරණාවලදී ද්විත්ව පුරවැසිභාවය කියන කාරණාව යම් හානිකර තත්ත්වයක් අපි අත්දැකීමෙන් පසුගිය සමයෙදි දැක්ක. ඒක තමයි අපි විශේෂයෙන් ඒ පිළිබඳ විරෝධතාව පළ කළේ. නමුත් අවාසනාවකට ඒ පිළිබඳ මේ සංශෝධනයෙදි අවධානය යොමුවී නෑ. නමුත් ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සැකසීමේදී ඒ පිළිබඳ අවධානය යොමුවෙයි කියල අපි බලාපොරොත්තු වෙනව.
විසිවැනි සංශෝධනය සම්මත කර ගැනීමේදී විපක්ෂයේ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරු පිරිසකුත් එයට පක්ෂව ඡන්දය ලබාදුන්න. එතනදි ඒ ඡන්ද එය සම්මතවීමට තීරණාත්මක වුණා. මේ නිසා මේ ආණ්ඩුව තැනීමට කටයුතු කළා වූ ජාතිකවාදීන් ඒ පිළිබඳව විවේචනාත්මකව අදහස් ඉදිරිපත් කර තිබුණ…
ඔව් ඒ ගැන විශාල විවේචනයක් තියෙනව තමයි. ඒත් අපිට අපේ මුස්ලිම් හෝ දෙමළ සහෝදරත්වය අමතක කරල මේ රට කරන්න බෑ. 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේදී පැහැදිලිව අපට පේනදේ තමයි එය ආණ්ඩුවේ ඡන්දවලින් පමණක් සම්මත කර ගැනීමට අපහසු යැයි රජය වටහාගෙන තිබීම. ආණ්ඩුව ඇතුළෙ ජාතික මතය නියෝජනය කරපු හත් අට දෙනෙක් හිටිය මේ 20 වැනි සංශෝධනයට විරුද්ධව මාධ්‍යයේ අදහස් දක්වපු. රජය තුළ සැකයක් ඇතිවුණා මේක පාර්ලිමේන්තුව ඇතුළෙ සම්මත කරගන්න බැරිවෙයි කියල. ඒ නිසා රජයට සිදුවුණා වෙනම මෙහෙයුමක් ගෙනයන්න මේකට ලේසියෙන් නම්මවා ගන්න පුළුවන් පිරිසක් පාවිච්චි කරන්න. එවැනි දෙයක් තමයි සිදුවුණෙ. නමුත් ඒකෙන් රජයට සංකල්පීය වශයෙන් තිබුණු පාරිශුද්ධභාවයට කැලලක් වුණා. අපි වුණත් හිතන්නෙ ඒක නොවුණා නම් හොඳයි කියල තමයි. මේ 20 වැනි සංශෝධනය ගැන විවෘතව විරුද්ධ පක්ෂත් එක්ක කතාබහ කරල ඒ අදහසුත් අරගෙන සංශෝධන ගෙනාව නම් ඔවුන්ගෙ සහයෝගයත් මේකට ලබාගන්න තිබුණ.
13 වැනි සංශෝධනයෙන් මෙරටට හඳුන්වාදුන් පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට මේ වනවිට සංවාදයක් ඇතිවී තියෙනව. පළාත් සභා ක්‍රමය ගැන මහා සංඝරත්නය වශයෙන් අද වනවිට තියෙන මතය කුමක්ද?
මේ රටේ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඇවිත් තියෙන්නෙම දේශපාලන අරමුණු වෙනුවෙන්. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් ඒ වගේ එකක්. පළාත් සභා ඉන්දියාව අපට බලෙන් පැටවූවක් ලෙස තමයි ඉතිහාසය දෙස බැලීමෙදී පේන්නෙ.
තිම්පු සාකච්ඡා පැවැති කාල සීමාවේදී බලය බෙදීම සම්බන්ධයෙන් අපේ ත්‍රෛනිකායික මහනාහිමිවරු සහ සර්වාගමික නායකවරු ඉදිරිපත් කළ යෝජනාව තමයි දිස්ත්‍රික් සභා ක්‍රමය. එතනදි දිස්ත්‍රික් ඒකාබද්ධ නොවන ආකාරයට තමයි එය ක්‍රියාත්මක විය යුත්තේ. ලෝකයේ අනෙක් රටවල් සමග සන්සන්දනය කරද්දි අපි වැනි පුංචි රටකට මේ ඉන්න මැති ඇමැතිවරු සංඛ්‍යාව දරාගන්න බෑ. රටේ ජාතික ආදායම ඔවුන් නඩත්තු කරන්න නිකරුණේ වියදම් වෙනව. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයගෙ කාලෙ දිසා ඇමැතිවරු පත්කරල තිබුණනෙ. ඒ වගෙ ඇමැති ක්‍රමයක් මගින් ඒක පාර්ලිමේන්තුවට බද්ධවෙන ක්‍රමයන් නිර්මාණය කරගන්න පුළුවන්.
යම් හෙයකින් පළාත් සභා අහෝසි වුණොත් එහිදී එන ඉන්දියානු බලපෑම අමතක කරන්න බෑ…
ඔව්, බලය බෙදීම සම්බන්ධයෙන් ඉන්දියානු බලපෑමෙන් ගැලවෙන්න අපි විවිධ අවස්ථාවල 13ප්ලස් වගේ විසඳුම් ඉදිරිපත් කරල තියෙනව. කොහොම වුණත් පළාත් සභාවලට විකල්ප වශයෙන් ඉදිරිපත්වෙන ග්‍රාම රාජ්‍ය සංකල්පය, ඉන්දියාවේ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක පංචායත් ක්‍රමය වැනි ක්‍රම අහක දාන්න බෑ. නමුත් දැන් පේන විදිහට වඩා ප්‍රායෝගික 13වැනි ව්‍යවස්ථාව එකවර ඉවත්කර ගැනීමට වඩා ඒක තුළ තියෙන අහිතකර වූ යම් යම් අංග ඉවත්කර ගැනීමට කටයුතු කිරීමයි. අපි මොන විරෝධතා දැක්වුවත් එකවරම පළාත් සභා ඉවත්කර ගැනීම ප්‍රායෝගිකව අසීරු කාර්යයක්. මොකද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් තිබුණත්, ඒ අතරත් පළාත් සභාවලට පක්ෂ බොහෝ පිරිසක් ඉන්නව. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමෙදී ඒක සම්මත කරගැනීමේදී එවැනි සංශෝධන බාධාකාරී විය හැකියි. ඒ විතරක් නෙමෙයි, බුදුදහමට ප්‍රමුඛත්වය ලබාදීමට අකමැති, ඒකීයභාවයට අකමැති පිරිස් මේ රජය ඇතුළෙත් ඉන්නව. බලය බෙදීම ගැන යෝජනා ගෙන ආපු පිරිස මේ ආණ්ඩුව තුළ ඉන්නව. ඒ නිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සිදුවන කාරණයක් හැටියට සිතීම අසීරුයි. ඒ නිසා තමයි 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය වඩා නිවැරැදි හා රටට හිතකර ලෙස සිදුවිය යුතු යැයි මහාසංඝරත්නය නිරන්තරයෙන් පැවැසුවේ.
ඒත් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ඔබවහන්සේලා කාලයක සිට ඉදිරිපත් කළ අදහසක්…
ඔව්, අපි නම් මුල ඉඳන්ම කිව්වෙ අලුත් ව්‍යවස්ථාවක් සකස් කළයුතු බව. හැබැයි ඒ මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් නෙමෙයි. මේ ව්‍යවස්ථාවෙත් රැකගත යුතු සාධනීය ලක්ෂණ බොහොමයක් තියෙනව. ප්‍රධාන දේ බුදුදහම ආරක්ෂා කර ගනිමින් එය පෝෂණයට ප්‍රමුඛස්ථානය දෙනවා කියන එක. ඒ වගේම ඒකීයභාවය කියන කාරණය. මොන ව්‍යවස්ථාවක් හැදුවත් එවැනි සාධනීය දේ ආරක්ෂා වියයුතුයි. නමුත් එතනදි ‘බුද්ධාගම’ කියන එක පිළිබඳ නිර්වචනයක් නෑ. ඒ නිසා අපි මේ පිළිබඳ දළ කෙටුම්පතක් සකස් කර තියෙනව බෞද්ධ සංවිධානවල එකතුවෙන්. එය ඉදිරි කාලයෙදි ජනාධිපතිතුමාට ඉදිරිපත් කරනව.
ඒ වගේම 15 වැනි ව්‍යවස්ථාවේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා එවක හිටපු ඇමැති අෂ්රොෆ්ගෙ ඉල්ලීම පරිදි සුළු පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනයට අවශ්‍ය ජන්ද අනුපාතය අඩුකළා. මේ නිසා යම් යම් රජයන්වලට මේ සුළු පක්ෂවල පදේට නටන්න වුණු අවස්ථා අපි ඉතිහාසය පුරාම දැක්ක. එහෙම වෙන්නෙ නෑ 78 ව්‍යවස්ථාවෙන් ගෙනාපු ආකෘතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණා නම්. වර්තමානයේ අපි දකිනව පළාත් සභාවලත්, ප්‍රාදේශීය සභාවලත් ජයග්‍රහණය කරපු ප්‍රධාන පක්ෂවලට බලය තහවුරු කරගන්න බැරිවෙලා තියෙනව. ඒ පවතින ඡන්ද ක්‍රමය තුළ සුළු පක්ෂවල ඡන්ද ප්‍රතිශතය මත ඔවුන්ටත් යම් ආසන ප්‍රමාණයක් හිමිවී තිබීම නිසා. එවැනි අහිතකර තත්ත්වයන් වැළැක්වීමට අවශ්‍ය කටයුතු නව ව්‍යවස්ථාව මගින් සම්පාදනය කළ යුතුයි.
ඒ වගේම කාලීන වශයෙන් මේ ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතු තැන්, අලුතින් ඇතුළත් වියයුතු කරුණු මොනවද කියල මහජනතාවගෙන් අදහස් විමසලා ඒ අනුව නව ව්‍යවසථාවක් සැකසීම තමයි කළ යුත්තේ.
ඔබ වහන්සේ ඉහත පැවැසූ පරිදි මේ ආණ්ඩුව ඇතුළෙත් බලය බෙදාහැරීම සම්බන්ධයෙන්, ෆෙඩරල් ක්‍රමයට පක්ෂව අදහස් දක්වන පිරිසක් වගේම බුදුදහමට ප්‍රමුඛත්වය ලබාදීමට විරුද්ධ පිරිස් ඉන්නව. ඔවුන්ගෙ සහය නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවශ්‍ය වෙනව. එවැනි පසුබිමක නව ව්‍යවස්ථාවක් සැකසීමේදී ඉහත කී සාධනීය කාරණා එලෙසින්ම ආරක්ෂා කර ගැනීමට හැකිවෙයිද?
ඔව්, අපේ ව්‍යවස්ථා සංශෝධනයන් ගෙන ආ බොහෝ අවස්ථාවලදී රටේ ඒකීයභාවය පිළිබඳ කාරණයට යම් යම් සංශෝධන ගේන්න උත්සාහ කළ අවස්ථා කීපයක්ම තිබුණ. ‘එක්සත්භාවය’, ‘ඔරුමිත්තනාඩු’ ආදී විවිධ වචන හරඹපාමින් ‘ඒකීයභාවය’ කියන එක විකෘති කරන්න උත්සාහ ගත්ත. ඉතා සියුම් විදිහට ඒකීයභාවය නැතිකරමින්, සියුම් විදිහට රට බෙදුම්වාදයට තල්ලුකරන්න ගත් උත්සාහයන් ලෙසින් තමයි අපි ඒ අවස්ථාවන් දුටුවෙ. දෙවැනි කාරණය බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදී තියෙන වගන්තිය. ඔය දෙකට තමයි බොහෝදෙනා අතගහන්න උත්සාහ කරන්නෙ.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් හා පොලිස් බලතල ලබාදී තියෙනව. ඒත් ඒක පළාත් සභාවලට ලබාදීමෙන් සිදුවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් නිසා පාලකයන් එය මේ වන තෙක් ලබාදීමට කටයුතු කරල නෑ. නමුත් පසුගිය සමයේ ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් පත්කළ මණ්ඩල විශේෂයෙන් ලාල් විජේනායකගෙ ප්‍රධානත්වයෙන් පත්වුණු මණ්ඩලය යෝජනා කරල තිබුණෙ ඉඩම් හා පොලිස් බලතල ලබාදී සම්පූර්ණයෙන් පළාත් සභාවලට මධ්‍යම රජයත් එක්ක තියෙන සම්බන්ධතාව ලිහිල් කිරීමට. ඒ නිසා අලුත් ව්‍යවස්ථාවකින් අපි ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරනව 13 වැනි ව්‍යවස්ථාවෙ තියෙන බෙදුම්වාදී ලක්ෂණ අහෝසි වෙයි කියල. 13 නිසා ඕනෑම අවස්ථාවක මේ රට බෙදීමට ලබාදී තියෙන ව්‍යවස්ථාපිත බලය ඉන් ඉවත් කිරීමට අවධානය යොමුවෙයි කියල. ඒ කාරණා ගැන තමයි අලුත් ව්‍යවස්ථාවක් හැදීමෙදි ප්‍රධාන වශයෙන් අවධානය යොමුවිය යුතු යැයි අපි අපේක්ෂා කරන්නෙ.
ඒ කොහොම වුණත් අපේ රටේ පාලකයන් ක්‍රියාකරන්නෙ මහජනයාගෙ සුබසිද්ධිය උදෙසා නම් නෙමෙයිනෙ. තමන්ගෙ පක්ෂයෙ ප්‍රතිපත්ති රැකීම උදෙසා තමයි ඔවුන් කටයුතු කරන්නෙ. පක්ෂයේ තීරණය තමයි ඔවුන්ට වැදගත් වෙන්නෙ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එක් අයෙක් හැරෙන්න හැමෝම කැමැති වුණානෙ. මොකද පක්ෂය ගත් තීන්දු මත තමයි එතනදි ඡන්දය ලබාදුන්නෙ. ඒකට පසුකාලීන විරුද්ධව අදහස් දක්වපු අය තමන්ගෙ ඡන්දය සාධාරණීකරණය කරන්න කිව්වෙ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕන නිසා 19ට පක්ෂ වුණා කියල. මොන මිථ්‍යා කතාවක්ද ඒක. ඒ වෙද්දි රටේ ඊට වඩා ප්‍රමුඛ වුණ ප්‍රශ්න කොච්චර තිබුණද? ඒ නිසා රටට හිතකර ලෙස සැකසුණු ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නවා කියන එක අසීරු කාර්යයක් විය හැකියි.
•ලක්මාල් බෝගහවත්ත
මැදගම ධම්මානන්ද හිමි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...