ශ්‍රී ලංකාවේ වෙරළට ගසාගෙන ආ තල්මසුන් රෑනක් ආපසු මුහුදට නිරුපද්‍රිතව යැවීම
සඳහා විශේෂඥ සහාය ලබා නොගැනීමෙන් එම සතුන් තවදුරටත් අනතුරට පත්වීමේ අවදානම ගැන ජගත් කීර්තිධර සමුද්‍ර ජීව විද්‍යාඥවරියක විසින් පැහැදිලි කර තිබේ.
“මෙම සතුන් බේරා ගැනීම යනු ඔවුන් නැවත මුහුදට පෙරළීම පමණක් නොවේ. එය ඊට වඩා ටිකක් සංකීර්ණ දෙයක්,” යයි පවසන්නේ ක්ෂේත්‍ර ජීව විද්‍යාව වෙනුවෙන් කළ සේවය අගයා ඉකුත්දා මැක්ස්වල් හන්රහාන් සම්මානයෙන් සම්භාවනාවට පත් ලෝකයේ විද්‍යාඥයන් පස් දෙනා අතරට එක්වූ ආශා ඩි වොස් ය.
නොවැම්බර් දෙවැනි දින පානදුර වෙරළට පැමිණ තිබු, සියයකට ආසන්න තල්මසුන් නැවත මුහුදට යොමු කිරීම සඳහා සිය දැනුමෙන් මෙන්ම ශ්‍රමයෙන්ද දායකත්වය ලබා දුන්, ආශා ඩි වොස් පෙන්වා දෙන්නේ එම සිදුවීම වූ වහාම තමන්ට ඒ පිළිබඳව දැනුවත් කිරීමක් සිදු නොවූ හෙයින්, එම සතුන් බේරා ගැනීමේ කටයුත්ත සඳහා සිය සහය ලබා දීම ප්‍රමාද වූ බවයි.
Asha De Vosආශා ඩි වොස් යනු සාගර ක්ෂීරපායින් පිළිබඳව ආචාර්ය උපාධියක් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික පුරවැසියා වේ.(BBC සිංහල)
අනතුරට පත්ව සිටි තල්මස් රෑනට නිසි ආරක්ෂාව ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ සිටි ඇයගේ දැනුමෙන් ප්‍රයෝජනයක් ගැනීමට බලධාරීන් පියවර ගෙන නැත.
“මම මේ පිළිබඳව දැනගත්තේ අද සවස මේ සම්බන්ධ ප්‍රවෘත්තිය පළවීමත් සමඟ. නමුත් මෙය සිදුවී ඇත්තේ අද දහවල්. මට කිසිදු තොරතුරක් ලැබුණේ නෑ. ඒ කියන්නේ මේ තල්මසුන් ගලවා ගැනීමට වහාම සහාය දීමට මට හැකි වුනේ නෑ.” යි උතුරු ඉන්දියන් සාගරයේ නිල් තල්මසුන් පිළිබඳ පර්යේෂණයන්හි පුරෝගාමී කාන්තාවක වන ආචාර්ය වොස් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
වෙරළට ගසාගෙන ආ තල්මසුන් මුදවා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගත්, ප්‍රදේශවාසීන් හා බලධාරීන් විසින් සිදු කළ සේවාව අගය කරමින් ඇය පෙන්වා දෙන්නේ මෙම සතුන් බේරා ගැනීම යනු ඔවුන් නැවත මුහුදට පෙරළීම පමණක් නොවන අතර , එය ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් බවයි.
තල්මසුන් බේරා ගන්නේ කොහොමද?
එවැනි අවස්ථාවකදී අනුගමනය කළ යුතු පියවර කිහිපයක්ද ඇය විසින් පැහැදිලි කර තිබේ.
# හැකි ඉක්මනින් මෙම සතුන් නැවත මුහුදට යොමු කර ගැඹුරු ජලයට යාමට මඟ පෙන්වීම කළේ නැතිනම් ඔවුන් නැවත වෙරළට තල්ලු වනු ඇත,
# ඔවුන් මුහුදු වෙරළට ගසාගෙන ආ විට තුවා වැනි යමක් යොදාගෙන මෙම සතුන්ගේ සම වියලීමට ඉඩ නොදී තෙතමනය ආරක්ෂා කරගත යුතුය,
# තල්මසුන් හුස්ම ගැනීමට භාවිත කරන, හිස ඉහලින් ඇති සිදුර වැසීමට ඉඩ නොදිය යුතුය. එය තුළට රැලි හරහා ජලය ඇතුල් වීම සීමා කිරීම සඳහා සතුන් කෙලින් තැබීමට උත්සාහ කළ යුතුය,
# ඔවුන් පැය කිහිපයකට වඩා වෙරළේ වැතිර සිටියහොත්, මුහුදු ජලයේ සහය නොමැතිව ඔවුන්ගේ ශරීරයේ බර හේතුවෙන් අභ්‍යන්තර ඉන්ද්‍රිය තැලී යනු ඇත.
මෙවැනි කාරණා සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ කල්පනාවට නොඑන නිසා, ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මණින් විශේෂඥ උපදෙස් ලබා ගැනීම වැදගත් බවයි ආචාර්ය ආශා ද වෝස් පවසන්නේ.
තල්මසුන් කිහිපදෙනෙකු සදහා මෙසේ ගැඹුරු මුහුදට මඟ පෙන්වුවද, අවස්ථා කිහිපයකදී යළි වෙරළට පැමිණ තිබෙන අතර ඉන් තල්මසුන් දෙදෙනෙකු කිලෝ මීටර 10ක පමණ දුරක් රැගෙන ගොස් මුදාහැරීමට සිදු වු බව මාධ්‍ය වාර්තා කර තිබුනි.
එම තල්මසුන් පත්ව සිටි තත්වය, “ට්‍රෙඩ්මිල් එකක සිරවීමකට සමාන” බවයි ආචාර්ය ආශා ද වෝස් පවසන්නේ.
සමහර රැලි පසුකරගෙන ඔවුන්ට මඟ පෙන්නුවත් ඔවුන් දුර්වල වෙමින් සිටි නිසා රැලි විසින් ඔවුන් නැවත වෙරල කරා පසුපසට තල්ලු කරනු ලබන බව පවසන ඇය තවදුරටත් අවධාරණය කරන්නේ එවිට ඔවුන් ගැඹුරු සමුද්‍රය කරා යොමු කරවීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට සිදුවන බවයි.
ඔක්තෝබර් 3 අගහරුවාදා දහවල් වන විට මිය ගිය තල්මසුන් සිව් දෙනෙකුගේ සහ ඩොල්ෆින් මත්ස්‍යයකුගේ සිරුරු පානදුර ආශ්‍රිත වෙරළට ගොඩ ගසා තිබිණ.
“මම බලා සිටියදී එක් සතෙකු අපට අහිමි වුනා – මම ඌ හුස්ම ගන්නා සිදුර නිරීක්ෂණය කරමින් සිටියා. එම තල්මසා මිය ගිය බව ප්‍රකාශ කිරීමේ අවාසනාව මට හිමි වුනා”යි ලොව පුරා සිටින ආකර්ෂණීය හා බලගතු කාන්තාවන් සිය දෙනා අතරට 2018 දී බීබීසී ය විසින් තෝරා ගන්නා ලද ආචාර්ය ආශා ද වෝස් පවසන්නීය.
ඔවුන් අතරමං වන්නේ ඇයි?
“අපි සම්පූර්ණයෙන්ම දන්නේ නැහැ. නමුත් විද්‍යාඥයන් උපකල්පනය කරන්නේ එය ඔවුන්ගේ ඉහළ සමාජශීලී ස්වභාවය නිසා කියලයි,” ප්‍රකාශ කරන ආචාර්ය වෝස් තව දුරටත් පෙන්වා දෙන්නේ එක් සතකු වෙරළ තීරයට කිට්ටු වී රළ පහරින් වෙරළට තල්ලු වුවහොත්, අනෙක් අය ඔහු අනුගමනය කරමින් වෙරළ දෙසට පැමිණීමට වැඩි අවස්ථාවක් තිබෙන බවයි.
මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් ඉදිරියේදී තොරතුරක් ලැබුනහොත් වහාම තමාට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ඇය ඉල්ලා සිටි.
“මගේ කණ්ඩායමට සහ මට උදව් කරන්න පුළුවන්. අප පුහුණු කර ඇත්තේ මෙය කිරීමටයි. මං ඉන්නේ මේකට යි” ඇය වැඩි දුරටත් පවසා තිබේ.
ඒ සඳහා දැනට info@oceanswell.org ඊ මේල් හෝ @Oceanswell ට්විටර් ලිපිනය යොදාගත හැකියි.
පානදුර වෙරළට තල්මසුන් හා ඩොල්ෆින් සත්ත්වයන් විශාල පිරිසක් පැමිණීමට හේතු වුයේ ඇමරිකාව, ජපානය, ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව බෙංගාල බොක්ක ආශ්‍රිතව ඔක්තෝබර් 3 සිට සිදු කරන තුන් දින මලබාර් යුද අභ්‍යාසය නිසාදැයි සමාජ මාධ්‍ය තුළ සැක පල කර තිබුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ එම යුද අභ්‍යාසයට ලොව ප්‍රමුඛ හමුදා භාවිත කරන යුද්ධෝපකරණ රැසක් ඇතුළත් බවයි.
සාමුද්‍රික යුද අභ්‍යාස වලදී යොදා ගන්නා නාද තරංග නිකුත් කරන සෝනා යන්ත්‍ර මෙවැනි සතුන්ගේ හැසීරීම් වලට බාධා පමුණුවන අතර ඔවුන්ගේ සංචරණයට, ආහාර සොයා ගැනීමට සහ එකි නෙකා සමග සන්නිවේදනය කිරීමට ශබ්දය භාවිත කරන බැවින් එය ඔවුන්ට බාධාවක් විය හැකි බව ජාත්‍යන්තර සමුද්‍රීය විශේෂඥයගේ අදහසයි.
ආචාර්ය වොස් ට්විටර් මගින් පවසා තිබුනේ තල්මසුන් ගොඩ ගැසුවේ යුද සරඹයට දිනකට කලින් බවයි. එමෙන්ම සෝනා තරංග වල බලපෑමෙන් එපිට සාගරයේ තල්මස් රෑන සිටි බව සමාජ මාධ්‍යයට එක්වෙමින් ඇය පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...