පුරවැසි කොලම

ඇමරිකන් චන්දෙන් කවුද දිනන්නේ කියන පශ්නෙට අපේ උත්තරය නිර්මාණය වෙන්නේ අපේ දේශපාලනික මතිමතාන්තරද අනුවයි. මේ වෙනකන් චන්ද ගැනලා ඉවර නැති නිසා, තමන් කැමති කෙනා තමයි දිනන්නේ කියල හැමෝම හිත හදාගෙන ඉන්නවා. මට පේන විදියට ලංකාවේ ගොඩාක් අය ට්‍රම්ප්ගේ පැත්තේ වගේ. මේ මොහොත වෙනකොට ඇමරිකාවේ ගොඩක් අය නම් බයිඩන්ගේ පැත්තේ වගේ. චන්දෙ දවසට කලින්, චන්දෙ ප්‍රකාශ කරන්න ඉඩ දුන්න නිසා, මිලියන සීයකට කිට්ටු වෙන්න පිරිසක් කලින් ගිහින් චන්දෙ දැම්මා. එතනින් බහුතරයක් ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ. දැනුයි ඒ චන්ද ගනින්නේ. එකයි එන්න එන්න බයිඩන්ගේ චන්ද වැඩි වෙමින් යන්නේ.
ප්‍රශ්නේ කවුරු දිනයිද කියන එකම නෙමෙයි. දිනන කෙනා අනුව ලංකාවේ අපිට මොනවා වෙයිද කියන එක. ඇමරිකාවේ බලයට එන පක්ෂය ලෝකෙටම වෙළද, ආරක්ෂක, ජාත්‍යන්තර සබදතා පැත්තෙන් බලපෑමක් කරනවා. යුද්ධයෙන් පස්සේ, මානව හිමිකම් කවුන්සිලය හරහා අපිට පන්න පන්න හිරිහැර කලේ ඇමරිකාවේ ඩිමොක්‍රටික් ආණ්ඩුව. හැබැයි ට්‍රම්ප් ආණ්ඩුව ඒ මානව හිමිකම් කවුන්සලය දෝෂාරෝපණයට ලක්කරලා එතනින් ඉල්ලා අස්වුණා විතරක් නෙමෙයි ජාත්‍යන්තර හිරිහැර කිරීම් වලට වඩා තමුන්ගේ රට අභ්‍යන්තරයේ ඇති ප්‍රශ්න වලට අවදානය යොමු කළා.

සමන්තා පවර්, හිලරි ක්ලින්ටන්, සුසන් රයිස් දැන් කමලා හැරිස් දක්වාම ඩිමොක්‍රටික් කදවුරේ ඉන්නේ අපි වගේ කොනක ඉන්න පුංචි රටක් අල්ලාගෙන ලෝකෙටම මානව හිමිකම් පාඩම් කියලා දෙන්න පුළුවන් අය. ට්‍රම්ප් කදවුරේ ඉන්න ඉහල නිලධාරීන් බොහෝ දෙනෙක් රටේ ආර්ථිකය, ආරක්ෂාව වගේ කරුණු වෙනුවෙන් මුලිකත්වය දෙන අය. හැබැයි එයාල චීනයත් එක්ක හැප්පෙන හැප්පිල්ල අපි වගේ ආසියාතික කදවුරේ ඉන්න පුංචි රටවල් වලට අහිතකර විදියට බලපාන්න පුළුවන්. දැනටමත් අපේ පෝට් සිටි එකට ට්‍රම්ප් ආණ්ඩුව ආර්ථික සම්බාධක පනවලා තියෙනවා.

බොහෝ දෙනෙක් හිතනවා ඩිමොක්‍රටික් බයිඩන් කණ්ඩායම බලයට ආවොත් තිරසාර සංවර්ධනය, පරිසරය, අයිතිවාසිකම් වගේ පැති වලට හොදයි කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදන් බොහෝ සිවිල් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන හිතනවා බයිඩන් ආවම එයාලට ලැබෙන බලය සහ ආධාර ප්‍රමාණය වැඩිවෙනවා කියලා. ඒක ඇත්ත. හැබැයි ඩිමොක්‍රටික්ල කියල ලෝක සාමය වෙනුවෙන් මහා දෙයක් කලේ නෑ. ඉතිහාසය පුරාම, බැරක් ඔබාමා දක්වාම, ඒ ගොල්ලෝ වෙනත් රටවල් වල යුද්ධ පවත්වාගෙන ගියා. අහිංසක මිනිස්සුන්ගේ ඔලුවලට බෝම්බ දැම්මා.

අනිත් ප්‍රශ්නය තමා කොටි ඩයස්පෝරාව කාටද කිට්ටු කියන එක. හිලරිගේ ඉදන් කමලා හැරිස්ගේ කාර්යාලය දක්වා ඩිමොක්‍රටික් කදවුරට කොටි ඩයස්පෝරාවේ ලොකු බලපෑමක් තියෙනවා. ඒ අය යුද්ධය කාලේ ඉදන්ම මේ දේශපාලන කදවුර වෙනුවෙන් සල්ලි වියදම් කරලා තමුන්ගේ බලය හදාගෙන ඉන්නේ. ඇත්තටම ට්‍රම්ප් කදවුර ඇතුලේ කොටි ඩයස්පෝරාවට ලොකු හයියක් තවම නෑ. හැබැයි යුද්ධය ඉවරවෙලා අවුරුදු දහයක්. බයිඩන් චන්දෙ දිනුවත් කොරෝනා එක්ක එයාලට අලුත් අභියෝග ටිකක් තියෙනවා විසදාගන්න අපි පස්සේ එල්ලෙනවට වඩා.

ට්‍රම්ප් හැමදාම බිස්නස් කාරයෙක්. තාත්තත් බිස්නස් කාරයෙක්. බයිඩන් හැමදාම දේශපාලකයෙක්. මේ දෙන්නගේ දෘෂ්ටිකෝණයට මේ ජීවන අත්දැකීම් අනිවාර්යයෙන්ම බලපානවා. කොරෝනා අස්සේ වුනත් ට්‍රම්ප් කියන්නේ ආර්ථිකය වට්ටන්න දෙන්න බෑ කියලා. බයිඩන් කියන්නේ සේරටම කලින් සෞඛ්‍ය අංශ කියන දේ අහන්න ඕනා කියලා. මේ දෙන්නම ඉන්දියාව දිහා බලන විදියත් බලපානවා අපේ සබදතාවලට. මට හිතෙනවා මෝඩි ආණ්ඩුව ට්‍රම්ප් ආණ්ඩුවට ඉතාම හිතවත් වුනා කියලා. කලාපය ඇතුලේ අපේ ආරක්ෂාවට ඒ බලතුලනය හොදයි.

ඇමරිකාවේ ඉන්න ගොඩාක් ශ්‍රී ලාංකිකයෝ ට්‍රම්ප්ට චන්දෙ දීලා තිබ්බා. ආර්ථිකය ප්‍රධාන හේතුවක්. ට්‍රම්ප් ආණ්ඩුව කළු ජාතිකයන්ට ඉතාම නරක විදියට සැලකීම, ඇමරිකාවේ සුළු ජාතිකයන් වුන ලාංකිකයන් ලොකුවට ගණන් අරගෙන නෑ. මේ යන විදියට බයිඩන් දින්නොත් හිලරි ක්ලින්ටන් වගේ අය අපිට කරපු හිරිහැර නවත්තපු තැනින් ආයෙත් පටන්ගන්න ඉඩ තියෙනවා. ඇමරිකාවේ කොටි ඩයස්පෝරාව ආයෙත් ආණ්ඩුව ඇතුලට යනවා. හැබැයි අපේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට විශාල කාර්යභාරයක් තියෙනවා තුලනාත්මක සහ දේශප්‍රේමී මැදිහත්වීමක් කරන්න. සමහර විට බයිඩන් ආණ්ඩුව ඇතුලේ හිලරි, සමන්තා, සුසන් කණ්ඩායමට ඔබාමා ලග තිබ්බ වගේ බලයක් නොතිබෙන්නත් ඉඩ තියෙනවා. තොවිලෙට ගියාම මොන යකා නැටුවත් බලන් ඉන්න වෙනවා.

බයිඩන් ආවොත් ලෝකෙට හොදයි. ට්‍රම්ප් ආවොත් අපිට හොදයි කියල මටත් හිතෙනවා. කවුරු ආවත් නොබැදි ජාතීන්ගේ ප්‍රතිපත්තියක් එක්ක, ලංකාවේ මිනිස්සුන්ගේ අභිලාෂයන් ප්‍රමුඛ කරගත් විදේශ ප්‍රතිපත්තියක් එක්ක, ඇමරිකාවේ අලුත් ආණ්ඩුවට මුණ දෙන එක, හෙට උදේ ඉදන් කරන්න වෙනවා.

මිලින්ද රාජපක්ෂ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More