“මාක්ස්ගේ උගැන්වීම් ශිෂ්ටාචාර ලෝකය මුළුල්ලේ සියලු ධනපති විද්‍යාවක ම විරෝධයට සහ වෛරයට පාත්‍ර වෙයි. එම විද්‍යාව එනම් මාක්ස්වාදය කිසියම් ‘අනර්ථකාරී නිකායක්” ලෙසට සැළකෙයි. පන්ති අරගලය මත පදනම් වූ සමාජයක් තුළ කිසිම “අපක්ෂපාත” සමාජවිද්‍යාවක් තිබිය නොහැකි නිසා මීට වඩා වෙනත් ආකල්පයක් බලාපොරොත්තු විය නොහැක. සියලු ම නිල හා ලිබරල් විද්‍යාවන් එක් හෝ තවත් මාර්ගයකින් වේතන වහල් ක්‍රමය රකියි. ඒ අතර මාක්ස්වාදය වේතන වහල්ක්‍රමයට විරුද්ධ ව නිර්දය ලෙස යුද්ධ ප්‍රකාශ කරයි. වේතන වහල්ක්‍රමයේ සමාජයක විද්‍යාව අපක්ෂපාත වෙතැයි අපේක්‍ෂා කිරීම යනු ප්‍රාග්ධනයේ ලාභ අඩු කිරීම මගින් කම්කරුවන්ගේ වේතන වැඩි කළ යුතු ද නැද් ද යන ප්‍රශ්නයේ දී කර්මාන්තකරුවාගෙන් අපක්ෂපාතීත්වය අපේක්ෂා කිරීම තරම් ම අඥාන බොළඳ කමකි.” (වී.අයි. ලෙනින්-සමාජවාදී දෘෂ්ටිය හා සංස්කෘතිය, 5 පිටුව)
අඟහරුලෝකයට යන්නට ධනපති විද්‍යාව සමත් වුවත් කොරෝනා වසංගතයට බෙහෙත් නැත යන අර්ථයෙන් ගතහොත් ධනපති විද්‍යාව අසම්පූර්ණ නොවැඩුණු එකකි. විද්‍යාවට පන්ති භේදයක් තිබේ. අද ද්‍රව්‍යවාදී විද්‍යාවේ සංවර්ධනය ඇණහිට තිබේ. පරමාණු බෝම්බය පිපිරී යාමෙන් පසු තවදුරටත් ධනවාදී විද්‍යාවේ සංවර්ධනයක් නැත. ඇල්බට් අයින්ස්ටයින්ගෙන් පසු ව ද්‍රව්‍යවාදය සංවර්ධනය කිරීමට ධනවාදී අර්ථක්‍රමය විසින් මිහිපිට කිසිවෙකු ඉතිරි කොට නැත. එමෙන් ම ලෙනින්ගේ මරණින් පසු සැබෑ විද්‍යාවේ (සමාජවාදී දෘෂ්ටිවාදයේ) සැබෑ ද්‍රව්‍යවාදයේ සංවර්ධනය සඳහා කම්කරු පන්ති බුද්ධිමතුන් බිහිවීම ද ඇණහිට තිබේ. අද රුසියාව හෝ චීනය, සමාජවාදී දෘෂ්ටියට මග පෙන්වන හා භාවිතාවේ යෙදෙන සමාජවාදී රාජ්‍යයන් නොවේ. අඟහරුලෝකයට යන්නට උත්සාහ කරන ධනපති විද්‍යාව මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් විද්‍යාව සංවර්ධනය කරන්නට ඉඩ නොතබා මග අහුරා තිබේ. සැබෑ බුද්ධිමතුන් ව බිහි වූ ගමන් ම ධනපති ප්‍රාග්ධන ආයතන තුළට කොටු කරමින් ප්‍රාග්ධනයේ වහලුන් බටත් පත් කරනු ලබයි. නාසා ආයතනය හා සම්බන්ධ ව්‍යාපෘති වෙනුවෙන් ලෝකයේ කොතනක ඉපදුණත් උන්ගේ විශ්වවිද්‍යාල පද්ධතිය මගින් එවැනි මිනිස් සම්පත් ඩැහැ ගනී. උදා: බිල්ගේඞ්ගේ මයික්‍රොසොෆ්ට් ආයතනය, ජැක් මා, අලි බබා, මාක් සකර් බර්ග්, ෆේස්බුක් යනු ඉන් කීපයකි. කොවිඞ් 19 වසංගතය සම්බන්ධයෙන් ලංකාවේ හා සමස්ත ලෝකයේ වෛද්‍ය ක්ෂේත්‍රයන්හි අවුරුද්දකට කිට්ටු කාලයක් දිනෙන් දින ලෝකයාට විවර කර පෙන්වන්නේ මේ ධනපති විද්‍යාවේ අසම්පූර්ණ නොවැඩුණු හා ප්‍රතිගාමී ස්වභාවය යි.
වෛරස් රෝගකාරකයන්ට ඖෂධ නැත. එය පොදු පිළිගැනීම යි. වැඩවසම් හා පැරණි නොදියුණු සමාජයන් දැන සිටි හා වටහා ගත් විශේෂිත කරුණ ද මෙය යි. එය දැන හැඳින ගත්තේ ධනපති විද්‍යාවේ පරීක්ෂණාගාරයන් තුළ මෙන් සොයා බැලීම්වලින් නොවේ. ඔවුන් එය සොයා ගත්තේ ධනපති විද්‍යාවේ ඉතාමත් ප්‍රාථමික අවබෝධය වූ පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන යන තෙවැදෑරුම් ක්‍රියාවලිය ම තුළිනි. අද ඉතාමත් දියුණු යැයි වහරණ ධනපති විද්‍යාව ද තවම අනුගමනය කරන්නේ මෙම ක්‍රමවේදය යි.
අපි දෙවියන්ගේ ලෙඩ යැයි ලේබලයක් ගසා ගේ දොරකඩ කොහොඹ අතු කැබලි කීපයක් එල්ලා කරනු ලැබුවේ ධනපති වෛද්‍ය විද්‍යාවේ නිරෝධායනය ම ය. මාරාන්තික වෛරසයක් නොවූ එහෙත් සමහරවිට මාරාන්තික හා විකෘති දරු උපත් සඳහා හේතුවන සරම්ප හා පැපොල රෝගයෙන් ආරක්ෂා වූයේ නිරෝධායනයෙන් බව අපි නොදනිමු. පුරාණයේ කොහොඹ අතු කඩුල්ලේ එල්ලූ ගෙදරකට කවුරුත් ඇතුළු නොවෙති. ගෙදර අයත් කොහේවත් නොයති. එම සන්නිවේදන මාර්ගය ධනපති විද්‍යුත් මාර්ග හා මුද්‍රිත මාධ්‍යයන්ට වඩා ප්‍රබල ය. සමාජය තුළ මෙම කරුණු සම්බන්ධයෙන් වූ අවබෝධය සභ්‍යත්ව විඥානයෙන් ම උපත ලැබිණි. ධනපති ද්‍රව්‍යවාදයේ මිම්මෙන් කොහොඹ අතු කැබලි එල්ලීම මිථ්‍යා දෘෂ්ටිවාදයකි. පරීක්ෂයෙන් නිරීක්ෂයෙන් නිගමනයට පත් පැරණි සමාජ දැනුමට ධනපති දෘෂ්ටිවාදය ඇතුළු වී නැතිකම පමණකි, මෙහි දී සිදු ව ඇත්තේ. විද්‍යාත්මක ව විග්‍රහ කිරීමට බැරි වුවත් පෙරදිග ලෝකයේ මිනිසුන් වසූරිය සඳහා එන්නත් ක්‍රමයක් සකස් කරගෙන තිබූ තබ ලංකාවේ නූතන උගතුන් නොදන්නා කාරණයකි. ඒ සඳහා නිදසුනක් සපයනු කැමැත්තෙමි.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රකාශිත “සම්භාෂා-1996” හත්වන කලාපයට පේරදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගුණපාල ධර්මසිරි වියතාණන් විසින් ආයුර්වේද වෙදකම නමින් රචිත ලිපියක තෝරාගත් කොටස් කීපයක් උදුල බණ්ඩාර ඖෂධහාමි මහතා විසින් රචිත “වැව” නම් කෘතියේ එයි. ඉන් උදෘතයක් මෙහි දක්වනු කැමැත්තෙමි.
“නූතන බටහිර වෙදකමේ බිහිවීමත් ආයුර්වේදයේ පරිහාණියත් පිළිබඳ ව අපට උගත හැකි ගැඹුරු පාඩමක් පැහැදිලි කර ගැනීම සඳහා වසූරියට එරෙහි ව පැරණි කල තිබුණු එන්නත් ක්‍රමය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. එය ඉතාමත් පැරණි කල සිට පුරුදු පුහුණු කරන ලද්දකි. ඒ.වී. බාලසුබ්‍රමනියම් සහ වෛද්‍ය එම්. රාජිකා මෙසේ කරුණු විස්තර කරයි. අද පවා ස්වල්ප වශයෙන් දන්නා වූ හා එකල පුහුණු කළ ඉන්දියානු සම්ප්‍රදායික එන්නත් ක්‍රමයක් වෙයි. 18 වන සියවසට පෙර එම එන්නත් ක්‍රමය උතුරු සහ දකුණු ඉන්දියාවේ විශාල ප්‍රදේශයන්හි පැතිර තිබුණි. එම ප්‍රාගුණ්‍යය පිළිබඳ ව විවිධ සඳහන් කිරීම් කර තිබුණ ද ඒ ගැන සවිස්තරාත්මක ව සඳහන් කර ඇත්තේ ත්‍ඍී උපාධිධාරි ජේ. හවෙල් විසිනි. 1767 බෙංගාලයේ දී ඔහු එය දුටු ආකාරයෙන් විස්තර කර ඇත. මේ ඔහුගේ ප්‍රකාශය යි.
නොයෙක් ප්‍රාන්තවල ඇති විවිධ විද්‍යාලයවලින් මේ සේවය සඳහා අවුරුදු පතා කැපවෙන්නා වූ එක්තරා බ්‍රාහ්මණික ගෝත්‍රික පිරිසක් විසින් එන්නත් කිරීමේ කාර්යය සිදු කරනු ලැබේ. මෙම රෝගය පැතිරීම ආරම්භ වන්නට සති කීපයකට කලින් විවිධ තැන්වලට ලඟාවනු සඳහා මොවුහු (3 හෝ 4 දෙනා වශයෙන්) කුඩා කණ්ඩායම් ලෙස තැනින් තැනට ගමන් කරති.
එන්නත්කරුවන් බෙංගාලයට ළඟා වන්නේ ග්‍රීෂ්ම ඍතුව පටන් ගන්නට කළින් පෙබරවාරියේ දී ය. (නැතහොත් සමහර විට මාර්තු අග දක්වා කාලය තරම් පමා විය.) ඒ සෑම ප්‍රදේශයක ම සිටින්නා වූ වැසියෝ සුපුරුදු වශයෙන් ඔවුන් පැමිණෙන කාලය දනිති. එහෙයින් මසකට කලින් සිට දැඩි පත්තියන් ක්‍රමයක් අනුගමනය කළ යුතු විය. එයට අඩංගු වන්නේ මාසයක් තිස්සේ මාළු, කිරි සහ ගිතෙල් අනුභවයට ගැනීමෙන් වැළකී සිටීම යි.
එන්නත් කිරීම පටන්ගත් විට ඔවුන් ගෙන්ගෙට ගොස් පත්තියන් ක්‍රමය අනුගමනය කළ අයට පමණක් එන්නත් කරති. සාමාන්‍ය වශයෙන් එන්නත් කිරීම කරනු ලබන්නේ පිරිමින්ගේ අතේ පිට පැත්තේ මැණික් කටුව සහ වැළමිට අතර ද ගැහැනුන්ගේ වැළමිට සහ බාහුව අතර ද වශයෙනි. එන්නත් කිරීමට ප්‍රථමයෙන් එන්නත් කරන්නා තම අතට රෙදි කැබැල්ලක් ගෙන එන්නත් කරන ස්ථානය විනාඩි 8 ක් හෝ 10 ක් තිස්සේ පිරිමදිනු ලැබේ. ඉන්පසු ඔහු එම ස්ථානය කුඩා ලේ බිංදුවක් මතුවන තුරු සුළුවෙන් පාරයි. ඉන්පසු දෙපොටක් ඇති ඝණ රෙද්දක් දිග හැර වසූරිය විෂ බීජ සහිත වූ කපු රෙදි කැබැල්ලක් ගෙන එය ගංගා නම් ගඟේ වතුර බිංදු කීපයකින් තෙත් කර තුවාලයට තබා බඳිනු ලැබේ. මෙය පැය 6 ක් පමණ එසේ තිබෙන්නට ඉඩහරිනු ලැබේ. මාළු, කිරි හා ගිතෙල් අනුභවය එන්නත කළ දිනය සිට මාසයක් යන තුරු ම තහනම් ය.
දොස්තර හවෙල් තවදුරටත් මෙසේ සඳහන් කරයි.“ඉහත සඳහන් කළ ප්‍රතිකාර ක්‍රම නිවැරදි අන්දමින් කල විට දශ ලක්ෂයකින් එක් අයෙකුට හෝ එම රෝගය වැළඳුනා යැයි අසන්නට ලැබෙතොත් එය ප්‍රතිහාරයක් වන්නේ ය.”
බි්‍රතාන්‍යයන්ට මෙය මුණගැසුණ කාල සීමාවේදී වසූරියට එරෙහි ව එළදෙනුන්ගෙන් සෑදූ එන්නතක් 1798 දී දොස්තර පී. ජෙනර් විසින් නිෂ්පාදනය කර තිබුණි. 1804 දී මුහුන් එන්නත් කිරීම පිළිබඳ අධ්‍යක්ෂ විසින් සාම්ප්‍රදායික ක්‍රමය මගින් එන්නත් කිරීම තහනම් කරන ලදී. (බෙංගාලයේ මුහුන් එන්නත් කිරීමේ ප්‍රගති වාර්තාව – කල්කටා 1804) බි්‍රතාන්‍ය පාලනයේ දී ඉන්දියාව තුළ වූ සාම්ප්‍රදායික පාලනය බිඳ වැටෙන්නට පටන් ගත්තේ ය. පොදු පාලන ක්‍රමය මගින් නඩත්තු කරන ලද විශේෂඥවරුන් හා නිලධාරි කොට්ඨාසයන් සේවයෙන් මුදවා හැර තමා විසින් ම රැකෙන්නට ඉඩ හරින ලදී. 19 වන සියවසයේ දී සහ 20 වැනි සියවසයේ දී මුල් භාගයේ ඉන්දියාවේ බහුල ව පැතිරි ගිය වසූරිය වසංගතයට ප්‍රධාන වශයෙන් ම හේතු වූයේ එක් අතෙකින් සියලු ප්‍රදේශයන්හි එන්නත් කිරීමේ කාර්යය සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධ ව රජය දැක් වූ නොසැලකිල්ල සහ පසුබට වීම සහ අනෙක් අතින් සියලු රාජ්‍ය අනුග්‍රහයන් ඉවත් කර දැමීම තුළින් දේශීය එන්නත් කිරීමේ පැවැත්ම දුෂ්කර හෝ සම්පූර්ණයෙන් ම අතපසු කිරීමෙන් එය රහසිගත ව කර ගෙන යාමට බල කිරීම යන කරුණු ය. ” (සම්භාෂා-1996 හත්වන කලාපය, 76-79 පිටු )
මේ කතාවෙන් ඉතා විචිත්‍ර අන්දමින් පැහැදිලි වන්නේ කෲර වූ බලය යොදවමින් සුදු මිනිසා අපේ සාම්ප්‍රදායික පෙරදිග වෙදකම අනුක්‍රමයෙන් විනාශ කර දැමූ ආකාරය යි. දරුණු අපහාසය නම් එම සම්ප්‍රදායයන්ගෙන් ඉගෙනගෙන, ඖෂධ තමා නිෂ්පාදනය කළ ආකාරයෙන් සුදු මිනිසාගේ නව සොයා ගැනීම් හැටියට ඒවා ඉදිරිපත් කරමින් නැවත අපට ම එවීම යි.
අපේ වෙදකමේ විනාශයත් සුදු මිනිසාගේ වෙදකමේ උපතත් පිළිබඳ ඛේදනීය වූ කතාන්දරය මෙයින් සාරාංශ වෙයි. ” (වැව, උදුල බණ්ඩාර ඖෂධහාමි, 27-29 පිටු)
දැන් වසූරිය වෛරසය ලෝකයෙන් ඉවත් වී ඇත. ඒවා අධිපති රටවල විද්‍යාගාර තුළ සුරක්ෂිත ව තැන්පත් කොට තිබේ. සමහර විට කොරෝනා වෛරසය ද අනාගතයේ අධිපති රටවල විද්‍යාගාර තුළ රැඳී පවතිනු ඇත. ඊළඟ ලෝක පරිමාණ යුද්ධවල දී ජීව අවි ලෙස ප්‍රයෝජනයට ගැනීමට තිබෙන ඉඩකඩ නොසලකා හැරිය නොහැකි ය. ඇත්තට ම වෛරස් රෝගවලට මුහුණදීම සඳහා අප පිහිට කොට ගත්තේ අපේ සංස්කෘතික ජානයන්ගෙන් එළි පෙහෙළි කර ගත් දැනුමයි. එවැනි වංසගත රෝග තත්ත්වයන් තුළ ඇතැම් ගම්වලට පමණක් නොව වැවට ගමට පවා තහංචි දැමුණි. එදා කඩුළු තහංචිය දැම්මේ මේ වසංගත රෝග පාලනයට ය. එදා දැමූ කඩුළු තහංචිය අද නිරෝධායනය යි. එදා කඩුළු තහංචිය දමා රෝගියා ගෙදරින් එළියට ඇදගෙන නොගිය අතර නිවස තුළ ම රඳවන ලදී. නාන කාමර නොතිබුණු යුගයක රෝගියාට කාමරය තුළ ම ශරීර කෘත්‍යය සිදු කරන්නට බල කෙරිණි.
කාමරයේ දොරකඩ රෝගියා පෙනෙන මානයේ ගෙදර අයෙක් රැඳී සිටී අතර ඔහුත් එම සීමාවෙන් එළියට ගියේ දොට්ට පිලට යාමට පමණි. ගෙදර කිසිවෙක් කඩුල්ල පැන එළියට නොගිය අතර ගම්මු කඩුල්ල ළඟට පැමිණ නිවැසියන්ට කෑමට, බීමට කළමනා ගෙනත් දුනි. ගෙදර උදවියගේ හා ලෙඩාගේ මානසික සෞඛ්‍යය සඳහා පත්තිනි දේවතාවිය ලෙස ඇඳගත් කපු මහත්තයෙකු පමණක් එම නිවසට ඇතුළු වී සිදු කළ අපූරු ක්‍රියාවක් එක්දහස් නවසිය පණස් ගණන්වල කුරුණෑගල – ගල්ගමුව ප්‍රදේශයේ ඔහු කුඩා කළ සිදු කළ අපූරු ක්‍රියාවක් මිතුරෙකු මා හා පැවසීය. රෝගියා හා නිවැසියන්ගේ ආරක්ෂාව ඉෂ්ටදේවතාවියට (පත්තිනි) කැප කොට රෝගියාගේ සහ සෙසු අයගේ මානසික අවපීඩනයට ප්‍රතිකාර සඳහා බැඳුම්, පිලිස්සුම් පමණක් නොව රෝග සුවවීමෙන් පසු ගෙදරට ගොමමැටි ගෑම ද තහනම් කෙරුණි. ලෙඩ සුව වූ පසුව කිරිඅම්මාවරුන්ට බාරහාර ඉටු කොට පුද පූජා පවත්වන තෙක් මස් මාංශ අනුභවය ද තහනම් කෙරිණි. ලංකාවේ ද ඉංග්‍රීසීන් පැමිණෙන කාලයේ වසූරිය රෝගයට දේශීය එන්නත් ඉන්දියාවේ මෙන් සිදු කර තිබූ අතර එය තහනම් කොට ඉංග්‍රීසීන් වසූරිය එන්නත ආරම්භ කළ අතර පොදු ජනයා විසින් එය ප්‍රතික්ෂේප කෙරිණි. 1815 න් පසු වසූරිය එන්නත ලබාගත් පළමු ප්‍රභූවරයා ලෙස හෙන්රි මාර්ෂල් සඳහන් කරන්නේ කැප්පෙටිපොළ මහ නිලමෙතුමා ය. එතැන් පටන් දේශීය දැනුම් පද්ධතිය විනාශ කිරීම සඳහා නීති පැන වූ අතර අදටත් ලංකාවේ ක්‍රියාවට නැගෙන්නේ 1897 දී රාජකීය අඥාවකින් පැන වූ වංසගත රෝග නිවාරණ ක්‍රමය යි. අපේ ජනයාට කඩුළු තහංචිය සංස්කෘතික ජානවලින් (සභ්‍යත්ව ඥානය) වැටහුණාට නිරෝධායනය කුණුහරපයකි. එදා කඩුළු තහංචිය තමන්ගේ ය. මෙදා නිරෝධායනය සුද්දාගේ ය. බටහිර ලෝකය ද දැන් එය නොසළකා හරියි.
අද රජය අලුතින් පනවන නීති 1897 නීතිවල දිගුවකි. සුදු පාලකයින්ගේ දේපල රැකීමට පනවන ලද නීතිවල දිගුවකි. බස්නාහිර පළාතේ අපනයන කර්මාන්තශාලාවන් ඇඳිරි නීතිය තුළ විවෘත කළ හැක. ඒවාට ගාල් වන ශ්‍රමිකයන්ට කෝවිඞ් වැළඳුනාට කම් නැත. මක්නිසාද යත් ශ්‍රමය සූරා කා ගැනීම සඳහා ඉඩකඩ විවෘත කර තැබිය යුතු ය. දිළින්ඳාට මරණයකටවත් එළියට බැසිය නොහැක. මෙය වටහා ගැනීම සඳහා ඇමරිකානු ජාතික මානව විද්‍යාඥයකු, ඉතිහාසඥයෙකු හා පුරාවිද්‍යාඥයෙකු වූ ලුවිස් හෙන්රි මෝර්ගන්ගේ වදනක් අවසන් වශයෙන් උපුටා දක්වනු කැමැත්තෙමි.
“සභ්‍යත්වය ඇති වීමෙන් පසු දේපල වර්ධනය වීම කොතරම් විශාල වී ද යත් එහි රූප කොතරම් විවිධාකාරී වී ද යත් එහි ස්වාමිවරුන්ගේ උවමනාව කොතරම් බුද්ධිමත් ලෙස ඒවා පාලනය කිරීම සඳහා එය කොතරම් ප්‍රසාරණයෙන් පාවිච්චි කරන්නේ ද යත් ජනතාව අනුව බලන විට එය පාලනය කළ නොහැකි බලයක් බවට පත් වී ඇත. තම නිර්මාණය ඉදිරියේ මිනිස් බුද්ධිය වික්ෂිප්ත වී සිටී. කෙසේ වුව ද දේපල මැඩ පාලනය කිරීමට සහ ආරක්ෂා කරනු ලබන දේපල කෙරෙහි රජය දක්වන සබඳකම් සහ එමෙන් ම දේපල හිමියන්ගේ අයිතිවාසිකම්වල සීමාවන් හා යුතුකම් විග්‍රහ කිරීමටත් මිනිස් බුද්ධිය නැගී සිටින කාලයක් ඇති වනු ඇත. සමාජයේ උවමනාවන් පෞද්ගලික උවමනාවන්ට වඩා ශ්‍රේෂ්ඨ ය. මේ දෙක ම සාධාරණ ලෙස හා අවිරෝධී ලෙස එකමුතු කළ යුතු ය. අතීතයේ දී මෙන් ම අනාගතයේ දී ද මිනිස් ප්‍රගතිය නීතිය වීමට නම් මිනිස් වර්ගයාගේ අවසාන පරමාර්ථය හුදු දේපල අයිතියට පමණක් සීමා නොවිය යුතු ය.” මෝර්ගන් (පවුල, පෞද්ගලික දේපල හා රජය ඇති වූ හැටි, ෆෙඞ්රික් එංගල්ස්, 179 පිටුව)
අද අපේ කොරෝනා නීති දේපල පාලනය කිරීමට හා දේපල ආරක්‍ෂා කිරිමට රජය දක්වන සබඳකම් හා දේපල හිමියන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට යොමුව ඇත. මිනිසුන්ගේ සංස්කෘතික විඥානයට වැටකඩොළු දමා සභ්‍යත්වයේ පදනම එක් පන්තියක් විසින් තවත් පන්තියක් සූරාකෑම සඳහා භාවිත වී ඇත. නිෂ්පාදනයේ සෑම දියුණුවක් ම, බහුතර සංඛ්‍යාව වන, පෑගෙන පන්තියේ ජනතාව ඒ සමග ම පහත වැටී ඇත. කෝවිඞ් -19 ලොවින් තුරන් වන විට නව ධනපතීන් පිරිසක් බිහි වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඊට මග පෙන්වනු ලැබේ. මා හිතවත් වෛද්‍යවරයෙකු පැවසූ ආකාරයට එක්දහස් නවසිය හැට ගණන්වල දියවැඩියා රෝගය මනින රුධිර සංයුතියේ ප්‍රමාණය රාත්‍රී නිරාහාර ව සිට පැය 14 කට පසු තිබිය යුතු අගය ලෙස සලකන ලද්දේ 140 කි. ලෝක සෞඛ්‍ය සංවිධානය එය හදිසියේ ම 120 යැයි තීන්දු කළ පසු ලෝක ජනගහනයෙන් බිලියන ගණනක් රෝගීන් වූ අතර ඔවුන්ට ඖෂධ ගැනීමට නිර්දේශ විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම තීන්දුව ගත් කණ්ඩායමට ඇතුල් වූ අයගෙන් 6 දෙනෙක් ම බෙහෙත් හිමිකරුවෝ ය. ඔවුන් එක් රැයකින් බිලියනපතියෝ ය. සිරුරේ කොලෙස්ටරෝල් අගය ද එදාට වඩා අද වෙනස් ය. බටහිර ඖෂධ දැන් ලෝකයේ දෙවන විශාල ජාවාරම යි. දුප්පතුන්ට මෙය වටහාගත නොහැක. නව ධනේශ්වර බුද්ධිමතුන්ගේ පැමිණීම මුළු මහත් ලෝකයට ම අවශ්‍ය ය. මේ මුරුගසන් වරුෂාවෙන් බේරීමට අපි උත්සාහ ගනිමු.
සේනාරත්න ද සිල්වා
(සභාපති – පරපුරක උරුමය)
Nayomakusum@yahoo.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...