පුරවැසි කොලම

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පත් කරගන්නා ලද නව රජය ස්වකීය ප‍්‍රමුඛ කාර්යයක් වශයෙන් සලකා ඇත්තේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමයි. මේ කරුණ සාකච්ඡා  කිරීමේදී පැවති ආණ්ඩුකම ව්‍යවස්ථා පිළිබඳ විමසීම කරනු වටී. එංගලන්ත රැජින යටතේ ස්වාධීන පාලනයක් ලංකාවට ඇති කරලීම පිණිස 1948 දී සකස් කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සමග යම් පමණක දේශපාලන නිදහසක් රටට හිමි විය. නමුත් ලංකාව පූර්ණ වශයෙන් රැජිනගේ පාලනයෙන් මිදී නිදහස ලබනුයේ 1972 වසරේදීය. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සැකසුණු 1972 ව්‍යවස්ථාව තුළ මෙතෙක් සිංහලේ (Ceylon) නැතිනම් සිංහලද්වීපය යනුවෙන් භාවිත කළ රට ශ‍්‍රී ලංකාව බවට පත් විය. කොල්වින් ආර්.ද සිල්වා මහතා වරක් පිළිසඳර කතාබකදී පවසා ඇත්තේ එකල බලයේ සිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සාපේක්ෂකව එම නාමය ඇති කළ බවයි. 1977 වර්ෂයේ දී විශාල ජන වරමක් ලබාගත් ජේ. ආර්. ජයවර්ධන මහතා 1978 දී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලබා දෙමින් විධායක ජනපති ක‍්‍රමය ලකාවට දායාද කළේය. ඒ සමගම ඔහු ලංකාවේ ජීවත් වූ පාරම්පරික සිංහලයන් සහ ලියාපදිංචියෙන් පුරවැසිකම් ලැබූ විදෙස් ජන වර්ග එක මට්ටමක ලා සලකමින් පුරවැසි භාවය පිළිබඳ නව වගන්තියක්ද ඇතුළත් කළේය. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශයන් මත ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් ෙඡ්දය වඩා බල ගන්වමින් එය මගින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන බවටද ප‍්‍රතිපාදනද ඇතුළත් කළේය. 1978 සිට 2020 දක්වා මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන විස්සක් ගෙනවුත් තිබේ. මේ සංශෝධන ගෙන ඒමට මුල් වූයේ හුදෙක් දේශපාලන කාරණාය. ඇතැම් විට බලයේ සිටි පුද්ගලයන්ගේ බලය වැඩි කර ගැනීමටද විරුද්ධ පක්ෂයේ අයට චන්දයට ඉදිරිපත් වීමට නොහැකිවන ලෙසටද ගෙනා සංශෝධන විය. එලෙසම විවිධ ජන වර්ගයන් සතුටු කිරීමට සහ ඔවුන්ගේ බලය වැඩි කර දීමට ගෙනා සංශෝධන ද විය. උතුරේ සහ නැගෙනහිර පළාත් වල දෙමළ පරිපාලන භාෂාව කරන ලද්දේ 16 වන සංශෝධනය මගිනි. නමුත් මේ සංශෝධන වලින් කිසිවිටක සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීමට එකදු පියවරක් තැබීමට නොහැකි විය.

13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බෙදුම්වාදය ශක්තිමත් කර ලීමට පියවර කීපයක් තැබූ ආකාරය මේ වන විට පැහැදිලිය. ඉන්දියාව සහ ඇමරිකාව කරන ලද බලපෑම් මගින් මේ කටයුත්ත සඳහා මෙරට අතරමැදියන් පත් කර තිබුණි. 19 ගෙන ඒමට ජයම්පති වික‍්‍රමරත්න සහ එම්. ඒ. සුමන්තිරන් වැනි අය මැදිහත් වී සිටියහ. 19 සම්මත වන කල්හි 1978 ව්‍යස්ථාවේ 70(1) ව්‍යවස්ථාව අනුමත කරන ලද්දේ 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයන්ට පටහැනිවය. එසේම කාරක සභා අවස්ථාවේ දී මන්ත‍්‍රීවරුන්ට කොළේ වසා නොයකුත් සංශෝධන ඇතුළත් කරන ලද්දේ විය. මේ අවුල විසින් යහපාලන රජය පරිහානියට ගෙනයන ලද්දේය. ඔවුහු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරමින් වසර කීපයක් කල්මරමින් සිට ඔරුමිත්ත නාඩු නම් බෙදුම්වාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්මත කරගන්නට උත්සාහ දරනු ලැබීය. මේ සම්බන්ධයෙන් රට පුරා ඇති වූ විරෝධය ඉතා මහත් විය. ඇතැම් කරුණු සඟවා ගන්නට උත්සාහ කළ ද ඒවා වේගයෙන් ජනතාව අතරට සන්නිවේදනය විය. ඒ අතර යුද අපරාධ චෝදනා රණවිරුවන් සිරගත කිරීම් ආදිය නිසා ජනතා අප‍්‍රසාදය දිනෙන් දින උත්සන්න විය.

ජනතාව නව නායකයෙකු කෙරෙහි විශ්වාසය තබන ලද්දේ ඒ නිසාය. 19 ව්‍යවස්ථාව මගින් මහින්ද රජපක්ෂ මහතාට නැවත ජනපතිවරණයට ඉදිරිපත් වීමේ ඉඩකඩ අසුරා තිබුණි. එසේම ද්විත්ව පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාටද එම පුරවැසි කම නිසා මෙරට නායකත්වයට පත් වීම පිණිස අවස්ථාව අහිමි කර තිබුණි. නමුත් ඡන්දයෙන් පරාජයට පත් කරන ලද මහින්ද රජපක්ෂ මහතා ජනතා අනුකම්පාව දිනමින් නැවත ජනප‍්‍රියත්වයට පත් වීමත් සමගම නව නායකයෙකු ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහාතාට පිළිගැනුමක් ඇති විය. ඒ ඔහු ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ කල සපන්කම් නිසාවෙනි. වෙසෙසින්ම යහපාලන කාලයේ උත්සන්නව පැවති මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මුස්ලිම් අන්තවාදය දෙමළ බෙදුම්වාදය මෙන්ම රාජ්‍ය සේවයේ බිඳ වැටීම් ජය ගන්නට නම් ඔහු වැනි සෘජු නායකයෙකු පත් විය යුතු යැයි මතයක් සමාජ ගත විය. 2019 වසරේ වත්මන් ජනපති වරයා ජයග‍්‍රහණය කරන ලද්දේ මේ සියලූ කාරණා එකට ගොනු වීමෙනි.

ලංකාවේ දේශාපාලනය තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති කරන ලද 19 වන සංශෝධනය ඉවත් කිරීම කළ යුතුම දෙයක් විය. එදා 19ට විරුද්ධව සිය ඡන්දය භාවිත කළ එකම මන්ත‍්‍රීවරයා සරත් වීරසේකර මහතා පමණි. මහින්ද රජපක්ෂ මහතාගේ සහ මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනපතිවරයාගේ මැදිහත් වීම මත බොහෝ විරුද්ධ පක්ෂ මන්ත‍්‍රීවරු 19 ට පක්ෂව ඡන්දය භාවිතා කළහ. එසේ භාවිත කිරීම විශ්ලේෂණය කරන විට දැන ගන්නට ඇත්තේ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන විට සහ කාරක සභා අවස්ථාවන්හිදී මන්ත‍්‍රීවරුන් අදාළ වගන්ති වලට නිසි අවධානයක් යොමු කොට නැති ආකාරයයි. සභා මේසයට පැමිණෙන කෙටුම්පත් කියවා නොබලා අත් ඉස්සීම සුලභ දෙයකි. හිතු හිතු ලෙස කළ ව්‍යවස්ථා සංශෝධන නිසා 19 අවුලක් බවට පත් වූයේ එලෙසයි. නමුත් තමන්ගේ අරමුණු කරා යමින් සිටි ව්‍යවස්ථා චෞරයන්ට එනම් රනිල් වික‍්‍රමසිංහ, ජයම්පතී වික‍්‍රමරත්න සහ සුමන්තිරන් වැන්නවුන්ට මේ වංචාව ක‍්‍රීඩාවක් විය. කෙසේ වෙතත් අද වන විට 19 නැවත ආපිට හරවා යවා ඇත. ඒ සඳහා 2020 අගෝස්තු මාසයේ දී ගෙන එන ලද 20 ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ සැණින් ජනතාව ඉදිරියේ එය මහත් කලබගෑනියක් ඇති කරන ලද්දේය. වෙසෙසින්ම ද්විත්ව පුරවැසි භාවය ඉවත් කිරීම රාජ්‍ය සමාගම් විගණනය ඉවත් කිරීම ප‍්‍රතිඥාව ඉවත් කිරීම අමාත්‍ය මණ්ඩල සීමාව ඉවත් කිරීම ආදී කරුණු එම පනතේ තිබූ බැවින් වෙසෙසි සාකච්ඡා වට බඳුන් විය. ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වූ වගන්ති හතර ගැන නීතිපතිවරයා සහ අධිකරණ ඇමැතිවරයා සැලකිල්ල නොදැක්වීම මේ අවුලට තවත් හේතුවක් විය. එසේම 76 ව්‍යවස්ථාව මගින් සහතික කරන ලද ව්‍යවස්ථාදායක බලය අත් හැරීමක්ද විස්ස මගින් සිදුවන්නට කාරණා යෙදී ඇත. අවසානයේ ජනතා විරෝධය මත ආණ්ඩුව පියවර කීපයක් පස්සට තබා ගනිමින් ජාතික සංවිධාන ඇතුළු භික්ෂූන් වහන්සේගේ ඉල්ලීම් වලට කන්දුන්හ.

2020 ඔක්තෝබර් මාසයේ 20 වන දින 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සංවාදයට බඳුන් විය. ඒ මෙම පනතට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ද සභාගත කරමිනි. නමුත් එය සභාගත කරන ලද්දේ ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණකි. ඔක්තෝබර් 20 වන දිනට කලින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුප පැස්කුවල් මහතා ස්ථාවර නියෝග යටතේ මෙම ඉහළ උසාවියේ නියෝග වල සිංහල පරිවර්තනයක් ලබා දිය යුතු යැයි ඉල්ලීමක් කරන ලදී. නමුත් පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් එය සිදු වී නැත. හැන්සාඞ් වාර්තාවටද සිංහල පරිවර්තනය ඇතුළත් වී නැත. 20 සම්මත කරන ලද්දේ යම් සංශෝධන කීපයක් සමගිනි. ද්විත්ව පුරවැසි භාවයට මරාගත් ජනපතිවරයා සහ ආණ්ඩුව 1978 සිට 2015 දක්වා සිංහලයන්ට විරුද්ධව ගෙනා සංශෝධන වෙනස් ගන්නට කිසිම තැතක් නොදරන ලදී. ඒ වෙනුවට දේශපාලන වශයෙන් සහ පුද්ගලිකව වාසිදායක වන සංශෝධන සඳහා උනන්දු වූ බව පැහැදලිය. එයට අමතරව කාරක සභා අවස්ථාවේ දී අධිකරණ අමාත්‍යවරයා 20 පනත් කොටුම්පතේ නොවූ නමුත් 19 යටතේ 46(4) වශයෙන් තිබූ වගන්තිය එනම් ජාතික ආණ්ඩුවක් ඇති කර ගැනීමට ලබා දී තිබෙන බලය පිළිබඳ ප‍්‍රතිපාදනය නැවත ඇතුළත් කර තිබේ.

මෙම ප‍්‍රතිපාදනය ඉහළ උසාවියේ පවා ප‍්‍රශ්න කර ඇති අතර යහපාලන කාලය තුළම ජනතා විවේචනට ලක්ව තිබුණි. මේ සංශෝධන සියල්ල ඔහු සාකච්ඡා  කරනුයේ නැතිනම් සභාගත කරනුයේ ඉංග‍්‍රීසි භාෂාවෙනි. සිංහල බසින් හොඳින් කතා කළ හැකි අධිකරණ ඇමැතිවරයා සිංහල භාෂා පාඨයට තිබෙන මුල් තැන ගැන නොදන්නවා නොවේ. ඇතැම් විට ව්‍යවස්ථාවේ ඉංග‍්‍රීසි පිටපතේ එක තිතක් වෙනස් කිරීමෙන් අර්ථය ද වෙනස් කළ හැකි බව ඔහු දන්නවා ඇත. උදාහරණ වශයෙන් 9 වන වගන්තිය සහ 76 වගන්තිය ගත හැකිය. ඔහු සටකපට අන්දමින් ඉංග‍්‍රීසි බසින් සංශෝධන ඉදිරිපත් කරමින් සිටිනාතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද රීති ප‍්‍රශ්න අසමින් සභාවේ අවධානය වෙනත් තැන් වලට යොමු කළ ආකාරය 2020 ඔක්තෝබර් 22 හැන්සාඞ් වාර්තවෙන් බලාගත හැකිය. කෙසේ වෙතත් සිංහල බෞද්ධ නායකයෙකු වශයෙන් මහත් විශ්වාසයක් තැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අධිකරණ අමාත්‍යවරයා මගින් ජනතා විශ්වාසය වංචනික ලෙසින් කඩ කර තිබේ. අලූත් ව්‍යවස්ථාවක් සෑදීමටද භාර දී ඇත්තේ ද මෙවැනි පුද්ගලයෙකුටය. ඒ අතර අලූත් ව්‍යවස්ථාව ගෙන ඒමට ගන්නා ලද මුල් පියවරෙන්ම මේ චෞරයන්ගේ හැටි තවදුරටත් අනාවරණය වේ.

මතුගම සෙනෙවිරුවන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More