ආචාර්ය ජගත් චන්ද්‍රවංශ ජාත්‍යන්තරය ජයගත් ව්‍යවසාකයෙක්. ඔහු සෝවියට් රුසියාවේ ජෝර්ජියානු තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් තම උසස් අධ්‍යාපන කටයුතු හමාර කරන්නේ සමාජවාදී සෝවියට් රුසියාව බිඳ වැටීමට පෙරයි. එසේම ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක්. මේ සැමටම වඩා ඔහු සමාජවාදී දේශපාලනය තුළින් තම දේශපාලන අත්පොත තබා ජාතිකවාදී දේශපාලනයට නැඹුරුතාවයක් දක්වන්නෙක්. එනිසාම ලෝකයේ පවතින ජාතිකවාදී දේශපාලන ආර්ථික ප්රවනතා සම්බන්ධයෙන් ගැඹුරු කියවීමක යෙදී සිටින්නෙක්. සමස්ත ලෝකයටම වැදගත් වන අමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධව ගැඹුරු කියවීමක සිටින ඔහු ලංකා ලීඩ් පුවත් අඩවිය සමඟ කළ සාකච්ඡාව පහත පළවේ.
—————————————————————————————————————————————————-අද වන විට අමෙරිකානු ජනාධිපතිවරණය අවසන් එසේම ඔබ ඇතුළු සමහරුන් පළ කල මත බිඳ හෙළමින් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමට ආසන්නයේ සිටිනවා. පළමුව අපට පහදන්න ඔබ ඇතුළු ලෝකයේ, ජාතිකවාදී සමාජ ආර්ථික ද්ශපාලන ප්රවනතා සමඟ ඒකාත්මිකව සිටින අය පෙනුමෙන් සහ හැසිරීමෙන් “උද්දච්ඡභාවයක්” පෙනෙන්නට තිබෙන ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නෙකුගේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් බලා සිටියේ කිමද කියා?.
ආචාර්ය ජගත් චන්ද්‍රවංශ :ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෙනෙන්නට තිබෙන “උද්දච්ඡභාවය” තමයි එරට මාධ්‍යය සහ ලෝක විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරා මෙහෙයවීමට කටයුතු කිරීමට යොදාගත් ජනප්‍රියම සාධකය කියායි මගේ අදහස.අප වැනි පරිධියේ රටවල සිටින වාමවාදී ජාතිකවාදී දේශපාලන නැඹුරුතාවයක් තිබෙන ජනයාට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෙනුම සහ ඔහුගේ ඔබ පවසන “උද්දච්ඡ” හැසිරීම ගැටලුවක් බව මම පිළිගන්නවා.
නමුත් මොහොතකට බැරැක් ඔබාමා නම් අමෙරිකානු ජනාධිපතිවරයාගේ පෙනුම සහ හැසිරීම සැලකිල්ලට ගන්න. ඔබ පවසන වාමවාදී ජාතිකවාදී දේශපාලන නැඹුරුතාවයක් තිබෙන අපවැනි රටවල ජනයා ඩොනල්ඩ් ට්‍රම්ප් ට වඩා ඔබාමට ආකර්ශනය වන්නේ , ඔබාමාගේ දරුවන් ආපනශාලා වල වැඩ කිරීම, ඔබාමා හමුදා සොල්දාදුවෙකුගේ බිම වැටුන හිස්වැස්ම නැවත හිස මත තැබීම,
ඔබාමා කඩපිලෙන් ඇපල් ගෙඩියක් මිළදී ගැනීම වැනි සිල්ලර ජනප්‍රියවාදී කැමරා ඉදිරියේ කරන රඟපෑමට. ඊට සමාන්තර ඔබාමාගේ අප්‍රිකානු සම්භවය, ඔබමා බාල කාලයේ කළ දුෂ්කරක්‍රියා මාධ්‍ය විසින් උත්හර්ෂයට නංවනවා. ඔබාමා පිටපතට අනුව හරියටම රඟපානවා.එම රංගනයට ලෝකයේ වාමවාදී ජාතිකවාදී දේශපාලන නැඹුරුතාවයක් තිබෙන ජනයා “අහිංසකයි ලොවක් වටියි” පන්නයේ කුසලාන තිළිණ කරනවා.
ඔබාමා චරිතයේ තිර පිටපතට අනුව කැමරාව මැදපෙරදිගට යොමුවන විට “අරාබි වසන්තය” හමා යනවා. මැදපෙරදිග කලාපයේ පිහිටි යේමනය වැනි රටකට දරුණු මානූෂීය අර්බූදයකට මුහුණ දීමට සිදුවෙනවා.. අප්‍රිකාවේ ස්විට්සර්ලන්තය යැයි විරුදාවලිය ලැබූ ලිබියාව, ලිබියාව ගොඩ නැගූ කර්නල් ගඩාෆි සමඟම සුනු විසුනු කරනවා. සමස්ත සිරියාවම මළ ගෙයක් බවට පත් කරන්නට කටයුතු කරනවා. මේ සියල්ල සිද්ධ වෙනවිට නිහතමානි යැයි ලෝක ජනමාධ්‍යය විසින් උත්හර්ෂයට නැංවූ ඔබාමා සන්සුන්ව ධවල මන්දිරය තුළ වැජඹෙනවා. ඔබ ඔය කියන වාමවාදී ජාතිකවාදී දේශපාලන නැඹුරුතාවයක් තිබෙන ජනයා තිළිණ කළ කුසලානයෙන් ඉහත කී දැවැන්ත අපරාධ වලට සහභාගි වූ පිරිස සමඟ එක්ව ඔබාමා ජය පැන් බොනවිට එම “ඊනියා වාමවාදී ජාතිකවාදී දේශපාලන ජනයාට” කර කියා ගත හැකි දෙයක් නැතුව යනවා.
ඔබ ගේ අදහස් දැක්වීම අනුව ඔබ ඔබාමා විරෝධී ට්‍රම්ප් වාදී මෙන්ම පරිධියේ රටවල වාමවාදී ජාතිකවාදීන් හෑල්ලුවට ලක් කරන බවක් පෙනෙන්නට තිබෙනවා.
ආචාර්ය ජගත් චන්ද්‍රවංශ : නැහැ මම පෞද්ගලිකව ඔබාමාගේ නිහතමානී හැසිරීමට ආකර්ශනීයයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හැසිරීම සහ කතා විලාශය සම්බන්ධයෙන් මට තිබෙන්නේ වෙනමම අදහසක්. නමුත් ඔවුන් දෙදෙනා මම හඳුනාගන්නේ අමෙරිකානු ජනයාගේ නායකයන් හැටියට. මට වැදගත් වන්නේ ඔවුන් ලෝක දේශපාලන භූමියේ රඟ දැක්වූ භූමිකාව විතරයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාලය තුළ කිසිදු රටකට හමුදා ප්‍රහාර එල්ල කිරීමට උත්සහා කළේ නැහැ.ඔහු ඔහුගේ රටේ ආර්ථිකය නගා සිටුවන්නට අමෙරිකානු ජාතික මනසින් ක්‍රියා කළා. ඔහු දුටුවා අමෙරිකානු ආර්ථිකය යනු(Transnational) පාරජාතික සමාගම් වල දඩ බිමක් පමණක් බව. ඔහු දුටුවා එම පාර ජාතික සමාගම් නිසා අමෙරිකානු ජනයා, අමෙරිකානු සුළු හා මධ්‍යයම පරිමානයේ කර්මාන්තකරුවා , නිෂ්පාදකයා කෙතරම් අපහසුතාවයට පත්වනවාද කියා. එදා ලෝකයට අමෙරිකානු නිෂ්පාදන අලෙවි කළත් අද අලෙවි කරන්නේ අමෙරිකානු භූමියේ පය ගසාගෙන සිටින පාර ජාතික සමාගම් වල නිෂ්පාදන. උදාහරණයක් ලෙස කුප්‍රකට කෙසෙල් නිෂ්පාදකයෙකු වන “ඩෝල් සමාගම” අමෙරිකානු භූමියේ සිට මෙහෙයුම් කටයුතු කළාට අමෙරිකානු භූමිය තුළ එක කෙසෙල් ගසක්වත් වවා නැහැ. ඒ වගේම කෙසෙල් ගොවියාට කෙසෙල් කිලෝ එකකට ඩොලර් ශත පහක් ගෙවා අමෙරිකානු පාර්භෝගිකයාට කෙසෙල් කිලෝවක් විකුනන්නේ ඩොලර් එකකට. ඩෝල් සමාගමේ සියළු මෙහෙයුම් වලට ගෙවීම් කළවිට සමාගම ලබන ලාභය එක කෙසෙල් කිලෝවකින් ඩොලර් ශත හැටයි.ට්‍රම්ප් මේ කූට මෙහෙයුම සමඟ හැපුනා. ඔබාමා මෙම මෙහෙයුමේ කොටස්කාරයෙක් වුනා.ලෝක විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍යය ඔබාමා කඩපිලෙන් ඇපල් ගෙඩියක් මිළදී ගැනීම උත්හර්ෂයට නංවන විට වාමවාදී ජාතිකවාදීන්ගේ ඇස් නිලංකාර වුනා. ඩෝල් සමාගම වැනි සමාගමක මෙහෙයුම් වියදම් ලෙස කපා හැරෙන මුදල තුළ ලෝක විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍යය නඩත්තුවට මුදල් ගෙවා තිබෙන බවත් තවමත් ගෙවන බවත් හෙළි වේවි. එපමණක් නොවෙයි ඩෝල් සමාගම වැනි සමාගම් සමාජ මාධ්‍යය ජාලා නඩත්තු කරන්නටද ඔවුන්ගේ මෙහෙයුම් මුදලින් කොටසක් වෙන් කර තිබෙන බව සත්‍යයක්. පාර ජාතික සමාගම් වල ප්‍රචාරන උපක්‍රම හරහා තොරතුරු සහ දැනුම හඹා යන පරිධියේ රටවල ඊනියා වාමවාදී ජාතිකවාදීන් (Transnational) පාර ජාතික සමාගම් වල ස්වේච්ඡා ප්රචාරක බලකායේ සාමාජිකයන් බවට පත් වෙනවා.වරක් කාල් මාක්ස් පැවසුවා කම්කරුවාට රටක් නැත කියා. එනිසයි සකල ලෝක වාසී “කම්කරුවනි එක්වව්!” කියා කාල්මාක්ස් කිව්වේ.අද වන විට වී තිබෙන්නේ රටක් නැති පාර ජාතික සමාගම් දේශ සීමා වලින් තොරව කම්කරුවා සූරා කනවිට සකල ලෝක වාසී වාමාංශිකයන් සහ ජාතිකවාදීන් පාර ජාතික සමාගම් වල ස්වේච්ඡා ප්‍රචාරකයන් බවට පත් වෙලා තිබෙනවා. ප්රශ්නය වී තිබෙන්නේ එම පාර ජාතික සමාගම් ඔබ ඔය කියන ඊනියා වාමවාදී ජාතිකවාදීන්ගෙන් ස්වෙච්ඡා ප්රචාරක බලකායට බැඳෙන ලෙස ඉල්ලුම්පත්‍ර කැඳවීමක්වත් කර නැහැ.. ඒ නිසා ඕනෑම සමාජයක අතිශය දේශපාලනික සංවේදීහාවයක් පෙන්වන වාමවාදී ජාතිකවාදී කොටස් මීට වඩා ගැඹුරු සහ අර්ථාන්විත කියවීමක් බවට තම හැදෑරීම පත් කර ගත යුතුයි.
ඔබ දිගින් දිගටම අමෙරිකානු විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍යය ට්‍රම්ප් විරෝධීන් ලෙස ලේබල් ගසනවා. ඔබ එසේ අමෙරිකානු ජනමාධ්‍යය වලට චෝදනා කරන්නේ ඇයි?
ආචාර්ය ජගත් චන්ද්‍රවංශ : අමෙරිකානු ප්‍රසිද්ධ පෞද්ගලික විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍යය දේශපාලන න්‍යාය පත්‍ර වලට අනුව සියුම්ව කටයුතු කරනවා. පාර ජාතික සමාගම් හරහා මෙහයවෙන අමෙරිකානු දේශපාලනය සහ අමෙරිකානු රාජ්‍යය නිළධාරි පැලැන්තිය උත්හර්ෂයට නංවන්නේ ඔබ ඔය කියන අමෙරිකානු විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍යය. ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ඔහුට විරුද්ධව නැගුණු බොහෝ අපචාර චෝදනා දිවා රාත්‍රී ප්‍රචාරය කරන්නට අමෙරිකානු විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍යය පෙළඹුනා. ඔබට මතක නම් ලෝක ප්‍රසිද්ධ නිව්ස් වීක් සඟරාව 2016 නොවැම්බර් මාසයේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ජයගනු ඇතැයි අපේක්ෂා කොට එම මාසයේ එක් සතියක එළි දක්වන නිව්ස් වීක් පිටුව සරසා තිබුනේ හිලරි ක්ලින්ටන් මැතිණියගේ අලංකාර ඡායාරූපයකින්. එම ඡායාරූපයට යොදා තිබූ ශීර්ෂ පාඨය වූයේ “Madam President” හෙවත් “ජනාධිපති මැතිණිය” යන්නයි. ඔවුන් එම සඟරාවේ පිටපත් 125,0000ක් බෙදා හැර තිබුනා. ඒ අතර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති බව ප්‍රකාශයට පත් කර තිබුනා. නිව්ස් වීක් ආයාතනය සඟරා සියල්ල ආපසු ගෙන්වා ගත්තා. ඔවුන් තව සඟරාවක් මුද්‍රණය කළා ට්‍රම්ප්ගේ රුව යොදා “President Trump” හෙවත් “ජනාධිපති ට්‍රම්ප්” ලෙස ශීර්ෂ පාඨය යොදා. අමෙරිකානු නිව්ස් වීක් ආයතනය එතරම් සිවුම්ව කටයුතු කළා ඩොනල්ඩ් ට්රම්ප්ව් ජනාධිපතිවරයාව අපහසුතාවයට පත් කරන්නට. ඔබලා දකින මහා ප්රවාහයේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය ට්‍රම්ප්ට ඉඩක් දුන්නේම නැහැ.ඒ නිසා ට්‍රම්ප් තමාගේ ට්වීටර් ගිනුම හරහා ජනතාව ආමන්ත්‍රණය කළා. නමුත් ජනාධිපතිවරණ කාල සීමාව තුළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්වීටර් ගිනුම අක්‍රිය කිරීමට ට්වීටර් සමාගම කටයුතු කළා. අමෙරිකාවේ ක්‍රියාත්මක පාරජාතික සමාගම් එතරම් බලවත්.ඔවුන්ගේ ආර්ථික වුවමනාවන් ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප් දැවැන්ත බාධකයක් වී තිබුණා. මතක තබා ගන්න අමෙරිකාවේ ජනාධිපතිවරු දෙදෙනෙක් ඝාතනය කරනු ලැබ තිබෙනවා. ඒවා අදටත් අභිරහස්. ට්‍රම්ප්ගේ දර්ශණය වුනේ අමෙරිකානු ජාතිකවාදයයි. කොවිඩ්19 වෛරසය පැතිරීම පාලනය ජෝ බයිඩන්ගේ ඩිමෝක්රටික් පක්ෂය බලය හොබවන ප්‍රදේශ වලදී ඉතා අපහසු වුනා. එම ප්‍රාන්තවල ආණ්ඩුකාරවරු ට්‍රම්ප්ගේ උපදෙස් පිළිපැදීම පැහැර හැරියා. ආසාදිතයන් වැඩිවන විට මාධ්‍යය විසින් ඒවා ට්‍රම්ප්ගේ ගිණුමට බැර කළා. මේ අතර සුදු ජාතික පොලිස් නිළධාරියෙකු අතින් මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූ කළු ජාතිකයෙකු මිය යාම ට්‍රම්ප්ට එරෙහිව රැල්ලක් ලෙස ඉහළට ඔසවන්නට ට්‍රම්ප් විරෝධී මාධ්‍යය ක්‍රියාත්මක වූවා. ඊට සමාන්තරව අමෙරිකානු කළු ජාතිකයන්ගෙන් සැදුම්ලත් අන්තවාදී සංවිධාන කරලියට ආවා. මේවා සියල්ල හිතා මතා කළ මෙහෙයුම්. ඒ සඳහා මාධ්‍යය දැවැන්ත දායකත්වයක් සැපයූවා.ඒවා පිටුපස පාර ජාතික සමාගම් සිටින බව ට්‍රම්ප් දැන සිටියා.ට්‍රම්ප්ට එරෙහිව පැමිණි සියළුම චෝදනා වලින් උසාවිය ට්‍රම්ප්ව නිදොස් කොට නිදහස් කළා. නමුත් එම චෝදනාවලට අමෙරිකානු මාධ්‍යය දුන් ප්‍රචාරය ඔහු උසාවියෙන් නිදොස් කිරීමෙන් පසු ලබාදුන්නේ නැහැ.
ඔබ පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් යනු අමෙරිකානු ජාතිකවාදියෙක් ඔහු කඩා වැටුනු අමෙරිකානු ආර්ථිකය ගොඩ නගන්නට පැමිණි අයෙක් වැනි අදහසකුයි. නමුත් ඔහු අමෙරිකාවේ ප්‍රකෝටිපතියෙක්. සාමාන්‍යයෙන් එවැනි ධනපතියෙකුට සහජයෙන් උරුම වන ධනයට ඇති තන්හාව මිස වෙනත් උසස් අරමුණක් ඇතැයි යන්න බැලූ බැල්මට අපට නම් පෙනෙන්නේ නැහැ. අමෙරිකාව ජන්ම භූමිය කරගත් තවත් එක් “ධන වැද්දෙකුට” එහා ගිය කුමන ගුනාංගයක්ද ඔහු තුළ තිබෙන්නේ?
ආචාර්ය ජගත් චන්ද්‍රවංශ : මේ ප්‍රශ්නයට අපි ඓතිහාසික කරුණු සොයා බලා පිවිසෙමු. 1990 දශකයේ මුලදී ලෙනින් ගොඩ නැගූ ගොවි කම්කරු රාජ්‍යය වූ සෝවියට් රුසියාව සුණු විසුණුව යනවා. එතැනින් පසු අමෙරිකාවට බලවත් සතුරෙකු අහිමි වනවා. ඒ වන විට අමෙරිකාව මූලිකව ගොඩ නැගූ සමාගම් දැවැන්ත සමාගම් වේගයෙන් බහු ජාතික සමාගම් බවට පරිවර්තනය වනවා. එතැනින් නොනැවතී එම සමාගම් පාර ජාතික සමාගම් බවටත් පරිවර්තනය වනවා. අමෙරිකාවේ පාලන බලය හිමි කරගන්නා පක්ෂය මෙන්ම එම පක්ෂයේ ජනාධිපතිවරයා බවට පත්වන පුද්ගලයා අමෙරිකාව තුළ පමණක් නොවෙයි සමස්ත ලෝකය පුරාම අසීමිත බලයක් අත්පත් කර ගන්නවා.ලෝකය තනි ගම්මානයක් යන්න ගෝලීයකරණය යන තේමාව කරලියට එනවා. මේවා සියල්ල අමෙරිකානු භූමියේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරන පාර ජාතික සමාගම් වල ලාභ රේට්ටුව තව තවත් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් වන සමාජ ආර්ථික ප්‍රපංච මිස වෙන කිසිවක් නොවෙයි. ඒවායේ ප්‍රතිඵල සහ එම පාර ජාතික සමාගම් වල උවමනාවට ලොව පුරා ප්‍රාදේශීය යුද්ධ හට ගන්නවා. රටවල් කැබලි වෙනවා. ඩොලර් ට්‍රිලියන ගනන් වටිනා මානව ශිෂ්ඨාචාරයේ පියවරයන් සනිටුහන් කළ ඉරාකය වැනි රටවල තිබූ කෞතුකාගාර අමෙරිකානු චෞරයන්ගේ දඩබිම් බවට පත්වෙනවා. මේවා දකින සමහර මානව විද්‍යාඥයන්, පුරා විද්‍යාඥයන් දැඩි කම්පනයට පත් වෙනවා. අමෙරිකානු පාර ජාතික සමාගම් වල් ක්‍රියාකාරිත්වය ලෝකය පුරා එසේ ක්‍රියා කරන විට අමෙරිකා භූමිය තුළත් පාර ජාතික සමාගම් වල ක්‍රියාකාරිත්වය අමෙරිකානු ජනයාගේ ජීවිත උඩ යටිකුරු කරන ක්‍රියා මාර්ග ගනු ලබනවා. මේවා සියල්ල අමෙරිකානු දේශීය ධනපතියෙකු වූ පුද්ගලයෙකුගේ පුතෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු යුද ඇකඩමියකින් සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කරගන්නවා.එතැනින් නොනවතින ඔහු Wharton School of the University of Pennsylvania සහ Fordham University ආයාතන වලින් උපාධි දිනා ගන්නවා. ඉන්පසු ඔහුද පියාගේ අඩි පාරේ යමින් ඉදිකිරීම් ක්ෂේත්රයේ දැවැන්තයෙකු ලෙස සමාගමක අයිතිකරුවෙකු බවට පත් වෙනවා. ඔහු ප්‍රකෝටිපතියෙකු වෙනවා.එහෙත් ඔහුගේ සමාගම පාර ජාතික සමාගමක් බවට පත් කරන්නේ නැහැ. ඔහු අමෙරිකානු ආර්ථිකය වැටී ඇති ස්ථානය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්නවා. අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඔහු අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඔහු ලෝක සාමය වෙනුවෙන් කළ යුතුම වන රටවල් ආක්‍රමණය කිරීම ඔහුගේ කාලය තුළ කරන්නේම නැහැ. ඊ ළඟට ඔහු අමෙරිකාවේ ජනාධිපති වන විට් මුළු මහත් අරාබියටම තර්ජනයක්ව පැවති ලිබියාව ඉරාකය සිරියාව ආදී රටවල් වල කොටස් අල්ලා ගෙන ගොඩ නගා තිබූ අන්තවාදී ම්ලේච්ඡ “අයි එස් අයි එස්” රාජ්‍යයට අමෙරිකාවෙන් ලබාදෙන සහයොඊගය සීමා කලා.අයි එස් අයි එස් ත්‍රස්ත රාජ්‍යයට ඉරාකය දෙසින් එල්ල වූ අමෙරිකානු ප්‍රහාරත්, රුසියාව එල්ල කළ ප්‍රහාරත් “අයි එස් අයි එස්” වරු පරාජය වීමට බලපෑවා.ඔහු අප වැනි රටවල් කෙරෙහි සාමාන්‍ය අමෙරිකානු ජනාධිපතිවරයෙකු දක්වන අත්පත් කර ගැනීමේ පිළිවෙතින් සහ අභ්‍යන්තර අවුල් වියවුල් ඇති කිරීමේ පිළිවෙතින් තරමක් දුරස් වූවා.
ඔහු අමෙරිකාවේ ආර්ථිකය යථාවත් කිරීමට උත්සුක වූවා. චීනයෙන් ආනයනය කරන භාන්ඩ වලට වැඩි බදු පැන වූවා. චීන සමාගම් වල අමෙරිකාවේ විකිනීමට අවශ්‍යය නම් එම සමාගම් වල කර්මාන්තශාලා අමෙරිකාවේ ආරම්භ කරන ලෙස නියෝග පැනවූවා. ඒවා ක්‍රියාත්මක වුනා.ඉහළ විරැකියා අනුපාතයක් අත් විඳි අමෙරිකාව ට්‍රම්ප් ගේ කාලය තුළ විරැකියා අනුපාතය 3.7ක් වැනි පහළ අගයකට ගෙන ඒමට ඔහු සමත් වූවා.ට්‍රම්ප් චීනය සමඟ ආර්ථික යුද්ධයකට පැටලෙන්නට හදනවා යැයි ලෝකය සිතුවත් ඔහු අමෙරිකාවේ අතිජාත මිතුරා වන කැනඩාවෙන් ආනයනය කරන භාන්ඩ වලටත් නියම කර තිබූ බදු ඉහළ දැමුවා. රුසියාවට, දකුණු කොරියාවට, යුරෝපයට ආදී තවත් බොහෝ රට වලට ආනයන බදු ඉහළ දැමුණා.එමගින් ඔහු අමෙරිකානුවාගේ ආර්ථික අභිලාශය ඉශ්ඨ කරන්නට සාර්ථක උත්සාහයක් ගත්තා. සමාජ සුභ සාධන දීමනා (ඩෝල් ) වලින් යැපෙන විදේශ රටවලින් සංක්‍රමනය වූවන් යම් විදියක අපහසුතාවයන්ට පත් වුනත් සුදු අමෙරිකානු ජාතිකයාගේ කෝනයෙන් බලන විට ට්‍රම්ප් ඔවුන්ගේ වීරයෙක්.පරිධියේ රටක පුරවැසියෙක් වන මට, ඔහු මගේ රටට වෙනත් අමෙරිකානු ජනාධිපතිවරයෙකුට වඩා, මගේ රටට අවශ්‍යය විදියට තීන්දු තීරණ ගැනීමට ඉඩ දුන් අමෙරිකානු ජනාධිපතිවරයෙක්.අනෙක් කාරනය ඔහු දේශපාලන ආර්ථික විද්‍යා ශබ්ධකෝෂයට “ට්‍රම්ප්වාදය” යන වචනය එකතු කරන්නට තරම් දැක්ම සහිත නායකයෙකු බවට දේශපාලන ආර්ථිකවිද්‍යා විශේෂඥයන් පිළිගත් නායකයෙක්.
ඔබ ඔතරම් ට්‍රම්ප්ගේ ගුණ වයන්නේ හරියට ජෝ බයිඩන්ගේ ඩිමොක්රටික් පක්ෂයට අමෙරිකානු සමාජ ආර්ථික තත්වය ඉහළ නැංවීමට තරම් නායකයෙකු සොයා ගැනීමට බැහැ වගේ හැඟීමකින්. අමෙරිකාවට ට්‍රම්ප් හඳුන්වා දුන් ඔබ ඔය කියන “ට්‍රම්ප් වාදය” පෝෂණය කරමින් අමෙරිකාව දියුණු කිරීමට ජෝ බයිඩන්ට හැකියාවක් නැතිද?
ආචාර්ය ජගත් චන්ද්‍රවංශ : ඩිමොක්රටික් පක්ෂයට මෙවර ජනාධිතිවරණ අපේක්ෂකයෙකු තෝරා ගැනීමේදී මුලින්ම යෝජනා වූයේ සෙනට් සභිකයෙකු වූ බර්නි සැන්ඩර්ස් මහතායි. නමුත් ඔහුගේ නම ස්ථිර වීම ඉතාම කුමන්ත්රනකාරී ලෙස යට යනවා. ඊළඟට ඔවුන්ගේ තේරීම වූයේ හිලරි ක්ලින්ටන් මැතිණියයි. නමුත් ඇය සමාජය තුළ ඇති කරගෙන තිබෙන ප්‍රතිරූපය, ගියවර ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජය වීම, අසනීප තත්වය වැනි හේතු කාරනා මත ඇයවත් මඟ හරිනවා. පාර ජාතික සමාගම් වල උවමනාවට මෙහෙයවා ගත හැකි සුදුසුම පුද්ගලයා ලෙස එම සමාගම් වල නියෝජිතයන් හඳුනාගන්නේ ජෝ බයිඩන්වයි. ඔහු වයස නිසාම දුර්වල වූවෙක් ඔහුගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය ඇතුළේ ඔහුට මතකය පිළිබඳව ගැටලු තිබෙන බව ඡන්දදායකයාට පෙන්වා සිටියා.වරක් ඔහු ඉල්ලා සිටියා මෙම මැතිවරණයෙන් ඔහුව සෙනට් සභිකයෙක් කරවන ලෙස.තවත් වතාවක් ඔහුට ඔහුගේ දියණියන්ගේ නම් පවා පැටලෙනවා.තවත් වතාවක ඔබාමාගේ සෞඛ්‍යය ප්‍රතිපත්තිය වුණු “ඔබාමා කෙයාර්” යන්න පවා මතකයට නගා ගන්නට නොහැකි වෙනවා. ඒ අනුව මතකය සම්බන්ධ ගැටළු ඇත්තෙකු තෝරා ගනු ලබන්නේ ඔහුව මෙහෙයවා ගැනීමට ඇති පහසුව නිසයි. ජෝන් බයිඩන්ව තෝරා ගැනීම පිටුපස සිටින කණ්ඩායම සම්බන්ධයෙන් අපටද යම් අවබෝධයක් තිබුණත් එම කණ්ඩායම සම්බන්ධව මූලික හෙළිදරව්ව කරණු ලැබුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනුයි.ට්‍රම්ප් ඔවුන්ව හඳුන්වා සිටියේ “Deep State” හෙවත් “හැඟවුණු රාජ්‍යය” යන අන්වර්ථ නාමයෙනුයි.ඒ අනුව ඉතා පැහැදිළියි ට්‍රම්ප් හඳුන්වා දුන් “හැඟුවනු රාජ්‍යය” මෙහෙය වන්නන් කිසිම විදියකින් ජෝ බයිඩන් වැන්නේකුට “ට්‍රම්ප්වාදය” පෝෂණය කරන්නට ඉඩ නොදෙන බව. අමෙරිකාව ලෝකයට විකිනූ ගුණාත්මක බවින් ඉහළ තාක්ෂණයෙන් යුතු භාන්ඩ නැවත් නිපදවීම ආරම්භ කිරීමේ ට්‍රම්ප්ගේ ප්රයත්නය පාර ජාතික සමාගම් විසින් ලෝකයට හඳුන්වා දුන් ගෝලීයකරණය යන ප්රපංචය අභිබවා යාමක්. එය පාරජාතික සමාගම් වලට මරු පහරක්.ඉතින් “ට්‍රම්ප් වාදය” වැනි රැඩිකල් ප්රපංචයක් ජෝ බයිඩන් වැන්නෙකුට පෝෂණය කරමින් අමෙරිකාව දියුණු කිරීමට හැකියාවක් කිසිවිටකත් ඇත්තේම නැහැ. අද වන විට අමෙරිකානු ප්රජාතන්ත්රවාදයේ ඇති අප්‍රසන්න බව, එහි ඇති ව්‍යාජත්වය ලෝකයට හොඳින්ම ප්‍රදර්ශනය කර අවසන්.එපමණක් නොවෙයි අමෙරිකානු ඡන්ද ක්‍රමය තුළ ඇති අවිධිමත් බවත් එම ඡන්ද ක්‍රමය වංචනිකව භාවිත කළ හැකි “උපකරණයක්” බවත් ලෝකයට පෙන්වා අවසන්. ට්‍රම්ප් මේ වංචාවට හිස නමන බවක් පෙනෙන්නට නැහැ. ඔහු දැනටමත් ඡන්ද ප්‍රථිපල නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කර අවසන්. එහි තීරණය ඒමට අඩුම තරමින් මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා කල් යාවි. එතෙක් අමෙරිකාවේ ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතායි.
අවසාන වශයෙන් අමෙරිකානු ජනාධිපතිවරණය අපේ රටේ දේශපාලන දේහයට බලපාන්නේ කෙලෙසද? ලංකා ලීඩ් පාඨකයාට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
ආචාර්ය ජගත් චන්ද්‍රවංශ : ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජාතිකවාදය හෙවත් ට්‍රම්ප්වාදය තුළ කරන්නට උත්සහා කළේ අමෙරිකාව තුළ වන ආර්ථික සක්යයතාවයන් දියුණු කර අමෙරිකාව නැවත ඔසවා තැබීමටයි. ඔහු පරිධියේ රටවල් තුළ දේශපාලන අවුල් නිර්මාණය කර එම රටවල්වල සම්පත් කොල්ල කෑමේ ක්‍රමවේදයට ලොකු බරක් තැබුවේ නැහැ. අනිත් පැත්තෙන් යම් විදියකින් ජෝ බයිඩන් වැන්නෙකු අමෙරිකාවේ ජනාධිපති වුවහොත් ඔහුගේ උප ජනාධිපති තනතුර පිරවෙන්නේ ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවකගෙන්. ඇය ඉන්දියානු උවමනාවන් වෙනුවෙන් නැඹුරුවීමේ ප්රවනතාවයක් ස්වභාවිකවම පැන නගිනවා. එය අපේ රටට ඉතාම අහිතකරයි. මිලින්ද මොරගොඩ වැනි අමෙරිකානු සුරතලෙකු ඉන්දියාවේ තානාපතිවීම, අමෙරිකාවේ උප ජනාධිපතිනිය ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවක් වීම, පාර ජාතික සමාගම් වල උවමනාවට කටයුතු කරන පුද්ගලයෙකු අමෙරිකාවේ ජනාධිපති වීම, ආසියාව නව සියවසයේ ආර්ථික පිම්ම පනින මහාද්වීපය ලෙස හඳුනාගෙන සිටීම, ආසියාවේ දොරටුව වන අපේ රටට සුභ දායක වන්නේ නැහැ. අනිත් කාරණය ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වැනි ආයතන වලින් ඉවත් වන්නේ එම ආයාතනය පාර ජාතික සමාගම්වල බළල් අතක් බව ප්‍රකාශ කරමිනුයි. අමෙරිකාවේ එම ඉවත් වීම අපේ රටට විශාල සහනයක් වූවා. ඊළඟට ඔහු දුටුවා පාර ජාතික ඖෂධ සමාගම් ලෝක සෞඛ්‍යය සංවිධානය තුළ කොතරම් බල පරාක්‍රමයක් තම මුදල් බලයෙන් එම සංවිධානයේ නිළධාරින් හරහා ලෝකයට පතුරුවා හරිනවාද කියා. එම සමාගම් නිපදවන බොහෝ ඖෂධ වර්ග මාසයක් දෙකක් ඇතුළත ලෝක සෞඛ්‍යය සංවිධානය අනුමත කරද්දී රුසියාව, චීනය, කියුබාව වැනි රටවල් නිපදවන ඖෂධ අනුමත වීමට අවුරුදු ගනන් ගත වෙනවා. ඒ අනුව ඔහු ලෝක සෞඛ්‍යය සංවිධානයට වෙන්කරන අමෙරිකානු ප්‍රතිපාදන පවා කපා හැරියා. ලෝක සෞඛ්‍යය සංවිධානයේ බල පරාක්‍රම සහිත නිළධාරින්ගේ රැස් වලලු ගැලවී යාමට පවා එය හේතු වූවා.
සංවාද සටහන : ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...