පුරවැසි කොලම

වසර හැට පහක පමණ කාලයක් අඛණ්ඩව නිර්මාණකරනයේ යෙදී සිටින ගුණදාස අමරසේකර ශූරීන්ගේ සාහිත්‍ය කෘති අතර අග්‍ර ඵලය ලෙස සැලකිය හැක්කේ ගමනක මුල කෘතියෙන් ආරම්භ වන කාණ්ඩ නමයකින් යුක්ත වූ දීර්ඝ නවකතාවයි. සිංහල මැද පංතියේ ගමන් මඟ පිළිබිඹු කරනු පිණිස නිර්මාණය කරන ලද මෙහි මුල් සග වූ ගමනක මුල එළි දැක්වෙන්නේ 1984 වර්ෂයේ දී ය.

1934 දී පමණ ගමනක මුල ඇරඹෙන්නේ මෙම නවකාතාවෙී ප්‍රධාන චරිතය වූ පියදාස සිය දෙමාපියන් සමග පාසැල් නිවාඩු කාලය ගත කිරීමට යටලමත්තේ සිට වෙද මහතා ගේ ගම් පළාත වූ හම්මෑලිය දක්වා යන ගමනෙනි. පියදාස ගේ මව යටලමත්ත පාසැලේ මුල් ගුරුවරිය වූ අතර පියා පිරිවෙන් අධ්‍යාපනය ලැබූ සිංහල වෙද මහතකු වීය. ඔවුන් සිය දරු තිදෙනා ද සමඟ අගෝස්තු නිවාඩුව ආරම්භයේ දී ම වෙද මහතාගේ ගම වූ හම්මෑලිය කරා යන්නේ එහි තමන්ටම කියා ගෙයක් සාදා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ය. මෙම පවුල සම්ප්‍රදායික සිංහල ගැමි සමාජය තුළ පරම්පරාවෙන් මෙන් ම දැන උගත්කම් නිසා ද ප්‍රභුත්වයට පත් වූ පවුලකි . මෙසේ ප්‍රභුත්වයට පත් වූ පවුල් වත්පොහොසත්කම් වලින් ද චර්යාවෙන් ද සෙසු ගැමියන් ගෙන් විශාල වශයෙන් වෙනස් නොවූ හ. දැන උගත්කම් නිසා සෙසු ගැමියන් ට මඳක් ඉදිරයෙන් සිටි ඔවුහු තම දරුවන් ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දැක්වූහ. මෙහි දෙවැනි සග වූ ගම්දොරින් එළියට අවසන් වන්නේ 1956 මැතිවරණයෙන් දින කිහිපයකට පසු ඉස්කෝලෙ හාමිනේ ගේ විශ්‍රාම යෑමෙන් පසු සිය ළමා විය ගෙවූනු යටලමත්ත ගුරු නිවාසය හැරදමා හම්මෑලියේ ඉදි කරන ලද නිවසේ පදිංචිය සඳහා පිටත්ව යෑමෙනි. මේ වන විටත් පියදාස ගේ පියා, වෙද මහතා මිය ගොස් වසර ගණනාවක් ගත වී තිබිනි. මොවුන් යටලමත්ත හැර යන අවධිය වන විට ගමි දොරින් එළියට බට දරුවන් තිදෙනා අතරින් වැඩිමලා වූ විජේදාස උපාධිය ලබා ගුරු පත් වීමක් ලබා සිටින අතර පියදාස පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටී. බාල සෝයුරිය වූ අමරා සීනියර් විභාගයෙන් පසු සිය අධ්‍යාපනය හමාර කර සිටියා ය.
ගමනක මුල (1984) සහ ගම්දොරින් එළියට (1985) නවකතා දෙකට පාදක වන 1934 සිට 1956 දක්වා වූ කාලය තුළ දී මෙරට අධ්‍යාපන අවස්ථාවන් ක්‍රම ක්‍රමයෙන්ගැමි දරුවනට ද විවර වී ගෙන එන විට දී මුලින් ම ගම්දොරින් එළියට පය තැබීමට වරම් ලැබූවේ මෙම පන්තියට අයත් දරුවන් ය. නිදහස් අධ්‍යාපනයෙන් ඉහළම ඵල නෙලාගත් ඔවුහු මෙම මහා නවකතාවෙි කියවෙන වකවානුව තුළදී ම (1934 සිට 2009) මෙරට වෘත්තීය, පරිපාලන, අධ්‍යාපන, සාහිත්‍යය මෙන්ම දේශපාලන ක්ෂේත්‍රය තුළ ද බලපෑම් කළ හැකි තත්වයට පත් වී ය. ඔවුන්ගේ කතන්දරයියි ඉණි මඟේ ඉහළට (1992), වංකගිරියක (1992), යළි මඟ වෙත(1993), දුරු රටක දුකට කිරියක (2001), ගමනක මැද (2006), අතරමඟ(2009) ඔස්සේ අවසන් වන්නේ ගමනක අග(2010) නම් වූ එහි අවසන් සගෙනි. මුද්‍රණය කරන ලද පිටු 1718 ක් පුරා දිග හැරෙන මේ නවකතාව සුවිශේෂී වන්නේ එය අප ජීවත් වූ වකවානුවේ ඉතිහාසය හා සමාජ යථාර්ඨය පිළිබඳව වාර්ථාවක් ද වන බැවිනි.

1954 දී පමණ සාහිත්‍ය නිර්මාණකරණයට පිවිසෙන අමරසේකර මහතා ගේ මුල් කාලයේ නිර්මාණ කිහිපයම රටේ පැවති දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික සංවාදයෙන් සම්පූරණයෙන් ම වියුක්ත වූ නිර්මාණයන් වී ය. මේ තත්වයයෙන් තරමක් හෝ මිදී තිබුනේ කරුමක්කාරයෝ නවකතාව පමණි. මෙම නිර්මාණ පෙළ නිසරු ප්‍රලාපයන් ලෙස පසු කලක දී අමරසේකර මහතාගේ ම දැඩි දෝෂ දර්ශනයට ලක් විය.මෙහිදී අප විමතියට පත් කරනු ලබන කරුණ නම් අමරසේකර මහතාගේ මුල් නිර්මාණ අයත් වන මේ කාල වකවානුව (1955 – 1965) මේ රටේ විශාල දේශපාලන ප්‍රබෝධයක් නිර්මාණය වී එය කෙමෙන් වියැකී ගිය යුගයක් වූවත්ත් අමරසේකර මහතා ඒ දේශපාලන ප්‍රවාහය සමඟ සක්‍රීය ලෙස සම්බන්ධ වී සිටීමත් ය. අමරසේකර මහතා ම සඳහන් කරන අයුරෙන් බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ වෙලාවේ ඔහුව දැක බලා ගැනීමට රොස්මිඩ් පෙදෙසට ගියා පමණක් නොව එම තීරණය පිළිබඳව සතුට ප්‍රකාශ කර බණ්ඩාරනායක මහතාට ලියමනක් ද යැවී ය. ගුණදාස අමරසෙකර මහතා 1956 මැතිවරණයේ දී මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහනය වෙනුවෙන් ක්‍රියාකාරී ලෙස දායක වූ අතර මුල් මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වීමත් සමඟ සිය විශ්ව විද්‍යල සගයන් සමඟ මහනුවර නගරයේ වීදි වලට බැස රැය පහන් වනතුරු විනෝද විය. පනස් හයේ දේශපාලන පෙරළිය ගැන එතරම් තද උනන්දුවක් දැක් වූ අමරසේකර මහතා අතින් ඒ කාලයේදී ලියවුනු ජීවන සුවඳ කෙටිකතා සංග්‍රහය තුළ හෝ ඉන් පසුව බිහි වූ යළි උපන්නෙමි හෝ දෙප නොලද්දෝ වැනි නිර්මාණයන් තුළ හෝ එවන් වූ දේශපාලන සංවාදයක ලකුණකු ද දක්නට නොලැබිනි. මෙවන් තත්වයක් ඇති වීමට ඔහු ඒ කාලය වන විටත් පිරිහෙමින් පැවති හුදු පුද්ගලවාදී ස්වරූපයක් ගත් බටහිර සාහිත්‍යයෙන් ලද අභාෂය මෙන් ම පේරාදෙනිය සාහිත්‍යයේ පුරෝගාමී නිර්මාණකරුවන් සමඟ ඔහුගේ පැවැති සමීප ඇසුර ද බල පාන්නට ඇත.

ග්‍රෙහැම් හෆ් නැමැති ඉංගිරිසි ජාතික විචාරකයාගේ ඇන් එසේ ඔන් ක්‍රිටිසිසම් (1966) නැමැති කෘතිය අමරසේකර මහතා අතට පත්වන්නේ ඔහු පශ්චාත් උපාධි කටයුතු සඳහා එංගලන්තයේ ගත කළ 1968 පමණ කාලයේ දී ය. ඒ කෘතිය කියවා මහත් උද්දාමයට පත්වන අමරසේකර මහතා එයින් පිටපතක් මාර්ටින් වික්‍රමසිංහ මහතාට තැපැල් කර එවන්නේ ඒ කාලය වනවිට පෙරාදෙනිය නවකතා අරභයා වික්‍රමසිංහ මහතා විසින් කරගෙන ගිය විචාර වලට එම පොත මඟින් සෑහෙන අනුබලයක් ලැබිය හැකි බව ද සඳහන් කරමිනි. ග්‍රෙහම් හෆ්ට අනුව සෑම සාහිත්‍ය නිර්මාණයක් ම විශේෂයෙන් සෑම නවකතාවක් ම ඓතිහාසික නවකතාවක් මෙන් ම සමාජ යථාර්ථයේ වාර්ථාවකි. නවකතාව මඟින් කරන්නේ යම් නිශ්චිත සමාජයක් නිශ්චිත කාල වකවානුවක පිහිටා ඉදිරිපත් කිරීමයි. ග්‍රහෙම් හෆ් ගේ විචාර අමරසේකර ගේ පසු කාලීන් නිර්මාණ කෙරෙහි කොතරම් බල පා ඇති ද යන්න 70 දශකයෙන් පසුව ඔහු කළ නිර්මාණයන් හැදෑරීමෙන් දත හැකිය. ඒ සෑම නිර්මාණයක් ම යම් නිශ්චිත සමාජයක් නිශ්චිත කාල වකවානුවක පිහිටුවා ඉදිරිපත් කිරීමට ගන්නා ලද උත්සාහයක්ය.

ගමනක මුල නවකතා පෙළට පාදක වන්නේ 1934 සිට 2009 දක්වා වූ වසර 65ක කාල පරාසය තුළ මෙරට මැද පන්තියේ ඓතිහාසික ගමන් මඟ හා එහි ව්‍යාප්තිය යි.

ගමනක මුල නවකතා පෙළ සමාජ යථාර්ථයේ වාර්ථාවක් ලෙස වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට ගමනක මුලට පැමිණෙන්නට පෙර ගත වූ කාලය තුළ එනම් 1970 සිට 1984 දක්වා අමරසේකර මහතාගේ නිර්මාණයන් සලකා බැලීම පිටුවහලක් වෙතැයි සිතමි.
1966 දී පමණ ජනතා පත්‍රයට ‘මෙරට අනාගතය ගැමි තරුණ පරපුර සතුය’ යනුවෙන් ලිපියක් ලියන අමරසේකර මහතා මෙරටට ගැලපෙන සමාජවාදය සාක්ෂාත් කර ගැනීමේ වාසනා ගුණය ඇත්තේ මෙරට උගත් ගැමි තරුණයින් අත බව ප්‍රකාශ කළේ ය. ඉන් වසර කිහිපයකට පසු එනම් 1971 දී මෙරට ගම්බද තරුණයන් විසින් මෙහෙයවන ලද සන්නද්ධ අරගලය අමරසේකර මහතා තුළ ප්‍රබල කම්පනයක් ඇති කළේ ය. එම කම්පනයයි ඔහු විසින් 1974 දී පළ කරන ලද ආවර්ජනා කාව්‍ය සංග්‍රහය තුළ මෙසේ පිළිබිඹු වන්නේ.

ඔවුන් හරිද අපි වැරදිද
අපි හරි නම් උන් වැරදිද
ඇති මඟ පියවිලි උඩින්ද
වගුරන ලේ වැල් තුලින්ද
නැඟෙන කුකුස නිත මා සිත
බිඳලයි බැති සිත මා හද

හැත්තෑව දශකය තුළ අමරසේකර මහතා නිර්මාණය කළ කෙටි කතා සංග්‍රහ දෙක වූ එක්ටැමෙන් පොළොවට හා කතා පහක් ද, කෙටි නවකතා දෙක වූ අසත්‍ය කතාවක් හා ප්‍රේමයේ සත්‍ය කතාවක් තුළ ද ඔහු සිත් තුළ නිබඳව නැඟුනු කුකුස ගැබ් වී තිබුනි. මෙම නිර්මාණ පෙළ තුළ ගම්දොරෙන් පැනගත නොහී එහිම හිර වී පීඩා විඳින එම පීඩාව දරා ගත නොහී අවි ආයුධ අතට ගන්නා තරුණයින් මෙන්ම, තම ගෝලයින් ලවා රාජාභිෂේක කරවා ගෙන පෝනියෙකු පිට නැගී නගර සංචාරය කළ ගුරුවරුන් පිළිබඳව මෙන් ම ගම් දොරෙන් එළියට විත් ඉණිමගේ ඉහළට නැගගත් නමුත් තම හදවතින් ඈත්ව ජීවත් වීමට උත්සහ කරමින් හෘද සාක්ෂිය නිසා පීඩා විඳින උගතුන් ද යන දෙකොටසම දක්නට ලැබේ. කලානිධි පච වෙදා නම් කෙටි කතාවේ එන වෙදා හා ඔහුගේම ඥාති සොහොයුරෙකු වූ දොස්තර ද, වාර්තා සටහන් හි කැරලිකාර ගුරුවරයා හා ඔහුව ප්‍රශ්න කරන තරුණ සිවිල් නිළධාරියා ද අයිය මලෝ හි රැකියා විරහිත උපාධිධරයා හා විදේශගතව සිට පැමිණෙන ආර්ථික විද්‍යාඥයා ද මේ සඳහා උදාහරණ ලෙස ගත හැක.

ගමනක මුල නවකතාව ආරම්භ වන කාලයෙන් පසුව සිදු වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා ඒ ආශ්‍රයෙන් ඇති වූ නව ප්‍රවණතාවයන් නිසා ගම්බද මැද පංතියේ ශීඝ්‍ර ව්‍යාප්තියක් ඇති විය. මෙහි ප්‍රතිඵලය වූයේ පියදාසලාගෙන් පසුව බිහි වූ පරම්පරාවට නිදහස් අධ්‍යාපනයේ වරම් ලැබුන ද ගම්දොරෙන් පැන ගැනීමට හා ඉණිමගේ ඉහළට යෑමට තිබුනු ඉඩ ප්‍රස්ථා ඇහැරී යෑමයි. මේ පරම්පරාවට අයත් අය මුහුණ දුන් ඛෙදවාචකයයි අමරසේකර මතාගේ 70 දශක්යේ නිර්මාණ වල තේමාව වූයේ. ඒ කාලයේ මේ තරඟය ජයගෙන ගම් දොරෙන් රිංගා ඉනිමඟේ ඉහළට යා ගත නොඇකි වූ අයට විනාශ වී යෑම හැර අන් විකල්පයක් තිබුනේ නැත. ඔවුන් මුහුණ දුන් දරා ගත නොහැකි පීඩනයයි අමරසේකර මහතා හැත්තෑව දශකයේ කළ සෑම නිර්මාණයක් තුළම වගේ පිළිබිඹු වූයේ. මේ කෙටිකතා සැලකිල්ලෙන් කියවන බුද්ධිමත් පාඨකයා සිත් තැති ගන්වන සුළු සමාජ යථාර්ථයක් පසක් කර ගනී.
ගම් දොරින් එළියට විත් අධ්‍යාපනය මඟින් ඉහළ ස්ථරයකට නැගගත් පිරිස මුහුණ දුන් ඛේදවාචකය ද අමරසේකර මහතාගේ නිර්මාණ තුල පිළිබිඹු විය. තමා විසින් ඉටු නොකල යුතුකම් වගකීම් පිළිබඳව පසුතැවිල්ලෙන් හා පීඩාවෙන් මිදීමට ඇති ඔවුන් සතුව ඇති එකම මඟ තමා වටා ගොඩනගා ගත් සාටෝපකාරී පෞර්ෂය තුළ තව තවත් සැඟවී ගැනීමට නිරර්තක උත්සාහයක් ගැනීම පමණෙකි. මේ හැසිරීම තුළ ඔවුන් පිටස්තරයන් වුයේ තම දෙමාපියන් නෑ හිත්වතුන්ට පමණක් නොව ඔවුන්ට තමන්ගෙන්ද වෙන් වීමට සිදු වීය. අමරසේකර මහතා මැද පන්තියේ ගමන් මඟ පිළිබඳව කතන්දරය කීමට තෝරා ගන්නේ මැද පන්තියට අයත් මේ පිරිසයි.

මෙරට මැද පන්තියේ විකාශනය කීමට අමරසේකර යොදා ගන්නා ජන සංඝය ඉතාමත්ම නිවැරදි තෝරා ගැනීමක් ලෙස සැළකිය හැක. මෙහිදී අමරසේකර මහතා විසින් කරනු ලැබ ඇත්තේ තමා ද අයත් වන මධ්‍යම පාන්තික ජන සංඝයෙන් කොටසක් ගෙන ඔවුනට සාපේක්ෂව මෙ රට ඉතිහාසයේ එක් වැදගත් කාල වකවානුවක් ප්‍රතිනිර්මාණය කිරීම ය. මෙය මීට පෙර ද බොහෝ ලේඛකයන් විසින් ද ගනු ලැබ ඇති මාර්ගයක් ම ගැනීමකි. අමරසේකර මහතා විසින් තම නවකතාව මඟින් ආමන්ත්‍රණය කරන්නේ ද මධ්‍යම පන්තික බුද්ධිමතුන්ට ය. ග්‍රැහැමි හෆ් මහතා ද සඳහන් කරන අයුරු ලේඛකයා මනුෂ්‍ය සංහතියට ආමන්ත්‍රණය කරනුයේ ඒ සඳහා තෝරාගත් විශේෂ සුදුසු කම් ඇත්තා වූ පිරිසක් ඇමතීම මඟිනි. ඇමරසේකර මහතාගේ මේ තෝරා ගැනීම ඉතාමත්ම නිවැරැදි තෝරා ගැනීමක් වන්නේ මේ පිරිස සමාජ තත්වය, දැන උගත්කම්, හොබවනා නිළතල, සමාජ සම්බන්ධතා ආදිය විසින් මෙම මධ්‍යම පන්තියේ පරිණාමයට බලපෑම් කළ හැකි පිරිසක් බවට අද වන විට පත්ව ඇති බැවිනි. එමෙන්ම් ඔවුන්ට නැවතත් තමන්ට අහිමිව ගොස් අති තමන්ව සො යා ගත යුතුව ඇත. එවන් වූ අවලෝකනයක් සඳහාය අමරසේකර මහතාගේ මේ දීර්ඝ නවකතාව අවශ්‍ය වන්නේ. වෙනස් වචන වලින් කීවොත් මේ මද පංතියට තම සැබෑ පිළිබිඹුඅව දැක ගැනීමටයි.

අමරසේකර මහතා ගමනක මුල නවකතාව මුල් වරට ප්‍රකාශයට පත් කරන්නේ රට තුළ දැඩි සංස්කෘතික අර්බුදයක් ගොඩ නැගෙමින් පැවතුණු වකවානුවකදී ය. විවෘත ආර්ථිකයේ නාමයෙන් බටහිර සංස්කෘතිය ඇද වැළඳ ගැනීම ට අප අප ගේ දොර ජනේල සමිපූර්ණයෙන් ම විවෘත කළේ මෙම අවධියේදී දී ය. සාමූහිකත්වය මත නොව පුද්ගලිකත්වය පදනම කරගත් බටහිර නූතනවාදය මෙරට තුළ පැළපදියම් වන්නේ මෙම වකවානුව තුළ දි ය. ශතක හතරක කාලයක් තිස්සේ වරින් වර බටහිර ආක්‍රමණයන් ට ගොදුරු වූ අපි මෙම අවධිය දක්වාම බුදු සමය ඔස්සේ අපට උරුම වුනු සාමූහකත්වය මත පදනම් වූ සංස්කෘතික වටිනාකම් හා හර පද්ධතිය රැක ගැනීමට සමත් වීමු. බටහිර නුතනත්වය නම් වූ භයානක ව්‍යාධියට ගොදුරුව මෙරට සමිපදායික සමාජ සංස්කෘතික පදනම ඉරිතලා යන අයුරු දකින අමරසේකර ඔහු ගේ හදවතට ඉතාමත් සමීප වූ ඔහු හැදුනු වැඩුනු ගම් පියස දෙස මනස යොමු කිරීමට පෙළඹෙි.

ගුණදාස අමරසේකර මහතා පියදාස ගේ කතාව ඉදිරිපත් කරන්නේ අතීත ස්මරණයන් පිළබඳ ව සුන්දර වූ සිහින ලොවක සිර වී ගෙන නොවෙයි. ජීවිතයට පොදු වූ සුන්දර වූ මෙන්ම අසුන්දර වූ අත්දැකීමි ද එක සේ ඉදිරිපත් කරමිනි. අමරසේකර ඉදිරිපත් කරන ගම ද අපේ සිත් සතන් තුළ ඇති කොළඹ යුගයේ කවීන් නිර්මාණය කලා වූ ගොඩ මඩ දෙකම සරුසාර වූ සුන්දර වූ මනෝ රාජික ගම නොවෙි. පන්ති භේදය, කුල භේදය මෙන් ම සමාජ අසාධාරණයෙන්, ව්‍යාප්ත වී යන පක්ෂ දේශපාලනයෙන් ද දරිද්‍රතාවයෙන් ද ද බැටකන ගමකි. පියදාස ඇතුළු දරුවන් මෙම අවධිය වන විට ගමෙන් නගරයට සංක්‍රමණය වන්නේ ගම තුළ තවදුරටත් ඔවුනට තම අභිලාෂයන් පාදා ගැනීමෙි ඉඩ ප්‍රස්ථා නොමැති බැවිනි.
ගමනක මුල නවකතාවට විෂය වන කාලය වන විට මෙරට ගැමි ආර්ථිකය බිඳ දැමීම අරමුණු කරගත් කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ මෙරටට හඳූන්වා දී වසර සියයක් ඉක්ම ගොස් තිබිනි. ගමනක මුල අවදියට එනවිට මෙරට ගැමි ආර්ථිකය විනාශ වී ගොස් තිබුන ද එම ආර්ථිකයේ පදනම සැකසූ සිංහල බෞද්ධ චින්තනයේ ඇතැමි අංග ඒ වන විටත් ශේෂ වී තිබුනි. බෞද්ධ දිවි පෙවතේ වටිනා කම්වල හරය ලෙස ගතහැකි සාමූහිකත්වය සහ අල්පේචිඡතාව මෙි අතරින් සුවිශේෂ ය. ගමනක මුල සහ ගම්දොරින් එළියට විචාරශීලී ව කියවන බුද්ධිමත් පාඨකයා එය තුළ සැඟැව ඇති සාමුහිකත්වය හා අල්පේච්ඡතාවය මත පදනම් වන මෙම සමාජ වටිනාකම් හඳූනා ගන්නවා නිසැක ය. විශේෂයෙන් ම මෙහි එන වෙද මහතා ගේ හා බාල මහත්තයාගේ චරිත මෙහි කියවෙන වකවානුවෙි සමාජ, ආර්ථික හා සංස්කෘතික වටපිටාවට සාපේක්ෂව සංස්ලේෂණය කරන්නෙකුට මෙය වටහා ගැනීම අපහසු නොවෙි.

තවමත් අප අපේක්ෂා කරන සැප සතුට ඇත්තේ අසීමිතව ඉන්ද්‍රියයන් පිනවීම මත නොව බෙදා හදා ගැනීම හා අල්පේච්ඡතාව පදනම කරගත් අපගේ කුසලාකුසල විඥානය තුළ බව අපි දන්නෙමු. එහෙත් උපරිම පරිභෝජනය හා අත්පත් කර ගැනීම ජීවිතයේ පදනම කරගත් අපි එහි අග මුල සොය ගත නොහැකිව වංකගිරියක අතරමං වී ඉන්නෙමු. එයින් ගැල වී ගත හැකි මග අප දන්නා නමුදු ඒ වෙනුවෙන් ඉදිරියට පියවරක් හෝ තැබීමට අප තුළ ධෛර්යක් නොමැත. ගමනක මුල නවකතා මාලවේ සිවු වැනි සග වංකගිරියට පාදක වන කාලයේදී පියදාස හුදු ස්වාර්ථය පෙරදැරි කරගත් ඉන්ද්‍රියයන් පිනවමින් නරුම ජීවිතයක් ගත කරයි. ඔහු මේ කාලය විග්‍රහ කරන්නේ තම ජීවිතයේ කේන්ද්‍රය වටා කේන්දරයට ඉතාමත් ඈතින්ම පිහිටි කක්ෂයක භ්‍රමනය වුනු යගයක් ලෙසටය. පියදාස මෙහි කේන්ද්‍රය ලෙස දකින්නේ සිය හදවත යි. ඒ වසර දහස් දහස් ගණනක් තිස්සේ නොනැසී පවතින අප සතු සභ්‍යත්ව විඥානයයි. අමරසේකර මහතා විසින් 1986 දී ජාතික චින්තනය නමින්ග් හැඳින් වූ සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥානයයි. මේ ලිපිය ගමනක මුල දක්වා යනුවෙන් නම් කළේ නැවත ගමනක මුලට යා යුතු කාලය එළැඹ ඇති බැව්නි.මින් අදහස් කරන්නේ අප කරත්තයකින් හම්මෑලියට යෑම නොව අපට අමතකව දමා ආ වෙද මහත්තගේ බාල මහත්තායගේ මවුහත් ගුණයෙන් පිරි අධ්‍යාත්මය සොය යන ගමනකි. ගුණදාස අමරසේකර මෙරට මැද පන්තියේ ගමන මැද පන්තියේ දැන උගත් පාඨක පිරිස වෙනුවෙන් ලියා තැබුවේ මේ ගමන සාක්ෂාත් කර ගැනීමේ ශක්තිය තවමත් ඔවුන් තුළ ඇති බැවිනි. මැද පන්තියට අයත් වන ඔබ ද මා ද මේ ගමන යා යුත්තේ තමන් වෙනුවෙන් නොව සියල්ලන් වෙනුවෙනි. ඔහු ගමනක මුල නවකතාව ලීවේ ඒ වෙනුවෙනි. මේ ගමන බොහෝ දුර යා යුතු නැත. අමරසේකර ශූරීන් සිය අසක්දා කවේ කවියට නංවන අයුරින්ම

‘බලනු තම හද තුළ
පිළිතුර තිබේ ඒ තුළ’

මහාචාර්ය වසන්ත දේවසිරි
ළමා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය
පීඨාධිපති වෛද්‍ය පීඨය රුහුනු විශ්ව විද්‍යාලය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More