පුරවැසි කොලම

අද (12 දා) ට යෙදී තිබෙන ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 91 වැනි ජන්ම දිනය නිමිත්තෙනි

අප දේශයෙහි ජනිත වූ මහා නිර්මාතෘවරයකු වූද වෛද්‍ය විද්‍යාඥයකු වූද ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මා හඳුනාගෙන අවුරුදු 47 කටත් වැඩි කාලයක් ගතවී ඇතැයි මට සිතේ. එතුමා පෞද්ගලිකව හඳුනාගැනීමට පෙරාතුව අප පාසල් භාවිතයට එතුමාගේ පොත පත සේන්දු වූ අයුරු මට මතකය. එ් අතරින් අපූරු කෙටි කතා සංග‍්‍රහයක් වූ ‘රතු රෝස මල’ සහ ‘ජීවන සුවඳ’ අමතක කළ නොහැකිය. එතුමා කෙමෙන් කෙමෙන් ඉවසිල්ලෙන් ලියූ කාව්‍ය සංග‍්‍රහයන් කෙතරම් හද සලිත කරවනසුලූ වූයේද? මා මුලින්ම කියවූයේ ගුණදාස අමරසේකරයන්ගේ භාව ගීත කාව්‍ය සංග‍්‍රහයයි.

ඉන්පසු උයනක හිඳ ලියූ කවි, අමල් බිසෝ, ගුරුළු වත සහ ආවර්ජනා කෙමෙන් ගලා එන්නට විය. එතුමා ගුවන් විදුලි සේවාවෙන් බිහිකළ කථා පෙළක් එකතු කොට විවේකය හා විනෝදය යන හිසින් පළවිය. අප පවුලේ සියලූදෙනාටම ගුණදාස අමරසේකරයන් සහ එතුමාගේ බිරිඳ වන චන්ද්‍රා අමරසේකර මහත්මිය වඩාත් සමීපව දැනහැඳිනගැනීමට හැකිවූයේ ලන්ඩන් නුවර වාසය කරන කාලය තුළදීය.

අමරසේකර මහතා සහ මහත්මිය අපේ පවුලේ සුවදුක් විමසමින් අප යහමගට හැරවීමට දැරූ වෑයම මෙතෙකැයි කිව නොහැකිය. මා තුළ ඔහු කෙරෙහි මහත් ලැදිකමක් හටගත්තේ නොදැනීම තුලනාත්මක සාහිත්‍ය ධාරාවක් කෙරෙහි ඇතිකරගත් සෙනෙහස මගිනි. මා බීබීසී සංදේශයට අමරසේකරයන් සහාය කරගත්තේ එ් නව චින්තනය එමගින් බිහිකරනු දැකගැනීමටයි. මාර්ටින් වික‍්‍රමසිංහයන් තුළ රැඳී පැවතුනු විකුම්සිහ ලකුණ සොයායෑමේ ප‍්‍රයත්නය අමරසේකරයන් තුළ මුල්වරට ජනිත වූයේ එංගලන්තයේ ගත කළ කාලය ඇතුළතදී යැයි මම විශ්වාස කරමි.

එමතුද නොව සිංහල කාව්‍යකරණය නව මාර්ගයකට හැරවීම අවශ්‍ය බව ඔහු නිතරම කියාපෑ දෙයක් විය. එ් සඳහා එතුමා තම ගුරුළු වත නම් වූ කෘතියෙන් නතර කළ තැන්හි සිට ඉදිරියට යෑමට අවශ්‍ය වූ මූලික පරිකල්පනය මෙය වන්නට පටන්ගත් බව මට මතකය.

ගුණදාස අමරසේකරයන් තුළ දැඩි ලෙස පිබිදුනු නිර්මාතෘවරයකු දැකගත හැකි වූයේ ඔහු එකදිගටම ලියූ කෙටි නවකතා පෙළ ඔස්සේය. එ් නවකතා මගින් හෙතෙම සමාජ විපර්යාසය සහ ඊට අදාළ චින්තනය දෘෂ්ටිවාදී ලෙස සැකසූ ආකාරය අපට දැකගත හැකි විය.

ගුණදාස අමරසේකර නම් වූ නිර්මාතෘවරයා සාන්තුවරයකුගේ කාර්යයක් මෙහෙයවන්නා සේ එ් නවකතා පෙළ සැලසුම් කර ඇත්තේය. අමරසේකරයෝ මුළුමනින්ම නිර්මාණාත්මක සන්නිවේදනයටම කැප වූ පුද්ගලයෙක් වන්නාහ. ඔහු ගමේ සිට පැමිණ නාගරික ජීවිතයක් ගත කළ නමුදු ඇවතුමෙන් පැවතුමෙන් සාන්තුවරයකුගේ දිවිපෙවෙත හදබසින් කියාපෑමට වෑයම් කළ කෙනෙකු බව මට පෙනිණ. කිසිවකු රුසියානු සාහිත්‍යය දෙස නොබැලූ අයුරකින් අමරසේකරයෝ එමගින් ආභාසය ලබාගත්හ. ඇන්තන් චෙකෝෆ්ගේ හැම කෘතියක්ම ඉතා සමීප ලෙස ඇසුරු කර ඇති අමරසේකරයන්ගේ කෘතීන්වලින් විනිවිද පෙනෙන්නේ එ් දැක්ම යැයි මම විශ්වාස කරමි.

ගුණදාස අමරසේකර නවකතා ලියුවේ කිසියම් අරමුණක් ඇතිව යැයි මම විශ්වාස කරමි. එ් අරමුණ වඩාත් කැපී පෙනුණේ ඔහු විසින් ලියන ලද ‘යළි උපන්නෙමි‘ කෘතිය පසුකල ප‍්‍රතික්ෂේප කිරීමෙනි. එහෙත් ඔහු තමන් ලියූ කරුමක්කාරයෝ කෘතිය පිළිබඳව එබන්දක් කළේ නැත. ඔහුගේ අපූරුතම කෙටිකතා සංග‍්‍රහයක් වන ‘එකම කතාව’ මහත් හරසරට ලක්විය. එලෙසින්ම ගල් පිළිම සහ බොල් පිළිම ද එබඳුම සමාජ විඥනය මැනවින් හඳුනාගත් බව පෙන්නුම් කරන්නකි. ආත්මාවේක්ෂණය හෙවත් තමන්ටම නැඹුරු වූ සිතකින් යුතුව සමාජය දෙස බැලීමට හුරුවක් අත්කරගත් ගුණදාස අමරසේකර නම් වූ වෛද්‍යවරයා තම සායනය ලෙස යොදාගත්තේ සමාජ දේහයයි. දේශපාලන රෝගයෙන් ඔත්පල වූ අපේ රටේ සමාජ දේහයට ඔහු සිය පෑනෙන් සැත්කම් කළ වෛද්‍යවරයෙකි. එබැවින් ඔහු සිය නිර්මාණ කාර්යය ද වෛද්‍යවරයකුගේ කාර්යය හා සමානව ඉටු කිරීමට වෑයම් කළ බවක් අපට පෙන්නුම් කෙරිණ. මේ හේතුවෙන් ගුණදස අමරසේකර සාහිත්‍යධරයා සහ වෛද්‍යවරයා යනු දෙදෙනකු නොව එක් අයකු ලෙස අපට විවරණය කළ හැකිය.

ගුණදාස අමරසේකර නිර්මාතෘවරයා ද්විභාෂික උගතෙකි. සිංහලෙන් මෙන්ම ඉංග‍්‍රීසියෙන්ද එකහා සමානව ලිවීමට හපන්කම් දක්වන්නෙකි. ඔහුගේ ජීවිතය හැම අතින්ම සරල වූවකි. එ් බව ලන්ඩනයේ ගත කළ කාලයේ දී මෙන්ම ලංකාවට පැමිණි පසුවද මට පසක් විය. අනූඑක් වසරක් ආයු වළඳා ඇති ගුණදාස අමරසේකරයන්ට තව තවත් නිර්මාණයන් බිහිකිරීමට දීර්ඝායුෂ ප‍්‍රාර්ථනා කරමි.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More