පුරවැසි කොලම

ලාංකීය සමාජ දේශපාලන සන්දර්භය තුළ නිසැකවම රෝහණ විජේවීරයන් හැදෑරිය යුත්තේය. ඔහු ඒ තරමට මේ බිම ජාතිකව හා ජාත්‍යන්තරව විචිත‍්‍රවත් කළ අභිමානවත් දේශපාලන පෞරුෂයකි. ඒ ඒ දේශපාලන බල කණ්ඩායම්වලට හෝ පුද්ගලයන්ට ඔහු පිළිබඳව නේක විට චරිත සහතිකයන් හා වැටහීම් තිබෙන්නට පුළුවන. නමුදු ඔහු මේ රට පිළිබඳවත් අපටම ආවේණික ආර්ථිකමය, සමාජමය, සංස්කෘතිකමය විග‍්‍රහයන් නිශ්චිත දිග පළලකින් රට හමුවේ තැබුවේය. එය මෙරට දේශපාලන වාම හා දක්ෂිණ න්‍යායාචාරීන්ට අනුව අගතිගාමී හෝ අන්තගාමී විය හැකි වුවද ඔහුගේ වැටහීමට අනුව ඔහු කළ කී දෑ අපේ කාලයේ ඇස් පනාපිටම සජීවී ලෙස රටට සිදුවන්නට විය. ඔහු කල්තියා මාතෘ භූමියට එන අනතුරු වටහා ගත්තා පමණක් නොව මේ වෙනුවෙන් ඒවා පරාජය කරලීම උදෙසා සක‍්‍රීයව මැදිහත් වීමක් සිදු කිරීමට මව්බිමට අසීමාන්තිකව ආදරය කරමින් දිවි පුදා හෝ එය රැුකීමට අවශ්‍ය සමාජ දේශපාලන ව්‍යාපාරයක් ද ගොඩනැගුවේය. කොන්දේසි විරහිතව රටට හතුරු ජාතික හා ජාත්‍යන්තර බලවේගවලට එරෙහිව සටන් කළ හැකි මාතෘභූමියේ ආරක්ෂක පවුර ඔහු ගොඩනැගූ ජනතා විමුක්ති පෙරමුණ විය.

ජනතා විමුක්ති පෙරමුණ මහා වෘක්ෂයක් ලෙස දලූ රිකිලි ලා වැඩුණ ද ඒ ගස දරා සිටිය මුදුන් මුල රෝහණ විජේවීරයන් හා පළමු කොට මාතෘ භූමියත් සමස්ත ලෝකවාසී ගහ කොළ සතා සිවුපාවුන්ට මාක්ස්වාදය, ලෙනින්වාදය කේන්ද්‍ර කර ගත් ඔහු සතු විසල් දැනුමේ ප‍්‍රායෝගික දැක්මයි. අනේකවිධ රැුවුම් ගෙරවුම් ජාතික හා ජාත්‍යන්තර දේශන ළඟ අඩන්තේට්ටම් හා තමාටත් තම දේශපාලන ව්‍යාපාරයටත් එරෙහි අටපට්ටම් බොරු බේගල් අභිමුවේ තම පුද්ගලික නොවූ මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කරන සමාජ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගුවේය. එවක වාමාංශික ව්‍යාපාරවල ලාභ පාවාදීම් හා ලෝකයේ සෝවියට් දේශය ඇතුළු මාක්ස් ලෙනින්වාදී ආණ්ඩු සින්නක්කරව ලියා ගත් දේශපාලන න්‍යායාචාරී කුටුම්භ නිසා මෙරට ඇති වූ දේශපාලන රික්තකය පිරවීමට සුදුසු සමාජ, දේශපාලන, සංස්කෘතික ගාමක බලවේගයක් ගොඩනැගීම ඔහුගේ ඒකායන අරමුණ වූ අතරම එය ජයග‍්‍රහණය දක්වා කැටුව යෑම වෙනුවෙන් න්‍යායාත්මක ප‍්‍රවේශය මෙන්ම ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් ද දියත් කෙරිණි. දේශපාලන අවස්ථාවාදයෙන් බැහැරව ලොව වාමාංශික ආණ්ඩුවල පිළිගැනීම්වලට එරෙහිව ද මාක්ස් ලෙනින්වාදී න්‍යායන් මඟහරිමින් ජාත්‍යන්තර දේශපාලන වගකීම් අතහැරීම්, මඟහැරීම් වෙනුවෙන් සෝවියට් දේශය ඇතුළු සමාජවාදී කඳවුරට නිර්දය වූත්, සාධාරණ වූත්, ප‍්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක විවේචනයන් නොබියව එල්ල කළේය. ඔහු එවක සමාජවාදී කඳවුරේ පිලී පැනීම් නිශ්චිත දිග පළලකින් වටහාගත් තීක්ෂණ මෙන්ම තුන්කල් නුවණකින් ජාතික වූත් ජාත්‍යන්තර වූත් විසල් මතය රෝහණ විජේවීරයන් බව ඉතිහාසය ඔප්පු කොට හමාරය. අද ඔහුව සමරනවාට වඩා එහා ගිය දේශපාලන හැදෑරීමක් ඔහු පිළිබඳව කියවීමක් අපට අත්‍යවශ්‍ය දේශපාලන පරිච්ෙඡ්දයක් වනු ඇත.

මා ඕ සේ තුං ට වරක් තම සමාජ දේශපාලන ව්‍යාපාරයට එරෙහිව කටයුතු කළ ප‍්‍රතිගාමී පාර්ශ්වයන්ගේ නිහඬ බවට විරාම තබා තමාටත්, තම ව්‍යාපාරයටත් පහර දෙන ලෙස නොකිවා කීවේය.

”සතුරා විසින් පහර දෙනු ලැබීම නරක දෙයක් ලෙස නෙවෙයි හොඳ දෙයක් ලෙස” ඔහු සැලකූ අතර ඒ විජේවීරයන් ද අනුමත කළ දෙයක් විය. එනිසාම ඔහු 1972 අපරාධ යුක්ති විනිශ්ච කොමිසම ඉදිරියේ එම ප‍්‍රකාශ හුවා දක්වමින් කරුණු දැක්වූවේය. ඔහු තදබල ලෙස විශ්වාස කළේම සතුරා නිවැරදිව වටහා ගන්නටත් හතුරුකම්වල පරිමාව කිරා මැන බලා නිවැරදි තක්සේරුවකට එළඹ ඊට එරෙහිව සතුරා පරාජය කරලන්නට අවැසි නායකත්වය දීම වෙනුවෙන්ය. ඔහුට ඒ සඳහා වූ විසල් දැනුමක් හා බැඳුණු තුන්කල් දක්නා නුවණක්ද ඔහු සතු විය. ලෝක සමාජ දේශපාලන දිශානතිය පිළිබඳව නිවැරදි කියවීමක්ද ඔහු සතුව තිබීම මෙම දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දීම මහා සුදුසුකමකි. එනිසාම ඔහු ගොඩනැගූ සමාජ දේශපාලන ව්‍යාපාරය මව්බිමට එන අනතුරු කල් තියා දැන හඳුනා ගැනීමේ දියුණු දේශපාලන සවික්‍ඳ්ඤණකත්වයක් සහිත ජාතික හා ජාත්‍යන්තර සතුරු බලපෑම්වලට එරෙහිව නොබියව අභියෝගය ඉත සිතින් භාරගත් අරගලකාමී ජීව ගුණයෙන් පිරිපුන් විය. එය හුදෙක් ඔහුගේ පුද්ගලික බල න්‍යාය පත‍්‍රයෙන් බැහැරව මාතෘභූමියේ ප්‍රෞඪත්වය උදෙසා ජාතිකවාදීත්වයෙන්, සමාජවාදයෙන් එක්තැන් වූ උස් විශ්වාසයන්, අධිෂ්ඨානයන් හා අපරිමිත කැප කිරීම් මතින් ලෙයින් කඳුළින් දහඩියෙන් ඔප් නංවා ගොඩනැගූ ව්‍යාපාරය විය. ජනතා විමුක්ති පෙරමුණ යනු මේ පොළොවේ තවත් සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂයක් නොවී උඩුගම් බලා ජාතික හා විජාතික සතුරු බලමුළුවලට එරෙහිව සටන්කාමීත්වයෙන්, ජවයෙන් හා අසීමාන්තික කැපකිරීම් කළ හැකි මිනිසුන් නිර්මාණය කළ පුළුල්තම සමාජ දේශපාලන ව්‍යාපාරය බවට ප‍්‍රායෝගිකව ඔප්පු කරමින් පෙන්නුම් කළේය. මෙකී රටට ජයග‍්‍රහණයක් කැටුව ආ හැකි රටටත් අපටත් වූ විපතින් ගැලවීම සඳහා වූ සමාජ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනංවාලීම සඳහාත් එවැනි ජාතික නායකත්වය බිහිකරලීම උදෙසාත් අප ලාංකිය දේශපාලනයේ විජේවීර භූමිකාව අත්‍යාවශ්‍ය කියවීමකි. ඔහු රටට එන අනතුරු කල් තියා හඳුනාගත් උස් මිනිසෙකි. විජේවීරයන් සැමරිය යුත්තේ සෑම වසරකම නොවැම්බර් 13 වන දින පමණක් නොවන බව ජන මනසින් පීලි පැන්න දේශපාලන කණ්ඩායම් ව්‍යාපාර තේරුම්ගත යුතුව ඇත්තා සේම ඔහුගේ දේශපාලන භාවිතාව නිශ්චිත දිග පළලකින් යුක්තව කියවා වටහා ගත යුත්තේය. අපි දියසෙන්ලා ඉපදෙන තුරු බලා සිටින ජාතියක් නොවී මෙවැනි මව්බිමේ උස් නිදහස වෙනුවෙන් දිවි දුන් දේශපාලන පෞරුෂය වත්මන් පරපුරට දායාද කළ යුත්තේය. එම භාවිතාවෙන් ඔප් නැංවුණු සමාජ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය හැක්කේ එවිටය. ලාංකීය සමාජය ඒ මව්බිමේ උස් නිදහස පිණිස වූ නව නිදහස් අරගලයක උදාර අරමුණු හා ඉලක්කයන් ලූහුබැඳ යා යුත්තේය. ඒ වෙනුවෙන් රෝහණ විජේවීරයන් කියවිය යුතුවා සේම ඔහුගේ දේශපාලන භාවිතාව වටහාගෙන හැදෑරිය යුත්තේය.

රෝහණ විජේවීර යනු හුදු කැරලිකාරයෙක් පැසිස්ට්වාදියෙක් හෝ විප්ලවවාදියෙක් බවට අර්ථගැන්වීම වාමාංශික හා දක්ෂිණංශික දේශපාලන දෘෂ්ටිකෝණයේ පටු කුහකත්වයේ ප‍්‍රකාශනයක් බව අප තේරුම්ගත යුත්තේය.

ඔහු ලාංකීය දේශපාලන භූමිකාව තුළ නොමැකෙන සලකුණක් හා කේන්ද්‍රීය සන්ධිස්ථානයක් සනිටුහන් කළ 71 අරගලය හුදු කැරැුල්ලක් නොව එය හුදෙක් හිරු නොබසින අධිරාජ්‍යවාදයට එරෙහිව 20 වන සියවසේ කළ අවසාන සන්නද්ධ අරගලයයි. එහි බලපෑම ලාංකීය දේශපාලනය අලූත් ජයග‍්‍රහණ ගෙනදීමේ මංපෙත් විවර වීමක් විය. ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව නිවැරදි කියවීමක් ඔහු සතු විය. එය හුදු බලහත්කාරයක් ලෙස 1987 ජුලි ඉන්දු ලංකා ගිවිසුම සමග ව්‍යවස්ථාපිතව ක‍්‍රියාත්මක විය. ඔහුට දෙමළ බෙදුම්වාදය පිළිබඳව නිවැරදි න්‍යායාත්මක කියවීමක් විය. එය ඔහු ලියූ ‘‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද’’ යන කෘතියෙන් එය මනාව පැහැදිලි කළේය. ‘‘1924 ලෙනින්ගේ ජාතීන්ගේ තීරණ අයිතිය පිළිබඳව එදා සහ අද තත්ත්වය අනුව නිවැරදි විග‍්‍රහයක් කළේය. ජාතිය පිළිබඳව නිවැරදි කියවීමක් මෙරට සමාජගත කළේද ඔහුය. ශ‍්‍රී ලාංකීය ජාතියක් පිළිබඳව වූ පළල් අර්ථයකින් ‘‘අභිමානවත් මව්බිමක්’’ පිළිබඳව ඔහුට නිසි වැටහීමක් විය. ජාත්‍යන්තර වාමවාදී මෙන්ම දක්ෂිණවාදී මිතුරුකම් ද හතුරුකම් ද පිළිබඳව නිශ්චිත කියවීමක් ඔහු සතු විය. ළඟ එන අනතුරු කල් තියා දැන හඳුනා ගැනීමේ දේශපාලන ඉවක් ඔහු සතු විය. මේ රටේ ඓතිහාසික උරුමයන් හා වටිනාකම් මැනවින් වටහාගන්නා සේ ම මෙරට ස්වාභාවික සම්පත් හා බැඳුණු ජෛව විවිධත්වය ගැන මනා කියවීමක් සිය භාවිතාව තුළ පෙන්නුම් කළ මේ බිමේ මහා මිනිසා ද ඔහු විය. ඔහු හයිඞ්පාක් මංගල රැුලියේදී සිය කතාවෙන් එය පසක් කළේය.

‘‘අද මේ මංගල රැලිය මා අමතන්නේ මරණීය වරෙන්තුව අතේ තබාගෙනයි. සුදු අධිරාජ්‍යවාදීන් අපගේ මාතෘභූමිය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමෙන් පසුව කන්ද උඩරට අඩි 5000ට වඩා උස භූමියේ වනය කපා විනාශ කොට තේ වගා කළා. ඉන්පසුව කළු සුද්දෝ ඉතිරි වනාන්තර ටිකත් කපලා මහා විනාශයක් සිදු කරමින් ඉන්නවා. මේ මහා විනාශය නැවැත්තුවේ නැතිනම් දශක තුනක් හතරක් ඉදිරියට යද්දී නායයෑම්, සෝදා පාළුව, ගංවතුර, කඳු කඩා වැටීම්වලින් ජන සංහාරයක් සිදු වනවාමයි. මේ මාතෘභූමියේ භූගෝලීය තත්ත්වය අනුව ස්වාභාවික පරිසරයේ සමතුලිත බව

රැකීමට නම් අනිවාර්යයෙන් අඩි 5000ට වඩා උස භූමිය වනගත කළ යුතුමය. කළු සුද්දනි, මේ මහා විනාශය දැන්වත් නවත්තපල්ලා! තොපි එසේ නොකළහොත්, එදාට මා ජීවතුන් අතර සිටින්නටත් – නොසිටින්නටත් පුළුවන්. නමුත් නායයාම්වලින්, කඳු කඩා වැටීම්වලින් සිය දහස් ගණනක් ජනයා මියයෑම වළක්වන්නට බැහැ.’’

ඔහු කී පරිදිම ඒ ආකාරයෙන්ම නායයෑම්, කඳු කඩා වැටීම්වලින් ජනයා මිය යන අතර, එය දකින්නට ඔහු ද ජීවතුන් අතර නැත. මෙය ඔහුගේ අපගේ පරිසර විනාශය පිළිබඳව වූ ළඟ එන අනතුර දුර සිට

වටහාගැනීමකි. එදා මෙදා තුර අපගේ මාතෘභූමියට අත්වූ ඛේදවාචකයේ පරිමාව නිසැක ලෙස වටහාගත් දේශපාලන පෞරුෂත්වය ඔහු බව වටහාගත යුත්තේ මේ නිසාය. ජීවත්ව සිටි විජේවීරයන්ට වඩා සාහසික මරණයක් අත් වූ විජේවීරයන්ගේ දේශපාලන කියවීම හා භාවිතාව එදාට වඩා අනාගතයේ මේ රටට ජයග‍්‍රහණ කැටුව ඒම සඳහා වැදගත් බව ලාංකීය ජනතාවට පසක් කළ යුත්තේය. ඒ නිසාම ඔහුගේ දේශපාලන පෞරුෂත්වය නිසි ලෙස කියවා වටහාගත යුත්තේය.

අද මව්බිම අභිමුවේ ඇති සකලවිධ පරාජයන් පරාජය කරලීම උදෙසා දියුණු සමාජ දේශපාලන භාවිතාවන් රටට අවැසිය. ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තර අනතුර වටහා ගැනීම අත්‍යවශ්‍ය පෙරවදනකි.

‘‘අපි වේලාසනින් අවදි වුණෙමු. එහෙත් අප වේලාසනින් අවදි වූ පමණින් වේලාසනින් හිරු පායන්නේ නැත. නමුත් කවදා හෝ දිනෙක හිරු පායද්දී වේලාසනින් අවදි වී සිටීම අපට ප‍්‍රයෝජනවත්ව තිබෙනු ඇත.”

මෙය රෝහණ විජේවීර නම් වූ අසහාය දේශපාලන පෞරුෂත්වයේ තුන්කල් නුවණ පිළිබඳ පළල්තම අර්ථයයි. සැබැවින්ම රෝහණ විජේවීරයක් යනු ලාංකීය දේශපාලනය තුළ මහා පරිච්ෙඡ්දයකි. උස් කැපවීමේ හා ජීවිත පරිත්‍යාගයේ පරමාදර්ශය බව අවිවාදිතය. සකල සතට ගහට කොළට උරුමයක් නැති පරපුරක් වෙනුවෙන් අභිමානවත් දැයක් ගොඩනංවන මාතෘභූමියට උස් නිදහස කැටුව එනු පිණිස නව නිදහස් අරගලයක ප‍්‍රවේශයක් වෙනුවෙන්,

‘‘රණබිමකට සරිලන සෙනවියෙක් ද,
මුඩුබිමකට සරිලන ජලකඳක් ද,
සුන්බුන් කොඳු ඇට සිටුවන රජෙක් ද,
පරහිත පිණිස දළ දන් දෙන ඇතෙක් ද,
නිදුකින් ඉන්නට මග පෙන්වන වෙදෙක් ද,
මුසා බසින් අප නොපෙලන රජෙක් ද,
අප සමබිමක රඳවන සොහොයුරෙක් ද,
රජෙකැයි අපට නොසිතෙන මහරජෙක් ද….”

බඳු නායකත්වයක් මේ බිමට ඇවැසිය.

ඉතිහාසය නිවැරදිව නිසි දිග පළලකින් අධ්‍යයනය කළ යුත්තේ ය. ඉතිහාසය අනාගතයට පාර පෙන්වන ආලෝකයක් දෙනවා සේ ම නිවැරදි මඟ හසරද පෙන්වයි. එය අදට වඩා මාතෘභූමියේ අභිවෘද්ධිය උදෙසා විය යුත්තේය…!

අනුරාධ තෙන්නකෝන්
ජාතික විධායක කමිටු සාමාජික
ශ‍්‍රී ලාංකීය ජනතා පෙරමුණ

(දෙසැම්බර් 13 දිවයින පුවත් පතින් උපුටා ගැනුණි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More