සොයුර,
අද 2020 නොවැම්බර් 13 වෙනිදා ඔබ අපෙන් සමුගෙන අදට වසර 31 ක් සම්පූර්ණ වෙනවා. එක් පරම්පරාවක් අවසන්. අපේ රටේ ඉතිහාසය තුළ පාලක කණ්ඩායම්වල සදාකල් වෛරයට පාත්‍ර වූයේ ඔබ ම ය. ඔබ පමණ ම ය. සතුරන් ඔබ ව දවා අළු කොට ප්‍රීති ඝෝෂා දැක් වූවා අපට මතකයි. ඔබගේ මරණයෙන් උද්දාමයට පත් ව “අනේ රෝහණ නොදුටි මැතිසභ” යනුවෙන් සුද්දන්ගේ පාර්ලිමේන්තුවේ ඔබේත් අපේත් සතුරන් උදම් ඇනුවා අපට මතකයි. ඔබ අයත් වන්නේ ලෝක ධනපති පන්තියේ සදා වෛරයට පාත්‍ර වූ මාක්ස්, එංගල්ස් හා ලෙනින්ගේ පරපුරට යි. ඔබ ඊට අයත් වන්නේ කොහොමද කියා මා කල්පනා කළා. ලෙනින් සහෝදරයාගෙන් පස්සේ මාකස්වාදය දෙකට බෙදුණා. ප්‍රධාන ධාරා දෙකක් විදියට බෙදී ලෝකය පුරා ගමන් කළා. එකක් ට්‍රොස්කිවාදය අනික ස්ටාලින්වාදය. ස්ටාලින්වාදය ම තමයි චීනයේ මාඕ සේතුං ඉදිරිපත් කළෙත්. වියට්නාමයේ හා උතුරු කොරියාවේ ක්‍රියාවට නැගුණේත් ස්ටාලින්වාදය ම තමයි. කෲෂෙව් (කෲෂෙප්) සෝවියට් දේශයේ සිටින කාලයේ ම රුසියාව හරියට ම දැක්ක නිසා ම ඔබ එහි පිටුවහලෙක් වුණා. චීන, රුසියන් ගැටුමේ දී ඔබ චීන පැත්ත ගත්තා. පස්සේ ඔබ චීනයේ පැත්තත් අතහැරියා.
1973 දී මැගසින් හිරගෙදර P වාට්ටුවේ ඉඳන් චීනය කොයිබට ද කියලා ලිපියක් ලියලා අනෙක් සගයන්ට කියවන්න මේ ලිපිය දයා වන්නිආරච්චි සහෝදරයාට දෙන්න කියලා P වාට්ටුයි G|H වාට්ටුයි වෙන් කරලා තිබුණ තාප්පයේ කුඩා සිදුරකින් රෝල් කරලා ඒ ලිපිය දුන්නේ මගේ අතට මට මතකයි බෝපගෙයි ඔබයි තවත් තුන් දෙනෙකුයි මහ රෑ වැලිකඩ ඉඳලා මැගසින් එකට ගෙනාවා. ඒ ගෙනාවේ කුමන්ත්‍රණයකට. ඔබ ව මරන්න. උදේට කෑම කාලා එළියේ ඉන්න වෙලාවක අනුරාධපුර පැත්තේ ඉන්න හාදයෙක් A වාට්ටුව පැත්තේ තාප්පෙන් පැනල උල් කටුවක් අමෝරාගෙන ඔබ ව මරන්න ඔබේ පැත්තට දිවගෙන එන විට ගාඞ් මහත්තුරු දෙන්නෙක් ඒක වළක්වලා ඔබ ව සෙල් එකට දාලා වැහුවා. ඒක නිසා ඔබ ව මරන්න බැරුව ගියා. ඒක නිසා කුමන්ත්‍රණය යට ගියා. චීනය කොයිබට ද කියලා ලියපු ලියවිල්ලට පසුව දිග නිබන්ධනයක් ඔබ ලිව්වා. “අවස්ථාවාදය ද නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය ද ” කියලා. ඒ ලියවිල්ලෙන් ඔබ ලිව්වා ඉතා ම සියුම් ආකාරයට මාක්ස්වාදය පීලි පන්නලා කියලා. ඔබ ඒ ලියවිලෙන් ප්‍රශ්න කෙරුවා මාක්ස්ගේ මිනිය වළ දාපු එංගලන්තයේ “හයිග්‍රේඞ්” සුසාන භූමියවත් එංගල්ස්ගේ මරණයෙන් පස්සේ අත්ලන්තික් සාගරයේවත් ලෙනින්ගේ මරණයෙන් පස්සේ මොස්කව් රතු චතුරස්‍රය තුළවත් නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය මිහිදන් කරලා නැති බව. ඔබ උත්සාහ කළා නිර්ධන පන්ති ජාත්‍යන්තරයක් ගොඩනගන්න. එක් දහස් නවසිය හැත්තෑ ගණන්වල ඔබ ම ලියලා ලංකාවේ බිත්තිවල අලවපු “ස්වශක්තිය කෙරෙහි විශ්වාසය තබනු.” යන සටන් පාඨය වැරදි එකක් කියලා මේ පොතෙන් ඔබ පිළිගත්තා. පශ්චාත්කාලීන මාක්ස්ලෙනින්වාදී සාහිත්‍යයේ වැරදි බොහෝමයක් ඔබ දැක්කා. තාහලා, මුක්තාර්ලා, හයිඩ්‍රාමනී වගේ විනිමය හොරු අපරාද යුක්ති විනිශ්චය කොමිෂම උපයෝගී කරගෙන දීර්ඝ කාලයකට හිරගෙවල්වල ගාල් කරල තිබුණ, 70-77 පාලනය බිඳ වට්ටල යැන්කි ඩිකී ජයවර්ධන ව ගෙනාවේ මේ විනිමය හොරු නිදහස් කරව ගන්නත් එක්ක. ජයවර්ධන අපරාද යුක්ති විනිශ්වය කොමිෂමත් ඒ මත දීපු දඬුවමුත් ඉවත් කළා. ජීවිතාන්තය දක්වා හිරගෙදර ඉන්න දඬුවම් දීපු ඔබවත් විනිමය හොරුන් ව නිදහස් කෙරුණ ගමන් ම නිදහස් වුණා. මට මතකයි වැලිකඩින් නිදහස් වෙලා යන කොට දීපු සරමයි, බැනියමයි පිටින් කොල්ලුපිටිය තම්පෝ සහෝදරයගේ වෘත්තීය සමිති මූලස්ථානයේ කරපු පළමු මාධ්‍ය සාකච්ඡාව. මාධ්‍යකාරයෝ වටවෙලා ඔබෙන් ඇහුවා ඔබ ව නිදහස් කරපු ජයවර්ධනට ස්තුති කරනව ද කියලා. ඔබ බොහොම පැහැදිලි ව කිව්වා නැහැ කියලා. ජයවර්ධනගේ අරමුණුවලින් එකක් තමයි ගජමිතුරු විනිමය වංචාකාරයෝ ටික එළියට ගන්න එක. අනික තමයි තමාගේ දේශපාලන හතුරාට එදිරි ව ජනතා විමුක්ති පෙරමුණ පාචිච්චි කරන්න හදන එක. ඒකට හොඳ උදාරණයක් ඔබ දැක්වුවා පළමු මාධ්‍ය සකච්ඡාවෙ ම. 1917 දී රුසියාවේ සාර්, ජර්මනියේ කෙයිසර් රජ්ජුරුවොත් එක්ක යුද්දෙක පැටලිලා හිටිය. ජර්මනියේ කෙයිසර්, බර්ලිං ඉඳලා මොස්කව් යන කෝච්චියේ ලෙනින්ටයි, කෲප්ෂ්කායා සහෝදරියටයි රුසියාවට ඇතුල් වෙන්න උදව් කලා. ලෙනින් දැනගෙන හිටිය යන්නේ මොකට ද මොකක් කරන්න ද කියලා. සාර්ට ගහලා කෙයිසර්ටත් පාඩමක් ඉගැන්නුවා කියල ඔබ මාධ්‍යකරුවන්ට කිව්වා. කරන්න ඕනේ මොකක්ද කියලා මම දන්නවා. ඒක මගේ භාවිතාවෙන් බලන්න කියල එදා ඔබ කිව්වා.
ඔබ කාගෙවත් පැත්තක් ගත්තෙ නැහැ. තනියෙන් නැගිට්ටා. පරණ වමේ ව්‍යාපාරයේ අඩුපාඩු පෙන්නුවා. වෘත්තීය සමිතිවාදයත් කම්කරු පන්ති දෘෂ්ටිවාදයත් වෙන් කරලා පෙන්නුවා. පන්තිය සූදානම් කරන්නේ නැතිව සමස්ත මහා වැඩ වර්ජන පවත්වන්න එපා කිව්වා. ඊට කලින් පන්තිය සමගි කරන්න කිව්වා. අසූව ජුලි වර්ජනයෙන් පස්සේ “වෘත්තියකට සමිතියක් / කම්කරු පන්තියට මධ්‍යස්ථානයක්” කියලා නැවුම් සටන් පාඨයක් ගෙනවා. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා හරියට පාචිච්චි කරලා රටේ තුන් වන බලවත් දේශපාලන ව්‍යාපාරය බවට ජනතා විමුක්ති පෙරමුණ පත් කළා. අසූ දෙකේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඒක ඔප්පු කරලා පෙන්නුවා. ඊළඟට ජයවර්ධන දැක්කා පාර්ලිමේන්තු ඡන්දේ තිබ්බොත් දිස්ත්‍රික් මට්ටමින් හා ජාතික ලයිස්තුවේ ජේ.වී.පී. මන්ත්‍රීවරු බුරුත්තක් පාර්ලිමේන්තුවට එනවා. එතකොට පන්ති පැවැත්ම දෙදරනවා. ජනතාවට සත්‍යය පැහැදිලි කරනවා. ඒ නිසා ඡන්දේ නොතියා ඡන්දේ ඕන ද? එපා ද? කියලා ලාම්පු කළගෙඩි සටනක් කෙරුවා. ඒකෙන් ලාම්පුව දිනුවා. මැතිවරණය සම්පූර්ණයෙන් ම දූෂිතයි කියලා ඔබ උසාවි ගියා. ඔබේ දූරදර්ශී දැක්ම ඔබේ හොඳ ගුණාංග පෙන්නපු සිද්ධියක් ඒක. ඔබ වෙනුවෙන් උසාවියට ආපු ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකට ඔබ දැක් වූ ප්‍රතිචාරය ඔබ ව දිවි ඇති තෙක් හිරේ දාන්න අපරාද යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත ගෙනාපු ෆීලික්ස්ට වෛරය පෙන්නන්නේ නැති ව ඔබේ උසස් සංස්කෘතික හැසිරීම නඩුවෙන් ජය අපටයි කියලා අපි ඇඟිලි ගනිද්දී අසූ තුනේ කළුජූලිය උන් හදලා ඔබ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්න නියෝග කරල ජනතා විමුක්ති පෙරමුණ තහනම් කෙරුවා ජයවර්ධන නඩුවෙන් පැරදෙන බව දැනගෙන. අසූ තුනේ සිංහල අවුරුද්දට කලින් අපේ ගෙදර ආවා ඔබ. පස්සේ දිස්ත්‍රික් නායකයොත් එක්ක පොඩි පටලැවිල්ලක් හදාගෙන මම පූර්ණකාලීන වැඩ නවත්තලා ඉන්නකොට මට අද වගේ මතකයි ගෙදරට ඇවිල්ල අහපු පළමු ප්‍රශ්නය. “එතකොට සමාජවාදය එපා ද? මට කියන්න” මට උත්තර දෙන්න බැරි ව ගියා. “මල්ලි, ප්‍රශ්න බේර ගන්නේ නැවතිලා නොවෙයි, යන ගමන්.” මගේ දුක් දොම්නස් පහ කළා. ගමනේ දුක නොදැනේ යන ගමනේ. ආය කවදාවත් මම ඔබ ව දැක්කේ නෑ. ඊෂා දුවට දෙන්න. දොඩම් කඩල දුන්න ගහේ ඊට පස්සේ අපිට දොඩම් කන්න උනේ නැහැ.
ඔබ නිතරම කිව්වා වේලාසනින් නැගිට්ටට වේලාසනින් ඉර පායන්නේ නෑ කියලා. නමුත් ඉර උදා වන විට වේලාසනින් නැගිටපු එකේ වාසිය දැනෙනව කියලා. ඔබ ව නෙරපා හැරිය සෝවියට් දේශයටත් යුරෝපා රටවලටත් දිග සංචාරයක් කළා. යළිත් කම්කරු පන්ති ජාත්‍යන්තරයක් ගොඩනගන්න. ඒක සාර්ථක කර ගන්න බැරිව ගියා. ඔබගේ ම වචනයෙන් කියනව නම් ඔබ බොහොම පැහැදිලි ව කිව්ව ජුපිටර්ගේ හිසින් මිනර්ලා පහළ වූවා සේ ඒක ආශ්චර්යයකින් සිදු වන්නේ නැහැ කියලා. ඊට කාලයක් ඉන්න වෙනවා කියලා. 83 කලුජුලිය ආවා ඔබගේ අතපය බැඳලා අඳුරට තල්ලු කළා. අඳුරේ ඉන්න ඔබ කුඩා ඉටිපන්දමක් දැල්වුවා ඉන්දියාව, ලංකාව ගිලින්න ආපු වෙලවේ. යැංකි ඩිකී 180 ක් අනිත් පැත්තට හැරිලා ඉන්දියන් සරණං ගච්ඡාමි කියන කොට ඔබ වාසි පැත්තට හෝයියා කියලා කොහාටවත් හැරුණේ නැහැ. යටත් වුණෙත් නෑ. ඉන්දියාව උපාය මාර්ගික අවශ්‍යතාවට පිටුපාලා උපක්‍රමික අවශ්‍යතාවකට මුල් තැන දීලා කරපු වැඬේ වැරදී කියලා ඉන්දියාවට වැරැද්ද පෙන්නුවා. එතකොට ඉන්දියාව හිටියේ සෝවියට් පිලේ. ඇමරිකන් පිලේ නොවෙයි. ජයවර්ධන එක්ක පමණක් නොවෙයි කලාපීය බලවතා එක්කත් අත පය බැඳලා තියෙද්දී ඔබ පෙරමුණු දෙකක සටන් කළා. ඔබ එඩිතර උනා. අර්බුදය ඉදිරිපිට ඔබේ ඥානාන්විත භාවය කැපී පෙනෙන එකක්. අපටත් එඩිතර වීම හැර වෙන මගක් නැති බව කීමට ප්‍රංශ විප්ලවයේ ඩැන්ටන්ගේ වැකියක් උපුටා දක්වමින් මව් බිමේ සතුරන් පැරදවීමට යළිත් යළිත් එඩිතර වන්නැයි කීවා. ඒ වගේ ම අපේ කීර්ති විජේබාහු මහ රජුගේ කැපවීම හා එඩිතරභාවයත් වියට්නාම් ආරක්ෂක ඇමති වෝන් ගුඑන් ගියාෆ්ගේ අචල කැපවීමත් අපට මතක් කළා. හොඳ දෙයක් වෙනුවට ඕනෑම කෙනෙකුට හොඳ දෙයක් ලබා දීමට හැකි බවත් එහෙත් නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් ලබා දිය හැක්කේ එඩිතර අයට පමණක් බවත් ඔබ අපට සිහිපත් කළා.
ඔබ සත්‍ය වශයෙන් ම දාර්ශනිකයෙක්. ඔබගේ චිචක්ෂණභාවය ඉඳුරා ම සමන්විත වන්නේ මිනිස් වර්ගයාගේ ප්‍රමුඛත ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට. ඔබගේ දර්ශනය හැඳින්විය හැක්කේ දේශපාලන අර්ථශාස්ත්‍රයේ, දර්ශනයේ සහ සමාජවාදයේ ශ්‍රේෂ්ඨතම නියෝජිතයන්ගේ උගැන්වීම් ඉදිරියට ගෙන යාමක් හැටියට.
මාක්ස්වාදී දර්ශනය සර්ව බලධාරී, සංගත, අංග සම්පූර්ණ පිරිපුන් අවබෝධයක් මිනිස් වර්ගයාට දෙන බව ඔබ පිළිගත්ත ද එය ඉතිහාසය සමග සංවර්ධනය වන වෙනස් වන්නක් බව අපට පැහැදිලි කර දීමට උත්සහ කළා. ඒවා දරා ගන්නට ඒ කාලයේ අපේ ඔළුව මෝරලා තිබුණේ නෑ. ඔබ කිවූ පරිදි “ලංකාවේ රට බෙදීමට විරුද්ධ අරගලයත් අධිරාජ්‍යවාදී අරගලයත් ධනපති විරෝධී අරගලයත් ජාතිවාද විරෝධී අරගලයත් කුමන හෝ ජාතිකත්වයකට විශේෂ වරප්‍රසාද දීම වෙනස්කම් කිරීම හා අසාධාරණ කිරීම් ආදියට විරෝධී අරගලයත් එකට ගමන් කරන” නිසා එහි නායකත්වය ගැනීමට ලංකාවේ නිර්ධන පන්තියට පෙරමුණ ගන්නා ලෙස ඔබ ආරාධනා කළා. අද ඇත්ත වශයෙන් ම ලංකාව මුහුණදෙන මේ සියලු ප්‍රශ්නවලට උත්තර සොයන්නට පුළුවන් වන්නේ ඔබ කිවූ ආකාරයට ලංකාවේ නිර්ධන පන්ති උගතුන්ට හා මානුෂිකවාදී ධනේශ්වර උගතුන්ට පමණි.
ඔබේ අරගලයේ කිසියම් තැනක ඔබට වැරදුනා කියලා මට හිතෙනවා. මට ඒක හරියට ම කියන්නට තරම් සුදුසුකමක් නෑ. ඒ පිළිබඳ හැඟීමක් තියනවා. එදා උලපනේ ගෙදර ඉඳලා සතුරාට බිලි වුනේ හිතාමතා ම කියලයි මට හිතෙන්නේ. මිනීමරු කුලී හමුදාවක් කරන තිරස්චීන ජනඝාතක ව්‍යාපාරය නැවැත්විය යුතුයි කියලා ඔබ තීන්දු කෙරුවා. ඔබ හිස දන් දීමෙන් එය පහසුවෙන් කළ හැකි බව ඔබ තීන්දු කෙරුවා. ඔබ සතුරා ඉදිරියේ අභීත ව හැසිරුණේ සියලු කෙලෙස් නසා ලූවෙක් හැටියට “මම මැරෙන වග දන්නව. දිනය හා වේලාව දන්නේ නෑ.” කියන විට සතුරු සෙන්පතියන් පවා හඬා වැළපුණ බව අප දන්නවා. ඔබේ සගයෙක් එතැන සිටිය නිසා ඔබ ව අපට වීරයෙක්. ඉතිහාසය යළිත් ඔබ ව අපට මුණගස්සවනු ඇත. ඒ කෙසේ වී මුත් ඉතිහාසය ගමන් කරයි. අපිදු ඉතිහාසය සමග පෙරට ඇදෙමු.
කොහොම පහනක් ද නිමුණේ, කොහොම හදක ද ගැස්ම සිඳුනේ.
මම
සේනාරත්න ද සිල්වා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...