පුරවැසි කොලම

කිහිප දෙනකු කියා තිබුණා ගුරුත්වාකර්ෂණය ගැන ලියන්න කියා. මා ඕනෑ තරම් ඒ ගැන ලියා තියෙනවා. එහෙත් නිතර ම අලුත් පිරිසක් එකතු වෙනවා. ඔවුන් පැරණි ලිපි කියවන අය නොවෙයි. ඔවුන්ට ඒ සඳහා වෙලාවක් නැහැ. අද සමාජය හරි කාර්ය බහුලයි කියනවා. මා නම් කාර්ය බහුලවීම අත්විඳ නැහැ. හැම අවුරුද්දක ම අලුත් අවුරුද්ද ගැන එක ම දේ ලියැවෙනවා. සූර්යයා මීනයෙන් මේෂයට යෑම ආදිය ගැන. අද නම් කොවිඩ් 19 නිසා බොහෝ දෙනා, බටහිර වෙදහාමිනේලාත් ඇතුලුව, කතා කරන්නේ මේසයට මීන එවිම ගැන. ඔය මීන කතාව කොහොම වෙතත් මුදල් නෝට්ටු සහ වෙනත් දේ ස්පර්ශ කිරීම හා ඉන්පසු අත්හේදීම ගැන හිතා බලනවා නම් හොඳයි.

අපි පොල් වැටෙන කතාවෙන් පටන් ගමු. නිවුටන් කතා කෙළේ ඇපල් වැටීම ගැන. පොල් වැටෙනවා කියන එක අපි දකිනවා. ඒක ඉන්ද්‍රිය ගෝචරයි. ඇහැට පේනවා. දැන් මේ කතාව ඒ තරම් සරල නැහැ. ඒ ඒක ගැන හිතන්න ගියොත්. හිතන්නෙ නැත්තන් පොල් ගෙඩිය අහුල ගෙන ලෙලි ගහල පොල් මදේ මොන විධියකට හරි කන එක නෙ තියෙන්නෙ. මියන්මාරෙ මිනිස්සු පොල් කන්නෙ නැහැ. ඔවුන් කුරුම්බ නම් බොනවා.

පොල් ගෙඩිය වැටෙනවා කිව්ව ම පොල් ගෙඩිය කියන සංකල්පය තියෙනවා. වැටෙනවා කියන සංකල්පය තියෙනවා. මේ සංකල්ප අපේ සංස්කෘතියෙ සකස් කර ගත් දේ. ඉංගිරිසි කාරයා පොල් දකින්න ඇත්තෙ අපේ රටවලට ආවට පස්සෙ. ඔවුන් පොල් ගෙඩියට කොකනට් කිව්වා. මේ නට් කියන්නෙ ගෙඩිය කියන අරුතින්. සමහරු මටත් නට් කියනවා. ඒ වෙන අරුතකින්. අපි පොල් ගහට පොල් ගහ කියනවා. ඉංගිරිසි කාරයා කොකනට් ට්‍රී කියනවා. ඒ කියන්නෙ පොල්ගෙඩි හැදෙන ගහ කියන එක. ඔවුන්ට ගහ ගැන කතා කරන්නත් ගෙඩිය ඕන. අපට එහෙම නැහැ. අපි පොල් ගහ කියල කියනවා. අපි පොල් ගෙඩි ගහ කියන්නෙ නැහැ.

තැඹිලි තියෙන්නෙ ලංකාවෙ විතරයි කියනවා. මා ඒක දන්නෙ නැහැ. මා දන්නෙ නැති දේ කොච්චර ද? ඒ කොහොම වෙතත් අපට තැඹිලි කියල වෙන ම වචනයක් තියෙනවා. ඉන්දීය භාෂාවල තැඹිලි කියන්නෙ කොහොම ද? තැඹිලි නැත්තන් තැඹිලි කියන්නෙ මොකට ද කියල අහන්න පුළුවන්. ඒත් එංගලන්තෙ තැඹිලි තියා පොල්වත් නැහැ. ඉංගිරිසියෙන් තැඹිලිවලට නමක් හදා ගෙන. ඉංගිරිසියෙන් කිං කොකනට් කියනවා. පොල් ගෙඩි රජු වගේ කතාවක්. තැඹිලි තියෙන්නෙ ලංකාවෙ විතර නම් තැඹිලි අපනයනය කරන්න පුළුවන්. මියන්මාරයටත් පුළුවන්. කුරුම්බ බොනව නම් තැඹිලි නොබී ඉන්න එකක් නැහැ. අපි මේ ගැන බලධාරීන්ට කියල තියෙනවා.

කොස් කන්නෙ ලංකාවෙ විතර ද? දන්න කෙනෙක් කියනවා ද? අනෙක් රටවල කන්නෙ පළතුරක් හැටියට පමණ ද? ඉංගිරිසි කාරයා ජැක් ෆෘට් කියන්නෙ මොක ද? අපිට කොස් පොළොස් වැළ වරකා තියෙන්නෙ කොහොම ද? පොළොස් මදිවට අපි පොළොස් ගැට කියලත් කියනවා. කොස් ගැට කියන්නෙ නැහැ. පොල් ගැට කියන්නෙත් නැහැ. කුරුම්බ කුරුම්බැට්ටි ඇට්ටි වගේ වචන තියෙනවා. මේ කතා කිව්වෙ ඒ ඒ සංස්කෘතියෙ සංකල්ප හදා ගන්න හැටි කියන්න.

කොහොම හරි පොල් ගෙඩිය කියන එක අපි දන්නවා. ඒ සංකල්පය අපට තියෙනවා. අප ඒ සංකල්පය ලබා ගන්නෙ අපේ දෙමව්පියන්ගෙන් වැඩි හිටියන්ගෙන්. අපි ඒක අපේ සංකල්පයක් කර ගන්නවා. පොල් ගෙඩිය ඉන්ද්‍රිය ගෝචරයි. ඒක අල්ලන්න පුළුවන්. පේනවා, ඉඹින්න පුළුවන්, ලෙව කන්න පුළුවන්, හොලවල සද්දෙ අහන්නත් පුළුවන්. පහුගිය දවස්වල පොල් මැන්න. ඒකට ඉන්ද්‍රිය කීපයක් අවශ්‍ය වෙනවා.

මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලෙල්ල පිටින් පොල් ගෙඩිය හා ලෙල්ල නැතිව පොල් ගෙඩිය ගැන කියන්න වචන තියෙනවා ද? නැත්නම් ඒකට හේතුවක් තියෙනවා ද? සිංහල සංස්කෘතියෙ ලෙලි සහිත පොල් ගෙඩි හා ලෙලි රහිත පොල් ගෙඩි වෙන් කරල කියන්න වචන, සංකල්ප නැද්ද? අපි පොල් ලෙලි ගහනව කියනවා. මිනිසුන් ගැන කියන කොට හම ගහනවා කියනව, හම ගැහුවත් මදි කියනවා.

ලෙලි සහිත පොල් ගෙඩියට නැට්ටක් තියෙනවා. ලෙලි රහිත පොල් ගෙඩියට නැට්ටක් නැහැ. පඬි නැට්ටන් මොක ද කියන්නෙ? ලෙලි රහිත වෙන කොට නැටි රහිත වෙනවා ද? ලෙලි රහිත පොල් ගෙඩිය පලනවා. එතකොට පොල් බෑ දෙකක් ලැබෙනවා. පියාණන් ඒ දවස්වල රැස්වීම්වලට පොල් බෑ ගෙනිච්ච. මා හිතන්නෙ පොල් බෑ පාර්ලිමේන්තුත් ගිහිල්ල තියෙනවා. පොල් බෑ වෙන් කරල පොල් ගානවා. පොල් කියන්නෙ ඒ ගෑවම ලැබෙන දේ ද? ඒ පොල්වලින් පොල් කිරි මිරික ගන්න පුළුවන්. අපේ කෑමවලට පොල් කිරි අවශ්‍යයයි. මියන්මාරෙ අය පොල් කිරි කෑමට දාන්නෙ නැහැ. ඔවුන් කෑම පිසින්නෙ තෙල්වලින්. නෑ පොල් තෙල්වලින් නොවෙයි.

පොල්වලින් පොල් කිරි පොල් තෙල් වගේ ම පොල් කුඩුත් ලැබෙනවා. ඒ මදිවට පොල් සම්බෝලත් හදනවා. මිනිසුන් පොල් කුඩු බවට පත්වෙන එක පත්කරන එක නම් ප්‍රශ්නයක්. පොල් කියන සංකල්පය නැතිව කුරුම්බ හදා ගත්ත වගේ කොප්පරා කියලත් දෙයක් තියෙනවා. ඒ වගේ ම පොල් රා තියෙනවා. කඩොල් ඇතාට පෙව්වෙ මොන රා ද කියල මහාවංසෙ ටීකාවකවත් ලියැවිල තියෙනවා ද? එහෙමත් නැත්නම් සුරනිමල ගැන. පොල් අරක්කු නම් පස්සෙ කතාවක්.

මේවා පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප කිවුවට ඔය එක සංකල්පයක්වත් මනස නැතිව හදා ගන්න සංස්කරණය කර ගන්න බැහැ. මනස තමයි ප්‍රධාන. අපි ඒක දන්නෙ අද ඊයෙ නොවෙයි නෙ. අවුරුදු දහස් ගණනක් තිස්සෙ අපි ඒක දන්නවා. අපේ සංස්කෘතියෙ ඒක තියෙනවා. දැන් මනසත් ඉන්ද්‍රියක් ලෙස ගැනෙනවා. මනේනද්‍රිය කියල කියනව. මනේන්ද්‍රිය ගැන මා පහුගිය දවස්වල කිවුව. මනේන්ද්‍රියත් එක්ක ඉන්ද්‍රිය හයයි.

පොල්වල (ලෙලි රහිත) වටේ මැන්නට බර බලන්න ගියේ නැහැ. පොල් ගෙඩියට බරක් ලැබෙන්නෙ කොහොම ද? පොල් වැටෙන්නෙ මොක ද? නෑට්ටෙන් ගිළිහුණු පොල් ගෙඩිය (ලෙලි සහිත) උඩට යන්නෙ නැත්තෙ මොක ද? පොල් වැටෙන්නෙ මොක ද? තරුණයන් තරුණියන්ටත් තරුණියන් තරුණයන්ටත් වැටෙන්නෙ මොක ද? ඒක නම් අර තකතීරු ඉංගිරිසි සංකල්පයක් ගෙඩිය (පොල් ම වෙන්න ඕන නැහැ) පිටින් සිංහලට පරිවර්තනය කරගෙන වෙච්ච අමාරුවෙ වැටිල්ලක්.

අපිට කතා කරන්න ඕන පොල් වැටිල්ල ගැන. පොල් වැටෙන්නෙ ඇයි. ඒකට හේතුව මොකක් ද? ඕක තමයි නිවුටන්ගෙ ප්‍රශ්නෙ. ඒකට තමයි එයා උත්තරයක් දුන්නෙ. ඒක තමයි පොල් වැටීමට හේතුව. කොහොම හරි කතාවෙන් කතාවෙන් දැන් ඒක කියන්න බැහැ. දැනටමත් ලිපිය දිගයි. ඒක පස්සෙ කතා කරමු. දැනට කියමු පොල් වැටෙන්නෙ පොල් ගාන්න කියල. වැඩ පරක්කු වෙන කොට අහනව නේ පොල් ගානව ද කියල. එහෙම අහන්නෙ මොක ද කියල හිතල තියෙනවා ද?

පොල් වැටෙනවට අමතර ව පොල් කඩනවා. ඒක ඇපල් කඩනව වගේ නොවෙයි. ඇපල් පිකින් වගේ කොකනට් පිකින් හඳුන්වන්න පුළුවන් ද? සංචාරකයො එයි ද? පොල් විනාකිරි පොල් මුදලාලි ඉන්නවා. පොල් කඩන එක පොල් මුදලාලිලට හොඳයි. පඩි ගන්නවට පොල් කඩනව කියන්නෙ ඒක වෙන්න ඕන. හොර පොල් කඩන අයත් ඉන්නවා. ඔවුන් දවල්ටත් හොර පොල් කඩනවා.

ආචාර්ය නලින්ද සිල්වා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More