පුරවැසි කොලම

ජනාධිපතිතුමා විසිවන සංශෝධනය ගෙන එන්නේ අඵත් ව්‍යවස්ථාවක් වසරක් තුළ සෑදීමේ පොරොන්දුව පිට ය. ඊට විද්වත් කමිටුවක් ද පත් කෙරිණි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ කාර්යාලයක් ද විවෘත කෙරිණි. මහජන අදහස් එකතු කිරීම සඳහා නමගිය ජනාධිපති නීතිඥවරු පිරිසක් එහි සාමාජිකයෝ වෙති. අපට ව්‍යවස්ථාවකුත්, පාර්ලිමේන්තුවකුත් තෑගි කළේ ඉංග්‍රීසීන් විසිනි. නැවතත් ව්‍යවස්ථාවක් කුමට ද?

1948 ට කලින් රට පාලනය කළේ එංගලන්තයෙන් එවන ලද රාජකීය ආඥාවලිනි. යටත්විජිතයන් පාලනය කළේ එසේයි. ජර්මනියත් ඉතාලියත් ඔස්ටි්‍රයාවත් ජපානයත් එක් පැත්තක් ගෙන තමන්ගේ වෙළෙඳ භාණ්ඩ විකුණ ගැනීමට තම අවි බලය යුරෝපයට පෙන්නූහ. 1939 දී තමන්ට යටත්විජිත ගොඩනගන්න ලෝකයේ ඉඩ ඉතිරි කර නැති හෙයින් ලෝකය යළි බෙදාගන්න දෙවන ලෝක යුද්ධයෙන් ඔවුන් පරාජය වූවත් යටත්විජිත ලෝකයට හොඳක් විය. යුද්ධයෙන් බංකොලොත් භාවයට පත්ව සිටි එංගලන්තය ද, ඇතුළත් මහා බි්‍රතාන්‍යය තමන්ගේ යටත්විජිත ගැටගසා තබා ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලය නම් වූ දියාරු සංවිධානයක් ගොඩනැගීය. ව්‍යවස්ථාවක් හදා යටත්විජිතවලට දී පාර්ලිමේන්තුව නම් කයිවාරු සාප්පුවකුත් හදා යටත්විජිතවල තමන් තැනූ නිලධාරී පැළැන්තියට රාජ්‍ය බලයත් පාර්ලිමේන්තුවට ආණ්ඩු බලයත් බෙදා දුනි.

1949 දී ම, මෙම යටත්විජිත ව්‍යවස්ථාවන් වෙනස් කර නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනිණි. අසල්වැසි ඉන්දියාව ද නව ජනරජ ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනිණි. අපි 1972 දීත් 1978 දීත් අපට දී තිබූ යටත්විජිත ආකෘතිය ම තවදුරටත් සංවර්ධනය කරමින් ව්‍යවස්ථාවක් සාදා ගතිමු. පාර්ලිමේන්තුවත් වෙනස් කර හදාගතිමු. මේ රටේ ජනතාව පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන හා ඒවා නිර්මාණය කළ එංගලන්තය ගැන යන්තමින් හෝ දැන ගත යුතුයි. නැතහොත් මේ භයානක උගුලෙන් අපට ගැළවෙන්නු නොහැකියි. අදටත් වැඩවසම් රැජිනක් සහිත එංගලන්තය පාර්ලිමේන්තුවක් සාදාගත්තේ කවර ඓතිහාසික හේතූන් මත ද යන්න අප දැනගත යුතු ම යි. ඊට යන්තමින් හෝ එංගලන්ත ඉතිහාසය දැනගත යුතු ම යි.

ඉතිහාසය උදා වීමටත් පෙර බි්‍රතාන්‍ය දූපත් සියල්ල යුරෝපා මහද්වීපයට සම්බන්ධ ව පැවතිණි. “තෙම්ස්” හා “ටේ‍රන්ට්” යන ගංගා දෙක ම රයින් ගඟේ අතු ගංගා විය. ඉන්දීය උප මහද්වීපයෙන් ලංකාව බෙදී ගිය කාලයේ ම ඉංග්‍රීසි ඕඩය හා උතුරු මුහුද ප්‍රදේශයේ පිහිටා තිබුණ පහත් තැනිතලා ප්‍රදේශ උත්තරධ්‍රැවයේ අයිස් කඳු දියවීමත් සමග මුහුදුබත් විය. අප ඉන්දීය අර්ධද්වීපයෙන් වෙන් වූයෙත් මේ කාලයේ ම ය. අප ඉන්දියාවෙන් වෙන් වූවාට ඉන්දියාව සමග දීර්ඝ කාලයක් ඉන්දීය බලපෑමට යටත් ව සිටියාක් මෙන් බි්‍රතාන්‍ය දූපත්වාසීන්ට ද යුරෝපා බලපෑමෙන් නිදහස් වීමට නොහැකි වුණි. බි්‍රතාන්‍ය දූපත් වෙත පෙරදිගින් නොර්වේ හා ස්වීඩන් ඇතුඵ ස්කැන්ඩිනේවියානු රටවල සිටි ගෝත්‍රිකයෝ ද ජර්මන්, ප්‍රංශ භූමිවල සිටි ගෝත්‍රිකයෝ ද පෘතුගාලය හා ස්පාඤ්ඥ ඇතුඵ දකුණේ සිටි ගෝත්‍රික පිරිස් ද යුරේසියානු මහාද්වීපයේ ඈත කෙළවර මේ දූපත් වෙතට සංක්‍රමණය වූහ. මහා බි්‍රතාන්‍යයන් යනු මේ සියලු ගෝත්‍රවල සම්මිශ්‍රණයකි.

තවත් විධියකින් කියනවා නම් කෙල්ටික් ගෝත්‍රිකයෝ ද, කෙල්ට් ගෝත්‍රිකයෝ ද, ටියුටොනික් ගෝත්‍රිකයෝ ද, ග්‍රේලිවරු ද, බි්‍රටන් වරු ද, පික්ට්වරු ද, ටියුටොනික් ආක්‍රමණිකයන් ද, සැක්සන්වරු ද, ඇන්ගල්වරු ද, ෆීසියන්වරුද, නොර්මන්වරුද, නෝස්මන්වරු ද, තවත් කුඩා කුඩා ගෝත්‍රික කණ්ඩායම්වල සම්මිශ්‍රණයෙන් ඉංග්‍රීෂ්, අයිරිෂ්, ස්කොට් හා වේල්ස් යන වත්මන් සිව් ජාතීන්ගේ උපත සිදු විය. මහාබි්‍රතාන්‍යය ගොඩනැගීමේ මුල් වූයේ මේ ජාතීන් හතරයි. මොවුන් ජීවත් වූයේ ගොවිතැනිනි. “විල්” හා “මැනර්” යනුවෙන් හඳුන්වන ලද මනා සේ සංවිධානය වූ ප්‍රජා මණ්ඩල සමූහයකට රට බෙදා තිබුණි. “විල්” යනු ගෙවල් සමූහයකින් සෑදුණු ගමකි. “මැනර්” යනු විල් ද ඇතුළත් වෙන ම ම සංවිධානය වූ විශාල භූමි ප්‍රදේශයකි.

ක්‍රි.ව.597 දී පළමු ග්‍රෙගරි පාප්තුමා ශාන්ත ඔගස්ටින්තුමාගේ නායකත්වයෙන් කෙන්ට් ප්‍රදේශයට යවන ලද පූජක කණ්ඩායම “කැන්ටබරි” නම් ස්ථානයේ පළමු පල්ලිය ස්ථාපිත කොට ඉතා කුඩා කණ්ඩායමකට ආධ්‍යාත්මික මග පෙන්වීම ආරම්භ කෙරිණි. එංගලන්තය තුළ කතෝලික දහමේ ව්‍යාප්තියත් සමග එංගලන්තය බිහි කළ පළමු මහරජු ඇල්ෆ්‍රඞ් විය. ශිෂ්ටාචාරය ද, භාෂා ශාස්ත්‍ර ද, එංගලන්තයට ලැබුණේ පල්ලියෙනි. මැනර්, පේරු හා කෝරළ යන ප්‍රජා මණ්ඩලයන්ට වඩා වෙනස් ඒ සියල්ල ඇතුළත් පල්ලිය මහාප්‍රජා මණ්ඩලයකි. රෝමය සමග පැවති සෘජු ආගමික සම්බන්ධතා හේතුවෙන් එංගලන්තයේ පළමු ඉංග්‍රීසි විද්‍යාල දෙක ඔක්ස්ෆර්ඞ් හා කේම්බි්‍රජ් ආරම්භ වුණි. වයින්, සේද රෙදිපිළි, ආභරණ, විවිධ ලෝහ බඩු, කුඵබඩු සහ මැණික් වර්ග දැන හැඳින ගත්තේ එංගලන්තය, ඉතාලි වෙළඳුන් සමග ඇති කර ගත් සබඳතා මගිනි. මධ්‍යතන යුගයේ ධර්මාධිකරණය ද, විද්‍යාත්මක සොයා ගැනීම් ද මේ ඔස්සේ එංගලන්තයට ලැබිණි.

එංගලන්තය නීතියේ ආධිපත්‍යයට යටත් කළ ජෝන් රජු, එංගලන්තයට පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ (බැරන්වරුන්ගෙන් සමන්විත) පළමුවෙනි එඞ්වඞ් රජු, එංගලන්ත කතෝලික සභාවේ නායකයා වූ අටවෙනි හෙන්රි රජු, එංගලන්තයේ පැරණි රජවරුන් අතර ප්‍රමුඛයෝ වෙති. ජර්මනියේ රෙපරමාදු ප්‍රතිසංස්කරණ නිසා යුරෝපය පුරා පුනර්ජීවනයක් හමා යද්දී එංගලන්තය මුල් කොට ගත් සාහිත්‍යයක් ද ආර්ථික හා දේශපාලන මතිමතාන්තර ද නිර්මාණය විය. දේශපාලනයේ හා සමාජයේ වැරදි විවේචනය කරමින් වැරදිවලින් තොර මනඃකල්පිත ලෝකයක් හා රාජ්‍යයක් සඳහා තෝමස් මෝර් විසින් රචිත යුටෝපියා (අස්ථිත රාජ්‍යය) කෘතිය එංගලන්තය වෙනතකට හැරවූයේ ය.

තෝමස් මෝර් ගේ යුටෝපියා කෘතිය ද, ඉතාලියේ මකියාවෙල්ලිගේ ප්‍රින්ස් (කුමාරයා) කෘතිය ද කාය බලයෙන් යුත් දයානුකම්පා විරහිත, කපටි කුමාරයෙකු අපේක්‍ෂාවෙන් කළ රචනාවන් ද කරණ කොට ගෙන එංගලන්තය බිහි කළ උසස් රජෙකු ලෙස අටවෙනි හෙන්රි අභිෂේක ලැබී ය.
එංගලන්තය යුරෝපයේ සෙසු රාජ්‍යයන් අභිබවා පෙරට ඒමට පොදුවේ බල පෑ තවත් විශේෂිත කරුණක් ද වෙයි. ඉතිහාසයෙහි ප්‍රකට සභ්‍යත්ව අතුරින් (වඩාත් උචිත නමක් නැති නිසා බටහිර සභ්‍යත්වය යැයි හඳුන්වන) එංගලන්තය තරම් එක දිගට ක්‍රියාශීලී වූ තවත් රටක් නැත. යුරෝපය ළපටි කාලයේ දී ම සිය ආගමික සතුරන් වූ මුසල්මානුවන්ට පහර දෙමින් මැදපෙරදිග දක්වා ව්‍යාප්ත විය. කුරුස යුද්ධ අසාර්ථක ලෙස අවසන් වූවාට පසු ටික කලක් තම තමන්ගේ රටවල විසුවා වූ යුරෝපා ජාතීහු පසළොස්වැනි සියවස අවසානයේ ලෝකය කොල්ලකෑමේ අරමුණින් නැවතත් ව්‍යාප්ත වීම ඇරඹූහ. පෘතුගීසීහු මුසල්මාන්වන්ගෙන් තම රට නිදහස් කරගෙන තවදුරටත් කුරුස යුද්ධ උනන්දුවෙන් මෙහෙයවනු ලැබුවාහු එතෙක් තම සතුරන්ගේ ඒකාධිකාරයක් ව පැවති ඉන්දියාව සමග පෙරදිග වෙළඳාමට අහම්බෙන් මග පාදා ගනිමින් පිටුපසින් විත් මුසල්මානුවන්ට පහර දීමට කල්පනා කළහ. ඔවුන් මෙන් ම කුරුස යුද්ධ උනන්දුවෙන් මෙහෙයවනු ලැබුවා වූ ස්පාඤ්ඤ ජාතිකයෝ ද, බටහිර දෙසට යාත්‍රා කිරීමට ජිනෝවාවැසියෙකු වූ ක්‍රිස්ටෝපර් කොලම්බස් ද මුදල් ගෙවා පොළඹවා ගත්හ. මොහු සිය ස්වාමියන්ට බටහිර ඉන්දීය දූපත් කිහිපයක් හා උතුරු ඇමරිකා මහාබිම ද සොයා දීමට සමත් විය. ස්පාඤ්ඤ ජාතිකයෝ ද, පෘතුගීසි ජාතිකයෝ ද, මේ රටවල් කොල්ලකෑමෙහි යෙදෙමින් උනුනුන් මරා ගනිමින් සණ්ඩුසරුවල් කරගන්නා විට කතෝලික ලෝකයේ විනිශ්චයකරුවා වූ ස්පාඤ්ඤ ජාතික ෂඪ වන ඇලෙක්සැන්ඩර් පාප්තුමන් විසින් 1498 දී ස්පාඤ්ඤය හා පෘතුගාලය මැදින් ලෝකය උතුරේ සිට දකුණට දිවෙන රේඛාවකින් බෙදා බටහිර ස්පාඤ්ඤ ජාතිකයන්ට ද නැගෙනහිර පෘතුගීසීන්ට ද “ටෝර්ඩෙසිලාස්” ගිවිසුමෙන් බෙදා දෙන ලදී.

මෙහි වාසි බෙදා ගැනීමට ඒ මොහොතේ නොසිටියා වූ යුරෝපා රටවල් පසුව පැමිණ තමතමන්ගේ බලය පෙන්වමින් ස්පාඤ්ඤයට හා පෘතුගාලයට බෙදා දුන් ලෝකයේ කොටස් අල්ලා ගැනීමට උනුනුන් සමගත් ස්පාඤ්ඤය හා පෘතුගාලය සමගත් කළකෝලාහල කරමින් ව්‍යාප්තිය ඇරඹූහ. ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගෙන සිටි ලන්දේසීහු ඈත පෙරදිග පෘතුගීසි පෙදෙස්වලට පහර දුන්හ. ඉංග්‍රීසි හා ප්‍රංශ ජාතිකයෝ ඇමරිකා මහබිමෙහි උතුරු පෙදෙස් අල්ලා ගෙන ඔවුන්නොවුන් සමගත් ස්පාඤ්ඤ ජාතිකයන් සමගත් කළකෝලාහල කරමින් විසූහ. ලන්දේසීන් පසුපස ප්‍රංශ හා ඉංග්‍රිසි ජාතීහූ පෙරදිගට පැමිණියහ. අවසානයේ මේ රටවලින් ඉතා ම වැදගත් ඉන්දියාව ඉංග්‍රීසීන් විසින් යටත් කොට ගන්නා ලදී. තවදුරටත් දකුණට යාත්‍රා කොට ඉංග්‍රීසීහු නවසීලන්තය හා ඕස්ටේ්‍රලියාව අල්ලාගත්හ. දාහත්වන සියවස මුල් භාගය වන විට එංගලන්තයේ ෂ වන චාල්ස් රජු මේ ගොඩනැගුණු වාණිජවාදයේ ගොදුරක් බවට පත්කිරීම එංගලන්ත ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය විය.

පෞද්ගලික හමුදා ගොඩනගාගෙන කොල්ලකෑම සඳහා සමුදුරට බට ඉංග්‍රීසි වෙළෙන්දන්ගේ ක්‍රියාකාරකම් ද එංගලන්තයේ නීතිය යටපත් කර ගත් පියුරිටින් රදළයින්ගේ ක්‍රියාකාරකම් ද ආගමික බලය රාජකීයත්වයට යටත් කිරීමට පළමුවන චාල්ස් රජු ගත් උත්සාහය ද වෘත්තීය හමුදාවක් ගොඩනැගීමට ගත් උත්සාහය ද නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයකට එංගලන්තය යොමු කෙරිණි. රජු හා රදළ පාර්ලිමේන්තුව අතර ගැටුමක් ගොඩනැගෙන විට පෞද්ගලික හමුදා හා රජයේ වෘත්තීය හමුදාව අතර ගැටුම අවසන් වූයේ හමුදා නායක ක්‍රොම්වෙල් අතින් රජු මරුමුවට පත්වීමෙනි. 1649 ජනවාරි 10 වන දින බි්‍රතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් හි විලියම් රූපස් ශාලාවේ දී ගහලයාට ගෙළ සිඳින්නට රජු වැතිර ගත්තේ පහත දෑ සඳහන් කරමිනි.
“වෙන ඕනෑම කෙනෙකු මෙන් මම ද මිනිසුන්ගේ ස්වාධීනත්වය හා නිදහස අපේක්‍ෂා කරමි. එහෙත් ඒ ස්වාධීනත්වය හා නිදහස ඇතිවන්නේ මිනිසුන්ගේ ජීවිත හා දේපොළ ඔවුන්ට ම අයත් දේවල් යැයි සලකන ආණ්ඩුවක් ඇති වූ විට බව මම නුඹලාට කියමි. ඔවුන් ආණ්ඩුවේ කොටස්කාරයන් වීමෙන් එබඳු නිදහසක් ඇති නොවේ. කඩුවේ බලය අනුව සියලු දේ ම වෙනස් කිරීමට ඉඩ දී බලා සිටීමට පු`ඵවන් වූවා නම් මට මෙහි පැමිණීමට අවශ්‍ය නොවන්නට ඉඩ තිබුණි. ඒ නිසා මා නුඹලාට කියන්නේ (මේ වරද නුඹලා පිට නොපවරන මෙන් මම දෙවියන් වහන්සේට යාඥා කරමි.) මා මහජනයා වෙනුවෙන් දිවි පුදන බවයි. ”

රජුගේ මරණය නිසා එංගලන්තයේ රාජකීයත්වයට ශුද්ධවන්ත භාවයක් ලැබිණි. රජෙක් නැති රට 1653 දක්වා පාලනය කිරීමට පියුරිටන් රදළයෝ “මහජන නියෝජිත” යන නාමයෙන් පෙනී සිටියෝ ය. 1649 මැයි මාසයේ දී ජාතියේ ශ්‍රේෂ්ඨ බලය නියෝජිත පාර්ලිමේන්තුවට පවරා ගත් ආකාරයේ නිවේදනයක් නිකුත් කෙරිණි. ඊට අත්සන් තබා තිබුණේ පාර්ලිමේන්තු මහලේකම් මහාකවි ජෝන් මිල්ටන් ය. අලුත් ආණ්ඩු ක්‍රමයක් සොයා ගැනීම සඳහා 1649 සිට දැරූ වෙහෙස 1653 අප්‍රේල් 20 වෙනදා කෙළවර කළේ ක්‍රොම්වෙල් ය. ක්‍රොම්වෙල් ඒ වන විට එංගලන්ත ජනරජයේ රාජ්‍ය ආරක්ෂකයා ලෙස පත්වීම් ලබා තිබුණි. නීති කෙටුම්පත් කරන පාර්ලිමේන්තුවේ විවාදයකට සවන් දෙමින් සිටි ක්‍රොම්වෙල් සිය හමුදාව පාර්ලිමේන්තුව තුළට කැඳවා සිය අසුණින් නැගී සිට “මෙය පාර්ලිමේන්තුවක් නොවේ”, “මෙතන පාර්ලිමේන්තුවක් නැත . මම ඔබගේ රැස්වීම අවසන් කරමි.” ප්‍රකාශ කොට සියලු මන්ත්‍රීවරුන් හමුදා බලය යොදවා නෙරපා දැමුණි. පාර්ලිමේන්තුවේ බල සංකේතය වූ සෙංකෝලය දැක “මේ කෙහෙල්මල් ආභරණයට කුමක් කරමු” දැයි ගුගුරා සෙබළෙකු අමතා “මෙය ඉවතට ගෙන යව” යැයි අණ කෙරිණි. එංගලන්තයේ නීත්‍යනුකූල බලය සඳහා පැවති ආයතනය ක්‍රොම්වෙල්ගේ හමුදා පාලනයට යටත් විය. එහෙත් රට පාලනය දුෂ්කර විය. මේ සියල්ලට ම මුල පිරුවේ එංගලන්තය තුළ කාර්මිකකරණය දියුණුවීමත්, ජාත්‍යන්තර කොල්ලකෑම් තුළින් විශාල ධනයක් ගලා ඒමෙන් වෙළෙඳ පන්තියක් බිහි වීමත්, ඊට පහසුකම් සලසන ආණ්ඩු ක්‍රමයක් නැති වීමත් නිසා ය. අවසාන විග්‍රයේ දී සිදු වූයේ වෙළඳ පන්තිය විසින් තමා ලද නිදහස භාවිත කරමින් රජු පාර්ලිමේන්තුවට යටත් කොට පාර්ලිමේන්තුව ද තමාට යටත් කොට ගැනීමයි.

යුරෝපා වැඩවසම් ගර්භාෂය තුළ මහාපරිමාණ කර්මාන්ත හා මහාපරිමාණ වෙළෙඳපොළක් බිහි විය. ඇමරිකාව සොයා දැන ගැනීමත් අප්‍රිකාවට යාමට මුහුදු මාර්ග සොයා දැනගැනීමත් පෙරදිග චීන හා ඉන්දීය වෙළෙඳපොළ අල්ලා ගැනීම හා යටත් විජිතකරණයත්, යුරෝපා වැඩවසම් සමාජයට විප්ලවීය පරිවර්තනයක් එකතු කළේ ය. ධනපති පන්තිය ආධිපත්‍යය ලබා ගැනීමත් සමග යුරෝපයේ සෑම තැනක ම රැඳී පැවති චාම් ගැමි ජීවිතත් පරමාදර්ශී සබඳතාවත් විනාශ විය. මිනිසෙකු හා මිනිසෙකු අතර ස්වාර්ථකාමය හැර වෙනත් කිසිදු සබඳකමක් ඉතිරි නොවීය. ආගමික හා දේශපාලන මායාවන්ගෙන් වසා තිබූ සූරාකෑම වෙනුවට විවෘත සූරාකෑම ආදේශ කළේ ය. ගරුත්වයට පාත්‍ර ව පැවති සියලු වෘත්තීන්ගේ රැස් කදම්භය ඉවත් කොට පූජකයා, වෛද්‍ය වරයා, නීතිවේදියා, විද්‍යා පර්යේෂකයා, තමනට සේවය කරන වැටුප් ශ්‍රමිකයින් බවට පත් කෙරිණි. ඒ සඳහා මහගු මෙහෙයක් පාර්ලිමේන්තුව විසින් ඉටු කරනු ලැබීය. අප කර තබාගෙන යන්නේ එම බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් තුළින් උපන් යටත්විජිතයන් සදාකල් සූරා කෑමට උපයෝගී කර ගැනිමට සකස් කළ යටත්විජිත පාර්මේන්තු සම්ප්‍රදාය යි. ඉතින් අප එය තවදුරටත් උසුලාගෙන යා යුතු ද?

එංගලන්තයේ නාමික රජුගේ දකුණුපසින් රජුට සෘජු පක්ෂපාතීත්වය දැක්වූ “ටෝරි” කණ්ඩායම ද, රජුට වම්පසින් රජුගේ ක්‍රියාකාරකම් විවේචනයට බඳුන් කොට අවසානයේ රජුට පක්ෂ වූ “විග්” කණ්ඩායම ද, පාර්ලිමේන්තුව නියෝජනය කළේ ය. දක්ෂිණාංශික හා වාමාංශික යන දේශපාලන ධාරාවන්ගේ උත්පත්තිය මෙය යි. එංගලනත්යට ලිඛිත ව්‍යවස්ථාවක් නැති වන්නට හේතුව රජු තිරයේ පසුපසට ගමන් කොට නැගී ආ ධනේශ්වර පන්තියට රජු තම ආශිර්වාදය පුද කොට රට පවත්වාගෙන යාමට රජුගේ මුද්‍රාව තබා ධනපති පන්තියට උදව් කිරීමයි. රජු අත්පත් කරගත් කප්පම නම් රජ පවුලේ වියදම පාර්ලිමේන්තුව හරහා ලබා ගැනීමයි. අද එය එංගලන්ත ජනතාවට ආඩම්බරයට කාරණාවක් වි තිබේ.

යටත්විජිත වුවමනාවන් සඳහා එංගලන්ත වෙළඳ පන්තිය දීර්ඝ අරගලයකින් පසු නිර්මාණය කළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය චාර්ල්ස් රජු මරණ මංචකයේ දී පැවසූ පරිදි ස්වාධීනත්වය හා නිදහස ඇතිවන්නේ මිනිසුන්ගේ ජීවිත හා දේපළ ඔවුන්ට ම අයත් දේවල් යැයි සලකන ආණ්ඩුවක් ඇති වූ දාට බව සිහියේ තබා ගෙන මෙම ව්‍යාජ වෙස්ට්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදයෙන් නිදහස් වූ දාට ය. ඒ සඳහා අපට අපේ ම වූ සභ්‍යත්වයෙන් මග පෙන්වන පොළොන්නරුව සම්ප්‍රදාය ඉවහල් කොට ගත හැක. රාජකීය හෝ ජනාධිපති නීතිඥයින්ගෙන් එවැනි ව්‍යවස්ථාවක් සම්පාදනය කළ නොහැක. ජනතාව ඒ සඳහා උගත් බුද්ධිමත් සුධීමතුන් සමග පෙරමුණට පැමිණිය යුතු ය.

සේනාරන්ත ද සිල්වා
nayomakusum@yahoo.com
සභාපති – පරපුරක උරුමය
07773761888



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More