රෝහණ විජේවීර නම් වූ ශ්‍රී ලංකාවේ දේශපාලන දේහයේ විශාලතම සලකුණ තැබූ මිනිසා ඔහුගේ දේශපාලන සතුරන් විසින් මිලේච්ඡ ලෙස ඝාතනය කොට වසර 31ක් ගෙවී ගොස් ඇත. එම කාලය තුළ ඔහුට ප්‍රේමකළ සහ වෛරකළ විවිධ පාර්ශ්ව බොහෝ දේ ඔහු ගැන ලියා ඇත. ඔහු ජීවිතය පුදා නිර්මාණය කළ සමාජ සන්නාමය, ජනතා විමුක්ති පෙරමුණ, කොටස් කිහිපයකට කැඩී වෙන්වී වෙනස් දේශපාලනය ස්ථාවරයන් මත සිටිමින් ඔහු සමරති. ඒ අතරින් යම් පිරිස් එදා ඔහුගේ දේශපාලන භූමිකාවට මග පෙන්වූ “අධිරාජ්‍යවිරෝධී අරගලය තුලින් සමාජවාදයට” නම් වූ උපායමාර්ගික ප්‍රවේශය හෙවත් න්‍යායාත්මක පදනම ප්‍රතික්ෂේප කරති. තවත් පිරිස් ඔහු විසින් පෙන්වූ මාර්ගයේ මග සලකුණු සොයමින් හෝ හඳුනාගැනීමට උත්සාහ කරමින් දුෂ්කර ගමනක යෙදී සිටින බව පෙනේ.
ජවිපෙන් බිඳී ගිය පාර්ශ්ව තම අතීත උරුමය හෙවත් විජේවීර භූමිකාව අමතක කිරීමට උත්සාහ කිරීම නිසා හෝ ඊට බියවීම නිසා ඔවුන්ගේ භාවිතාව තුල විජේවීර ලකුණ සොයා ගැනීම ඉතා දුෂ්කර ව්‍යායාමයකි. බොහෝ පිරිස් නොවැම්බර් 13 දින විජේවීරයන්ගේ ඡායාරූපයක් අබියස ඉටි පහන් දැල් වුවද ඔහුගේ දෑසට එබී බැලීමට බියවෙති. එම උත්සව වලදී බොහෝ විට තම අතීත භූමිකාවේ අයිතිය හෙවත් ඒ මගින් ශ්‍රී ලංකාවේ ඉරණම වෙනස් කළ ආකාරය පිළිබඳ කතාව හුවා දැක්වීමට හෝ එහි ගෞරවය නිහතමානීව භුක්ති විඳීමට ප්‍රමුඛතාවයක් හිමි වන්නේ නැත. අත්හරින ලද හෝ ප්‍රතික්ෂේප කළ භූමිකාවකට ගරු කරන්නේ කෙසේද? එසේ නැතහොත් ඔවුන් විජේවීර භූමිකාව අදාළ දේශපාලන සන්දර්භය තුළ කියවා ගැනීමට හෝ ඒ දෙස නිවැරදි න්‍යායාත්මක ඇසකින් බැලීමට අසමත් වී ඇති බව පිළිගැනීමට සිදු වේ. කෙසේවෙතත් යම් පිරිස් විජේවීර සැමරීම සඳහා එසේ ඉටි පහන් දැල්වූයේ නැතත් ඔහුට ගෞරව කරමින් වර්තමාන දේශපාලන වේදිකාව මත ඔහුගේ භූමිකාව අපැහැදිලි සෙවණැලි ලෙස හෝ පින්තාරු කිරීමට යම් අවංක උත්සාහයක් ගන්නා බවද දක්නට ඇත.
කෙසේ වෙතත් විජේවීරයන් තම භූමිකාව රඟදැක්වූ අධිරාජ්‍ය විරෝධී අරගල වේදිකාව හෙවත් ජාතික විමුක්ති සටන් බිම එදා සේම අදත් ප්‍රේක්ෂකයෝ හෙවත් ජනතාව ඉදිරිපිට මුහුණට මුහුණ දක්නට ලැබේ. අද එම වේදිකාවේ එදා පැවතී සැරසිළි, ආලෝකය හෝ ශබ්ද සහ පසුබිම් සංගීතය වෙනස් වී ඇතත් ඉතිහාසය විසින් ලියන ලද පිටපත් වෙනස් වී නැත. සමහරවිට දෙබස් පමණක් වෙනස් විය හැක. මෙම ලියුම්කරු මෙසේ පුද්ගලික අතීත ආවර්ජනයක් මගින් උත්සාහ කරන්නේ විජේවීරයන්ගේ භූමිකාව දෙසට යම් ආලෝකයක් විහිදුවීමට ය. ඒ මගින් එම භූමිකාව රඟදැක්වූ අසමසම පුද්ගල චරිතයට ගෞරව කිරීම ද අපේක්ෂා කෙfරේ. අප හදවත් තුළ එම ගෞරවය සදාකාලිකවම රිද්මගතව ඇත. නමුත් විජේවීර අධ්‍යාත්මය ස්පර්ෂ කිරීමට වාසනාව ලැබූවෙකු ලෙස ඔහුට සැබැවින්ම ගරු කළ හැක්කේ ඔහුගේ භූමිකාවට පණ දීමට ගනු ලබන අවංක උත්සාහයන් මගින් පමණක් බවද කිවයුතුය. මේ අතීත ආවර්ජනය ද එම උත්සාහයේ ම කොටසකි
එදා 1983දී ආරම්භ වූ අඳුරු යුගයේ දී සීතල කඳු මුදුනක පිහිටි පහසුකම් අඩු කුඩා නිවසක දී මේ ලියම්කරුට රෝහණ විජේවීරයන් නැවත මුණගැසුණි. ඒ ඔහු තම පක්ෂය තුළින් මෙන්ම බාහිර බුද්ධිමතුන්ගෙන්ද දෙමළ ඊළාම් අරගලය පිළිබඳ පැනනැගුනු මතවාදී ගැටුම් වලට පිළිතුරු දීම සඳහා ශාස්ත්‍රීය නිබන්ධනයක් ලියමින් සිටි අවදියේ ය. ඔහු එක් අතකින් තම හුරුබුහුටි කුඩා දියණිය තුරුලු කරගෙන අනිත් අතින් පොත්පත් සහ කොළ කැබලි පිරි මේසයක් මත නොනවත්වා ලියමින් සිටියේය. මරණය අනුකම්පා විරහිතව තමා පසුපස හඹා ඉද්දි හිත සන්සුන් කොටගෙන ධ්‍යානයට සමවදින ඒ අපූරු මිනිසා ට බාධා කරමින් ප්‍රශ්න ඇසීමට කෙනෙකුට සිතක් පහළ වෙන්නේ කෙසේද? නමුත් ප්‍රශ්න කිරීමකින් තොරව විටින් විට විවිධ දිනවල ඔහු දුන් නොදුන් පිළිතුරු සියල්ල උපායමාර්ගික ශාස්ත්‍රීය සංග්‍රහයක් ලෙස 1985 දී රහසිගතව එළිදැක්විනි.
දෙමළ ඊළාම් බෙදුම්වාදයට එරෙහිව ඔහුගේ දේශපාලන උපාය මාර්ගික දැක්ම සහිත එම ග්‍රන්ථයේ අත් පිටපත මුද්‍රණය සඳහා ගෙන යාමේදී අස්ථානගත විය. එහෙත් එම ග්‍රන්ථය අකුරක් නෑර නැවත මතකයෙන් ලිවීමට හැකි වීම සහ එතැන් සිට තවත් වසර පහකට ආසන්න කාලයක් ඔහුට තම ජීවිතය බේරා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාවේ වර්තමාන ඉරණම තීන්දු කළ ප්‍රධාන ඓතිහාසික සාධක දෙකකි. ඒ වනවිට දෙමළ ඊළාම් අරගලය පිළිබඳ පැවති සියලු මතවාදී ගැටළු ලිහා දමමින් ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් ජාතික මතවාදයක් මත දෙපයින් සිටුවීමට එම ශෘස්ත්‍රීය සංවාදයට හැකි විය.
බෙදුම්වාදී යුද්ධය යනු අධිරාජ්‍යවාදී කොල්ලකෑම දීර්ඝ කාලීනව පවත්වාගෙන යාම සඳහා භාවිතා වන උපායමාර්ගික දේශපාලන මෙහෙයුමක් බව රෝහණ විජේවීරයන් තහවුරු කළේය. යටත්විජිතවාදයේ දීර්ඝ කාලීන උපාය මාර්ගයක් වන බෙදා වෙන්කර පාලනය කිරීමේ කූඨප්රාප්තිය රට බෙදා වෙන් කිරීම බව ඉතා තර්කානුකූලව එම ග්‍රන්ථය මඟින් පැහැදිලි කළේය. කොටි තස්තවාදය යනු අධිරාජ්‍යවාදී කුලී හමුදාවක් බවත් දේශීය පාලකයින් කරන්නේ අධිරාජ්‍යවාදීන් තම මාර්ග සිතියමට අනුව අටවන උගුල් වලට පය තැබීම බවත් ඔහු තම සාමාජිකයාට පැහැදිලි කළේය. ඔහු තම ග්‍රන්ථය මගින් ඒ වන විට විශ්ව විද්‍යාල වල එන්ජීඕ ඒජන්තයින් විසින් නිර්මාණය කොට තිබූ මතවාදයන් වන ජනවාර්ගික අර්බුදය විසඳීම, දෙමළ ජනතාවට සුවිශේෂී වූ ගැටලුව විසඳීම, බලය බෙදීම හෙවත් දේශපාලන විසඳුමක් ලබාදීම ආදී වශයෙන් වන උගුල් මගහැර පය තැබීමට තම සාමාජිකයන්ට ඉගැන්විය. අධිරාජ්‍ය විරෝධී අරගලය හෙවත් ජාතික නිදහස දිනාගැනීමේ අරගලයේ මූලික සටන් බිම බෙදුම්වාදී දේශපාලනය සහ ඒ ආශ්රත යුද්ධය පරාජය කිරීම බව ඉතා පැහැදිලිව ඔප්පු කළේය. ඒ නිසා එදා “අධිරාජ්‍යවිරෝධී අරගලය තුලින් සමාජවාදයට” යනුවෙන් විජේවීරයන් තේරූ උපාය මාර්ගික ප්‍රවේශය ජ.වි.පෙ විසින් දැඩි ලෙස ග්‍රහණය කරගන්නේ බෙදුම්වාදීවිරෝධී මතවාදී අරගලය සහ ඒ ආශ්රත දේශපාලන ක්‍රියාකාරකම් ඔස්සේ ය.
පැරණි වමේ දේශපාලන පක්ෂ සහ බලවේග විජේවීරයන් තෝරා දුන් සමාජවාදය සඳහා වන උපාය මාර්ගික ප්‍රවේශය පිළිගත්තේ නැත. ඊට එරෙහිව ප්රතිතර්ක ඔවුන් ඉදිරිපත් නොකළ අතර තම ස්ථාවරයන් වෙනස් කර ගත්තේද නැත. ඔවුන් අධිරාජ්‍යවාදී මහා බලපෑම් නොසලකා හරිමින් අධිරාජ්‍යවාදී දේශීය ඒජන්තයින් ට එරෙහිව පමණක් පන්ති බලවේගය මෙහෙය විය. ඔවුන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය ජනවාර්ගික අර්බුදයක් ලෙස අර්ථගැන්විය. එපමනක් නොව ඔවුන්ගේ ඊනියා පන්ති සටන තුළ ලෝක බැංකුව වැනි අධිරාජ්‍යවාදී ඒජන්සි ආයතන සහ බහුජාතික සමාගම්වල මහා ක්‍රියාකාරීත්වය නොසලකා හරිමින් එම ආයතනවල නිවට කීකරු ගෝලයන් සේ ක්‍රියාකරන පාලක පන්තියට එරෙහිව පමණක් සටන් දියත් කළේය.
පැරණි වමේ බලවේග අධිරාජ්‍යවාදී ඛෙදුම්වාදී කුමන්ත්‍රණයට පක්ෂපාතී හෝ හිතවාදී ස්ථාවරයක සිටිනවාට අමතරව තම ඊනියා පංති සතුරන්වන අධිරාජ්‍යවාදී දේශීය ඒජන්තයින් වන පාලක පංතිය සමඟ ද එකට සිට ගන්නේ මේ පටලවා ගැනීම් නිසා ය. ඔවුන්ගේ උපාය මාර්ගික පටලැවිල්ලට ප්‍රධානම හේතුව මාක්ස්වාදී ඉගැන්වීම් දේශීය ආර්ථික, සංස්කෘතික, සමාජීය හා ඓතිහාසික සාධක වලට සාපේක්ෂව නිර්මාණශීලීව අර්ථකතනය කර ගැනීමට අපොහොසත්වීම බව ඉතා පැහැදිලිය. විජේවීර නැමති දේශප්‍රේමි මාක්ස්වාදියා ඔවුන්ගෙන් වෙනස් වන්නේ ඔහු ඒ මූලික ප්රශ්නය බේරා ගැනීමට නිර්මාණශීලී වීම නිසාය. එහිදී පංති සටන්, අධිරාජ්‍ය විරෝධී අරගලය හෙවත් එහි දුෂ්ඨ ප්රකාශනය වන දෙමළ බෙදුම්වාදයට එරෙහි අරගලයට යටත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සමත් විය. එසේ නැතහොත් පන්ති සටන මහා අධිරාජ්‍යවිරෝධි අරගලයේම කොටසක් මිස ඉන් වියුක්තව පවතින දෙයක් නොවන බව ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කළේ ය.
ඒ නිසා එම නිරවුල් උපායමාර්ගික ස්ථාවරයන් තුළ සියලු ජාතිකවාදී අධිරාජ්‍ය විරෝධී බලවේග සමඟ නිශ්චිත අරමුණක් යටතේ සන්ධානගත වීම එදා යුගයේ ප්‍රධාන දේශපාලන ක්‍රියාමාර්ගය හෙවත් උපායමාර්ගික තේරීම බවට පත්විය.එදා 1987දී ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව සිරිමාවෝ මැතිණිය, මහින්ද රාජපක්ෂ සහ දිනේෂ් ගුණවර්ධන වැනි නායකයින් සටනට කැඳවා ගන්නේ එම උපාය මාර්ගික ප්‍රවේශයට අනුවය. ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂයන් සහ ගෝඨාභය රාජපක්ෂයන් නන්දි්කඩලා කලපුවෙන් අවසන් කරන්නේ 87දී විජේවීරයන් සහ සිරිමාවෝ මැතිණිය පිටකොටුවේ බෝධිය අසලින් පටන්ගත් දේශපාලන යුද්ධය නොවේද? ඉන්පසුව 1988 දී ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ හරහා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග සන්ධානගත වීමට විජේවීරයන් නිර්භයව තීන්දු කරන්නේ එම උපායමාර්ගයටම අනුව ය. එම ක්‍රියාමාර්ගය හෝ උත්සාහය උපක්රමික ප්‍රවණතාවක් ලෙස පමණක් හැඳින්වීමට සමහරු උත්සාහ කලත් එය මූලික උපාය මාර්ගයට අදාළ ප්‍රධානතම උපක්රමික තීන්දුවක් බව පැහැදිලිය. එදා විවිධ පුද්ගල සාධක සහ සාකච්ඡා කියාවලිය තුළ සිදු වූ තාක්ෂණික දුර්වලතා නිසා එම සන්ධාන සාකච්ඡා බිඳ වැටුණු බව ප්‍රකාශ වුණත් ඇත්ත ඊට වඩා වෙනස් බව බොහෝ දෙනෙක් දන්නේ නැත. ඇත්ත වශයෙන්ම එදා ඒ සන්ධානය බිහි වීම වැළැක්වීමට මෑත කාලීනව ජනතා විමුක්ති පෙරමුණ තුළ විවිධ ගැටුම් නිර්මාණය කළ පිරිසට සමාන පිරිසක් එදා ද ක්‍රියාත්මක විය. එදා ශිෂ්‍ය මනසින් ක්‍රියා කළ යම් අතිධාවනකාරී නායකයන් පිරිසක් එම සාකච්ඡා කඩාකප්පල් කිරීමට ක්‍රියා කොට ඊට උපායික වරද නිවැරදි කිරීම නම් වූ ලේබලය ඇලවීය. නමුත් ඇත්ත වශයෙන්ම එදා ඒ සන්ධානය කඩාකප්පල්කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඉතා පැහැදිලිවම උපාය උපායමාර්ගික පටලවා ගැනීමකි.
කෙසේ වෙතත් එදා විජේවීරයන් දැඩි මතයක සිට කටයුතු කළේ නම් ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ විය යුතුව තිබුණි. එසේ නැත්හොත් අනෙක් පාර්ශවය දැඩි අරගලයක් තුළ යටත් කිරීම හෝ දිනා ගැනීම කළ හැකිව තිබුණි. නමුත් ඔහුට එදා තිබූ පක්ෂ තහනම සහ ඉතා බිහිසුණු මර්ධනය තුළ තම නායකත්ව පෞර්ෂයෙන් උපරිම ඵල නෙළා ගැනීමට නොහැකි විය. අවසානයේදී ජීවිත දහස් ගණනක් නිරපරාදේ බිලි දීමට සිදුවිය. එදා 1988 දී සිදුවූ ඒ වරද තවදුරටත් පැහැදිලි කරන්නේනම් එදා සිදුවූයේ “අධිරාජ්‍ය විරෝධී අරගලය තුලින් සමාජවාදයට” යන උපාය මාර්ගික ප්‍රවේශය තුළ අධිරාජ්‍යවාදයට එරෙහිව සියලු ජාතික බලවේග එකතු කරනවා වෙනුවට පන්ති බලවේගය හෙවත් පක්ෂ බලවේගය තනිව සටන්ට තල්ලූ කිරීම ය. ඊට අමතරව ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස යන දේශීය ධනපති නායකයින් ක්‍රියාකරන්නේ අධිරාජ්‍යවාදී නියෝජිතයන් ලෙස නොව හුදෙකලා ධනපති පාලකයන් හෙවත් හුදු පන්ති සතුරන් ලෙස පමණක් බව තේරුම් ගැනීම ද මේ පටලවා ගැනීමට හේතු විය. මෙය එක්තරා ආකාරයකට පක්ෂයේ යම් බලවේගයක් විජේවීරයන්ගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීමක් ලෙසද අර්ථ දැක්විය හැක.
එසේ වුවත් 1988 දී තීරණාත්මක කඩඉමක් වූ ජනාධිපතිවරණය වෙත පැමිණීමට පෙර 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමේ සිට ඒ දක්වා පැමිණි ගමන තුළ විජේවීරයන් පක්ෂය තුළ තම උපායමාර්ගික ප්‍රවේශය තහවුරු කිරීමට සමත්විය. එදා පුඵල් ජාතික බලවේග සමග සංවිධානාත්මකව සන්ධාන ගතවීමේ “පෙර ක්‍රියාවලිය” තුළ ඉහත සඳහන් කළ ආකාරයට ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සටනට කැඳවා ගැනීමට ඔහු සමත් විය. ඒ සුවිශේෂී සටන් එකතුව නිසා සමස්ත සමාජය තුළ බෙදුම්වාදී විරෝධී මතවාදී රැල්ලක් ගොඩනැගීමට ඔහුට හැකි විය. එහෙත් එය හරයෙන් පුළුල් අධිරාජ්‍යවිරෝධී ජනරැල්ලක් නොවූ බව අප පිළිගත යුතුය. කෙසේවෙතත් ජීවිත පරිත්‍යාගයෙන් ඉතා දැඩි ස්ථාවරයක සිට ඉන්දු ලංකා ගිවිසුමට සහ බලය බෙදීමේ ක්‍රියාවලියට විරුද්ධ වීම නිසා බෙදුම්වාදය නමැති අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකට එක් දශමයකින් හෝ යටත් නොවිය යුතුයි, ඉඩ නොදිය යුතුය යන ස්ථාවරය එදා විමුක්ති පෙරමුණේ ඇට මිදුළු තුළට කා වැද්දවීමට විජේවීරයන් සමත් විය. එදා ඔහු එසේ කිරීමට සමත් වූයේ නැතිනම් ජනතා විමුක්ති පෙරමුණ නැවත නැගීසිටීමේදී ඒ මනෝභාවය පක්ෂය තුළ දැඩි ලෙස වර්ධනය වන්නේ නැත.
එදා 1994දී ජවිපෙ නැවත නැගිටීමෙන් පසුව බෙදුම්වාදයට එරෙහිව දැඩි ස්ථාවරයක සිට ක්‍රියාත්මක නො වූවා නම් ශ්‍රී ලාංකික ජාතියට ජාත්‍යන්තර බෙදුම්වාදි න්‍යාය පත්‍රය පරාජය කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. නෝර්වේ රාජ්‍යය හරහා අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවට සහ සුඩානයට සකස් කරන්නේ 99%කින් එක හා සමාන මාර්ග සිතියමකි. එහිදී දක්නට ලැබෙන එකම වෙනස බටහිරයන් ශ්‍රී ලංකාව තුළ භේදය වැපිරවීමට යොදා ගන්නේ දෙමළ ජාතිවාදිය වුවත් සුඩානය තුළ ඒ සඳහා ක්‍රිස්තියානි ආගම්වාදය යොදා ගැනීම පමණි. කෙසේ වෙතත් ඒ මාර්ග සිතියම තුළ අද වන විට සුඩානය දෙකඩ වී ඇත. ඉන්පසු දිගින් දිගටම මරා ගැනීමට ඉඩ සැලසීම සහ සම්පත් කොල්ලය නව වටයකින් ආරම්භ වී ඇත. අද වන විට සුඩානය ඒ ආකාරයට බෙදුම්වාදයට ගොදුරු වුවත් ශ්‍රී ලංකාව බෙදාවෙන් කිරීමට නොහැකි වන්නේ මූලික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ නැමති සාධකය නිසාය. ඒ බව නෝර්වේජියානු ආධාර සංවිධානය විසින් “සාමයේ ඉත්තෝ” ඡඅබි ධf ඡැ්ජැ නමින් 2011 දී නිකුත් කළ පර්යේෂණ නිබන්ධනය මගින් පිළිගෙන ඇත. ජාතික බලවේගයේ විවිධ සුවිශේෂී මතවාදී නායකයින් (ආචාර්ය ගුණදාස අමරසේකර සහ නලින් ද සිල්වා වැනි බුද්ධිමතුන්) දෙමළ කොටි ත්‍රස්තවාදය මතවාදීව පරාජය කිරීම සඳහා දැවැන්ත බුද්ධිමය මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. එසේම හෙළ උරුමය වැනි දේශපාලන පක්ෂ සහ ඒවාට ගොනු වූ විවිධ ආගමික සංවිධාන සහ පුද්ගල චරිත ද ඒ දිශාවට සැළකිය යුතු භූමිකාවක් ඉටු කලේ ය. එහෙත් ඒ සියළු බලවේග ප්‍රායෝගිකව සටන් බිමේදී එක් දිශාවකට මෙහෙයවීම සඳහා මහා භූමිකාව ඉටු කළේ ජනතා විමුක්ති පෙරමුණ බවට සමාජය තුළ විවාදයක් නැත.
ඒ සුඩාන – ශ්‍රී ලංකා මාර්ග සිතියම ප්‍රධාන සන්ධිස්ථානයක් වූ “චන්ද්‍රිකා පැකේජය” පරාජය කළ හැකි වන්නේ බලය බෙදීම රට බෙදීමේ ආරම්භය ලෙස ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය මතවාදී මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසය. ඉන්පසු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් සටන් විරාම ගිවිසුම සහ තාවකාලික ආණ්ඩුව නැමති බෙදුම්වාදී මාර්ග සිතියමේ ඊළඟ අවදි වලට ජාතිය දක්කාගෙනයාම නැවැත්වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. එසේ කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ සන්ධානගත වී එජාපය පරාජය කිරීමට තරම් දියුණු මනසක් ඇති කර ගැනීම තුලිනි. ඒ සඳහා එදා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හරහා පුළුල් ජාතික බලවේග එක මිටකට එකතු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සමත්විය. ඒ සියල්ල ජනතා විමුක්ති පෙරමුණට කළ හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ නැවත නැගිටීමෙන් පසුව විජේවීර උරුමය මත ශක්තිමත්ව දෙපා තබාගෙන සිටි බැවිනි.
එදා චන්ද්‍රිකා රජයේ ඇමතිකකම් දැරූ ජනතා විමුක්ති පෙරමුණ සුඩාන – ශ්‍රී ලංකා න්‍යාය පත්‍රයේ තවත් ප්‍රධාන සන්ධිස්ථානයක් වූ සුනාමි සහන මණ්ඩලයට විරුද්ධව තම ඇමතිකම් අත්හැරීමට ධෛර්යවත් වන්නෙත් ඒ උපායමාර්ගික ස්ථාවරය නිසාය. ඉන්පසු 2005 ඓතිහාසික ජනවරම නිර්මාණය කොට මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂයන්ගේ නායකත්වයෙන් යුද්ධය ජයග්‍රහණය කිරීමට මහා දායකත්වය සපයන්නේද එම ස්ථාවරය නිසාය. අවසානයේ සුඩානයට අත් වූ ඛේදජනක ඉරණම ශ්‍රී ලංකාවට අත් නොවන්නේ ජනතා විමුක්ති පෙරමුණ සිදු කළ සමස්ත දේශපාලන භූමිකාව තුළ ය. එහිදී මහා ජාතික බලවේග තුල නියෝජනය වූ සෙසු ජාතිකවාදී බලවේග අවතක්සේරු කිරීමක් මෙයින් අදහස් නොකෙරේ. මෙහිදී අවධාරණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛතම සහ නිර්මාණාත්මක භූමිකාව ඉටු කළ බව පමණි. ඒ සියල්ල එසේ නොවූයේ නම් අද ශ්‍රී ලාංකික ජාතිය කිලෝ මීටර් 275 දේශසීමාවේ දෙපස සිට මරාගන්නා අවාසනාවන්ත ජාතියකි.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...