1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ලෝකය කඳවුරු දෙකකට බෙදුණු අතර, සෝවියට් දේශයේ නායකත්‍වයෙන් සමාජවාදී කඳවුරත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ එකතුවෙන් ධනවාදී කඳවුරත් බිහිවූයේය. 1991 දෙසැම්බරයේ, සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳ වැටෙන තෙක්ම, දශක හතරකට වැඩි කාලයක් තිස්සේ මෙම කඳවුරු දෙක අතර විවිධ ක්‍ෂේත‍්‍ර යටතේ තියුණු තරගයක් පැවතියේය. ඒ ඒ ක්‍ෂේත‍්‍රවල එකිනෙකා පරදවා ඉදිරියට යාමේ තරගයක් පැවතියේය. ඊට සමගාමීව, ප‍්‍රබල ප‍්‍රචාරණ තරගයක් ද පැවති අතර, එම සටන සීතල යුද්ධය, නිරවි යුද්ධය, වාග් සංග‍්‍රාමය යනාදී නම්වලින් හඳුන්වනු ලැබූවේය. මෙම සීතල යුද්ධය මැද, අභ්‍යාවකාශයේ ආධිපත්‍යය ඉලක්ක කරගෙන ද සෝවියට් දේශය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර තියුණු සටනක් පැවති අතර, එය අභ්‍යාවකාශ තරඟය නමින් ප‍්‍රසිද්ධ වූයේය.
1957 ඔක්තෝබර් 4 දින, මානව ඉතිහාසයේ පළමු වතාවට චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශගත කිරීමට සෝවියට් දේශය සමත්වීම ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර කඳවුරට එල්ල කළ අතුල් පහරක් වූ අතර, ඉන් අනතුරුව අභ්‍යාවකාශ තරණයේ සුවිශේෂී ජයග‍්‍රහණ රාශියක් අත්පත් කරගනිමින් අභ්‍යාවකාශයේ පූර්ණ ආධිපත්‍යය තමන් නතුකර ගැනීමට සෝවියට් දේශය සමත් වූයේය. අභ්‍යාවකාශගත වූ පළමු මිනිසා හැටියට සෝවියට් ගගනගාමී යූරි ඇලෙක්සියේවිච් ගගාරින් 1961 අපේ‍්‍රල් 12 දින අභ්‍යාවකාශයට යාම, පළමු කාන්තාව ලෙස වැලන්තීනා තෙරෂ්කෝවා 1963 ජූනි 16 දින අභ්‍යාවකාශයට යාම, මෙම තරගයේදී සෝවියට් දේශය ලැබූ විශේෂ ජයග‍්‍රහණ වන්නේය. එමෙන්ම, 1965 මාර්තු 18 දින, ”වස්හෝද්-2” නමැති සෝවියට් අභ්‍යාවකාශ යානයේ සිටි ගගනගාමියෙකු වූ ඇලෙක්සේයි ලියෝනොව් යානයෙන් එළියට පැමිණ මිනිත්තු 12ක කාලයක් අහ්‍යාවකාශයේ සැරිසරමින්, අභ්‍යාවකාශයේ සැරිසැරූ ප‍්‍රථම පුද්ගලයා බවට පත්වෙමින් වාර්තා පොත්වලට එකතු වූයේය. ඉන් අනතුරුව, මෙම අභ්‍යාවකාශ තරගයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 1969 ජූලි 20 දින ඇමෙරිකානු ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තබමින් මුල් වරට සඳ තරණය කිරීමේ ගෞරවය ඇමෙරිකා එක්සත් ජනපදයට ලබා දුන්නේය.
බටහිර මාධ්‍ය කවරාකාරයෙන් අර්ථ නිරූපණය කළද, සීතල යුද්ධ සමයේ සෝවියට් සමූහාණ්ඩු සංගමය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර පැවති අභ්‍යාවකාශ තරඟයේ වැඩි ගෞරවය හිමිවිය යුත්තේ සෝවියට් දේශයටය. ඉහත කී පරිදි, සෝවියට් දේශය අවස්ථා ගණනාවකදී ම අභ්‍යාවකාශ තරණයේ පළමු ස්ථානයට පත්වූයේය. සෝවියට් විද්‍යාව හා තාක්‍ෂණය, දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ලැබූ සීඝ‍්‍ර දියුණුව මෙම ජයග‍්‍රහණවලට හේතු වූයේය. ඇමෙරිකානු නිව්ස්වීක් සඟරාව වරක් පවසා තිබුණු පරිදි, 80 දශකයේ ආරම්භය වන විට, අභ්‍යාවකාශ තාක්‍ෂණය අතින් ඇමෙරිකාව සෝවියට් සමූහාණ්ඩු සංගමයට වඩා වසර 15කින් පමණ පසුපසින් සිටියේය. අනෙක් අතට, සෝවියට් දේශය හා ඇමෙරිකාව අතර දශක කිහිපයක් තිස්සේ පැවති මෙම අභ්‍යාවකාශ තරඟය විද්‍යාවේ හා තාක්‍ෂණයේ දියුණුවට ධනාත්මක බලපෑමක් ඇතිකළ බව ද බැහැර කළ නොහැකිය. අභ්‍යාවකාශ තරණයේ සුවිසල් ජයග‍්‍රහණ හේතුවෙන් විද්‍යාවේ හා තාක්‍ෂණයේ දැවැන්ත දියුණුවක් සිදුවූ බව ද බැහැර කළ නොහැකිය.
අභ්‍යාවකාශයේ ආධිපත්‍යය ඉලක්ක කරගෙන සෝවියට් දේශය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර පැවති තරඟය මේ අවස්ථාවේ අපගේ මතකයට නැගුණේ, මේ දිනවල ද ලෝකයේ බලවත් රටවල් අතර ඒ හා සමාන තරඟයක් ඇති වී තිබෙන නිසාය. එනම්, කොවිඞ්-19 වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සඳහා ලෝකයේ බලවත් රටවල් කිහිපයක් ම තියුණු තරඟයක යෙදී සිටින නිසාය. මෑත කාලයේ මානව වර්ගයා මුහුණ දුන් දරුණුතම වසංගතයට පිළියමක් ලෙස එන්නතක් සොයාගත් පළමු රට බවට පත්වීමට ලෝකයේ බලවත් රටවල් කිහිපයක් ම උත්සාහ දරමින් සිටින නිසාය. ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන ආකාරයට, මේ වන විට ලෝකයේ විවිධ රටවල පර්යේෂණ කණ්ඩායම් 187ක් කොරෝනා එන්නතක් නිර්මාණය කිරීමේ පර්යේෂණවල නිරතව සිටිති. ඒ අතුරින් කණ්ඩායම් 38ක් තුන්වැනි අදියරට, එනම් මිනිස් සිරුරට එන්නත් කොට පරීක්‍ෂා කිරීමේ අදියරට පිවිස සිටිති. ඒ අතුරින්ද, එන්නත් තුන හතරක් තුන්වැනි අදියරේදී 90%-95% අතර සාර්ථකත්‍වයක් පෙන්නුම් කොට ඇත්තේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප‍්‍රධානතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ”ෆයිසර්” ආයතනය, ජර්මනියේ ”බයෝඑන්ටෙක්”සමාගම හා එක්ව නිෂ්පාදනය කොට ඇති එන්නත, තුන්වැනි අදියරේ සායනික පර්යේෂණවලදී ඉහළ සාර්ථකත්‍වයක් පෙන්නුම් කොට ඇති බව වාර්තා වන්නේය. ලෝකයේ විවිධ රටවලින් ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වන 44,000ක පමණ පිරිසක් සහභාගී කරගෙන තුන්වැනි අදියරේ පර්යේෂණ පැවැත්වෙන බව පවසන මෙම සමාගම් නියෝජිතයෝ, යම් හෙයකින් මෙම වසර තුළ අනුමැතිය ලැබුණහොත්, 2021 වසර තුළදී එන්නත් බිලියනයකට වැඩි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි යැයි පවසති. එමෙන්ම, තවත් ඇමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ”මොඩර්නා” සමාගම අත්හදා බලන කොවිඞ් එන්නත ද තුන්වැනි අදියරේදී 95%ක සාර්ථකත්‍වයක් පෙන්නුම් කොට ඇති බව වාර්තා වන්නේය. මොඩර්නා එන්නත ද 30,000 කට වැඩි පිරිසක් සහභාගී කරවාගෙන පර්යේෂණ පවත්වා ඇති බව වාර්තා වන්නේය. ෆයිසර් හා මොඩර්නා සමාගම් දෙක ම සිය එන්නත්වලට අවසර ලබාගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය වෙත ළඟදී ම අයදුම්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ හැරුණු කොට, එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් ද ”ඇස්ට‍්‍රා-සෙනේකා” නමැති ඖෂධ සමාගම හා ඒකාබද්ධව කොවිඞ් එන්නතක් නිර්මාණය කිරීමේ කටයුත්තෙහි නිරතව සිටින අතර, එම එන්නත ද තුන්වැනි අදියරේ පර්යේෂණවලදී 90%කට වැඩි සාර්ථකත්‍වයක් පෙන්නුම් කොට ඇති බව වාර්තා වන්නේය. කොවිඞ්-19 වෛරසය මුලින් ම මතු වූ රට හැටියට සැලකෙන චීනයේ ද එන්නතක් නිපදවීමේ පර්යේෂණ කටයුතු සිදුවෙමින් පවතින අතර, චීන එන්නත හඳුන්වනු ලබන්නේ ”කොරෝනාවැක්” නමිනි. මෙම එන්නත ද තුන්වැනි අදියරේ පර්යේෂණවලදී ඉහළ සාර්ථකත්‍වයක් පෙන්නුම් කොට තිබෙනාතර, හදිසි අවස්ථාවකදී එන්නත භාවිත කිරීමට චීන රජය දැනටමත් අවසර ලබාදී ඇත්තේය.
මේ අතර, කොරෝනා එන්නත ලියාපදිංචි කරගැනීම සඳහා මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලූම් කර ඇත්තේ රුසියාව පමණය. රුසියානු කොරෝනා එන්නත හඳුන්වනු ලබන්නේ, පළමු වරට අභ්‍යාවකාශගත කරනු ලැබූ සෝවියට් චන්ද්‍රිකාවේ නමින්මය. එනම්, ”ස්පුට්නික්” නමින්ය. (ස්පුට්නික් යන රුසියානු වදනින්, චන්ද්‍රිකාව හා උප ග‍්‍රහයා යන තේරුම් දෙක ම ගම්‍ය වන්නේය). වත්මන් කොරෝනා එන්නත් තරඟය, සීතල යුද්ධ සමයේ පැවති අභ්‍යාවකාශ තරඟය මතකයට නංවන බව අප ඉහත සඳහන් කළේ ඒ නිසාමය. පසුගිය අගෝස්තු මාසයේදී, සිය එන්නතේ සාර්ථකභාවය ගැන රුසියාව නිවේදනය කළ විට ඇතැම් බටහිර මාධ්‍ය එය සමච්චලයට ලක්කලද, ස්පුට්නික් එන්නතේ තෙවෙනි අදියරේ සාර්ථකත්‍වය 90%ට වඩා වැඩි බව වාර්තා වන්නේය. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000කට වැඩි පිරිසකට එන්නතේ දෙවෙනි මාත‍්‍රාව ද ලබාදී ඇති අතර, ඒ කිසිවෙකු ගෙන් අතුරු ආබාධ වාර්තා වී නැත්තේය. රුසියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නත අතිශයින් සාර්ථක වී ඇති බව, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එම්.ඞී. ළමාවංශ මහතා ද පසුගියදා මෙරට මාධ්‍ය වෙත පවසා තිබුණේය.
ස්පුට්නික් එන්නතේ පර්යේෂණ කටයුතු සඳහා මූල්‍ය දායකත්‍වය සපයන රුසියානු සෘජු ආයෝජන අරමුදලේ ප‍්‍රධාන විධායක නිලධාරී කිරිල් දිමිත‍්‍රීයෙව් මහතා පවසන පරිදි, මෙම වසර අවසාන වීමට පෙරාතුව එන්නත් මාත‍්‍රා මිලියන 5ක් පමණ නිෂ්පාදනය කිරීමට රුසියාව දැනටමත් සැලසුම් කර ඇත්තේය. තවද, කිරිල් දිමිත‍්‍රීයෙව්ගේ ඇගයීම්වලට අනුව, කොරෝනා එන්නත සඳහා ලෝක ඖෂධ වෙළඳපොලේ ඉල්ලූම එන්නත් බිලියන 3-5 අතර විය හැකි අතර, ඉන් තුනෙන් එකක පමණ ප‍්‍රමාණයක් සැපයීමට රුසියාව අපේක්‍ෂාවෙන් සිටින්නේය. මේ අතර, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව සහ බ‍්‍රසීලය යන රටවල් ස්පුට්නික් එන්නත තම රටෙහිදී ම නිපදවීමට රුසියාව සමඟ ගිවිසුම්වලට එළඹෙමින් සිටින්නේය.
මේ අනුව බලනා විට, කොරෝනා වසංගතය මැඬලීම සඳහා සාර්ථක එන්නතක් නිෂ්පාදනය කිරීමෙන් අදාළ රටේ කීර්තිනාමය ඉහළ නැංවෙනවා පමණක් නොව, එය විශාල ආදායම් මාර්ගයක් බවට ද පත්වනු ඇත්තේය. කොරෝනා එන්නතේ ජාත්‍යන්තර වෙළඳපොල අගය ඩොලර් බිලියන 50-100 අතර විය හැකි බවට අනාවැකි පළවන්නේය. අනෙක් අතට, කොරෝනා එන්නත් තරඟයෙන් කවුරු දිනුවද, එබඳු එන්නතකින් පොදුවේ සමස්ත මානව වර්ගයාට ම මහත් සෙතක් අත්වනු නොඅනුමානය. මේ වන විට වසරකට වැඩි කාලයක් තිස්සේ මෙම දරුණු වසංගතය හමුවේ අන්ත අසරණ වී සිටින මුළු මහත් මානව වර්ගයාට ම, සාර්ථක කොරෝනා එන්නතකින් සුවිසල් සහනයක් අත්වනු නොඅනුමානය. මේ අතර, දියුණු වෙමින් පවතින, නැතහොත් සාපේක්‍ෂ වශයෙන් දුප්පත් රටවලට ද ආසාධාරණයක් නොවන පරිද්දෙන්, කොරෝනා එන්නත ලෝ පුරා බෙදා හැරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් සකස් කොට ඇත්තේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වී ඇත්තේ, පළමු වටයේදී සෑම රටක ම ජනගහණයෙන් 20% කට එන්නත ලබාදිය යුතු බවය. මෙහිදී, ලෝක සෞඛ්‍ය සංවිධානය අදාළ රටවලින් ඉල්ලා සිටින්නේ එම ප්‍රමාණයෙන්, 15%ක් සෞඛ්‍ය අංශ වෙනුවෙන් ද, 35%ක් වැඩිහිටි පුරවැසියන් වෙනුවෙන් ද, ඉතිරි 50% නිදන්ගත රෝගවලින් පෙළෙන උදවිය සඳහා ද වෙන්කරන ලෙසය.
මෙයාකාරයට, සාර්ථක කොරෝනා එන්නතක් පිළිබඳ සුබ පෙරනිමිති පහළවෙමින් තිබුණද, අඩුම තරමින් තව මාස කිහිපයක් ගතවනතුරු මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් තවදුරටත් දැඩි ලෙස පිළිපැදිය යුතුව ඇතැයි ලෝ පුරා සෞඛ්‍ය විශේෂඥයෝ අවධාරණය කරති. ලබන වසරේ පළමු හෝ දෙවන කාර්තුව තුළ යම් එන්නත් ප‍්‍රමාණයක් ලැබුණද, එය බොහෝ රටවල මුළු ජනගහණයට තබා කොරෝනා ආසාදිතයන් සියලූ දෙනාට ම හෝ ප‍්‍රමාණවත් නොවීමට ඉඩ ඇත්තේය. තවද, මුල් අවස්ථවේදී එන්නතේ මිල තරමක් අධික විය හැකි බැවින්, ශ්‍රී ලංකාව වැනි ඌණ සංවර්ධිත රටවලට එය මිලදීගැනීමේ හැකියාව අඩු විය හැකිය. කොරෝනා එන්නත් මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට මූල්‍යාධාර සැපයීමට ලෝක බැංකුව දැනටමත් එකඟතාවය පළකර තිබීම සතුටට කරුණක් වුවද, ලබන වසරේ ලැබීමට ඉඩ ඇති එන්නතක් ගැන බලාපොරොත්තුවෙන්, අද රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය කිසිසේත් ම සැහැල්ලූවට නොගතයුතු වන්නේය. ලබන වසරේ සාර්ථක එන්නතක් අපට ලැබුණද, තව මාස ගණනාවක් කොරෝනා සමඟ ජීවත්වීමට සිදුවන බව අප අමතක නොකළයුතු වන්නේය. මෙතෙක් අනුගමනය කළ ප‍්‍රධාන සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් වන මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය රැුකගැනීම, නිතර දෑත් සේදීම වැනි කරුණුවලට අමතරව, සෞඛ්‍ය අංශ ලබාදෙන සියලූ උපදෙස් පිළිපදිමින් කොරෝනාවෙන් බේරී සිටීමට අප සැවොම අදිටන් කරගත යුතුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...