පුරවැසි කොලම

ඇත කටුගෙයි හිස් කබලක්
ලබමින් නෙක ගරු බුහුමන්
අසන්නෙමි මෙසේ පැනයක්
එම්බා හිස්කබල, කැප්පෙටිපොල මොණරවිල
කුමක් සඳහා මෙහි සිටින්නෙහිද
එරෙහි ව අයුක්තියට
එරෙහි ව අසාධාරණයට
එරෙහි ව පීඩනයට
ගසන්නට කැරලි
මිනිසා සතු අයිතිය
කියාපාන්නට සිටින්නෙමිය මම මෙහි

1975 මුල භාගයේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව තමාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන්නට පෙර ජනතා විමුක්ති පෙරමුණේ අනුත්තර නායක රෝහණ විජේවීර සහෝදරයා ගෙතූ කවි වැලක්, ඉහත දැක්වූයේ. කන්ද උඩරට ඉංග්‍රීසීන් උපායෙන් අල්ලාගත් පසු ඉංග්‍රීසීන්ට හිතවත් පක්ෂපාතීත්වයක් දැක්වූ රදළ නායකයන් අතර කැප්පෙටිපොළ මොණරවිල ද අයෙක්. ඉංග්‍රීසීන්ගෙන් ඌව පලාතේ දිසාපති පදවියට පත් කැප්පෙටිපොල, ඇහැලේපොළ නිලමේගේ මස්සිනා යි. යුරෝපීයයන් හා ආශ්‍රය කිරීමේ දී උඩරට අන් ප්‍රධානීන්ට වඩා අවංක හා ප්‍රියශීලී කෙනෙක්. විජේවීර සහෝදරයා 1989 නොවැම්බර් 13 වැනිදා මරා දැමුව දිනය සේ ම කැප්පෙටිපොළ මහනිලමේට මරණ දඬුවම නියම කරන ලද්දේ ද 1818 වර්ෂයේ නොවැම්බර් 13 වැනිදා යි. කැප්පෙටිපොළ, ඉංග්‍රීසීන්ට එරෙහි පළමු වෙඩිමුරය එල්ල කළ අතර එංගලන්තයේ මහරජුට අවසාන වෙඩිමුරයක් එල්ල කළ නායකයා හැටියට රෝහණ විජේවීර ඉතිහාසගත වී අවසන්. විජේවීර සහෝදරයා පිළිබඳ නොවැම්බර් 13 වැනිදා සටහනක් තැබූ පසු කැප්පෙටිපොළ විරුවා ගැනත් සටහනක් තැබිය යුතු යැයි මම කල්පනා කළා. මක්නිසාද යත් හරයෙන් මේ මරණ දෙක ම සමානයි. කැප්පෙටිපොළ යනු බටහිර දෘෂ්ටිවාදයට අනුගත නොවුන සිය භූමියේ උරුමය රැකගැනීම සඳහා පෙර පැවති නිදහස රැකගැනීම වෙනුවෙන් අභීත ව දිවි පුදා හළ කෙනෙක්. විජේවීර බටහිර සම්භාව්‍ය දෘෂ්ටිවාදයට අනුගත වූ එහෙත් සිය භූමියේ සුජාත උරුමය වෙනුවෙන් නව ලෝකයක් පතා දිවි පුදා හළ කෙනෙක්. දෙදෙනා ම මාතෘභූමියට අසීමිත ව ආදරය කළ දෙදෙනෙක්. සියවස් දෙකකට වැඩි කලක් මේ ජීවිත පරිත්‍යාග අතර කාලය ගෙවී ගියත් දෙදෙනාගේ ම අරමුණු ජයග්‍රහණය කරගන්න බැරි වුණා. තවමත් එහෙමමයි. ඒ වීරත්වය අන් කවරදාටත් වැඩියෙන් සිහිපත් කළ යුතු කාලයක අපි ඉන්නේ. මොකද අලුත් සතුරන් අපේ දේ ගේ දොරකඩ ඉන්න නිසා.

කැප්පෙටිපොළ ගැන අපට විශිෂ්ට ලෙස වාර්තා කොට තැබූ ලේඛකයා ස්කොට්ලන්ත ජාතික හෙන්රි මාෂල්. ඔහු ඉංග්‍රීසි හමුදාවේ වෛද්‍යවරයෙක්. 1818 නොවැම්බර් 13 වැනිදා ඉඳලා කැප්පෙටිපොළ මරා දැමුණු නොවැම්බර් 25 (ඒත් ලංකාවේ කැප්පෙටිපොළ සමරු දිනය නොවැම්බර් 26) වෙනකම් ඔහු බලන්න හිර කොට තැබූ මැදිරියට කීප දිනක් ම ගිය කෙනෙක්. කැප්පෙටිපොල මරණයට මුහුණ දෙන හැටි බලන්න වධක භූමියට එන්න කියලා කැප්පෙටිපොළගෙන් ආරාධනා ලැබුණත් කැප්පෙටිපොළ නිලමේතුමාගේ වීර හැසිරීම නිසා ම වධක භූමියට යෑම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයා හෙන්රි මාෂල්. ඔහු තමයි අපේ වීරයා ගැන ඉතාමත් හැඟුම්බර කරුණු වාර්තා කළේ. 1808 ඉඳලා ඔහු ලංකාවේ ජීවත් වෙලා තියෙනවා. උඩරට ආක්‍රමණයට 1814 දෙසැම්බර් මාසේ රැස් කරපු යුද්ධ සේනාවෙ උප ශල්‍ය වෛද්‍යවරයා හැටියට කටයුතු කළා. 1816 – 1821 වෙනකම් ශල්‍ය වෛද්‍ය අධිකාරි දෙසත් උඩරට පළාත්වල ජේෂ්ඨ වෛද්‍යවරයා ලෙසත් කටයුතු කළා.
ඔහුට අනුව කැප්පෙටිපොල නිලමේතුමා වගේ වීරයෙක් වාර්තා වෙන්නේ ස්කොට්ලන්තයෙන් 13 වැනි සියවසේ අග භාගයේ දී. එංගලන්තයේ පළමුවන එඞ්වඞ් රජු ස්කොට්ලන්තය සිය ආධිපත්‍යයට යටත් කොට ගත්තා. රටවැසියෝ නින්දා සහගත යටත් වීමකට වඩා උදාර වූත් එහෙත් අති දුෂ්කර යුද්ධයක් යහපත් යැයි සැලකුවා. ඉංග්‍රීසීන්ට එරෙහි ව ස්කොට් වැසියෝ රංචු පිටින් සංවිධානය වී කැලෑ වැදුණා. දීර්ඝ කාලයක් කැලෑ යුද්ධයෙහි යෙදුන ස්කොට් වැසියන්ගේ පිළිගත් නායකයා වුණේ විලියම් වොලස්. ස්කොට්ලන්තයට යවන ලද එංගලන්ත සේනාවට විරුද්ධව උදාර සටනක් කළ විලියම් වොලස්ගේ බිරිඳව ලක්නාර් කෝරලයේ ඉංග්‍රීසි නිලධාරි තැනගේ නියමයෙන් ම්ලේච්ඡ ලෙස මරා දැමුවා. රටවාසීන් කීප දෙනෙක් අවසානයේ දී අරගලය පාවා දුන්නා. විලියම් වොලස් ව ලන්ඩන් නගරයට ගෙනල්ලා වෙස්මිනිස්ටර් හි දී ඔහුට චෝදනා ගොනු කළා. ඔහුට විරුද්ධ ව චෝදනාව වූයේ රාජද්‍රෝහීත්වයයි. අනික නගර වලට හා මාලිගා වලට පහර දීමයි. මාලිගාවලට හා නගරවලට පහර දීම ඔහු බාර ගත්තා. ඔහු “කිසිලෙසකින්වත් මම ද්‍රෝහියෙක් නොවෙමි” යයි උදාර ලෙස පැවසුවා. වැරදිකරුවකු බවට පත් කළ වොලස් 1305 අගෝස්තු 23 වෙනිදා අශ්වයන්ගේ වල්ගාවල බැඳ වධකස්ථානයට ඇදගෙන විත් එල්ලා ප්‍රාණය නිරුද්ධ වීමට ප්‍රථම බඩ පලා බඩවැල් එළියට ගෙන ඔහු ගේ ඇස් ඉදිරිපිටදී ම පුළුස්සා සිරුර කොටස් 4 කට කපා දකුණු අත නිව් කාසල් නුවර ද වම් අත බර්පින් නුවර ද දැම්මා.

ශ්‍රීමත් හෙන්රි මාෂල්ගේ නිගමනයට අනුව කැප්පෙටිපොළ මොණරවිල මහනිලමේ ද එවන් උදාරත්වයක් මරණ මංචකයේ දී ප්‍රදර්ශනය කළ වීරයෙක්. විජේවීරත් එහෙමයි. මරණය වැළඳ ගත්තෙ උදාර විදිහට. ඒ වීරයන්ගේ හැටි. කොයි රටක උපන්නත් විරයා එහෙමයි. වියට්නාමයේ වෑන් ටෝයි, ඉන්දියාවේ භගත් සිං වගේ අය. ගොඩක් වීරයෝ ලංකාවෙත් මරු දුටුවා වීරයෝ වගේ. 1818 නොවැම්බර් යුද්ධාධිකරණයට පමුණුවන ලද මඩුගල්ල හා කැප්පෙටිපොළ දෙදෙනාට ම එල්ල වූයේ එක ම චෝදනාව. වංචාවෙන් අත්පත් කරගත්තත් නීත්‍යනුකූල එංගලන්තයේ මහරජාණන්ගේ රජය පෙරලීම සඳහා යුද්ධ කිරීම තමයි චෝදනාව. කරුණු දෙකක් සම්බන්ධයෙන් ඔහු වරද භාර ගත්තා. ඒ තමා ම සකස් කරගත් චෝදනා පත්‍රයක් උඩ. එකක් තමයි 1818 සැප්තැම්බර් 20 වැනිදාට පෙර යුද්ධායුධ භාරදී යටත් වෙන්න කියද්දී යටත් නොවුණු එක. දෙවැන්න තමයි ව්‍යාජ රජුගෙන් පළමු අදිකාරම් පදවිය ගැනීම. වංචාවෙන් රවටා ගත් මහරජුගේ රජය පොරොන්දු කඩ කරන විට ඊට එරෙහි ව ජනතාවට නැගී සිටීමට තියන අයිතිය ඔහු යුද්ධාධිකරණයේ දී හඬ නගා කිව්වා. ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළා. ඉංග්‍රීසින්ගේ සාහසික ක්‍රියා වලට ඔහුගේ ප්‍රකාශය දරුණු විදිහට බලපෑවා. ඉංග්‍රීසි උගතුන් තමන්ගේ සාපරාධී ඉතිහාසය ගවේෂණයක යෙදුනා.

බදුලු පළාත ඉතා සමෘද්ධිමත් සමයක බදුල්ල අවට පෙදෙස් වල ඵල දරණ ගස් හා ධාන්‍ය විනාශ කිරීම සම්බන්ධයෙන් කර්නල් කැම්බල් මෙහෙම කිව්වා. පොල් ගස් හා වෙනත් ඵල දරණ ගස් විනාශ කිරීම, ඇළවේලි කඩා දැමීම, කුඹුරු පාළු කිරීම, වැව් බැමි විනාශ කිරීම, තමාට විරෝධය පෑ යෝක්ෂයර් නොදම්බර්ලන්ඞ් කෝරළ වල වැසියන්ට ජයග්‍රාහක විලියම් කළ දේ සමානයි කියලා. කඩුවෙන් හා ගින්නෙන් හුදකලා භාවයට පත් කළ විලියම් මිනිසුන් ගැහැනුන් ළමයින් ලක්ෂයක් මරා දමා නව වසක් යන තෙක් යෝර්ක් හා ඩර්හැම් අතර ගම් පුළුටක් නැති කළ බව කීවා. ඌව වෙල්ලස්සත් එසේ කළ බව කැප්පෙටිපොළ නිලමේතුමා දැන හිටියා. මරණය හමුවේ යටත් වෙන්න ඔහුට පුළුවන්කමක් තිබුණේ නෑ. ජීවිතය ඉල්ලන්න ඔහුට ඉඩක් ඉතුරු උනේ නෑ. හෘදය සාක්ෂියක් තියෙන මිනිස්සු එහෙමයි. 1845 ජුනි 9 දා ටයිම්ස් පුවත්පත වාර්තා කරපු තවත් මෙබඳු අපූරු තොරතුරක් තියෙනවා, ප්‍රංශ හමුදා ඇල්ජීරියාවට කරපු. ස්වදේශිකයන්ගේ එක ම වස්තුව වූ ඔලිව් හා අත්තික්කා ගස් කපා දැමීමෙන් නතර නොවී සර්ව සංහාරයක් දියත් කළ බව ටයිම්ස් වාර්තා කළා.

මහාචාර්ය ඩර්බාන් මනුෂ්‍ය ඉතිහාසය පිළිබඳ ව වූ නිබන්ධ කෘතියෙන් පෙන්වා දෙන පරිදි “ශිෂ්ට ජාතීන් අශිෂ්ට ජාතීන්ට වඩා ශ්‍රේෂ්ඨ යන හැඟීම මුලාවකි. නූගත් ම්ලේච්ඡ ගෝත්‍රිකයන්ගේ සිරිත් විරිත් හා අපරාධ ඉතා බරපතළ හා විරූප ලෙස පෙනෙන්නට පිළිවන. එහෙත් ශිෂ්ට ජාතීන් අතර පවත්නා ස්වාභාවික නීති දූෂණ සියල්ල ම ප්‍රතිපත්ති නැමැති උදාර ඔපයකින් වැසී ඇති හෙයින් ඒවායේ වරදේ බරපතලකම සැඟව පවතී.” කැප්පෙටිපොළ මහනිලමේ ඉටුකළ ඉතිහාසයේ පරම භූමිකාව ආක්‍රමණික ජාතීන්ට වසා දැමිය නොහැකි වුණා. ඒ මරණයට මුහුණ දුන් ආකාරය නිසා.
කැප්පෙටිපොළ හා මඩුගල්ලේ දෙදෙනා ම ඔවුන්ගේ ඉල්ලීම් පරිදි නොවැම්බර් 25 වැනිදා උදේ අළුයම් වේලේ දළදා මාළිගාවට රැගෙන ගියා දළදා වහන්සේ වැඩ හිඳින මාලිගාවේ එළිපත්ත මත දණ ඔබා වාඩි ගත් කැප්පිටිපොළ නිලමේ ආගමික වතාවත්වලට සහභාගි වී ඉනේ දවටාගෙන සිටි තුප්පොට්ටිය ගලවා දළදා මාලිගාවට පූජා කොට මා සන්තක එකම වස්තුව මෙය නිසා එය පිදීමෙන් ලත් පින අඩු නොවේ. යැයි සරදම් සහගත ව පවසා “මාගේ අවසන් පින්කමෙන් ලත් පිනෙන් කොටසක් ඔබට අනුමෝදන් කරමි” යි බ්‍රවුන්රිග්ගේ අවසරය පිට පැමිණ සිටි සෝච(ර්)ස් මහතාට (බදුල්ලේ දිසාපති) තමාගේ උදාරත්වය විදහා දැක්වූවා. වද බිමට පැමිණෙන ලෙස සෝච(ර්)ස්ට ආරාධනා කළත් ඔහුට ඊට සහභාගි වන්නට තරම් ශක්තියක් තිබුණේ නෑ.
අත් පා මුහුණ සෝදා පිරිසිදු වූ හිරකාරයෝ මරණයට සූදානම් ව ආගමික වතාවත් සඳහා සුළු වේලාවක් ඉල්ලා සිටියා හිසකෙස් අල්ලා හිස මුදුනේ බැඳගත් මහ නිළමේ ඉනේ රෙදිපට අතර රඳවා තිබූ කුඩා බණ පොතක් ගෙන එය කියවා සෝච(ර්)ස් මහතාට තෑග්ගක් කොට දෙන්නට ස්වදේශික නිලධාරියකුට දී ගහලයාට මුහුණ දුන්නා. විජේවීර සහෝදරයත් මරණය අභියස දැක්වූයේ මීට සමාන උදාරත්වයක්. සතුරු සෙන්පතියන් මිතුරු වුණේ ඒ නිසයි. මහනිලමේ අරහන් යන වචනය පිට කරනවාත් සමග ගහලයා ගෙල සිඳෙව්වා. වෛද්‍ය හෙන්රි මාර්ෂල් නිලමේගේ කවන්ධය මත තිබූ හිස එංගලන්තයේ එඩිම්බරෝ කපාල ලක්ෂණ විද්‍යා සංගමයේ කෞතුකාගාරයට යැව්වා. 1948 ඩොමීනියන් නිදහස ලැබීමෙන් පසු මහනුවර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබූ හිස් කබල රෝහණ විජේවීරයන්ගේ කවි පන්තියට බියෙන් මහමළුවේ වලලා දැමුවා.

සේනාරත්න ද සිල්වා
සභාපති-පරපුරක උරුමය
2020.11.26
nayomakusum@yahoo.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More