පුරවැසි කොලම

ස්වාභාවික සම්පත් සහ ජාතික උරුමය රැකගැනීමට වගකීම දරන රාජ්‍ය ආයතන දේශපාලන හස්තයේ ග්‍රහණයට ලක්ව තිබෙන රටක පුරවැසියාගේ මැදිහත්වීමෙන් ලබා ගත් විල්පත්තුව නඩු තීන්දුව ජාතික ජයග්‍රහණයකි. එම නඩු තීන්දුවේ තීන්ත වේළීමටත් පෙර තවත් රාජ්‍යය ආයතන කිහිපයක් මකරාගේ කටට පනිමින් සිටිති. උතුරු ඇමරිකානු වනාන්තරවල සැල්මන් මත්ස්‍යා උඩුගම්බලා පීනා ගොස් තමන් ගොදුරු කර ගැනීමට මාන බලමින් සිටින වලසාගේ කටට වලසාගේ උත්සහයකින් තොරව ස්වේච්ඡාවෙන්ම පනින්නේ යම් සේද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පුරා විද්‍යාදෙපාර්තමේන්තුව සිය බලතල දේශපාලකයන්ට සහා ඊනීයා නිජභූමිවාදීන්ට පාවා දෙමින් සිටිති.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෑතකදී 05/2001 චක්‍රලේඛය අහෝසි කරමින් 01/2020 මගින් සංවර්ධන අවශ්‍යතා සඳහා අවශේෂ වනාන්තර නිදහස් කිරීමේ බලතල ප්‍රාදේශීය ලේකම්වරයාට විමධ්‍යගත කර ඇත. ඒ පිළිබඳ සමාජය තුළ විරෝධතාව ගොඩ නැගෙමින් තිබෙන අවස්ථාවක 1940 අංක 09 දරන පුරාවිද්‍යා ආඥා පනතේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා වෙත පැවරී ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීමේ වගකීම සහ බලතල ප්‍රාදේශීය ලේකම් වෙත අභිනියෝජනය කිරීමේ තීරණය මේවන විට පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් තහවුරු කර ඇත.

පරිපාලනයේ කාර්යක්ෂමතාව සහ පහසුව වෙනුවෙන් ගනු ලැබූ මේ තීරණය බරපතළ ප්‍රශ්න ගණනාවකට ආරම්භය වනු ඇත. උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල සිංහල බෞද්ධ ඓතිහාසික උරුමයට ඇති අන්තවාදී තර්ජනය තවත් උග්‍ර කරනු ඇත.

ලංකාවේ පුරාවිද්‍යා උරුමයෙන් අතිවිශාල කොටසක් උතුරේ සහ නැගෙනහිර පිහිටා ඇති අතර ඒ පිළිබඳව යමක් දැන ගැනීමට කැමති අයට එල්ලාවල මේධානන්ද හිමියන්ගේ උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය පොත කියවිය හැකිය. දේශපාලනික වශයෙන් දෙමළ අන්තවාදීන්ගේ නිජභූමි මතවාදය, මිථ්‍යාවක් බවට තහවුරු කිරීමේ ජීවමාන සාධකය වන්නේ උතුරේ සහ නැගෙනහිර ඇති බෞද්ධ උරුමයයි. ඉතිහාසය කන්නදැයි අසමින් එහි වටිනාකම අපේ නායකයන් විසින් ලඝු කළද වඩුක්කොඩෙයි සම්මේලනයේ සම්මත කළ ඊනීයා දෙමළ රාජ්‍යයේ ප්‍රතිඥාවේ සිට තිම්පු සාකච්ජා, ඉන්දු ලංකා ගිවිසුම හරහා ජිනීවා නුවර දක්වා කෙරෙන ප්‍රචාරක ව්‍යපෘතියේ පදනම නිජභූමි සංකල්පයයි. වසර 30 ක ප්‍රභාකරන්ගේ මීනිමරු ත්‍රස්තවාදයට සංකල්පමය බලය ලබාදුන්නේ නිජභූමි මිථ්‍යාවයි. විග්නේෂ්වරන්, සම්බන්ධන් සහ සුමන්තිරන් ඇතුළු දෙමළ අන්තවාදීන් අදත් පෙනී සිටින්නේ ඒ වෙනුවෙනි. එම ප්‍රදේශවල අලුතින් පන්සලක් ඉදිකිරීම, බුදු පිළිමයක් තැබීම අන්තවාදීන්ගෙ උදහසට ලක්වන්නේ එමගින් ඔවුන්ගේ නිජභුමියට වන අභියෝගය නිසාවෙනි. බ්‍රිතාන්‍යයන් විසින් සකස් කළ පුරාවිද්‍යා වාර්තාවන්වලට අනුව 1930 වන විට හඳුනාගත් බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන 130 ක් මුලතිව් දිස්ත්‍රික්කයේ ඇත. අන්තවාදීන්ගේ තලිබාන් ව්‍යාපෘතියේ අරමුණ ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදු පිළිම විනාශ කළේ යම් සේද උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය මකා දමා දෙමළ නිජභූමියට නැති ඓතිහාසික වටිනාකම ලබා දීමයි. එහි බෞද්ධ උරුමය ආරක්ෂාවීම ම ඔවුන්ගේ මිථ්‍යාව ප්‍රශ්න කරයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 2 වන වගන්තියේ ඇති ඒකීයභාව සහ 9 වන ව්‍යවස්ථාවේ බුදු දහමට ඇති ප්‍රමුඛස්ථානය හුදු කොළ කෑල්ලක වාක්‍යයක් නොවීමට මහපොළව මත ඒකීය බව රැකිය යුතුය. සංවිධිත ශිෂ්ටාචාරයක් තුළ එක් රටක්, එක් විධානයක් සහ ඒකීය සංස්කෘතියක් පැවැති බව සනාථ කරන පුරාවිද්‍යා උරුමය විනාශ කිරීමෙන් පසුව ව්‍යවස්ථාවේ වගන්තිවලට බලයක් නොමැත. ඒකීය රාජ්‍ය උදෙසා ජීවිතය කැප කළ රණවිරුවන්ගේ ගෞරවය රැඳී ඇත්තේ මහපොළව මත සුරැකෙන ඒකීයභාව තුළයි.

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ බහුතරය දෙමළ හා මුස්ලිම් වාර්ගිකයෝ වෙති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තතු දන්නා නිලධාරින්ට අනුව මේ පළාත්වල පාසල්, ක්‍රීඩාංගණ සහ නිවාස ඉදිවන්නේ පුරාවිද්‍යා පොළවට යට වූ සොහොන් බිම් බවට පත් කරමිනි. එය හුදෙක් අත්වැරදීමක් නොවන බවත් සංවිධානාත්මක ක්‍රියාවලියක් බවත් රහසක් නොවේ. කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ එක් පසකින් ඉන්ධන පිරවුම්හල ඉදිවන විට පන්සලට තහංචි වැටෙන්නේ මේ ක්‍රමවේදය උඩයි. ත්‍රිපිටකයට අට්ඨකතා ලියවුණ ස්ථානයක් වන කුරුන්ඳාවශෝක රජමහා විහාරයට අන්තවාදීන්ගෙන් එල්ල වූ තර්ජන හමුවේ එය භික්ෂුන් වහන්සේලාට අධිකරණයේ රස්තියාදු වීමට සිදු වූයේ ඇයි? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද සංරක්ෂණ සැලැස්ම ප්‍රාමාද කරමින් කඩාකප්පල් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීම නොඅඩුව ලැබුණි. බුදුන්වහන්සේගෙ වම් දන්ත ධාතුව වැඩම කළායැයි සැලකෙන සුප්‍රසිද්ධ නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ වෙනත් ඉදිකිරීම් සඳහා අවසර දීමෙන් ජනකොටස් අතර ගැටුමකට මුල පුරන ලද්දේ ප්‍රාදේශීය ලේකම්වරිය විසිනි.

ලංකාවේ පෞද්ගලික ඉඩම් හැරුණු විට රජය සතු ඉඩම් විවිධ ආයතන සතුව ඇත. මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉන් ප්‍රධාන වන අතර සෙසු ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරු මගින් පාලනය වේ. යම් යම් ඉඩම් එම දෙපාර්තමේන්තු වෙත පවරා තිබීමේ අරමුණ එම ඉඩම්වල ඇති කෘෂිකාර්මික, ජෛව විද්‍යාත්මක හෝ ස්වාභාවික වටිනාකම් සහ පුරාවිද්‍යාත්මක අගය හේතුවෙනි. එම භූමියන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රාගුණ්‍ය සහිත ඊට සුදුසු අධ්‍යාපනික සුදුසුකම් සහ පුහුණුව සහිත නිලධාරින් විසින් එම භුමිය සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ. යම් සංවර්ධන කටයුත්තක් සඳහා වනාන්තරගත ප්‍රදේශයක් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසරය සහ නිර්දේශය ලබාගත යුතුය. ඉඩම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් සතු බලය හැම විටම විශේෂිත ආයතනයට යටත්ව ක්‍රියාත්මක වේ.

යම් කිසි භූමියක් පුරාවිද්‍යාත්මක භූමියක් ද නැද්ද යන්න නිශ්චය කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයා සතු විශේෂඥ දැනුම හෝ පරිචය කුමක්ද. එවැනි ස්ථානයක් පුරාවිද්‍යාත්මකව හඳුනා ගත්තද එහි ඓතිහාසික තත්ත්වය බෞද්ධ නිර්මාණයක් ද යන්න නිගමනය කිරීමේ විෂය හා තාක්ෂණික දැනුම ඔවුන් සතු වේද? වෙනත් පරිපාලන කටයුතු රැසක් අතර එවැනි විශේෂඥතාවක් ඇති කර ගැනීමට ඇති හැකියාව කුමක්ද? අනෙක් අතට තම බලප්‍රදේශය තුළ ඇති ඉඩම් ආර්ථික වශයෙන් කාර්යක්ෂමව උපයෝගි කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්ගේ වගකීම පුරාවිද්‍යා සහ වන ජීවී පනත්වල අරමුණු සමග ගැටීමක් ඇතිවේ. එවැනි ඉඩමක් සම්බන්ධයෙන් බිම් මට්ටමේ බලතල ප්‍රාදේශීය ලේකම්වරයාටම පැවරීමෙන් විශේෂිත දෙපාර්තමේන්තුවල දායකත්වය අහිමිවන අතරම රාජ්‍ය ආයතනය අතර පැවැතිය යුතු සම්බන්ධීකරණය නැතිවේ. පසුගිය යහපාලන කාලය තුළ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන ගැටලුවක් වූයේ දේශපාලන මැදිහත්වීම මත රාජ්‍ය ආයතන අකාර්යක්ෂම සහ ඇල්මැරුණු ස්වරූපයෙන් කටයුතු කිරීමයි.

මෑතකදී කැස්බෑව ප්‍රදේශයෙ සුරාසැලක් විවෘත කිරීමේ සිදුවීම පසුපස ප්‍රාදේශීය ලේකම් වෙත ඉහළ මට්ටමේ අමාත්‍යවරයකුගේ බලපෑම තිබූ බව වාර්තාවේ. පුත්තලම දිස්ත්‍රික්කයේ සෙල්ලකන්ද, බිබිල නිල්ගල, අම්පාර ලාහුගල සහ ආනවිළුන්දාවට දේශපාලන මැදිහත් වීම්වල නිමක් නොමැත. එවැනි තත්ත්වයක් තුළ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල තත්ත්වය ගැන චිත්‍රයක් මවා ගැනීමට අමුතු පරිකල්පන ශක්තියක් වුවමනා නැත.

මහවැලි අධිකාරිය ඉඩම් සම්බන්ධයෙන් අතිවිශාල බලයක් සහිත රාජ්‍යය ව්‍යුහයකි. ඉඩම්වල කෘෂිකාර්මික භාවිතාව ඉහළ දැමීම එහි මුඛ්‍ය අරමුණයි. මහවැලි ඉඩම් වෙනත් දෙපාර්තමේන්තුවක් විසින් භාවිත කළ හැක්කේ අධිකාරියේ පූර්ව අවසරය ඇතුව පමණි. පසුගිය වසරේදී මහවැලි L කලාපයට අයත් කෝකිලායි කලපුව ආශ්‍රිත භූමිය ජනකපුර, පන්සල්ගම සහ කල්‍යාණිපුර වැසියන්ගේ ඇස්වලට වසන් වෙමින් ඩෝසර් කිරීමට බලපත්‍රය නිකුත් කරන ලද්දේ අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසිනි. ඒ සම්බන්ධයෙන් මහවැලි අධිකාරියෙන් කිසිදු අවසරයක් හෝ විමසීමක් සිදුනොවුණු බව අධිකරණය ඉදිරියේ ප්‍රකාශවිය. ඒ අනුව බලය පැවරීමකින් තොරව පවා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සිය සීමාව අතික්‍රමණය කරන පරිසරයක මෙවැනි චක්‍රලේකයක් මගින් බලය පැවරීම ඉබ්බා දියේ දාන්නද ඇසූ විට ඇන්නාවේ කිව්වාලු යන්නට වඩා වැඩි යමක් නොවේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බොහෝවිට නොවැදගත් සේ සලකන ලද කුඩම්මාගේ සැලකීමට ලක් වූ ආයතනයකි. ඇමරිකාව හෝ සිංගප්පූරුව ආදර්ශය කරගත් නූතනත්වයේ සිහිනයේ සිටින රාජ්‍ය ආර්ථික සැලසුම්කරුවන්ට ඉතිහාසය ප්‍රගමණයට බාධාවකි. මෙම යෝජිත බලය පැවරීමට හේතුව බිම් මට්ටමේ පරිපාලන කාර්යක්ෂමතාවය නම්, එය පිළිගත නොහැකි කරුණකි. කොමසාරිස්වරයාගේ සිට සහාකාර අධ්‍යක්ෂවරු, කලාපිය අධ්‍යක්ෂවරු සහ වැඩබිම් කළමනාකරුවන්ගේ සිට මුරකරුවන් දක්වා ආයතනික ව්‍යුහයක් දෙපාර්තමේන්තුව සතුව ඇත. ශ්‍රම බලය සම්බන්ධයෙන් හිඟයක් ඇත්නම් ඒ සඳහා පිළිගත් කාර්ය පටිපාටිය අනුව නව බඳවා ගැනීම් කළ හැකිය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීති අංශයට දැනට සිටින්නේ නීතීඥයන් දෙදෙනෙක් පමණි. සතර දිග්භාගයේම පුරාවිද්‍යා සංහාරයට ජයටම කෙරුණු පහුගිය කාලයේ නීති අංශයට ප්‍රමාණවත් යමක් කිරීමට නොහැකි විය. ඒ බොහෝ අවස්ථාවල පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීමේ ජාතික මෙහෙවර කරට ගනු ලැබුයේ ජාතිහිතෛෂි නීතිඥයන්ගෙ පෞද්ගලික මැදිහත්වීමෙනි. පුරාවිද්‍යා පොලිසියට පවා අත්වූයේ එම ඉරණමයි. පසුගිය යහපාලන කාලයේදී එම අංශයේ කාඩරය විසි ගණනකට පහත හෙළුෑ බව මාධ්‍ය වාර්තා කරන ලදී. මීට පෙර අවස්ථා ගණනාවකදීම මේ කටයුත්ත සඳහ යුද හමුදා නිලධාරින් සහ සෙබළුන් සහිත බළකායක් පිහිටුවන ලෙස අපි යෝජනා කළෙමු.

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යා විෂය පළාත් සභා යටතට පත් කිරීමේ වෑයමක් පසුගිය කාලයේ කෙටුම්පත් වෙමින් පැවතිණි. 13 වන සංශෝධනය ක්‍රියාත්මක වුවද ඉඩම් බලතල පළාත් සභාවට පැවරීමක් සිදු නොවීය. මෙම යෝජිත පැවරීම යටතේ ප්‍රායෝගිකව සිදුවන්නේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් බලතල දෙමළ සන්ධානය ඇතුළු අන්තවාදීන්ට දන් දීමයි. යුද්ධයෙන් හෝ පාර්ලිමේන්තුවේ 2/3 ක් නොමැතිව අන්‍යාකාරයකින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අකුරක්වත් වෙනස් නොකර අන්තවාදීන්ගේ ෆෙඩරල් වුවමනාව සැතපවීම මේ හරහා සිදුවේ. 13 වන සංශෝධනයේදී පුරාවිද්‍යා විෂය පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් නොකිරීමේ තර්කය දේශපාලනිකව කියවීමකින් තොරව එම ප්‍රතිඵලයම ගෙන දෙන චක්‍රලේඛයක් නිකුත් කිරීම නොකළයුතු දෙයකි. පවතින පුරාවිද්‍යා ආඥා පනත වෙනුවට ජාතික උරුම කළමනාකරණ පනතක් ඇවසි යුගය උදාවී තිබෙන බව කිව යුතුය.

නීතිඥ නවන් බැල්ලන්තුඩාව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More