රාජ්‍ය සේවා කොමිෂන් සභාව (Public Service Commission) යනු 1956දී ස්ථාපිත කොමිෂන් සභාවක් වන අතර බොහෝ අය සිතා සිටිනා පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති වූවක් නොවේ.
“සියලු කොමිෂන් සභා” සඳහා සාමාජිකයින් පත් කිරීමේ “වැඩි බලයක් ජනාධිපතිවරයාට පැවරෙන” අයුරින් 20 වැනි සංශෝධනය සිදු කර ඇත.
රාජ්‍ය සේවයට අදාළව “රාජ්‍ය සේවා කොමිෂන් සභා” (Public Service Commission) ලොව බොහෝ රටවල ඇති අතර අපගේ අසල්වැසි ඉන්දියාවේ පවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව දේශපාලන ඇඟිලි ගැසීම් සිදු කිරීමට නොහැකි වන සේ ස්ථාපිත කර ඇති අතර, රාජ්‍ය සේවය පිළිබඳ ප්‍රබල කාර්යභාරයක් සිදු කරයි.
රාජ්‍ය සේවකයින්ගේ පත්කිරීම්, උසස් කිරීම්, විනය කටයුතු, ස්ථාන මාරු හා විවිධ, අභියාචනා සහ ඒ හා ආනුෂාංගික කරුණු සම්බන්ධ ගැටලු වලට විසඳුම් ලබා දීමේ සහ තීරණ ලබා දීමේ දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්; රාජ්‍ය සේවා කොමිෂන් සභා පටිපාටික රීති, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, ආයතන සංග්‍රහ විධිවිධාන, විශ්‍රාම වැටුප් සංග්‍රහය, මුදල් රෙගුලාසි විධිවිධාන සහ අනෙකුත් චක්‍රලේඛ, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ, ………….. ඇතුලු රාජ්‍ය සේවයට අදාල නියාමනයන් පාදක කර ගනී.
මෙම සන්දර්භය තුළ; නව පත්කිරීම් වලට පෙර, වර්තමානයේ දැනටත් සිටින රාජ්‍ය සේවා කොමිෂන් සභා සාමාජිකයින් පිළිබඳව සොයා බැලීම වටී.
සභාපති – ධර්මසේන දිසානායක මහතා – හිටපු ලේකම්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
සාමාජික – ප්‍රතාප් රාමානුජම් මහතා – හිටපු ලේකම්, නාගරික සංවර්ධන හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය
සාමාජිකා – වී.ජෙගරාජසිංහම් මහත්මිය – හිටපු ලේකම්, සමාජසේවා අමාත්‍යාංශය.
සාමාජික – එස්. රනුග්ගේ මහතා – හිටපු ලේකම්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
සාමාජික – ඩී.ලක්සිරි මෙන්ඩිස් මහතා – එක්සත් ජාතීන්ගේ හා පොදු රාජ්‍ය මණ්ඩළ හිටපු නීති උපදේශක
සාමාජික – සරත් ජයතිලක මහතා – හිටපු අධ්යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා රේගුව
සාමාජිකා – සුධර්මා කරුණාරත්න මහත්මිය – හිටපු ලේකම්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය.
සාමාජික – ජනාධිපති නීතිඥ ජී.එස්.ඒ.ද සිල්වා මහතා – හිටපු රජයේ නීති සම්පාදක
අලුතින් පත්ව ඇති සාමාජිකයින්ගේ තොරතුරු මෙසේය:
සභාපති – ඩී.ජේ.බාළපටබැඳි මහතා – හිටපු උපරිමාධිකරණ විනිසුරුවරයෙකි
සාමාජික – දිලිත් ජයවීර මහතා – දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති
සාමාජික – ඩයන් ගෝමස් මහතා – පුද්ගලික අංශයේ ඇඟලුම් කර්මාන්ත ව්‍යාපාරිකයෙකි
සාමාජිකා – හේමා ධර්මවර්ධන මහත්මිය – ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වරියකි.
සාමාජික – ලීලසේන ලියනගම මහතා – පාර්ළිමේන්තු සභාව පිහිටුවීමට පෙර තිබූ ව්‍යස්ථාදායක සභාව විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලද පුද්ගලයෙකි.
සාමාජිකා – ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය – කොටස් වෙළඳපොල සභාපති ලෙස කටයුතු කර ඇත.
සාමාජික – වෛද්‍ය රුබේරු මහතා – ඇස්, කන්, නාසා පිළිබද විශේෂඥවරයෙකි
සාමාජික – ඩබ්.එච්.පියදාස මහතා – විශ්‍රාමික සිංහල භාෂා යතුරු ලේඛකයෙකි. වෘත්තීය සමිති නායකයෙකි;
සාමාජික – ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා – හිටපු පළාත් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස්, ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, රජයේ විධායක නිළධාරීන්ගේ සංගමයේ සභාපති
මින් පෙර සිටි සාමාජිකයින් අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ පරිණත හිටපු ලේකම්වරුන් සිටිය ද මෙම නව පත්කිරීම් තුළ එවැනි කිසිවෙකුත් නැතිවීම රාජ්‍ය සේවයේ ඉදිරි ගමනට දැඩි පහරක් වන බව තතු දත් අයගේ අදහසයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී පවා; මෙම බැරෑරුම් කර්තව්‍යය සඳහා සුදුසු, උගත්, බුද්ධිමත්, අත්දැකීම් සහිත පරිණත පුද්ගලයින් පත් කිරීමට උත්සුක වී ඇත. මෙම නව පත්කිරීම් පිළිබඳව මහින්ද මහතා පවා වික්ෂිප්තභාවයට පත්වනවා නොඅනුමානය.
ඒ අතර මේ පිළිබදව, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙන අතර එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත පළවේ.
2020.11.26
ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමණි,
රාජ්‍ය සේවා කොමිෂමට නියෝජිතයින් ලෙස නුසුදුසු පුද්ගලයන් පත්කිරීම සම්බන්ධවයි.
රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන් පත්කිරීම්, උසස්කිරීම් හා විනය කටයුතු සම්බන්ධව බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. දිගින් දිගටම රාජ්‍ය සේවාවට දේශපාලන අතපෙවීම් සිදුවන්නේ යැයි යන විවේචනය තදින් පවතින පරිසරයකදී එහි ස්වාධිනත්වය ආරක්ෂා කර ගැනීම මූලික කර ගනිමින් 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එය පිහිටුවාලූයේ රාජ්‍ය සේවකයාද රාජ්‍ය සේවයේද විනිවිදභාවය අපේක්ෂා කරන සියළු දෙනාගේ ආශීර්වාදය ඇතිවය.
ඉන් අනතුරුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් තවදුරටත් එය තහවුරුවූු අතර, අඩුපාඩුකම් මධ්‍යයේ වුවද එය ක්‍රියාත්මක විය. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව රාජ්‍ය සේවා කොමිෂම වෙත නියෝජිතයින් පත්කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා ලෙස ඔබ විසින් පවරාගෙන ඇත.
එම පත්කිරීම් සිදු කිරීමේ දී කොමිසමේ විෂය පථයට හා බලතල වලට අනුව එම කාර්ය නිවැරදිව හා විනිවිදභාවයෙන් යුතුව ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කළ හැකි නිලධාරීන් නම් කිරීම පත්වීම් බලධාරියා වන ඔබගේ වගකීමයි.
නමුත්, ඔබ විසින් නව කොමිෂමට නිලධාරීන් පත්කිරීමේ දී රාජ්‍ය සේවය පිළිබඳව කිසිදු අත්දැකීමක් නැති රාජ්‍ය නිලධාරීන් සමග රාජකාරිමය කිසිදු කාර්යයක නියලී නැති පෞද්ගලික ව්‍යාපාරික කටයුතු වල නියුතු නුසුදුසු පුද්ගලයන් පත්කිරීම රාජ්‍ය සේවයට එල්ල කරන ලද බරපතල අතුල් පහරකි. එහි බලපෑම වඩාත් තීව්ර වන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් ටෙන්ඩර් හරහා තමන්ගේ ව්‍යාපාරික ආයතන වලට ලබාගන්නා ආණ්ඩුව සමග ඝෘජුවම ව්‍යාපාරික කටයුතු වල නියුතු දිලිත් ජයවීර නැමැත්තා රාජ්‍ය සේවා කොමිෂමේ නියෝජිතයෙකු ලෙස පත්කිරීමයි. රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය සේවයේ ඉහල වගකීම් දරණ නිලධාරීන්ගේ පත්කිරීම්, මාරුකිරීම් හා උසස්වීම මෙන්ම විනය කටයුතු සම්බන්ධයෙන් ද වගකීම් දරණ රාජ්‍ය සේවා කොමිෂමේ නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කර ඇති ටෙන්ඩර් පත්‍රිකා සම්බන්ධයෙන් සාධාරණ තීන්දු ගැනීමේ අයිතිය මෙමගින් අහෝසිකර ඇති බව ඔබතුමාට නොතේරීම පුදුමසහගතය. දිලිත් ජයවීර මහතාම පවසන පරිදි ඔහු ඔබ සමග සමීප සබඳතා පවත්වන අතිජාත මිත්රයෙකි. එම සබඳතාවය රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ කටයුතු නීති ගරුකව යුක්ති සහගතව කරගෙන යෑමට ඇතිකරන බාධාව සුළුපටු නොවේ.
මේ කෙලෙසී යන්නේ කොමිෂමේ ස්වාධීනත්වය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයේම ස්වාධීනත්වයයි. අහෝසිවී යන්නේ රටත් ජනතාවත් වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවැරදිව හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට ඇති අවකාශයයි. මෙයින් ගොඩනැගෙන තත්වය ඔබගේ දැක්ම ලෙස ප්‍රරසිද්ධියට පත්කළ ”සෞභාග්‍යයේ දැක්ම” තුල ඇති විනය ගරුක රටක් ගොඩනැගීමට දායක වන්නේ කෙලෙසද යන්න ප්රහේලිකාවකි.
බලතල තමන්ට අවැසි ආකාරයට සකසා ගනිමින් කටයුතු කිරීම අපේ රටේ ප්රජාතන්ත්රවාදයට එල්ල කරන ලද මරු පහරකි. රාජ්‍ය සේවය යනු යම්කිසි පාලකයෙකුගේ පෞද්ගලික අභිමතයන්ට අනුව කටයුතු කළ යුතු සේවාවක් නොවේ. එහි වගකීම හා වගවීම පවතින්නේ රාජ්‍යට මිස කාලයෙන් කාලයට පත්වන ආණ්ඩු වලට හෝ පාලකයන්ට නොවේ. එය ඔබ වටහාගත් බවක් මෙම පත්කිරීම් තුලින් ගම්‍යමාන නොවේ. එසේම මේ හරහා විද්‍යමාන වන තවත් කරුණක් වන්නේ රාජ්‍ය සේවා කොමිෂම සම්බන්ධයෙන් හා එයට පත්කළ යුතු නියෝජිතයන් සම්බන්ධයෙන් ඔබගේ ඇති අවබෝධයේ ප්‍රමාණයයි. කරුණු මෙසේ හෙයින් මේ පිළිබඳව අගතිමානි නොවී රාජ්‍ය සේවා කොමිෂන් සභාවට එයට ගැලපෙන සුදුසු පුද්ගලයන් පත්කිරීමට කටයුතු කරන ලෙසත් රාජ්‍ය නිලධාරීන්ට කරනු ලබන දේශපාලන බලහත්කාරී මැදිහත් වීම නතර කිරීමට කටයුතු කරන ලෙසත් සමස්ත රාජ්‍ය සේවය වෙනුවෙන් ඔබතුමාට අවධාරණය කිරීමට කැමැත්තෙමි.
ස්තූතියි.
කේ.ඩී.ලාල්කාන්ත
සභාපති,
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය.
පිටපත් –
අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා–දැ.ගැ.පි
සියළු ජනමාධ්‍ය – ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රචාරය කිරීමට
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...