ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති
මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර
කොරෝනා වසංගතය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප‍්‍රචාර පැතිර වූ 25 දෙනෙකු අත්ඩංගුවට ගත් බව පසුගියදා මාධ්‍ය වාර්තා කොට තිබුණේය. කොරෝනා වැළඳී මියගොස් මහ මඟ ඇද වැටුණු බවට පින්තූර ද සහිතව පළකොට තිබුණු අසත්‍ය ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් අත්ඩංගුවට ගෙන තිබුණු අතර, මේ වනතෙක් සැබෑවට ම එලෙස මහ මඟ මියගොස් ඇත්තේ එක් යාචකයෙකු පමණක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කොට තිබුණේය. සමාජ මාධ්‍යවල පළවන මෙවන් අසත්‍ය ප‍්‍රවෘත්ති දුටු විට ඒවා බෙදාහැරීමෙන් වළකින ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලූ දෙනාගෙන් ම ඉල්ලා තිබුණේය.
කොරෝනා වසංගතය හමුවේ, මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඇතුළු නොයෙකුත් මාධ්‍ය හරහා මෙන්ම, කටින් කටද පැතිර යන ඕපාදූප සහ කටකතා ගණන විශාලය. ඇතැම් විට මේ කටකතා පැතිරෙන වේගය වෛරසය පැතිරීමේ වේගයට වඩා ඉතා වැඩිය. මේ අතුරින් සමහර ආරංචිවලට යම් සත්‍යමය පදනමක් තිබුණද, ඒවා ද අවසානයේ අප වෙත ළඟාවන්නේ දෙතුන් ගුණයකින් වැඩි වූ, අතිශයෝක්තියෙන් බර වූ කතාන්දර ලෙසටය. එමෙන්ම, මෙම ඕපාදූප සහ කටකතාවලින් වැඩි හරියක් සත්‍යයෙන් තොර ගොතන ලද ප‍්‍රබන්ධ කතා වන්නේය. ජනතාව කලබලයට හා බියට පත්වන අන්දමේ අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරන්නවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආරක්‍ෂක අංශවල සිදුව ඇත්තේ මේ නිසාය.
අනෙක් අතට, වත්මන් කොරෝනා වසංගතය බඳු අර්බුදකාරී පසුබිමක් තුළ, මෙබඳු ඕපාදුප-කටකතා පැතිරීමට තුඩුදෙන හේතු කිහිපයක් ම ඇති බව මනෝ විද්‍යාඥයෝ පෙන්වා දෙති. කොරෝනා වසංගතය බඳු වාතාවරණයකදී ජනතාව තුළ හටගන්නා බිය, චකිතය, කාංසාව වැනි හැඟීම්, ඕපාදුප-කටකතා පැතිරීමට තුඩුදෙන ප‍්‍රධාන සාධකය බව මනෝ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඊට අමතරව, පවත්නා තත්ත්වයේ ඇති අවිනිශ්චිතභාවය ද මේ සඳහා උත්තේජනයක් සපයන්නේය.
එංගලන්තයේ ලීඞ්ස් බෙකට් සරසවියේ මනෝ විද්‍යාඥ ස්ටීව් ටේලර් පෙන්වා දෙන පරිදි, පවත්නා අවිනිශ්චිතභාවයට අමතරව, සාම්ප‍්‍රදායික මාධ්‍ය හරහා ජනතාව අපේක්‍ෂා කරන තරමට තොරතුරු ගලා නොඒම ද දූෂමාන ආරංචි පැතිරීමට සෘජුව ම බලපාන්නේය. රටේ සමාජයේ පවත්නා සැබෑ තත්ත්වය පිළිබඳව ප‍්‍රමාණවත් තොරතුරු නොමැති විට, ඒ හිඩැස පිරවීම උදෙසා කටකතා පැතිරවීමට ජනතාව ඉදිරිපත් විය හැකි බව මනෝ විද්‍යාඥ ස්ටීව් ටේලර් පෙන්වා දෙන්නේය. එහෙත් ඒ කිසිම හේතුවක් නිසා, සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප‍්‍රචාර පැතිරවීම අනුමත කළ නොහැකිය. මෙවැනි බොරු ප‍්‍රචාර පතුරවන්නන්ට, දැනට ක‍්‍රියාත්මක නිරෝධායන නීතියට යටතේ අනිවාර්යෙන්ම දඬුවම් පැමිණවිය යුතුය. පසුගියදා ගැසට් නිවේදනයක් හරහා නීතිගත කෙරුණු කොරෝනා මර්ධන වැඩපිළිවෙලට අනුව ඔවුනට අනිවාර්යෙන්ම දඬුවම් පැමිණවිය යුතුය.
කෙසේ වුවද, ලෝ පුරා ජනතාව දැන් වසර ගණනාවක සිට, තොරතුරු දැනගැනීමේ ප‍්‍රභවයක් ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීමට පෙළඹී සිටිති. මුද්‍රිත මාධ්‍යවලින් පසුව ගුවන්විදුලියටත්, අනතුරුව රූපවාහිනියටත් හිමිව තිබුණු තත්ත්වය, මේ වන විට අන්තර්ජාලය නතුකරගෙන ඇත්තේය. ඉන්ටර්නෙට් නොහොත් අන්තර්ජාලය, මේ වන විට මානව ජීවිතයේ සියලූ ක්‍ෂේත‍්‍ර ආක‍්‍රමණය කොට හමාරය. තවමත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය භාවිත කරන විශාල පිරිසක් සිටියද, තරුණ පරම්පරාවේ බහුතරයකගේ ජනප‍්‍රියතම මාධ්‍යය වී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලාය. ශ්‍රී ලංකාවේ සර්ට් (Computer Emergency Readiness Team – CERT) ආයතනය විසින් මීට වසර කිහිපයකට පෙරාතුව, එනම් 2017 නොවැම්බරයේදී, වයස අවුරුදු 16-30 අතර වූ 548 දෙනෙකු සහභාගී කරවාගෙන සමීක්‍ෂණයක් දියත් කරනු ලැබීය. එම සමීක්‍ෂණයට සහභාගී වූ අය අතුරින් 50%කට වැඩි පිරිසක් දිනකට පැය 1-5 අතර කාලයක් සමාජ මාධ්‍ය ඇසුරු කරන බව අනාවරණය වූයේය. (වත්මන් කොරෝනා වසංගතය හමුවේ එම කාලය ඊට වඩා බොහෝ වැඩි විය හැකිය.)
සර්ට් ආයතන සමීක්‍ෂණයේ ප‍්‍රථිඵලවලට අනුව, සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන ලාංකේය තරුණයන් අතර වඩාත් ම ජනප‍්‍රිය ජාලය ෆේස්බුක් බව අනාවරණය වූයේය. ඊළඟට පිළිවෙලින්, වට්ස්ඇප්, වයිබර්, ස්කයිප් යන මාධ්‍ය ජාලා ලාංකේය තරුණයෝ භාවිත කරති. එම සමීක්‍ෂණයෙන් තවදුරටත් හෙළිවූ පරිදි, ලාංකේය තරුණයන් වැඩි පිරිසක් සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන්නේ ස්වකීය මිතුරන් සහ ඥතීන් සමඟ සබඳතා පවත්වා ගෙනයාම සඳහාය. දැනුම උකහා ගැනීම හා තොරතුරු සපයා ගැනීම, නව මිතුරු සම්බන්ධතා ඇතිකර ගැනීම, තමන්ගේ තොරතුරු හා ඡුායාරූප අන් අය අතර බෙදාහැරීම, විවේක කාලය මිඩංගු කිරීම යනාදිය, සමාජ මාධ්‍ය ජාලා භාවිත කිරීමට තුඩුදෙන අනෙකුත් හේතූන් වන්නේය.
මෙවන් පසුබිමක් තුළ, අන්තර්ජාලය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ද මේ වන විට අපේ ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති හෙයින්, ඉන් අපේ ජීවිතයට ඇතිකෙරෙන බලපෑම නොසලකා හැරිය නොහැකිය. ඉන් අපේ ජීවිතයට, මුළු මහත් මානව සමාජයට ඇතිකෙරෙන දැඩි බලපෑම නොසලකා හැරිය නොහැකිය. විද්‍යාවේ හා තාක්‍ෂණයේ නව සොයාගැනීම් පදනම් කරගෙන මානව සමාජයට හඳුන්වා දෙන කවර හෝ අලූත් ආම්පන්නයකින් ඇතිකෙරෙන බලපෑම පරිදි ම, සමාජ මාධ්‍ය ජාලා ද මානව ජීවිතයට දැඩි බලපෑමක් ඇතිකර තිබෙන්නේය. පළමුකොටම, අන්තර්ජාලයත් සමාජ මාධ්‍ය ජාලාත් විසින් මානව සමාජය සංකෝචනය කර ඇත්තේය. ලෝ පුරා මිනිසුන් එකිනෙකාට කිට්ටු කර ඇත්තේය.
උදාහරණයක් ලෙස, මීට දශක කිහිපයකට පෙරාතුව, ශ්‍රී ලංකාව තුළ පවා ඈත නගරයක සිටින අයෙකුට දුරකතන ඇමතුමක් ලබා ගැනීමේදී විඳින්නට සිදුවූ හිරිහැර කරදර ඔබට මතකද? 70 දශකයේ මුල් භාගයේදී, කන්තලේ සිට කොළඹ නාලන්ද විද්‍යාලයේ ඉගෙනීමට ගිය අපට, කන්තලේ සිටි දෙමව්පියන්ට හදිසියකට හෝ දුරකතන ඇමතුමක් ලබා ගැනීම සඳහා පැය ගණනක් තැපැල් කන්තෝරුවේ රස්තියාදු වීමට සිදුවූ අයුරු තවම හොඳහැටි මතකය. එමෙන්ම, 80 දශකයේ මුල් භාගයේදී, මොස්කව් නුවර ලූමුම්බා මිත‍්‍රත්ව විශ්ව විද්‍යාලයේ ඉගෙනීමට ගිය අපට, ලංකාවට දුරකතන ඇමතුමක් ලබා ගැනීමේදී විඳින්නට සිදුවූ හිරිහැර තවම හොඳහැටි මතකය. එහෙත් අද තත්ත්වය කෙතරම් නම් වෙනස් වී තිබේද? ලෝකයේ කවර කොනක සිටින අයෙකු සමඟ වුවද, වට්ස්ඇප්, වයිබර්, ස්කයිප් වැනි මාධ්‍ය හරහා ක්‍ෂණයකින් සම්බන්ධවීමට හැකිවීම කෙතරම් අපූරුද? එපමණක් නොව, වසර ගණනාවකින් හමුනොවුණු පාසල් මිතුරන්, සරසවි මිතුරන් සමඟ ෆේස්බුක්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ජාලා හරහා සම්බන්ධවීමට හැකිවීම කෙතරම් ආනන්දජනකද? කෙටියෙන් කියතොත්, ලෝකයේ විවිධ රටවල ජීවත්වෙමින් කෙතරම් දුරස්ව සිටියද, ඥතීන් හිතවතුන් සමඟ නිරතුරුව සබඳතා පවත්වා ගැනීමට සමාජ මාධ්‍ය මං සලසා ඇත්තේය.
එමතුද නොව, අන්තර්ජාලය යනු දැනුම් සාගරයක් වනනේය. ඒ තුළ අඩංගු වන දැනුම් සම්භාරය අති විශාලය. මෙහිලා අවශ්‍ය වන්නේ සත්‍ය, නිවැරදි තොරතුරු හරිහැටි තෝරාබේරා ගැනීමේ හැකියාව තිබීමය. අසත්‍ය තොරතුරු බැහැර කොට සත්‍ය තොරතුරු තෝරාගැනීමේ හැකියාව තිබීමය. මේ හැරුණු කොට, ආගමානුකූලව යහපත් ජීවිතයක් ගතකිරීම, වැඩිහිටියන්ට හා අසරණයින්ට උදව්-පදව් කිරීම, පරිසරය සුරැුකීම වැනි බොහෝ යහපත් කටයුතු සඳහා, දැනටමත් සමාජ මාධ්‍ය ජාලා භාවිත කෙරෙන්නේය.
මෙයාකාරයට, පොදුවේ අන්තර්ජාලයෙනුත්, විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලාවලිනුත් මානව සමාජයට ලැබෙන වාසි රාශියක් තිබෙන අතරම, ඒවායින් ඇතිකෙරෙන අයහපත් බලපෑම් ද බොහොමයක් ඇත්තේය. ලෝ පුරා තරුණ පරම්පරාවේ බහුතරයක් අන්තර්ජාලයට, සමාජ මාධ්‍ය ජාලාවලට ඇබ්බැහිවීම, මේ වන විට බරපතළ සෞඛ්‍ය ගැටළුවක් මෙන්ම සමාජයීය ගැටළුවක් බවට ද පත්ව ඇත්තේය. මෙම ඇබ්බැහිවීම, ඇතැම් විට මතට ඇබ්බැහිවීමටත් වඩා දරුණු විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති. පරිගණකයක් හෝ ස්මාර්ට් දුරකතනයක් සමඟ දවස පුරා ගතකිරීම නින්ද අඩුවීමට සෘජුව ම හේතු විය හැකිය. ඒ හරහා ශාරීරික හා මානසික සෞඛ්‍ය ගැටළු රැුසක් උද්ගත විය හැකි අතර, සමහර අයට කාංසාව, විශාදිය වැනි රෝගී තත්ත්වයන් කරා පවා වර්ධනය විය හැකිය. එමෙන්ම, බොහෝ තරුණ උදවිය අන්තර්ජාලයට හා සමාජ මාධ්‍ය ජාලාවලට ඇබ්බැහිවීම හේතුවෙන් පවුල් සංස්ථාව තුළ විවිධාකාර ගැටළු මතුව ඇත්තේය. මෙම පසුබිම තුළ, දෙමව්පියන් හා දරුවන් අතරද, ඥතීන් හිතවතුන් අතරද පවත්නා ලෙන්ගතුකම් හීනවෙමින් තිබෙන්නේය. එපමණක් නොව, තරුණ උදවිය යහපත් ආකල්පවලින් හා ගතිපැවතුම්වලින් මෙන්ම ස්වභාවික පරිසරයෙන් ද ඈත්වීමට මෙම ඇබ්බැහිවීම හේතු වී ඇත්තේය.
යහපත් අරමුණු සඳහා, නිවැරදිව සමාජ මාධ්‍ය භාවිත කිරීම පිළිබඳව බොහෝ අයට වැටහීමක් නොමැතිකම ද ප‍්‍රධාන ගැටළුවක් වී ඇත්තේය. වෙනත් වචනවලින් කියතොත්, මේ වන විට බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය අවභාවිත කිරීමට පෙළඹී සිටින අතර, එය එක්තරා අන්දමකට වඳුරාට දැලිපිහිය හසුසුවූවාක් බඳු තත්ත්වයකට සමාන වන්නේය. මේ වන විට ලෝකයේ බොහෝ රටවල උදවිය ආගම්වාදී, ජාතිවාදී, වර්ගවාදී මතවාද පැතිරවීමට සමාජ මාධ්‍ය යොදාගැනීම අතිශය කනගාටුදායක වන්නේය. තවත් සමහර උදවිය පවුලේ ප‍්‍රශ්නයක් ඇතිවූ විට ඒ ගැන ෆේස්බුක්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත්කොට, තමන්වත් තමන්ගේ පවුලේ අයත් හෑල්ලූවට ලක්කරති. සැමියා හෝ බිරිඳ සමඟ, එසේත් නැතිනම් වැඩිහිටි ඥතියෙකු සමඟ අමනාප වූ විට ඔවුනට ඇනුම්පද එල්ලවන පරිද්දෙන්, සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් තබමින් තමන්වත් තමන්ගේ පවුලේ අයත් හෑල්ලූවට ලක්කරති. තවත් සමහරෙක් තමන් සේවය කරන ආයතනයේ ප‍්‍රශ්න සමාජ මාධ්‍ය හරහා විසඳීමේ අසාර්ථක ප‍්‍රයත්නවල නිරත වෙති. මෙවන් මෝඩ ක‍්‍රියාවලින් හෑල්ලූවට ලක්වන්නේ තමන්ව ම බව ඔවුනට නොවැටහීම කනගාටුවට කරුණක් වන්නේය. පවුලේ ප‍්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ පවුල තුළින්ම විනා සමාජ මාධ්‍ය හරහා නොවන බව අප තේරුම් ගත යුතුය. ආයතනික ප‍්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ ආයතනය තුළින්ම විනා සමාජ මාධ්‍ය හරහා නොවන බව අප තේරුම් ගත යුතුය.
මේ අනුව බලනා විට, සමාජ මාධ්‍ය භාවිතයේදී එක්තරා අන්දමක ස්වයං පාලනයක්, ස්වයං වාරණයක් පවත්වා ගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇත්තේය. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට පරිදිම, සමාජ මාධ්‍යවලට ද ආචාරධර්ම පද්ධතියක් සැකසීම ප‍්‍රයෝජනවත් වනු ඇත්තේය. නූතන මානව සමාජය තුළ කවර මාධ්‍යයක වුවද සීමාරහිත, වල්බූරු නිදහසක් පැවතිය නොහැකිය, සමාජ මාධ්‍ය අවභාවිත කරන්නවුන්ට, විශේෂයෙන් ඒ හරහා අසත්‍ය තොරතුරු පතුරවන්නන්ට එරෙහිව දඬුවම් පැමිණවීම මාධ්‍ය නිදහසට එරෙහිව කෙරෙන තර්ජනයක් ලෙස සැලකිය යුතු නැත්තේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...