දේශීය පුවත්

එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ පසුගිය 06 වැනිදා පැවැති සාජා වසන්ත සැණකෙළිය කඩාකප්පල් කරමින් කළහකාරී ලෙස හැසිරුණු ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ නිසා මෙරටට අත් වූ අපකීර්තිය අති මහත්ය.

සිංහල දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සාජා වසන්ත සැණකෙළිය සංවිධානය කරන්නේද එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසිනි.

ඉස්‌ලාම් ආගමික රටක්‌ වුවත් එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්‌වදේශිකයන් ප්‍රමාණය මුළු ජනගහනයෙන් සියයට විස්‌සක්‌ තරම් කුඩා ප්‍රතිශතයකි. ඉතිරි සියයට අසූව ලොව විවිධ රටවලින් එරටට සංක්‍රමණය වී ඇති රක්‍ෂා, ව්‍යාපාර කටයුතු කරන පිරිස්‌ය. ඒ අතර ශ්‍රී ලාංකිකයෝ ලක්‌ෂ දෙකහමාරක්‌ පමණ වෙසෙති. සියලු ජාතිකයෝ ඉතා ආරක්‌ෂාකාරී ලෙස සහජීවනයෙන් යුක්‌තව ජිවත් වෙති.

එහි වෙසෙන සිංහල, දෙමළ සහ මුස්‌ලිම් ශ්‍රී ලාංකිකයෝ කිසිදු බාධාවකින් තොරව වාර්ෂිකව වෙසක්‌, පොසොන්, නත්තල්, අවුරුදු උත්සව ඉතා හොඳින් සමරති. භික්‍ෂුන් වහන්සේලා කිහිප නමක්‌ වැඩවසන බෞද්ධ විහාර කිහිපයක්‌ ද තිබේ.

sana2අප්‍රේල් මාසය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂ මාසයකි. මෙරට මෙන්ම පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ද ඒ සුවිශේෂත්වය පොදුය. සෑම අප්‍රේල් මසකම සෙසු රටවල වසන ශ්‍රී ලාංකිකයන් මෙන්ම එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ සිංහල දමිළ අලුත් අවුරුද්ද සමරති. “සාජා වසන්ත සැණකෙළිය” එවැන්නකි. පසුගිය 06 වැනිදා සාජා හි වොන්ඩර්ස්‌ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් ජාති භේද නොමැතිව රැස්‌වූයේ ජන ක්‍රීඩා කරමින් සතුටින් සිංහල දමිළ අලුත් අවුරුද්ද සමරන්නටය. ශ්‍රී ලංකාවේ සිට සංගීත කණ්‌ඩායම් දෙකක්‌ සහ දෙවැනි ඉනිම ජනප්‍රිය ටෙලි නාට්‍යයේ ශිල්පීන් කිහිප දෙනෙක්‌ද ගායක ගායිකාවෝ රැසක්‌ද සාජා වසන්ත සැණකෙළියට සහභාගී වූහ.

එදින සිකුරාදා දිනයකි. එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය දවසේ අවස්‌ථා කිහිපයකදී ආගමික මෙහෙයන් පවත්වන නිසා එම කෙටි වේලාව තුළ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියා විරහිත කෙරිණි. ආගමික මෙහෙයන් අවසන් වූ විගස යළි ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කළ හැක. එය එරටේ අනුගමනය කරන සාමාන්‍ය ක්‍රියාවලියකි. පිරිස බොහෝ සේ විනෝද වෙමින් දවස පුරා අලුත් අවුරුද්ද සැමරූහ. අඳුර ළඟාවෙද්දී සංගීත කණ්‌ඩායම සංගීත ප්‍රසංගය ආරම්භ කළේය. ඒ මඳ වේලාවකට පමණි. සාජා පොලිසියේ නිලධාරිහු පැමිණ කෙටි වේලාවකට ප්‍රසංගය නතර කරන ලෙසට දැනුම් දුන්හ. ඒ එදින සාජා රාජකීය පවුලේ සාමාජිකයකු මියගොස්‌ ඇති නිසාය. ඒ වෙනුවෙන් ආගමික මෙහෙයක්‌ පැවති නිසාය.

ඒ අනුව නිවේදකයෝ මේ බව පැමිණ සිටි ප්‍රේක්‍ෂකයන්ට පවසා ප්‍රසංගය විනාඩි තිහකට නතර කිරීමට කටයුතු කළහ.

ඉන් කෝපයට පත් ශ්‍රී ලාංකිකයෝ පිරිසක්‌ ඝෝෂා කරන්නට පටන් ගත්හ. එහි තිබූ පුටු කඩා දමමින් ආරක්‌ෂක වැටට පහරදී ක්‍රීඩාංගණය යුද පිටියක්‌ බවට පත් කළහ. කළහකාරීහු අතට හසුවූ දෙයින් වේදිකාව දෙසට ප්‍රහාර එල්ල කළහ.

ප්‍රසංගයට ශබ්ද විකාශන යන්ත්‍ර ගෙන්වා තිබුණේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු විසිනි.

මෙරට බැංකුවලට ණය වී ඔහු අලුතින්ම මිලදී ගෙන තිබූ ශබ්ද විකාශන උපකරණ පළමුවෙන්ම භාවිතා කිරීමට තෝරා ගත්තේ ද සාජා හි සිටින ශ්‍රී ලාංකිකයන් පිනවීමටය. ඇතම් උපකරණ බහාලුම් පිටින් එහි ගෙනැවිත් තිබිණි. මේ ශබ්ද විකාශන යන්ත්‍ර, ස්‌පීකර් පද්ධති සියල්ල බීමත්ව සිටි කඩාකප්පල්කාරී ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනා අතින් විනාශ වන්නට ගතවූයේ සුළු කාලයකි. තම දෑස්‌ ඉදිරියේ තමන්ගේ වටිනා සම්පත් විනාශ වන අයුරුදු දුටු ව්‍යාපාරිකයා ඉකිගසමින් කඳුළු සැලුවේය. මේ කලහකාරී පිරිස අතර ශ්‍රී ලාංකීය කාන්තාවන් පිරිසක්‌ද සිටීම ඉතාම කනගාටුදායක බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. එපමණක්‌ නොව සාජා වසන්ත සැණකෙළි භූමියේ තිබූ ශ්‍රී ලාංකික වෙළෙඳ කුටිවලට ද මෙම පිරිස පහරදෙමින් ඒවායේ තිබූ කෑම බීම සහ මුදල් කොල්ලකාගත් බවද ඇසින් දුටු අය කියති.

දැන් සාජා පොලිසිය මේ කළහකාරීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අරඹා ඇත.

දැනටමත් ශ්‍රී ලාංකික තරුණයෝ දෙදෙනෙක්‌ අත්අඩංගුවේ පසු වෙති. මේ අශෝභන සිද්ධියට හවුල් වූ සෙසු ශ්‍රී ලාංකිකයන්ද අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණ වීමට එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්‌ෂක අංශය පියවර ගනිමින් සිටී. ඔවුනට හිමි වනුයේ වසර කිහිපයක සිර දඬුවම් හා යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමය. ඔවුන් අසාදු ලේඛන ගතවනු ඇත. කිසි දිනක ගල්µa රටකට ඇතුළු වීමට අවසර නොදෙනු ඇත. මෙය අප රටට අපකීර්තියකි. නින්දාවකි. ශ්‍රී ලාංකිකයන් සාමකාමී, සුහද, ප්‍රියමනාප මිනිසුන් බවට ලබා ඇති ප්‍රසිද්ධියට කැළලකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More