2019 නොවැම්බර් මාසයේ චීනයේ වූහාන් නගරයෙන් මතුවූ නව කොරෝනා වෛරසය දැන් වසරක කාලයක් තිස්සේ මුළු මානව සංහතියට ම දරුණු ලෙස වදදෙමින් සිටින්නේය. දුප්පත්-පොහොසත් භේදයකින් තොරව, ජාති, ආගම්, කුල භේදයකින් තොරව, මුළු ලෝකය පුරා හැම කෙනෙකුට ම එකසේ වදදෙමින් සිටින්නේය. දියුණු-නොදියුණු භේදයකින් තොරව ලෝකයේ හැම රටකට ම පාහේ එකසේ වදදෙමින් සිටින්නේය. ගෙවුණු වසරක කාලය තුළ (මෙම ලිපිය ලියන මොහොත වන විට), ලෝ පුරා ලක්‍ෂ 660 කට වැඩි පිරිසකට කොවිඞ්-19 වෛරසය ආසාදිත වී තිබෙන අතර, ලක්‍ෂ 15 කට වැඩි පිරිසක් මියගොස් ඇත්තේය. මෙම වෛරසයට එරෙහිව එන්නතක් සොයාගැනීමට ලෝකයේ විවිධ රටවල පර්යේෂණ කණ්ඩායම් 187ක් දැඩි ප්‍රයත්නයක නිරතව සිටින අතර, ඒ අතුරින් කණ්ඩායම් 38ක් තුන්වැනි අදියරට, එනම් මිනිස් සිරුරට එන්නත් කොට පරීක්‍ෂා කිරීමේ අදියරට පිවිස ඇති බව වාර්තා වන්නේය. ඒ අතුරින්ද, එන්නත් තුන හතරක් තුන්වැනි අදියරේදී 90%-95% අතර සාර්ථකත්‍වයක් පෙන්නුම් කොට ඇති බව වාර්තා වන්නේය. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන පරිදි, සාර්ථක එන්නතක් සොයාගනු ලැබූවද, අඩුම තරමින් තව වසරක පමණ කාලයක් මෙම වෛරසය අපට වදදෙනු ඇත්තේය.
කොරෝනා එන්නතක් සොයාගැනීමේ තරගයට සමගාමීව තවත් විශාල පිරිසක් මෙම වසංගතය පිළිබඳ තොරතුරු ප්‍රචාරය කිරීමේ තරගයක නියැලී සිටින බවක් පෙනෙන්නට ඇත්තේය. කෙටියෙන් කියතොත්, කොරෝනා වෛරසය පැතිරෙන වේගයට සමානව (සමහර විට ඊටත් වඩා වැඩි වේගයෙන්), වසංගතය පිළිබඳ තොරතුරු පැතිරෙන්නේය. උදාහරණයක් ලෙස, පසුගිය මාර්තු මාසයේදී පමණක් කොරෝනා වසංගතය පිළිබඳ ට්විටර් පණිවුඩ මිලියන 550 කට වැඩි ප්‍රමාණයක් ප්‍රචාරය වූ බව වාර්තා වන්නේය. තවද, පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණක් නව කොරෝනා වෛරසය පිළිබඳව නිෂ්පාදනය වූ වීඩියෝ 361,000ක් යූටියුබ් ජාලයට නිකුත් කොට තිබුණේය. එපමණක් නොව, පසුගිය වසරක කාලය තුළ කොරෝනා වෛරසය පිළිබඳව කෙරුණු පර්යේෂණ පත්‍රිකා 19,000ක් පමණ ප්‍රකාශයට පත්වූ බව කියැවෙන්නේය. නව කොරෝනා වසංගතය සමඟ පැතිරෙන තොරතුරු වසංගතයේ බරපතළකම, දරුණුකම වටහා ගැනීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නොවන්නේය. මේ හැරුණු කොට, ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාලා හරහා ද පැතිරෙන කොරෝනා තොරතුරු ප්‍රමාණය අති විශාලය.
මෙයාකාරයට, තොරතෝංචියක් නැතිව විවිධාකාර තොරතුරු ප්‍රචාරය වන විට, ජනතාවට ඒවා ග්‍රහණය කරගැනීම අසීරු බව අමුතුවෙන් කිවයුතු නැත්තේය. දවාලක් රැයක් නැතිව නොකඩවා පැතිරෙන මෙම තොරතුරු කන්දරාව හේතුවෙන් ජනතාව මහත් සේ පීඩාවට පත්වන බව අමුතුවෙන් කිවයුතු නැත්තේය. විශේෂයෙන්, ස්මාර්ට් දුරකතනයකින් මගින් පහසුවෙන් ම අන්තර්ජාලයට පිවිසිය හැකි හෙයින්, මෙම තොරතුරු කන්දරාව නිරතුරුව ජනතාව වෙත ගලා එන්නේය. ස්මාර්ට් දුරකතනයට අමතරව, ලැප්ටොප්, ටැබ්ලට් වැනි තැනින් තැන රැගෙන යා හැකි පරිගණක මගින් ද පහසුවෙන් අන්තර්ජාලයට පිවිසිය හැකි හෙයින්, තොරතුරු නිමක් නැතිව ජනතාව වෙත ගලා එන්නේය. මෙම තොරතුරුවලින් වැඩි හරියක් අසතුටුදායක, කනගාටුදායක ප්‍රවෘත්ති වන හෙයින්, ජනතාව නිරන්තරයෙන් වික්‍ෂිප්තභාවයට පත්වෙති. භීතියට හා කනස්සල්ලට පත්වෙති. ඇතමෙක් මානසික ආතතියට පවා ලක්වෙති.
මේ අන්දමට ඉතා කෙටි කාලයක් තුළ තොරතුරු විශාල ප්‍රමාණයක් ප්‍රචාරය වීම, තොරතුරු වසංගතයක් :ෂබදෙරප්එසදබ ෑචසාැපසජ – ෂබදොැපසජ* ලෙස හැඳින්වෙන්නේය. කිසියම් සිද්ධියක් මුල් කරගෙන, ඊට අදාළ තේමා යටතේ තොරතුරු විශාල ප්‍රමාණයක් ඉතා වේගයෙන් ප්‍රචාරය වීම, තොරතුරු වසංගතයක් ලෙස හැඳින්වෙන්නේය. මෙහිලා ප්‍රධාන ම ගැටළුව වන්නේ මෙම තොරතුරු සමූහය තුළ අඩංගු ඇතැම් ඒවායේ සත්‍යතාවය තහවුරු කරගැනීම අපහසු වීමය. මෙම තොරතුරු සමූහය තුළ, අසත්‍ය, සාවද්‍ය තොරතුරු රාශියක් අඩංගු වීමය. ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව, බෲනෝ කෙස්ලර් පදනම විසින් කොවිඞ්-19 තොරතුරු වසංගත නිරීක්‍ෂණ මධ්‍යස්ථානයක් පවත්වා ගෙනයන අතර, ඒ මගින් 2020 ජනවාරි-ඔක්තෝබර් කාලය තුළ ප්‍රචාරය වූ කොරෝනා වසංගතය පිළිබඳ ට්විටර් පණිවුඩ මිලියන 500ක නියැදියක් විශ්ලේෂණය කරනු ලැබීය. ඒ අතුරින්, පිළිගත හැකි මට්ටමේ, විශ්වාසදායක තොරතුරු පැවතියේ 71%ක ප්‍රමාණයක් බව අනාවරණය වී ඇත්තේය. 29%ක් ම සාවද්‍ය තොරතුරු මත පදනම් වූ ඒවා බව අනාවරණය වී ඇත්තේය. ලතින් ඇමෙරිකානු රටවල තත්ත්වය වඩාත් අයහපත් වන අතර, නිදසුනක් ලෙස, පේරු හා වෙනිසියුලා යන රටවල ප්‍රචාරය වූ කොරෝනා සම්බන්ධ ට්විටර් පණිවුඩවලින් 75%ක් ම අසත්‍ය ඒවා බව හෙළිවී ඇත්තේය.
කිසියම් ගැටළුවක් සම්බන්ධයෙන්, මේ අවස්ථාවේදී කොරෝනා වසංගතය සම්බන්ධයෙන්, සුවිසල් තොරතුරු කන්දරාවක් ඉතා වේගයෙන් ප්‍රචාරය වන විට, අදාළ ගැටළුවට විසඳුම් සෙවීම අතිශයින් දුෂ්කර වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේය. තම ආයතනයට කොරෝනා වසංගතයට සමගාමීව තොරතුරු වසංගතයක් සමඟ ද සටන් කිරීමට සිදුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේය. රොයිටර් ප්‍රවෘත්ති ආයතනය විසින් කරන ලද සමීක්‍ෂණයකට අනුව, කොවිඞ් සම්බන්ධයෙන් පැතිරෙන බොරු ප්‍රචාර අතර, රාජ්‍ය ආයතනවල කටයුතු පිළිබඳ වූ අසත්‍ය තොරතුරු මුල් තැනක් ගන්නේය. විවිධ රටවල රජයයන්, ප්‍රාදේශීය පාලන ආයතන විසින් මෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය බඳු අන්තර්ජාතික සංවිධාන විසින් ද කොවිඞ් මර්ධනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව කෙරෙන බොරු ප්‍රචාර රාශියක් ඇති බව රොයිටර් ආයතනය පවසන්නේය. දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව ද දියත් කෙරෙන කොරෝනා මර්ධන වැඩසටහන්වලට, මෙවැනි අසත්‍ය ප්‍රචාර විශාල බාධාවක් බව අමුතුවෙන් කිවයුතු නැත්තේය.
හැකි ඉක්මනින් අදාළ තොරතුරු ජනතාව වෙත ලබාදීමට සමාජ මාධ්‍ය ජාලා මෙන්ම ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද උත්සාහ දැරීම හේතුවෙන්, තත්ත්වය තවත් දරුණු වී ඇත්තේය. කිසියම් සිද්ධියක් ඇතිවූ විට, එම ආරංචිය පළමුවෙන් ම ජනතාව වෙත ඉදිරිපත් කළ නාලිකාව බවට පත්වීමේ තරගයක් ලාංකේය විද්‍යුත් නාලිකා අතර ද පවතින්නේය. පැයෙන් පැය පුවත්, උණුසුම් පුවත්, බ්‍රේකින් නිව්ස් වැනි විවිධ නම් යොදා ගනිමින්, ජනතාවගේ හැඟීම් අවුස්සමින් තොරතුරු ප්‍රචාරය කිරීමේ තරගයක් ලාංකේය විද්‍යුත් නාලිකා අතර ද පවතින්නේය. වෙළඳපොල හා බැඳුණු නූතන මාධ්‍ය භාවිතය තුළ මෙවන් ප්‍රවණතා අපේක්‍ෂා කළ යුතුව ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවද, කොරෝනා බඳු දරුණු වසංගතයක් හමුවේ සියලු ම මාධ්‍ය අතිශය වගකීම් සහගතව ක්‍රියාකළ යුතු වන්නේය. එහෙත්, මැතිවරණයක ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදී ඇති හදිසිය වැනි හදිසියකින් කොරෝනා තොරතුරු ප්‍රචාරය කිරීමට ද, ඇතැම් මාධ්‍ය උත්සාහ දැරීම කනගාටුදායකය. යටකී පරිදි, මෙම තොරතුරු ස්මාර්ට් දුරකතනය හරහා පැය විසි හතර පුරා ම ජනතාව වෙත ගලාවිත් මහත් පීඩාවක් ඇති කරන්නේය.
මේ අනුව බලනා විට, මෙම තොරතුරු වසංගතය විසින් කොරෝනා වසංගතයට නොදෙවෙනි හානියක් ඇතිකරන බව පැහැදිලිය. යටකී පරිදි, තොරතුරු වසංගතය හේතුවෙන් ජනතාව බරපතළ මානසික ආතතියකට ලක්වන අතර, එහි සෘණාත්මක බලපෑම දීර්ඝකාලීන වීමට ඉඩ ඇත්තේය. එනම්, පශ්චාත් යුද සමයන්හි දී දක්නට ලැබෙන මානසික රෝගී තත්ත්වයන් හා සමාන තත්ත්වයක් පශ්චාත් කොරෝනා සමයේදී ද ඇති වීමට ඉඩ ඇත්තේය. වෙනත් වචනවලින් කියතොත්, තව වසරකින් පමණ කොරෝනා වසංගතය මෙලොවින් සමුගත්තද, තොරතුරු වසංගතයේ අයහපත් ප්‍රතිඵල තව වසර ගණනාවක් පැවතීමට ඉඩ ඇත්තේය. එමතුද නොව, මෙම දැවැන්ත තොරතුරු කන්දරාව හමුවේ, ප්‍රතිපත්ති සම්පාදකයෝ නිවැරදි තීරණවලට එළඹිය නොහැකිව මහත් දුෂ්කරතාවයකට මුහුණ දෙති. කොරෝනා මර්ධන කටයුතුවල නිරත වන රාජ්‍ය ආයතනවල සහ රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීහු මහත් දුෂ්කරතාවයකට මුහුණ දෙති. මෙම තොරතුරු වසංගතයට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි වෙහෙසක් ගන්නා අතර, ඒ සඳහා, ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් පිටුවේ “මිථ්‍යා බිඳීම” යන නමින් වෙනම ම කොටසක් වෙන්කර ඇත්තේය. එපමණක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගූගල්, ෆේස්බුක්, ටෙන්සන්ට්, ට්විටර්, ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය ජාලා හා ඒකාබද්ධව, අසත්‍ය තොරතුරු ඉවත් කොට නිවැරදි තොරතුරු හා දත්ත පමණක් ප්‍රචාරය කිරීමේ විශේෂ වැඩසටහනක් ද දියත් කොට ඇත්තේය. මෙම බැරෑරුම් කටයුත්තට උපරිම සහායක් ලබාදෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු ම රටවලින් ඉල්ලා සිටින්නේය. හැම විට ම නිවැරදි තොරතුරු හා දත්ත ජනතාවට ලබාදෙමින්, තොරතුරු වසංගතයේ බලපෑම අවම කිරීමට සහාය වන්නැයි සියලු ම රටවලින් ඉල්ලා සිටින්නේය.
මෙම කටයුත්තේදී, රජයේ ආයතනවලට පමණක් නොව සියලුම මාධ්‍ය ආයතනවලට ද විශාල වගකීමක් පැවරී ඇත්තේය. හදිසියකින් තොරව, නිරවද්‍යතාවය තහවුරු කරගත් තොරතුරු පමණක් ප්‍රචාරය කිරීමට මාධ්‍ය ආයතන වගබලාගතහොත් තොරතුරු වසංගතයේ අයහපත් බලපෑම අවම කරගත හැකිය. කොරෝනා වසංගතයෙන් බැටකන ජනතාවට තොරතුරු වසංගතයෙන් ද පහර නොදී සිටීමට මාධ්‍ය ආයතන වගබලාගතහොත් තත්ත්වය පාලනය කරගත හැකිය. අනෙක් අතට, ජනතාවගේ පැත්තෙන් ද මේ සඳහා සහායක් ලැබිය යුත්තේය. කොරෝනා වසංගතයේ නවතම තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටිනා අතර ම, රූපවාහිනී තිරය දෙස හෝ ස්මාර්ට් දුරකතනය දෙස උදේ සිට රෑ වනතුරු දෑස් දල්වා බලා සිට අනවශ්‍ය ආතතියක් ඇතිකර ගැනීමෙන් වැලකී සිටීමට ජනතාව වගබලාගත යුත්තේය. සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් කොරෝනා වසංගතය ගැන අවධානයෙන් සිටින අතර ම, අනවශ්‍ය කුණුකන්දල් නරඹා හෝ ඒවාට සවන් දී මනස අවුල් කරගැනීමෙන් වැලකී සිටීමට ජනතාව වගබලාගත යුත්තේය.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති
මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...