අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහල යෑම නිසා එම මිල පාලනයට රජය විසින් මිල පාලන ගැසට් කීපයක් පසුගිය සමයේ නිකුත් කරන ලදී. නමුත් එකී පාලන මිලට එම භාණ්ඩ වෙළඳපොළ තුළ මිලදී ගැනීමට නැත. වෙළෙන්දන්ගේ පාර්ශ්වයෙන් නැගෙන මැසවිල්ලක් වනුයේ පාලන මිලට භාණ්ඩ සැපයීමෙන් තමන්ට පාඩු සිදුවන බවයි. මෙරට පැවැති රජයන් සහ පවතින රජයන් විසින් නිකුත් කරනු ලබන මිල පාලන ගැසට් ප්‍රායෝගිකද? ඒවායින් බලාපොරොත්තු වුණු අරමුණු ඉටුවීද? යන්න පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ සමග කළ සංවාදයයි මේ.
මිල පාලන ගැසට් එකක් ගහල අතපිසදා ගැනීමේ ප්‍රතිපත්තියෙන් රජය දැන්වත් මිදෙන්න ඕන
ආචාර්ය ප්‍රියංග දුනුසිංහ
සැපයුම් ජාලය කඩාවැටීම නිසා භාණ්ඩ මිල වැඩිවෙලා
මේ වෙද්දි වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමක් දකින්න ලැබෙනව. මේ තත්ත්වයට බලපෑම් කර තියෙන ආර්ථික සාධකයන් මොනවද?
මේ භාණ්ඩ මිල වැඩිවීමට රජයේ බදු හෝ ආර්ථික ප්‍රතිපත්ති බලපාන්නෙ නෑ. ඒකට ප්‍රධාන වශයෙන් බලපෑම් කරල තියෙන්නෙ භාණ්ඩ සැපයුමට අදාළව බලපා තියෙන විවිධ කඩාවැටීම්. නැතිනම් සැපයුම් ජාලයේ කඩාවැටීම්. උදාහරණයකට යම් යම් කෘෂි නිෂ්පාදන කරන ගොවියන්ට ඒවා වෙළෙඳපොළට සැපයීමේ බාධාවන් ඇති වී තියෙනව. අනෙක් අතට කොළඹට එම භාණ්ඩ රැගෙන එන පිරිස වෙනද වගේ භාණ්ඩ තොග වශයෙන් අරගෙන එන්නෙ නෑ. ඒකට හේතුව මේ වසංගත තත්ත්වය යටතේ පවතින අවිනිශ්චිතතාව. කොයි වෙලාවෙ වෙළෙඳපොළ වසා දමාවිද, භාණ්ඩ ඉල්ලුම අඩුවේවිද වැනි කරුණු ගැන ඔවුන් ඉන්නෙ දෙගිඩියාවක. ඒ වගේම මේ ආර්ථික අර්බුදය හමුවෙ මිනිස්සු තමන්ගෙ ගෙවත්තෙ වැවෙන දේ කෑමට ගන්න තමයි උත්සාහ කරන්නෙ. ඒ නිසා මිනිස්සු දැන් වෙළෙඳපොළට යන එක අඩුවෙලා. මේකෙ ප්‍රතිඵලය තමයි වෙළෙදුන් මහා පරිමාණ වශයෙන් බඩු නොගෙන්වීම. ඒ නිසා භාණ්ඩ තිබුණත් ඒවා වෙළෙඳපොළට එන්නෙ නෑ. එවැනි තත්ත්වයක් යටතෙ තියෙන භාණ්ඩවල මිල අධික වෙනව. එළවළු පලතුරු වගේ දේවලට මේ තත්ත්වය විශේෂයෙන් බලපාල තියෙනව. නිෂ්පාදන ප්‍රදේශවල ඉඳල පාරිභෝගිකයො ඉන්න පැතිවලට භාණ්ඩ සැපයුම අඛණ්ඩව ක්‍රමවත්ව සිදුවෙන්නෙ නෑ. ඒක තමයි ප්‍රධානතම හේතුවෙලා තියෙන්නෙ භාණ්ඩ මිල ඉහළ යන්න.
සහල්, සීනි, පරිප්පු වගේ පරිභෝජන භාණ්ඩ මිල ඉහළ යෑමට රජයේ ආනයන ප්‍රතිපත්තිය යම් බලපෑමක් කරල නැද්ද?
ආනයනයන් සීමා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ භාණ්ඩවල මිල ඉහළ යන්න පුළුවන්. වෙනදා පරිප්පු කන්ටේනර් ගෙන්වද්දි ඒත් එක්කම තවත් භාණ්ඩ ගෙන්වනව. දැන් අනෙක් භාණ්ඩත් ගෙන්වන්නෙ නැති තත්ත්වයක පරිප්පු පමණක් ගෙන්වීමෙන් ඒකක පිරිවැය ඉහළ ගිහින් තියෙනව. ආනයන සීමාසහිත වුණාම වෙන එක දෙයක් තමයි එම ආනයන ගෙන්වීම් කරන අය මේ තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ලාභ උපයන්න උත්සාහ කිරීම.
අනෙක් කාරණය තමයි මේ වෙද්දි හැම ක්ෂේත්‍රයකම මෙහෙයුම් පිරිවැය වැඩිවෙලා. තොග වෙළෙන්දන්ගෙ සේවකයො ගනිමු. ඔවුන්ව තම සේවා ස්ථානයට ගෙන්වීමට වෙන්නෙ වෙළෙන්දන් විසින් සපයන පෞද්ගලික ප්‍රවාහන සේවයකින්. ඔවුන් සනීපාරක්ෂක පහසුකම් සැපයීමට වියදම් දරන්න වෙනව. එලෙස මෙහෙයුම් පිරිවැය වැඩිවීමත් ඔබ කිව්ව භාණ්ඩවල මිල ඉහළ යෑමට යම් බලපෑමක් කරල තියෙනව.
මේ වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යද්දි රජය කරන්නෙ ඒ භාණ්ඩවලට පාලන මිලක් නියම කර ඒව ගැසට් කිරීම. ඒක සෑම රජයක් යටතේම සිදුවුණු දෙයක්. නමුත් හැමදාම වුණේ ඒවා ගැසට්වලට පමණක් සීමාවීම. පාලන මිලට ගන්න භාණ්ඩ වෙළෙඳපොළේ නෑ…
ඒක ඉතා වැදගත් කාරණයක්. මේ මිල පාලනය රජයට ලේසියෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් රජය යටතේ තියෙන සතොස වෙළෙඳසල් හරහා. ඒත් සියලුම ජනතාවට සේවය සැපයිය හැකි සතොස ජාලයක් රට පුරා විසිරිලා නෑ. ඒ වගේම මිල පාලනයට අදාළව භාණ්ඩ සපයනවාද කියා සොයා බලන යාන්ත්‍රණයක් රජයට නෑ. රජය ගැසට් එකක් ගෙනාවම සතොසට, සුපිරි වෙළෙඳසල්වලට සහ යම් ස්ථාවරයක් ගොඩනගා ගත් අලෙවි සල්වලට සිදුවෙනව ඒ මිලට භාණ්ඩ සපයන්න. එතනදි ඒ වෙළෙඳ ජාලය හරහා බලපෑමක් කිරීම මගින් ගැසට් කළ මිලට භාණ්ඩ සැපයීමට පෙලඹවීමක් කිරීමට තමයි රජය මෙතනදි උත්සාහ ගන්නෙ. එතනදි එම පිරිස ගැසට් කළ මිලට භාණ්ඩ දෙනව. හැබැයි එම භාණ්ඩවල තොග ඉවර වුණාම ආයෙත් ඒ භාණ්ඩ ගෙන්වීම නතරකරනව. ඒ තමන්ට පාඩු ලබන්න වෙන නිසා.
ඒ වගේම තවත් පිරිසක් ඉන්නව තියෙන ප්‍රමාණය දෙන්නෙත් වැඩි මිලට. අලුතෙන් ගේන ප්‍රමාණය දෙන්නෙත් වැඩි මිලට. ඒ නිසා අපේ රටේ මිල පාලන ගැසට් හරියට ‘දත් නැති බල්ලො’ වගෙ. රජය දන්නව ගැසට් එක දාද්දිම ඒ තුළින් දැනෙන බලපෑමක් ජනතාවට වෙන්නෙ නෑ කියල. හැබැයි තමන්ට තියෙන අන්තිම තුරුම්පුව විදිහට රජය උත්සාහ කරනව ගැසට් එකක් දාල හරි මහජනතාවට පෙන්වන්න ඔවුන් වෙනුවෙන් යමක් කරල තියෙන බව. අනෙක් පැත්තෙන් ගැසට්වලට පෙළඹෙන යම් පිරිසක් ඒවට පොලඹවා ගන්නත්. හැබැයි අවසානයෙදි වෙන්නෙ භාණ්ඩ හිඟයක් ඇතිවෙනව. වැඩිමිලට හෝ ඒ භාණ්ඩ මිලට ගන්න වෙළෙඳපොළ තුළ නැතිවෙනව. ඒ තුළින් යම් පිරිසක් පෙරටත් වඩා ලාභ ලබනව. ඒ නිසා රජය තේරුම් ගන්න ඕන ගැසට්වලින් භාණ්ඩ මිල පාලනය කරන්න බෑ කියල.
පාලන මිලට යම්කිසි සීමිත පිරිසකට, සීමිත කාලයකට ඔබ පැවැසූ ආකාරයෙන් සුපිරි වෙළෙඳසල් ජාලය තුළින් සහ සතොස වැනි ආයතන තුළින් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. නමුත් ගමේ ඉන්න අහිංසක ජනතාවට ඒ අවස්ථාවවත් හිමිවෙන්නෙ නෑ. නගරයේ තියෙන සුපිරි වෙළෙඳසල් ජාලය සමග නෙමේ ඔවුන් ගනුදෙනු කරන්නෙ. ගමේ සිල්ලර වෙළෙන්දත් එක්ක. උදාහරණයකට සහල්වලට පාලන මිලක් ගෙන ඒමෙදි ඒ පනවන මිලට වඩා වැඩි මිලකට තමයි සිල්ලර වෙළෙන්දට හාල් ලැබී තියෙන්නෙ. එතකොට ඔහුට පාලන මිලට සහල් දෙන්න බැරිවෙනව. ඒ කියන්නෙ මේ ප්‍රතිලාභය ලැබිය යුතු පිරිසට කොහොමටත් සෙතක් වෙන්නෙ නෑ කියන එක නේද?
පැහැදිලිවම ඔව්. මිල පාලනය කරන්න යද්දි රජය දැන ගත යුතු පළමු දේ තමයි තමන්ට ආර්ථිකයෙ සියලු දේ පාලනය කරන්න බෑ කියන එක. ඒක තමයි පළමු පාඩම. ඒ අනුව රජය තේරුම් ගත යුතුයි රජයට වෙළෙඳපොළ ආර්ථිකය තුළ මැදිහත්වීමට ඇති සීමාවේ සීමාසහිත බව. ආර්ථිකයක භාණ්ඩ මිල තීරණය සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන සාධකය තමයි ඉල්ලුමට හා සැපයුමට අදාළ කරුණු. භාණ්ඩයක මිල ඉහළ යනව නම් ඒ ඇයි කියන එක තේරුම් ගන්නෙ නැතිව කෝකටත් තෛලය වගේ හැම දේම ගැසට් ගැසීම තුළින් මෙරට රජයන් පෙන්වා තියෙන්නෙ භාණ්ඩ මිල පාලනය සම්බන්ධයෙන් රජයන්ට වෙනත් කිසිම ආකාරයේ මැදිහත්වීමක් නෑ, එහෙම කරන්න දැක්මක් නෑ කියන එක. ආර්ථිකයක ඕනම අයෙක් හැසිරෙන්නෙ ඉල්ලුම, සැපයුම සහ ලාභය කියන සාධක මත. එහෙම ලාභදායීතාව වළක්වල රජය අත්තනෝමතික ලෙස ගැසට් ගහනව නම් ඒක තුළින් රජය කරන්නෙ පාරිභෝගිකය කබලෙන් ළිපට ඇද දැමීමක්. හේතුව ගැසට් ගැසීම නිසා අන්තිමේදී වෙන්නෙ එම භාණ්ඩ කෘත්‍රිම හිඟයක් වෙළෙඳපොළ තුළ ඇතිවීම.
ග්‍රාමීය ආර්ථිකය ගත්තොත් ඒ ජනතාව කරන්නෙ එදා වේලට අදාළව භාණ්ඩ මිලදී ගැනීම. රජය මිල පාලනයට ගැසට් ගැසීමෙන් කරන්නෙ අසරණ පාරිභෝගියා තවදුරටත් අසරණ කිරීම. මේ නිසා පාරිභෝගිකයත්, වෙළන්දත් අසරණ වෙනව. ඒ වගේම මුළු ආර්ථිකයේ භාණ්ඩ බෙදාහැරීමේ යාන්ත්‍රණය සම්පූර්ණ කඩාවැටීමකට ලක්වෙනව. මේ මිල පාලනයන් නිසා ප්‍රධාන භාණ්ඩ සැපයුම්කරුවන් වෙළෙඳපොළට භාණ්ඩ දාන්නෙ නෑ. දැම්මත් දාන්නෙ බොහොම අඩු ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ. ගුණාත්මකබවින් අඩු භාණ්ඩ තමයි පාලන මිලට දෙන්නෙ. එතනදි බැලුවාම පේන දේ තමයි ඒ ගුණාත්මක බව අඩු භාණ්ඩ එම පාලන මිලට වටින්නෙ නෑ කියන එක. ඒත් ජනතාවට සිද්ධ වෙනව හොඳ භාණ්ඩ වෙළෙඳපොළ තුළ නැති නිසා ගුණාත්මක බවින් අඩු භාණ්ඩ නොවටිනා ගාණට මිලදී ගන්න.
ගැසට් ගැහුවාම රජයට යන්නෙ ගැසට් එක ගහන්න යන වියදම විතරයි. අනෙක් හැම වියදමක්ම, පාඩුවක්ම දරල තියෙන්නෙ මහජනතාව සහ ව්‍යාපාරිකයො. පැහැදිලිවම මෙරට හැම රජයක්ම දේශපාලනිකව බේරීමට ගත් උත්සාහයක් තමයි මේ මිල පාලනය. ඒක හරියට රෙද්ද කඩල මූණ වහගන්න වගේ වැඩක්. එනිසා රජය තේරුම් ගත යුතු දේ තමයි තමන්ට කළ හැකි සාධාරණ මැදිහත්වීම මොකක්ද කියන එක.
පාරිභෝගික අධිකාරියෙන් මේ මිල පාලනයන් ගැන විමසීමේදී පැවැසූ කාරණයක් වුණෙ රජය මිල පාලනය ගේන භාණ්ඩ වෙළෙඳපොළ තුළ සුලභකරණය තුළින් අදාළ භාණ්ඩයට වෙළෙඳපොෙළ් තරගකාරීත්වයක් ඇතිකර, ඒ අනුව මිල පාලනය ගෙන ආ හැකිනම් එය සාර්ථක බව….
භාණ්ඩ මිල වැඩිවුණ ගමන් රජය මිල පාලනයට ගැසට් ගහනව කියන්නෙ වෙළෙඳ පොළ හැසිරීම ගැන ඇති අනවබෝධය. ඒක අපි පැහැදිලිව ඉහත කතා කළා. සීනි, පරිප්පු වගේ දේවල මිල ඉහළ යන්නෙ ඉල්ලුමට සරිලන සැපයුම නැති නිසා වෙන්න පුළුවන්. ඊට අමතරව එළවළු මිල ඉහළ යන්නෙ ඇයි කියන අවබෝධයවත් රජයට නෑ. මම දකින ආකාරයට පාරිභෝගික අධිකාරිය කියන කාරණය හරි. සැපයුම අඩු වෙලාවකදි මිල පාලනයක් කිරීමට යෑම සාර්ථක නෑ තමයි.
මිල පාලන අධිකාරිය මොකක් කිව්වත් පොදුවේ කිව හැකි දේ තමයි මිල පාලනය කිරීමේ හැකියාව මේ තියෙන තත්ත්වය තුළ රජයට නෑ කියන එක. එය නාගරික හා අර්ධ නාගරික සතොස, සුපිරි වෙළෙඳසල් ජාලය තුළ යම් තරමකට කරන්න පුළුවන්. හැබැයි රටේ සාමාන්‍ය ජනතාවට දැනෙන ආකාරයේ පාලනයක් රජයට කරන්න බෑ.
මිල පාලනය රජය ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනව නම් අනිවාර්යයෙන්ම එය කළ යුත්තෙ රජය ඒ වෙනුවෙන් කළ යුතු සහ තමන්ට හරියාකාරව ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණයක් හඳුන්වාදීමෙන් පසුවයි. එහෙම නැත්නම් රජය මේ කරන දේ අතීසාරයට අමුඩ ගැසීමක් වගේ තමයි.
එහෙම නම් රජයට මොනවගේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කළ හැක්කේ ඉහළ යන භාණ්ඩ මිල හමුවේ ජනතාවට සහනයන් සැලසීමට…?
රජය කළ යුත්තේ ඒ වෙනුවෙන් අවශ්‍ය දිගුකාලීන යාන්ත්‍රණයක් හඳුන්වාදීම. රජය පළමුව මෙරට වෙළෙඳසල් ජාලයේ තොරතුරු රැස් කළ යුතුයි. පසුව ඔවුන් එක්ක සම්බන්ධතාවක් ඇතිකරගෙන රජය පනවන මිලට භාණ්ඩ සැපයීමට ඉල්ලීම් කරල, ඔවුන්ව ඒකට එකඟ කරගත යුතුයි. එතනදි වෙළෙඳ ආයතනවලට රජය පැත්තෙන් යම් යම් සහන සැලසීම අනිවාර්යය කරුණක්. ණයක් ලබාදීමේදී සහන පොලී අනුපාත යටතෙ ණය ලබාදෙන්න පුළුවන්. නැතිනම් ණය කාලසීමාවන් දීර්ඝ කරන්න පුළුවන්. ඒ විදිහට රජය බලාපොරොත්තු වන සේවය ලබාදීමට එකඟවන වෙළෙඳසල් හිමියන්ගෙන් යුත් ජාලයක් සැකසීමට රජය උනන්දුවිය යුතුයි. නමුත් අවාසනාවකට එවැනි ඵලදායී එළඹුමක් අපි තාම දකින්නෙ නෑ. මිල පාලන ගැසට් එකක් ගහල අතපිසදා ගැනීමේ ප්‍රතිපත්තියෙන් දැන්වත් මිදෙන්න ඕන. එතනදි මාධ්‍යයටත් ලොකු වගකීමක් තියෙනව නිර්මාණශීලීව කොයි විදිහටද රජයට භාණ්ඩ මිල පාලනය සම්බන්ධයෙන් දායක විය හැක්කේ කියල පෙන්වා දෙන්න.
ඔබ යෝජනා කරන නිර්මාණශීලී විසඳුම් මොනවාද ඒ වෙනුවෙන්…?
මෙවැනි තත්ත්වයක් තුළදී වැදගත් වෙන්නෙ භාණ්ඩ මිල ඉහළ යෑමෙදී අහිතකර ලෙස ඒවා බලපාන පිරිස ඉලක්ක කරගෙන ඒ පිරිසට යම් ආකාරයක සහනයන් ලබාදීම. එවැනි සහනයන් ලබාදිය හැකි යාන්ත්‍රණයන් රජයට ක්‍රියාත්මක කළ හැකි ආකාර කීපයක් තියෙනව. පාලන මිලක් අවශ්‍ය වෙන්නෙ මිලදී ගැනීමේ හැකියාවක් නැති අඩු ආදායම් පිරිස්වලට. එවැනි අයට සමෘද්ධි දීමනාව යම් වැඩිකිරීමක් කළ හැකියි. ඒ වගේම විදුලි බිලට සහනයක් ලබාදිය හැකියි. පොල් මිල ගනිමු. පොල් ගෙඩියක මිල අරගෙන, මාසයකට නිවසේ භාවිත පොල් ගෙඩි ගණන සොයාගෙන ඒකට අදාළව යන වියදම සමෘද්ධි දීමනාවට ලබාදෙන්න පුළුවන්. නැත්නම් ඒක විදුලිබිලෙන් අඩුකරන්න. එහෙම වුණොත් එම සහනය අවශ්‍ය ජනතාවට ලැබෙනව. හැබැයි එම සහනයන් භාණ්ඩ මිල අඩුවුණාට පස්සෙ ඉවත් කරනවා කියන පූර්ව කොන්දේසි පිළිබඳ දැනුවත් කරලයි එහෙම කරන්න ඕන.
එහෙම යාන්ත්‍රණ ලෝකයේ ක්‍රියාත්මක වෙනව. කොරෝනා වසංගතය දැඩිව පැතිර තියෙන ඉන්දියානු රජයත් පෞද්ගලික අංශයේ වැඩකරන සේවකයන්ට පඩිගෙවීමට කටයුතු කරනව. අපිත් මේ අයවැයෙන් ඇවිදින පාරවල්, ක්‍රීඩාංගණ හදනව වෙනුවට මේ මොහොතේ රැකියා අහිමිවෙලා තියෙන පහළ මට්ටමේ පිරිසට රැකියා අවස්ථා උදාකරදීමට රජයට මැදිහත්විය හැකියි. එතනදි දින සීයක වැඩසටහනක් ඉදිරිපත් කළ හැකියි. යම් පෞද්ගලික ආයතනයකට කියන්න පුළුවන් මේ දින සීය ඇතුළතදි මේ මේ වැඩ ටික අපිට කරල දෙන්න ඊට අදාළව රැකියා දෙන්න රජය ඔවුන්ට පඩිදෙනව කියල. ඒවගේ ඕන තරම් දේවල් තියෙනව මිල පාලන ගැසට්වලට වඩා ප්‍රායෝගිකව සහන සැලකිය හැකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...