මෙයට මඳ කලකට පෙර සිටි අපරාධකරුවන් තම අපරාධ චාරිකාව තුළ ගමන් කරද්දි, පසු කිරීමට හෝ මඳකට නැවතී සිටීමට ඉතාම අකමැති ස්ථාන තුනක් තිබුණි. ඒ කොහුවල පොලිසිය, ගල්කිස්ස උසාවිය සහ මහර හිරගෙදර යන මාරක තැන් තුනයි.
ඔවුන් එදා කොහුවල පොලිසියට බය වූයේ එහි තිබූ නාව නාවා ගහන වධකාගාරයත් වත්ත කෙලවර පිහිටි ඇත්ත වමාරන තුරු දෙපයින් එල්ලන රූස්ස සියඹලා ගසත් අපරාධකරුවන් ලූහුබැඳ ගොස් බෙල්ලෙන්ම අල්ලන හතරේ කල්ලිය යයි කියන මහත්තුරුත් නිසාය. ඔවුන් ගල්කිස්ස උසාවියට බය වුණේ එකල නඩු අසන්නට එක පිට එක පත්ව ආ ඉතා සුළු වරදටත් වසර ගණන් අච්චු කරන බෙහෙතකටවත් ඇප නියම නොකරන කිසිම බලපෑමකට නතුකර ගත නොහැකි නඩුකාර හාමුදුරුවරුන් එහි නඩු අහපු නිසාය. අවසාන වශයෙන් මහර හිරගෙදරට ඔවුන් බය වුණේ එය ඇත්තටම භයානක හිරගෙයක් නිසාය. යන්තම් නාඩි පමණක් වැටෙන එකෙක් ඇතුළට බැස්සත් ඌට අපචාර කරන්නට දඟලන අලූත් එවුන්ගේ ඉහමොළ පමණක් නොව රීරි මාංසද උරා බොන අන්දමේ දරුණු සිරකරුවන් සිටින සහ මුදලට ඕනෑම ජඩ වැඩක් කරන්නට සැරසුනු මහත්තුරුන්ගෙන් පිරුණු මහර බන්ධනාගරය යනු මෙයට දසක කීපයකට පෙර ඇත්තටම අවීචි නරකාදියකි.
ගම්පහ දිස්ත‍්‍රික්කයේ කඩවත සහ රාගම අතර පිහිටා ඇති මහර බන්ධනාගාරය 1875 දී බි‍්‍රතාන්‍ය යටත් විජිත සමයේ ඉදිකරන ලද උපරිම ආරක්‍ෂාව සහිත සිරගෙදරකි. බි‍්‍රතාන්‍යය විසින් 1844 දී නව බන්ධනාගාර ක‍්‍රමයක් තම යටත් විජිතවාදී රටවල් වලට හඳුන්වා දුන් අතර ඊට අවුරුදු තිහකට පමණ පසු ශ‍්‍රී ලංකාව තුළද 1844 අංක 18 දරන පනතට අනුකූලව එවකට පොලිස්පති සර් ජෝර්ජ් කැම්බල් යටතේ පොලිස් දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආරම්භ විය.
බන්ධනාගාර ගතවූවන්ව 1844 අංක 2 පනත මත පොදු වැඩ සඳහා යොදා ගැනීමට කටයුතු කරන ලදී. ඒ අනුව ඔවුන්ව කොළඹ වරායේ දියකඩනය තැනීමට දුම්රිය මාර්ග සහ මහ මාර්ග තැනීමට සහ රජයේ ඉදි කිරීම් වැඩ සඳහා යොදා ගන්නට අවසර ලැබුනි. කොළඹ කොම්පඤ්ඤ වීදියේ ස්ලේව් අයිලන්ඞ් පිහිටි බන්ධනාගාරයේ පැවති දැඩි තදබදයට විසඳුමක් ලෙස මහර බන්ධනාගාරය ඉදිකරන ලද අතර එහි මුලින්ම රඳවනු ලැබුවේ ඒ ආසන්න ප‍්‍රදේශයේ පිහිටි ගල් කොරියක ගල් කැඞීමේ නිරතව සිටි දැඩි දඬුවම් ලද සිරකරුවන් පිරිසකි. ඉතා විශාල භූමියක් තුළ පිහිටා ඇති මේ බන්ධනාගාර පරිශ‍්‍රය තුළ එදා පටන් අද දක්වා අක්කර 40 ක පමණ භූමි බාගයක් පුරා කර්මාන්ත කෘෂිකාර්මික සහ පශු සම්පත් වැඩසටහන් ක‍්‍රියාත්මක වෙයි. මෙය කර්මාන්ත බන්ධනාගාරයක් ලෙස ප‍්‍රකට වන අතර එදා විශාල ගල් වළක් (කොරියක්) පැවති ප‍්‍රදේශයේ අද පොල් කෘෂි බෝග වගාවක පවතී. ඒ වෙනුවට රැඳවියන් මැහුම්, පෙදරේරු, වඩු වැඩ, කොහු වැඩ රෙදි විවීම, කොසු ඉදල් තැනීම ආදී කර්මාන්ත වල යෙදෙයි. මහර හිරගෙදර ආසන්නනේ අදටත් එම ගල්වල දකින්නට ඇති අතර අද සිටින රැඳවියන් ගල් කඩන්නේ නැත. ඒ වෙනුවට එහි කෙරෙන්නේ කෘෂිභෝග වගාවයි.
අප අද මෙම ලිපිය තුළින් කතා නොකරන මෑතකදී එනම් 2020 නොවැම්බර් අග සහ දෙසැම්බර් මුල ඇතිවුණ කැරැල්ල වැනි අවාසනාවන්ත සිදුවීම් මහරට අලූත් ඒවා නොවේ. 1902 ජුනි 28 වන දින දිවා කාලයේදී මහර ගල් වළේ කැරැල්ලක් ඇතිවුණු අතර එදා එහි සිටි රැඳවියන් 79 දෙනකු පලා ගොස් ඇති බවට ඉතිහාස වාර්තා පවසයි. එදා එහි සිටි බන්ධනාගාර ආරක්‍ෂක නිලධාරීන්ට කැරලිකාර රැඳවියන් විසින් පහර දී බන්ධනාගාර ප‍්‍රධානියාගේ රිවෝල්වරය පැහැර ගෙන ඇති අතර පසුව බිෂොප් නමැති මේජර් වරයා තවත් ජේලර් වරුන්ගේ සහාය ඇතිව අවට ප‍්‍රදේශය පීරා 40 දෙනකු යළි අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මෙය ශ‍්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසය තුළ මෙතෙක් සිදුවූ පළමු සහ විශාලතම පලායාමයි (first and biggest escape)
එතැන් පටන් මහර බන්ධනාගාරය තුළ තවත් විවිධ ප‍්‍රමාණයේ කැරලි කෝලාහල පුපුරා ගොස් ඇති අතර 1970 1990 සහ 1993 දී එවැනි සිදුවීම් ගැන වාර්තා වෙයි.
1970 දී සිදුවුන ප‍්‍රචණ්ඩ කැරැල්ල ගැන අපට ජීවමාන සාක්‍ෂියක් දෙන්නේ ‘‘ලබා කරාටෙ සෙල්ලා’’ නොහොත් සෙල්ලයියාය. අදටත් වැලිකඩ බන්ධනාගාරයේ මහ ගේට්ටුව ඉදිරියේ පාර එහා පැත්තේ කැම්බල් පාක් එක කොනේ රූස්ස මාර ගහ යට ජංගම කඩයක් ස්ථාපිත කරගෙන නිදහසේ දිවි ගෙවන දීර්ඝ කාලින සිරකරුවෙකු වන සෙල්ලයියා එදා මහර සිටි හොඳ රජ වැඩකාරයෙකි. ඔහු වරක් චීනා සමග හිරෙන් පැන්න, කලක් මහර, වැලිකඩ, බෝගම්බර, යාපනය යන හිරගෙවල් හොල්ලාගෙන සිටි දැන් යහපත් දිවි පෙවතක් ගෙවන කලින් දාමරිකයෙකි. (කෑනා හෙවත් කෑරගල සිරිසේන මහර සිටි අන්දම අපි පසුව කතා කරමු)
”මේක වුණේ 1970 දි විතර ඒ කියන්නේ මං හොඳ කොල්ල කාලේ. මං මහර වැහිල හිටියෙ දඹදිවෙන් පන්නං ආපු දඹ රන් පිලිමයක් කොල්ල කාපු නඩුවටයි. ඒ දවස් වල හිටිය තිලකරත්න කියල ක්ලාස් 2 ජේලර් මහත්තයෙක් යකාටවත් බය නැහැ හොඳ ෆුට්බෝල් කාරයා හැබැයි සෙවල වැඩි හිරකාරයන්ට නිකන් බොරුවටත් ගහනව දවසක් මුරුගේසු කියල යාපනෙං ආපු හිරකාරයෙකුට නිකරුනේ ගහල ඞී සෙල් එකට දැම්මා. සෙල් එකේ එවුන් මුරුගේසුව ෆෝම් කළා මහත්තයට ගහපං අපිත් ගහන්නම් කියල. කිව්ව වගේම සෙල් එකට කෑම අරන් එද්දි මුරුගේසු මහත්තයට ගැහුවා. අනිත් එවුනුත් වටවෙලා ගැහුවා. පස්සේ මහත්තුරු ඇවිත් අර මහත්තයව අරන් ගියා ඒ එක්කම එලියෙ හිටපු සිරකාරයො බිම තිබ්බ ගල් කෑලි ගඩොල් කෑලි වලින් ඔපිස් එකටයි මහත්තුරුන්ටයි ගහන්න ගත්තා. එකම ගෝරියයි ජංජාලයයි බොහොම දෙනෙක් ලේ පෙරාගෙන එහෙ මෙහෙ දිව්වා මට මතකයි. කොහොම වුණත් ඉක්මනටම මහත්තුරු කැරැල්ල පාලනය කළා හැබැයි තිලකරත්න මහත්තය මැරුනා.’’
මහර හිරගෙය කියන විට අපට සිහියට නැගෙන සුප‍්‍රසිද්ධ සහ කුප‍්‍රසිද්ධ හිරකරුවන්ගේ නම් රැසකි. ඒ අතරින් උතුවන්කන්දේ සූර සරදියෙන් මුලට එයි. ලංකාවේ රොබින්හුඞ් යන විරුදාවලිය ලද සරදියෙල් සුද්දන්ට විරුද්ධව කැරලි ගැසූ නිසාත් ඔවුන්ගේ දේ මංකොල්ල කෑ නිසාත් අල්ලා හිරකරන ලද්දේ මහරයි. මරදන්කඩවල ජිනදාස හෙවත් යකඩයා, ෆ‍්‍රැන්සිස් ප‍්‍රනාන්දු නොහොත් නවරියන් කෑරගල සිරිසේන හෙවත් චීනා ගම්පහ මුණිදාස කියුටෙක්ස් පියදාස වටරැක ජයසුන්දර, පිච්චෙ ධර්මෙ, විසකොඩි, රේ බෝයි හෙවත් රේමන්ඞ් එල්මෝ රොඩි‍්‍රගෝ, පච්ච ඇන්ඩසන්, සිරිපාල හෙවත් මරුසිරා යන චරිත ගැන මහර ගැන ලියද්දී මතක් නොකරම බැරිය. යකඩයා මහරට ”බැස්සේ’’ මරදන්කඩවල තැපැල් ස්ථානාධිපතිතුමා ඝාතනය කිරීම සහ තවත් මිනීමැරුම් මංකොල්ල සොරකම් රැසක් නිසාය. නවරියන්ද මංකොල්ල කන මිනීමරුවෙකි. වරක් මහර ප‍්‍රධාන නිලධාරියාගේ වාහනය හදන මුවාවෙන් ඔහුගේ නිල නිවසට ගොස් එහි තිබූ නිල ඇඳුම් සහ තොප්පිය සොරකම් කර ගෙන එම නිලධාරියාගේ නිල වාහනය පදවාගෙනම මහර මහ ගේට්ටුවෙන් නවරියන් එස්කේප් වී ඇති අතර එසේ යන ඔහුට ගේට්ටුව ඇර දී එහි සිටි නියාමක වරයා සැලියුට් එකක්ද ගසා ඇති බව නොනිල බන්ධනාගාර ඉතිහාස වාර්තා පවසයි.
කියුටෙක්ස් පියදාස, පිච්චෙ ධර්මෙ සහ කෑරගල චීනා මහර ”වහන්නේ’’ කැලණි පාලම මත මහ දවල් කරන ලද නව ලක්‍ෂයේ මුදල් මංකොල්ලය නිසාය. ගම්පහ මුණිදාස වචනයේ පරිසමාප්තියෙන්ම මැරයෙකි, මදාවියෙකි, හොර ගෙඩියෙකි, දූෂකයෙකි. නමුත් ඔහු මහර සහ වෙනත් බන්ධනාගාර තුළ මෙන්ම බාහිර සමාජය තුළත් දක්‍ෂ හටන් කරුවෙක් ලෙස ප‍්‍රසිද්ධය. ඔහු සමග චැලෙන්ජ් කර අතින් පයින් තනි තනිවම ගහ ගන්නට හපනෙක් එකල පළාත් හතකට සිටියේ නැත. අප පාසල් යන සමයේ ”වල බැසීමට’’ කොළඹ සිට ගම්පහට කෝච්චියේ හොරෙන් යන අතර එකල මුණිදාස ගම්පහ බස් නැවතුමේ කුඩා තේ කඩයක් කරගෙන හිටි අන්දම මට මතකය. ඔහු එහිම රාත‍්‍රියට වැතිරී බුදියන අතර සුරතලයට රිළවෙකු ඇති කළේය. කීප වතාවක්ම ගම්පහ පොලිසිය සමග සහ වෙනත් මැර කල්ලි සමග ඇවිලී ඇති මුනිදාස ඒ නිසාම සිය හැඩිදැඩි සිරුර පුරා පිහි ඇනුම් පාරවල් වෙඩි පාරවල් මූනිස්සම් කැළැල් වලින් පුරවා ගෙන ඇත. සමහරු ඔහුට කීවේ ගම්පහ රැම්බෝ කියායි. ඒ ඔහු නිතර පොලිසිය සමග ගේම ඉල්ලන නිසාය. මෑත කාලයේදීද යම් වරදකට චෝදනා ලැබ ඉතා ඉතා දුර්වල සිරුරකින් යුක්තව වැලිකඩ රෝහලේ වැසී සිටින බව මට සැල විය. සමහරු කියන්නේ ඔහු මිය ගිය බවයි. රේ බෝයි සහ පච්ච ඇන්ඩසන් යනු හැන්ඩි ලන්සියන් දෙදෙනෙකි. 1970 දී තරුණ ඔවුන් සිරගතවන්නේ චැතැම් වීදියේ සිදුවුණු ප‍්‍රසිද්ධ මැනික් මංකොල්ලය වෙලාවේ ඇතිවුණ මිනීමැරුම සම්බන්වයි. අඩි හයක් පමණ උස හොඳට ඇඟ හදාගත් අයෙක් වන රේ බෝයි එකල ඉතා කඩවසම් අයෙකි. මැණික් ගල ගන්නා පිණිස රේ බෝයි එහි හිමිකරුට ලොකු මිටියකින් පහර දුන් බව රේ බෝයි මට මහත් පසුතැවිල්ලකින් යුතුව කියා ඇත. රේ බෝයි හොඳ බොක්සිං ක‍්‍රීඩකයෙකු වන අතර ඔහුගේ වමත් ලොවර් හුක් එක මාරාන්තකිකය. ඔහු මිය යන්නට පෙර අවසන් කාලයේ මිතුරු සෙවනේ නේවාසිකව සිටියේය.
”චීනා කියන්නේ ඒ කාලේ අපි කාටවත් මෙල්ල කරන්න පාලනය කරන්න බැරිව හිටපු සුවිශේෂ හිරකරුවෙක්’’
මෙහෙම කිව්වෙ විශ‍්‍රාමික බන්ධනාගාර කොමසාරිස් (සුබසාධක) ලයනල් විරසිංහ මහතායි. සරසවි උපාධිය අවසන් කර ඉතාම තරුණ කාලයෙදි (70 දසකයෙ) බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සුබසාධක නිලධාරියෙක් ලෙස එන වීරසිංහ මහතාට බන්ධනාගාර සහ සිරකරුවන් ගැන ඇත්තේ සුවිසල් දැනුමක් සහ අත්දැකීම් සම්භාරයක්.
”මගේ මුල්ම පත්වීම මහර හිරගෙදරට ලැබුණේ. මට හිරකරුවන්ට සේවයක් කරන්න අවශ්‍ය වුණේ තරුණ කාලේ මං දැක්ක ඔවුන්ව මහර සහ කොළඹ සිට දුම්රියෙන් වැලේ (අත් වලට දාන ලද මාංචු වැල් සහිතව පයින්) ගම්පහ අධිකරණයට අරන් එන විදිය. මට ඔවුන් ගැන අනුකම්පාවක් ඇතිවුණා. ඒක නිසා මං ආසාවෙන්ම මට මුල්ම පත්වීම ලෙස ලැබුන බන්ධනාගාරයේ සුබසාධක අංශය බාර ගත්තා.
”මහර තිබුණු රතු චීනය කියල කොටසක් ඒක හතර වටෙන්ම වට කරලයි තිබුණෙ ඒකෙ තිබුණ සෙල් එකක් ෘ කියල මේකෙ දාන්නේ භයානක සුවිශේෂි දරුණු සිරකරුවන්. කරාපිටියේ රාජා, මරුසිරා, යකඩයා, පිච්චෙ ධර්මෙ, කියුටෙක්ස් පියදාස, කෑරගල චීනා වගේ අය ගෙනාවොත් මේකෙ තමයි රඳවන්නේ. මහර කියන්න මැක්සිමම් සිකියුරිටි ප‍්‍රිස්න් එකක් ( දැඩි රැකවල් සහිත සිරගෙයක්) රතු චීනයේ තියෙන ඞී සෙල් එක කියන්නේ පනිනව තියා හිතන්නවත් බැරි කොටසක් ඒත් චීනා දෙපාරක් ඒකෙනුත් පැන්නා’’
චීනා කියා හැඳින්වුණු කෑරගල සිරිසේනට එසේ කියන්නේ ඔහුට චීන ජාතිකයෙකුට සමාන මුහුණක් තිබීම සහ රන්වන් ප‍්‍රසන්න සමකින් යුත් කුඩා සිරුරකින් හෙබි අයෙකු නිසා විය හැක. මත්පැන් මත්ද්‍රව්‍ය හෝ දුම්වැටි වැනි කිසිවක් පානය නොකරන චීනා සිරගත වූ සැණින්ම කරන්නේ ශරීර ව්‍යායාමයි. ඔහු පැඩල් බාර් (පැරලල් බාර්) රුසියෙකි එකවර ඩිප්ස් පන්සියක් හෝ ගැසිය හැකි ජවයක් ඇත්තෙකි. බිම වැලි පොලවේ හෝ සිමෙන්ති පොලවේ හීන් ඉරක් දිගට අඳින සිරිසේන හැමදාම පැය කීපයක් එම ඉර මත සෙමින් හෝ වේගයෙන් ඇවිදමින් සහ දිව යමින් ශරීර ව්‍යායාමයේ යෙදීම එකල මහර සුලබ දසුනක්ව පැවතිනි. පසුකලෙක දෙවරක්ම චීනා කම්බිය මත දිවයන විස්මිත සර්කස්කරුවෙක් මෙන් මහර රතු චීනය වටා බැඳ ඇති තාප්පය මත ඉතා සැහැල්ලූවෙන් දිව යමින් බන්ධනාරයෙන් පැන යන්නේ එලෙස ලද පුහුණුව නිසා බව නොරහසකි.
ලයනල් වීරසිංහ මහතා යනු මහරින් සුබසාධන සේවයට අත්පොත් තැබූ මහරින් ගොඩනැගුණු අද්විතීය උත්තමයෙකි අදාළ අංශයෙන් ඉහළටම ගොස් අද විශ‍්‍රාම සුවයෙන් සිටින ඔහු ගැන වෙනම පොතක් ලිවිය යුතුය. වීරසිංහ මහතා කියන අන්දමට ඔහුගේ ජීවිත පරමාදර්ශය වූයේ එවකට මහර බන්ධනාගාර අධිකාරිවරයාව සිටි දැනට විශ‍්‍රාම සුවයෙන් සිටින සී. ටී. ජෑන්ස් මැතිතුමාය. කාලයක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වශයෙන්ද රටට අනර්ඝ සේවයක් ඉටු කළ එතුමා වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙකි. මහෝත්තම ගති ඇත්තෙකි. මහර බන්ධනාගාරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ එතුමා එය පාලනය කළ සමය බව කවුරුත් පිළි ගනී.
කටී ජෑන්ස් හෙවත් විශ‍්‍රාමික බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් සී. ටී. ජෑන්ස් මහතාට මම දුරකථනයෙන් කතා කොට එදා මහර
බන්ධනාගාරය ගැන ඔහුගේ අදහස විමසුවෙමි. ”ලංකාවේ ප‍්‍රධාන බන්ධනාගාර තුනක් තියෙනවා. ඒ වැලිකඩ, බෝගම්බර සහ මහර. ඉස්සර අපේ කාලේ යමෙක් වරදක් කරල දඬුවම් නියම වුණාම ඒ පළවෙනි පාර නම් මුලන්ම දාන්නෙ වැලිකඩ, දෙවන පාර බෝගම්බර ඊට පස්සේ දෙතුන් පාර වැරදිකරු වුණ අයව දාන්නේ මහරට. ඇත්තටම මහරට ඒ කාලේ ආවේ හොඳට බන්ධනාගාර නීතිය දන්න විනයකට අනුව ජීවත් වෙන්න පුරුදු වුණ හිරකාරයෝ. ඒ අය හිරගෙවල්වල පදම් වුණු අය නිසා හැසිරෙන්න දන්නවා. වැරදි වැඩ කළ කෝලාහල කරනව අඩුයි. ඒක නිසා අපිට හැකි වුණා ඔවුන්ව මනාව පාලනය කරන්නයි ඔවුන්ගේ මනස හදල යහපත් අය විදිහට යළි සමාජගත කරන්නයි. ඒත් දැන් මහර තත්ත්වය වෙනස් ඒ නිසා පරිපාලනය අමාරුයි මං තුන් පාරක් අධිකාරිවරයෙක් වශයෙන් මහර වැඩ කරල තියෙනව ඒ කාලෙ ජේලර්ලට වඩා ඉහළින් ඉන්න අයට නිල ඇඳුම් අඳින්න අවශ්‍ය නැහැ.’’
”මහර හිරගෙදර කෑවේ කොම්පඤ්ඤ වීදියෙ කුඩු ඬේලූයි මිනුවන්ගොඩ වන්ෂොට් කියන එකයි.
ඒ බූරු සුනිල් හෙවත් වසභයාගේ අදහසයි. ඔහු හිර කාක්කෙකි. අච්චු පප්පෙකි විවිධ නඩු නිසා මහර පමණක් විසි පාරකට වඩා බැස ඇත.
”පරණ චන්ඩි සැට් එක ගියාට පස්සේ පොඩි රාලහාමිල පත්තසේනල සී බිච් රෝඞ් රාජල නාවල නිහාල්ලා සරණපාලල සැන්ඩල වගේ අය මහර ලස්සනට තියාගෙන හිටිය වන්ෂොට් කියන එකයි ඬේලූයි ඇවිල්ල මේක කුඩු පුරයක් කරල විනාස කරල දැම්මා.’’
ඬේලූ යන මහ පරිමානයේ කුඩු ජාවාරමෙක් බව කවුරුත් දනී. ඔහු තම මුදල් විසි කර ඇතුළට හෙරොයින් ගෙන්වාගෙන මත් ජාවාරම ජයටම කර ගෙන යද්දී පී වන් වාට්ටුවේ සිටි මංකොල්ල කරුවෙක් හොරෙක් මිනී මරුවෙක් වන මිනුවන්ගොඩ සුසිල් හෙවත් හේමපාල නොහොත් කාපාළුවා නොහොත් වන්ෂොට් නමැත්තාද කුඩු ජාවාරම ආරම්භ කළේය. එකල එලියේ කුඩු පැකැට්ටුවක් රුපියල් විසිපහක් වැනි මුදලකට අලෙවි වෙද්දී මහර හිරගෙය තුළ එම ප‍්‍රමාණයේම කුඩු පැකට් එකක සිල්ලර මිල රුපියල් පහක් වැනි සුළු මුදලකි. එතරම්ම සුලබව හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කෙරිණි.
කාපාළුවා අසමජ්ජාති ජඩයෙකි. ඔහු තම කාමාශාවන් පිනවා ගැනීම සඳහා ඇතුළට බහින තරුණ සිරකරුවන් ග‍්‍රහණය කර ගනී. ඔහුගේ මුදල් බලයට යටත්වන සමහර නොහොත් එකල සිටි බහුතරයක් නිලධාරීන්ද කරන්නේ ඔහුට කොල්ලන් සප්ලයි කිරීමයි. අලූතින් ඇතුළට එන තරුණ සිරකරුවන් වන්ෂොට් ඉදිරියට පෙරෙඞ් දැමිය යුතුය.
රතු චීනය කියන කොටසට එකල කීවේ ගාමන්ට් එක කියාය. තරුණ වරදකරුවන්ගේ රැඳවුම්ගාර හෙවත් කොළු වාට්ටුව තිබුණේ එහිය. හිරකරුවන් එයට ගාමන්ට් එක කියන්නේ ඒ නිසාය. වන්ෂොට් ඔහුගේ සහචරයන් සමගත් වෙනත් සමලිංගික සේවනයට ලොල් ජඩ හිරකරුවනුත් එම ප‍්‍රදේශයට ඇතුළුව තම අවශ්‍යතා සඳහා අසරණ කොළු ගැටවුන් බලෙන් උස්සා ගෙන එන්නේ වන්ෂොට්ලාට බය සමහර නිලධාරීන්ගේ ඇස් පනාපිටය. අසහනයෙන් පෙළෙන දීර්ඝ කාලීන සිරකරුවන් තම ලිංගික ආසාවන් ඉටු කර ගන්නේ අසරණ කොල්ලන්ට බලහත්කාරයෙන් හෝ ලිංගික අතවර කිරීමෙනි. ඔවුන්ට කොල්ලාගේ පෙනුම හැඩය අදාළම නැත ”වැලිකඩට සිදරං මහරට නාරං’’ කියන්නේ ඒ නිසාය. නමුත් වන්ෂොට් නමැති පාහරයා ඇතුළට එන ඇහැට කනට පේන සම පැහැපත් තරුණ පිරිමි ළමයෙක් ගම ග‍්‍රහණයට ගන්නේ බොහෝ විට බලහත්කාරයෙනි. අකැමැති අයට දැඩි අවාසනාවන්ත දඬුවම් ලැබේ. අමානුෂික පහරදීම් වැසිකිළි බිමේ නිදි කරවීම විකෘති ආසාවන් බලෙන් කිරීම ඒවාය. වන්ෂොට්ට විරුද්ධව ගියේ කිරුළපන කටා සරත් පමණි. ඔහු ප‍්‍රසිද්ධියේම වන්ෂොට් සමග ගේම ඉල්ලූවද නිලධාරීන් රැසක්ම වන්ෂොට් නමැති අධමයාගේ පැත්තට සිටි නිසා කටා සරා සටනින් පැරදුනි. එක්තරා කාලයක මහරට නුදුරු ස්ථානයක ගණිකා නිවසක් ආරම්භ කරන්නට එහි සේවය කළ අධිකාරීවරයෙක් කටයුතු කළ බව ප‍්‍රසිද්ධ රහසකි. ඔහු එම මස් කඩය ඇරියේ ඬේලූ නමැති කුඩු ජාවාරම්කරු වෙනුවෙන්ම බවත් මුදල් ඇති සීමිත සිරකරුවන් පිරිසකට එහි ගොස් රති කෙලියේ යෙදීමට හැකි බවත් එකල ජනප‍්‍රිය කතාවකි.
සාමාන්‍යයෙන් මහරට වතුර හිඟය. සිරකරුවන්ට දිනකට ලැබෙන්නේ වතුරු බෝතල් දෙකක් හෝ තුනකි. ඒකත් ඇති හැකි එකාට පමණි. නැති බැරි එකාට මුකුත් නැත. ඌ ගඳ ගසමින් පණුවෝ දමමින් උකුණන් මැක්කන් ගෝපයියන් ඉණිකුන්නන් සමග දුකෙන් කල් ගත කළ යුතුය. මහර මහ ළිඳට සවි කිරීමට ලොකු වතුර මෝටර් සහ පොම්ප තුනක් ලබා දීමට වරක් මට හැකි විය. ඒ බන්ධනාගාර සහභාගිත්වය නමැති සුබසාධන සංවිධානය හරහාය. ඒවාට මොනාවා වුණාදැයි නොදනිමි.
අට විසි බුද්ධ ප‍්‍රතිමා, කෝවිල් බෝ ගස් කතෝලික පල්ලි වැනි දෑද මහර බන්ධනාගාර පරිශ‍්‍රයේ ඇත. තමන්ට රිසිසේ තම ආගම අදහන්නට රැඳවියන්ට හැකිය. දිනපතා බුදු බණ කිතු බණ ඇසේ. ඒත් තාමත් මහර කුඩු සහ පෙති තිබේ. අපචාර සිදුවේ පොකුරු ගණන් කොරෝනා ලෙඞ්ඩු හමුවේ. දහ දොළොස් දෙනා එකවර මැරී වැටේ. ඒ කියන්නේ මහර තාම වෙනස් වී නැති බවයි.
එදා මහර ගේට්ටුව ඉදිරිපිට ලොකුවට බිත්තියක ලියා තිබුණේ ධර්මිෂ්ඨ මිනිසා තුන් ලොවම ජය ගනී කියාය. අද ඒ වෙනුවට ඇත්තේ සිරකරුවෝද මනුෂ්‍යයෝය යන වැකියයි.
මිත‍්‍ර ශ‍්‍රී කරුණානායක
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...