එක්සත් ජාතික පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ වෙනසක් සිදුකරනු ලැබ ඇතත්, එමගින් මහජනයා බලාපොරොත්තු වූ “වෙනස” ඉටු නොවූ අතර ඒ සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාරය ඉක්මනින්ම දැන ගන්නට ලැබෙනු ඇතැයි වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණය භාර රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර පවසයි.
රාජ්‍ය ඇමතිවරයා එම ප්‍රකාශය කළේ එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
“මහජනයා ඉල්ලා සිටියේ මීට වඩා වෙනස් ප්රතිසංවිධානයක් කරන්න කියලයි. ඔවුන් ඉල්ලා සිටියේ තනතුරු මාරු කිරීමක් නොවෙයි. නායකත්වයේ ඉඳලා පූර්ණ ප්රතිසංවිධානයක් කරන ලෙසයි මහජනයා කියා සිටියේ. නමුත් එවැන්නක් සිදු වෙලා නැහැ,” රාජ්‍ය ඇමතිවරයා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ධුරයට අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා පත් කර තිබෙන අතර, හිටපු මහ ලේකම් කබීර් හෂීම් අමාත්‍යවරයා පක්ෂයේ නව සභාපතිවරයාය. අමාත්‍ය නවීන් දිසානායකට ජාතික සංවිධායක ධුරය හිමි වී ඇති අතර, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන නව නියෝජ්‍ය මහ ලේකම්වරයාය.
පක්ෂ නායක, නියෝජ්‍ය නායක සහ උප නායක තනතුරුවල වෙනසක් සිදු වී නැත.
නව පත්වීම් මගින් මහජනයා ඉල්ලා සිටි දෙය ඉටු වී ඇද්ද? නැද්ද? යන්න ජනතා ප්‍රතිචාරය තුළින් ඉක්මනින් දැන ගැනීමට ලැබෙනු ඇතැයි ද පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමතිවරයා පවසයි.
“අද රාත්‍රියේ පටන් ඉදිරි සති දෙක තුන ඇතුළත මහජන ප්‍රතිචාරය අපට දැන ගන්න ලැබේවි,” ඔහු කියා සිටියේය.
එම මහජන මතය දෙස තමා අවධානයෙන් බලා සිටින බවත් ඔහු පවසයි.
“මහජන මතය දැන ගන්න ඡන්දයක්ම අවශ්‍ය නැහැ. මහජනතාව මේ ගැන ඔවුන්ගේ ප්‍රතිචාරය දක්වාවි. ඒ ප්‍රතිචාරය මාධ්‍ය තුළ සමාජ මාධ්‍ය තුළ අද හෙටම දැක ගන්න ලැබේවි. හෙට අනිද්දා නොවෙයි, අද රාත්‍රියේ පටන්ම ඒ ගැන දැන ගන්න ලැබේවි,” රාජ්‍ය ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා සභාපති පදවියට පත්කර ගැනීම ඇතුළු තනතුරු වෙනස ගැන බීබීසී සිංහල සේවය ප්‍රශ්නයක් යොමු කළ විට ඊට පිළිතුරු දුන් රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර, සිදු කරනු ලැබ ඇති වෙනස සමාන කළේ “බූරුවා ගැසීමක දී කූට්ටමේ කොළ බෙදී යන” ආකාරය සමඟය.
“පක්ෂයේ තනතුරු බෙදා ගෙන තියෙන්නේ එකම කණ්ඩායමක් තුළ. ඒක හරියට බූරුවා කූට්ටමේ කොළ එම ක්‍රීඩාවට සහභාගී වෙන කණ්ඩායමේ අතින් අතට යනවා වගේ වැඩක්. බූරුවා කූට්ටමේ එකම කොළය වරින්වර එකිනෙකා අත හුවමාරු වෙනවා වගේ වැඩක් තමයි මෙතැන සිදු කරලා තියෙන්නේ.”
ඉදිරි ක්‍රියාමාර්ග
හිටපු ඇමතිවරයකු මෙන්ම හිටපු කතානායකවරයකු වන ජෝසප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම ඉහත කී ක්‍රියාමාර්ගයට එරෙහිව දැනටමත් ඉදිරිපත්ව ඇති එක් ප්‍රතිචාරයක් බවත් රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර පවසයි.
“එතුමා 1977 පටන් මන්ත්‍රීවරයෙක්, ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් හැටියට කටයුතු කළ කෙනෙක්. එතුමා ජනතාවත් සමඟ ඉන්න නායකයෙක්. ඉතින් එතුමාගේ ප්‍රතිචාරය අපට උණු උණුවේ දැක ගන්න ලැබුණා.”
එලෙසින් වෙනත් මහජන නියෝජිතයන්ගේ මතත් ඉදිරි කාලය තුළ දැකගත වනු ඇතැයි රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර කියා සිටියි.
සිදු කරනු ලැබ ඇති “වෙනස” ගැන තෘප්තිමත් නැතත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ වෑයම තුළ දිගටම රැඳී සිටින බවත් ඔහු අවධාරණය කරයි.
“අපි නිහඬව සිටීම වරදක්. අපට මහජන ශුභ සිද්ධිය වෙනුවෙන් පක්ෂයේ අරමුණු වෙනුවෙන් පෙනී සිටීමට කටයුතු කිරීමට සිදු වෙනවා. ඒක කාටවත් ද්‍රෝහී වීමක් නොවෙයි,” ඔහු වැඩි දුරටත් සඳහන් කළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...