පුරවැසි කොලම

අපි බෞද්ධ. ඉතින් දෙවියන් ගැන අපිට තියෙන්නේ බෞද්ධ දැක්මක්. දෙවියෝ, බ්‍රහ්මයෝ, යක්‍ෂයෝ, භූතයෝ, පෙරේතයෝ ගැන ත්‍රිපිටක පාළියෙත් විස්තර කෙරෙනවා.

“කාලි යකින්නගේ උත්පත්ති කථාව” විස්තර කරලා තියෙන්නේ ධම්මපද අටුවාවේ. ඒ කතාව මෙහෙම එකක්.

තමන්ගේ තාත්තා මියගියාට පස්සේ එක්තරා කුල පුත්‍රයෙක් වතුපිටිවල වැඩත්, ගෙදර දොරේ වැඩත් කරගෙන අම්මාවත් බලාගෙන හිටියා. ඉවරයක් නැතුව පුතා මහන්සි වෙන එක ගැන අම්මාට දුකයි. ඉතින් මේ අම්මා ඒ ගැන වද වුනා. ඉතින් එක දවසක් ඒ අම්මා පුතාට කතා කරලා “කුමරියක් කරකාර බන්දලා දෙන්නම්” කියලා කිව්වා. ඒ යෝජනාවට පුතා කැමැති වුනේ නෑ. “ජීවිතේ තියෙන කල් මම අම්මා බලාගන්න මට පුළුවන්. බිරිඳක් ඕන නෑ” කියලා පුතා අම්මාට කිව්වා. ඒත් අම්මා එක දිගට ම තමන්ගේ අදහසේ එල්බ ගෙන ඒ ගැන පුතාට කියන්න පටන් ගත්තා. දිගින් දිගට ම කියන මේ කතාව අහලා හෙම්බත් වෙච්ච පුතා අන්තිමේ දී අම්මා කියන දේට එකඟ වුනා.

ඒ විදිහට පුතාගේ එකඟතාව ලබාගත්ත අම්මා එක්තරා ගෙදරකට යන්න සූදානම් වුනා. ඒත් ඒ ගමන වළක්වපු පුතා “ඒ ගෙදර ළමයා එපා. අර ගෙදරට යන්න” කියලා තමන්ගේ අදහස අම්මාට කිව්වා. ඉතින් පුතාගේ කැමැත්තට තැන දීපු අම්මා ඒ කියපු ගෙදරට ගිහිල්ලා කුමරියක් කැමැති කරවා ගත්තා. ඊට පස්සේ දින දාතම් නියම කරගෙන මගුලකුත් කාලා ඒ දුව කැන්දා ගෙන ආවා.

ඒත් ඒ ස්ත්‍රිය වඳ ගැහැණියක්. මේ කාරණය දැන ගත්තාට පස්සේ අම්මා ආයෙත් කන්කෙඳිරි ගාන්න පටන් ගත්තා. “දරුවෝ නැතුව අපේ පරම්පරාව ගෙනි යන්නේ කොහොම ද? ඒ හින්දා තව කුමරියක් ගේන්න ඕන” කියලා අම්මා දිගට ම කිව්වා. ඒත් පුතා තමන්ගේ අකැමැත්ත කිව්වා. ඒ වුනත් අම්මා තමන්ගේ පෙරැත්ත නැවැත්තුවේ නෑ. අන්තිමේ දී අම්මාගේ හිත සතුටු කරන්න කියලා හිතාගෙන පුතා අම්මාගේ යෝජනාවට එකඟ වුනා.

අම්මයි පුතයි එකතු වෙලා අලුත් කෙනෙක් ගෙනාවොත් තමන්ට ගෙදර දාසියක් විදිහට වැඩ කරන්න වෙයි කියලා පරණ බිරිඳ කලබල වුනා.. ඒ හින්දා මේ වැඩේට තමන් ම මැදිහත් වෙන්න ඕන කියලා ඇය හිතුවා. තමන් දන්න ගෙදරක හොඳ කුමරියක් ඉන්න බව කියපු ඒ බිරිඳ කටයුත්ත කතා කිරීමේ වගකීම තමන්ට ම පවරා ගත්තා.

තමන්ගේ වචනයට අවනත කරවා ගන්න පුළුවන් කුමරියක් ඉන්න ගෙදරට ගිය ඒ කාන්තාව තමන් පැමිණි කාරණාව කිව්වා. “ඔබ ඉඳිද්දි තවත් එකියක් මොකට ද?” කියලා ඒ ගෙදර අය ඇහුවා. “මම වඳයි. දරුවෝ නැති හින්දා අපේ කුලය ඉවර වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ දුවට දරුවෝ ලැබුණාම හැම දේපලක් ම ඒ අයට තමයි” කියලා ඇය ඒ ගෙදර අයව පොළොඹවා ගත්තා. ඉතින් මේ විදිහට ඒ ගෙදර අය එකඟ කරවාගෙන අලුත් මනමාලි ගෙදරට කැන්දාගෙන එන්න පරණ බිරිඳට පුළුවන් වුනා.

ඒත් ඇත්තටම පරණ බිරිඳගේ හිතේ තිබුණේ වෙන අදහසක්. “දරුවෙක් ලැබුණොත් හැම දෙයක් ම අයිති වෙන්නේ මේ ගෑණිට. ඒකට ඉඩ තියන්න හොඳ නෑ” කියලා හිතපු ඇය අලුත් මනමාලිත් එක්ක හුඟක් හිතවත් වුනා. “අපේ පවුලට දරුවෙක් ලැබෙනවා නම් කොච්චර හොඳ ද! දරුවෙක් ඇති වෙනවා දැනුනොත් මට කියන්න. මම හොඳට සළකන්නම්” කියලා ඇය අලුත් මනමාලිට කිව්වා. අලුත් මනමාලි ඒ අදහසට එකඟ වුනා.

මෙහෙම ටික දවසක් ගත වුනාට පස්සේ අලුත් මනමාලි ගැබ් ගත්තා. ඇය ඒ ගැන පරණ බිරිඳට කිව්වා. ප්‍රවෘත්තිය අහලා තමන් හරියට සතුටු වෙන බව අඟවපු පරණ බිරිඳ අලුත් මනමාලිට සාත්තු සප්පායම් කරන වැඩේ පටන් ගත්තා. ඉතින් අලුත් මනමාලි වෙනුවෙන් කැඳ බත් ඉව්වේ පරණ බිරිඳ. ඊට පස්සේ ගබ්සා වෙන බෙහෙතකින් ටික ටික ඒකට මිශ්‍ර කරලා ඒවා අලුත් මනමාලිට කන්න දුන්නා. මෙහෙම ටික දවසක් ගත වෙද්දි ඒ ගැබ නැති වුනා.
මේ ප්‍රවෘත්තිය අහලා ගෙදර අනිත් අයත් එක්ක එක විදිහට ම කම්පා වෙච්ච පරණ බිරිඳ පරිස්සම් ඕන විදිහ ගැන අලුත් මනමාලිට අවවාද කළා. ඉතින් ටික කාලයකට පස්සේ අලුත් මනමාලි ආයෙත් ගැබ් ගත්තා. ඇය ඒ ගැන පරණ බිරිඳට කිව්වා. ඉතින් කලින් විදිහට ම මහන්සි වෙලා ඒ ගැබත් නැති කරලා දාන්න පරණ බිරිඳට පුළුවන් වුනා.

මෙහෙම දෙවතාවක් ම ගැබ් නැති වුනාට පස්සේ අලුත් මනමාලිගේ යෙහෙළියෝ ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ අය අලුත් මනමාලිගෙන් විස්තර ඇහුවා. පරණ බිරිඳ තමන්ට හුඟක් හිතවත් බවත් ගැබ් ඇරගෙන ඉඳිද්දි කැඳ බත් උයලා දීලා හොඳට සළකන බවත් ඇය තමන්ගේ යෙහෙළියන්ට කිව්වා. ඒ කතාව ඇහුවාම සිද්ද වෙන දේ යෙහෙළියන්ට තේරුණා. ඒ අය අලුත් මනමාලිට කාරණය පැහැදිළි කළා. පරණ බිරිඳ මෙහෙම කරන්නේ ඇයි කියන එකත් කියලා දුන්නා.

ඉතින් තුන්වැනි පාර ගැබ් ගත්තාට පස්සේ අලුත් මනමාලි ඒ ගැන පරණ බිරිඳට කිව්වේ නෑ. ඒත් මාස තුන හතරක් ගත වෙලා ගැබ මෝරන්න පටන් ගත්තාම පරණ බිරිඳ කාරණය තේරුම් ගත්තා. “මේ ගැන මට කිව්වේ නැත්තේ ඇයි?” කියලා ඇය අලුත් මනමාලිගෙන් ඇහුවා. තමන් මෙහෙම කළේ ඇයි කියලා අලුත් මනමාලි කිව්වා. “මාව එක් කරගෙන ඇවිල්ලා දෙපාරක් ම මට දරුවෝ නැති කළා. ඉතින් මම මේ ගැන ඔයාට කිව්වේ නෑ” කියලා ඇය හිත තදකර ගෙන කිව්වා.

මේ කාරණය අහපු පරණ මනමාලි අවස්ථාවක් එන කල් ඉවසුවා. එහෙම ඉඩක් ලැබුණු ගමන් ම කෑමට බෙහෙතක් දාන්න ඇයට පුළුවන් වුනා. ඒ බෙහෙත දාපු කෑම කාපු හින්දා තුන්වැනි වතාවත් ගැබ විනාශ වුනා. ඒත් ඒ වෙද්දි දරුවා හොඳට ම වැඩිලා. ඉතින් මැරිච්ච කළලය වැටුණේ නෑ. මේ හින්දා අලුත් මනමාලි පුදුමාකාර විදිහට වේදනා වින්දා. “මගේ දරුවන් තුන් දෙනා ම නැති කළා. මම උඹෙනුත් මේ පලිය ගන්නවා. යකින්නියක වෙලා ඉපැදිලා මම උඹේ දරුවෝ කනවා” කියලා වෛර බැඳගෙන අලුත් මනමාලි ඒ වේදනාවෙන් ම මිය ගියා. ඊට පස්සේ ඇය ඒ ගෙදර බැළලියක් වෙලා ඉපැදුණා.

සිද්ද වෙච්ච දේ කුලපුත්‍රයා තේරුම් ගත්තේ ඊට පස්සේ. “තෝ මගේ පරම්පරාව විනාශ කළා” කියලා ඔහු පරණ බිරිඳට පහර දුන්නා. වැලමිටි දණහිස් තලලා දාපු හින්දා ඇය මහා පීඩාවකට පත්වෙලා ඒ අමාරුවෙන් ම මියගියා. ඊට පස්සේ භවයේ ඇය ඒ ගෙදර ම කිකිළියක් වෙලා ඉපැදුණා.

කිකිළිය බිත්තර දාන හැම වෙලාවේ ම ඒවා කාලා දාන්න බැළලියට පුළුවන් වුනා. මේ වැඩේ දිගින් දිගට ම වුනා. ඉතින් කිකිළිය බැළලියත් එක්ක වෛර බැන්දා. “ඊ ළඟ භවයේ මම තොගේ දරුවෝ කනවා” කියලා වෛර බැඳ ගත්ත කිකිළිය ඒ භවයෙන් චුත වෙලා වනාන්තරයේ දිවි දෙනක් වෙලා ඉපැදුණා. මරණයෙන් පස්සේ බැළලිය ඒ වනාන්තරයේ ම මුව දෙනක් වෙලා ඉපැදුණා. ඉතින් වදන වදන වෙලාව බලලා මුව පැටව් කාලා දාන්න දිවි දෙනට පුළුවන් වුනා. මේ කාරණය මුල් කරගෙන මුවදෙන දිවිදෙනත් එක්ක වෛර බැන්දා.

මරණයෙන් පස්සේ මුවදෙන යකින්නක් වෙලා ඉපැදුණා. ඊ ළඟ භවයේ දිවිදෙන ඉපැදුණේ සැවැත්නුවර කුල කුමාරියක් විදිහට. ලොකු මහත් වෙච්ච ඒ කුල දුව කසාදයක් කරගෙන වෙනත් ගෙදරක පදිංචිය ගියා. මනුස්ස වේසයක් ඇරගෙන නිතර නිතර ඒ ගෙදරට ආපු යකින්න කුල දුවත් එක්ක හොඳට ම හිතවත් වුනා. ඉතින් හැම වෙලාවේ ම ඒ ගෙදරට එන්න පුළුවන්කමක් යකින්නට ලැබුණා. කුලදුව දරුවකු වදපු ගමන් ම අවසරයක් බලලා ඒ දරුවා කාලා දාන්නත් යකින්නට පුළුවන් වුනා. මේ විදිහට දෙවතාවක් ම දරුවෝ කන්න යකින්න සමත් වුනා.

දෙවතාවක් ම මෙහෙම වුනාම තමන්ව මුණ ගැහෙන්න එන යෙහෙළිය ගැන ඒ කුලදුව සැක කරන්න පටන් ගත්තා. ඇය ඒ ගැන තමන්ගේ ස්වාමියාට කිව්වා. ඉතින් තුන්වැනි වතාවේ ගැබ් ගත්තාට පස්සේ ඇය හොරෙන් ම තමන්ගේ මහ ගෙදරට ගියා.

ඒ දවස්වල යකින්න දිය අදින්න ගිහිල්ලා හිටියේ. ඒක වෙසමුණි රජ්ජුරුවෝ පවරපු වැඩක්. තමන්ගේ වාරය උදාවුනා ම හැම යකින්නක් ම අනවතප්ත විලට ගිහිල්ලා දිය ගේන්න ඕන. මේ වැඩේට මාස හතරක් පහක් ගත වෙනවා. ඉතින් මාස පහක් මේ විදිහට දිය ඇදපු යකින්න ඒ වැඩෙන් අත් මිදුණා.

ඊට පස්සේ ඇය වහාම සැවැත්නුවරට ගිහිල්ලා තමන්ගේ යෙහෙළිය හෙව්වා. සිද්ද වෙලා තියෙන දේ ගැන ගෙදර අයගෙන් දැන ගන්න යකින්නට පුළුවන් වුනා. “කැමැති තැනක ගියාවේ. මගෙන් උඹට බේරුමක් නෑ” මෙහෙම හිතපු යකින්න තමන්ගේ වෛරක්කාරිය හොයන්න පටන් ගත්තා.
කොහොම හරි මහගෙදර අයගේ උදව්වෙන් දරුවා පරිස්සම් කරගත්ත කුලදුව පුතාට නම් ති‍යන දවසේ ආපහු ගෙදර යන්න කැමැති වුනා. ඉතින් ඇය තමන්ගේ ස්වාමියා එක්ක ගෙදර යන්න පිටත් වුනා. මේ විදිහට ජේතවනාරාමය කිට්ටුවට ආපු ඒ දෙන්නා විහාරය ළඟ තියෙන පොකුණෙන් නාන්න තීරණය කළා.

මුලින් ම ළමයා ස්වාමියාට දීපු කුල දුව විලට බැහලා නෑවා. ඊට පස්සේ ස්වාමියා නාන කල් ඇය තමන්ගේ දරුවාට කිරි පොවන්න පටන් ගත්තා. මේ අතර වටපිට බලද්දි අර යකින්න තමන්ගේ පැත්තට දුවගෙන එන බව කුල දුව දැක්කා. මහ හඬින් කෑ ගහපු ඒ කුල දුව දරුවාත් වඩාගෙන ජේතවනාරාමය ඇතුළට දිව්වා. යකින්නත් ඒ පස්සෙන් දිව්වාත් දොරටුවට අධිගෘහිත සුමන කියන දිව්‍යපුත්‍රයා ඇයට විහාරයට ඇතුළු වෙන්න ඉඩ දුන්නේ නෑ.

මේ වෙලාවේ බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරමින් වැඩ හිටියා. ඉස්සරට ම දුවගෙන ගිය කුල දුව බුදුහාමුදුරුවෝ වැඩ හිටිය ධර්මාසනයේ පා පුටුව උඩින් දරුවා තිබ්බා. “අනේ බුදුහාමුදුරුවනේ, මගේ දරුවා කන්න යකින්නක් එනවා. මම මේ දරුවා ඔබවහන්සේට පූජා කරනවා. මගේ දරුවා රැකලා දෙන්න” ඇය අඬ අඬා තමන්ගේ දුක කියන්න පටන් ගත්තා.

බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කතා කළා. “ආනන්ද යන්න. ඒ යකින්න කැඳවා ගෙන එන්න” බුදුහාමුදුරුවෝ වදාළා. දොරටුවට ළඟට වැඩිය ආනන්ද හාමුදුරුවෝ යකින්න කැඳවා ගෙන ආවා. යකින්න එනවා දැක්ක කුල දුව ආයෙත් කෑගහන්න, හඬන්න පටන් ගත්තා. “බය වෙන්න එපා. සද්ද කරන්න එපා” කියලා බුදුහාමුදුරුවෝ වදාළා.

බුදුහාමුදුරුවෝ ළඟට ආපු යකින්න උන්වහන්සේට වැඳ වැටුණා. “තී මෙහෙම කරන්නේ ඇයි? කොළොන් ගස් සහ වළස්සු වගේ, කපුටෝ සහ බකමුණෝ වගේ ඉවරයක් නැතුව වෛර කරන්නේ ඇයි?” මෙහෙම ප්‍රශ්න කරපු බුදුහාමුදුරුවෝ “න හි වෙරෙන වෙරානි” ගාථාවෙන් ධර්මය දෙසා වදාළා.

වෛරය වෛරයෙන් සන්සි‍ඳෙන්නේ නෑ. වෛරය සන්සි‍ඳෙන්නේ අවෛරයෙන්. කෙළ සෙම් ආදි අශූචි ගෑවුණු තැනක් ඒ අශූචිවලින්ම සේදීමෙන් ශුද්ධ, නිර්ගන්ධ තැනක් බවට පත් කරන්න බෑ. එහෙම කළොත් ඒ තැන තව තවත් අපිරිසිදු වෙනවා. තව තවත් ගඳ ගහනවා. බණින්නාට පෙරළා බැන්නත්, පහර දෙන්නාට ප්‍රතිප්‍රහාර එල්ල කළත් වෛරය සන්සිඳවන්න බෑ. ඒකෙන් වෙන්නේ වෛරය වැඩි වෙන එක විතරයි. කෙළ ආදී අශුචි නැති කරන්න පුළුවන් පැහැදිළි දියෙන් සේදූ කලයි. දුගඳ නැති කරන්න පුළුවන් වෙන්නේ එහෙම කළ විටයි. ඒ විදිහට ම අවෛර සංඛ්‍යාත ක්‍ෂාන්ති මෛත්‍රී ජලයෙන්, යෝනිසෝමනසිකාරයෙන්, ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් වෛරය සංසිඳෙනවා. නිවී යනවා. අභාවයට යනවා.

මේ ගාථා ධර්මය ශ්‍රවණය කරපු යකින්න සෝවාන් ඵලයට පත් වුනා.

“ඔබේ පුතා මේ යකින්න අතට දෙන්න” කියලා බුදුහාමුදුරුවෝ කුල දියණිය වදාරා සිටියා. “ස්වාමීනි මට බයයි” ඇය තමන්ගේ අකැමැත්ත ප්‍රකාශ කළා. “බය වෙන්න එපා. මගෙන් ඔබටවත් දරුවටත් අනතුරක් නෑ” යකින්නත් කරුණාවෙන් කිව්වා. කුල දියණිය යකින්නට තමන්ගේ පුතා දුන්නා. දරුවා සිප වැළඳ ගත්ත යකින්න නැවතත් දරුවා මවට ම දීලා හඬා වැළපෙන්න පටන් ගත්තා.

“හඬන්නේ ඇයි?” බුදුහාමුදුරුවෝ විමසා වදාළා. “ස්වාමීනි, මම දැන් ආහාරයක් හොයා ගන්නේ කොහොම ද? දැන් මම කෙසේ නම් ජීවත් වෙමි ද හිතලා හැඬුවා” කියා ඇය බුදුහාමුදුරුවන්ට උත්තර දුන්නා. “එසේ නොසිතව” කියා ඇය අස් වැසූ බුදුහාමුදුරුවෝ කුල දියණිය අමතා, “ඔබ මැය කැඳවාගෙන ගොස් ගෙදර නවත්වා ගෙන පිසින කැඳ බත්වලින් කොටසක් මුලින් ම දී මැය පෝෂණය කරන්න” කියා වදාරා සිටියා.

ඒ කුල දියණිය යකින්න කැඳවා ගෙන ගිහිල්ලා ගෙදර පිටුපස්සේ මඩුවක ඇය නවත්තා ගත්තා. ඊට පස්සේ තමන් උයන කැඳ බත්වල මුල් ම කොටස යකින්නට දීලා ඇයව පෝෂණය කළා. ඒත් ඒ මඩුවේ ජීවිතය යකින්නට පහසු වුනේ නෑ. ඒ මඩුවේ වී කොටද්දි මෝල් පාරවල් තමන්ගේ හිසට වදිනවා වගේ ඇයට දැනෙන්න පටන් ගත්තා. ඉතින් ඇය යෙහෙළියට කතා කරලා තමන් මුහුණ දීලා ඉන්න අපහසුව ගැන කිව්වා. ඉතින් ඒ ගැන හිතපු යෙහෙළිය මොහොල් සැල, දිය සැල, අගුව, කසළගොඩ, ගම්දොර කියන තැන්වල යකින්නව නැවැත්තුවා. ඒත් ඇයට කිසිම සැනසීමක් ලැබුණේ නෑ, විසි කරන ඉඳුල්වලින්, සුනඛයන්ගෙන්, මිනිස්නු පහරන අසුචිවලින්, විසි කරන කසළවලින්, කොලු ගැටව් සෙල්ලමට විදින ඊ පහරින් ඇය පීඩාවට පත් වුනා. ඉතින් ඒ හැම තැනක් ම ඇය ප්‍රතික්‍ෂේප කළා.

නගරයෙන් බැහැර විවේක ස්ථානයක් හොයලා එතැන යකින්නව නවත්තන්නත් ඒ තැනට කැඳ බත් ගෙනියන්නත් කුල දියණිය පටන් ගත්තා. මේ වැඩට ප්‍රති උපකාරයක් විදිහට “මේ වසරේ හොඳ වැසි ලැබෙයි. ගොඩ ගොවිතැන් කරන්න. මේ වසරේ හොඳින් වැසි ලැබෙන්නේ නෑ. පහත් බිම්වල ම ගොවිතැන් කරන්න” යනාදී උපදෙස් ඇය කුල දියණියට කියා දුන්නා.

අනිත් මිනිස්සු කරපු ගොවිතැන් ජලය වැඩිවෙලා එහෙමත් නැති නම් අඩු වෙලා පීඩා විඳිද්දි කුල දියණියට වැඩි වැඩියෙන් අස්වනු ලැබුණා. අනිත් ගොවියන් මේ ගැන ඇයගෙන් ඇහුවා. “ජලය වැඩිකම, අඩුකම ගැන නොතකා ගොවිතැන් කරන නිසා ඔබේ වගාව විනාශ වෙනවා. ඒ දේවල් හොඳින් දැනගෙන ගොවිතැන් කරන හින්දා මට හොඳ අස්වැන්නක් ලැබෙනවා” ඇය අනිත් ගොවියන්ට කිව්වා. “ඒ දේවල් දැන ගන්නේ කොහොම ද?” ගොවියෝ කුල දියණියගෙන් ඇහුවා.

“මගේ යහළු යකින්නක් ඉන්නවා. වැසි ඇති නැති බව ඇය මට කියලා දෙනවා. ඇය කියන දේ අහලා අපි ගැලපෙන විදිහට උස් පහත් බිම්වල වපුරනවා. ඒ හින්දා අපේ අස්වනු වැඩි වෙනවා. අපි නිතර ම අපේ ගෙදරින් කැඳ බත් ගිහිල්ලා දෙන්නේ ඒ යක්‍ෂණියට. ඒ ගැන දන්නේ නැද්ද?” කුල දියණිය අදාළ කාරණය පැහැදිළි කළා. “නුඹලාත් ඇයට කැඳ බත් දෙන්න. එහෙම කළාම නුඹලාගේ ගොවිතැනුත් ඇය බලා ගනීවි” ඇය තවදුරටත් කිව්වා.

ඊට පස්සේ නගරවාසී හැම කෙනෙක් ම ඒ යක්‍ෂණියට සත්කාර කරන්න පටන් ගත්තා. ඒ දාන මාන භුක්ති විඳපු ඇයත් ඒ මොහොතේ ඉඳලා හැමෝගේ ම ගොවිතැන් ගැන බැලුවා. ඉතින් ඒ මාර්ගයෙන් මේ යකින්න ලාභ සත්කාරයේ අග්‍රස්ථානයට පැමිණියා. ඇය මහ පිරිස් අති යක්‍ෂණියක් බවටත් පත් වුනා. පස්සේ කලෙක ඇය සලාක බත් අටක් පිහිටුවනු ලැබුවා.

කාලි යකින්නගේ උප්පත්තිය පිළිබඳ බෞද්ධ කතාව මේකයි. හින්දු ආගමේ කාලි යකින්න ඉපැදිලා තියෙන්නේ දුර්ගා දෙවඟනගේ නළලින්. ඒක වෙනම කතාවක්. ඒ කතාව අපේ අයට ම හොයලා බලන්න පුළුවන්. එතකොට කෑගල්ලේ පැණියට සම්බන්ධ කාලි කවුද? ඒක තවත් කතාවක්. මේ තුන්වැනි කාරණය ගැන මම හිතන දේ පස්සේ ලිපියකින් කියන්නම්.

-ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More