පුරවැසි කොලම

මෙවර අයවැය විවාදයේදී සෞඛ්‍ය සේවා වැය ශීර්ෂයට අදාළව විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් කරනු ලැබූ සුවිශේෂී කථාව පිළිබඳව සමාජ සංවාදයක් මතු වෙමින් ඇත. මතක ඇති කාලයක අයවැය විවාදයකදී අප රටේ අමාත්‍යවරයකු පටු දේශපාලන වාද විවාදවලින් ඔබ්බට ගොස් එවැනි ගැඹුරු දේශපාලන ආර්ථික විග‍්‍රහයක් කළ බවක් අපට අසන්නට ලැබුණේ නැත. නූතන ලෝකයේ මහජන සෞඛ්‍ය ප‍්‍රශ්නවලින් අති බහුතරය මහා සමාගම් විසින් හසුරුවනු ලබන හෙවත් විකෘති කරනු ලබන වෙළෙඳපොළ ක‍්‍රියාකාරීත්වය සමඟ බැඳී තිබෙන බව විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් උදාහරණ සහිතව තහවුරු කරන්නට යෙදුණි. අප රටේ සෞඛ්‍ය සේවය සඳහා දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස වියදම් කරනු ලබන මුදල අනුව සෞඛ්‍ය සේවයේ ගුණාත්මක තත්ත්වය හෝ මහජනයාගේ සෞඛ්‍ය තත්ත්වය මැන බැලීමට උත්සාහ කරන ගැඹුරක් නැති හරසුන් සංවාදයන් තුළ ඔහුගේ විග‍්‍රහය වඩාත් හරවත් වේ.

පසුගිය දිනවල යම් වාමාංශික පක්ෂ විසින් සෞඛ්‍ය සේවය සඳහා වැය කරන අරමුදල් කප්පාදු නොකරන ලෙසට රජයට බලකරමින් පෝස්ටර් අලවනු දක්නට ලැබුණි. සෞඛ්‍ය සේවය සඳහා යම් රටක් විසින් වැය කරන මුදල අනුව ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මැනීමට ගන්නා වූ දුප්පත් උත්සාහය ඒ තුළින් ප‍්‍රකට වේ. එවැනි තත්ත්වයක් තුළ මඟ වරදවා ගත් විවේචකයින්ට පමණක් නොව මහජනයාට ද වෙනස් ආකාරයකට සිතන්නට විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් උත්තේජනයක් ලබාදීම ඉතා අගය කළ යුතුය. අප රටේ එක්තරා කාලයක විද්වත් යැයි කියාගන්නා පිරිස් අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක් වැය කළ යුතු බවට ද උද්ඝෝෂණය කරන්නට යෙදුණි. ඔවුන්ට අනුව එම ඉලක්කය සපුරාගත් විට රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මූලික ප‍්‍රශ්න සියල්ල විසඳේ. නමුත් පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම මඟින් නිදහස් අධ්‍යාපනය වළපල්ලට යවා එම ඉලක්කය සපුරා ගත හැකි බව එම ඊනියා විද්වතුන්ට වැටහෙන්නේ නැත. අප රටේ සෞඛ්‍ය සේවය සඳහා ආසන්න වශයෙන් දළ ජාතික නිෂ්පාදිතයෙන් 4% ක් යෙදවෙන බව පිළිගත හැක. ඉන් 2% සඳහා රජය දායක වන අතර ඉතිරි 2% සඳහා පුද්ගලික අංශය දායක වේ. නමුත් පුද්ගලික අංශය රෝග නිවාරණ සහ පොදු මහජන සෞඛ්‍ය සේවා සඳහා කිසිදු දායකත්වයක් සපයන්නේ නැත. සෞඛ්‍ය සේවයේ බරපතළම පිරිවැය සහිත අභ්‍යන්තර රෝගී සත්කාර සේවා සඳහා පෞද්ගලික අංශය දායක වන්නේ 10% කින් පමණි. කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍ය චැනල් සේවා නිසා බාහිර රෝගී ප‍්‍රතිකාර සේවාවලින් 50% කට පමණ පුද්ගලික අංශය දායක වේ.

ඒ අනුව පැහැදිලි වන්නේ දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස පිරිවැය වැඩි වූ පමණින් සේවා සඳහා දායකත්වය වැඩි නොවන බවය. පුද්ගලික අංශයේ පිරිවැය දායකත්වයෙන් 30% ක් පමණ පුද්ගලික අංශයේ ලාභය වන අතර තවත් 30% ක් පමණ සේවා සපයන්නා විසින් අනවශ්‍ය ලෙස ඉල්ලූම උද්දීපනය කිරීම මඟින් සිදුකෙරෙන අත්‍යවශ්‍ය නොවන පිරිවැය ලෙස ද ගණන් බැලිය හැක. උදාහරණයක් ලෙස අත්‍යවශ්‍ය නොවන රෝග විනිශ්චය පරීක්ෂණ සහ යම් අත්‍යවශ්‍ය නොවන ප‍්‍රතිකාර සහ තර්කානුකූල නොවන ඖෂධ භාවිතය නිසා එසේ 30% පමණ පිරිවැයක් එකතු වන බව පිළිගත හැක. ඇමරිකාව වැනි රටක් ගත් විට දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සෞඛ්‍ය පිරිවැය 15% කි. එය ලෝකයේ ඉහළම අගයක් ලෙස සැලකේ. නමුත් ඉන් 30% ක් පමණ වැය වන්නේ රක්ෂණ සේවා සඳහා වන පරිපාලන කටයුතු සඳහාය. එනම් අරමුදල් සපයාදීමේ පිරිවැය සමස්ත පිරිවැයෙන් තුනෙන් එකකි. නමුත් ඇමරිකාවේ සෞඛ්‍ය සේවා සඳහා එතරම් පිරිවැයක් දැරුව ද එරට මිලියන 20 ක ජනතාවට කිසිදු සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් හෝ ශ‍්‍රී ලංකාවේ මෙන් නිදහස් සෞඛ්‍ය සේවයක පිහිට ලැබෙන්නේ ද නැත.

මෙම කරුණු මඟින් පැහැදිලි වන්නේ සෞඛ්‍ය සේවා සඳහා වැයකරනු ලබන පිරිවැය හෝ අරමුදල් ප‍්‍රමාණය අනුව සේවාවල ප‍්‍රමාණය හෝ ගුණය වැඩිවන බවට තර්කයක් ගොඩනැගිය නොහැකි බවය. පිරිස් බලය සහ තාක්ෂණික උපකරණ පිළිබඳව ද තත්ත්වය එයම බව ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු පමණක් නොව රෝගීන්ද අත්දැකීමෙන් දනිති. මීට අවුරුදු 30 කට පෙර වෛද්‍යවරුන් 5 දෙනෙකු සේවය කළ මහ රෝහලක බාහිර රෝගී අංශයක සේවා තත්ත්වය අද වෛද්‍යවරු 50 ක් සේවය කරන තත්ත්වයක් තුළ වුවත්, ලබාගත නොහැකි බව රහසක් නොවේ. ඊට විවිධ හේතු බලපාන බවට විවාදයක් නැත. කළමනාකරණයේ දුර්වලතාවල සිට නවක වෛද්‍යවරුන්ගේ නව ආකල්ප ආදී දහසක් හේතු ඒ සඳහා නිදහසට කාරණා ලෙස ඉදිරිපත් කළ හැක. මෙම දීර්ඝ පූර්විකාව අවශ්‍ය වන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ගොඩනැගූ තර්කය එනම් වෙළෙඳපොළ සාධක සහ මහජන සෞඛ්‍ය ගැටලූ අතර පවතින ප‍්‍රබල සම්බන්ධය පිළිබඳව කථා කිරීමට පෙර මූල්‍ය පිරිවැය සහ සේවා තත්ත්වය අතර පවතින දුරස් සම්බන්ධතාවය තේරුම් ගැනීම පිණිසය.

විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයට පොදු මහජන සෞඛ්‍ය අයවැයෙන් 70% ක් පමණ වැය වන්නේ බෝ නොවන රෝග නිවාරණය, පාලනය සහ ඒවාට ප‍්‍රතිකාර කිරීම සඳහාය. බෝ නොවන රෝගවලින් අතිබහුතරය මිනිසාගේ ආහාර සංස්කෘතිය සහ ජීවන රටාවන් සමඟ බැඳී ඇති බව ලෝකය පුරා පිළිගත් සත්‍යයකි. එසේම නූතන මිනිසාගේ පරිභෝජන සංස්කෘතිය සහ ජීවන රටාව වෙළෙඳපළ සාධක සමඟ ඉතා දැඩි ලෙස බැඳී ඇති බව ද පැහැදිලි සත්‍යයකි. එනම් රෝග කාරක පරිභෝජන ද්‍රව්‍ය සහ පරිභෝජන රටාව වෙළෙඳපොළ හැසිරීම් අනුව උස් පහත් වේ. වෙළෙඳපළ හැසිරීමේ මහා සමාගම්වල වාණිජ අරමුණු වෙනුවෙන් විවිධ ක‍්‍රමවේද සහ උපාංග යොදා ගනිමින් වෙනස් කෙරෙන බවට ලෝකය පුරා ප‍්‍රබල මහජන කතිකාවක් ගොඩ නැගී ඇත. ලෝකයේ ප‍්‍රධාන පෙළේ කෝලා පැණි බීම වර්ගයක් ප‍්‍රචලිත කරන සමාගමක ප‍්‍රධාන විධායක නිලධාරියා ප‍්‍රකාශ කරන්නේ තම සමාගමේ නිෂ්පාදන තරග කරන්නේ පානීය ජලය සමඟ බවය. එදා 1980 දශකයේදී එම ප‍්‍රකාශයට එරෙහිව ප‍්‍රබල සමාජ මතයක් ගොඩ නැගුණි. ඊට හේතුව එම සමාගම විසින් තම ආක‍්‍රමණශීලී ප‍්‍රචාරක ව්‍යාපාර මඟින් කුඩා දරුවන් අතර පවා පිපාසයට වතුර වෙනුවට එම පානය බීම දිරිමත් කිරීමය.

ඒ ආකාරයට මහා සමාගම් විසින් යම් ආහාර ද්‍රව්‍ය සහ සකස් කළ ආහාර වර්ග ලොව පුරා ප‍්‍රචලිත කිරීම සඳහා තමා සතු මහා පරිමාණ ප‍්‍රචාරක සහ මහජන සබඳතා අරමුදල් යොදා ගනිමින් විවිධ ක‍්‍රමවේද සහ උපාංග යොදාගනු ලබයි. ඒවා අතර ජනමාධ්‍ය සහ වෙනත් සමාජ මාධ්‍ය ජාලා මඟින් දියත් කරනු ලබන මනෝ විද්‍යාත්මක මෙහෙයුම් ප‍්‍රධාන ස්ථානයක් ගනු ලබයි. ඒවා මඟින් යම් විශේෂ පාරිභෝගික කණ්ඩායම් ඉලක්ක කරන අතර භාණ්ඩයට අදාළ ව්‍යාජ විචිත‍්‍රවත් මානසික පින්තූරය ද ප‍්‍රබල ලෙස තහවුරු කරයි. එසේවුත් ප‍්‍රමාණාත්මකව වෙළෙඳපළ අත්පත්කර ගැනීමේදී මහා සමාගම් විසින් යොදා ගන්නා ප‍්‍රධානතම උපාංගය වන්නේ වෙළෙඳපොළ තුළ මිල විකෘතීන් ඇති කිරීමය. එනම් තරඟකාරී විකල්ප නිෂ්පාදනවලට වඩා අඩු මිලක් නියම කිරීමය. ඒ සඳහා ප‍්‍රධාන වශයෙන් යොදාගනු ලබන උපාංග වන්නේ විදේශීයව සහ දේශීයව විවිධ බදු සහන ලබා ගැනීම සහ තත්ත්වයෙන් බාල කිරීම හරහා මිල අඩු කිරීමය. එම ක‍්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා දේශපාලන බලවතුන් සහ බලවත් නිලධාරීන් මිලදී ගැනීම, මෙන්ම රටේ පවතින ප‍්‍රමිතීන්, නීති සහ රෙගුලාසි වෙනස් කිරීම ආදී ක‍්‍රමවේද යොදා ගැනේ.

විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළ ආකාරයට යම් සමාගමක් විසින් සබන් වෙනුවට සබන්වලට වඩා තත්ත්වයෙන් බාල සෝදන කැට හෝ බාර් යනුවෙන් විකල්ප අඩු මිල නිෂ්පාදනයක් වෙළෙඳපළට ඉදිරිපත් කිරීම සඳහා නීතිමය ප‍්‍රතිපාදන සලසන ප‍්‍රමිතීන් පනවන්නේ රාජ්‍ය ආයතනයක් විසිනි. එසේ තත්ත්වයෙන් බාල සහ මහජන සෞඛ්‍යයට අහිතකර නිෂ්පාදනයක් වෙළෙඳපළ තුළ ප‍්‍රචලිත කිරීමට ඉඩ ලැබෙන්නේ කුමන හෝ වරප‍්‍රසාද මඟින් එම රාජ්‍ය ආයතනයේ යම් පිරිසක් මිලදී ගැනීමට එම සමාගම සමත්වීම නිසාය. ඊට අමතරව අප රටේ නීතියේ සිදුරුවලින් රිංගා බාල කිරිපිටි රටට ආනයනය කිරීමට ඉඩ ලැබී ඇත්තේ එසේ නීතියේ සිදුරු හැදීම සහ ඊට අනුකූල වන ලෙස ප‍්‍රමිතීන් සහ පරීක්ෂණ නියම කිරීම මඟිනි. මේදය පුරවන ලද කිරිපිටි හෙවත් සංයුතිය වෙනස් කළ කිරිපිටි එනම් මිල අධික කිරි මේදය ඉවත් කොට ගෙන ඒ වෙනුවට මිල අඩු පාම් තෙල් මිශ‍්‍ර කොට නිෂ්පාදනය කරන කිරි පිටි අප රටට ආනයනය කිරීමට ඉඩ ලැබී ඇත්තේ ආහාර පනතේ සිදුරු සහ ආනයන අපනයන පාලන පනතේ හිදැස් නිසාය.

එසේ කිරිවලට පාම් තෙල් එකතුකොට සංයුතිය වෙනස් කොට නිපදවන පිටි කිරි වර්ග හඳුනා ගැනීම සඳහා අප රටේ පනවා ඇති ප‍්‍රමිතීන් අනුව සිදු කෙරෙන පරීක්ෂණවලින් හඳුනාගත හැක්කේ මේදයෙන් 40% කට වඩා පාම් තෙල් තිබේ නම් පමණි. ඒ නිසා සාමාන්‍යයෙන් 30 – 40% ප‍්‍රමාණයකට පාම්තෙල් එකතු කොට අප රටට අඩු මිලට ප‍්‍රතාපනය කරන කිරි පිටි එම ගල්යුගයේ පරීක්ෂණ වලින් හඳුනාගත නොහැක. ඒ නිසා අප රටේ දරුවන්ට සොබාවික එළකිරි නමින් අඩු මිලට තත්ත්වයෙන් බාල සෞඛ්‍යයට අහිතකර පාම් තෙල් අඩංගු කිරි පෙවීමට එම සමාගම්වලට හැකියාව ලැබී ඇත. එසේ මිශ‍්‍ර කරන පාම් තෙල් නිසි ලෙස පිරිපහදු නොකළ ඒවා නම් ඒවායේ පිළිකා කාරකයක් වන නිදහස් මේද අම්ල 20% පමණ අඩංගු විය හැක. ලෝක වෙළඳපොළේ පිරිපහදු නොකළ පාම් තෙල් මිල අඩු මට්ටමක පැවතීම නිසා සැපයුම්කරුවන් එසේ නිසි ලෙස පිරිපහදු නොකළ වර්ණය සහ දුර්ගන්ධය පමණක් වෙනස් කළ තෙල් වර්ග ආනයනයට වැඩි නැඹුරුතාවයක් දක්වයි.

අප රටේ ආහාරයට ගන්නා තෙල් වර්ග වෙළෙඳපොළ තුළ තත්ත්වය වඩාත් බරපතළ වේ. අප රටට ආනයනය කරන පිරිපහදු කළ පාම් තෙල් සඳහා කි.ග‍්‍රෑම් 1කට රු. 275 ක ආනයන බද්දක් අයකරන විට පිරිපහදු නොකළ විෂ සහිත නිදහස් මේද අම්ල අඩංගු තෙල් සඳහා අයකරනු ලබන්නේ කි.ග‍්‍රෑම් 1 කට රු. 250 කි. ඒ නිසා අප රටට ආනයනය කරන මෙ.ටො 240,000 තරම් වූ අතිවිශාල පාම් තෙල් තොගයෙන් වැඩි කොටස පිරිපහදු නොකළ තෙල් බවට කිසිදු සැකයක් නැත. අප රටේදී ආර්.ඞී.බී නමින් සිදු කරන ව්‍යාජ පිරිපහදුකරණයේදී ඉහත සඳහන් කළ ආකාරයට පිළිකා කාරකයක් වන නිදහස් මේද අම්ලය ඉවත් කිරීමක් සිදු වන්නේ නැත. පසුගිය කාලයේදී අධිකරණ නියෝගයක් මත පරික්ෂාවට ලක් කළ එවැනි සාම්පලයක නිදහස් මේද අම්ලය 20% ක් අඩංගු වූ බව වාර්තා විය. ඒ අනුව අප රටේ කුඩා දරුවන් වැඩි වශයෙන් ආහාරයට ගන්නා ගැඹුරු තෙලේ බදින ආහාරවල පිළිකා කාරක කෙතරම් අඩංගු විය හැකිද? අප රටේ දිනකට නව පිළිකා රෝගීන් 35 ක් වාර්තා වීම පිළිබඳව පුදුම විය යුතුද?

මෙම ක‍්‍රියාවලිය බදු සහන මඟින් දිරි ගැන්වීමට අමතරව නීතිය මඟින්ද දිරිමත් කිරීම පුදුම සහගතය. පොල් තෙල්වලට පාම් තෙල් මිශ‍්‍ර කොට විකිණීම නීතිගත කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් 2016 දී ගැසට් නිවේදනයක් පවා නිකුත් කොට ඇත. නමුත් එසේ ආහාර බාල කිරීම ආහාර පනත යටතේ වරදකි. කෙසේ වෙතත් එම ආයතනය විසින්ම පසුගිය දිනවල වෙළඳපොළෙන් ලබා ගත් පොල් තෙල් සාම්පල 118 ක පරීක්ෂා කිරීමේදී 70% කට වඩා පාම් තෙල් හෙවත් පොල් තෙල් නොවන තෙල් අඩංගු වූ බව එළිදරව් විය. නමුත් එම වෙළෙඳුන්ට එරෙහිව කිසිදු පියවරක් ගත් බව වාර්තා වූයේ නැත. එසේම පාසල් දරුවන් අතර දියවැඩියාව 15% තරම් ඉහළ ප‍්‍රතිශතයකින් වාර්තා වන බවට විවිධ ප‍්‍රවෘත්ති පළ වුවද දරුවන්ගේ ආහාර සංස්කෘතිය වෙනස් කිරීම සඳහා පාසල් මට්ටමින් හෝ මැදිහත්වීමක් සිදු කෙරෙන්නේ නැත. හිටපු අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා 2013 දී පාසල්වල තිරිඟු පිටි කෑම වර්ග සහ පැණි බීම වර්ග විකිණීම තහනම් කරමින් නිකුත් කළ චක‍්‍රලේඛය ඉතා කෙටි කලකින්ම විදුහල්පතිවරුන් විසින් කසළ බඳුනට දමන්නට යෙදුණි. අප රටේ දිනකට පැණි බීම වර්ග බෝතල් 1000 – 2000 ත් අතර ප‍්‍රමාණයක් විකුණන ආපන ශාලා සහිත පාසල් රාශියක් ඇත. එවැනි එක් බීම බෝතලයක සීනි ග‍්‍රෑම් 25-30 අඩංගු වේ.

පාසලේ ආපන ශාලාව කුලියට දීම මඟින් පාසලට ලැබෙන මුදලට වඩා දරුවන්ගේ සෞඛ්‍ය ගැන සිතා එම ආහාර ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා විසින් ඉල්ලා සිටිය ද අධ්‍යාපන සහ සෞඛ්‍ය බලධාරීන් එම ඉල්ලීම තුට්ටුවකටවත් සලකන්නේ නැත. අද වන විට පාසල් ආපනශාලාවල කොත්තු රොටී පවා මිලදී ගත හැක. රෝහල් ආශ‍්‍රිතව තත්ත්වය ද එසේමය. අප රටේ රෝහල් තුළ හෝ ආහාර ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කෙරෙන්නේ නැත. බෝ නොවන රෝග නිවාරණය පිළිබඳව කොතෙක් ප‍්‍රචාරක ව්‍යාපාර දියත් කළද සෞඛ්‍ය බලධාරීන් හෝ වෛද්‍ය සංගම් එම අවම වගකීම, හෝ ඉටු කිරීමට මැදිහත් වන්නේ නැත. ඒ වෙනුවට පසුගිය රජය විසින් තිරිඟු ඇටවලට කි.ග‍්‍රෑම් 1 කට රු. 20 ක බදු සහනයක් ලබා දීම සහ වර්තමාන රජය විසින් තිරිඟු පිටිවලට කි.ග‍්‍රෑම් 1 කට රු. 28 ක බදු සහනයක් ලබා දීම මඟින් තිරිඟු පිටි ආහාර තවදුරටත් ප‍්‍රචලිත කෙරේ. එම බදු සහන නිසා අප රටේ තිරිඟු පිටි පරිභෝජනය මෙ.ටො ලක්ෂ 13 කට සිට මෙ.ටො ලක්ෂ 17 ක් දක්වා ලක්ෂ 4 කින් වැඩි විය. මෙම බදු සහන මඟින් ලැබෙන අධික ලාභය නිසා තිරිඟු පිටි ආහාර නිෂ්පාදකයින් ඒවා ගෙදර දොරකඩට ගෙනවිත් දරුවන්ගේ අතටම දීමට තරම් නිර්ලෝභී වේ. අප රටේ ජනමාධ්‍ය කෝව්ඞ් වසංගතයෙන් බේරීම සඳහා මුඛ ආවරණ දමන ආකාරය, අත් සෝදන හෝ කිවිසුම් යවන ආකාරය ගැන නිරන්තරයෙන් උපදෙස් දෙති. එහෙත් මෙවැනි අර්බුදයකදී හෝ තමන්ගේ ජීවන පුරුදු හෝ ආහාර පුරුදු වෙනස් කර ගත යුතු බවට මානසික බලපෑමක් ඇතිවන කිසිදු උපදේශයක් දරුවන්ට ලබා දීමට එම ආයතන ක‍්‍රියා කරන්නේ නැත.

වෛද්‍ය කේ.එම්.වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More