පුරවැසි කොලම

කොරෝනා රෝ බිය හා දේශපාලන අලකලංචි මැද, ලෝකයට තවත් නත්තලක් උදා වී තිබේ. ලෝකයේ අධිකතම සාමාජික පිරිස සිටින ආගමික සංවිධානයේ ආදි කර්තෘ, ක්‍රිස්තු තුමා ගේ උපන් දිනය වාර්ෂිකව සැමරීම නත්තල ය. ක්‍රිස්තු බිළිඳා ගේ උපත අසිරිමත් ය.ඒ බිළිඳා මරිය මව් ගැබට පිවිසියේ දේවානුභාවයෙනි.ඒ නිසාම එතුමා හැඳින් වෙන්නේ දේව පුත්‍රයා ලෙස ය.ඒ දෙව්පුත් උපන් මහ රෑ, අභ්‍යාවකාශය පවා, සිය ප්‍රමෝදය පළකර සිටියේ ය. දිගම දිග,අමුතුම අමුතු අසිරිමත් තරුවක් අහසේ ප්‍රදර්ශනය කරවමිනි.

ඒ උපත,පලස්තීනයේ දුගී එඬේර ජනතාවට ප්‍රීතිමත් ආරංචි දෙකක් ගෙන ආවේ ය. ඔවුන් දුප්පත්කමෙන්, නූගත්කමෙන්, රෝ දුකින් හා හව්හරණයක් නැතිකමෙන් මුදවාගන්නට,මතු පැමිණෙන තැනැත්තා ලෙස තමන් අපේක්ෂාවෙන් සිටි, ‘ ගැලවුම්කරු’ උපත ලැබ ඇති බව ය.

‘‘වහා ගොස්, රෙදි වලින් ඔයා ගව ඔරුවක නිදි කරවා සිටින ඒ බිළිඳා දැක දැන හඳුනා ගන්නා ලෙස’’ ය. (ලූක් 2 – 8-12)

කිතු හිමි ගේ ‘උපන් දිනය’ ගැන ලොවපුරා ආගමික විත්ති විචාරකයන් අතර,මතභේද තිබේ. එහෙත්, එතුමා උපන්නේ කුමට ද? ඉපිද ක්‍රියා කළේ කුමන අරමුණකින්ද යන්න ගැන මතභේද නැත.

මෙතෙක් ලොව පසුකර ආ හැම නත්තලකම තිබුනේ, ප්‍රීති උත්සව ස්වභාවය ය.

එහෙත් මෙ වර!

මෙ දා නත්තල, සාම්ප්‍රදායික ප්‍රීති උත්සව භාවයෙන් තොරව පවත්වන ලෙස, කොළඹ රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි මුළු රටෙන් ම ප්‍රසිද්ධ ඉල්ලීමක් කළේ ය. වෙන දා යස ඉසුරින් පිරි, පරිසරාලංකාරයෙන් ප්‍රමුදිත නත්තල, මෙ දා ලොව බොහෝ රටවලට අහිමිය. විශේෂයෙන් ම ඉතාලිය, ජර්මනිය, ප්‍රංශයහා ඇමරිකාව ප්‍රමුඛ ක්‍රිස්තියානි රටවලට ය. මේ ලිපිය සැකසෙන, දෙසැම්බර් 22 දා පස්වරු 5.00 වන විට ලොවපුරා කොවිඩ් අසාධිත රෝගීන් පිරිස,හත් කෝටි හැත්තෑ හත් ලක්ෂ දහ අට දහස් පන්සිය දහ අටක් විය. මියගිය සංඛ්‍යාව දහහත් ලක්ෂ නව දහස් නවසිය එකොළහක් විය.

අපේ රටේ, අාසාධිත සංඛ්‍යාව තිස්හත් දහස් හයසිය තිස් එකක් විය. මරණ නවසිය අසූ එකකි. (දෙරණ පැයෙන් පැය පුවත්) මේ වන විට අපේ රටේ හැම දිස්ත්‍රික්කයකට ම පාහේ, රෝගය පැතිර තිබේ. පැතිරෙමින් ද තිබේ. ඇමරිකාවේ සංඝනායක, වල්පොළ පියනන්ද හිමි, පසුගිය සතියක, ඉරිදා පුවත්පතකට ප්‍රකාශ කර තිබුනේ, කොරෝනා නිසා විපතට පත්ව ඇති රටවල් වැඩි ගණන, දේවාගම් අදහන රටවල් බව ය. කාදිනල් හිමි මෙ වර නත්තල් සැමරුම් අත්හිටුවන ලෙස පෙර කී ඉල්ලීම කළේ, ඒ ලෝක තත්ත්ව මනාව තේරුම් ගෙන බව නිසැක ය. කොරෝනා බිය, නත්තලේ ප්‍රීතිය උදුරා ගෙන ය.

කොළඹ කතෝලික ප්‍රවෘත්ති රටට දැන ගන්නට සලස්වන, සුනිල් ද සිල්වා පියනම,අපූරු ගව ලෙනක ඡායාරූපයක් මුහුණුපොතට ඇතුළත් කර තිබේ. දෙමටගොඩ, ගුවන් පාලම යට, ඉටිකොළ වලින් තැනූ නිවසක් ඉදිරිපිට, මහපාරේ බිම අතුරා ඇති ගවලෙනක් ය!

ඒ, නත්තලේ සැබෑ අරුත වූ, මිනිස් දුගී බව, රටට කියාපාන ගවලෙනකි. නත්තල දුගීන් ගේ මංගල්ලය ලෙස සමහර කිතුනු විචාරකයන් හඳුන්වන්නේ එහෙයිනි. කිතුහිමි උපන්නේ හිස තබා ගෙන නිදන්නටවත් තැනක් නැතිව ය. ළදරු විය පසුකර, තුරුණු වියට පත් දා සිට, එතුමා ගේ මිතුරන් වන්නට ඇත්තේ තමා මෙන් වූ, දුගීන් ගේ දරුවන් ය. ඒ පරම්පරාව, දුගීකමෙන් මුදා, දැන උගත්, නීරෝගී, තමන් විසින් මතමන් පාලනය කර ගන්නා හා, සිය නැති බැරිකම්, තමන් විසින් ම දුරු කර ගන්නට’ක්‍රියා’ කරන පරම්පරාවක් කිරීම, කිතුහිමි ගේ ජීවිත පරමාර්ථය වූ බයිබලය ඇසුරින් මනාව තේරුම් ගත හැක.

නත්තල සමරන කිතුනුවන් ගේ පරමාර්ථයවිය යුත්තේ,ඒ ක්‍රිස්තු චරිතය හා ක්‍රියා වසරකට වරක් මෙනෙහි කර, ඒ අනුව සිය ජීවිත ගත කිරීමට තීන්දු ගැනීම ය. ඒ තීන්දුව වසරින් වසර අලුත් කරගැනීමය. ගතවෙන වසරේ ඒ තීන්දුවට අනුව තමන් කොතෙක් දුරට ජීවත් වූවාදැයි, ආපසු සිතා බැලීම ය.

නත්තල ලෙස ගත වූ වසර දක්වා ලෝකය සැමරුවේ ඒ ක්‍රිස්තු චරිතය ද? ඒ ක්‍රිස්තු ක්‍රියා ද?

මේ වන විට ලෝකයේ, බොහෝ රටවල් තම රට, රෝගාබාධ වලින් හා, දේශපාලනඅරාජිකත්ව වලින් ගලවා ගන්නට සමත්, නව නායකත්ව පතා සිටී. ශ්‍රී ලංකාව සිටින්නේ ද ඒ බලාපොරොත්තු වෙන්ම ය. නත්තල් දා සැමරෙන ක්‍රිස්තුවරයා, කෙවැනි නායකයෙක් වී ද? එතුමා උපන්නේ, දතට දත හා ඇසට ඇස යන අවමානව හා මිනීමරු නීති ක්‍රියාත්මක මැදපෙරදිග ය.

‘එකට එක කිරීම’ ඒ රටවල නීතියේ පදනම විය. ඒ රටවල පැවතියේ ජුදාගම ය. ඔවුන් යාච්ඥා කළේ මහ පාරවල් මැද ප්‍රසිද්ධියේ ය. අනුන් ට පෙනෙන්නට ය. ඇසෙන්නට ය. දන් දුන්නේ ශබ්ද පූජා පවත්වාගෙන ගොස් පෙරහැරෙනි. කිතු හිමි ඒ නීතිවලට හා ආගමික පැවතුම්වලට එකහෙළාම ප්‍රසිද්ධියේ විරුද්ධ විය. එකට එක නීතියට, එතුමා විකල්පයක් ඉදිරිපත් කළේ ය. ‘කම්මුල්’ න්‍යාය හා ‘සමාවය’.යාච්ඥා කරන ලෙස විධාන කළේ, ‘ඇතුළු ගෙට වැද දොරගුළු දමා වසා ගෙන, කිසිවෙකුටද නෑසෙන්නට හා නො පෙනෙන්නටය’.

දකුණතින් දුන් දේ වමතට නො දැනිය යුතු බව, දන් දීම පිළිබඳ එතුමා ගේ නියමය විය.

එතුමා උපතේ සිට විපත දක්වාම ගිහියෙකු විය.

(මාක් 15-19) සිය මත හා වෑයම්, ලොව පුරා බෙදා හරින්නට එතුමා සහයට ගත්තේ ද, ගිහි පිරිමින් පමණය.

එතුමා, ජුදා රජවරු හා නායක පූජකයන් ඉදිරියේ, තමා පිළිබඳව, බිය හැක නැතිව ඍජුව කී වාක්‍යයක් තිබේ. ” මා උපන්නේ සත්‍යයට සාක්ෂි දරන්නටය”

තම සේවා අරමුණ ලෙස එතුමා ප්‍රකාශ කර ඇත්තේ, ” සේවය ලැබීම නොව.. සේවය කිරීම ය” (මාක් 10 – 45)තමාව මරන්නට සෙවූ, හෙරෝද් නම් ජුදා නරපතියාට “හිවලා” යැයි ඇමතීමට තරම් එතුමා එඩිතර විය.

එතුමාගේ ලෞකික මත පවා බයිබලයේ සඳහන් ය. ” ජුදා දහම් පඬිවරු තමන් අනුනට කරන්නැයි කියන දේ තමන්නො කරන නිසා, ඔවුන් කියන කරන දෑ නො පිළිගන්න”(මතෙව් 23 -13)

” මිහිපිට වස්තුව කාවෝ කති.. මල බැඳී විනාශ වේ..ඒ වෙනුවට කාවුන් නො කන, මල බැඳී විනාශ නො වන, සොරුනට ගත නො හැකි..ධාර්මික වස්තු

රැස් කර ගන්න” ( මතෙව් 6 – 19)

” වැලි පොළවේ ගෙවල් තනන මෝඩයන් නොවන්න… සැඩ සුළං හමා… මහ වැහි වැස… ගංවතුර ගලා..

ඒ ගෙවල් බිඳ වැටෙනු ඇත” (ලූක් 6:46)

” ඔබේ ඇස දූෂිත නම්..ඔබේ මුළු සිරුරම අඳුරින් පිරේ” (ලූක් 11 : 34) “ඉදිරි දොරටුවෙන් නොව, පස්සා දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු වන්නා සොරෙකි” (ජුවාම් 10:11) ” තමා උසස් කර ගන්නා තැනැත්තා පහත් කරනු ලැබේ” (මතෙව් 23:12)” මූලිකයා වෙන්නට කැමති තැනැත්තා සෙස්සන් ගේ දාසයා විය යුතුය” (මතෙව් 20:27)

“කණ්ඩායමක වඩාත් ම උතුම් තැනැත්තා එහි සිටින බැහැපත්ම තැනැත්තාය” (ලූක් 9 : 47) එළිදරව් නො වන හා දැනගත නො හැකි වන සේ සඟවත හැකි කිසිවක් නැත..මහ රෑ කළ කී දේ පමණක් නොව, කණට කොඳුරා කී දෑ පවා,පසුව එළිදරව් වේ. (දුක් 12 :2)

ඒ, බයිබලයේ සඳහන් බබෙකු ගේ දාර්ශනික මග පෙන්වීම් නො වේ. බොහෝ වැඩිහිටියන් පවා නත්තල් සමයේ, කිතු හිමි හඳුන්වා දෙන බාල නාම පදයක් ඇත.. ජේසු බබා යන්නය ය. නරපතියෙකු, හිවලෙකු ලෙස හඳුන්වා දුන් තැනැත්තා බබෙකු විය හැකිද?

අද ලොව පුරා කතෝලික සභා, නත්තල සමග බිළිඳු ජේසු බබා ගැන සිය සාමාජිකයනට කරුණු කියා දෙතත්, හෙරෝද් රජුට හිවලා කී ජවාධික ක්‍රිස්තු තරුණයා පිළිබඳව, බයිබලයේ ගැඹුරින් සඳහන් හැබෑ හඳුන්වාදීම් ගැන කරුණු කියා දෙන්නේ නැත. සියල්ල අතහැර කිතු හිමි පසු පස ගිය ගිහි පිරිමි ශ්‍රාවකයන් ද සේවය නො ලබා සේවය කළේ, ඒ ඒ රටවල දිළිඳුනටය. නූගතුනට ය.රෝගීනට ය. තනි වූවනට ය. කිතු හිමි, ඔවුන් හරහා, ලෝකය ‘දේවරාජ්‍යයක්’ කර ගැනීමට නම් කළ යුතු වචන දෙකක මහා ක්‍රියාව හඳුන්වා දී තිබේ.

බෙදා හදා ගැනීමය.

නත්තල නම් එය ය. බෙදාහදා ගැනීම ය.

•සිරිල් එඬේරමුල්ල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More