පුරවැසි කොලම

වර්තමාන ආණ්ඩුව බලයට පත්වී ගත වූ වසරක කාලය තුළ පාර්ලිමේන්න්තුවේ අනුමැතිය නොමැතිව මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් පමණක් අවස්ථා 6 කදී ආනයනික භාණ්ඩ සඳහා බදු සහන ලබා දීම සිදුකොට ඇත. ඒ සඳහා රේගු ආඥා පනත” ආනයන – අපනයන පාලන පනත” විශේෂ පාරිභෝජන බදු පනත” වැට් බදු පනත ආදී පනත්වලින් මුදල් අමාත්‍යවරයාට බලය තිබෙන බව සත්‍යයකි. එහෙත් 1977 ට පෙර එසේ නව බදු පැණවීම හෝ සහන දීම සිදුකරනු ලැබුවේ අයවැය මඟින් හෝ රටට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන යම් විශේෂ හේතු දැක්වීම් සහිත ප‍්‍රකාශයක් මඟිනි. ඒ ආකාරයට බදු පැණවීම හෝ සහන දීම මඟින් ආර්ථිකය තුළ සිදුවන වෙනස එනම් දිරිගැන්වීම හෝ අධෛර්යමත් කිරීම කුමක් දැයි මහජනයාට පැහැදිළි වන අතර එය සාධාරණීකරනය කෙරේ. එහෙත් දැන් පවතින ක‍්‍රමය අනුව අමාත්‍යවරයා විසින් නිකුත් කරන ගැසට් නිවේදනය ඉන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද එම තීන්දු මහජන අවධානයට ලක්වන්නේ නැත.

 එසේ 1977 න් පසු ආරම්භ වී දැන් එක්තරා උච්චතම අවස්ථාවකට පත්වී ඇති මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් ආනයනකරුවන්ට ලබාදෙන බදු සහන පිළිබඳ තීන්දු ගනු ලබන්නේ නිලධාරීන් කිහිප දෙනකු විසිනි. බොහෝවිට එසේ ලබා දෙන බදු සහන පිළිබඳ සොයා බැලීමේදී පැහැදිළි වන්නේ අදාළ තීන්දුවලින් යම් තෝරාගත් සමාගම් කිහිපයකට පමණක් වාසි අත්වී ඇති බවය. එම බදු සහන මඟින් දිරිගන්වනු ලබන ආර්ථික ක‍්‍රියාවලිය කුමක්දැයි මහජනතාවට පැහැදිළි නැති අතර එම බදු සහනවල වාසිය භාණ්ඩ වල මිල අඩුවීමක් ලෙස ඔවුන්ට නොලැබෙන බව ද රහසක් නොවේ. උදාහරණයක් ලෙස වැට් බදු සහන ලබාදීම් නිසා රජයට කෝටි 40”000 කට වැඩි බදු ආදායම් අහිමිවූ බව ආදායම් බදු කොමසාරිස්වරයා විසින්ම පිළිගත්ත ද මහා සමාගම්වලට ලබාදෙන ලද එම සහනයේ ප‍්‍රතිලාභ මහජනයාට ලැබුණේ නැත. පසුගිය දිනවල සීනි ආනයනකරුවන්ට ලබා දුන් කි.ග‍්‍රෑම් 1 කට රු. 55 ක් වූ අතිවිශාල බදු සහනයද මහජනයාට නොලැබුණු බව පාරිභෝගික අධිකාරිය විසින්ම පිළිගෙන ඇත. එම බදු සහනය මඟින් රජයට අහිමි වූ බදු ආදායම හෙවත් ජාවාරම්කාරයන්ට ලැබුණු අමතර ලාභය රු. මිලියන 33”000 කි. බදු සහනය ලබා දෙන විට බදු ගෙවීමෙන් තොරව වරායේ ගුදම්වල තිබූ සීනි ප‍්‍රමාණය සහ බදු සහනය ලබාදුන් පසුව දින කිහිපයක් තුළ වරායට ළඟා වූ සීනි ප‍්‍රමාණය මෙ.ටො 50”000 ක් ආසන්න බව වාර්තා වේ. ඒ අනුව බදු සහනය පිළිබඳව ආනයනකරුවන්ට පූර්ව අවබෝධයක් තිබූ බව පැහැදිළි වේ. ඊට අමතරව තිරිඟු පිටි ආනයනය සඳහා ලබාදුන් බදු කි. ග‍්‍රෑම් 1 කට රු. 28 ක බදු සහනය නිසා තිරිඟු පිටි නිෂ්පාදනවල මිල අඩු වූයේ නැත. ආනයනික තිරිඟු පිටි ආහාර බදු සහන යටතේ අඩු මිලට මහජනයාට ලබා දීම නිවැරදි ආර්ථික ප‍්‍රතිපත්තියක් යැයි ඉන් අදහස් නොවේ. එහෙත් ආණ්ඩුව එසේ වැරදි ප‍්‍රතිපත්තියක් මත ලබාදෙන බදු සහනය සමාගම්වල භාණ්ඩාගාරයට මිස මහජනයාගේ සාක්කුවට නොවැටෙන බව පෙන්වා දිය යුතුය. එසේ රු. 28 ක බදු සහනනය ලබා දීම සඳහා අදාළ නිලධාරීන් විසින් රේගු ආඥා පනත” විශේෂ පරිභෝජන භාණ්ඩ පනත සහ ආනයන අපනයන පාලන පනත වශයෙන් පනත් 3 ක් යොදාගනු ලැබීය. නිලධාරීන් විසින් එසේ තමා දන්නා සමාගම්වලට බදු සහන ලබා දීමේදී නිර්ලෝභීව සහ සූක්ෂමව ක‍්‍රියා කළත් සහල්වලට පාලන මිල පැණවීමේදී ඉහත සඳහන් කළ ආකාරයට ආනයනකරුවන්ට දැක්වූ ආදරය දේශීය සහල් කර්මාන්තකරුවන්ට හෝ වී ගොවියාට ලැබුණේ නැත.

ආණ්ඩුව පසුගිය මාර්තු සිට ජූනි දක්වා මාස 4 ඇතුළත ගැසට් නිවේදන 4 ක් මඟින් ෆාම් තෙල් සහ පොල් තෙල් සඳහා පනවා තිබූ ආනයන බදු 4 වතාවක් වෙනස් කරනු ලැබීය. ඒ අනුව ඉතා පැහැදිළිව පෙනී යන්නේ මෙම බදු සහන ලබා දෙන්නේ ස්ථීරසාර ජාතික ප‍්‍රතිපත්තියක් මත පදනම්ව නොවන බවය. උදාහරණයක් ලෙස ෆාම්තෙල් ආනයනය සීමා කළ ද විදේශීය ණය යටතේ ආනයනය කළ හැක. ලෝක වෙළෙඳපොළේ ෆාම්තෙල් මිල පහත වැටී ඇති තත්ත්වයක් යටතේ ෆාම් තෙල් කිසිදු බාධාවකින් තොරව ණයට ආනයන කිරීමේ හැකියාව ඇත. ඒ නිසා එම ගැසට්ටුව මඟින් ෆාම් තෙල් ආනයනය සීමා වන්නේ නැත. ඒ අතර ෆාම්තෙල් පරිභෝජනය සීමා කිරීම සඳහා බව කියමින් පොල්තෙල් සඳහා පනවා තිබූ රු. 295 ක බද්ද රු. 100 කින් අඩු කරනු ලැබිණ. මතුපිටින් බලන විට ෆාම්තෙල් වෙනුවට පොල්තෙල් පරිභෝජනය දිරිමත් කිරීම නිවැරදි තීන්දුවකි. ඊට අනුව මුදල් අමාත්‍යවරයාගේ මැයි 21 අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව මඟින් ෆාම් තෙල් නිෂ්පාදන සඳහා කි.ග‍්‍රෑම් 1 කට රු. 250 සිට 310 දක්වා ප‍්‍රමාණවලින් පනවා තිබූ බද්ද සමස්ථයක් ලෙස රු. 350 දක්වා වැඩිකරනු ලැබීය. ඒ මඟින් ෆාම්තෙල් ආනයනය විශාල වශයෙන් අධෛර්යමත් කෙරෙන නිසා මහජන සෞඛ්‍යයට අදාළව සහ පොල් වගාවේ සහ ඒ ආශ‍්‍රිත කර්මාන්තවල පැවැත්මට අදාළව එම තීන්දුව ප‍්‍රතිපත්තිමය වශයෙන් ඉතා වැදගත් යැයි තර්ක කළ හැක.

 එසේ වුවත් ඒ සමඟම පොල්තෙල් ආනයනය සඳහා පනවා තිබූ බද්ද තවදුරටත් රු. 70 කින් අඩුකොට එය රු. 125 මට්ටමට පහත දැමීම නිසා සංකීර්ණ ගැටලූවක් මතුවේ. එනම් මාස දෙකක් ඇතුළත රු. 295 ක බද්ද රු. 125 ක් දක්වා රු. 170 කින් අඩු කිරීම නිසා වෙළෙඳපොළ තුළ බරපතළ මිල විකෘතියක් ඇතිවේ. විශේෂයෙන්ම විදේශීය ණය යටතේ පොල්තෙල් ආනයනය කිරීමේදී ඒ සඳහා හැකියාව සහිත මහා සමාගම්වලට පමණක් පොල්තෙල් ආනයනය කිරීමේ ඒකාධිකාරිය ලැබේ. බොහෝ විට ශ‍්‍රී ලංකාවේදී එම වාසිය ලැබෙනු ඇත්තේ සිංගප්පූරුව සහ මැලේසියාව පදනම් කරගත් විශාල ගබඩා ධාරිතාවක් සහිත සමාගමක් සහ තවත් දේශීය සමාගම් දෙක” තුනකට පමණ. ඒ අනුව ඔවුනට පොල් තෙල් බෝතලයක් රු. 240 වැනි මිලකට වරායෙන් එළියට ගෙන තම ගබඩා දක්වා ප‍්‍රවාහනය කිරීමේ හැකියාව ලැබේ. දැනට පොල්තෙල් බෝතලයක් සිල්ලර වෙළෙඳපොළ තුළ අලෙවි වන්නේ රු. 400 සිට 480 දක්වා මිලකටය. ඒ අනුව එම සමාගමට විශාල ලාභයක් තබාගත හැකි අතර ෆාම් තෙල් බදු ඉහළ මට්ටමක පවතින නිසා එම වාසිය තවදුරටත් තහවුරු වේ. දැනට ෆාම් තෙල් ආනයනය කරන ප‍්‍රධාන සමාගම් දෙකක් පොල් තෙල් ජාවාරමට යොමු වූ විට ඔවුනට වර්ෂයකට ලැබෙන අමතර ලාභය රු. මිලියන 20”000 ලෙස ගණන් බැලිය හැක. ඒ ආකාරයට ආනයනික පොල් තෙල්වලට අති විශාල බදු සහනයක් ලබාදීම නිසා සහ ලෝක වෙළෙඳපොළේ ෆාම්තෙල් මිල බරපතළ ලෙස පහත වැටී ඇති තත්ත්වයක් තුළ පොල් තෙල්වලට ෆාම් තෙල් මිශ‍්‍ර කොට ආනයනය කිරීමේ ඉඩක් විවර වේ. විශේෂයෙන්ම නව තත්ත්වයක් යටතේ පොල්තෙල් ආනයනයට මාරු වන සමාගම් දැනටමත් රටට බහුලව ෆාම් තෙල් ආනයනය කරන සමාගම් වීම නිසා එම සම්භාවිතාව වැඩි වේ. තත්ත්වය මෙසේ තිබියදී මේ ආකාරයට බදු සහනය ලබා දෙන්නේ ආනයනකරුවන්ගේ ඉල්ලීම් මත බව නැවත වතාවක් තහවුරු කරමින් ෆාම් තෙල් සඳහා පනවා තිබූ කි.ග‍්‍රෑම් 1 කට රු. 350 ක් වූ ආනයන බද්ද 4 වැනි ගැසට් නිවේදනය මඟින් පිරිපහදු නොකළ තෙල් සඳහා රු. 250 ක් සහ පිරිපහදු කළ තෙල් සඳහා රු. 275 ක් ලෙස නැවත වටයකින් පහත දමනු ලැබීය. ඒ නිසා රට තුළදී ආනයනික පොල් තෙල්වලට පිරිපහදු නොකළ ෆාම් තෙල් මිශ‍්‍රකොට විකිණීමේ ජාවාරම දිරිමත් වේ. පසුගිය දිනවල පාරිභෝගික අධිකාරිය විසින් පරික්ෂාවට ලක්කළ පොල් තෙල් සාම්පල 118 ක 70% දක්වා ෆාම් තෙල් අඩංගු වූ බව වාර්තා විය. නමුත් ඊට එරෙහිව පොල් සංවර්ධන මණ්ඩලය හෝ පාරිභෝගික අධිකාරිය විසින් නීතිමය පියවර ගත් බවක් වාර්තා වන්නේ නැත. පිරිපහදු නොකළ ෆාම් තෙල් සඳහා වැඩි බදු සහනයක් ලබා දුන් විට ඒවා ආනයනය දිරිමත් වන බව කුඩා ළමයෙකුට වුව තේරුම් ගත හැක. එසේ වුවත් ශ‍්‍රී ලංකාවේ මැලේසියාවේදී මෙන් දිය්ණු පිරිපහදු කිරීමක් සිදු වන්නේ නැත. ආර්.ඞී.බී. නමින් සිදු කරන ක‍්‍රියාවලිය තුළ වර්ණය සහ දුර්ගන්ධය අඩු කරනු ලැබූවද පිළිකාකාරකයක් වන නිදහස් මේද අම්ල ඉවත් කිරීමක් සිදුවන්නේ නැත. ඊට අමතරව කූට ලෙස ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය කරමින් දේශීය ගම්මිරිස් වගාව විනාශ කළ ආකාරයට බදු සහන යටතේ ෆාම් තෙල් මිශ‍්‍ර පොල් තෙල් ප‍්‍රතිඅපනයනය කිරීමේ කූට ජාවාරමක්ද ආරම්භ විය හැක. ඊට අමතරව පිරිපහදු නොකළ ෆාම් තෙල් සඳහා වන ආනයන බදු පිරිපහදු කළ තෙල්වලට වඩා අඩු මට්ටමක පැවතීම නිසා පිළිකාකාරක සහිත පිරිපහදු නොකළ තෙල් ආනයනය දිරිමත් වේ.

මේ ආකාරයට බදු සහන පිළිබඳව දීර්ඝ පූර්විකාවක් අවශ්‍ය වන්නේ බදු සහන දීමේදී මෙන්ම බදු පැණවීමේදී ආණ්ඩුව දීර්ඝ කාලීන උපාය මාර්ගික ප‍්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු නොකරන බව පෙන්වා දීම සඳහාය. විපක්ෂය පැත්තෙන් ගත් විටද ඔවුන් දරන්නේ ඊටත් වඩා අමන ප‍්‍රතිපත්තියකි. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කිසිදු ආනයන ද්‍රව්‍යයකට බදු නොගසන ලෙසය. වෙනත් වචන වලින් කියන්නේ නම් ආනයන සමාගම්වලට බදු සහන ලබා දෙන ලෙසය. මීට පෙර පාන් පිටි සහ කිරි පිටි සඳහා අදාළ ආනයන සමාගම්වලට බදු සහන ලබාදුන් පසුව එම සහන මහජනයාට නොලැබීම පිළිබඳව ඔවුන් කිසිදු හඬක් නොනැ`ගීම තුළින් පැහැදිළි වන්නේ ඔවුන් හඬ න`ගන්නේ මහජනයා වෙනුවෙන් නොව සමාගම්වලට බදු සහන ලබා ගැනීම සඳහා බවය. ඊට අමතරව මුදල් අමාත්‍යවරයා විසින් එසේ පොල් තෙල් වලට විශාල වශයෙන් සහන ලබාදෙන අතර සහ තවත් ආනයනික ආහාර වර්ග කිහිපයකට ඉතා සුළු බදු පනවන අතර අමාත්‍ය මණ්ඩලයට දැනුම් දෙන්නේ ඒ සියල්ල මඟින් දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට අපේක්ෂා කරන බවය. නමුත් පොල් තෙල්වලට විශාල බදු සහනයක් ලබා දුන් විට දේශීය පොල් තෙල් කර්මාන්තය කඩා වැටෙන බව පැහැදිළි කරුණකි. එසේම ආනයනික කඩල වලට පනවා තිබූ කි.ග‍්‍රෑම් 1 කට රු. 2 ක් වූ ඉතා සුළු බද්ද රු. 5 දක්වා වැඩි කිරීම මඟින් දේශීය මුං සහ කව්පි වැනි ධාන්‍ය වගාව ප‍්‍රචලිත කළ නොහැකි බව පැහැදිළිය. කඩලවලට රු. 5 ක බද්දක් පනවන අතර කව්පි වලට රු. 70 ක බද්දක් පැණවීම මඟින් ප‍්‍රචලිත කරන්නේ දේශීයව වැවෙන කව්පි වෙනුවට දේශීයව වැවෙන්නේ නැති කඩලද යන ප‍්‍රශ්නය මතුවේ. එසේම ආනයනික කව්පි සඳහා පනවා තිබූ රු. 70 ක බද්ද වැඩි නොකර එසේම පවත්වා ගැනීම මඟින් දේශීය ධාන්‍ය වගාව ප‍්‍රචලිත කරන්නේ කෙසේද?

ඒ අතර කෘෂිකර්ම අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයාද අමාත්‍ය මණ්ඩලයට ඉතා පැහැදිළි වචනයෙන් සඳහන් කරන්නේ ආනයනික කිරිපිටිවලට ඉතා ඉහළ බදු පැණවීමෙන් තොරව දේශීය කිරි ගොවිතැන වර්ධනය කළ නොහැකි බවය. නමුත් අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවල එසේ සඳහන් වුවද ඉහත සඳහන් කළ කිසිදු ගැසට් නිවේදනයක ආනයනික කිරිපිටිවලට සතයක්වත් බද්දක් පනවා නොමැත. පසුගිය රජය විසින් ඒ වන විට පැවති කි.ග‍්‍රැම් 1 කට රු. 225 ක් වූ ආනයන බදු රු. 2 ක් දක්වා රු. 223 කින් අඩු කිරීමෙන් පසුව අද වන තුරු එම බදු වෙනස් කොට නැත. ආනයනික බටර් සඳහා පනවා තිබූ බදු මට්ටම්ද වෙනස් කොට නැත. ඒ අනුව වචන වලින් කුමක් කීවද නිශ්චිත ලිඛිත ප‍්‍රතිපත්තියක් නොමැති තත්ත්වයක් යටතේ ක‍්‍රියාත්මක වන්නේ දේශීය කිරි කර්මාන්තය අධෛර්යමත් කරන සහ ආනයනකරුවන් ධෛර්යමත් කරන ක‍්‍රියාමාර්ගයන් ය. මෙවර අයවැයෙන්ද මෙම වැරදි නිවරදි කිරීම සඳහා කිසිදු ප‍්‍රතිපත්තිමය යෝජනාවක් ඉදිරිපත් කොට නැත.

 ඊට අමතරව දේශීය වී වගාව දැනට පවතින වාර්ෂිකව මෙ.ටො. මිලියන 4.5 ක අස්වනු මට්ටමේ සිට මෙ.ටො. මිලියන 5.5 දක්වා වැඩි කිරීමට නම් තිරිඟු පිටි පරිභෝජනය දැනට පවතින මෙ.ටො. ලක්ෂ 17 ක ප‍්‍රමාණය අඩු තරමින් ලක්ෂ 10 ක් දක්වා පහත දමාගත යුතුය. තිරිඟු පිටිවලට කි.ග‍්‍රෑම් 1 කට රු. 28 ක සහනයක් ලබාදීම මඟින් එය සිදුකළ නොහැක. එසේම වී වගාව සහ සෙසු භෝග වගාව සමඟ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීමෙන් තොරව ගොවියාගේ ආදායම් මට්ටම වැඩි කළ නොහැකි බවට විවාදයක් නැත. එහෙත් ආනයනික කිරි පිටි වලට බදු පැණවීමට බිය වන හෝ ආනයනකරුවන්ට පක්ෂපාති නිලධාරීන්ගෙන් පාර අසාගන්නා ආණ්ඩුවකට එය කළ නොහැක. ඉහත සඳහන් කළ ආකාරයට අප රටට ආශිර්වාදයක් සහ වාසනාවක් වන කප්රුක හෙවත් පොල් වගාව ගත් විට දැනට තිබෙන පොල්වතු ප‍්‍රමාණයෙන් ජල සැපයුම දියුණු කිරීම මඟින් පමණක් අස්වැන්න 30% කින් වැඩි කළ හැකි බව විද්වත්හු පවසති. එහෙත් ආනයනික පොල් තෙල්වලට සහ ෆාම් තෙල් වලට අසීමිතව බදු සහන ලබාදීම මඟින් අපනයන නිෂ්පාදන 37 ක් ලබා දෙන පොල් වගාව දියුණු කළ නොහැක.

 මේ සමස්ත කතාව තුළින් පැහැදිළි වන්නේ සීතල කාමරවල සිටින තෝරාගත් නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් සමඟ සබඳතා පවත්වන ජාවාරම්කරුවන්ගේ ඉල්ලීම් අනුව බදු පැණවීමේ සහ බදු සහන දීමේ ක‍්‍රමවේදය වහාම නැවැත්විය යුතු බවය. එසේම තාවකාලික තහනම නමින් දැනට පවත්වාගෙන යන ආනයන පාලන ක‍්‍රමවේදය ඉතා දූෂිත උපක‍්‍රමයක් වන බැවින් එම ක‍්‍රමවේදය වෙනුවට ස්ථීර ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බව අවධාරණය කළ යුතුය. තාවකාලික තහනම මගින් ආනයනික නිෂ්පාදනවලට දීර්ඝකාලීන පදනමින් බදු පැණවීම සහ බදු නොවන බාධක පැණවීම වලක්වා ගන්නා අතර වරින් වර ජාවාරම්කරුවන්ගේ ඉල්ලීම් මත එම තහනම ඉවත් කෙරෙන බව පෙනේ. නමුත් එය සිදුකරනු ලබන්නේ නිලධාරී කමිටුවක් විසින් රහසිගතවය. ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය” පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු හෝ මහජනයා දැනුවත් වීමක් සිදුවන්නේ නැත. ඒ නිසා එම කූට ක‍්‍රමවේදය වහා නැවැත්විය යුතුය.

ඒ අනුව රටේ ආහාර සුරක්ෂිතතාවය රැකෙන සහ දේශීය ගොවියා මෙන්ම කර්මාන්තකරුවා දිරිගැන්වෙන සහ විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා ආනයනය පාලනය කිරීම සඳහා උපායමාර්ගික සැලසුමක් සහ ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වේ. ඒ තුළ පාරිභෝගිකයාට කෙටිකාලීනව දැරීමට සිදුවන අපහසුතා පිළිබඳව මෙන්ම පොට පටලවාගත් විපක්ෂය විශේෂයෙන්ම වාමාංෂික පක්ෂ ”බදු නොගසනු” යනුවෙන් සමාගම් වෙනුවෙන් පෙනී සිටීමේ වරද පිළිබඳව දියුණු මහජන සංවාදයක් දිරි ගැන්විය හැක. එවැනි ලිඛිත ප‍්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කිරීම මඟින් සහ එවැනි ප‍්‍රතිපත්තියක් පාර්ලිමේන්තුව මඟින් සම්මත කිරීම මඟින් අදාළ මහජන සංවාදයට අවස්ථාව නිර්මාණය වන අතර නිලධාරීන් අතළොස්සක් විසින් රට පාලනය කිරීමේ සංස්කෘතිය පිටුදැකීමට ද අවස්ථාව නිර්මාණය වනු ඇත.

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More