පුරවැසි කොලම

උඳුවප් පුර පසලොස්වක් දිනය යනු සෑම වර්ෂයකම උදාවන අවසන් පෝය දිනය ය. එය මේ අවසන්වෙමින් පවත්නා 2020 වසරෙහි යෙදී තිබෙන්නේ දෙසැම්බර් 29 දිනයට යි.

කාන්තා ප‍්‍රබෝධය ගැන, කාන්තා ඔද තෙද ගැන, කාන්තා සාසනික හා සමාජ සංස්කෘතික මෙහෙවර ගැන මෙනෙහි කරන, තොරතුරු හදාරන සෑම කෙනෙකුටම ඉතා වැදගත් වන ඓතිහාසික සංසිද්ධින් රැසක් ම ගෙන හැර දැක්වෙන්නේ මේ උඳුවප් පොහොය දිනයට සමගාමීව ය.

ලෝක ජනසමාජයේ වෙනත් කිසිදු අවස්ථාවක දක්නට නොලැබෙන ආකාරයේ උදාර වූ ආධ්‍යාත්මික මෙහෙවරක් සඳහා වූ කාන්තා දායකත්වය ප‍්‍රදර්ශනය කරමින් උඳුවප් පෝයට පූජනීය බවක් එක් කෙරෙන ඒ මහනීය සංසිද්ධිය ”මහරහත් සංඝමිත්තා තෙරණින් වහන්සේගේ ශී‍්‍ර ලංකාවතරණය” යි.

කි‍්‍ර. පූ. තුන්වන සියවසේදී සිදු වූ ඒ ඉතිහාසගත සම්ප‍්‍රාප්තිය නිසා මේ රටේ ජන සමාජය අතිමහත් පරිවර්තනයකට පත්වූ බව පැවසීම විවාද රහිත ය.

ස්වකීය පියාණන් වූ ධර්මාශෝක අධිරාජයාගේ ධර්මවිජය වැඩසටහන හෙවත් ‘ධර්මයුද්ධය‘ වෙනුවෙන් ජීවිතයම කැප කරමින් සසුන්ගත වූ තම ආදරණීය සොහොයුරු මහින්ද කුමාරයා අනුගමනය කරමින් ම මිත්තා කුමරිය ද භික්‍ෂුණියක වශයෙන් පැවිදි බව ලැබුවේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ය. ඒ වන විට සිය සෙනෙහෙබර පුතණුවන් වූ සුමන කුමරුන් ද සාමණේර පැවිද්දට ඇතුළත් වූ පරිසරය යටතේ මිත්තා කුමරිය ද සාසන ඤාතීත්වයට පැවරුණු මෙහෙවර කෙරේ උපරිම දායකත්වය සපයන්නට තීරණය කළා විය යුතු ය.

මිහිඳු මහ රහතන් වහන්සේ ශී‍්‍ර ලංකාවට වැඩම කොට ආරම්භ කරන ලද අභිනව ධර්ම දානමය ව්‍යායාමය වඩාත් සාර්ථක කරගැන්ම සඳහා උන්වහන්සේ ආරාධනා කරන ල්දදේ ගිහි කල මෙන් ම පැවිදි දිවියේදී ද තම කනිටු සොහොයුරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ට ය.

එහිලා අත්‍යවශ්‍ය ම කාරණය වූයේ ගිහි බෞද්ධ ශ‍්‍රාවිකාවන්ගේ ශාසනික ප‍්‍රාර්ථනාව යි. එනම් භික්‍ෂුණී සාසනය ආරම්භ කරලීම යි. ඒ අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ධර්මාශෝක රජතුමාගේ මෙන් ම භික්‍ෂු භික්‍ෂුණී උභතෝ සංඝයාගේ ම අනුමැතියත් ආශීර්වාදයත් ඇතිව උඳුවප් පොහෝ දින ශී‍්‍ර ලංකාවට වැඩම කරන්නේ අතිපූජනීය ශී‍්‍ර මහා බෝධි ශාඛාවත් රැුගෙන ය. බුදුරජාණන් වහන්සේ සිහිකරමින් වන්දනාමාන කිරීමට නියමිත ති‍්‍රවිධ චෛත්‍ය අතුරින් පාරිභෝගික ගනයට වැටෙන බෝධීන් වහන්සේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලාංකික ජනතාවට මනාවබෝධය පහළවන්නේ එතැන් සිටය.

එවකට පැවති වෘක්‍ෂ වන්දනාවේ පවත්නා අන්ධානුකරණය හා අර්ථ විරහිත බව පෙන්වා දෙමින් අර්ථාන්විත වෘක්‍ෂ වන්දනාවකට ජනතාව යොමු කරවීම ධර්මදූතයන් වහන්සේලාගේ අරමුණ වූවාට සැකයක් නැත. එවක් පටන් බෝධි වන්දනාව තහවුරු වූ අතර එහිලා බුදුරජාණන් වහන්සේගේ කෘතගුණ සැලකීම ඇතුළු ගුණ කදම්බයක් ජන හදවත් තුළ පැලපදියම් වන්නට මග සැලසුනි.

උඳුවප් පෝ දින සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප‍්‍රධාන ධර්මදූත පිරිස ශී‍්‍ර ලංකාවට ගොඩ බසින්නේ වත්මන්හි යාපා පටුන අසල පිහිටි දඹකොල පටුන නමැති වරායට ය. ඒ අවස්ථාව එළඹෙන තෙක් ඉමහත් අපේක්‍ෂාවෙන් පසු වූ ශී‍්‍ර ලංකා නරේන්ද්‍රයාණන් වූ දේවානම් පියතිස්ස මහරජතුමා ඇතුළු රාජකීයයන් දණක් පමණ ගැඹුරට මුහුදට බැස මෙහෙණින් වහන්සේ පිළිගෙන ශී‍්‍ර මහා බෝධි අංකුරය හිස මතට ගෙන වැඩම වූ බව මහාවංශයේත් බෝධිවංශයේත් විස්තර වර්ණනා සහිතව සඳහන් කෙරෙයි.

උඳුවප් පෝදා සිදු වූ ඓතිහාසික සිදුවීමේ අනිත් වැදගත්ම කාරණය වන්නේ අටලොස් කුලයක ශිල්පීන් අප දිවයිනට පැමිණීමයි.

ශී‍්‍ර ලාංකීය ජනතාව අභිමානවත් හා අනභිබවනීය ජාතියක තත්ත්වයට වැඩිදියුණු කිරීමේ හා සංවිධානය කිරීමේ දීර්ඝකාලීන සැලසුම මිහිඳු මාහිමි තුළත් සංඝමිත්තා මෙහෙණිය තුළත් පැවති බවට සැකයක් නැත. එහිදී ආගම දහම මුල්කරගත් ආධ්‍යාත්මික සංවර්ධනය පමණක් නොසෑහෙන බවත්, එහිලා සංස්කෘතික හා ආර්ථික දියුණුවත් අත්‍යවශ්‍යම බවත් උන්වහන්සේලා නිගමනය කරන්නට ඇත. එනිසාම යි, සංඝමිත්තා තෙරණිය සමග අටළොස් කුලයක ශිල්පීන් මෙහි ගෙන්වන්නට ඇත්තේ.

මේ කියන කුල 18 ක ශිල්පීන් යනු ඒ ඒ ශිල්පීය ක‍්‍රම පිළිබඳ විශේෂඥ කණ්ඩායම් මිස වෙනකක් නොවේ. ඒ අතර ලෝහ කර්මාන්තය, ලී කර්මාන්තය, ගෘහ කර්මාන්තය, කැටයම් කර්මාන්තය සහ විවිධාකාර වෘත්තීය දක්‍ෂතා ඇත්තෝ වූහ. ඒ අනුව වෙනත් කිසිදු රටකට නොදෙවෙනි වූ අතිදක්‍ෂ ශිල්පීය ක‍්‍රම මේ රටේ දියුණුව පවතින්නට වූ බව සිතාගත හැකිය.

මහරහත් සංඝමිත්තා ආගමනයක් සමග මේ රටේ ජනතාව තුළ ඇතිවුණු සංස්කෘතිකමය හා ආර්ථික සංවර්ධනය අතිමහත් ය. ඒ හා සමාන ලෙස ඇගයිය යුතු අනෙක් කරුණ නම් මේ රටේ ඇති වූ කාන්තා ප‍්‍රබෝධය යි. ඒ වනවිටත් බුදු සසුනේ පැවිදිවන්නට මහත් ශ‍්‍රද්ධාවෙන් යුතුව අපේක්‍ෂා පූර්වකව සිටි අනුලා දේවිය වැනි රාජකීය සම්බන්ධතා පැවති සහ සාමාන්‍ය ජන සමාජයට අයත් වූද කාන්තාවන් විශාල පිරිසක් ඒ අනුව උතුම් වූ ප‍්‍රවෘජ්‍යා උපස්ම්පදා තත්වයට පත්වූහ. ඉන්පසුව ‘’හත්ථාල්හක මෙහෙණවර ප‍්‍රධාන මෙහෙණි ආරාම විශාල සංඛ්‍යාවක් ද ආරම්භ කරන්නට යෙදුනි.

ලෝක ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පුරුෂ පක්‍ෂය හා සමලෙස හැකියාවන් පවත්නා බවට ඔප්පු කෙරුණු හොඳම නිදර්ශනය බුදු සසුනේ ඇරඹුණු කාන්තා ප‍්‍රවෘජිත භාවය යි. ඒ උතුම් උරුමය ශී‍්‍ර ලාංකික කාන්තා පරපුරට දායාද කරලීමේ මහා ගෞරව උපහාරය හිමිවන්නේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ට ය.

ඒ සමගම උඳුවප් පෝයේ වැදගත්ම අවස්ථාවක් වන්නේ සිරිපා වන්දනා සමය යි. ‘‘ඇඩම්ස් පීක්’’ යන අඳබාල පදනම් විරහිත මුසාවාද නමකින් ලංකා සංචාරක සංවිධාන ද ඇතුළු ඇතැම් දුහුනන් විසින් හඳුන්වාදෙනු ලබන ගෞතම ශී‍්‍ර පාදස්ථානය වන්දනා කිරීම සඳහා පොදු ජනතාවට විවෘත වන දිනය උදාවන්නේ උඳුවප් පෝ දිනය යි. ඒ එසේ වුව ද මේ වර්ෂයේ නම් සෞඛ්‍ය නීති රීති අනුවම වන්දනාවේ නියැලීම කළ යුතු බව ද සිහිතබා ගත යුතු කරුණකි.

දුමින්දාගමනය යනුවෙන් ද සුපූජිත ශී‍්‍ර මහා බෝධි ආගමනයත් සමගම වෘක්‍ෂ ලතාවන්ට ද හිමිවන්නේ ගෞරවණීය ස්ථානයකි. විශේෂයෙන්ම අටවිසි බුදුවරයන් වහන්සේලා පිටදුන් බෝධින් වශයෙන් වෘක්‍ෂ රැසක් ම හඳුනාගෙන ගෞරව කිරීමට ජනතාව යොමු කෙරුණේ මේ කියන බෝධි ආගමනයත් සමග ය. ඒ අනුව උඳුවප් පෝ දිනය ගෞරවයෙන් සැමරීම් වශයෙන් රුක් දෙවි ගෞරවය ගැන ද සලකා ගස් රැකබලා ගැනීම, අත්‍යවශ්‍ය ම පිංකමක් වන්නේ ය. එහිලා මෙවන් විද්වත් සඳහනක් වනාහි සදාකාලිකවම අර්ථවත් වනු ඇතැයි සලකමු.

අනන්තාපරිමාණ කාලයක් තිස්සේ අනන්තාපරිමාණ බුදුවරයන් වහන්සේලා මේ විශ්වතලයේ පහළ වන්නට ඇත්තාහ. ඒ සෑම බුදුවරයකුම බුදුබව ලබනුවස් තුරුසෙවන පිළිසරණ වන්නට ඇත. ඒ අනුව සලකාබලන විට මේ ලෝකයේ තිබෙන සෑම
ගසක්ම බෝධි වෘක්‍ෂයෝම ය. ඒ අනුව සෑම ගසක්ම වන්දනීය ය. පූජනීය ය.

ඕමල්පේ සෝභිත හිමි

2020 12 29 වන දින දිවයින පුවත්පතින් උපුටා ගැනුණි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More