ලෝ පුරා ජනතාව 2021 වසරේ උදාව සැමරුවේ, 2020 වසර තුළ සමස්ත මානව වර්ගයා මහත් සේ පීඩාවට පත්කළ නව කොරෝනා වෛරසය මිහිතලයෙන් තුරන් වේවාය යන ප්‍රාර්ථනාව ඇතිවය. 2020 වර්ෂය, මානව ඉතිහාසයේ අඳුරුතම, අවසනාවන්තම වසරක් බවට පත්කළ නව කොරෝනා නොහොත් කොවිඞ්-19 වෛරසය පොලෝතලයෙන් තුරන් වේවාය යන ප්‍රාර්ථනාව ඇතිවය.
නිශ්චිත හේතුවක් හඳුනා නොගත් වසංගත රෝග තත්ත්වයක් චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා වූයේ 2019 දෙසැම්බර් මාසයේදී ය. මෙම වසංගත තත්ත්වයට හේතුව නව්‍ය කොරෝනා වෛරසයක් බව 2020 ජනවාරියේදී හඳුනා ගත් අතර, එම මාසයේදී ම, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වශයෙන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබීය. අනතුරුව, 2020 මාර්තු මාසයේදී, ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබීය. ගෙවී ගිය 2020 වසර තුළ, ලෝ පුරා කෝටි අටකට වැඩි පිරිසකට නව කොරෝනා නොහොත් කොවිඞ්-19 වෛරසය ආසාදනය වූ අතර, ලක්‍ෂ 18කට වැඩි පිරිසක් මිය ගියහ.
2020 ජනවාරි 27 දින, ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූ අතර, ඇය හුබෙයි පළාතේ සිට පැමිණි 44 හැවිරිදි චීන කාන්තාවක් වූවාය. පළමු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයා 2020 මාර්තු 11 දින හඳුනාගත් අතර, ඔහු 52 හැවිරිදි සංචාරක මඟපෙන්වන්නෙකු වූයේය. පළමු කොවිඞ් රැල්ල සාර්ථකව මර්ධනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුවද, පසුගිය ඔක්තෝබර් මාසයේ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවකින් මතු වූ දෙවෙනි රැල්ල තවම නිම වී නැත්තේය. මිනුවන්ගොඩ හා පෑලියගොඩ ප්‍රධාන කොරෝනා පොකුරුවලට අමතරව, තවත් උප පොකුරු කිහිපයක් ද මතුව ඇත්තේය. ලාංකේය ජනතාව 2021 වසරේ උදාව සැමරුවේ එවන් පසුබිමක් තුළය.
කෙසේ වුවද, කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණ එන්නතක් 2021 වර්ෂය තුළදී ලබාගැනීමට හැකි වනු ඇතැයි, ලෝකයේ සෙසු රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද බොහෝ පිරිසක් සුබවාදී බලාපොරොත්තුවකින් පසුවෙති. ගෙවීගිය 2020 වසර පුරා ම, ලෝකයේ විවිධ රටවල පර්යේෂණ කණ්ඩායම් 187ක් කොරෝනා වෛරසය ආසාදනය වීම වළකාලිය හැකි ප්‍රතිශක්තීකරණ එන්නතක් නිර්මාණය කිරීමේ පර්යේෂණවල නිරත වූ අතර, ඒ අතුරින් එන්නත් පහක් තුන්වැනි අදියරේ සායනික පර්යේෂණවලදී 90%-95% අතර සාර්ථකත්‍වයක් පෙන්නුම් කළ බව වාර්තා වූයේය. ඇමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් ආයතනය, ජර්මනියේ බයෝඑන්ටෙක් සමාගම හා එක්ව නිෂ්පාදනය කොට ඇති එන්නත, ඇමෙරිකාවේ සහ යුරෝපීය රටවල ජනතාවට ලබාදීම දැනටමත් ආරම්භ වී ඇත්තේය.
එමෙන්ම, තවත් ඇමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් වන මොඩර්නා සමාගම විසින් නිපදවන ලද කොවිඞ් එන්නත පිළිබඳව ද බොහෝ රටවල අවධානය යොමුව ඇති බව වාර්තා වන්නේය. මේ හැරුණු කොට, එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් ඇස්ට්‍රා-සෙනේකා නමැති ඖෂධ සමාගම හා ඒකාබද්ධව නිර්මාණය කරන ලද එන්නත ද, චීනයේ කොරෝනාවැක් නම් වූ එන්නතද, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් නමැති එන්නතද තුන්වැනි අදියරේ පර්යේෂණවලදී 90%කට වැඩි සාර්ථකත්‍වයක් පෙන්නුම් කොට ඇති බව වාර්තා වූයේය. ස්පුට්නික් එන්නත රුසියාවේ වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය අංශවල උදවියට ලබාදීම දැනටමත් ආරම්භ වී තිබෙනාතර, එම එන්නතේ සාර්ථකභාවය පිළිබඳව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා ද පසුගියදා සහතිකයක් ලබාදී තිබුණේය.
මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකාවට වඩාත් යෝග්‍ය එන්නතක් ලබාගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාට පවරා ඇත්තේය. ෆයිසර් සහ මොඩර්නා එන්නත් සම්බන්ධයෙන් ඇති ප්‍රධාන ගැටළුවක් වන්නේ, ඒවා සෙන්ටිග්‍රේඞ් අංශක සෘණ 70ක් තරම් වූ දැඩි ශීත තත්ත්වයක් යටතේ ගබඩා කර තැබීම අවශ්‍ය වීමය. ඒ සඳහා විශාල වියදමක් දරන්නට සිදුවන බැවින්, සාමාන්‍ය ශීතකරණයක ගබඩා කළ හැකි එංගලන්තයේ ඇස්ට්‍රා-සෙනේකා, රුසියාවේ ස්පුට්නික්, චීනයේ කොරෝනාවැක් වැනි එන්නතක් ශ්‍රී ලංකාව වැනි රටවලට වඩා සුදුසු බවට මත පළ වී ඇත්තේය. මෙම එන්නත් තුනෙන් එකක් හෝ තුනම හෝ මෙරටට ගෙන්වීමට වැඩි ඉඩක් ඇති බව ලලිත් වීරතුංග මහතා ද පසුගියදා මාධ්‍යයට පවසා තිබුණේය.
කෙසේ වුවද, දියුණු වෙමින් පවතින රටවලට ද ආසාධාරණයක් නොවන පරිද්දෙන්, කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලෝ පුරා බෙදා හැරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් සැලසුම් සකස් කොට ඇත්තේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වී ඇත්තේ, පළමු වටයේදී සෑම රටක ම ජනගහණයෙන් 20% කට එන්නත ලබාදිය යුතු බවය. මෙහිදී, ලෝක සෞඛ්‍ය සංවිධානය අදාළ රටවලින් ඉල්ලා සිටින්නේ, එන්නත ලබාදීමේදී සෞඛ්‍ය අංශවල සේවය කරන උදවිය, වැඩිහිටි පුරවැසියන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන උදවිය සඳහා ප්‍රමුඛතාවය දෙන ලෙසය.
මෙලෙස කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත පිළිබඳ සුබවාදී බලාපොරොත්තු දැල්වෙද්දී, කොවිඞ්-19 වෛරසයේ නව ප්‍රභේදයක් පසුගිය දෙසැම්බරයේදී මහා බි්‍රතාන්‍යයෙන් මතු වූයේය. පළමු වරට එංගලන්තයේ නිරිතදිග ප්‍රදේශයෙන් හමු වූ මෙම නව වෛරස ප්‍රභේදය, පසුව වේල්සයෙන් ස්කොට්ලන්තයෙන් සහ අයර්ලන්තයෙන් ද වාර්තා වූයේය. මෙම නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණ වේගය, මෙතෙක් පැවති වෛරස ප්‍රභේද හා සසඳන විට 70% කින් වැඩි බව බි්‍රතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් තහවුරු කරගෙන ඇති බව වාර්තා වන්නේය. එහෙත්, මෙම නව ප්‍රභේදය මෙතෙක් පැවති වෛරස ප්‍රභේදයන්ට වඩා භයානක බවක් මෙතෙක් තහවුරු වී නැත්තේය.
මේ අතර, මෙම නව ප්‍රභේදයට සමාන තවත් නව වෛරස ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් ද හමු වී ඇති බව වාර්තා වන්නේය. අදාළ තත්ත්වයන්ට ගැලපෙන පරිදි, ඔරොත්තු දෙන පරිදි සිය ස්වරූපය වෙනස් කරගැනීම (විකෘති කරගැනීම) ඕනෑම වෛරසයක පොදු ලක්‍ෂණයක් වන්නේය. වැඩි කාලයක් ජීවත්වීම සඳහා මෙන්ම විවිධ තත්ත්ව යටතේ පහසුවෙන් පැතිරීම සඳහා සිය ස්වරූපය වෙනස් කරගැනීම ඕනෑම වෛරසයක පොදු ලක්‍ෂණයක් වන්නේය. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි, මෙයාකාරයට කොවිඞ්-19 වෛරසයේ නව ප්‍රභේද හමුවීම පුදුමයට හේතුවක් නොවූවද, නිරන්තර අවධානයෙන් සිටිමින් එය අධ්‍යයනය කිරීම අවශ්‍ය වන්නේය.
මේ අනුව බලනා විට, මෙම වසර තුළ කොරෝනා එන්නතක් ලැබුණද, තව මාස ගණනාවක්, සමහර විට 2021 පුරාම, කොරෝනා සමඟ ජීවත්වීමට අපට සිදුවනු ඇත්තේය. මෙතෙක් අනුගමනය කළ ප්‍රධාන සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් වන මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය රැකගැනීම, නිතර දෑත් සේදීම වැනි කරුණුවලට අමතරව, සෞඛ්‍ය අංශ විටින් විට ලබාදෙන සියලු උපදෙස් තරයේ පිළිපදිමින් කොරෝනා සමඟ ජීවත්වීමට අපට සිදුවනු ඇත්තේය. සමහර විට, ලෝකයේ විවිධ රටවලින් කොවිඞ්-19 වෛරසයේ තවත් නව ප්‍රභේද හමුවීමට ද ඉඩ ඇත්තේය.
මේ අතර, මානසික ඒකාග්‍රතාවය රැකගැනීම, නව කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තීකරණය රැකගැනීමෙහිලා ප්‍රධාන සාධකයක් වන්නේය. වසරකට වැඩි කාලයක් තිස්සේ එක දිගට මුළු ලෝකය පුරාම වසංගත තත්ත්වයක් පවතින විට, ජනතාව කම්පනයට පත්වීම පුදුමයට කරුණක් නොවන්නේය. අප පුරුදු වී සිටින, ඇබ්බැහි වී සිටින ජීවන රටාව මුළුමනින් ම වෙනස් වූ විට, අප කනස්සල්ලට, කම්පනයට පත්වීම පුදුමයට කරුණක් නොවන්නේය. “නව සාමාන්‍ය තත්ත්වය” යනුවෙන් හඳුන්වනු ලබන වර්තමානය සහ පශ්චාත් කොරෝනා අනාගතය, අප මෙතෙක් පුරුදු වී සිටි, ඇබ්බැහි වී සිටි ජීවන රටාවට වඩා මුළුමනින් ම වෙනස් වන්නේය. ඒ නිසාම, කොරෝනා ආතතියට යට නොවී, නව තත්ත්වයට ශක්තිමත්ව මුහුණදීමට නව වසරේ අප අදිටන් කරගත යුතු වන්නේය.
මෙකී නව සාමාන්‍ය තත්ත්වය, ලාංකිකයන්ට පමණක් විශේෂිත වූ එකක් නොව සියලු ලෝකවාසීන්ට පොදු වූ තත්ත්වයක් බව ද අමුතුවෙන් කිවයුතු නැත්තේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ වසංගත පාලන හා නිවාරණ මධ්‍යස්ථානය විසින් පසුගිය ජූනි-ජූලි මාසවලදී, ඇමෙරිකානුවන් 5470 දෙනෙකු සහභාගී කරගෙන සමීක්‍ෂණයක් දියත් කරනු ලැබූ අතර, ඊට සහභාගී වූ අය අතුරින් 41% කට ම කිසියම් මානසික අවපීඩනයක් ඇති වූ බව අනාවරණය වී ඇත්තේය. තවද, 31% කට කාංසාව හෝ විෂාදය ඇති වූ බවත්, 11% කට සියදිවි නසාගැනීමේ සිතුවිලි පහළ වූ බවත් අනාවරණය වී ඇත්තේය. මෙම සමීක්‍ෂණයෙන් අනාවරණය වූ තරමක පුදුමය දනවන සුලු කරුණක් වන්නේ, වැඩිහිටියන්ට වඩා තරුණ උදවිය මානසික ආතතියට ගොදුරු වීම ය. මෙම සමීක්‍ෂණයට සහභාගී වූ වයස 18-24 කාණ්ඩයේ අය අතුරින් 63% ක් ම කවර හෝ මානසික අවපීඩනයක් ඇති බව පවසා ඇත්තේය.
මෙම වෙනසට හේතුව ස්ථීරව ම කිව නොහැකි බව පවසන ඇමෙරිකානු පර්යේෂකයෝ, අවිනිශ්චිතතාවයට මුහුණ දීමේදී වැඩිහිටියන්ට ඇති අත්දැකීම් බහුල නිසා, ඔවුන් මේ අවස්ථාවේදී මානසික අවපීඩනයන්ට ගොදුරු වීමේ සම්භාවිතාවය අඩු විය හැකි යැයි අනුමාන කරති. කෙසේ වුවද, කොරෝනා වසංගතයට පෙරාතුව මානසික රෝගී තත්ත්වයන් පෙන්නුම් කළ උදවිය, වත්මන් වසංගතය හමුවේ මානසික අවපීඩනයන්ට ගොදුරු වීමේ නැඹුරුව වැඩි විය හැකි යැයි ඇමෙරිකානු පර්යේෂකයෝ තවදුරටත් පෙන්වා දෙති.
ඇමෙරිකාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේ ද සැලකිය යුතු පිරිසක් කොරෝනා වසංගතය හේතුවෙන් විවිධ මානසික අවපීඩනයන්ට ගොදුරු වී සිටිති. පසුගිය ඔක්තෝබරයේ මෙරට දෙවෙනි කොවිඞ් රැල්ල ආරම්භ වීමෙන් පසුව, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 1926 දුරකතන උපකාර සේවාවට ලැබෙන ඇමතුම් විශාල ලෙස වැඩි වී තිබෙන අතර, ඉන් බොහොමයක් සියදිවි නසාගැනීමට තැත්කළ උදවියගෙන් ලැබුණු ඇමතුම් බව වාර්තා වන්නේය. සිය දියණියගේ සැමියාට සහ කුඩා මිණිබිරියට කොරෝනා ආසාදනය වීම නිසා බියට පත් 72 හැවිරිදි කාන්තාවක් ගෙල වැලලාගෙන මියගිය පුවතක්, 2020 නොවැම්බර් 9 දින මාධ්‍ය වාර්තා කොට තිබුණේය. කොරෝනා ආසාදිත මව රෝහලට රැගෙන යාම හේතුවෙන් ඇයගේ මන්ද මානසික පුත්‍රයා සියදිවි නසාගත් පුවතක් ද පසුගිය නොවැම්බරයේ මාධ්‍ය වාර්තා කොට තිබුණේය.
වසංගතය නිසා සමාජයෙන් ඈත්ව හුදෙකලා වීමට සිදුවීම, රැකියා කටයුතුවල නිරත වීමට නොහැකි වීමෙන් ආර්ථික දුෂ්කරතා උග්‍ර වීම, සුපුරුදු ලෙස දෛනික කටයුතුවල නිරත වීමට නොහැකි වීමෙන් අනාගතය පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවයක් ඇතිවීම, පොදුවේ කොරෝනා වසංගතය පිළිබඳව ඇති බිය වැනි කරුණු කොරෝනා වසංගතය හමුවේ මානසික ආතතිය වැඩි වීමට හේතු වන බව විශේෂඥයෝ පෙන්වා දෙති. කොළඹ ජාතික රෝහලේ මනෝවිද්‍යා උපදේශක, වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා පෙන්වා දෙන පරිදි, කොරෝනා වසංගතය හමුවේ ජනතාව මානසික ගැටළු කිහිපයකට මුහුණ පා සිටිති. “කොවිඞ් වැළඳුණහොත් මා හට කුමක් වේවිද?”, “හිතවතුන්ට මගෙන් කොවිඞ් බෝ වෙයිද?”, “මගේ ජීවිතය ගැන මට තිබෙන පාලනය ගිලිහී යාවිද?” – මෙබඳු මානසික ගැටළුවලින්, මේ දිනවල ජනතාව පීඩා විඳින බව වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා පෙන්වා දෙන්නේය.
මීට අමතරව, සමහර මාධ්‍ය විසින් කොරෝනා වසංගතය පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකිරීමට උත්සාහ දැරීමද, ජනතාව තුළ මානසික ආතතිය වැඩි වීමට හේතු වන බව විශේෂඥයෝ පෙන්වා දෙති. කිසියම් සිද්ධියක් ඇති වූ විට, එම ආරංචිය පළමුවෙන් ම ජනතාව වෙත ඉදිරිපත් කළ නාලිකාව බවට පත්වීමේ අරමුණ ඇතිව, උණුසුම් පුවත්, බ්‍රේකින් නිව්ස් වැනි විවිධ නම් යොදා ගනිමින්, ජනතාවගේ හැඟීම් අවුස්සමින් තොරතුරු ප්‍රචාරය කිරීමේ තරගයක් ලාංකේය විද්‍යුත් නාලිකා අතර ද පවතින්නේය. මේ දිනවල ද ඇතැම් මාධ්‍ය වෙතින් එවන් හැසිරීමක් දක්නට ලැබෙන අතර, ඒ හේතුවෙන් ජනතාව බරපතළ මානසික ආතතියකට ලක්වන්නේය.
ඒ අනුව බලනා විට, උදේ සිට රෑ වනතෙක් තොරතෝංචියක් නැතිව, කොවිඞ්-19 වෛරසය පිළිබඳ ත්‍රාසජනක ප්‍රවෘත්ති පමණක් ම ප්‍රචාරය කරනු වෙනුවට, ජනතාවගේ මනස සුවපත් කෙරෙන වැඩසටහන් ද ප්‍රචාරය කිරීමට විද්‍යුත් මාධ්‍ය ඉදිරිපත් වන්නේ නම් වඩා අගනේය. වත්මන් වසංගතය හමුවේ, අතිශය වගකීම් සහිත සුපරික්‍ෂාකාරී මධ්‍ය භාවිතයකට සියලුම මාධ්‍ය ආයතන ඉදිරිපත් වන්නේ නම් වඩා අගනේය. අනෙක් අතට, දවස පුරාම රූපවාහිනී තිරය දෙස බලා සිටිමින් හෝ එසේත් නැතිනම්, සමාජ මාධ්‍ය තුළ ගිලෙමින්, භයානක තොරතුරුවලින් මනස අවුල් කරගනු වෙනුවට, දිනකට වරක් හෝ දෙවරක් පමණක් වසංගතයේ අලුත්ම තත්ත්වය පිළිබඳව දැනුවත්වීම හොඳට ම ප්‍රමාණවත් බව අප ද තේරුම් ගතයුතු වන්නේය.
මෙහිලා අප පැහැදිලිව තේරුම් ගතයුතු කාරණය වන්නේ, කොවිඞ්-19 වෛරසය පිළිබඳව විශේෂ අවධානයකින්, සැලකිල්ලෙන් පසුවන අතරම, ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකර නොගතයුතු බවය. කොවිඞ්-19 වෛරසය යනු එය වැළඳෙන හැම කෙනෙකුම අනිවාර්යෙන්ම මියයන “මාරාන්තික” රෝගයක් නොවන බව අප තේරුම් ගතයුතු වන්නේය. කොවිඞ්-19 වෛරසය ආසාදිත වීමෙන් දැනට ලෝ පුරා මියගොස් ඇත්තේ 0.02%ක් තරම් වූ සුළු ප්‍රමාණයක් බවත්, බහුතරයක් සුව වන බවත් අප තේරුම් ගතයුතු වන්නේය.
මේ අතර, කොරෝනා වසංගතය විසින් ඇතිකරන ලද අවිනිශ්චිතතාවය ගැන කනස්සලු නොවී සිටීමට අප වගබලා ගතයුතු වන්නේය. අනාගතය ගැන සැලසුම් සකස් කිරීම සාමාන්‍ය ජීවිතයේදී ඵලදායී කටයුත්තක් වුවද, වත්මන් වසංගත තත්ත්වය හමුවේ වර්තමානය ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් මානසික ආතතිය අඩු කරගත හැකි වන්නේය.
තවද, මේ දිනවල සෘණාත්මක සිතුවිලිවලින් හැකිතාක් මිදී, සුබවාදී සිතුවිලි ඇතිකර ගැනීමෙන් මානසික ආතතිය අවම කරගත හැකි වන්නේය. මෙම වසංගතය සදාකාලික නොවන හෙයින් එය ඉක්මනින්ම මිහිතලයෙන් තුරන් වේවාය යන්න අප සැමගේ ප්‍රාර්ථනාව වියයුතු වන්නේය. ඒ සඳහා, සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කරනා අතරම, කොරෝනා ආතතියට යට නොවී ශක්තිමත්ව මුහුණ දීමට නව වසරේ අප සැවොම අදිටන් කරගත යුතු වන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...