කොළඹ වරායේ නැගෙනහිර ජැටිය තවමත් අපට අයිති ජාතික වස්තුවකි. එය මේ වන විට ලංකා මාතාවට අහිමිවීමේ අවදානමකට පත්වෙලා තියනවා කියල ආරංචි පැතිරෙන මෙම අවස්ථාවේදී ඒ පිළිබඳ යමක් නොපැවසුවහොත් මාතෘ භූමියට ආදරය කරන ශ‍්‍රී ලාංකිකයකු හැටියටත් වරාය හා නාවික අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයකු වශයෙනුත් මා විසින් ඉටුකළ යුතු වූ යුතුකමක් සහ වගකීමක් පැහැර හැරීමක් ලෙස මට සිතෙන නිසා මෙම ලිපිය ලිවීමට අදහස් කෙළෙමි.
අපේ ප‍්‍රස්ථාව පිරුළක් තියනවා ”වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා” කියල. ඒකෙන් කියවෙන පසුබිම් කතාව ඉතාමත් ගැඹුරු ඒකක්. තමන් සතුව තිබුණ සාරවත් ඉඩමක් තිබුණ පරණ වලව් කාරයෙක් තමන් සතු ඉඩමේ ගහකොළ වලට සාත්තු සප්පායම් කිරීම හරි විදිහට කරල ඒකෙ පලදාව වැඩිකරගන්නට උත්සාහ කරනවා වෙනුවට ඉඩම බදුගන්න බලාගෙන හිටපු නගරයෙන් පැමිණි හෙට්ටියකුට ඒක බද්දට දීල ඒසේ බදුගත් තැනැත්තාගෙන් යමක් ඉල්ලාගෙන කමින් ජීවත්වන තත්ත්වයේ දීනත්වයකට පත්වීමට මග පාදාගත් ගමක පදිංචිවෙලා හිටපු පරම්පරාගත වලව්කාර ගැමියෙක් මුහුණදුන් අත්දැකීමක් පදනම් කරගෙනයි එම ප‍්‍රස්ථාව පිරුළ ව්‍යවහාරයට පැමිණියේ. වචනාර්ථයෙන් ප‍්‍රකාශ වන්නේ වත්ත පිට කෙනෙකුට බදු දීමෙන් පස්සෙ බඩගින්නක් ඇතිවෙලා කුරුම්බා ගෙඩියක් ඉල්ලගන්නට ගිහිල්ල ඉඩම බදුගත් අය ඉදිරියේ දීනත්වයට පත් වීමට සිදු වූ ආකාරය සහ තමන් කරගත් මෝඩකමේ තරම වැටහෙනකොට තමා පත්ව සිටි අසරණ තත්ත්වය පිළිබඳව පසුතැවිලි වීමට සිදු වූ බවයි. පසුබිම් කතාවේ හැටියට අර පුද්ගලයා වත්ත බද්දට දුන්නේ හේතු කීපයක් නිසයි. පළමු වැන්න වත්ත තම සන්තකයේ තබා ගෙන එය සංවර්ධනය කළ හැකි බවට ඔහු තුළ ආත්ම විශ්වාසයක් නොතිබීම. දෙවැන්න ඔහු සතුව වත්ත සංවර්ධනය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ දැනුමක් නොතිබීම. තුන්වනුව වත්ත බද්දට නොදී එය සංවර්ධනය කළ හැක්කේ කෙසේදැයි තමන් නොදනිතත් ගමේ අසල්වාසීන්ගෙන්ම අවශ්‍ය උපදෙස් සහ මූල්‍ය ආධාරද ලබාගෙන ඉඩම සංවර්ධනය කරගත හැකි බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ඔහු සතුව නොපැවතීම. හතරවනුව තමා වත්ත බද්දට දීම මගින් සිදුකරගන්නා ක‍්‍රියාවෙහි ඵලවිපාක පිළිබඳ අවබෝධයක් නොතිබීම. පස්වනුව වත්ත බද්දට දෙනමෙන් තමාව පොළඹවන්නන් තමන්ට ලැබෙන වරප‍්‍රසාද දෙස මිස එසේ ලබාගන්නා වරප‍්‍රසාද නිසා වතුහිමියාත් වත්ත පිහිටි ප‍්‍රදේශයේ සමාජ ආර්ථික ස්ථාවරත්වය විනාශ කරනවා පමණක් නොව තමන්මත් අපායට දොරටු විවර කරගන්නා අගතිගාමී ක‍්‍රියාවක් සිදුකරගන්නා බව නොවැටහීම.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තට විදේශ සමාගමකට පැවරීමෙන් පසුව ලංකා මාතාවට ”ඇස්සට දත නියවන්නටවත්” අවකාශයක් ලැබේ යැයි සිතිය නොහැකිය. ලංකා මාතාවට සිය බඩවියත රැක ගැනීම සඳහා බදුකරු යටතේ බැලමෙහෙවර කිරීමට සිදුවන තත්ත්වයක් උදාවීමට ඉඩකඩ ඇති බව තේරුම් ගැනීමට තරම් වගකිවයුත්තන්ට බුද්ධිය පහළ නොවන්නේනම් ඒසේ වීමට හේතුව ඔවුන්ගේ මුග්ධ භාවයට වඩා අපේ මාතෘ භූමියේ අවාසනාව මිස වෙන ඒකක් විය නොහැකිය.
කොළඹ වරායේ ඇති පර්යන්තයන් අතරින් අපේ වරාය අධිකාරියට ආදායම් ලැබෙන්නේ පර්යන්ත දෙකකින් පමණකි. ඒවා නම් ජයබහලූ පර්යන්තතය හා නැගෙනහිර පර්යන්තයයි. ජයබහලූ පර්යන්තයට අදාළ සාගර ගැඹුර අනුව එයට ප‍්‍රවේශ අවකාශ දිය හැක්කේ මීටර් 14.5 ක් හෝ ඊට අඩු (Draft of the Ship) උසින් යුක්ත වූ නැව් වලට පමණකි. අද ලෝකයේ නවීනතම නාවික ඉංජිනේරු තාක්ෂණයේ දියුණුවත් සමග පැන නැගී ඇති අවශ්‍යතාව අනුව කන්ටේනර් නැත්නම් බහාලූම් විශාල ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කළ හැකි පැනමා ගණයේ නැව් එනම් මීටර් 18 ක්වූ උසින් යුතු නැව් ඇතුල් කළ හැකි ලංකා මාතාව සතු එකම පර්යන්තය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයයි. දැනටමත් ඉන්දියාවේ වරායවලින් ලෝකයේ ඈත රටවලට යැවෙන විශාල ප‍්‍රමාණයේ නැව් භාණ්ඩ (Cargo) කොළඹ වරායට ප‍්‍රවාහනය කිරීමෙන් අනතුරුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට පැමිණෙන පැනමා ප‍්‍රමාණයේ නැව්මගින් ප‍්‍රතිනැව්ගත කිරීමේ කාර්යය (Transshipment) සිදුකෙරේ. එසේ කිරීමෙන් අපේ රටට දෛනිකව ලැබෙන ආදායම කොපමණදැයි දැනගන්නා ලංකාවට ආදරය ඇති ඕනෑම කෙනෙකු තුළ නැගෙනහිර පර්යන්තය අපේ රටට අහිමිකිරීමට සහාය දෙන ඕනෑම අයකු කෙරෙහි මහත් පිළිකුලක් ඇතිවනු නොඅනුමානය.
ඉන්දියාවේ නැව්තටාකාංග වල සිට ලංකාවට ප‍්‍රතිනැව් ගතකිරීමට නැව්බඩු ගෙන ඒමට හේතුව කුමක්දැයි පෙන්වාදීමද මගේ යුතුකමකැයි මම සිතමි. එයට හේතුව මෙහි දැක්වෙන වගුව කියවා බලන බුද්ධිමත් ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. ඉන්දියාව සතු ප‍්‍රධාන වරාය දෙළහෙන් එකකවත් අපේ නැගෙනහිර පර්යන්තය සතුව ඇති ප‍්‍රමාණයේ වූ පැනමා වර්ගයේ නාවික ප‍්‍රවේශයේ වාසනාව හිමිව නැති ආකාරයත් එහෙයින් අපේ කොළඹ වරාය දක්වා ප‍්‍රතිනැව්ගත කිරීම පිණිස භාණ්ඩ ප‍්‍රවාහනය අනිවාර්ය වී ඇති බවත් තහවුරු වනු ඇති බව මම සිතමි.
නැගෙනහිර ජැටිය ඉන්දියානු ව්‍යාපාරික ආයතනයකට පවරනු ලැබුවහොත් පළමුකොටම ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආදායමට මෙතෙක් ලැබුණ විශාල ධනස්කන්ධයක් රටට අහිමි වේ. ඊළඟට ලංකාවට විශාල නැව්මගින් එන භාණ්ඩ පිළිබඳව මෙන්ව විශාල නැව් මගින් ජාත්‍යන්තරයට යැවෙන භාණ්ඩ වෙනුවෙන් ඉන්දියානු සමාගමේ පිහිට පැතීමට සිදුවීමය. වෙනත් වචනවලින් කියනවානම් ඉන්දියාව ඉන්දියානු අර්ධද්වීපයේ වරායවල් දොළහක් මගින්ම කරගත නොහැකි වූ දේ මේ පුංචි ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ආධිපත්‍යය ඩැහැගැනීම තුළින් ඉටුකරගැනීමේ වෑයම සාර්ථක වුවහොත් ශ‍්‍රී ලංකාවට සිදුවන්නේ වත්ත බද්දට දී ඇස්සට දතනියවන්ට සිදුවූ වළව් කාරයාට සිදුවූ දේම නොවේද? අපේ රටේ අර්ථ ශාස්ත‍්‍රඥයන් යැයි කියාගන්නා අයට කෞටිල්‍යයගේ මයිල්ගහකට ඇති දැනීමේ තරම්වත් දැනුමක් නොතිබීම ජාතියේ අවාසනාව නොවේද?
ඩබ්ලිව්. ඒ. එස්. පෙරේරා. වරාය හා නාවික අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකි. ඒ් මහතා වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් තනතුර දරණ කාලයේදී බෙල්ජියමත් ශ‍්‍රී ලංකාවත් අතර නාවික කටයුතු පුළුල් කිරීම මගින් ශ‍්‍රී ලාකික තරුණයන්ට බෙල්ජියම් නැව්වල සේවයට අවස්ථාවක් උදාකර දීමත් සඳහා අවශ්‍ය ගිවිසුම් අත්සන් කරනු ලැබිණ. ඒපමණක් නොව ඉන්දියාවත් ලංකාවත් අතර මගී ප‍්‍රවාහන නැව් සේවයක් ඇරඹීමටත් කටයුතු යොදනු ලැබිණ. ඒත් ඔහු වෙනත් අමාත්‍යාංශයකට මාරු වී යෑම නිසා ඒම කටයුතු දෙකෙහිම පල නෙළා ගත නොහැකි වීම රටේ අභාග්‍යයකි. ඔහුගේ මීළඟ ලිපියෙන් හම්බන්තොට මහා සාගරයේ පැනමා නැව් වලට පවා සේවා සැපයීමට ශක්තිය ඇති වරායක් ඉදිකිරීමට හැකිව තිබියදී ගොඩබිම කපා වරායක් ඉදිකිරීමට තරම් රාජ්‍ය නායකත්වය නොමග යැවීමට හේතු වූ සිංගප්පූරු, මැලේසියා, වරාය අධිකාරීන් කැනඩා බලධාරීන්ගේ සහ ඩොලර් කුට්ටිවලට ලොල් වූ අපේම දේශපාලන බලවතුන්ගේ සහායෙන් සිදුකළ අපරාධය සම්බන්ධයෙන් වූ පසුබිමි කතාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.
ඩබ්ලිව්. ඒ. ඒස්. පෙරේරා (වරාය හා නාවික අමාත්‍යංශයේ හිටපු ලේකම්)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...