දේශීය පුවත්

ගාලු මුව‍ෙදාර පිටියට ඉදිරිපසින් වන්නට පිහිටි කොළඹ තවත් එක් තරුපහේ හෝටලයක් වන්නේ “ටාජ් සමුද්‍රා”ය.

ටාජ් සමුද්‍රා හෝටලයේ ලොබියට පැමිණි ඉන්දියන් ජාතිකයකු කිසියම් අයකු බලාපොරොත්තුවෙන් සිටියේය. ඒ මැයි 03 වැනිදා පස්වරු 4.10ට පමණය.

ඉන්දියන් ජාතිකයාගේ බලාපොරොත්තු ඉටු වෙමින් අත්දිග කමිස හා ටයිපටි පැලඳූ පුද්ගලයන් දෙදෙනකු ඔහු සමීපයට පැමිණුණි.

“ගුඩ් ආෆ්ටර්නූන්” තමා අසලට පැමිණි අමුත්තන් දෙදෙනා ඉන්දියන් ජාතිකයා විසින් පිළිගත්තේය.

තමා අසලට පැමිණි අමුත්තන් දෙදෙනාට සංග්‍රහ කිරීමටද අමතක නොකළ ඉන්දියන් ජාතිකයා හෝටල් සේවකයකුට කතා කොට කිරි තේ එකක් හා කිරි කෝපි එකක් සහ දෙහි බීම වීදුරුවක්ද ගෙන්වා ගත්තේය.

මෙම කතාවේ කතා නායකයා වන ඉන්දියන් ජාතිකයා හඳුන්වනු ලබන්නේ “කොටහා රලහල්ලී කොඩි ඩප්පයියා නඩරාජා” යනුවෙනි.

සුපිරි හෝටල් සේවකයා ගෙන ආ කිරි කෝපි වීදුරුව නඩරාජා විසින් පානය කරද්දී අමුත්තෝ දෙදෙනා කිරි තේ සහ බීම වීදුරුව පානය කළහ.

නඩරාජා මිලදී ගත් උණු උණු කිරි තේ එක කෙටි වේලාවක් පානය කරනු ලැබුවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය ටී.එච්.කේ. මහානාම විසිනි.

දෙහි වීදුරුව පානය කරනු ලැබුවේ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායකය.

මෙහි වූ සාකච්ඡාව ඉතා රහසිගත එකක් විය. රහසිගත සාකච්ඡාව විනාඩි විස්සකට පමණ සීමා කිරීමට ජනාධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානි කටයුතු කළේය.

නඩරාජා විසින් හවස තේ පැන් සංග්‍රහයේ බිලද ගෙවා දැමීමට කටයුතු කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා නඩරාජාට කළ ඉල්ලීමකට අනුව හෝටල් සේවකයා ඔවුනට කේක් රැගෙන යන විශාල ප්‍රමාණයේ කඩදාසි මල්ලක්ද ගෙනැවිත් දුනි.
කඩදාසි මල්ල අතට ගත් ටී.එච්.කේ. මහානාම අනෙක් දෙදෙනාත් සමඟ ටාජ් සමුද්‍රා හෝටලයේ කොරිඩෝව දිගේ හෝටලයේ පිටුපස රථගාලට ඇවිද ගියේය.

නඩරාජා යනු ලොව ප්‍රධාන පෙළේ සීනි නිෂ්පාදන ආයතනයක් යටතේ පවතින එම්.ජී. ෂුගර් පෞද්ගලික ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයායි.

ඔහුගේ නිල් පැහැති සුඛෝපභෝගී මෝටර් රථය නවතා තිබුණේ ටාජ් සමුද්‍රා හෝටලයේ පිටුපස රථ ගාලේය.

නඩරාජා කළ දැනුම් දීමකට අනුව ඔහුගේ මෝටර් රථයේ සේවකයකු ලෙස හඳුන්වනු අයකු රතු පැහැති ගමන් මල්ලක් නඩරාජා සිටි ස්ථානයට ගෙනැවිත් දුන්නේය.

නඩරාජා විසින් එම රතු පැහැති ගමන් මල්ල ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ටී.එච්.කේ. මහානාමට ලබා දුන්නේය.

එහි තිබුණේ විශාල මුදලකි. එම මුදල ගණන් කර ලබා ගැනීමට අවශ්‍ය බව ආචාර්ය ටී.එච්.කේ. මහානාම නඩරාජාට පැවැසුවේය.

නඩරාජාගේ මෝටර් රථය තුළදී එම මුදල ගණන් කර බැලීමට අවශ්‍ය යැයි මහනාම නඩරාජාට පැවැසූ නිසා නඩරාජාගේ දැනුම්දීමකට අනුව ගාල් කර තිබූ මෝටර් රථය ඔවුන් පිරිස සිටි ස්ථානයට රැගෙන ඒමට රියැදුරු කටයුතු කළේය.

රථගාලේ කෙළවර නැවැත්වූ නිල් පැහැති සුඛෝපභෝගීි මෝටර් රථයේ වම්පස පිටුපස ‍ෙදාර විවෘත කොට ජනාධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානියා රථයට නැඟ ගත්තේය.
ඔහුගේ දැනුම්දීමකට අනුව මෝටර් රථයේ රියැදුරුද රියැදුරු අසුනෙන් බැස ගියේය.

රතු පැහැති ගමන් මල්ලේ වූ මුදල් නෝට්ටු ගණන් කොට තමා සතුව ඇති කඩදාසි බෑගයට දමාගැනීම සඳහා උදවු කරන ලෙස නඩරාජාගේ සේවකයාට ජනාධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානියා විසින් දැන්වීය.

එම සේවකයාද පිටුපස අසුනට නැඟී ඉටි කවරවල බහා තිබූ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු ගණන් කිරීම සඳහා කාර්ය මණ්ඩල ප්‍රධානියාට සහාය ලබාදුන්නේය.

රතු පැහැති ගමන් මල්ලෙහි ලක්ෂ 50 බැගින් එකට ඔතා සකස් කළ පන්දහසේ නෝට්ටු පාර්සල් 4ක් විය.

ගණිනු ලැබූ මුදල් ආරක්ෂා කිරීමට දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මෝටර් රථයේ වම්පස දොරවල් දෙකට අත තබා ආරක්ෂාව සැපයීමට කටයුතු කළේය.

අවසන් මුදල් නෝට්ටු පාර්සල ගණන් කර රතු පැහැති ගමන් මල්ලෙන් කඩදාසි මල්ලට දමනවාත් සමඟම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු වහාම ක්‍රියාත්මක වූහ.

“සර් අපි අල්ලස් කොමිසමෙන්…….
මෝටර් රථය අසලට පැමිණි අල්ලස් නිලධාරීහු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ දැව සංස්ථා සභාපතිවරයාට කීහ.

ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා යනු රටේ බලගතුම තනතුරකි. ඔහු සහ සංස්ථා සභාපතිවරයකු අල්ලස් නිලධාරීන් විසින් ඉකුත් 03 වැනිදා ටාජ් සමුද්‍රා හෝටල් රථ ගාල තුළදී අත්අඩංගුවට ගනු ලැබූහ.

අල්ලස් මුදල් ලබා ගැනීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය සතු සුඛෝපභෝගී ජීප් රථයකිනි.
දැව සංස්ථා සභාපතිවරයා පැමිණෙන්නේ ඔහුට සංස්ථාව විසින් ලබා දී තිබූ සුඛෝපභෝගී ජීප් රථයකිනි.

අල්ලස් කොමිසමේ වසර 64ක ඉතිහාසය තුළ අත්අඩංගුවට ගත් ලොකුම රාජ්‍ය නිලධාරියා වන්නේද ආචාර්ය ටී.එච්.කේ. මහානාමය.

එසේ හෙයින් මෙම වැටලීම ඉතිහාසගත වන්නකි.

2015 වසරේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ එවක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය හිමි වූයේ අභාවප්‍රාප්ත එම්.කේ.ඩී.එස්. ගුණවර්ධනටය.
සේරුවිල ආසනයෙන් පාර්ලිමේන්තුවට පත් වූ ගුණවර්ධන මහතා සිය අමාත්‍ය ධුරය ලබා ගැනීමත් සමඟ වසා දමා තිබූ කන්තලේ සීනි සංස්ථාවේ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට සිතුවේය.

ඒ ඉන් ප්‍රදේශයේ ජනතාවට රැකීරක්ෂා ලබා ගැනීමට හැකියාවක් ඇති නිසාත් එම ප්‍රදේශය දියුණුවට පත් කළ හැකි නිසාත්ය.

වසා දමා තිබූ කන්තලේ සීනි සංස්ථාවේ කටයුතු යළි ආරම්භ කිරීමට ඔහු විසින් එවක ආයෝජකයකු සොයා බැලීය.

ලොව දෙවැනි සීනි නිෂ්පාදන සමාගමක් යටතේ පවතින එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගම මෙහි ආයෝජකයකු කර ගැනීමට මෙරටට හැකිවිය.

එම්.ජී ෂුගර් පෞද්ගලික සමාගම ඉන්දියානු සමාගමක් වන අතර එහි හිමිකරු විසින් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවෙහි වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු වන කේ.ආර්.කේ. නඩරාජාව 2015 වසරේදී මෙරටට එවනු ලැබීය.

මෙරට රජය සහ අදාළ සමාගම සමඟ ඇති වූ ගිවිසුමකට අනුව කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ ලාභයෙන් සියයට 51ක් රජයටත්, සියයට 49ක් සමාගමටත් ලැබිය යුතුය. වසර 30ක කාලයකට වලංගු වන ලෙස එම ගිවිසුම අස්සන් කර තිබිණි.

මෙම ගිවිසුමට අනුව අදාළ සීනි කර්මාන්ත ශාලාව අයත් භූමියේ අක්කර 21,000ත්, ගොඩනැඟිලි සහ යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමටත් අදාළ සමාගමට නීතියෙන් අවසරයක් ලැබිණි.

ආයෝජකයන් විසින් 2016 වසරේ සිට මේ දක්වා වූ කාලය තුළ අදාළ භූමිභාගයන් එළිපෙහෙළි කර උක්වගා කර තිබේ.

එම උක් අස්වැන්න නෙළා ගැනීමට තව මාස කිහිපයක් ඇති අතර උක් කැපීමෙන් පසු ඉන් සීනි නිෂ්පාදනය කිරීම සඳහා එහි යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමට සමාගම් බලධාරීන් ලකලෑස්ති විය.

නමුත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ එවක ලේකම් ධුරය දැරූ ආචාර්ය ටී.එච්.කේ. මහානාම යන අය විසින් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැඟිලි භාවිත කිරීමට අවසරයක් නැති බව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට පැවැසීය.

ගිවිසුම් ප්‍රකාරව සිය සමාගමට කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යන්ත්‍රසූත්‍ර සහ ගොඩනැඟිලි භාවිත කිරීමට ලක් රජය අවසර ලබා නොදෙන බවට පවසමින් සිංගප්පූරුවේ පිහිටි උසාවියකට අදාළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කේ.ආර්.කේ. නඩරාජා පැමිණිල්ලක්ද 2017 වසරේදී සිදු කරනු ලැබීය.

මෙම යන්ත්‍රසූත්‍ර සහ ගොඩනැඟිලි භාවිත කිරීමට අනුමැතිය ලබා දීම සඳහා ආචාර්ය මහානාම විසින් මෙම වකවානුව වන විටත් නඩරාජාගෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඇත.

නමුත් ඊට නඩරාජා අකැමැත්ත පළ කර තිබිණි.

නඩරාජා විසින් සිංගප්පූරු උසාවියක දැමූ පැමිණිල්ලට අනුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ලේකම් වන මහානාමටද සාක්ෂිකරුවකු ලෙස එම උසාවියේ පෙනී සිටීමට ඇති බව මහානාම දැන ගත්තේය.
මහානාම විසින් තමාගේ අතිජාත මිත්‍රයකු වන රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායකට මේ බව දැන්වීය.

ඒ 2017 වසරේ අග භාගයේදීය.

කෙසේ හෝ කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැඟිලි එම්.ජී. ෂූගර් පෞද්ගලික සමාගමට පරිහරණය කිරීම සඳහා අවසර දීමට යැයි පවසා එම සමාගමෙන් රුපියල් කෝටි 54ක මුදලක් කඩා වඩා ගැනීමට මෙම මිතුරෝ දෙදෙනා සැලසුමක් දියත් කළහ.

ඒ අනුව එක් දිනෙක දිසානායක විසින් නඩරාජාට දුරකතන ඇමතුමක් ලබාදී මෙම ගනුදෙනුව කතා කර ගැනීම සඳහා රාජ්‍ය දැව සංස්ථාවට පැමිණෙන ලෙසද දැන්වීය.
එම දැන්වීමට අනුව මේ වසරේ මුල් මස දිනෙක නඩරාජා දැව සංස්ථා සභාපතිවරයා හමුවීමට ඔහුගේ නිල කාමරයට ගියේය.

නමුත් එම සාකච්ඡාවට මහානාම පැමිණියේ නැත.

එබැවින් එම සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසු දෙවැනි වරටද දිසානායක විසින් සිය නිල කාමරයට නඩරාජාව ගෙන්වා ගත්තේය. එදින එම හමුවට මහානාමද සහභාගි විය.

ආචාර්ය ටී.එච්.කේ. මහානාම විසින් නඩරාජාට එදින තවත් යෝජනාවක් කළේය. ඒ අදාළ ගනුදෙනුව රුපියල් කෝටි 45ක කිරීමට කැමැති වන ලෙසටය.

ඊට ද නඩරාජා අකැමැත්ත පළ කළේය.

අදාළ යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැඟිලි භාවිත කිරීම සඳහා රජයට කිසිදු මුදලක් නොගෙවිය යුතු බවට නඩරාජා විසින් සොයා ගැනීමත් සමඟ ඔහු විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි මස 22 වැනි දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

ඉකුත් මාර්තු මස අගවන විට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ලේකම් ධුරය හෙබවූ ආචාර්ය ටී.එච්.කේ. මහානාම සිය 60 හැවිරිදි විය සම්පූර්ණ කිරීම හේතුවෙන් විශ්‍රාම යෑමට සිදුවිය.

කෙසේ වෙතත් ලද පැමිණිල්ලට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.

මහානාමගෙන් පුරප්පාඩු වූ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට තමාගේ මිතුරකු පත්වන බවත් එම නිසා රුපියල් කෝටි 35ක් වටිනා යන්ත්‍ර සූත්‍ර රුපියල් කෝටි 10කට ලබා ගැනීමට හැකි බවත් රාජ්‍ය දැව සංස්ථා සභාපති විසින් නැවත වරක් නඩරාජාට දැන්වීය.

මෙම ගනුදෙනුව කතා කර ගැනීම සඳහා ඉකුත් මාර්තු 28 වැනි දින නැවත දිසානායක විසින් නඩරාජා හමුවීමට ඔහු පදිංචි කොළඹ 07 පිහිටි නිවෙසට පැමිණුණි.

මෙම අල්ලස් ගනුදෙනුව සම්බන්ධයෙන් නඩරාජා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අතර දුරකතන ඇමතුම් 6ක් පමණ සහ හමුවීම් 4ක් පමණ සිදු වී තිබේ.

එසේම මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් නඩරාජා සහ දැව සංස්ථා සභාපතිවරයා අතර දුරකතන ඇමතුම් 20ක් සහ හමුවීම් 7ක් පමණ සිදුව ඇත.

මෙම සියලු ඇමැතුම් සහ හමුවීම්වලදී සිදුවූ සාකච්ඡා නඩරාජා විසින් අධිතාක්ෂණික උපකරණ භාවිතයෙන් කිසිවකුට සැක නොසිතෙන ලෙස පටිගත කර ඇත්තේය. ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ උපදෙස් මතය.

මීට මාසයකට පමණ ඉහතදී ආචාර්ය ටී.එච්.කේ. මහානාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස පත්විය.

නමුත් අල්ලස් නිලධාරීහු මෙම මහා පරිමාණ වංචාව හසුකර ගැනීම සඳහා නොබියව කටයුතු කළහ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි, බලයලත් විමර්ශන නිලධාරි පුෂ්පකුමාර, තෙන්නකෝන්, වීරතුංග, කරුණාතිස්ස ඇතුළු වැටලීම් අංශ නිලධාරීන් මෙම වැටලීම සිදු කිරීමට සිය දායකත්වය සපයනු ලැබීය.

කළමනාකාර අධ්‍යක්ෂ කේ.ආර්.කේ. නඩරාජා හට සිංහල භාෂාව තේරුම් ගැනීමට හෝ කතා කිරීමට නොහැකිය. එම නිසා අල්ලස් කොමිසමේ ඉංග්‍රීසි භාෂාවට හැසිරවිය හැකි නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සඳහා සහභාගි වී ඇත.
මාස ගණනක රහසිගත මෙහෙයුමක් ජීවිත තර්ජනද නොතකමින් සිදු කළ මෙම නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුය.

එසේම මෙම නිලධාරීන්ට හිමිවිය යුතු ඇගයීමද බාලගිරි දෝෂ නිමාකර නිසිකලට ලබාදුනහොත් අගනේය.
මන්ද සුදුකරපටි හොරුන් සමාජයේ තවත් එමට සිටින නිසාය. ඔවුන් නීතියේ දැලට හසු කර ගැනීමට මෙවැනි නිලධාරීන් ධෛර්යවත් කළ යුතුය.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් දින රාත්‍රි 11ට පමණ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතාගේ නිල නිවෙසට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරුවන් වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂවරයකු වන නීතිඥ පී. අර්සකුලරත්න ඇතුළු නීතිඥවරු 7 දෙනකු පෙනී සිට ඇත.

එසේම ජනාධිපතිවරයාගේ නියෝග මත මෙම සැකකරුවන් දෙදෙනා හෙබවූ තනතුරුවලින්ද ඔවුන් ඉවත් කර තිබිණි.

චාමර අමරසූරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More