අප මේ කියන්නට යන්නේ මුතුරාජවෙල ගැන ඉතිහාස කතාවක් නොවේ. බ්රෑන්ඞ් නිව් කතාවකි. එම ඉතිහාස කතාවේ අවසානය ගැන යම් සඳහනක් කරන්නේ නම්, රජකාලේ පටන් ඉතා සශ්‍රීකව වගා කළා යැයි කියන මුතුරාජවෙල නම් මේ සුවිසල් වෙල් යාය, ලන්දේසිකාරයින්ගේ ඕලන්ද ඇළ නිසාත්, ඉංග්රීසින්ගේ හැමිල්ටන් ඇළ නිසාත් කරදිය ගලන්නට පටන් ගැනීම නිසා පුරන් වී අතහැර දැමූ වැදගත් වගුරු බිමකි. (කොටස් දෙකකින් පුත්තලමේ සිට මීගමුව කළපුවත්, එතැන් සිට කැලණි ගඟටත් පැමිණි පැරණි ඕලන්ද ඇළේ දෙවැනි කොටස නැවත සකස් කර හැමිල්ටන් ඇළ සකසා ඇත.)
වගුරු බිමක්, එසේත් නැතිනම් තෙත්බිමක් වූ පමණින් එය කිසිදු වැදගැම්මකට නැති භූමියක් ලෙස සලකා ඇතැමුන් මෙවන් පරිසර පද්ධති ගැන සෘණාත්මකව සිතා කටයුතු කරන්නේ නම් ඔහුට යම් ඔළුවේ අමාරුවක් ඇති බව අපගේ විශ්වාසයයි. මේ නිසා එම පහත් බිම් ගොඩකර ඒ මත නිවාස ව්‍යාපෘති, ගොල්ෆ් පිට්ටනි, කර්මාන්ත ශාලා, ඌරු කොටු, හරක් පට්ටි ඇති කරන්නට හෝ උන්ගේ භාෂාවෙන් සංවර්ධනය කර ඉඩම් විකුණන්නට කවුරුන් හෝ උත්සාහ දරයි නම් හා ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් පවා උදව් උපකාර කරයි නම් මෙවන් පාපතරයින් පිරිසක් තවත් මේ මිහිපිට නැති බව අපගේ කල්පනාවයි.
අප එසේ කීවත් අද මුතුරාජවෙල නම් කොළඹ අගනගරයට යාව ඇති අතිශය සංවේදී පරිසර පද්ධතියට සිදුවෙමින් පවතින්නේ ද එයමය. මේ වන විටත් මුතුරාජවෙල තෙත්බිමට අයත් අක්කර 600 කට වැඩි ප්‍රමාණයක් මහා පරිමාණ, ධනවත් සමාගමක් මගින් අනවසර ගොඩකිරීමට ලක්කර ඇති අතර, ඔය කියන ජාතියේ ඉඩම් සංවර්ධනය කර විකිණීමට ලක්කර ඇති බවද, තවත් ගොඩ කළ ඉඩම් තුළ නිවාස ව්‍යාපෘති ක්‍රියාවට නන්වමින් ද පවතී. ඒ මදිවාට පෙර කී පරිදි ගොල්ෆ් පිට්ටනි ඉදිකිරීම සඳහාද ඉඩම් වෙන්කරගෙන ඇත. අප කියන මුතුරාජවෙල බ්රෑන්ඞ් නිව් කතාව ඒ අයුරිනි. එම කතාවේ ඉතිරිය පහත පරිදිය.
මෙම මහා ඉඩම් කොල්ලය සිදුවන්නේ පසුගිය යහපාලන සමයේ සිටය. මේ පිළිබඳව කරුණු කාරණා මාධ්‍ය මගින් දිග හරින විට එහි ගිය එවකට පරිසර ඇමැති හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම ගොඩකිරීම් වහාම නවතා දමන්නට යැයි නියෝග දුන්නා අපට මතකය. (ඉන්පසු මේ ගොඩකිරීමට සම්බන්ධ ව්‍යාපාරිකයා සිරිසේන ජනාධිපතිවරයා හැදූ මොරගහකන්ද ජලාශයට නුදුරු නාඋල, ඕපල්ගල කඳු මුදුනේ අක්කර 300 ක රක්ෂිත වනාන්තරයක් අල්ලාගන්නේ කුමන පදනමකින් ද යන්න අපට නොවිසඳුණු වෙනම ප්‍රශ්නයක් තිබේ.)
නමුත් මේ ගොඩකිරීම් හා අනවසරයෙන් ඉඩම් අල්ලාගෙන විකිණීමේ මහා පරිමාණ ජාවාරම අද එදාටත් වඩා දළුලා වැඩෙන අන්ඩර් වර්ල්ඞ් ගේමක් බවට පත්ව තිබේ. මේ පිළිබඳව කතාකරන පරිසරවේදීන්ට අදාළ ව්‍යාපාරිකයා විසින් තර්ජන, ගර්ජන කරනු ලබන අතර, ඇතැම් නිලධාරීන් හා ඊට එරෙහිව හඬනගන පුද්ගලයින් මුදලට බිලිබාගන්නා තත්ත්වයට ද දැන් කරුණු කාරණා සිද්ධ වී ඇති බව වාර්තා වේ.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් පවා අවසානයේ මේ මුග්ධ ක්‍රියාවට එරෙහිව හඬනගන්නට පාරට බැස්සේ මෙවන් අභියෝග මැදය. ජනතාව විශ්වාස කරන්නේ නවත්වන්නට නොහැකි මේ මුතුරාජවෙල ගොඩකිරීම පසුපස අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවය.
කෙසේ හෝ මධ්‍යම පරිසර අධිකාරිය තම අදහස් මාධ්‍යයට නිකුත් කරමින් කියා සිටින්නේ මෙම අනවසර ගොඩකිරීම්වලට තමන් ක්‍රියාකරමින් සිටින බවයි. නොහොත් ගයිඞ් ලයින් (මාර්ගෝපදේශ ලෙස පරිසර ඇගයීම් වාර්තා ගතයුතු බව ගොඩකරන්නන්ට දන්වා ඇති බවයි.) ලබා දී ඇති බවයි.
මේ අතර පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ප්රවෘත්ති සාකච්ඡුාවක් පවත්වා කියා සිටියේ තමන් මේ පිළිබඳව පුද්ගලිකව සොයා බැලූ බවයි. මුතුරාජවෙල අනවසර ගොඩකිරීම්වලට දැඩි සේ ලක්ව ඇති බවද, නිලධාරීන් පවා මීට සම්බන්ධව සිටින බවට තමා දැඩිව විශ්වාස කරන බවද පවසන ඇමැතිවරයා කියා සිටින්නේ මුතුරාජවෙල සීමා ලකුණු කර වහා රක්ෂිත තත්ත්වයට ගෙන එන්නට කටයුතු කරන බවයි.
1996 දී මෙහි කොටසක් එනම්, හෙක්ටයාර් 1285 ක් මුතුරාජවෙල අභයභුමිය ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ප්‍රකාශයට පත්කර ඇත. තවත් ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වේ. එසේම, මධ්‍යම පරිසර අධිකාරිය, පහත් බිම් සංවර්ධන මණ්ඩලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැනි ආයතන නහුතයකට මේ හා සම්බන්ධ වගකීම හා නීතිමය භාරකාරත්වය ඇත. එනමුත් මොවුන් සිදුකරන දෙයක් නැත.
සැබෑව නම්, වරාය නගරයත් සමග ඊට සමගාමීව කොළඹ මීළඟ වටිනාම බිම් තීරුව බවට පත්වීමේ සුදුසුකම ලබා තිබෙන්නේ කැලණි ගෙඟන් එගොඩ මෝදර, ඇලකන්ද, වත්තල සිට මීගමුව මුහුදුතීරය අයත් මුතුරාජවෙල මෙම (ආර්ථික) කලාපයයි. දේශපාලන ආශීර්වාදයෙන් ඊට කටුව ගැසීම මේ ජඩ ව්‍යාපාරික පැලැන්තියේ උවමනාවයි.
බඩගෝස්තරවාදී නිලධාරීන් උන්ගේ ජරාව අනුභව කිරීම මුතුරාජවෙල නොව රටේම කරුමයයි.
(14.012021 දිවයින කතුවැකිය)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...