පුරවැසි කොලම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගය තුළ දේශපාලන පිපිරුමක් නියත බවට පැහැදිලි ලකුණු මතුවෙමින් පවතී. එය රටට ප්‍රදර්ශනය වූ ආසන්නතම සිදුවීම වන්නේ සිය අනාගත ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන කිසිවකු නොව සජිත් ප්‍රේමදාස යැයි සජිත් හිතවාදී තිස්ස අත්තනායක පසුගියදා කරන ලද ප්‍රකාශයයි. දේශපාලන පක්ෂයක් සිය ජනපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙතක් මෙන්ම තව බොහෝ කල් තිබියදී හදිසියේ එබඳු ප්‍රකාශයක් කිරීමට පළපුරුදු දේශපාලනඥයකු පෙලඹීමට හේතුව ජනපති අපේක්ෂකත්වයට අභියෝගයක් පැවැතීම බව වසන් කළ නොහැකි සත්‍යයකි. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයට සමගි ජන බලවේගය තුළින්ම අභියෝගයක් එල්ල කළ හැකි එකම මන්ත්‍රීවරයා පාඨලී චම්පික රණවක පමණි. අනෙකුත් සියලු දෙනා අනුගාමිකයන් මිස නායකත්වයට තරග වදින සාමාජිකයන් නොවේ. පාඨලී චම්පික ජාතික හෙළ උරුමයේ මෙතෙක් දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වීම ඔහු අලුත් ගමනකට සැරසෙන බවට කළ පැහැදිලි ඉඟියකි. ඔහුගේ දේශපාලන ඉතිහාසය විමසා බලන කල මෙය අලුත් තත්ත්වයක් යැයි කිව නොහැකිය.

පාඨලී චම්පික ශිෂ්‍ය දේශපාලනයේ ප්‍රසිද්ධ චරිතයක් ලෙස පෙනී සිටින්නේ 1985 ජූලි 15 වැනිදා මොරටු සරසවියේ පැවැති උද්ඝෝෂණයකිනි. ඒ, එම සරසවියේ ඉංජිනේරු ශිෂ්‍යයකු වශයෙන් සිටියදීය. ඊට පෙර හොරණ තක්ෂිලා විද්‍යාලයේ උසස් පෙළ සිසුවකු වශයෙන් ඔහු ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු විය. කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ 1986 දී ඝාතනය කොට ඇරැඹි ජවිපෙ ප්‍රචණ්ඩ දේශපාලනය අවසන් වූයේ 1989 නොවැම්බර් 13 වැනිදා සිදුවූ රෝහණ වීජේවීර ඝාතනයෙන් පසුවය. එහෙත් මහාචාර්ය නලින් ද සිල්වා විසින් සරසවිය තුළ පුබුදු කළ ජාතික චින්තන දහරාව හමුවේ ජවිපෙ මතවාදී වශයෙන් පරාජය වී තිබිණ. එම ජාතික චින්තනයේ බලපෑමට ගොදුරු වූ සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් අතර පාඨලී චම්පික හා අතුරලියේ රතන හිමි යන චරිත සිටි බව රහසක් නොවේ. රිමාන්ඩ් භාරයට පත්වෙමින් යළි නිදහස් වෙමින් විවාදාත්මක සරසවි සිසු භික්ෂු චරිතයක් ලෙස ඉස්මතු වී සිටි රතන හිමි හා මොරටු සරසවියේ ශිෂ්‍ය සටන් සමග සමීප වූ අශෝක අභයගුණවර්ධන පසු කලෙක චම්පිකගේ දේශපාලන විශ්වාසවන්තයෝ බවට පත්වූහ.

දේශපාලන ක්‍රියාකාරීත්වය නිසා 1989.10.14 වන දින බොරැල්ලේදී පැහැර ගැනීමට ලක්වූ චම්පික කොළඹ නීති පීඨ වධකාගාරයේ රඳවා සිට නිදහස් කෙරිණ. ඉන්පසු රතන හිමි සමග එක්ව රටවැසි පෙරමුණ ආරම්භ කළේය. 1992 දී වාද්දුව පන්සලේදී අත්අඩංගුවට පත්වී නිදහස ලැබූ පසු ජනතා මිතුරෝ සංවිධානය ගොඩනැගීය. චන්ද්‍රිකා කුමාරතුංගගේ දේශපාලන ව්‍යාපාරය සමග මුසුවී සිටි ඔහු මාදුළුවාවේ සෝභිත හිමි 1995 දී ආරම්භ කළ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයට එක්විය. තිලක් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සිහල උරුමය නමැති පක්ෂයට එක්වී 2001 මහ මැතිවරණයට තරග කළ චම්පික එයට හිමිවූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබාගෙන ජාතික දේශපාලනයට පිවිසියේය. සිහල උරුමය 2004 මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ජාතික හෙළ උරුමය යන නමෙනි. භික්ෂූන් වහන්සේ පමණක් එවර මැතිවරණයට ඉදිරිපත් කළ ජාතික හෙළ උරුමයට ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රී ධුරයන් ලබා පාර්ලිමේන්තු ගිය චම්පික, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්වී පරිසර ඇමැති ධුරය ලැබීය. 2010 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග බැඳී පාර්ලිමේන්තු ගිය ඔහු ඇමැති තනතුරක් දරා 2015 ජනපතිවරණයේදී මහින්ද විරෝධී චරිතයක් රඟපෑවේය. 2015 දී රනිල්ගේ නායකත්වය යටතේ තරග කොට ජයගෙන ඇමැතිවරයකු වූ ඔහු 2020 දී රනිල් අතහැර සජිත් ප්‍රේමදාසට එක්වී සිටී. පාඨලී චම්පිකගේ මෙම දේශපාලන ඉතිහාසය සලකා බලන කල සමගි ජන බලවේගයෙන් ඉවත් වී යාම ඔහුට කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. ඔහු එයින් නික්ම නොයන්නේ නම්, එහි බලය ඇල්ලීම ඉලක්කය විය හැකිය.

චම්පික සිය අනාගත දේශපාලන සිතියම ඇඳ අවසන් බව 43 සේනාංකය යනුවෙන් නම් කළ කණ්ඩායම පිහිටුවීමෙන් පැහැදිලි වන කරුණකි. එමෙන්ම ඔහුගේ ඊළඟ පියවර ඇමැති තනතුරකට සීමා වන්නේ නම් ජාතික හෙළ උරුමයේ තනතුරුවලින් ඉවත් විය යුතු නැත. ඔහුගේ ඊළඟ පියවරට ජාතික හෙළ උරුමයේ තනතුරු බාධාවක් ලෙස දකින්නේ නම් ජනපතිවරණ ඉලක්කය මිස වෙන කුමක්ද? සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකදී 43 සේනාංකයට විරෝධය පළවන්නේ ඔහුගේ ඉලක්කය අනෙකුත් මන්ත්‍රීවරුන් හඳුනාගෙන ඇති බැවින් නොවේද?

කෙසේ වුවද 43 සේනාංකය යනු වියත්මග අනුව යමින් දේශපාලන නොවන දේශපාලන සංවිධානයක් පිහිටුවීමකි. 43 සේනාංකය වැනි නාමයක් මෙතෙක් දේශපාලන කටයුතු සඳහා යොදාගෙන නොමැත. එහෙත් 43 කණ්ඩායම යනුවෙන් සංවිධානයක් මෙරට තිබූ අතර එය විශිෂ්ට චිත්‍ර ශිල්පීන්ගේ එකමුතුවකි. මෙරට චිත්‍ර කලාවේ ඉතිහාසය හදාරන අයට මිස වත්මන් පරපුරට 43 කණ්ඩායම යන නාමය නුපුරුදුය. එබැවින් 43 කණ්ඩායම පිළිබඳ තොරතුරු මෙහි සටහන් කිරීම අවශ්‍ය කෙරේ.

දක්ෂ පියානෝ වාදන ශිල්පියකු හා ඡායාරූප ශිල්පියකු වශයෙන් ප්‍රකටව සිටි ලයනල් වෙන්ඩ්ට් නමැති කලා රසිකයාගේ මෙහෙයවීම යටතේ 1943 දී මෙම 43 කණ්ඩායම බිහිවී තිබේ. එහි අරමුණ වූයේ විසිවන සියවස වනවිට යුරෝපයේ පැතිරී තිබූ නූතන චිත්‍රකලා රීති ලාංකික රසිකයා වෙත ළඟාකර දීමයි. ඒ වනවිට ලංකාවේ පැවැතියේ ලංකා කලා සංගමය විසින් පවත්වාගෙන ගිය ස්වභාවිකවාදී චිත්‍ර කලා සම්ප්‍රදාය මත යැපුණු චිත්‍ර කලාවකි. ලාංකික චිත්‍ර කලාව අන්තර්ජාතික තත්ත්වයට ඔසොවා තැබීම සඳහා බිහිකළ 43 කණ්ඩායමේ ආරම්භක සාමාජිකයන් ලෙස ජෝර්ජ් කීට්, ජස්ටින් දැරණියගල, අයිවන් පීරිස්, ජෝර්ජ් බීලිං හා රිචඩ් ගේබ්‍රියෙල් සැලකේ. එහි ප්‍රධාන සංවිධායක ධුරය ලයනල් වෙන්ඩ්ට් හා ලේකම් ධුරය අයිවන් පීරිස් දැරීය. මෙම කණ්ඩායම කොතරම් විශිෂ්ටයන්ගේ එකතුවක්දැයි අවබෝධ කරගැනීම සඳහා එහි ප්‍රධාන චිත්‍ර ශිල්පීන් පිළිබඳ ඉතා කෙටි සටහනක් මෙයට ඇතුළත් කර ඇත.

විලියම් ජේම්ස් ජෙෆ්‍රි බීලිං (1907-1992) බොම්බායේ චිත්‍ර කලා ආයතනයේ වාස්තු විද්‍යා හා චිත්‍ර කලා අධ්‍යාපනයෙන් පසු ලංකාවට පැමිණ චිත්‍ර කලාවේ යෙදුණු අයෙකි. ජෝර්ජ් කීට් (1901-1993) උපතින් ක්‍රිස්තියානි බර්ගර් ජාතිකයකු වුවද ඔහුගේ නිර්මාණ තුළ වඩාත්ම දක්නට ලැබෙන්නේ බෞද්ධ හා හින්දු දර්ශනයන්හි ආභාසයයි. බොරැල්ලේ ගෝතමී විහාරයේ බෞද්ධ සිතුවම් ඔහුගේ විශිෂ්ටත්වයට නිදසුන් සපයා තිබේ. මාටින් රසල් නමැති කලා විචාරකයා විසින් 1950 දී පළකරන ලද ජෝර්ජ් කීට් පිළිබඳ කෘතිය බොහෝ දෙනාගේ අවධානයට ලක්වී ඇත. ජස්ටින් දැරණියගල (1903-1967) එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් අධිනීතිඥයකු ලෙස අධ්‍යාපනය ලබා චිත්‍ර කලාවට පිවිස ලන්ඩනයේ ස්ලේඩ් කලා ආයතනයෙන් චිත්‍ර කලාව උගත් අයෙකි. ඉන්පසු ඔහු පැරීසියේදී චිත්‍ර කලාව වැඩිදුර උගත්තේය. අයිවන් පීරිස් (1921-1988) ශිෂ්‍යත්වයක් ලැබ ලන්ඩනයේ හා පැරීසියේ අධ්‍යාපනය ලැබූවෙකි. රිචඩ් ගේබ්‍රියෙල් නිර්මාණය කළ මව සහ දරුවා ලී කැටයම නවදිල්ලියේ ඩබ්ලිව්.එච්.ඩී. ගොඩනැගිල්ලේ ස්ථීර ප්‍රදර්ශනයට තබා ඇත. එමෙන්ම පැරිස් කෞතුකාගාරයේ ස්ථිර ප්‍රදර්ශන කුටියක තබා ඇති ගොන්පොරය නමැති නිර්මාණය අන්තර්ජාතික විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වූවකි. පසු කලෙක ඔහු ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියේය.

මෙම 43 කණ්ඩායමේ විශිෂ්ට එකමුතුව නිසා ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාවේ ප්‍රගතියට පමණක් නොව සෙසු කලා මාධ්‍යවලට හා සෞන්දර්ය කලා අධ්‍යාපනය කෙරෙහිද විශාල බලපෑමක් සිදුකර තිබේ. 43 කණ්ඩායම විචාරකයන් විසින් හඳුන්වා ඇත්තේ, ලංකා කලා සංගමය අනුගමනය කළ වික්ටෝරියානු සමයට අයත් යල්පැනගිය ස්වභාවිකවාදයට හා කලාත්මක ප්‍රගති විරහිත භාවයට විරුද්ධව නැගුණු නූතනවාදී චින්තන විප්ලවයක් ලෙසය. පාඨලී චම්පිකගේ 43 සේනාංකය එම විශිෂ්ට නාමය අනුකරණය කළ පමණින් විශිෂ්ටයන් වනු ඇත්ද? එසේ නොවනු ඇත යනු අපගේ විශ්වාසයයි. ඊට බොහෝ සාධක අප සතුය.

චම්පික රණවකගේ දේශපාලන භාවිතය කෙබඳුදැයි දැනගැනීම සඳහා 2015 ජනපතිවරණයේදී ඔහු සමග එකට කටයුතු කළ මලික් ජයතිලක ලියූ ‘මා දුටු ජනවාරි 8’ කෘතිය උපුටා දක්වනු ලැබේ. ‘‘ජනාධිපතිවරණයට දින 14 ක් පමණ තිබියදී චම්පික ඇමැතිතුමා මට මෙසේ කීය. ‘මල්ලි, අපි ඡන්ද ලක්ෂ දෙකකින් විතර දිනුවොත් උන් අපිට ගහලා දිනුම ගන්නවා. මට පේන්නේ 51% කට වඩා අපි යන එකක් නෑ වගේ. ඒක හින්දා අලුතින් ඇනලයිස් කරන්න මෛත්‍රී ඇමැතිතුමා 53% ක් විතර ගන්න විදිහට. එහෙම හදලා අපේ වෙබ් සයිට්වලත්, ෆේස් බුක්වලත් ගහන්න’ යනුවෙන් පැවැසීය. සැබැවින්ම මටද එය කළ යුතු දෙයක් ලෙස වහා වැටහී ගියේය.’’ (පිටුව 462)

මේ අනුව පාඨලී චම්පිකගේ දේශපාලන තර්ක හා තොරතුරු පිළිබඳ විශ්වාසය තැබිය යුතු ප්‍රමාණය ගැන උපදෙසක් අපට ලැබේ. මෙහි පහත උපුටා දක්වා ඇත්තේ චම්පිකගේ සටන් සගයා වන අශෝක අභයගුණවර්ධන ලියූ ‘යුග පෙරළිය’ නමැති කෘතියයි.

‘‘තීරණාත්මක වන්නේ පාවෙන සිංහල ඡන්දයි. මෙම සිංහල පාවෙන ඡන්ද කුට්ටිය මුල් වතාවට නිර්මාණය කළේ 2004 දී ජාතික හෙළ උරුමයයි. එදා ජාතික හෙළ උරුමය ලබාගත්තේ එජාපයෙන් කඩාගත් ඡන්දයි. එනම්, සාම්ප්‍රදායික එජප ඡන්ද ලක්ෂ 10 ක් පාවෙන සිංහල ඡන්ද බවට පරිවර්තනය කිරීමට එදා ජාතික හෙළ උරුමයට හැකිවිය. එම පාවෙන ඡන්දය දැනට ප්‍රධාන වශයෙන් හසුරුවන්නේ ජාතික හෙළ උරුමයයි. (පිටුව 211)

පාඨලී චම්පික දේශපාලන සංවිධාන තුළ රැඳී සිටින්නේ කුමන අරමුණකින්දැයි වටහා ගැනීමට යුග පෙරළිය කෘතියෙහි අශෝක අභයගුණවර්ධන දක්වන මෙම කරුණුද වැදගත්ය.

‘‘මහින්ද රාජපක්ෂගේ සිංහල බෞද්ධ පදනමට අභියෝග කිරීම සඳහාත් මුස්ලිම් අභියෝගයට මුහුණදීම සඳහාත් භික්ෂු ව්‍යාපාරය ශක්තිමත් කළ යුතු බව චම්පික රණවක, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ හා හැඩිගල්ලේ විමලසාර හිමිගේ අදහස විය. ඒ නිසා ඒ සඳහා පෙරමුණ ගන්නා ලෙස රතන හිමියන්ගෙන් තමන් ඉල්ලා සිටි බව එම තිදෙනා මා හට කිහිප වරක්ම කීවෝය.

එම අවකාශය පිරවීම සඳහා ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් වැඩ ආරම්භ කළ විට ජාතික හෙළ උරුමයේ වේගවත් පිරිස බොදු බල සේනාවට ආකර්ෂණය විය. එහිදී චම්පික රණවකයෝද උපක්‍රමශීලීව ඊට අනුබල දුන්හ. ජාතික හෙළ උරුමයේ සිටි හැඩිගල්ලේ විමලසාර හිමියන් උපක්‍රමශීලී ලෙස ජාතික හෙළ උරුමයෙන් නිල වශයෙන් ඉවත්ව බොදු බල සේනාවට සම්බන්ධ වූහ.“ (පිටුව 61)

චම්පිකගේ මෙම දේශපාලන සූත්‍රයට යළි යළිත් රැවටෙන පිරිසක් රටේ සිටින බව ඔහු විශ්වාස කරන්නේ යැයි මෙවරද ජාතික හෙළ උරුමයේ තනතුරුවලින් ඉවත්වීමෙන් හා 43 සේනාංකය යනුවෙන් අතුරු බළ ඇණියක් ගොඩනැගීමෙන් පැහැදිලි වේ. එහෙත් එය කෙතරම් විශාල පිපිරීමක් වනු ඇත්ද යන්න තීරණය කරනු ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අවබෝධයේ ප්‍රමාණය අනුවය.

•නෙල්සන් එස්. පෙරේරා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More