නැගෙනහිර පර්යන්තය සංවර්ධනයට ඩොලර් මිලියන 750ක මුදලක් වැය නොවන බවත්, එය සංවර්ධනය කිරීමට ගතවන අවුරුදු 7ක කාලයේදී සම්පූර්ණයෙන් වැයවන්නේ ඩොලර් මිලියන 556ක මුදලක් බවට වූ වාර්තාවක් එම පර්යන්තය රැකගැනීම සඳහා ඒකාබද්ධ වූ එහි වෘත්තීය සමිති පෙරමුණ දෙසැම්බර් 22 වැනිදා පැවති සාකච්ඡාවකදී රෝහිත අබේගුණවර්ධනට බාර දී ඇත. (මෙම වාර්තාව සකස් කර ඇත්තේ එම පෙරමුණ තුළ කටයුතු කරන වරාය ඉංජිනේරු සංගමයයි).පහත පළවන්නේ එම වාර්තාවේ සාරාංශයයි.
පළමු අදියර 2021
එස්ටීඑස් යනුවෙන් හඳුන්වන නැවේ සිට ගොඩබිමට කන්ටේනර් මෙහෙයුම් සිදුකරන දොඹකර 4ක් හා ආර්ටීජී යනුවෙන් හඳුන්වන රබර් ටයර් යෙදූ ගැන්ටි්‍ර දොඹකර 12ක් එම අදියර සඳහා අවශ්‍ය බවත්, ඒ සඳහා වැයවන රුපියල් මිලියන 13,728ක මුදල (ඩොලර් මිලියන 65) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2020/2021 ප්‍රතිපාදන යටතේ දැනටමත් වෙන්කර ඇති බවත් එහි සඳහන්ය. එමෙන්ම එම මුදල 2021දී ඩොලර් මිලියන 13ක්, 2022දී 46ක් හා 2023දී 6ක් වශයෙන් වියදම් වීමට නියමිත බව සඳහන් කර ඇත.
මීටර් 600ක දිගකින් යුත්තව දැනට නිමකර ඇති නැගෙනහිර පර්යන්තයේ අග ඇති මීටර් 160කින් යුත් කොටස ගොඩකර නිමකිරීමට ඩොලර් මිලියන 5ක් වැය වන බව සඳහන් කර ඇත. ඒ සඳහා වරාය අධිකාරිය මුදල් යෙදවිය යුතුය. එම කටයුත්තෙන් පසු දැනට එහි සවිකර ඇති එස්ටීඑස් වර්ගයේ දොඹකර 3න් හා ආර්ටීජී වර්ගයේ දොඹකර 12කින් නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කළ හැකි බව සඳහන් කර තිබේ.
පළමු වසර වූ 2021 වසරේදී වැය වන මුදල ඩොලර් මිලියන 18ක් බවත්, එම වසරේදී ඩොලර් මිලියන 50ක ආදායමක් ඉපැයිය හැකි බවත් එහි සඳහන්ය. එමෙන්ම දෙවන වසර වන 2022දී ඩොලර් මිලියන 46ක් වැයවන බවත් එම වසරේදී ඩොලර් මිලියන 55ක ආදායමක් වශයෙන් මුළු ආදායම ඩොලර් මිලියන 105ක් ඉපැයිය හැකි බව පෙන්වාදී ඇත.
දෙවන අදියර 2023
නැගෙනහිර පර්යන්තයේ දිග තවත් මීටර 750කින් ගොඩකර දිගු කළ යුතු බව හා මීටර් 600ක දිගකින් යුත් වත්මන් පර්යන්තය තවත් මීටර් 450ක ප්‍රමාණයකින් පළල් කළ යුතු බව පෙන්වාදී ඇත. එම පළල් කිරීම මඟින් කන්ටේනර් මෙහෙයුම් කළ හැකි හෙක්ටයාර් 27ක භූමියක් නි්ර්මාණය වන බව පෙන්වාදී ඇත. මේ සඳහා වැයවන මුදල ඩොලර් මිලියන 200ක් වශයෙන් පෙන්වාදී ඇත. එම වැය 2023දී ඩොලර් මිලියන 40ක්, 2024දී 80ක්, 2025දී 70ක් හා 2026දී 10ක් වශයෙන් වැයවන බවත් එය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආදායමෙන් කළ හැකි බවත් පෙන්වාදී ඇත.
2023 වසරේදී පමණක් නැගෙනහිර පර්යන්තයෙන් ලැබෙන ආදායම ඩොලර් මිලියන 70ක් බවත්, ඩොලර් මිලියන 40ක් එම වසරේ වැයවන බවත්, එම වසර වන විට ලැබෙන මුළු ආදායම ඩොලර් මිලියන 175ක් බවත් එහි පෙන්වාදී තිබේ.
තුන්වන අදියර 2024/2025
එම අදියර ආරම්භ වන 2024 වර්ෂයේ සිට නැගෙනහිර පර්යන්තය සඳහා එස්ටීඑස් වර්ගයේ දොඹකර 10ක් හා ආර්ටීජී වර්ගයේ දොඹකර 30ක් ස්ථාපිත කළ යුතු බවත් ඒ සඳහා වැයවන ඩොලර් මිලියන 161ක මුදල ඒ වනවිටත් නැගෙනහිර පර්යන්තයෙන් උපයාගෙන ඇති ආදායමෙන් වැයකළ හැකි බව පෙන්වාදී ඇත. මෙම වැය 2024දී ඩොලර් මිලියන 33ක්, 2025දී 113ක් හා 2026දී 15ක් ලෙස වියදම් වන බව පෙන්වා දී ඇත.
ඊට අමතරව නැගෙනහිර පර්යන්තයේ දිගුකළ මීටර් 750ක කොටසද මීටර් 450 ක පළලින් යුක්තව 2025 වර්ෂයේදී තවදුරටත් ගොඩකර නිර්මාණය කරගත යුතු බව පෙන්වාදී ඇත. ඒ මඟින් තවත් හෙක්ටයාර 26ක භූමියක් ලැබෙන බවත් අංගණ හා සේවා කටයුතු සඳහා එය යොදාගත හැකි බවත් පෙන්වාදී ඇත. ඒ සඳහා වැයවන ඩොලර් 120 මුදලද නැගෙනහිර පර්යන්තයේ ආදායමෙන්ම කළමනාකරණය කරගත හැකි බව පෙන්වාදී ඇත. එම වැය කිරීම්ද 2025දී ඩොලර් මිලියන 44ක්, 2026දී 70ක් හා 2027දී 6ක් ලෙස වැයවන බව පෙන්වා දී ඇත.
තුන්වන අදියර ආරම්භ වන 2024 සිට එය අවසන් වන 2027 දක්වා පිළිවෙළින් ඩොලර් මිලියන 90ක්, 110ක්, 130ක් හා 170ක් වශයෙන් ආදායම් ඉපැයීමට හැකි බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. එම අවසන් වසර වනවිට පමණක් නැගෙනහිර පර්යන්තයෙන් වරාය අධිකාරිය ලබන මුළු ආදායම ඩොලර් මිලියන 675ක් වන අතර සංවර්ධනය සඳහා පර්යන්තයෙන් උපයා වැයකළ මුදල් අඩුකිරීමෙන් පසු ලබන ලාභය ඩොලර් මිලියන 194කි. වසර දහයක කාලයේදී එනම් 2030දී උපයන ලාභය ඩොලර් මිලියන 764කි.
නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ආයෝජනය යැයි කියමින් ඉන්දියාවේ අදානි සමාගමට අවුරුදු 35ක කාලයකට ලබාදෙන්නේ ඩොලර් මිලියන 750කට නම් වරාය ඉංජිනේරුවන් ඉදිරිපත් කර ඇති මේ සංඛ්‍යා දත්ත සමඟ සැසඳූ කළ එම තීරණය කොතරම් අපරාධයක් දැයි තේරුම් ගැනීමට අපහසු නැත. මන්ද අවුරුදු 7ක කාලයකදී එම පර්යන්තයෙන්ම උපයන ආදායමෙන් එහි සම්පූර්ණ සංවර්ධන කටයුතු වරාය අධිකාරියට කර ගැනීමේ හැකියාව තිබියදී, ජාතික සම්පත් නොවිකුණනවා යැයි කී හා විකුණූ සම්පත්ද නැවත පවරා ගන්නවා යැයි කී ආණ්ඩුවක් මේ ආකාරයට කටයුතු කරන නිසාය.■
රිවිර වෙබ් අඩවියේ පලවූ ලිපියකින් උපුටා ගැණුනි.
ලිපිය සකස් කර ඇත්තේ ලසන්ත රුහුණගේ මහතා විසිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...