“මම තරුණ ව්‍යවසායිකාවක්. අද මගෙත් එක්ක 1500කට වැඩි ගොවීන්, නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන් ඉන්නවා”; ශ්‍රී ලංකාවේ “ගුඩ් මාර්කට්” සමාජ ව්‍යාපාරය සඳහා නායකත්වය දෙන අචලා සමරදිවාකර බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවකදී එලෙස පැවසුවාය.
“මම උත්සාහ කරන්නේ වසවිස නැති කාබනික වගාවන් කරන අයගේ සහ පරිසර හිතකාමී නිෂ්පාදන කරන අයගේ ජීවිත සතුටින් තියන්න.”
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52%ක් පමණ කාන්තාවන් වුව ද ව්‍යවසායකයන් අතර කාන්තා නියෝජනය 10%ක් තරම් අඩු ප්‍රතිශතයක පවතින බව ඇය පෙන්වා දෙන්නීය.
එබැවින් පරිසර හිතකාමී නිෂ්පාදන සහ කාබනික වගාවන්හි නියැලි සිටින ග්‍රාමීය කාන්තාවන්ගේ නිෂ්පාදනවල අගය වැඩි කරමින් ඒවා සුපිරි වෙළෙඳසල් වෙත යොමු කිරීමටත් අපනයන සඳහාත් අචලා මේ දිනවල වැඩි අවධානයක් යොමු කර තිබේ.
දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීමට ලබා දී ඇති නායකත්වය නිසා අචලා සමරදිවාකර ශ්‍රී ලංකාවේ නැගී එන ව්‍යවසායිකාවට හිමි සම්මානය ඇතුළු ජාතික මට්ටමේ සම්මාන දිනාගෙන ඇති අතර ජාත්‍යන්තරව ද ඇගයීමට පාත්‍ර වූ අයෙකි.
“ගුඩ් මාර්කට් එක ඇත්තටම තියෙන්නේ කොළඹ හතේ. ඒත් අපිට අවශ්‍ය නෑ එක පැලැන්තියකට විතරක් වසවිස නැති කෑම දෙන්න. අපිට ඕනා ගමේ ඉන්න අයත් හොඳ ආහාර ලබා ගන්න ක්‍රමවේදයක් හදලා දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කරන්න,” යනුවෙන් ඇය බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළාය.
“මේක සමාජ ව්‍යාපාරයක්. ඒ නිසා කවුරුවත් පුද්ගලික අයිතිකරුවෝ නෑ. විද්වතුන් සහ වගකීමක් සහිත ව්‍යවසායකයන්ගෙ එකමුතුවක්. ගුඩ් මාර්කට් එක කියන්නේ නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන්ව අතරමැදියන්ගෙන් තොරව සම්බන්ධ කරන වේදිකාවක්,” යනුවෙන් අචලා පැවසුවාය.
“ගුඩ් මාර්කට්” (Good Market) සංකල්පය:
කොළඹ 07, කුරුඳුවත්ත පොලිසීය ආසන්නයේ “ගුඩ් මාර්කට්” වෙළඳසැල පිහිටා තිබේ. ග්‍රාමීය ප්‍රදේශවල නිෂ්පාදන එහි වැඩි වශයෙන් අලෙවියට තබා ඇත. අචලා සමරදිවාකර සිය මිතුරියක වන අමන්දා කීසෙල් සමග 2012 වසරේදී “ගුඩ් මාර්කට්” සංකල්පය ආරම්භ කළාය.
ග්‍රාමීය මට්ටමින් සිදු කෙරෙන බොහෝ නිෂ්පාදන ඒ ප්‍රදේශ ආසන්නයේ වෙළඳසැල් තුළ අලෙවි කෙරේ.
එම නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රමිති සහතික ලබා ගැනීමෙන්, ඇසුරුම්කරණය නිසි පරිදි කිරීමෙන් සහ සැපයුම් ජාලය ගොඩනගා දීම තුළින් එම ගොවීන්ගේ හා ග්‍රාමීය ව්‍යවසායකයන්ගේ අදායම් තත්වය ඉහළ නැංවිය හැකිය. “ගුඩ් මාර්කට්” හරහා නවක ව්‍යවසායකයන්ට එම මගපෙන්වීම සිදු කරයි.
ජාත්‍යන්තරයෙන් ලද ඇගයීම:
2013 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා පැමිණි බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හමුවන්නට “ගුඩ් මාර්කට්” කණ්ඩායම වෙනුවෙන් අචලාට අවස්ථාව උදා වුවාය.
“චාල්ස් කුමාරයා ලංකාවට ආපු වෙලාවේ මුලින්ම මුණගැසුණේ “ගුඩ් මාර්කට්” කණ්ඩායම. එතුමා කාබනික වගාවන්ට බොහෝ කැමති කෙනෙක්. අදටත් එතුමා සහ එතුමාගේ කණ්ඩායම සමග අපිට සම්බන්ධතා තියෙනවා,” යනුවෙන් ඇය පැවසුවාය.
2017 වසරේදී කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ප්‍රදානය කළ නැගී එන තරුණ ව්‍යවසායිකාවට හිමි සම්මානය ඇතුළු ජාතික මට්ටමේ සම්මාන රැසක් දිනාගෙන ඇති අචලා සමරදිවාකර ඇමරිකාව, ඉන්දියාව සහ තායිලන්ත ඇතුළු රටවල් ගණනාවක ඇගයීමට ලක්වුවාය.
2017 වසරේදී නැගී එන ව්‍යාපාරයට හිමි සම්මානය ද අචලා නායකත්වය දෙන “ගුඩ් මාර්කට්” වෙත හිමි විය.
ඇය මාතලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන අචලා එංගලන්තයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධිධාරිනියකි. ඇය මේ වන විට ආචාර්ය උපාධිය හදාරමින් සිටින්නීය.
දේශීය ව්‍යවසායකයන්ට මග පෙන්වන ජාත්‍යන්තරයේ ඇගයීමට ලක් වූ තරුණිය
සෙනසුරාදා පොළ
කොළඹ, තුරඟ තරග පිටියේදී සෙනසුරාදා දිනවල “ගුඩ් මාර්කට් පොළ” පැවැත්වේ. “ගුඩ් මාර්කට්” හා සම්බන්ධ වන නව ව්‍යවසායකයෝ පළමුව සිය නිෂ්පාදන එහි අලෙවි කරති. එවිට ඔහුන්ට තමන්ගේ නිෂ්පාදන සඳහා පාරිභෝගිකයන්ගේ රුචිඅරුචිකම් සෘජුවම හඳුනාගත හැකිය. පසුව නිසි ප්‍රමිතියට ඇති, තෝරාගත් නිෂ්පාදන සඳහා “ගුඩ් මාර්කට්” වෙළඳසැල තුළ ඉඩ වෙන්කෙරේ.
“මේ නිෂ්පාදනය අපිට ලැබෙන්නේ මොණරාගලින්. විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ එකතුවෙලා තමයි මවුපියන් හරහා අපිට මේවා එවන්නේ. ඒ වගේ දේවල් වලට අපි විශේෂ තැනක් දෙනවා,” යනුවෙන් වෙළඳසැල තුළ තිබූ රටකජු ආශ්‍රිත නිෂ්පාදනයක් පෙන්වමින් අචලා සමරදිවාකර කියා සිටියාය.
“ගුඩ් මාර්කට්” හරහා ආහාර සහ වෙනත් භාණ්ඩ මිලදී ගැනීමට කොළඹ ජීවත්වන බොහෝ විදේශිකයෝ පැමිණෙති.
“කාබනික ගොවියා සහ පාරිභෝගිකයා රකින්න වැඩපිළිවෙලක් නෑ”
දේශීය ව්‍යාපාර දිරි ගැන්වීම සඳහා රජය නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එහෙත් කාබනික වගාවන් ආශ්‍රිතව ආහාර නිෂ්පාදනය කරන ගොවීන් සහ ඒවා මිලදී ගන්නා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බව බීබීසී ය සමග කළ සංවාදයේදී අචලා මෙලෙස ප්‍රකාශ කළාය.
“දැන් මේ දවස්වල ලොකුම මාතෘකාව තමයි ව්‍යවසායකයෝ හදනවා කියන එක. ඒක හොඳයි. නමුත් තීන්දු ගන්න බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ ණයක් දුන්නහම වැඩේ හරි කියලා. නමුත් වෙළඳ පොළ අවශ්‍යතාවය මොනවද කියන එක සහ ඊට අවශ්‍ය දැනුම හා පුහුණුව නිසි පරිදි ගමේ ජනතාව දන්නේ නෑ.”
“අනිත් එක කාබනික ආහාර මිළදී ගන්නා පාරිභෝගිකයාට අයිතියක් තියෙනවා තමන් ගන්න ආහාර වලට ඇත්තටම පොහොර ගහලාද? නැද්ද? කියලා දැනගන්න. නමුත් අද වෙනතුරු අපිට දේශීය මාර්කට් එකට අවශ්‍ය කාබනික සහතිකකරණයට අදාළ නීති නෑ. කාබනික ලේබලයෙන් එන සියල්ල කාබනික නොවෙන්න පුළුවන්. කෝ ඒ ගැන හොයන්න අපිට නිවැරදි ක්‍රමවේදයක්,” යනුවෙන් ඇය සඳහන් කළාය.
ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ නීති සම්පාදනයට මැදිහත් වන්නැයි තමන් බළධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අචලා සමරදිවාකර බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයේදී වැඩිදුරටත් පැවසුවාය.
(ලීඩර් පුවත් ඇසුරිනි)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...