* හිඟුරාණ සීනි සමාගමට අත නොතබනු.. – දිගාමඩුලූ මහා සඟරුවන පවසති
* එදා පාන් ගෙඩියක් විකුණාගන්න බැරි වුණ හිඟුරාණෙ අද අපි වාහන විකුණනවා..
* අපි අද දෙයියනේ කියලා ජීවත් වෙන්නේ හිඟුරාණ සීනි කම්හල නිසා….
මීට දශක හයකට පෙර මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මැතිඳුන් ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කළේ අරමුණු රැසක් පෙරදැරි කර ගනිමිනි. සේනානායක සමුදුරේ දකුණු ඇළ මාර්ගයෙන් පිටවෙන නිල්වන් දිය දහර වැදි දිගාමඩුලූ සරු පසේ සාර සොබාවට වැඩෙනා උක් ගසින් සීනි හදන්නට එකල ආසියාවේ ලොකුම සීනි කම්හල ඇරඹුවේ රටටම සීනි සපයන්නටය.
ඇතැම් වෘත්තීය සමිතිවල කාලකන්නි නින්දා සහගත ක‍්‍රියාවන් සහ එකල රජයේ අදූරදර්ශී ක‍්‍රියාවන් හි ප‍්‍රතිඵලයක් ලෙස වසර ගණනාවක් වසා දමා මළකඩ කන යකඩ ගොඩක් බවට හිඟුරාණ සීනි කම්මල් යෝධයා පත්ව තිබුණි. එකල හිඟුරාණ ආර්ථිකය බිඳ වැටී ජනතාව නන්නත්තාරව යන්නට වූහ. එදා තුන් වේල වෙනුවට බොහෝ නිවෙස් වල ඉදුනේ එක් වේලකි. බොහෝ දෙනකු කුස ගින්දර නිවා ගන්නට ගස්ලබු ගෙඩියක් තම්බාගෙන හෝ පලා මිටක් තම්බාගෙන කන්නට වූහ. ඇතැමුන් රැකියා සොයා රට වටේ ගමන් කරන්නට වූහ. කරන්නට දෙයක් නැති කල ඇතැම් කතුන් දුප්පත්කම නිසාම ඇඟ විකුණන්නට ද වූහ.
එම දුක්ඛිත කාලය අවසන් කරමින් ගල්ඔය වැවිලි සමාගම නමින් හිඟුරාණ සීනි යෝධයා නැවතත් දිගාමඬුල්ලේ හදවත බවට පත්වී මුළු අම්පාර පෝෂණය කරමින් සිටිති.
එලෙස දුෂ්කර අවධියක් පසු කරමින් අද අතිසාර්ථක ආකාරයෙන් ලාභ ලබමින් ඉතා ශක්තිමත් වී සිටින යෝධයා නැවතත් බිමට ඇද දමන්නට ඇතැම් පිරිස් ක‍්‍රියා කරන බව සැලවීමත් දිගාමඩුල්ල මහ සඟරුවන ඇතුළු ජනතාව කලබලයට පත්වන්නට වූහ. ඒ අතීතයේ පාලකයන්ගේ සහ ඇතැම් වෘත්තීය සමිතිවල මෝඩ, තකතීරු අමන වැඩ නිසා සිදු වූ විනාශය දන්නා නිසාය. පසුගියදා හිඟුරාණ උත්තර ජයමහ විහාරස්ථානයට එක්වූ දිගාමඩුල්ලේ මහ සඟරුවන මාධ්‍ය සාකච්ඡා වක්ද පවත්වමින් දැඩිව අදහස් දක්වන්නට වූහ.
එහිදී අදහස් දැක්වූ උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරින්දිවල සෝමරතන නාහිමියෝ මෙලෙස පැවසූහ.
හිඟුරාණ පැක්ටේරිය, ගල්ඔය වැවිලි සමාගම, සීනි සංයුක්ත මණ්ඩලය ඔය හැම නම කිව්වත් කියවෙන්නේ හිඟුරාණ සීනි කම්හල ගැනයි. දහස් ගණනකගේ ජීවනෝපාය මාර්ගයක් බවට පත් වෙලා තිබිලා වසර ගණනාවක් වැහිල ගිහින් ජනතාව අසරණ වෙලා දිවි නසා ගන්නා තත්ත්වයට පත් වෙලා තිබ්බා. මහින්ද චින්තනය යටතේ ආරම්භ වෙලා අද වන විට ලාභ ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. මේ ලාභය ගොවීන්ට ලැබෙමින් තිබෙනවා. සේවකයන්ට ලැබෙමින් තිබෙනවා. ආයතන භාර කැබිනට් අමාත්‍යවරයා වන්නේ වෛද්‍ය රමේෂ් පතිරණ මහතා. එතුමා ප‍්‍රශ්නයකදී ඉතා හොඳින් බලන ඇමැතිවරයෙක්. නමුත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පසුගියදා කර තිබෙන සාවද්‍ය ප‍්‍රකාශය අපි දිගාමඩුල්ලේ මහා සංඝරත්නය විදිහට හෙළා දකිනවා. එතුමා මේ ස්ථානය නිරීක්ෂණය කළේ නැහැ. සොයා බැලූවේ නෑ. පළාතට ආවේ නෑ. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට විවිධ තනතුරු දීලා එවලා ඒ අයගේ සුඛ විහරණය පිළිබඳ කටයුතු කරන අය තමයි දැන් විවිධ දේ කරන්න හදන්නේ.
අපි ජනාධිපතිතුමාට කියනවා ගල්ඔය වැවිලි සමාගමේ වැඩ කඩාකප්පල් කරන්නේ දෙන්න එපා. සීනි සමාගම තමයි දිගාමඩුල්ල ආර්ථිකයේ කොඳු නාරටිය. ඒ නිසා එම ආයතනය ආරක්ෂා කිරීම සඳහා අපි හඬ නගනවා යැයි පූජ්‍ය සෝමරතන නාහිමියෝ පවසා සිටියහ.
එම මාධ්‍ය සාකච්ඡා වට අදහස් දැක්වූ මොරගහපල්ලම සුවිසුද්ධාරාමාධිපති පූජ්‍ය උහන ධම්මික හිමිපාණන් මෙසේ පැවසූහ.
වසා දමා තිබුණු හිඟුරාණ සීනි කම්හල නැවතත් ආරම්භ කරන්නට අතිවිශාල පරිත්‍යාගයන් කරන්න සිදුවුණා. මේ වෙද්දි පුරං වෙලා තිබුණ වගා බිම් වල උක් වගා කරනවා. මේ කර්මාන්තශලාව විටින් විට ඒ කාලේ වැහුන නිසා එහිදී ගොවීන් උක් වගා කරන්න අකැමැති වුණා. ඒ නිසා ගොවීන් දිරිමත් කරන්න සිදුවුණා.
2020 වසරේ ඉතිහාසයේ වැඩිම උක් ඇඹරීම ටොන් 3 16 000 ඇඹරුවා. සීනි මෙටි‍්‍රක් ටොන් විසි දහසට වැඩියෙන් නිපදවූවා. රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහත්තයා මේකටද පාඩු ලබනවා කියලා පවසන්නේ. ඒක සම්පූර්ණයෙන් බොරුවක්. අපි ජනාධිපතිතුමාට අවධාරණයෙන් කියනවා දිගාමඩුල්ලට පණ දෙන හිඟුරාණ සීනි කම්හල ඈවර කරලා විනාශ කරන්න ඉඩදෙන්න එපා කියලා. අපි කියනවා ජානක වක්කුඹුර ඇමැතිතුමාට එන්න අම්පාරට. ඇවිල්ල මේ ගැන සොයා බලන්න. ඔබ කියනවනම් පාඩු ලබන ආයතනයක් කියලා අපි සූදානම් පිළිතුරු දෙන්න. ආයතනයක් පවත්වාගෙන යන්න ණය ගන්නවා තමයි. ඇයි රජය පවත්වාගෙන යන්න ණය ගන්නේ නැද්ද? නමුත් මේ වෙද්දි ගල් ඔය වැවිලි සමාගම හෙවත් හිඟුරාණ සීනි කම්හල ලාභ ලබන මට්ටමට ඇවිල්ලා තිබෙනවා. පසුගිය වසරේ මිලියන 200කට අධික ලාභයක් ලබලා තියෙනවා. කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් ඉතා හොඳින් කටයුතු සිදුකරනවා. මෙගාවොට් 02 විදුලියක් නිපදවනවා. තව මෙගාවොට් 10 විදුලිය නිපදවන්න ව්‍යාපෘතියක් ආරම්භ කරලයි තියෙන්නෙ. ලංකාවේ විශාලතම කාබනික පොහොර නිපදවන්න හිඟුරාණේ සීනි කර්මාන්ත ශාලාවෙන්. පටු දේශපාලන අරමුණු වෙනුවෙන්, මුදල් වලට සහ වෙනයම් දේපළ අපේක්ෂාවෙන්, හිඟුරාණ සීනි කම්හල වසා දමන්න අපි කිසිසේත් ඉඩ තියන්නේ නෑ.
දිගාමඩුල්ලේ මහ සංඝරත්නය විදිහට අපි ඉතා වගකීමෙන් කියනවා හිඟුරාණ සීනි කම්හලට අත තියලා හිඟුරාණම විනාශ කරන්න එන්න එපා කියලා. පූජ්‍ය ධම්මික නාහිමියන් පවසා සිටියහ.
මාධ්‍ය සාකච්ඡා වට භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් සහභාගි වූ අතර හිඟුරාණ උත්තර ජයමහ විහාරස්ථානයේ විහාරාධිපති හිඟුරාණේ සිරිධම්ම හිමියන් ද මෙසේ අදහස් දැක්වූහ.
කන්තලේ සීනි කම්හල වැහිලා දිරාගිය යකඩ ගොඩක් බවට පත් වෙලයි තියෙන්නේ. මීට වසර දහයකට කලින් හිඟුරාන සීනි කම්හල තිබ්බේත් ඒ විදියට. මහා වනාන්තරයක් වගේ. එල්. ඕ. එල් සී. ආයතනය සහ බ‍්‍රවුන්ස් සමාගම හා එක්ව ඉෂාර නානායක්කාර මහතාගේ මූලිකත්වයෙන් රජයත් සමග එක්ව ගල්ඔය වැවිලි සමාගම නමින් ආරම්භ වුණ හිඟුරාණ සීනි සමාගම අද සිය ඉලක්කයන් සපුරා ගෙන යමින් තිබෙනවා.
අද සේවකයන්ට, ගොවියන්ට ප‍්‍රදේශයේ ජනතාවට සහ මුළු දිගාමඩුල්ලටම විශාලම ශක්තිය හිඟුරාණ සීනි සමාගම හෙවත් ගල්ඔය වැවිලි සමාගමයි. රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා කියනවා එය ඈවර කරනවා කියලා. එහෙම කරන්න වෙන්නේ අපේ මිනී කඳු උඩින් තමයි. මහින්ද චින්තන වැඩසටහන යටතේ පුද්ගලික ආයතනය මගින් මෙය ආරම්භ කළේ නැත්තං තවමත් මළකඩ කාල දිරන යකඩ ගොඩක්.
ජනාධිපති තුමාගේ සංකල්පය තමයි දේශීය කර්මාන්ත නගා සිටුවන එක. රටින් ගේන දේ නතර කරන්න යන එක. ඒ නිසා සීනි සහ එම කර්මාන්තය හා සම්බන්ධ අතුරු නිෂ්පාදන වලට හොඳ ඉල්ලූමක් ඇතිවෙලා තිබෙනවා. එවන් තත්ත්වයක් යටතේ මේ ආකාරයෙන් හිඟුරාණ සීනි කම්හල කඩාකප්පල්කාරී ආකාරයෙන් කඩා බිඳ දාන්න දෙනවා නම් ඉතා පිළිකුල් සහගතව හෙළා දකිනවා.
අදාළ ඇමැතිවරයා අම්පාරට ආවද? දිගාමඩුල්ලේ මහා සංඝරත්නයෙන් ඇහුවද?
කන්තලේ සීනි සමාගම අරින්න. බොහොම අමාරුවෙන් පටන් ගත්ත, ලාභ ලබන ආයතන විනාශ කරන්න හදන්න එපා. අපි එයට විරුද්ධයි. දිගාමඩුලූ ජනතාව වෙනුවෙන් අපේ සහාය මේ ආයතනයට ලබා දෙනවා. අඩුපාඩුවක් තිබෙනවා නම් අපි මහා සංඝරත්නය විදිහට පෙන්නල දීල විසඳනවා. මේ ගැන දැනගන්න ඕනිනම් දිසානායක ඇමැතිතුමා ඉන්නේ අම්පාරේ. ජානක ඇමැති තුමාට අහන්න පුළුවන් ඔහුගෙන් යනුවෙන් සිරිධම්ම හිමියෝ එම අවස්ථාවේදී පවසා සිටියහ.
මෙම අවස්ථාවට දිගාමඩුල්ල මිටියාවතේ මහ සඟරුවන විශාල පිරිසක් සහභාගිව සිටි අතර දීඝවාපිය පරිවාර දාගැබේ විහාරාධිපති පූජ්‍ය පෝද්දිවල චන්දානන්ද නාහිමියන්, ඇතිමලේ ආනන්ද නාහිමියන්, සහ ගල්මඩුව පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති හෑගොඩ විමලඥාන නාහිමියන් ඇතුළු මහා සඟරුවන එම අවස්ථාවේදී අදහස් දක්වන්නට වූහ.
දිගාමඩුල්ලේ මහ සඟරුවන එලෙස අදහස් දක්වද්දී අප එම අවට ජනතාව සොයා ගිය විට උක් ගසින් දිවි සරුකර ගත් බොහෝ දෙනකු හමු වූහ.
ඒ අතරින් කිහිපදෙනෙක් පමණක් සීනි ආයතනය වසා දැමීමේ සිහිනයේ සිටිනු බව පෙනුණි. ඇතැමුන් සීනි සමාගම වසා දමන්නට තම ජීවිතය මෙන් සැලකූ දේශපාලන පක්ෂ පවා අතහැර වෙනත් දේශපාලන පක්ෂ එක්ව සිටියහ. සමහරු අක්කර 10, 15 උක් වගා කරමින් ලක්ෂ ගණනින් මුදල් උපයා ප‍්‍රතිලාභ ලබා ගන්නා අතර ආයතනය අල්ලේ නටවන්නට නොහැකි වූ විට උරණව ආයතනයෙන් පලි ගන්නට ලේ මාපිළුන් මෙන් කටයුතු කරන බවත් සමහරුන් උක් ගසක පිපෙන මලක් අල්ලාගෙන මේ ආයතනයෙන් වට්ටන්නට සැරසෙන බවත් හිඟුරාණේ ජනතාව කීහ.
උක්ගසින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගත් මුවංගල ග‍්‍රාම අංක 3 ඒ/.01පදිංචි පි. කේ. සුමතිපාල මහතා මෙසේ පැවසුවේය.
මම උක් අක්කර දෙකහමාරක් වගා කරනවා. හිඟුරාණ උක් සමාගම වහල තිබ්බ කාලයේ අපි අන්ත අසරණ වුණා. පුදුම දුකක් වින්දේ. මිනිසුන්ට කුලී වැඩක්වත් කරන්න නැති වුණා. උක් වගා බිම්වල වී වගා කරාට ජන ජීවිතයේ වාසියක් වුණේ නෑ. ඒ යුගය මතක් කරන්න අපි අකැමැතියි. එතරම් දුක්ඛිතයි. නමුත් ගල්ඔය වැවිලි සමාගම නැවතත් පටන් ගත්තට පස්සේ අපේ ජීවිත සරු වුණා. මගේ වගාව බීජවලට කපලා මම රුපියල් පන්ලක්ෂ හැට පන්දාහක් ලාභ ලැබුවා. ඒ අවුරුද්දේම උක්
වගාවෙන් තුන් ලක්ෂ විසි දෙදහක ලාභයක් ලැබුවා. එක අවුරුද්දක් තුළ ලක්ෂ නවයකට ආසන්න ලාභයක් ලබන්න මට හැකි වුණා. සමහරු කියනවා එක පාරක් වගා කරාට පස්සේ ඉස්සර වගේ නෙවෙයි අලූතින් ආයේ උක් ගස් සිටුවන්න ඕන කියලා කියනවා. මම මේ පාර අස්වැන්න නෙළන්නේ නම වෙනි කන්නේ. ටොන් 100 අස්වැන්නක් මම බලාපොරොත්තු වෙනවා. සීනි කම්හල නිසා අපේ ජීවිත සුන්දර වුණා යැයි සුමතිපාල මහතා පවසා සිටියේය.
හිඟුරාණ සණස බැංකුවේ කළමනාකරු නිශාන්ත පුෂ්පකුමාර මහතා මෙසේ පැවැසුවේය.
මම 2011 වෙනකන් හිඟුරාණේ සේවය කළා. එදා ලොකු දියුණුවක් තිබුණේ නැහැ. ආයේ මම ආවේ හිඟුරාණට 2020දි. ඒ එනකොට නගරය ලොකු වෙනසක් දියුණුවක් තිබෙනවා.
විශාල මුදලක් සැරිසරනවා. උක්දඬු ප‍්‍රවහනය කරලා රුපියල් ලක්ෂ 20ට වැඩි ආදායමක් ගන්න අය ඉන්නවා. අප බැංකු සමග මේ වෙද්දි සීනි ආයතන නිසා මුදල් තැන්පත් කරන ප‍්‍රමාණය සහ විවිධ ආකාරයේ ණය ගැනීම්, වාහන වැනි දේවල් සඳහා ණය ගැනීම් වැඩි වෙලා තිබෙනවා. හොඳ දියුණු තත්ත්වයකට හිඟුරාණ ඇවිල්ලා. තව වසර කිහිපයක් යද්දී මේ තත්ත්වය තවත් හොඳ වෙනවා. හිඟුරාණ සීනි ආයතනය කියන්නේ මේ ප‍්‍රදේශයේ හදවත යැයි නිශාන්ත මහතා පවසා සිටියේය.
හිඟුරාණේ ව්‍යාපාරිකයෙකු වන නාලක නානායක්කාර මහතා ද මෙසේ අදහස් දැක්වූවේය.
අපේ දෙමාපියන් දශක කීපයක් හිඟුරාණ නගරයේ ව්‍යාපාර කරගෙන ගියා. නමුත් සීනි සමාගම වසාදැමීමට පස්සේ ව්‍යාපාර නතර වුණා. ආයෙ හිඟුරාණ සීනි සමාගම ගල්ඔය වැවිලි සමාගම නමින් ආරම්භ වුණාට පස්සේ තමයි අපි ආයේ ව්‍යාපාර පටන් ගත්තේ. ඉස්සෙල්ලා පාන් ගෙඩියක් විකුණගන්න බැරි වුණ හිඟුරානෙ දැන් අපි වාහන විකුණනවා. හිඟුරාණ සීනි ආයතනය නිසා ජනතාව අතරේ මුදල් සංසරණය වැඩි වෙලා. ඇත්තටම කීප දෙනෙක් මේ ආතනය වට්ටන්නට විවිධ දේ කිව්වත් මේ සීනි ආයතනය නිසයි සියලූ දෙනා ජීවත් වෙන්නේ. කලින් සීනි ආයතනය තියෙන කාලෙ අධ්‍යාපනය පවා ඉහළින් තිබ්බා. හැබැයි සීනි ආයතනය නොමැති කාලේ හිඟුරාණ ආර්ථිකය පමණක් නෙමේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ද බිඳවැටුණා. මේ වෙද්දි ආර්ථිකය සමගින් මෙම ප‍්‍රදේශයේම පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටමද ඉහළ යමින් තිබෙනවා. මෙහි සේවක පිරිස් පමණක් නොව ජනතාවත් සීනි ආයතනය නිසා වාහන අරගෙන හොඳ ආර්ථික මට්ටමක් කරා ගමන් කරමින් සිටිනවා. අපි අද එලෙසින් සිටින්නේ සීනි ආයතනය නිසා. ගල්ඔය වැවිලි සමාගම මේ ප‍්‍රදේශය විශාල සමාජ සේවා රැසක් සිදු කරනවා. මොනම හේතුවක් නිසාවත් ගල්ඔය වැවිලි සමාගම විනාශ කරන්න අපි ඉඩ තියන්නේ නෑ යනුවෙන් නාලක නානායක්කාර මහතා පවසා සිටියේය.
උක්ගස් ප‍්‍රවාහනය කරමින් ආර්ථිකය ශක්තිමත් කර ගත් ග‍්‍රාම අංක 3 මුවංගල පදිංචිය ආර්. බි.චාමර පුෂ්ප කුමාර මහතා මෙසේ කීවේය.
මම පසුගිය අවුරුද්දේ සීනි සමාගමට උක්දඬු ප‍්‍රවාහනය කරලා රුපියල් ලක්ෂ 14 ක ආදායමක් ලැබුවා. මම අක්කර පහක් වගාකරා. එකෙනුත් මම ලක්ෂ 06 ආදායමක් ගත්තා. ගිය වසරේ මම හොඳ ආර්ථික ශක්තියක් ඇති කර ගත්තා. දැන් මට ට‍්‍රැක්ටරයක් තිබෙනවා. ඒ නිසා ගිය වසරේ වගේ මේ අවුරුද්දෙත් හොඳ ආදායමක් ගන්න පුළුවන් කියලා මට විශ්වාසයි. මා විතරක් නෙවෙයි මේ වෙද්දි මෙම ප‍්‍රදේශයේ සිය දහස් ගණන් ජනයා ලක්ෂ ගණනින් මුදල් උපයනවා. වක‍්‍ර රැකියා 20,000 කට ආසන්න ප‍්‍රමාණයක් ලැබිලා තියෙනවා. සීනි ආයතනය නැතිව අන්ත දුක්විඳ ජනතාව නැවතත් සෙමින් සෙමින් ආර්ථිකය ශක්තිමත් කරගෙන ගෙයක් දොරක් හදාගෙන යාන වාහනයක් අරගෙන දියුණු වෙමින් සිටිනවා. මේ සියල්ල ලැබෙන්නේ සීනි ආයතනය නිසා යැයි චාමර මහතා පවසා සිටියේය.
හිඟුරාණ ප‍්‍රදේශය පුරා අපට අසන්නට ලැබුණේ අනාගතය පිළිබඳ සුබවාදී ආකල්පයකි. සීනි සමාගම වසා දැමූ සමයේ කුස ගින්දර නිවා ගන්නට දුක් විඳි ජනතාවක් අද දෙයියනේ කියා වේල් තුන කුස පුරවා ගනිමින් සිටිති. වසරක් පුරා කුලියක් මලියක් කරන්නට ඔවුනට හැකියාව ලැබී තිබේ. එනිසා වෙනදා මෙන් නොව නිතර දෙවේලේ හිඟුරාණ මිනිසුන්ගේ අත තුළ මුදල් ගැවෙසෙමින් තිබේ.
හිඟුරාණ සීනි කම්හල වැහුන කාලයේ අම්පාරේම ආර්ථිකය කඩන් වැටුණා. ගල්ඔය වැවිලි සමාගමට පින්සිද්ද වෙන්නට ආයෙ ආර්ථිකය ටික ටික හරියාගෙන එනවා. ආයේ සීනි සමාගම වහන්න දෙන්නේ නැහැ. ඒ දිගාමඩුල්ල ජනතාවගේ හඬයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...