පුරවැසි කොලම

පේරාදෙණිය සරසවිය නිර්මාණය කිරීමේදී ජෙනිංග්ස් සහ ඇබකොම්බි යන දෙපළගේම අරමුණ ස්වභාවිකත්වය සහ දේශීයත්වය මුසුවූ නව විශ්වවිද්‍යාල නගරයක් නිර්මාණය කිරීම විය. එබැවින් ඒ සඳහා සුදුසුම දේශීය වාස්තු විද්‍යාඥයා ලෙස ඔවුන් සැලකූ ෂර්ලි ද අල්විස්, ඇබකොම්බී විසින් සම්බන්ධ කරගන්නා ලද අතර එහි නිවැරදිතාව අල්විස් මහතා විසින් පේරාදෙණියේ ෂර්ලි ද අල්විස් සලකුණ තබමින් තහවුරු කර ඇත.

මෙම සරසවි නගරය නිර්මාණය කිරීමේදී සර් පැටි‍්‍රක් ඇබකොම්බි ඇතුළු කණ්ඩායම ”ගෝල්ඩන් රූල්ස්ට් හෙවත් ”ස්වර්ණමය නීති” කිහිපයක් පිළිබඳ බරපතළ සැලකිල්ලක් දක්වන ලදි. ඒවා නම්

1 නිම්න භූමියේ ස්වභාවික පිහිටීම හැකිතාක් නොවෙනස්ව පවත්වා ගැනීම.

2 ගොඩනැගිලි පද්ධති අතර පැතිරුණ හරිත කලාප උපරිම වශයෙන් නිදහස්ව පවත්වා ගැනීම.

3 ගොඩනැගිලි තුළට ස්වභාවික වාතය හා හිරු එළිය නොඅඩුව ලැබෙන සේ සැලසුම් කිරීම.

4 විදුලි, ජලනළ, පල්දෝරු හා වැසිජලය බැහැර කෙරෙන නළ පද්ධති පිටතට නොපෙනෙන සේ භූගතව ස්ථානගත කිරීම.

5 දේශීයත්වය පිළිබිඹු වන ලෙස ගොඩනැගිලි පද්ධතිය ඉදිකිරීම.

6 තෝරාගත් වෘක්‍ෂලතා, පහන් කණු සහ සීමිත දැන්වීම් පුවරු පමණක් භූමියේ පවත්වා ගැනීම.

ඒ අනුව ඉදිකරන ලද ප‍්‍රධාන ගොඩනැගිලි සංකීර්ණය වන සනාථන මන්දිරය, පුස්තකාලය, ශාස්ත‍්‍ර පීඨය සහ කලාගාරය ඇතුළත් ගොඩනැගිලි සංකීර්ණය ඓතිහාසිකව වැදගත් යුග කිහිපයක ගෘහ නිර්මාණ ශිල්පයේ විකාශනය පිළිඹිඹු කරන්නක් වන අතර ලෝවාමහාපාය ගුරුකොටගත් ගල්කණු මත ඉදිකරන ලද සනාථන මන්දිරයේ අනුරාධපුර යුගයේ ශිල්පීය ලක්‍ෂණද, පුස්තකාල ගොඩනැගිල්ල සහිත කොටසේ පොලොන්නරු යුගයට අයත් ශිල්පීය ලක්‍ෂණද, ශාස්ත‍්‍රපීඨ ගොඩනැගිලි කොටසේ යාපහුව යුගයට අයත් ශිල්පීය ලක්‍ෂණද අන්තර්ගත කර ඇති අතර කලාගාරය ඇතුළත් පරිශ‍්‍රයේ මහනුවර සහ ගම්පොල යුගයන්ට අයත් ශිල්පීය ලක්‍ෂණ අන්තර්ගත කර තිබේ.

මෙම ගොඩනැගිලි සංකීර්ණයන්ට කෘතීම වායුසමීකරණයන් අවශ්‍ය නොවන අතර එක් පසෙකින් ඇතුල්වී අනෙක් පසින් පිටවන ස්වභාවික වාතය මගින් සිසිලස සදයි. රාතී‍්‍ර කාලයට හැරුණුකොට දහවලට විදුලි ලාම්පු අත්‍යවශ්‍ය නොවන්නේ හොඳින් සූර්යාලෝකය ලැබෙන බැවිනි. විදුලි, ජලනළ, පල්දෝරු හා වැසිජලය බැහැර කෙරෙන නළ පද්ධති කිසිවක් පිටතට නොපෙනෙන අතර ඒවා භූගතව ස්ථානගත කර ඇති බව විමසිල්ලෙන් බලන විට පෙනී යයි. ගොඩනැගිලි සංකීර්ණ අතරින් පැතිරුණු හරිත කලාප නෙතට ප‍්‍රියජනක දසුන් කැන්දන අතර අධ්‍යයන කටයුතුවලට හිතකර ප‍්‍රසන්න පරිසරයක් නිර්මාණය කරයි.

කලාගාරය මෙම මෙම ගොඩනැගිලි පද්ධතියේ ඇති අගනා සංස්කෘතික උරුමයකි. එය තුළට පිවිසීම සඳහා ඉදිරිපස දැවමය දොරටු පහක් පිහිටුවා ඇත. ඓතිහාසික ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් ආභාෂයෙන් දැවැන්ත දැව කඳන් මත එකිනෙකට වෙනස් ලී කැටයම් අට වර්ගයක් ස්ථාන 40 ක කැටයම් කර ඇති අතර දේශීය දැව කැටයම් කරුවාගේ නිර්මාණශීලීත්වයත් සුහුරු බවත් කැටිකළ මෙම නිර්මාණ ඇම්බැක්කේ කැටයම්වලට නොදෙවෙනි ලෙසින් සුරැකිය යුතු ඒවා වන බව එය සැලකිල්ලෙන් නැරඹීමේදී හදවතට දැනේ. මීට අමතරව දොරවල් දෙපසට වන්නට ඉදිකර ඇති ගල්කණුවල එකිනෙකට වෙනස් ගල් කැටයම් 24 ක් දක්නට ඇති අතර අපගේ ප්‍රෞඪ ඉතිහාසය සහ උරුමයන් ඉන් සිහියට නගයි.

මෙවැනි ඓතිහාසික සංස්කෘතික උරුමයන් සහිත ස්ථාන රට පුරා බොහෝ ස්ථානවල පිහිටා ඇති නමුත් ඉන් බොහොමයක් ආගමික සිද්ධස්ථාන හෝ පුරාවිද්‍යා ස්මාරක වශයෙන් සැලකෙන ඒවා වේ. විශේෂිත කාරණය නම් අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන සහ අදටත් සජීවීව දස දහස් ගණනකගේ පරිහරණයට ලක්වන ස්ථානයක මෙතරම් සංස්කෘතික උරුමයන් ප‍්‍රමාණයක් මෙතෙක් කලක් සුරැකී තිබීමයි. එය අප දන්නා තරමින් රට තුළ ඇති එවැනි එකම ස්ථානය වන අතර ඇතැම් විට ලෝකයේම ඇති ඒ වර්ගයේ එකම ස්ථානය වීමටද ඉඩ ඇත.

වසර 60 කට වඩා පැරණි මෙම විසල් ගොඩනැගිලි පද්ධතිය නිසි අවධානයකින් හා දැනුවත් භාවයකින් නඩත්තු නොකළ බැවින් නඩත්තු කම්කරුවන් හා කාර්මික ශිල්පීන් අතින් ගොඩනැගිලි වලට සුළු හානි සිදුව තිබුණ නමුත් සමස්ත පද්ධතියට හානි කිරීම් හා නොගැළපෙන අංග එක් කිරීම් පසුගිය දශක කිහිපය පුරාම බරපතළ ලෙස සිදුව තිබුණේ නැත. මෑත කාලයේ පාලක සභාවේ සිටි වාස්තු විද්‍යාඥයෙකුද නොවන සැලසුම් සටහන් කරුවෙකු පමණක් බව කියැවෙන පුද්ගලයෙකු ඔහුට වාසිදායක යම් යම් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කළද ඒවා සාර්ථක වූයේ නැත.

අවාසනාවට 2015 දේශපාලන බල පෙරළියෙන් අනතුරුව පේරාදෙණිය උපකුලපති පුටුවට පැනගත් දන්ත වෛද්‍යවරයෙක් තමන් සියලූ විෂය ක්‍ෂේත‍්‍රයන්හි කෙළ පැමිණියෙකු යැයි සිතමින් වළං කඬේට පැන්නා වූ වෘෂභයා මෙන් හැසිරෙමින් අද පවතින කනගාටුදායක තත්ත්වයට පේරාදෙණිය විශ්වවිද්‍යාලය පත් කරන ලදි. මෙය දන්ත වෛද්‍යවරුන්ට ආවේණික රෝගයක්දැයි අපට සැක සිතෙන්නේ වෙනත් දේශපාලන කරුණු සම්බන්ධයෙන්ද සලකා බලන විටදීය.

මෙම වැදගත් පරිසර හා ගොඩනැගිලි පද්ධතිය සම්බන්ධ විධිමත් ගවේෂණයක් කිසිවකු විසින් මෙතෙක් සිදුකර නොමැති වුවත් සර් අයිවර් ජෙනිංග්ස්ගේ සිට 2015 වසර වන තෙක් සිටි බොහෝ ගණනක් වන උපකුලපතිවරුන් මහාචාර්ය ලෙස්ලි පැටි‍්‍රක් ඇබකොම්බි විසින් නිර්මාණය කරන ලද මූලික සැලසුම කිසිදු විටෙක උල්ලංඝනය කිරීමට කටයුතු කළේ නැත. එහෙත් ඇබකොම්බි නම් කවර දුහුනෙක්ද? නගර නිර්මාණයේ කෙල පැමිණියහු නම් මම වෙමියි සිතමින් මෙම උපකුලපතිවරයා පේරාදෙණිය සරසවියේ මූලික සැලසුම සහ ජෙනිංග්ස් සහ ඇබකොම්බි වැනි ප‍්‍රාමාණිකයන් ගුරුකොටගත් ස්වර්ණමය නීතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින් තමන්ට වාසි සැලසෙන පරිදි සිතූ සිතූ තැන්වල පේරාදෙණි වාස්තු විද්‍යා සම්ප‍්‍රදායන්ට පටහැනි ලෙස ගොඩනැගිලි ඉදිකිරීමටත්, වටිනා කැටයම් සහිත පැරණි ගොඩනැගිලි කඩා නව කොටස් ඈඳීමටත් කටයුතු කරමින් සිටින අතර මෙම හිතුවක්කාර සහ අමන ක‍්‍රියාවන් මගින් නැවත පිළිසකර කළ නොහැකි හානියක් මෙම ගොඩනැගිලි සහ පරිසර පද්ධතියට සිදුවෙමින් පවතී. ඒ අතර ප‍්‍රධාන පුස්තකාල ගොඩනැගිල්ල අසල තිබූ නිදහස් හරිත කලාපය වනසා දමමින් නව තට්ටු ගොඩනැගිල්ලක් ඉදිකිරීම සහ විද්‍යාපීඨ ගොඩනැගිලි සංකීර්ණයේ ඓතිහාසික අගයකින් යුතු කැටයම් සහිත කොටස් කඩා දමමින් නව ගොඩනැගිලි කොටසක් ඉදිකිරීම ආදිය කැපී පෙනේ.

මේ අතර අවස්ථාව ලැබෙන තෙක් බලා සිටි පෙරකී පාලක සභා සාමාජිකයා කල් යල් බලා උපකුලපතිවරයා සමග පෑහීමට කටයුතු කර නැවත යහපාලනය යටතේත් පාලක සභාව වෙත පත්වීම ලබා ගනී. ඉන් අනතුරුව එළඹෙන්නේ නූතන කාලිංඝ මාඝ දෙපලගේ ජාතික ධනය කොල්ලකෑමේ අදියරයි. (කි‍්‍ර.ව.1215 දී සිදුවූ කාලිංඝ-මාඝ ආක‍්‍රමණය අන් දකුණු ඉන්දීය ආක‍්‍රමණයන්ට වඩා වෙනස් වන්නේ ඔවුන් ධනය කොල්ලකෑමට අමතරව සිංහල බෞද්ධ සංස්කෘතිය සහ හර පද්ධතිය විනාශ කිරීමටද සැලසුම් සහගතව කටයුතු කළ හෙයිනි. ධනය කොල්ලකෑම පසුව පියවා ගැනීමට හෝ පාඩුව දරා ගැනීමට හැකි කාරණයක් වන නමුත් සංස්කෘතිය සහ හර පද්ධතිය විනාශ කිරීම කිසි කලෙක නැවත පියවිය නොහැකි හානියක් ඇති කරනු ඇත.)

මොවුන් දෙදෙනා එක්ව මිලියන සිය ගණන් වටිනා දැවැන්ත ගොඩනැගිලි වලින් සරසවි හිස් අවකාශය පුරවන්නේ ගොඩනැගිලිවල භාවිතයේ අත්‍යවශ්‍යතාව සලකා නොව එමගින් තමන්ට හිමිවන කොටස පිළිබඳ කෑදරකමෙන් යුතුව පමණක් බවට පැහැදිලිවන අවස්ථාවන් ගණන බෙහෝය. නීතියට පටහැනි මෙන්ම කිසිසේත්ම සදාචාරවත් නොවන මෙම ක‍්‍රියාදාමය සිදුවන්නේ මෙසේය. පාලක සභා සාමාජිකයන් පාලක සභා රැස්වීම් වලදී ප‍්‍රතිපත්ති සම්පාදන හා තීරණ ගැනීමේ කටයුතුවල නිරතවීම සාමාන්‍ය සම්ප‍්‍රදාය වන අතර ඔවුන් දෛනික පරිපාලන කටයුතු සඳහා සහභාගි වන්නේ නැත. එවන් කටයුතු වලට ක‍්‍රියාකාරීව සහභාගි වීමේ රාජකාරී බලයක්ද ඔවුන් සතු නොවේ. එහෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභා සාමාජිකයෙකු වන ගාමිණී දිසානායක නමැති අය විශ්වවිද්‍යාලය තුළ ක‍්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සම්බන්ධ තීරණ ගැනෙන ඉහළ මට්ටමේ කමිටුවක් වන එල්. බී. එම්. සී. කමිටුවට ආරාධිතයෙකු ලෙස නිතිපතා සහභාගි වේ. තාක්‍ෂණ ඇගැයීම් කමිටුවලටද නිරීක්‍ෂකයෙකු ලෙස සහභාගි වන අතර කොන්ත‍්‍රාත් ප‍්‍රදානය කිරීමට පෙර පවත්වනු ලබන මූලික රැස්වීම්වලටද සහභාගි වෙමින් කොන්ත‍්‍රාත්කරුවන් වෙත සැලසුම් ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්ද ලබාදේ. විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඒ සියල්ල කරන අතර ඔහු වෙනත් අතරමැදි සමාගමක් හරහා එම ව්‍යාපෘති සඳහාම ටෙන්ඩරයක්ද ඉදිරිපත් කරයි. මෙය බැලූ බැල්මට නීති විරෝධී, පිළිකුල් සහගත සහ සදාචාරවත් නොවන බැඳුම්කර වංචාව පන්නයේ ගැහිල්ලක් බව සිහිබුද්ධිය ඇති ඕනෑම අයෙකුට පැහැදිලි වේ.

උපකුලපතිවරයාගේ ආශීර්වාදය සහිතව සිදුවන මෙම අපකීර්තිමත් ක‍්‍රියාවලියට ආවරණයක් ලබා ගැනීම පිණිස ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට පටහැනි ලෙස තාක්‍ෂණ ඇගැයීම් කමිටු පත් කිරීමට සහ කැඳවීමට උපකුලපතිවරයා කටයුතු කිරීම මගින් මෙම වංචා සහගත ක‍්‍රියාවලියේ ඔහුගේ දායකත්වය පැහැදිලි කරයි. මොවුන් දෙදෙනා මෙම පහත් ක‍්‍රියාවලිය සඳහා ආවරණය ලබා ගැනීමටත් තමන්ට අවනත නොවන පුද්ගලයන්ට පහර දීමටත් සෑම විටම පාලක සභාව සහ එහි ගරු කටයුතු සාමාජිකයන් අවභාවිත කරන බවද අප මතක තබා ගත යුතුය.

විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන පුස්තකාලයට යාබදව ඉදිකිරීමට යෝජනා කළ සත්මහල් ගොඩනැගිල්ල එම ස්ථානයේ ඉදිකිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනකු විරුද්ධ වුවද උපකුලපතිවරයාගේ බලවත් වුවමනාව මත එය එම ස්ථානයේම ඉදිකිරීමට කටයුතු කරන ලදි. එකී ව්‍යාපෘතිය සඳහා සෙන්ට‍්‍රල් ඉංජිනියරින් සර්විසස් නමැති පෞද්ගලික සමාගම ටෙන්ඩරයක් ඉදිරිපත් කර තිබූ අතර එම සමාගමේ උපදේශකයෙකු වන්නේ විශ්වවිද්‍යාලයීය පාලක සභාවේ සාමාජික ගාමිණී දිසානායක නමැති අයයි. අදාළ සමාගම වෙනුවෙන් වාස්තු විද්‍යා සැලසුම් ඉදිරිපත් කර ඇත්තේද ඔහු විසිනි. ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුව මෙන්ම රටේ පොදු නීතිය අනුවත් ගාමිණී දිසානායක මහතාගේ මෙම ක‍්‍රියාව ”සම්බන්ධතා අතර ගැටුම් ඇති කරන්නක්” වන බව නූතන කාලිංඝ මාඝ දෙපල නොදන්නවාට රටේ බොහෝ පිරිසක් දනී.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රාග්ධන ව්‍යාපෘති සඳහා තෝරාගත් කොන්ත‍්‍රාත්කරුවන්ට ටෙන්ඩරය ප‍්‍රදානය කරන්නේද බලවත් සැක සංකා ජනිත කරවන ආකාරයෙනි. කිසිදු රාජ්‍ය ආයතනයක දැකිය නොහැකි ලෙස කොන්ත‍්‍රාත්කරුවා උපකුලපතිවරයාගේ කාර්යාලයට පෞද්ගලිකව කැඳවා උපකුලපතිවරයා අතින් එය ලබා දීමෙන් හඟවන්නේ දිය යුත්තක් වේ නම් එය තමන්ට දෙන ලෙස නොවේද?

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී තනතුරට අභිනවයෙන් පත්වූ සමන් රාජපක්‍ෂ අදාළ තනතුරට පත්ව දෙමසක් ගතවීමටත් පෙර 2020-12-22 දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩ දෙපාර්තමේන්තුවේ සේවකයන් අට දෙනකු පේරාදෙණිය ”ටිවර්ටන් වත්ත’’ ප‍්‍රදේශයේ පිහිටා ඇති තම පෞද්ගලික නිවසේ සේවය සඳහා යොදවා තිබියදී රජයේ විගණන අංශ නිලධාරීන් විසින් හසුකරගෙන ඇති අතර විගණන නිලධාරීන් එම නිවස පිහිටි ස්ථානයට යන විටත් සේවකයන් පිරිස එම පෞද්ගලික නිවසේ වැඩෙහි යෙදෙමින් සිට ඇත. මෙම පිරිස අතර සිටි සේවකයන් තිදෙනකු විශ්වවිද්‍යාලයේ සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව රාජකාරී වේලාවේදී මෙම කටයුත්තෙහි නිරතව ඇති බව හෙළිදරව් වී තිබේ. මේ සම්බන්ධයෙන් 2020 දෙසැම්බර් 29 වන අඟහරුවාදා දින දිවයින ඇතුළු ප‍්‍රමුඛ පෙළේ ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කර තිබිණි.

මෙම කටයුත්ත රජයේ දේපළ අයථා පරිහරණයක් ලෙස සැලකිය හැකි අතර අතර රාජකාරී බලය අයුතු ලෙස යොදා ගැනීමක්ද වේ. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර පරීක්‍ෂණයක් ආරම්භ කළ යුතු වුවත් මේ වන තෙක් එවැනි කිසිදු පියවරක් ගෙන නැත. ඒ වෙනුවට පරීක්‍ෂණ යටපත් කර අදාළ නිලධාරියා බේරා ගැනීමේ වෑයමක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. පරීක්‍ෂණ කටයුතුවලට බලපෑම් කරමින් අදාළ නිලධාරියා තවමත් ලේඛකාධිකාරී තනතුරේ කටයුතු කරන අතර ඒ හේතුවෙන් සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල වන බව දැනගන්නට ඇත. සිදුවීමට අදාළ සාක්‍ෂි වෙනස් කිරීමේ සහ වසං කිරීමේ උත්සාහයන් පිළිබඳවද දැනගන්නට ලැබේ.

උපකුලපතිවරයාගේ මෙම අවකල් ක‍්‍රියාවන් නිසාවෙන් විනාශ වී ගොස් ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි පද්ධතිය පරිසරය හා සංස්කෘතික වටිනාකම් පමණක් නොවේ. ඔහු තම වාසිය තකා ආචාර්යවරු සිසුන් සහ අනධ්‍යයන සේවකයන් අතර භේදයන් ඇති කර ගැටුම් අවුලවයි. වෘත්තීය සමිති ක‍්‍රියාකාරීන් විවිධ වරදාන හා වරප‍්‍රසාද මගින් තම අතවැසියන් කරගෙන විශ්වවිද්‍යාලයේ පරිපාලනය සහ සේවකයන් අතර තිබිය යුතු බල තුලනය බිඳ දමයි. සාමකාමී අධ්‍යයන වටපිටාව බිඳ දමමින් සියල්ල දේශපාලනීකරණය කරමින් පිළිකුල් සහගත තත්ත්වයකට ඇද දමයි. තමනට නතු නොවන ආචාර්යවරුන් සහ සේවකයන්ගෙන් තිරස්චීන ලෙස පළි ගනියි. විශ්වවිද්‍යාලයේ මුදලින් මාධ්‍යවේදීන්ට සාද පවත්වමින් තමන්ට එරෙහි ප‍්‍රවෘත්ති පළවීම වැළකීමට උත්සාහ දරයි. කොටින්ම ඉතිහාසයේ කිසිදු උපකුලපතිවරයෙකු නොකළ ලෙස විශ්වවිද්‍යාල සංස්කෘතිය පිළිකුල් සහගත ලෙස පහළට ඇද දමමින් සමස්තය විනාශ කරමින් තම පටු වාසිය පමණක් අරමුණු කරයි.

මෙම අපරාධ චෝදනාවන් එල්ල කෙරෙන විට උපකුලපතිවරයා වහා දිවගොස් සැඟවෙන ආවරණයක් තිබේ. එය නම් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්හී අංක 1 ට පේරාදෙණිය ගෙන ඒමට තමන් සමත්වූ බවට වන ප‍්‍රලාපයයි. එහි සැබෑ තතු මෙසේය. අදාළ ශ්‍රේණිගත කිරීමේ ක‍්‍රියාවලිය සඳහා සලකා බැලෙන්නේ එක් එක් විශ්වවිද්‍යාල විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත‍්‍රිකා අන්තර්ජාල පරිශීලකයන් විසින් ස්පර්ශ කරනු ලබන අවස්ථා ප‍්‍රමාණය පමණි. ඵලදායකත්වය, සමස්ත ක‍්‍රියාවලිය හෝ මෙම ලිපියේ සඳහන් ආකාරයේ විනාශයන් එහිදි කිසි විටෙක ඇගැයීමට ලක් නොවේ. එයම පමණක් සලකන්නේ වුවත් එහි ගෞරවය හිමිවිය යුත්තේ මිලියන 10 ක සීමාවේ තිබූ වාර්ෂික පර්යේෂණ වැය මිලියන 150 ක දැවැන්ත සීමාවකට ඉහළ නැංවූ එස්. බී. දිසානායක ඇමැතිවරයාට සහ දුක් මහන්සියෙන් පර්යේෂණ සිදුකරන ආචාර්යවරුන්ට මිස මෙම කපටි පුද්ගලයාට නොවේ.

විමුක්ති වීදියබණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More