පුරවැසි කොලම

බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනඥයෙකු සහ දේශපාලන උපායමාර්ගික විශේෂඥයෙකු වූ ටී.බී මැකෝලි සාමිවරයා විසින් තම යටත්විජිතවල ජනයා දීර්ඝ කාලීනව යටත් වැසියන් ලෙස තබා ගැනීම සඳහා 1835 දී පමණ ඉතා සුවිශේෂී උපාය මාර්ගික ප්‍රවේශයක් තෝරාදෙනු ලැබීය. ඊට අනුව වර්ණයෙන් සහ රුධිරයෙන් වෙනස් වුවත් සංස්කෘතියෙන්, මතවාදයෙන්, ආධ්‍යාත්මයෙන් සහ දැනුමෙන් ඉංග්‍රීසීන් ලෙස හැසිරෙන පන්තියක් තම යටත්විජිත රාජ්‍ය තුළ බිහිකර ගත යුතුය. පසුකාලීනව අනගාරික ධර්මපාල තුමා විසින් කළු සුද්දන් ලෙස හඳුන්වනු ලැබුවේ එම නව පන්තියට අයත් ශ්‍රී ලාංකිකයන්ය. මැකෝලි සාමිවරයාගේ උපාය මාර්ගය අනුව බ්‍රිතාන්‍ය යටත් වැසියන්ට, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට අදාළව ගත් විට, ඔවුනට දියුණු සාම්ප්‍රදායානුකූල අධ්‍යාපන පද්ධතියක් සහ දැනුම් පද්ධතියක් තිබුණද ඔවුන් තමා සතු සියලු උසස් දේට වඩා ඉංග්‍රීසීන් සතු දේ උසස් යැයි සලකන මනෝභාවයක් සමාජගත කළ යුතුය. වෙනත් වචනවලින් කියන්නේ නම් යටත්විජිත වැසියන් මානසික වහලුන් බවට පත්කළ යුතුයි. එම අත්දැකීම් අනුව සංස්කෘතික වහලුන් අවසානයේදී මානසික වහලුන් බවට පරිවර්තනය වීම ඉතා තර්කානුකූල පරිණාමීය ක්‍රියාවලියකි. එසේ මානසික අධිරාජ්‍යවාදීන්ට යටත්වන පිරිස් කායික වහලුන් බවට පත් කිරීම සඳහා දම්වැල් අවශ්‍ය වන්නේ නැත.

මැකෝලි සාමීවරයාගේ උපාය මාර්ගය

මැකෝලි සාමිවරයාගේ උපාය මාර්ගය ශ්‍රී ලංකාව තුළ වසර 100කට අධික කාලයක් විවිධ උපාංග, විශේෂයෙන්ම අධ්‍යාපන සහ පරිපාලන උපාංග, හරහා ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඒ මානසික වහලුන්ට නාමිකව හෝ දේශපාලන හෙවත් භෞතික නිදහස ලබාදීම සිදුවිය. එසේ නාම මාත්‍රික නිදහස ලබා දීමෙන් පසුව දුරස්ථ පාලකය මගින් නව ක්‍රමයකට තම යටත් වැසියන් පාලනය කළ හැකි බව සහතික කර ගැනීම සඳහා හෙවත් ශක්තිමත් ජාතික රාජ්‍යයක් ගොඩනැගීම වැළැක්වීම සඳහා මැකෝලිලා විසින් අපගේ දේශපාලන සහ සමාජ ආර්ථික දේහයට බහුවිධ විෂ ඇතුළු කරනු ලැබීය. ජනකොටස් අතර ජාතිකත්වය භාෂාව, ආගම හෝ කුලය මත පදනම්ව ගැටුම් ඇති කිරීම සඳහා හේතුවන සාධක ඒ අතුරින් ප්‍රමඛ වේ. බෙදා වෙන් කොට පාලනය කිරීම මගින් බෙදීම සමාජගත කොට දීර්ඝකාලීනව ගැටුම් ඇති කිරීම සඳහා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් දියත් කළ උපාය මාර්ගික සැලසුම සාර්ථක වී ඇති බව අද අපි විශාල වන්දියක් ගෙවමින් අත්දකිමු. එදා මැකෝලිලා විසින් රෝපණය කළ බෙදුම්වාදය සහ ඉස්ලාම් ආගමික අන්තවාදය අද මැකෝලිගේ දරුවන් විසින් පෝෂණය කොට ශක්තිමත් කරන්නේ එම දීර්ඝ කාලීන සැලසුම අනුවය. ඒ ආකාරයට යටත් වැසියන්ට ‍ඊනියා දේශපාලන නිදහස ලබා දීමෙන් පසුව ගැටුම් ඇති කිරීම මගින් රාජ්‍ය දුර්වල කිරීමට අමතරව දීර්ඝ කාලීනව යටහත් රාජ්‍යයක් සහ සමාජයක් නිර්මාණය කිරීම සඳහා යොදාගත් උපාය මාර්ගික අතුරින් අනෙක් ප්‍රමුඛතම උපාය මාර්ගය වන්නේ ආර්ථික වහල්භාවය දීර්ඝකාලීනව පවත්වාගෙන යාමය.

ඒ අනුව අප රටේ පාලකයන් බවට පත් වූ මැකෝලිගේ දරුවෝ බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වාදුන් වැවිලි ආර්ථිකය පවත්වාගෙන යන අතර රටේ ආහාර සුරක්ෂිතතාව කුඩා සහ මධ්‍යම පරිමාණ නිෂ්පාදන පද්ධතිය නොසලකා හරිනු ලැබීය. නිදහසින් පසුව මුල් යුගයේදී මෙන්ම පසුකාලීනවද බටහිර දැනුම් පද්ධතිය මත පිහිටා මහා පරිමාණ වාරි ව්‍යාපෘති හඳුන්වා දුන්නද ඓතිහාසික ආහාර නිෂ්පාදන පද්ධතියට සහ පරිභෝජන රටාවට පණදීමට ප්‍රමුඛතාවක් හිමි නොවීය. ඒ තුළ අදවන විට අපට ජාතියක් ලෙස අප රටේ ආහාර සුරක්ෂිතතාව සපුරා ගැනීම සඳහා පිටරටින් නැව් එනතෙක් බලා සිටීමට සිදුවී ඇත. එම තත්ත්වය මානසික වහල්භාවයේම දිගුවක් මිස අන් යමක් නොවන බව පැහැදිලිය.

යටත්විජිත උපාංග

යටත්විජිත සමයේදී තුවක්කුව සහ හමුදාව විසින් ඉටු කළ කාර්ය භාරය ඊනියා නිදහස ලබා දීමෙන් පසුව ඉටු කිරීම සහා යොදා ගනු ලබන උපාය මාර්ගික මෙවලම් සියල්ල පොදුවේ හඳුන්වනු ලබන්නේ යළි යටත්විජිතකරණ උපාංග ලෙසය. එම උපාංග යොදා ගනිමින් නීති පද්ධතිය තුළ, පරිපාලන ත්‍රමවේද තුළ සහ වෙළෙඳපළ තුළ සිදු කරන වෙනස්කම් මගින් ගෝලීය ආර්ථික කොල්ලය දිගින් දිගටම පවත්වාගෙන යාමට අධිරාජ්‍යවාදී මහා සමාගම් සහ එම සමාගම් විසින් නඩත්තු කරන රාජ්‍ය පද්ධතිය සමත් වී ඇත. එම උපාංග අතරින් පළමු වැන්න බහු පාර්ශ්වීය ජාත්‍යන්තර සංවිධාන පද්ධතිය යොදා ගනිමින් නව යටත්විජිත රාජ්‍යයන් විවිධ ගිවිසුම්වලට යටත් කර ගැනීමය. වෙළෙඳ ගිවිසුම් සහ ආරක්ෂක ගිවිසුම් ඒ අතුරින් ප්‍රමුඛ වේ. එවැනි ගිවිසුම් නව යටත් විජිත රාජ්‍යයන් මත පැටවීම සඳහා ප්‍රධාන වශයෙන් ලෝක වෙළෙඳ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක වන විවිධ වැඩසටහන් යොදාගන්නා බව ප්‍රසිද්ධ කරුණකි. ඊට අමතරව විවිධ ණය සහ ආධාර වශයෙන් හඳුන්වන මූල්‍ය උපාංග යොදා ගනිමින් නව යටත්විජිත රාජ්‍යයන් තුළ නීති පද්ධතිය සහ බදු ප්‍රතිපත්ති ආදිය වෙනස් කිරීම සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධාන ද යොදා ගැනේ.

එසේ යොදා ගනු ලබන තුන්වැනි ක්‍රමවේදය වන්නේ අධිරාජ්‍යවාදී රටවල් විසින් තම දේශපාලන බලය යොදා ගනිමින් කේවල් කිරීම මගින් වාණිජ ගනුදෙනු නාමයෙන් ඉඩම්, වරායවල් ඇතුළු වටිනා රාජ්‍ය දේපළ සහ ආර්ථික මර්මස්ථාන අත්පත්කර ගැනීමය. ඒ සඳහා ඉහත සඳහන් කළ නීතිමය සහ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණවලට අමතරව ප්‍රධාන වශයෙන් පුද්ගලයන් මිලදී ගැනීමද උපක්‍රමිකව යොදා ගන්නා බව රහසක් නොවේ. එසේ රාජ්‍ය දේපළ සහ ආයතන මහා සමාගම් විසින් අත්පත් කර ගැනීම සඳහා විදේශ ආයෝජන නාමයෙන් විවිධ උපාංග යොදා ගැනේ. රාජ්‍ය දේපළ කොටස්කර පුද්ගලික අංශයට විකිණීම ඒ අතුරින් ප්‍රධාන වේ. එම ක්‍රමවේදය තුළ රාජ්‍ය දේපළ විකිණීමක් සිදුවන බව සැඟවීම සඳහා ඊට රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ ආයෝජන යනුවෙන් තාක්ෂණික ලේබලයක් අලවනු දක්නට නැත. එහිදී රාජ්‍ය දේපළවල වටිනාකම කොටස් බවට පරිවර්තනය කිරීමේදී බරපතළ අවතක්සේරු කිරීමක් සිදු කිරීම මගින් නීත්‍යනුකූල කොල්ලකෑමක් සිදුවේ.

එම ක්‍රියාවලිය තුළ ඉහත සඳහන් කළ ආකාරයට පුද්ගලයන් මිලදී ගැනීම මගින් රාජ්‍ය පෙලඹවීමේ උපක්‍රමය ඉතා සූක්ෂමව සිදු කෙරෙන බවටද සාක්ෂි ඇත. එහිදී රජය මගින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම වළක්වා අදානි සමාගමට කොටස් විකිණීම සඳහා රජය පෙලඹවීම සඳහා එම සමාගමට සේවය කළ නිලධාරියෙකු යොදා ගන්නා බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත. එම නිලධාරියාට වරාය අධිකාරියේ ඉහළම තනතුරක් ලබා දීමට අදානි සමාගම සමත් වී ඇත. ඒ ආකාරයට අයුතු බලහත්කාරය සහ පුද්ගලයන් මිලදී ගැනීම මගින් රාජ්‍ය දේපළ කොල්ල කෑම පිළිබඳව ලොව පුරා උදාහරණ රාශියක් සංවාදයට ලක් වී ඇත. එසේ පුද්ගලයන් මිලදී ගැනීම මගින් අයුතු බලපෑම් හරහා මහා සමාගම් විසින් ප්‍රාග්ධන එක්රැස් කිරීමේ ක්‍රියාවලිය තුළ විවිධ මූල්‍ය උපාංග යොදා ගැනේ. එහිදී සෘජුව මූල්‍යමය අල්ලස් ලබා දීම, ව්‍යාපෘති සඳහා යොදවන ණය සහ ආධාර මගින් වරප්‍රසාද ලබාදීම, විදේශ සංචාර සහ රැකියා අවස්ථා ලබා දීම, දේශීයව සහ විදේශවලදී ලිංගික අල්ලස් ලබා දීම ආදී බහුවිධ ක්‍රමවේද යොදා ගන්නා බවට සාක්ෂි ඇත. කෙසේ වෙතත් ඒ සියල්ල සාර්ථක වීම සඳහා මූලික වශයෙන් හේතු පාදක වන්නේ මානසික වහල් භාවය බවට සැකයක් නැත.

ඉහත සඳහන් කළ සෘජු මූල්‍යමය උපාංගවලට අමතරව වක්‍ර මූල්‍ය උපාංග යොදා ගැනීමද බහුලව සිදු වන බව රහසක් නොවේ. ඒ අතුරින් ප්‍රමුඛ වන්නේ අධිරාජ්‍යවාදී ඔත්තු සේවාවල පෙරටු සංවිධාන ලෙස ක්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් මගින් මතවාදී බලපෑම් එල්ල කිරීමය. එසේ රාජ්‍ය නොවන සංවිධාන යොදා ගැනීමේදී අධිරාජ්‍යවාදී රාජ්‍ය පද්ධතිය මගින් මෙන්ම මහා සමාගම් මගින්ද ඒ සඳහා මුදල් ආයෝජනය කෙරෙන බව පැහැදිලි කරුණකි. එවැනි සංවිධාන සහ ඊට අනුබද්ධ පුද්ගලයින් මගින් යළි යටත්විජිතකරණ ක්‍රියාවලිය සාධාරණීකරණය කිරීම සඳහා මතවාද ප්‍රචලිත කිරීමට අමතරව සෘජුව සහ වක්‍රව ඊට යටත්වන ලෙසට රාජ්‍යයට බලපෑම් කිරීමද සිදුවේ. යම් අවස්ථාවල අධිරාජ්‍යවාදී මහා සමාගම්වල වුවමනාවන්ට එරෙහිව දියත්වන මහජන විරෝධතා දියකර හැරීම සඳහා හෝ එම විරෝධතාවල අයිතිය ලබා ගෙන ඒවා අවුල් කිරීම හෝ විරෝධතාකරුවන්ට බොරු වළවල් කැපීම ආදී බහුවිධ ක්‍රියාකාරකම් සඳහා මෙම රාජ්‍ය නොවන සංවිධාන සහ ඊට අනුබද්ධ පුද්ගලයන් යොදා ගන්නා බව රහසක් නොවේ. මේ සියලු සාක්ෂි අනුව පැහැදිලි වන්නේ ගෝලීය අධිරාජ්‍යවාදී රාජ්‍ය පද්ධතිය විසින් දියත් කරනු ලබන නව යටත්විජිතකරණ ක්‍රියාවලියට එරෙහිව පැන නගින සටන් බිම්වල හැඩතල තීරණය කරනු ලබන්නේ අධිරාජ්‍යවාදී කොල්ලකාරී මහා සමාගම් විසින් බව නොවේද? එනම් සටන කුමක්ද සහ සටන් බිම කුමක්ද යන්න තීරණය කරනු ලබන්නේ කොල්ලකරුවන් විසින්ය.

එම පිළිගැනීමට සාපේක්ෂව ගත් විට යළි යටත්විජිතකරණ ක්‍රියාවලියට එරෙහි සටන හෙවත් පුළුල් අර්ථයෙන් අධිරාජ්‍ය විරෝධී අරගලය යනු අධිරාජ්‍යවාදය ගෝලීය මට්ටමින් පරාජයට පත්කරන තෙක් පවතින අනවරත අරගලයකි. ඒ අනුව සැබෑ ජාතික නිදහස දිනා ගැනීමේ අරගලය යම් රටක් තුළ සමාජවාදී රජයක් බිහිකළ පමණින් හෝ අවසන් වන සටනක් නොවේ. සැබෑ ජාතික නිදහස දිනා ගැනීමේ සටන හෙවත් අධිරාජ්‍ය විරෝධී අරගලයට මතවාදී නායකත්වය සපයන ජාතිකවාදී බලවේග සහ ඊට අවශ්‍ය සංවිධානමය බලය සහිත දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවක් අවශ්‍ය වේ.

එම පොදු සටනේදී ජාතිකවාදී බලවේගවල මූලික වගකීම වන්නේ මතවාදී නායකත්වය සැපයීමය. එය සංවිධානමය නායකත්වය අබිබවා මහජනයා අමතන මතවාදී ඥාතිත්වයකි. එනම් සංවිධානමය බැඳීමක් නොමැතිව වුවද පැවතිය හැකි මතවාදී බැඳීමකි. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික බලවේග විසින් මෙහෙයවනු ලැබුවේ එසේ සෘජු සංවිධානමය බැඳීමක් නොමැති වුවත් මතවාදී ඥාතීත්වය සහිත බලවේගයකි.

අධිරාජ්‍ය විරෝධි අරගලයේ නූතන මුහුණුවර

මෙම තර්ක සියල්ල සැලකිල්ලට ගැනීමේ දී අප ජාතිය මුහුණ දෙමින් සිටින අභියෝග හෙවත් යළි යටත්විජිතකරණ ක්‍රියාවලියට එරෙහිව දියත්වන අධිරාජ්‍ය විරෝධී අරගලයට අදාල මූලික සහ ප්‍රධානතම සටන් බිම් 06ක් හඳුනාගත හැක. පළමුවැන්න අප ජාතිය දුර්වල කිරීම සහ එකිනෙකා මරා ගැනීමට සලස්වන බෙදුම්වාදී සටන්බිම ජය ගැනීමය. ඒ සඳහා බහුවිධ ක්‍රියාමාර්ග ගත යුතු වූවත් මූලික පූර්ව කොන්දේසිය වන්නේ වර්තමාන බෙදුම්වාදී ව්‍යවස්ථාව වෙනුවට ජාතිය සමගි කරන, ජාතිකත්ව අතර සමානාත්මතාවය සහතික කරන සහ බෙදුම්වාදයට ඉඩ නොදෙන නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සහ ඊට අදාළ ක්‍රියාවලිය තුළ අන්තවාදීන් පරාජය කිරීම සඳහා ජාතිය පෙළගැස්වීමය. දෙවන සටන් බිම ඉස්ලාම් ආගමික අන්තවාදය පරාජය කිරීම මගින් ජාතිය සමගි කිරීමය. එහිදී අන්තවාදයට අබමල් රේණුවක තරමින් හෝ යටත්වීම යනු අන්තවාදය ශක්තිමත් කිරීමක් ලෙස සැලකිය යුතුය. ඒ අනුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආණ්ඩුවට බල කිරීම අධිරාජ්‍යවාදී විරෝධී අරගලයේ ප්‍රධාන සටන් බිමක් බවට පත් වේ. තුන්වන සටන් බිම වන්නේ ආර්ථික ඝාතකයන් යොදා ගනිමින් ආහාර සුරක්ෂිතතාව සහ දේශීය නිෂ්පාදන ආර්ථිකය බිඳ වැට්ටවීමේ ක්‍රියාවලියට එරෙහිවීමය. එහිදී ආර්ථික ඝාතකයන්ට එරෙහි සටන් ආණ්ඩු විරෝධී සටනක් බවට පත් වන්නේ ආර්ථික ඝාතකයන් රැකීමට ආණ්ඩුව ඉදිරිපත් වන අවස්ථාවේදීය.

හතරවන සටන්බිම යනු රජයට හෙවත් මහජනයාට අයත් ඉඩම් කොල්ලකෑමට සහ වරාය ඇතුළු ජාතික සම්පත් විකිණීමට එරෙහි වීමය. එසේම එම ක්‍රියාවලිය තුළ සිදුවන දූෂණ වංචාවලට එරෙහි වීමය. පස්වන අධිරාජ්‍ය විරෝධී සටන්බිම වන්නේ ආර්ථික කොල්ල කෑමේ ක්‍රියාවලිය තුළ රටේ අනාගත පැවැත්ම අනතුරට ලක් කෙරෙන මහා පරිමාණ පාරිසරික විනාශයන්ට එරෙහි වීමය. හයවන සටන්බිම මැකෝලිලා විසින් පවත්වාගෙන යනු ලබන මානසික වහල්භාවයෙන් ගැලවීමය. ඒ සඳහා විවිධ අතුරු සටන් බිම් රාශියක සටන් කිරීමට සිදුවේ. සංස්කෘතික ආක්‍රමණයට එරෙහි සටන හෙවත් සංස්කෘතික අධිරාජ්‍යවාදයට එරෙහි සටන් ඒ අතරින් ප්‍රමුඛ වේ. කෙසේ වෙතත් එම සටන පුද්ගලයා විසින් තම අධ්‍යාත්මය සමග කරනු ලබන සටනක් බවටද පත්වේ.

අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට හෙවත් යළි යටත්විජිතකරණ ක්‍රියාවලියට එරෙහිව දියත්වන එම සටන් ආණ්ඩු විරෝධී සටන් ලෙස අර්ථ ගැන්වීම වැළැක්විය නොහැක. එහිදී ආණ්ඩුව කුමන පාර්ශ්වයක් සමග සිටගත යුතුද යන තීරණය ගත යුත්තේ ආණ්ඩුවේ පාර්ශ්ව විසිනි. ආණ්ඩුව සිට ගන්නේ ආධිරාජ්‍යවාදී සමාගම්වල පැත්තේ නම් අධිරාජ්‍ය විරෝධී සටන ආණ්ඩු විරෝධී සටනක් බවට පත් වීම වැළැක්විය නොහැක. ඊට අමතරව වර්තමානයේ බලය හොබවන ආණ්ඩුව පිහිටුවීම සඳහා ප්‍රබල දායකත්වයක් සැපයූ ජාතික බලවේගවල ප්‍රමුඛතම සටන් බිමක් විය යුත්තේ එම ජනවරමේ අපේක්ෂා සහ අධ්‍යාත්මය ආරක්ෂා කිරීමය. පවතින ආණ්ඩුව එම අපේක්ෂාවලට පටහැනිව ක්‍රියාකරයි නම් අධිරාජ්‍යවාදී බලවේග ශක්තිමත් වන අතර ආණ්ඩුව දුර්වල වේ. ඒ අනුව ජනවරම ආරක්ෂා කිරීම යනු අධිරාජ්‍ය විරෝධී අරගලයේ ප්‍රමුඛතම සටන් බිමක් බවට පත් වේ. ආණ්ඩුව ඊට පටහැනිව ක්‍රියාකරයි නම් ආණ්ඩු විරෝධී අරගලය සහ අධිරාජ්‍ය විරෝධී අරගල එකිනෙකට සමපාත වේ. නමුත් ආණ්ඩු බලය තුළ නියෝජනය වෙමින් අධිරාජ්‍ය විරෝධී අරගලයට දායක වීම යනු ඉතා සූක්ෂම සහ දුෂ්කර ව්‍යායාමයක් බවට විවාදයක් නැත. එසේ වුවත් ආණ්ඩු විරෝධී අරගලය කිසිසේත්ම අධිරාජ්‍යවාදයට සේවය කරන්නක් නොවිය යුතුය.
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර

(අරුණ පුවත් පතේ පළවු ලිපියකි…)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More