පුරවැසි කොලම

දිනපතා දිවයින ජාතික පුවත් පත ආරම්භ වී පෙබරවාරි 4 වන දිනට හරියටම වසර 39ක් ගෙවී ගොස් තිබේ. එනම් දිනපතා දිවයින පුවත් පත සිය මංගල කලාපය එළි දක්වන්නේ 1982 පෙබරවාරි 04 වෙනිදා හෙවත් ජාතික නිදහස් දිනයේදීය. වසර තිස් නවයක යුග මෙහෙවර සම්බන්ධයෙන් ජාතික සංවිධාන සම්මේලනයේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර සූරීන් විසින් 2021 පෙබරවාරි 04 වෙනිදා දිනපතා දිවයිනට ලියූ ලිපිය පහත පලවේ…

නොනිමි ජාතික සටන දිවයින සතු කාර්යභාරය
ජාතික ව්‍යාපාරයේදී දිවයින පුවත්පත විශිෂ්ට ජාතික සේවයක් ඉටුකළ බව අප විසින් කෘතඥතාපූර්වකව සිහිපත් කළ යුතුයි. දිවයින පුවත්පත ලබාදුන් අනුග‍්‍රහය අපට විශාල ශක්තියක් විය. දිවයින පුවත්පත නොසිටින්න ඒ පණිවිඩය ජනතාව වෙත ගෙන යෑම නොහැකිවන්නට තිබිණි. දිවයින අද වනතුරු ඒ ජාතික සටන නොනවත්වා ගෙනයන බව අපට පෙනෙන්නට තිබේ. අද මේ නොනිමි සටන පත්ව ඇත්තේ පෙර කිසි දිනෙක මුහුණ නොදුන් අතිශය භයානක තීරණාත්මක මොහොතක් වෙතයි. එදා අපට සටන් කිරීමට සිදුවූයේ දෙමළ ජාතිවාදීන් හා මෙරට ඉන්නා එන්.ජී. ඕ. නඩය සමගයි. අද එසේ නොවේ. අද එය අතිශය බලවත් අන්තර්ජාතික බලවේග සමඟ කරන මාරාන්තික සටනක් බවට පත්ව තිබේ.

අප නිදහස ලබාගත්තේ ඉන්දියාව මෙන් ජාතික සටනක් මගින් නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ආර්ථික අතින් බංකොලොත් වූ හිරු නොබසින ආධිරාජ්‍යයට, ඉන්දියාව තවදුරටත් යටත්කර තබා ගැනීමට අවශ්‍ය නොවීය. ඉන්දියාව අතහැර යෑමෙන් පසු ලංකාව තවදුරටත් තමන් යටතේ පවත්වාගෙන යෑම නිරර්ථක ව්‍යායාමයක් බව ඉංගිරිසි පාලකයාට වැටහෙන්නට ඇත. එමෙන්ම ඔහුට මේ රට අවශ්‍යව තිබුණේ ආර්ථික වශයෙන් අත්වන ලාබ ප‍්‍රයෝජනවලට වඩා මේ රටේ පිහිටීම නිසා ඊට හිමිව ඇති භූ දේශපාලන වැදගත්කම නිසයි. ඒ භූ දේශපාලන වැදගත්කම හිමි කර ගත හැකි නම් ත‍්‍රිකුණාමලය වරාය, කටුනායක ගුවන් තොටුපළ තමන් සතු කර ගත හැකි නම් මේ රට අතහැර යෑම ඔහුට ප‍්‍රශ්නයක් නොවීය.

එමෙන්ම අපට නිදහස ලබාදීමේ කිසිදු අතුරු අන්තරාවක් නැති බව ද ඉංග‍්‍රිසි පාලකයන්ට වැටහෙන්නට ඇත. එනම් ඒ නිදහස ලබාදෙන්නේ තමා හදාවඩාගත්, මැකෝලි ස්වාමිගේ අපේක්ෂා නොමදව ඉටුකළ, හමේ පාටින් පමණක් වෙනස් සුවච කීකරු පිරිසකට බව ඔවුනට වැටහෙන්නට ඇත.

පෙබරවාරි 4 වැනිදා අපට ලබාදුන් නිදහසේ යථාර්ථය එයයි. ඒ නිදහස ලබාදීම මගින් සැබවින්ම සිදු වූයේ ඉංගිරිසිකාරයා අනුකරණය කරන ඔහුගේ බස සංස්කෘතිය කරපිනවා ගත් නාම මාත‍්‍රයෙන් පමණක් ‘‘ජාතික’’ වූ පිරිසක් කරා පාලක බලය හුවමාරු වීමයි. එවැනි පිරිසකට පාලන බලය ලබාදීමේ කිසිදු අනතුරක් නොමැති බව පාලකයන්ට වැටහෙන්නට ඇත.

පෙබරවාරි 4 වැනිදා අප ලබාගත් නිදහස මෙවැන්නක් නම් අද අප මෙතරම් උජාරුවෙන් එය සමරන්නේ කුමන හේතුවක් මතද යන්න වටහාගත නොහැකියි. එය අපේ පාලකයන්ගේ යටි සිතේ ඇති අතීත කාමයක් නිසා ඇතිවන්නක්ද? (එවැනි අතීත කාමයක් ඉංගිරිසි කාරයා හිමිකර දුන් ඇඳුමට පවා අප සිත් තුළ තිබේ.) නොඑසේ නම් මළගිය යූ.එන්.පිය ළංකර ගැනීමටද? නිදහස සැමරීමට උවමනා නම් අප විසින් තෝරාගත යුත්තේ, අප යටත් විජිත පාලනයෙන් ගැලවී මේ රට ජනරජයක් බවට පත්කර ගත් දවස නොවේද? අද අප සමරන්නේ සටනකින් තොරව සුද්දාගේ දෙපා ළඟ වැටී ලබා ගත් ඊනියා නිදහසයි.

අපගේ ජාතික සටන ආරම්භ වූයේ 1818දී දියත් කළ ආයුධ සන්නද්ධ අරගලයෙනුයි. ඉංගිරිසි පාලකයා විසින් අතිශය අමානුෂික අයුරින් එය මැඬ පැවැත්වූ සැටි අපි දනිමු. එමගින් ජාතියේ කොඳුනාරටිය කඩා දමන ලදී. අඩපණව වැතිර සිටි අපට යළි නැගිට සිටිය හැකි වූයේ ඉන් සියවස් දෙකකට පමණ පසුවයි. 19 වන සියවසේ අගභාගයේදී සහ විසිවන සියවසේ මුල් භාගයේදී යි. ඊට මුුල් වූයේ අනගාරික ධර්මපාලතුමා විසින් ආරම්භ කළ ජාතික විමුක්ති සටනයි. එය අර විජාතිකයා හදාවඩාගත් කලූ සුද්දන් විසින් ‘‘සිලෝන් නැෂනල් කොන්ග‍්‍රස්’’ යනුවෙන් බිහිකළ ජාතික ව්‍යාපාරය වැනි ව්‍යාජ ව්‍යාපාරයක් නොව මේ රටේ බහුතර ජනතාව මුල් කරගත් සැබෑ විමුක්ති සටනක් විය.

අනගාරික ධර්මපාලතුමා දියත් කළ ජාතික විමුක්ති සටන ගැන අද වනතුරු අපගේ ජනතාවට විශේෂයෙන් මේ රටේ ඉන්නා සංකර උගතුන්ට නිවැරදි අවබෝධයක් නැති බව පෙනේ. ඔවුන් විසින් ධර්මපාල තුමා අරබයා ඉංග‍්‍රිසි බසින් ලියන පොත්වලින් ඒ බව මොනවට පෙනේ. ඔවුනට අනුව ධර්මපාලතුමා මෙරට ජාතික විමුක්ති සටන ඇරඹූ ජාතික නායකයකු නොව බුදුදහම බටහිර ලොවට ගෙනගිය බෞද්ධ නායකයකු ප‍්‍රචාරකයකු වෙයි. තවත් ඇතැමුන්ට අනුව ඔහු ජාතිකෝන්මාදයෙන් පෙළුණු ෂෝවිනිස්ටයකු වෙයි.

අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය එවැන්නක් නොව මේ රටේ ඉතිහාසය, සිංහල ජනතාවගේ සභ්‍යත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුව නිර්මිත වූවකි.

බුදුදහම මුල්කරගත් සභ්‍යත්වයක් මේ රට තුළ ආරම්භ වූයේ ක‍්‍රි.පූ. 3 වන සියවසේදීයි. දේවානම්පියතිස්ස රජ දවසේ බුදුදහම මේ රටට ගෙන ඒම සමගයි. මිහිඳු හිමියන් විසින් අප වෙත ගෙන එන ලද්දේ බුද්ධ ධර්මය – බුදු වදන පමණක් නොවේ.

බුදු දහම මුල්කරගත් රාජ්‍යය තන්ත‍්‍රයක් හා ඒ ඇසුරෙන් බුදු දහම පාදක කරගත් සභ්‍යත්ව රාජ්‍යයක් භාරතය තුළ බිහිකරන ලද්දේ අශෝක අධිරාජ්‍යයා විසිනුයි. බුදු දහම වැළඳගැනීමත් සමඟ ඒ රාජ්‍ය තන්ත‍්‍රයන් සභ්‍යත්ව රාජ්‍යයත් අපි උරුම කර ගත්තෙමු.

ඒ සභ්‍යත්ව රාජ්‍යය එදා සිට අප ඉංගිරිසි පාලකයා යටතට පත් වන තුරු මේ රට තුළ වසර දෙදහසක් පුරා පැවතිණි. යම් යම් අවධිවල දී එය අඩපණ වුවද කන්ද උඩරට සිංහල රාජ්‍යය නැතිවන තුරු ඒ සභ්‍යත්ව රාජ්‍යය මේ රට තුළ පැවති සැටි ටෙ‍්‍රවෝ ලිං නමැති විද්වතා විසින් ලියන ලද ‘‘ඉන්දියාවේ සහ ලංකාවේ බෞද්ධ සභ්‍යත්වය‘‘ නමැති අගනා නිබන්ධනයෙන් එළි දක්වා තිබේ.

අනගාරික ධර්මපාලතුමා විසින් මේ ඉතිහාසය මැනවින් පසක් කරගන්නා ලදී. විජාතිකයා විසින් කොල්බෲක් කැමරන් ආදී වූ ප‍්‍රතිසංස්කරණ මගින් විනාශ කරන ලද මේ සභ්‍යත්ව රාජ්‍යය යළි පුනරුත්ථාපනය කළ හැකි බව එතුමා වටහාගත්තේය. විජාතිකයා විසින් ඒ සභ්‍යත්ව රාජ්‍යය විනාශ කරන ලද නමුදු ඒ රාජ්‍යය ජනිත කළ සභ්‍යත්ව විඥානය මේ රටේ බහුතර ජනතාවගේ සිත් සතන් තුළ නොනැසී පවතින බව එතුමා දුටුවේය. සිත්සතන් තුළ සැඟව ගත් ඒ සභ්‍යත්ව විඥානය අවදි කිරීම මගින් ඒ සභ්‍යත්ව රාජ්‍යය යළි ළඟ කරගත හැකි බව එතුමාට වැටහිණි.

විසිවන සියවසේ පළමු දශකය තුළ ඉතා සවිමත්ව පැවති එතුමාගේ ජාතික ව්‍යාපාරය ඉන් අනතුරුව ලංකා කොන්ග‍්‍රසය එකල වූ කළු සුද්දන් විසින් සුදු පාලකයාගේ සහය ඇතිව විනාශ කරන ලදී. එසේ විනාශ කරන ලද නමුදු එදා ධර්මපාලතුමා විසින් ජනතා සිත්සතන් තුළ වපුල සභ්‍යත්ව විඥානයේ බිජුවට නොනැසී පැවතින. කාලයාගේ ඇවෑමත් සමඟ එය ලියලා වැඩිණ. 56 දී බණ්ඩාරනායක මහතාගේ ජයග‍්‍රහණයට මුල් වූයේ එසේ වැඩුණු ඒ බිජුවටයි. සඟ, වෙද, ගුරු බලවේග බිහිවූයේ ඒ බිජුවට තුළිනු යි.

බණ්ඩාරනායක මහතා මුලසිටම මේ කරුණ සිය අන්තර්ඥානයෙන් වටහා ගැනීමට සමත් වූ බව අපට පෙනේ. 1934 දී එතුමා ‘‘සිංහල මහ සභාව‘‘ ආරම්භ කළේ ධර්මපාලතුමාගේ චින්තනය පදනම් කරගෙනයි. මේ රටට සැබෑ නිදහසක් අත්කර දීමට නම් පළමු කොට බෙදා වෙන්වූ සිංහල ජාතිය එකමුතු කළ යුතු බවද, ඒ එකමුතුව වටා සියලූ ජන වර්ග එක් කළ යුතු බවද ධර්මපාල තුමා මෙන්ම බණ්ඩාරනායක මහතා විසින්ද වටහා ගන්නා ලදී. (මේ රටේ වත්මන් නායකයින් විසින් නම් තවමත් මෙම කරුණ වටහාගත් බවක් නොපෙනේ. ඔවුන් ජාතික සමගිය ඇති කිරීමට යන්නේ මහ ජාතිය සුළු ජාතිය බවට පත් කරලීමෙනුයි.)

අප විසින් පසුගිය දශක කිහිපය තුළ සිදුකරන ලද්දේ ධර්මපාලතුමා විසින් ආරම්භ කරන ලද, ඉන් අනතුරුව 56 දී බණ්ඩාරනායක මහතා විසින් යාවත්කාලීන කරන ලද ඒ නොනිමි ජාතික සටන ඉදිරියට ගෙන යෑමයි.

ඒ සඳහා අවශ්‍යව තිබූ දර්ශනය, ජාතික චින්තනය නමැති සංකල්පය අපි ජනතාව වෙත ඉදිරිපත් කළෙමු.

ඒ ජාතික ව්‍යාපාරයේදී දිවයින පුවත්පත විශිෂ්ට ජාතික සේවයක් ඉටුකළ බව අප විසින් කෘතඥතාපූර්වකව සිහිපත් කළ යුතුයි. දිවයින පුවත්පත ලබාදුන් අනුග‍්‍රහය අපට විශාල ශක්තියක් විය. දිවයින පුවත්පත නොසිටින්න ඒ පණිවිඩය ජනතාව වෙත ගෙන යෑම නොහැකිවන්නට තිබිණි.

දිවයින අද වනතුරු ඒ ජාතික සටන නොනවත්වා ගෙනයන බව අපට පෙනෙන්නට තිබේ. අද මේ නොනිමි සටන පත්ව ඇත්තේ පෙර කිසි දිනෙක මුහුණ නොදුන් අතිශය භයානක තීරණාත්මක මොහොතක් වෙතයි. එදා අපට සටන් කිරීමට සිදුවූයේ දෙමළ ජාතිවාදීන් හා මෙරට ඉන්නා එන්.ජී. ඕ. නඩය සමගයි. අද එසේ නොවේ. අද එය අතිශය බලවත් අන්තර්ජාතික බලවේග සමඟ කරන මාරාන්තික සටනක් බවට පත්ව තිබේ. අද වන විට මේ රට අන්තර්ජාතික බලවේගවල කෙළිබිමක් බවට පත්ව තිබේ. මේ රට බෙදා වෙන්කොට සිය වසඟයට ගැනීම ඔවුන්ගේ එකම අපේක්ෂාව බවට පත්ව තිබේ. අද මානව හිමිකම් කොමිසම විසින් මානව හිමිකම් නාමයෙන් මේ රට ජාතිය විනාශ කිරීමට තැත් කරන සැටි වසන් කළ නොහැකියි.

මේ තත්ත්වය හමුවේ අපි අද අන්තිම අසරණ අනාථ තත්ත්වයකට පත්ව ඇත්තෙමු. ඒ අතරම අප විසින් අවදි කරන ලද ජාතික බලවේග මේ විනාශකාරී ප‍්‍රවාහයට මුහුණ දීමට සමත්ව ඇති බවද මෑතක සිදු වූ සිදුවීම් මගින් පෙනෙන්නට තිබේ.

මෙහිලා ‘දිවයින’ පුවත්පතට සුවිශේෂ කාර්යයක් ඇති බව අපගේ වැටහීමයි. ‘දිවයින’ පෙරටද වඩා කැපවීමෙන් ඒ කාර්යයට මෙවේලෙහි උරදෙනු ඇතැයි යන්න අපගේ ප‍්‍රාර්ථනයයි.

ආචාර්ය ගුණදාස අමරසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More